Sri Lanka Brief
පුවත්විවරණශ්‍රී ලංකාවේ චින්තන පර්ෂදයක් වැඩෙන සමාජ අසමානතාව පිලිබඳ අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ චින්තන පර්ෂදයක් වැඩෙන සමාජ අසමානතාව පිලිබඳ අනතුරු අඟවයි

by

දිල්රුවන් විතානගේ විසිනි.

ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය “ශ්‍රී ලංකාව: 2018 ආර්ථික තත්වය” මැයින් මෑත දී නිකුත් කල නවතම වාර්ෂික වාර්තාවට අනුව ගත වූ වසර 25 තුල ශ්‍රී ලංකාවේ ආදායම් විෂමතාව රට පුරාම අඛන්ඩව හා පෘතුල වෙමින් පවතින ගැටලුවක් බව අනාවරනය කරයි.

රජයේ සහ ජාත්‍යන්තර එන්ජීඕ සංවිධාන වල මූල්‍යාධාර ලබන මෙම චින්තන පර්ෂදය “ශ්‍රී ලංකාවේ දිගින් දිගටම පවත්නා ආදායම් විශමතාව ප්‍රතිපත්ති සකස් කරන්නන්ගේ හදිසි අවධානයට ලක් විය යුතු ප්‍රධාන ප්‍රශ්නයක්” බව තැතිගැන්මෙන් යුතුව සටහන් කරයි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛාලේඛන මත පදනම් වන වාර්තා ගෘහස්ථ ආදායම් වියදම් පිලිබඳ 1990-91 වසරේ දත්ත 2016 සමීක්ෂනයක් සමග සංසන්දනය කරයි. ශ්‍රී ලංකාවේ නිල සමීක්ෂන වාර්තා දිලිඳුකමේ ගැඹුර පිලිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමෙහිලා අතිශය සීමා සහිත නමුදු වාර්තාව යම් මානයන් සම්පාදනය කරයි.

මුලු ජනගහනයෙන් සියයට 26.1ක් 1990-91 වසරේ ආදායම් දරිද්‍රතාවයෙන් පෙලුනු අතර එම ප්‍රතිශතය 2016 දී සියයට 4.1ක් දක්වා පහත බැස තිබීම “සැලකිය යුතු ජයග්‍රහනයක් ” ලෙස වාර්තාව හුවා දක්වයි.

එසේ වුවද ශ්‍රී ලංකාවේ නිල දරිද්‍රතා රේඛාව වනාහි, ඒක පුද්ගල දෛනික ආදයම ඇමරිකානු ඩොලර් 1.90 ක්, එනම් රුපියල් 290ක් තරම් ඉතා සොච්චම් අගයකි. ලෝක බැංකුව 2016 වසර සඳහා ගෝලීය දරිද්‍රතා රේඛාව ලෙස සලකන ලද්දේ ඒක පුද්ගල දෛනික ආදායම ඇ. ඩොලර් 3.20ක් වන අතර එය ලංකාවේ නිල දරිද්‍රතා රේඛාවට වඩා දෙගුනයකට ආසන්නය.

දරිද්‍රතාවයේ ආංශික සංයුතිය ට අනුව ග්‍රාමීය සහ වතු අංශයේ ජනගහනයෙන් පිලිවෙලින් සියයට 4.3ක් සහ 8.8ක් දරිද්‍රතාවයෙන් පෙලෙන බවත් නාගරික අංශයේ දරිද්‍රතාව සියයට 1.9ක් බවත් වාර්තාව පෙන්වා දෙයි. වෙනත් වචන වලින් කිවහොත්, ජනගහනයේ වඩාත්ම දිලිඳු ජන කොට්ඨාසය වන්නේ පසුගිය වසර අග සිට රුපියල් 500ක් වන දෛනික මූලික වැටුප සියයට 100 කින් ඉහල නංවන ලෙස ඉල්ලා අරගලයේ යෙදී සිටින තේ සහ අනෙකුත් වතු කම්කරුවන්ය. කෘෂිකාර්මික සහනාධාර කප්පාදුව සහ නය පියවා දැමීමට ප්‍රමානවත් මිලක් සිය ඇස්වැන්නට නොලැබීම හේතුවෙන් ගම්බද ගොවි ජනයා ආන්ඩුවට එරෙහිව නිරන්තරව විරෝධතා උද්ඝෝෂනවල යෙදෙති.

දුප්පත් ජනයා සමග සැසඳීමේ දී සමාජයේ පොහොසත් ම කොටස් පසුගිය වසර 25 තුල සිය ධනය නාටකාකාර ලෙස ඉහල දමාගෙන ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

පහල ම ආදායම් ලාභී සියයට 10 සාමාන්‍ය මාසික කුටුම්බ ආදායම 1990-91 වසරේදී රුපියල් 1,661 හෙවත් ඇමරිකන් ඩොලර් 40 සිට (එවකට විනිමය අනුපාතය ඩොලර් එකක් රුපියල් 46 කි) 2016දී රුපියල් 10,419 ක්, එනම් ඩොලර් 71ක් දක්වා (විනිමය අනුපාතය ඩොලර් එකක් රුපියල් 146 කි) වැඩි වී ඇතත්, ඩොලරය හා සැසඳීමේදී දෙගුනයකට අඩු සුලු වැඩි වීමකි.

මීට ප්‍රතිවිරුද්ධව පොහොසත්ම සියයට 10 සාමාන්‍ය මාසික ආදායම 1990-91 වසරේ රුපියල් 12,963 ක් හෙවත් ඇ. ඩොලර් 316 සිට 2016දී රුපියල් 162,460ක් හෙවත් ඩොලර් 1,144 දක්වා ඩොලරය සමඟ සැසඳීමේදී තෙගුනයකට වැඩි ප්‍රමානයකින් ඉහල ගොස් ඇත. ඉහල ම සියයට 1 සහ 0.1 සඳහා ආදායමේ වර්ධනය මීටත් වඩා ඉතා ඉහල අගයක් ගන්නා බවට කිසිදු සැකයක් නැත.

පොහොසත්ම සියයට 10 හෙවත් ඉහල දශමය මුලු කුටුම්බ වලින් සියයට 70 ක් ඉපයූ මුලු අදායමට සමාන ආදායමක් 2016දී ඉපයී ය. පහලම සියයට දශමය ඉපයූ ආදායම සමස්ත කුටුම්බ ආදායමෙන් යන්තම් සියට 1.6 කි.

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි දරිද්‍රතාවය දැඩි ලෙස බලපාන බව ‘ශ්‍රී ලංකාව : 2018 වසරේ ආර්ථිකයේ තත්ත්වය’ වාර්තාව පෙන්නුම් කරයි. කුටුම්බ ආදායම සහ වියදම පිලිබඳ 2012-13 දත්ත වලට අනුව දිලිඳු යැයි සැලකෙන පවුල් වල වයස අවුරුදු 15-16 දරුවන්ගෙන් සියයට 23.8ක් ද, 17-18 වයස් වල කාන්ඩයේ දරුවන්ගෙන් සියයට 64.7ක් ද මූල්‍ය අගහිඟකම් හේතුවෙන් විධිමත් අධ්‍යාපනය සම්පූර්න කිරීමට නොහැකි වෙයි.

දරිද්‍රතාව පහත හෙලීම සහ ජීවන තත්වයන් ඉහල නංවන බවට අනුප්‍රාප්තික ආන්ඩු විසින් ප්‍රකාශ කරන ලද සමෘද්ධි දීමනාව සහ අනෙකුත් සීමිත සමාජ සුභසාධන පියවරයන්ගේ අසමත්කම මෙම සංඛ්‍යා ලේඛන මගින් පෙන්නුම්කරන බව වාර්තාව සඳහන් කරයි.

මහජන අතෘප්තිය පුලුල්ව පැතිර යන තතු තුල එක්සත් ජාතික පක්ෂය නායකත්වය දෙන ආන්ඩුවේ නව අයවැය මගින් සීමිත පියවරක් ලෙස සමෘද්ධි සහනාධාරය ලබන සංබ්‍යාව 600,000 න් වැඩි කරන ලදී. මසකට රුපියල් 1500 සිට 3500 දක්වා විවිධ ගනන් වල ගෙවීම් ලබන සමෘද්ධි ලාභීන් මිලියන 3.5ක් දැනට සිටිති.

උතුරු සහ නැගෙනහිර පලාත් වල බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව වසර 30ක ලේ වැකි යුද්ධය මගින් ඇති කරන ලද විනාශකාරී බලපෑම ගැන ප්‍රතිපත්ති අධ්‍යයන වාර්තාව ඉඟියක් සපයයි. දිස්ත්‍රික්ක 25 අතරින් “දුප්පත්ම කොටස” ලෙස සැලකෙන එනම් -මාසික ආදායම රුපියල් 30,000 හෝ ඊට අඩුවෙන්- උපයන්නන්ගේ සංඛ්‍යාව, මුලු ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස ඉහලම අගයක් අත්පත් කරගෙන ඇත්තේ උතුරේ මුලතිව් හා කිලිනොච්චි සහ නැගෙනහිර මඩකලපුව දිස්ත්‍රික්කයයි. මුලතිව් දිස්ත්‍රික්කයේ සියයට 71 සිටින අතර කිලිනොච්චිය හා සහ මඩකලපුව දිස්ත්‍රික්කවල එම සංඛ්‍යාව පිලිවෙලින් සියයට 66.2 ක් සහ 65 කි.

ශ්‍රී ලංකාවේ පවුල් වලින් සියයට 50ක් 2016 වසරේදී ඉපයුවේ රුපියල් 39,855 ට අඩු ආදායමකි. පවුල් කුටුම්බයක සාමාන්‍ය සාමාජික සංඛ්‍යාව 3.8 වන බැවින් එම ප්‍රමානයේ පවුලක යැපීම සඳහා මෙම ආදායම ප්‍රමානවත් නොවේ. කොලඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන භාන්ඩ හා සේවා වල සාමාන්‍ය මිල මට්ටම 1990-91 සිට 2016 දක්වා කාලය තුල ආසන්න වශයෙන් සය ගුනයකින් පමන ඉහල ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ සමාජ අසමානතාව ගෝලීයව වර්ධනය වන අසමානතාවයේ ප්‍රකාශනයකි. ලෝකයේ බිලියන පතියන්ගේ ධනය 2018 වසරෙ දී ඩොලර් බිලියන 900 න් හෙවත් සියයට 12කින් ඉහල ගිය අතර ජනගහනයෙන් හරි අඩක්, එනම් බිලියන 3.8ක ජනයාගේ ධනය සියයට 11කින් පහත වැටුන බව එක්සත් රාජධානියේ පාදක වූ ඔක්ස්ෆෑම් ඉන්ටර්නැෂනල් සංවිධානය හෙලිදරව් කලේ ය.

ජනවාරි 22 දින ලෝක සමාජවාදී වෙබ් අඩවිය තම ඉදිරිදර්ශනයෙහි මෙසේ ලිවීය. “2008 ගෝලීය මූල්‍ය අර්බුදය විදාරනය වීමේ සිට ගෙවුනු දශකය තුල ආන්ඩු සහ මූල්‍ය අධිකාරීන්, එහි සම්පූර්න බලපෑම, එහි ප්‍රතිපලයන්ගෙන් සමහරක් ලෙස නම් කල හැකි, එක තැන පල්වන අඩු වැටුප් සහ සෞඛ්‍ය සහ අනෙකුත් සමාජ සේවාවන් විනාශකර දමා ඇති කප්පාදු වැඩ පිලිවෙලවල්, ස්වරූපයෙන් ලෝක කම්කරු පන්තියේ කර මත පටවා ඇත.”

මෙම න්‍යාය පත්‍රයට අනුව ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මත බදු පනවමින්, රාජ්‍ය ආයතන පෞද්ගලීකරනය, වැටුප් කැටිකිරීම සහ සේවා කප්පාදුව කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීය.

එමෙන් ම, මහාපරිමාන සමාගම් සහ ආයෝජකයන්ට ලාභ තර කර ගැනීම සඳහා බදු කපා හැරීම් ඇතුලු විවිධාකාරයේ සහන පැකේජ පිරිනමා ඇත. කොලඹ පාලක පන්තිය සමාගම් බදු අනුපාතය 2012දී සියයට 35 සිට 28 දක්වා පහත හෙලීය. 2010 ට පෙර සියයට 35ක් වූ උපරිම ඒක පුද්ගල බදු අනුපාතිකය 2011දී සියයට 24ක් දක්වා පහත හෙලූ අතර, පසුගිය වසර වන විට සියයට 16ක් දක්වා කපා හැර ඇත.

“දිගු කාලයක් පුරා පවත්නා ආදායම් විෂමතාවයේ මූලයන් වටහා ගැනීම සඳහා ගැඹුරු විශ්ලේෂනයක් අවශ්‍යයි” යනුවෙන් අවසාන පරිච්ඡේදයේදී ශ්‍රී ලංකාව: 2018 වසර සඳහා ආර්ථිකයේ තත්ත්වය වාර්තාවේ කතු වරුන් විලාප නගයි. “දිගු කලක් පවත්නා අසමානතාවයේ” මූලය සැඟැවුනු රහසක් නොවේ. එය වනාහි රජය සහ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය වැනි චින්තන පර්ෂදයන් විසින් ආරක්ෂා කරනු ලබන ධනවාදය සහ ලාභය සඳහා තල්ලුව සපයන පද්ධතියේ අනිවාර්ය නිෂ්පාදිතයකි.

WSW

Back to Top