Sri Lanka Brief
පුවත්ජිනීවා ඉල්ලන් කෑමක්ද? – සුලෝචනා රාජපක්ෂ

ජිනීවා ඉල්ලන් කෑමක්ද? – සුලෝචනා රාජපක්ෂ

by

ජායාරූපය: ජාතිවාදය මගින් ජනයා ඇවිස්සිය හැකිය නමුත් සත්‍ය යටපත් නොවේ. (c) සුනන්ද දේශප්‍රිය.

ජිනීවා කියූ සැනින් බොහෝ දෙනෙක් අදහස් කරනුයේ එය විදේශ බලපෑම් ශ්‍රී ලංකාවට එල්ල වීමක් ලෙසයි. ජිනීවා උණුසුම ලංකාව පුරා පැතිර යන සෙයක් පෙනේ. ඒත් එක්කම ජිනීවා පිළිබඳ කනින් කොනින් අසන්න ලැබෙන කතා බොහොමයි. “ජිනීවා යෝජනා පිළිගැනීම ඔස්සේ, රණවිරු දඩයමක් ක්‍රියාත්මක වේ” යන්න මේ අතර ප්‍රධානයි. මෙය විදේශ කුමන්ත්‍රණ ලෙස ඇතැම් දේශපාලනඥයන් හඳුන්වයි. මෙහි සත්‍ය අසත්‍ය තාව විමසා බැලීම ශ්‍රී ලංකියකයන් ලෙස අප සැමගේ වගකීමයි.

2015 ඔක්තම්බර් 01 වන දින ශ්‍රී ලංකා යහපාලන රජය මඟින් 30 වන මානව හිමිකම් කවුන්සිලයේදී ජිනීවා යෝජනා සඳහා ස්ව කැමැත්තෙන් සමඅනුග්‍රාහකත්වය දක්වා පිළිගන්නා ලදී. එතුළින් ශ්‍රී ලංකා රජය එම යෝජනා පිළිගනිමින් ලංකාව තුළ මානව හිමිකම්, සංහිඳියාව සහ වගකීම ගැනීම සඳහා කැපවෙන ලදී. එය ලංකාවේ පශ්චාත් යුධ සමය තුළ දැවෙමින් පැවති ගැටලුවකි. මෙතුළ රජය කාල රාමුවක් තුළ ක්‍රියාත්මක වුවත් රට තුළ පැවති තත්වය සහ දේශපාලන වතාවරණය හේතුවෙන්, 2019 මාර්තු මාසයේදී මේ සඳහා කාල දිගුවක් ලබා ගන්නා ලදී.

සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයන් ප්‍රකාශ කරණුයේ අනෙකුත් රටවල ඔවුන්ගේ අත්දැකීම් වලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ ප්‍රගතිය ප්‍රශංසනීය වන බවයි. ඉහළ පෙළේ අනුසැසිය තුළදී ශ්‍රී ලංකාව ගැන සඳහනක් කළේ බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපදය පමණි. බ්‍රිතාන්‍යය මෙසේ පැවසීය: “අපි කවුන්සිලය සමඟ ශ්‍රී ලංකාවේ විදේශ ඇමැතිවරයාගේ සාධනීය ගනුදෙනුව සතුටින් පිළිගනිමු. මානව හිමිකම් කවුන්සිලයේ 2015 ඔක්තෝම්බර් යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකාවේ පශ්චාත් ගැටුම් ස්ථාවරභාවය, සහජීවනය සහ යුක්තිය ඇති කරනු පිණිස කවුන්සිලය ශ්‍රී ලංකාවට කාලය දිය යුතුය.”

ජිනීවා මුවාවෙන් රණවිරු දඩයමක් ක්‍රියාත්මක  වේද?

යුද්ධ කිරීම මානව හිමිකම් කඩකිරීමක්ද? නැත, රජයක් සාධාරණ හේතු මත යුද්ධයකට යාම කිසිසේත්ම මානව හිමිකම් කඩකිරීමක් නොව. එසේ නම් යුද්ධ කිරීම හේතු කොට ගෙන මානව හිමිකම් කඩකළා යැයි පවසා ලංකාවේ ත්‍රිවිධ හමුදාවට චෝදනා එල්ල වී නොමැත. එසේ නම් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව දඬුවම් කිරීම හේතු රහිතව සිදු කළ නොහැක. නමුත් ඇතැමුන්ට මෙය ඉතාම හොඳින් මාර්කට් කල හැකි මිත්‍යාවකි.

එසේ නම් මෙම චෝදනාව තුළ ඇති සැබෑ තත්වය කුමක්ද? යුධ නීති සහ සාරධර්ම කඩ වීමයි. එයට ත්‍රිවිධ හමුදාවම වග කිවිය යුතු ද? නැත. එසේ යුධ සාරධර්ම කඩ කළ ඇතැම් නිලධාරීන් පමණක් මෙහිදී අරමුණු කෙරේ. එසේ නම් යුධ නීති සහ සාරධර්ම යනු මොනවාද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම වැදගත්ය.

යුධ අපරාධ මොනවාද?

යුධ අපරාධයක් කියන්නෙ යම්කිසි හමුදාවක් විසින් ජාත්‍යන්තර යුධ සහ මානුෂවාදී නීතියට පටහැනිව යමින් තමන්ගේ සතුරු හමුදාවට හෝ සාමාන්‍ය වැසියන්ට කරනු ලබන අපරාධ වලටයි. මිලිටරිමය අවශ්‍යතාවයක් හැටියට සාධාරණීකරනය නොවෙන මනුෂ්‍ය ඝාතන, බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම, තහනම් අවි භාවිතය, සිරකරුවන්ට වදහිංසා පැමිණවීම, ප්‍රාණ ඇපකරුවන් හැටියට තබාගැනීම, පිටුවහල් කිරීම සහ වහල් සේවයට යොදාගැනීම, ලිංගික හිරිහැර වලට පාත්‍ර කිරීම වගේ තවත් දේවල් බොහොමයක් යුධ අපරාධ ගණයට වැටෙනවා. තවද සතුරාගේ නිල ඇඳුම ඇඳගෙන පහරදීම, ළමා සොල්දාදුවන් යොදා ගැනීම, සුදු කොඩි රැගෙන එන විරුද්ධ පාක්ෂිකයන් හට ප්‍රහාර එල්ල කිරීම මෙන්ම පහරදෙන මුවාවෙන් සුදු කොඩි රැගෙන ඒම සහ විරුද්ධ පාක්ෂිකයන්ගේ මළ සිරුරු වලට නිසි ගෞරව නොදැක්වීම යනාදිය යුධ ආචාර ධර්මකඩ කිරීම් ලෙස සලකයි.

මිනිස්සු මරාගෙන, ගම්බිම් ගිනි තියාගෙන, ස්ත්‍රීන් දූෂණය කරගෙන…” ඉස්සර කාලෙ යුද්ද සහ ආක්‍රමණ ගැන දැනුවත් වීමේදී මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් ගැන තොරතුරු බහුලව දැක ගත හැක. වර්තමානයේ යුධ අපරාධ ලෙස සැලකෙන බොහොමයක් අපරාධ ක්‍රියාවන් ඈත අතීතයේදි යුද්ධයකදී සාමාන්‍යයෙන් සිදු වන සිද්ධීන් ලෙසයි ගණන් ගැනුණේ. එතරම් දුරකට යා යුතු නැත, අතීතයේදි විතරක් නෙමෙයි පළවැනි සහ දෙවැනි ලෝක යුද්ධ කාලවලදිත් මේ වගේ අපරාධ බහුලව සිදුව ඇත. මේ 21 වන ශතවර්ෂයයි. මනුෂ්‍ය ජිවිත වල වටිනාකම එදාට වඩා අද විශේෂත්වයකින් සලකනු ලබයි. ඒ සම්බන්ධව සියලු රටවල් සම්මුතියක සිටි.

1864 සිට පවත්වපු ජිනීවා සමුළු, 1899 සහ 1907 දී පවත්වපු හේග් සාම සමුළු, දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සෙ පවත්වපු නියුරම්බර්ග් නඩු විභාග ආදිය ඇසුරින් සකස් කරන ලද නීති මාලාවන් ඇසුරින් තමයි වර්තමාන නීති යුධ අපරාධ නීති සකස්වීමට පසුබිම සැලසෙන්නේ.

යුධ අපරාධ ලංකාව තුළ යුද්ධයේදී පමණක් නොව, අනෙකුත් රට වල සිදු වූ යුධ මය අවස්ථාවලදීද සිදුව ඇති අතර, මනුෂ්‍යත්වය ගරු කරන සියලු රටවල් ඒ සඳහා ගත යුතු පියවර ගෙන ඇත. මනුෂ්‍යත්වයට එරෙහි බරපතලම අපරාධකරුවෙකු වූ, ආර්ජන්ටිනාවේ හිටපු හමුදා ඒකාධිපති, 87 වියැති ජෝර්ජ් රෆායෙල් විදෙලා ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් විඳිමින් සිටිය දී 2013 වසරේ ජීවිතක්ෂයට පත්විය. එමෙනම්, 2013 වර්ෂයේ ගෝතමාලාවේ ආදිවාසී ජනතාව සමූහ වශයෙන් ඝාතනය කිරීමේ වරදට, එරට හිටපු රාජ්‍ය නායක, 86 වියැති එෆ්රේන් රියෝස් මොන්ට් වැරදිකරුවෙකු කරනු ලැබුණි. හිටපු රාජ්‍ය නායකයෙකු, ජන සංහාරයක් සම්බන්ධයෙන් ඔහුගේ රටේම ජාතික අධිකරණයක් ඉදිරියට පත්කළ ලෝකයේ පළමු අවස්ථාව එයයි. බොහොමයක් රටවල් ජාත්‍යන්තරය තුළින් ප්‍රශ්ණ කිරීමට පෙරම එම යුධ අපරාධ සිදු කළ වූන් සඳහා අවැසි පියවර ගෙන ඇති අයුරු ඉතිහාසය පිරික්සීමේ දී දැක ගත හැක.

කිසිම අවස්ථාවක ලෝක ඉතිහාසය තුළ එක් නිලධාරියෙක් කල වරදකට සියළු හමුදා නිලධාරීන් හට දඬුවම් ලබා දී නොමැත. එසේ නම් මෙය මිත්‍යාවක් බවත්, මවාපාන අයුරින් රණවිරු දඩයමක් නොවෙන බවත් ඉතා පැහැදිළිය.

දේශීය යාන්ත්‍රණයක්‌ යටතේ කටයුතු කරමින් ශ්‍රී ලංකාව තුළ සංක්‍රාන්තික යුක්තිය ක්‍රියාත්මක කිරීමට අවස්‌ථාව උදාවීම ගැන ශ්‍රී ලාංකිකයන් ලෙස අප සතුටට පත්විය යුතු අතර මෙය අප රටට නිදහසේ ලෝකය සමඟ කටයුතු කිරීමට අවස්ථාව සලසාවි.

Back to Top