Sri Lanka Brief
පුවත්විවරණසංක්‍රාන්තික යුක්තිය: සමාව ගැනීම අපට නුහුරුද? – සුලෝචනා රාජපක්ෂ

සංක්‍රාන්තික යුක්තිය: සමාව ගැනීම අපට නුහුරුද? – සුලෝචනා රාජපක්ෂ

by

කොටින්ට වන්දි දෙන්නේ ඇයි? මොකටද ඔය මිනිස්සුන්ට සමාවක්? මෙවැනි දෑ මෑත කාලීනව ඇතැම් පුද්ගලයන් මෙන්ම ඇතැම් දේශපාලකයන් තුළින්ද අසන්න ලැබුණි. කුරිරු යුද්ධයක් අවසන්ව දස වසරක් ගත වුවද අප රටක් ලෙස ආකල්පමය වර්ධනයක් ලබා නොමැති බව මෙයින් වැටහෙනු ඇත. අවාසනවකට තවමත් ආකල්පමය වශයෙන් යුධ සහ වෛරී මානසිකත්වකය පසු වන හෙයින් 71ක් වසරක නිදහස අපට අභිමානයෙන් සැමරිය හැකිද?

වන්දි ලබාදීම?

නිවැරදි භාෂිතය නම් හානිපූරණයයි. මුදල් පමණක් මේ සඳහා ආරෝපණය කර, මෙම ක්‍රියාවලිය වන්දි ලබාදීමක් යැයි සාවද්‍ය ලෙස අර්ථ ගන්වා ඇත්තේ, හුදෙක් දේශපාලනික අරමුණු සහ ජාතිවාදී බීජ වපුරා ඉන් ඵල නෙළා ගන්නා ඇතැම් කොටස් විසිනි.

2015 ඔක්තෝම්බර් 09 වන දින සම්මත වූ හානිපූර්ණ කාර්යාල පනත යටතේ වින්දිතයන් හට මිස එල්.ටී.ටී.ඊ යට හානිපූරණය කරන ලෙස එම පනතේ සඳහනක් නොමැත. වින්දිතයන්ට මුල්‍ය සහන ලබාදීම කාර්යාල ප්‍රතිපත්ති සහ කැබිනට් එකඟතාවය මත තීරණය වේ.

හානිපූර්ණයෙදී වන්දී නැතහොත් මූල්‍යමය සහන වලින් ඔබ්බට ගොස් වින්දිතයන් හට සහන සැලසීමක් සිදු වේ. වින්දිතයන්ගේ අයිතීන් සහ අභිමානය ගොඩනැගීම, පුනරුත්ථාපනය කිරීම,සිදුවූ වැරදි පිළිගැනීම, නැවත ගැටුම් ඇති නොවන පරිසරයක් රට තුල නිර්මාණය කිරීම සහ මුල්‍යමය ආධාර හානිපූරණය තුළ විහිදී ඇති අංශයන් වේ. එමෙන්ම සිදු වූ වැරදි පිළිගැනීම සංකේතාත්මක හානිපූරණය යටතට ගැනේ, එනම් සංකේතාත්මක ලෙස අදාළ පාර්ශවයන් තම යුතුකමක් හෝ වගකීමක් ලෙස එක් එක් පාර්ශවයන්ගෙන් යුධ හෝ ගැටුම් අවස්ථාවල සිදු වූ අගතීන් වෙනුවෙන් හානිපූර්ණය සිදු කරනු ලබයි.

යම් යුධමය තත්වයක් යටතේ හෝ ප්‍රචණ්ඩත්වයෙන් මිදෙමින් හෝ මිදීමෙන් පසු යන ඕනෑම සංක්‍රාන්තික යුක්තිය ක්‍රියාත්මක වන කාල වකවානුවක් තුල සමාව ගැනීම තනි පුද්ගලයන් ලෙස, රජය මඟින් සහ නොයෙකුත් කණ්ඩායම් මඟින් ද සිදු කළ හැක. සමාව ගැනීම බලෙන් කළ යුතු මවා පෑමක් නොව, එය හදවතින්ම පිදිය යුත්තකි. බොහොමයක් සමාව ගැනීම් ප්‍රචණ්ඩත්වයන් සිදුවී අවුරුදු කිහිපයකින් හෝ දශක කිහිපයකින් සිදුව ඇත. බොහෝදුරට අපරාධ ක්‍රියා පරීක්ෂණ හෝ සත්‍ය සෙවීමේ ක්‍රියවලිය සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලිය අවසානයේ සිදු වීම දක්නට ලැබේ. මෙය කැනඩා, චිලී, ඉන්දුනීසියානු සහ දකුණු අප්‍රිකාව වැනි රවටල්හී සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලිය අධ්‍යනය කිරීමේදී පෙනී යයි. මෙහිදී ප්‍රචණ්ඩ ක්‍රියා, ගැටුම් සහ කළහ කාල තත්වන්ගේදී වින්දිතයන්, ඔවුන්ගේ පවුල් සහ සමාජ කණ්ඩායම් හට මුහුණදීමට වූ මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධව, දේශපාලන නායකයින් මහජනයා අභිමුව සමාව අයැදීම ඉතා මානුෂිය ක්‍රියාවලියකි.

ප්‍රතිෂ්ඨාපන යුක්තිය (restorative justice) තුල වින්දිතයන් ඉලක්ක වන අතර එහිදී දඩුවම් ලබාදීම ඉලක්ක වීමෙන් ඔබ්බට ගිය මානුෂිය ස්වභාවයක් තුල සංක්‍රාන්තික යුක්තිය ක්‍රියත්මක වේ. බොහෝ රටවල සංක්‍රාන්තික යුක්තිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිෂ්ඨාපන යුක්තියට ඉතා විශේෂ ස්ථානයක් හිමි කර දී ඇත. බොහොමයක් රට වල මේ සඳහා විශේෂත්වයක් හිමිව ඇත්තේ මෙය සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලිය තුල ඇති මානුෂිය ස්වභාවය උද්දීපනය කරන නිසාවෙනි.

සංක්‍රාන්තික යුක්තිය (transitional justice) තුල සමාව ගැනීමේදී අව්‍යාජත්වය, සෘජු ස්වභාවය, වරද නිසිආකාරව පිළිගැනීම යනාදී කරුණු වලින් පරිපුර්ණ විය යුතුය. මෙය පොදු ජනයා ඉදිරියේ සිදු විය යුතු අතර වින්දිතයන්ගේ භාෂාව සන්නිවේදනය සඳහා යොදා ගැනීම ඉතා වැදගත්වේ. මෙම ක්‍රියාවලිය තුල ඉතා වැදගත් වන්නේ ඉදිරියට දෙපාර්ශවය අතර සම්බන්ධතා මැනවින් පවත්වාගෙන යන්නේ කෙසේද යන්න සහ නැවත එවන් තත්වයන් මතු නොවෙන ලෙස ක්‍රියා කිරීමයි.

කෙන්යාවෙහි අත්දැකිම

2007 – 2008 වර්ෂවල කෙන්යාවෙහි සිදු වූ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වය, 1984 වගල්ල සමූලඝාතනය වැනි අතීත සිදුවීම් අවර්ජනය කරමින්, කෙන්යානු ජාන්ධිපති උහුරු කෙන්යත්තා, 2014 ජාතිය ඇමතීමේදී “මගේ රජය සහ පෙර පැවති රජයන් තුළින් සිදු වූ සියලු වැරදි වෙනුවන් කෙන්යන් වැසියන්ගෙන් කෙන්යන් ජනරජය වෙනුවෙන් මා සමාව ඇයද සිටිනවා” ලෙස ප්‍රකාශ කරමින් සිය රට වැසියන්ගෙන් සමාව ඉල්ලා සිටින ලදී. කෙන්යානු ජාන්ධිපතිතුමන් ගේ ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීම තවත් එක් මානුෂිය හානිපූර්ණ පිළිවෙතකි. මෙයින් ඔබ්බට ගොස් කෙන්යාවෙහි සත්‍ය, නීතිය සහ සංහිඳියා කොමිසම “ප්‍රතිෂ්ඨාපන යුක්තිය සඳහා” මැයෙන් අරමුදලක් පිහිටුවන ලදී.

කැනේඩියානු ආදාවාසීන්ගෙන් සමාව ගැනීම

19 වන සියවසෙහි, කැනඩාවෙහි ආදිවාසී ඉන්දියානු දරුවන් දෙමව්පියන්ගෙන් වෙන්කොට ඉන්දියානු නේවාසික පාසල් වලට ඇතුළත් කොට වධ හිංසා පමුණුවමින් ඔවුනට අවේණික වූ සංස්කෘතිය බැහැර කර කැනඩාවෙහි අධිපතීත්වය ගත් සංස්කෘතිය ඔවුන්ට බලහත්කාරයෙන් පුරුදු කරවීය. මෙය 1831 සිට 1991 දක්වා කාලය තුල සිදු වූ අතර, 2008 ජූනි 19 වන දින අගමැතිතුමන් වූ ස්ටීවන් හාපර් අසුන්ගෙන සිටිනා ඇමති මණ්ඩලය වෙනුවන්, ආදිවාසී නියෝජිතයන් අභිමුවෙහි සමාව අයැද සිටියාය. සමාව ගැනීම ප්‍රංශ, ඉංග්‍රීසි සහ තවත් ආදිවාසී භාෂා තුනක් ඔස්සේ ප්‍රකාශ කරන ලදී. එපමණක් නොව 2017 නොවැම්බර් 24, අගමැති ජස්ටින් ට්රූඩෝ ද වධ හිංසනයට ලක්වූ ආදීවාසීන්ගෙන් සමාව ඉල්ලා සිටියාය. රටක් ලෙස ඔවුන්ගේ නිහතමානී හා සංවේදී ස්වභාවය ක්‍රියාවෙන් ඔවුන් ලොවට කියා පා අවසන්ය.

මෙතුළින් කැනඩා රජය සහ ආදිවාසී ජනයා අතර තිබු පරතරය, අවිශ්වාසය අවම වීම තුළින් මනා සම්බන්ධතාවක් ගොඩ නැගුණි. සමාව ගැනීම තුල විශාල බලයක් සහ පණිවිඩයක් ප්‍රක්ෂේපණය වේ. අද අප සිටින්නේ මානව අයිතිවාසිකම්, මානුෂියත්වය සහ තවකෙකුගේ දුකෙහිදී සංවේදී වීම ධනාත්ම ලකුණු ලෙස සලකනා යුගයකයි. කෙසේවෙතත් සමාව ගැනීම හෝ සමාව දීම ශ්‍රී ලංකික අපට නුහුරු, නවමු හෝ ආගන්තුක අත්දැකීමක් නොව, එය බෙහෙවින්ම ශ්‍රී ලාංකික ය. බුදුදහමින් පෝෂණය වූ සංස්කෘතියකට හිමිකම් කියන ශ්‍රී ලාංකික අපට සමාව ගැනීම හෝ දීම අලුත් අත්දැකීමක් නොවනු ඇත.

හොඳම සමාව ගැනීම නම් තම හැසිරීම වෙනස් කර ගැනීමයි, නැවත එකම වරද සිදු නොවීමට වගබලා ගැනීමයි……

ඉහත ජායාරූපය (c)Dinuka Liyanawatte

Back to Top