Sri Lanka Brief
පුවත්විවරණශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහ සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ ඓතිහාසික පාවාදීම – ආචාර්ය අමීර් අලි

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහ සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ ඓතිහාසික පාවාදීම – ආචාර්ය අමීර් අලි

by

ඡායාරුපය: වර්තමාන නායකයන්ට, මුස්ලිම් ප්‍රජාවගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා තමන් දිනා දුන්නේ යැයි කිව හැකි දෙයක් තිබේද? (c) s.deshapriya.

අලුත් ප්‍රවෘත්ති වාර්තාවලට අනුව, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ (රවුෆ් හකීම්), සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ (රිෂාද් බද්යුද්දීන්) සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ (මනෝ ගනේෂන්) නායකයන් පසුගිය දා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග පවත්වන ලද සාකච්ඡාවකදී, ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වර්තමානයේ ගෙන යමින් පවතින ප්‍රයත්නයන්ට පස්ස හැරීවීමට පොරොන්දු වී ඇතැ’ යි දැනගන්ට තිබේ. මේ වාර්තා නිවැරදි නොවන බව මේ නායකයන් රටට සැලකර නොසිටින්නේ නම්, ඔවුන්ගේ මේ පිල්මාරුව මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් ගත් විට ඓතිහාසික පාවාදීමක් වශයෙන් හැඳින්විය යුතුය.

අතරින්පතර කිහිප දෙනෙකු හැරුණු විට, මුස්ලිම් දේශපාලඥයන් අවස්ථාවාදීව හැසිරීම ගැන කුප්‍රකට ය. එහෙත් වර්තමාන මුස්ලිම් නායකත්වය ඒ සියලු අතීත අවස්ථාවාදයන් පරයා යන්නේය. මොවුන්ට මොන ආකාරයේ පුද්ගල ලාභ ප්‍රයෝජන ජනාධිපතිවරයා පොරොන්දු වී ඇත්දැයි අපි නොදනිමු. මුස්ලිම් ප්‍රජාවගේ අනාගතය සම්බන්ධයෙන් බලද්දී, මේ විධායක ජනාධිපති ක්‍රමය තුළ උමතු පිරිමියෙකු හෝ ගැහැනියක අතට බලය ගියොත්, එය එම ජනතාවට මහා වින්නැහියක්ම වනු ඇත. මේ බව, ලංකාවේ සිටි දුරදක්නා නුවණින් යුත් බුද්ධිමත් දේශපාලඥයන් කිහිප දෙනාගෙන් කෙනෙකු වන ආචාර්ය එන්. එම්. පෙරේරා පැහැදිලිවම කියා තිබේ.

වාර්ගික සංහාරයක වින්නඹුව

මුස්ලිම් ප්‍රජාවගේ නායකයන් වශයෙන් පෙනී සිටින මේ අලුත් ජේත්තුකාරයන්, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ මන්ද යන්නවත් දන්නේද? ඒ, එදා වාමාංශික නායකයන් නිවැරදිව පෙන්වා දී තිබූ පරිදි, විප්ලවයක ‘වින්නඹුව’ වීමට නොව, වාර්ගික සංහාරයක වින්නඹුව වීමට ය. ඒ මගින් මුළු රටම සිවිල් යුද්ධයකට ඇද දැමුණි. ඒ අමනෝඥ යුද්ධයේ ප්‍රතිවිපාක වශයෙන් ඇති වූ ආර්ථික සහ මානව සම්පත් විනාශයෙන් ගොඩ ඒමට තවමත් අපට හැකි වී නැත. කලින් පැවති වෙස්ට්මින්ස්ටර් පාලන මාදිලියේ ජේ. ආර්. ජයවර්ධන විශේෂයෙන් අප්‍රිය කළ කාරණා දෙකක් තිබුණි. පළමුවැන්න වුණේ, ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය වැනි ව්‍යාපාර පාර්ලිමේන්තුව තුළ අභ්‍යාස කරමින් සිටි අවහිරකාරී දේශපාලනික බලයයි. එම පක්ෂ සහ ව්‍යාපාර ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුව තුළ එක්තරා තුලනයක් පවත්වා ගැනීමට එදා උපකාරී විය. එය ජේ. ආර්. ජයවර්ධනගේ සතුටට හේතු නොවීය. දෙවැන්න වුණේ, මහාචාර්ය ඒ. ජේ. විල්සන් කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී තිබූ පරිදි, ලංකාවේ මැතිවරණ ආසන 32 ක පමණ මුස්ලිම් ප්‍රජාව සතුව පැවති ඡන්ද බලයයි.

මුස්ලිම් ප්‍රජාව බෙලහීන කිරීම

ජේ. ආර්. ට අවශ්‍ය කෙළේ, විධායක ජනාධිපති ක්‍රමය හරහා වාමාංශිකයන්ගේ බලපෑමෙන් සහ පාර්ලිමේන්තුවේ පැවති සිහිවිපරමෙන් නිදහස් වීමටත්, සමානුපාතික ඡන්ද ක්‍රමය හරහා මැතිවරණමය වශයෙන් මුස්ලිම් ප්‍රජාව බෙලහීන කිරීමටත් ය. අලුත් විධායක ජනාධිපති ක්‍රමය යටතේ තමාට ලැබී ඇති අසහාය බලය ගැන ජේ. ආර්. ජයවර්ධන මොන තරම් හිස උදුම්මාගෙන සිටියේද යත්, වරක් ඊශ්‍රායල් තානාපති කාර්යාලයක් ලංකාවේ විවෘත කිරීමට තීරණය කළ අවස්ථාවේ නැගුණු මුස්ලිම් විරෝධය තුළ, ඔහු තමාගේ පක්ෂයේ සිටි මුස්ලිම් මැති ඇමතිවරුන්ට අවශ්‍ය නම් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වන්නැයි කීය.

ජේ. ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාව හඳුන්වා දුන් සැණින් බහුතර සිංහල ප්‍රජාව සහ දෙමළ ප්‍රජාව අතර සිටි ප්‍රගතිශීලී බලවේග එම ව්‍යවස්ථාව ඉරා දැමීමට පියවර ගනිමිස් සිටි අවස්ථාවේ මුස්ලිම් නායකයන් ඒ බලවේගයට එකතු වෙනවා වෙනුවට කෙළේ අෂ්රොෆ්ගේ නායකත්වය යටතේ සියදිවි නසා ගැනීමේ මාර්ගයකට ප්‍රවිෂ්ඨව තමන්ගේම වන වාර්ගික පක්ෂයක් ගොඩනගා ගැනීමයි.

එහි ඛේදජනක ප්‍රතිඵලයක් වශයෙන්, එක පැත්තකින් මුස්ලිම් සහ දෙමළ ප්‍රජාව අතරේ වාර්ගික අසමගිය වර්ධනය වීමත්. අනිත් පැත්තෙන් මුස්ලිම් සහ සිංහල ප්‍රජාව අතරේ වාර්ගික විරසක උග්‍ර වීමත් පිළිබඳ කතාව දැන් කවුරුත් දනිති. එසේම 2009-2015 අතර කාලයේ මහින්ද රාජපක්ෂගේ විධායක ජනාධිපති පාලනය මොන තරම් දූෂිත, ඥාතිසංග්‍රහකාරී, ඒකාධිපති ස්වභාවයක් ගත්තේද යන්න විශේෂයෙනුත්, සිරිසේනගේ පාලන කාලය තුළ එය මොන තරම් ආර්ථික වශයෙන් විනාශකාරී සහ දේශපාලනිකව විපරීතකාරී වූයේ ද යන්න පොදුවේත් අප කවුරුත් දන්නා කාරණයකි. එම ක්‍රමය මුළුමණින් අහෝසි කර දැමීමට ඒ අත්දැකීම් සමුදායම ප්‍රමාණවත් වන්නේය.

මොවුන්  අවස්ථාවදී වුයේ ඇයි?

අවසානයේ, ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන්, දෙමළ ජාතික සන්ධානයේ සහ වෙනත් ප්‍රගතිශීලී කොටස්වල සහයෝගයෙන්, මේ ක්‍රමය අහෝසි කර දැමීමේ ප්‍රයත්නය මේ වන විට යළිත් ආරම්භ කොට තිබේ. එය, මුස්ලිම් ප්‍රජාවට පමණක් නොව, කඳුරට දෙමළ ප්‍රජාවට පවා සහනයට කාරණයක් විය යුතුය. ඒ ආයාසයට සහාය දක්වමියි කලින් කියා සිටි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයත්, සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයත් දැන් කරණමක් ගසා ඇත. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ පවා දැන් ඊට එක්ව සිටී.

මොවුන් එසේ අවස්ථාවදී වුයේ ඇයි? පැහැදිලිවම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් හරහා ඊළඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වශයෙන් තමන්ට ඉදිරිපත් වීමට හැකියාවක් ඇතැයි ගණන් බලා සිටින මෛත්‍රීපාල සිරිසේන, මේ නායකයන්ට ඉතා ආකර්ශණීය දේවල් පොරොන්දු වී ඇතිවාට සැක නැත.

ඒකාබද්ධ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේනව පැත්තකට වීසි කොට ගෝඨාභය රාජපක්ෂ කොඩිය අතට ගෙන අලුත් ජනාධිපති වශයෙන් වැඩ පටන් ගත් දාට මේ අවස්ථාවාදී නායකයන්ට තරු පෙනෙනු ඇත. එහිදී පවා ගෝඨාභය රාජපක්ෂගේ දෙපා මුල වැඳ වැටී තමන්ගේ තනතුරු සහ වරදාන ඉල්ලා සිටීමට මේ නායකයන් පසුබට නොවන බවට මට ඉඳුරා කිව හැකිය. තම පුද්ගල ලාභ ප්‍රයෝජන තකා තමන්ගේ සමස්ත ප්‍රජාව ඔවුන් මෙසේ උකසට තබන්නේ ඇයි?

මුස්ලිම් දේශපාලනය මොන තරම් පිංගුත්තර වී ඇත්ද යන්න එයින් පෙන්නුම් කෙරේ. එක් මන්ත්‍රීවරයෙකු හැරුණු කොට, මේ පක්ෂ දෙකෙන් අද පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්, තමන්ගේ ජනවරම අරගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂය හරහා ය. තමන්ගේම වන පක්ෂ ලාංඡන යටතේ තරග කෙළේ නම් තමන්ගේ ප්‍රජාව අතින්ම තමන් අතුගෑවී යන බව ඒ නායකයෝ එදා දැන සිටියෝය. ඇමතිවරුන් වශයෙන් මොවුන් ද, ඔවුන්ගේ පවුල් සහ හෙංචයියන් ද, ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සෞභාග්‍යමත්ව ඇතත්, මුස්ලිම් ප්‍රජාවගෙන් බහුතරය දරිද්‍රතාව, විරැකියාව සහ නිවාස නැති කමින් අන්ත දුක්ඛිත තත්වයක සිටිති. සාමාන්‍ය මුස්ලිම් ජනතාවගේ තත්වය එසේ තිබියදී, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහ සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ ගාමකත්වය වන්නේ ධන තෘෂ්ණාව සහ ඥාති සංග්‍රහයයි.

මීට ඉහත පරම්පරාවේ මුස්ලිම් දේශපාලනික නායකයන් ද පක්ෂ සන්ධාන සම්බන්ධයෙන් අවස්ථාවාදීව කටයුතු කොට ඇතත්, අඩු වශයෙන් ඔවුන් තමන්ගේ ප්‍රජාවට සහන ලබා ගැනීම සඳහා එසේ කොට ඇති බව පෙනේ. අද සිටින මුස්ලිම් දේශපාලඥයන් මෙන් අන්ත දූෂිතව කටයුතු කොට ඇත්තේ එදා සිටි දේශපාලඥයන්ගෙන් ඉතා අතලොස්සක් පමණි.

දිනා දුන් දෙයක් තිබේද?

වර්තමාන නායකයන්ට, මුස්ලිම් ප්‍රජාවගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා තමන් දිනා දුන්නේ යැයි කිව හැකි දෙයක් තිබේද? මේ වන විට ඒ ජනතාව සම්බන්ධයෙන් ලැබී ඇති යම් සහනයක් වෙයි නම්, ඒ, මේ මුස්ලිම් නායකයන් නිසා නොව, ඔවුන්ගෙන් පිටස්තර හේතු නිසා ය. මේ තත්වය යටතේ මුස්ලිම් ජනතාව නියෝජනය කිරීම, දේශප්‍රේමී, දයාවන්ත, බුද්ධිමත් සිංහල හෝ දෙමළ නායකත්වයක් අතට පත්කිරීම, ප්‍රතිපත්තියක් නැති, ස්වයං-අභිවෘද්ධියම සොයන මේ මුස්ලිම් නායකත්වයට වඩා යහපත් වනු ඇත. දේශප්‍රේමී, දුරදක්නා නුවණින් යුත්, අලුත් මුස්ලිම් නායකත්ව පරම්පරාවක් ගැන සිතීමට මුස්ලිම් ප්‍රජාවට කාලයයි, මේ.

(2019 මාර්තු 23 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ Historic Betrayal of SLMC & ACMC නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)

Back to Top