Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගජිනීවා අවසන්: මෙතැනින් කොතැනට ද? – සුනන්ද දේශප්‍රිය

ජිනීවා අවසන්: මෙතැනින් කොතැනට ද? – සුනන්ද දේශප්‍රිය

by

ජායාරූපය: වසන්තය අපේක්ෂාවෙන් හිරු රැසින් නැහැවෙන ජිනීවා විල  © s.deshapriya

ශ්‍රී ලංකාවේ අනපේක්ෂිත දේශපාලන උච්චාවචනයන් විසින් දෝලනය කරන ලද නමුත් ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්චා සැසිවාරය සාර්ථක අවසානයක් කරා ළගා වූ අතර ශ්‍රී ලංකා යෝජනාවද ජන්ද විමසීමකින් තොරව සම්මත විය.

ශ්‍රී ලංකාව පිළිබඳ කෙටුම්පත් යෝජනාවට කිසිදු සංසෝධනයක් ඉදිරිපත් වූයේ නැත. 20වන බදාදාා කවුන්සිලය ඇමැතූ විදේශ ඇමැති තිලක් මාරපන ද එකී යෝජනාවට එරෙහිව කිසිදු ප්‍රකාශයක් කළේ නැත. ජනාධිපති සිරිසේන විසින් මානව හිමිකම් කවුන්සලය හමුවෙහි සිය මතය ප්‍රකාශ කිරීමට යැයි එවන ලද පා.. සරත් අමුණුගම, උතුරු ආණ්ඩුකාර සුරේන් රාඝවන් සහ විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ කළේ ඇමැති මාරපන ළගින් වාඩිවී සිටීම පමණි.

යෝජනාව සාකච්ජාවට ගත් 21 වන දින පළමුවෙන් බිත්‍රන්‍යය යෝජනාව ඉදිරිපත් කළ අතර ඊට පක්ෂව පේරඅ රාජ්‍යය කතා කළේය. එය කියා සිටියෙ සත්‍ය සහ සංහිදියා කොමිසමක් පිහිටටුවීම ශ්‍රී ලංකාවට ඉතා ප්‍රයෝජනවක් වනු ඇති බවයි. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කරමින් විදේශ ඇමැති තිලක් මාරපන කියා සිටියේ මෙම යෝජනාව ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය ප්‍රකාශ කිරීමක් බවය. එමෙන්ම මේ තාක් සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිගැනීමක් බවය. මහ කොමසාරිස්වරියගේ කාර්යාලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලැබෙව පැමිණිලී ශ්‍රී ලංකා මාවය හිමිකම් කොමිසම හරහා පරික්ෂා කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේ යත ඉන් අනතුරුව යෝජනාව ජන්ද විමසීමකින් තොරව ස්මත විය. එය A/HRC/40/1 යනුවෙන් හැදින්වේ.

මෙම සිකුරාදායින් අවසන් වන මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරය ශ්‍රී ලංකාවට වැදගත් වුයේ හුදෙක් තවත් යෝජනාවක් ලංකාණ්ඩුවේ ද සමදායකත්වයෙන් සම්මත වූ නිසා පමණක් නොවේ. ඊටත් වඩා මෙම සැසිවාරය විසින් ශ්‍රී ලංකාවේ නොවිසදී පවත්නා මානව හිමිකම් ගැටලු සම්බන්ධ අන්තර් ජාතික ප්‍රවණතාවයන් යම් දුරකට තේරුම් ගැනීමට අවස්ථාවක් සළසන ලද නිසා ය.

එම ප්‍රවණතාවයන් කැටි කර දක්වන්නේ නම් මෙසේ ය.

ශ්‍රී ලංකාවෙහි යුද සමයෙහි සිදු වූ බවට කියැවෙන බරපතල මානව හිමිකම් කෙළෙසීම් අමතක කිරීමට අන්තර් ජාතික ප්‍රජාව සූදානම් නැත. ශ්‍රී ලාංකික ඩයස්පෝරා කණ්ඩායම් විසින් ඉල්ලා සිටින පරිදි ශ්‍රී ලංකාව ජත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට ද අන්තර් ජාතික ප්‍රජාව තවමත් සූදානම් නැත. මෙම දේශපාලන මෙහොතෙහි අන්තර් ජාතික ප්‍රජාවෙහි අභිලාශය වන්නේ ශ්‍රී ලංකාණ්ඩුව සමඟ සහයෝගයෙන් යුතුව සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය ඉදිරියට ගෙන යෑමට උත්සාහ දැරීමයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවට තමා විරුද්ධ බව ජනාධිපති සිරිසේන නොකියා කියා සිටියේ ය. එසේ නමුත් යෝජනාව ඉදිරිපත් කළ රටවල් එම ප්‍රකාශය බරපතල ලෙස ගණන් ගත්තේ නැත. ශ්‍රී ලංකා ආණ්ඩුවට මෙම යෝජනාවෙන් බැහැරවීම ඉතා දුෂ්කර බව ඔවුන් මුලසිටම දැන සිටි බව පෙනෙන්නට තිබුණි‍. සිරිසේනටත් වඩා දුර යමින් ප්‍රකාශයක් කළ රාජපක්ෂ ලංකාණ්ඩුව මෙම 40වන සැසිවාරයට ඉදිරිපත්ව ඇති, ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිදියාව සහ වගවීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාවට සහාය නොදිය යුතු බවට දීර්ඝ ප්‍රකාශයක් නිකුත් කළේ ය.

මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයට සහභාගි වූ සාම ගී ගායක ජයතිලක බණ්ඩාර  18වනදා පැවැති සමාන්තර රැස්විමෙහිදි දියාව සහ යුක්තිය උදෙසො ගීතයේ වටිනාකම ගැනත් සිය දරුවන් සොයා යන මව්වරුන් ගැනත් මුදුව අදහස් දැක්වීය. © s.deshapriya

ඔක්තෝම්බර් කුමන්ත්‍රණය හරිගියා නම්

මෙම තත්වය අපට පෙන්නුම් කරන්නේ 2018 ඔක්තෝබර් ව්‍යවස්ථා විරොධී කුමන්ත්‍රණය සාර්ථක වූයේ නම් සිරිසේනරාජපක්ෂ දෙබැයන් විසින් මෙවර මානව හිමිකම් කවුන්සිලයේ දී සම්පුර්නයෙන් ම අදට වඩා වෙනස් ස්ථාවරයක් ගන්නට ඉඩ තිබූ බව යි. එසේ වූයේ නම් මෙට වඩා ප්‍රබල යෝජනාවක් ඉදිරිපත් වන්නට ද බොහෝ දුරට ම ඉඩ තිබූණි. එසේ වුයේ නම් ශ්‍රී ලංකාණ්ඩුවට පරාජයක් අත්කර දෙමින් මානව හිමිකම් කවුන්සිලයේ දී එකී යෝජනාව නිසැකව ම සම්මත වන්නට තිබුණි. එවැනි යෝජනාවකට සමහර විට යම් යම් තහංචි පිළිබඳ ඇගවීම් ද ඇතුළත් වන්නට ඉඩ තිබුණි.

මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද රටවල් පහට අයත් නොවුන ද මුල සිටම ඒ් පිළිබඳව ඉන්දියාව දැනුවත් කරන ලද බව පසුගිය දා දිර්ඝ ලිපියක් මගින් ත්‍යගලාභී ‘ද වයර්’ නම් ඉන්දියානු වෙබ් අඩවිය ප්‍රකාශ කළේ ය. ඉන්දීය ආණ්ඩුවේ ඉහළ පෙළේ මූලාශ්‍රයක් උපුටා දක්වමින් එය කියා සිටියේ යෝජනා කෙටුම්පතෙහි බස මෘදුව තබා ගැනීමට ඉන්දියාව කටයුතු කළ බව යි. තදබල භාෂාවක් යොදා ගැනීමට හෝ බරපතල කොන්දේසි පැනවීමට මෙය අවස්ථාව නොවේ යැයි ඉන්දියාව එකී රටවලට කියා සිටි බව ද එම වාර්තාව දක්වා තිබුණි.

නොසළකා නොසිටින ඉන්දියාව

පසුගිය 20 වන බදාදාා පැවැති ශ්‍රී ලංකාව පිළිබද සාකච්ජා සභාවාරයේ දී ශ්‍රී ලංකාවට ප්‍රසංසා කරමින් අදහස් දැක් වූ ඉන්දියාව කියා සිිටියේ ශ්‍රී ලංකාවෙහි සමීපතම අසල්වැසියා ලෙස එරට සිදුවන වර්ධනයන් තමන්ට නොසළකා සිටිය නොහැකි බව ය. ශ්‍රී ලංකාවෙහි බහුවාර්ගික, බහු ආගමික සහ බහු භාෂාමය ස්වභාවය රැක ගැනීමත් විශේෂයෙන් ම දෙමළ ප්‍රජාව ද ඇතුළුව එරට ජිවත්වන සෑම ජනවර්ගයකට ම, ගුණාත්මක, සමානාත්මතා, යුක්තිය ඉටුවන සහ ගරුත්වය ඇති සමාජයක් ගොඩ නගා ගැනීමටත් තමන් සෑම විටම උදව් කර ඇති බව ද ඉන්දියාව සඳහන් කළේ ය. ශ්‍රී ලංකාව 2009 වසරෙහි සිට මේ වන විට දෙමළ ජනයාගේ ඉඩම් සියයට 75ක් නිදහස් කර ඇති බව සනාත කරන බව කී ඉන්දියාව අන්තර් ජාතික ප්‍රජාව හමුවෙහි දී ඇති එනමුත් මේතාක් ඉටු කර නැති පොරොන්දු ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ද ලංකාණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ය. එම පොරොන්දු අතර වූ 13වන ව්‍යවස්ථා සංසෝධනය සම්පූර්නයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස ඉන්දියාව විශේෂයෙන්ම සහ අවධාරණයෙන් ඉල්ලා සිටියේ ය.

මෙරට දෙමළ ජනයාගේ දේශපාලන අයිතීන් සම්බන්ධයෙන් අදහස් දැක් වූ එකම රට වූයේ ඉන්දියාවය. ඊට ප්‍රතිවිරුද්ධව පකිස්ථානය සිය අදහස් දැක්වීමෙහි දී ත්‍රස්තවාදී සංවිධාන පරාජය කිරීමට හැකිවීම ගැනත් අසල්වැසි රටෙන් දේශසීමා හරහා එවන ලද ත්‍රස්තවාදය පරාජය කිරීමටත් හැකිවීම ගැනත් ශ්‍රී ලංකාවට සුභ පැතුවා ය. අසල්වැසි රට යනුවෙන් හදුන්වන ලද්දේ ඉන්දියාව ය. පකිස්ථානයේ මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාණ්ඩුවේ අනුබලය මත කරන ලද එකක්ද යන්න නොවිසදුණ ගැටයක් සේ ඉතුරුවනු ඇත්තේ ඉන්දියාවද සැක සහිත කරවමිනි. 2015ට පෙර රාජපක්ෂවරුන් විසින් ශ්‍රී ලංකාව පාලනය කළ සමයෙහි මානව හිමිකම් කවුන්සිලයේ දී කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාවට සහාය දැක් වූ රටවල් තුනක් විය. ඒවා නම් කස්ත්‍රෝගේ කියුබාව, හියුගෝ චාවේස්ගේ වෙනිසියුලාව සහ පකිස්ථානය යි. මෙවර එම රටවල් තුන අතරින් අදහස් දක්වන ලද්දේ පකිස්ථානය පමණකි.

චීනය සිය අදහස් දැක්වීම ආර්ථික අභිවෘද්ධියට පමණක් සීමා කරන ලද අතර මානව හිමිකම් යන වචනයවත් කීවේ දැයි සැක සහිත ය. චීනය කියා සිටියේ ශ්‍රී ලංකාවේ ස්ථාවරභාවයට සහ ආර්ථික සමෘද්ධියට එරට සහාය දෙන බව ය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කිසිදු උනන්දුවක් චීනයට නැති බව එම ප්‍රකාශයෙන් පෙනී ගියේ ය‍්‍.

කැනඩාව වෙනුවෙන් අදහස් දක්වන ලද්දේ ශ්‍රී ලංකික සම්භවයක් සහිත දැන් කැනේඩියානු පාර්ලිමේන්තු මංත්‍රීවරයකු වන ගැරී ආන්නදසංගරී ය. ඔහු, කළක් මෙරට ප්‍රබල දෙමළ දේශපාලනඥයකු වූ වී. ආනන්දසංගරිගේ පුතා ය. සැර භාෂාවක් මගින් කැනඩා ආණ්ඩුව වෙනුවෙන් අදහස් දැක් වු ඔහු කියා සිටියේ සැම තලයකදී ම අන්තර් ජාතික සහභාගිත්වය ශ්‍රී ලංකාවේ යුද්ධ වින්දිතයිනට යුක්තිය ලබා ගැනීම සදහා අත්‍යවශය බව යි.

කැනඩාව එළෙස තම රට වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව අදහස් දැක්වීමට, කුඩා කළ සිය රටට සංක්‍රමණය වූ දෙමළ ජාතිකයකුට අවස්ථාව දී තිබූ අතරවාරයේ ම යුද සමයෙහි කිසිදු යුද සෙනවියකු විසින් යුද අපරාධ කර නැතැයි යන ජනාධිපති සිරිසේනගේ මතය රැගෙන තවත් දෙමළ ජාතිකයකු වූ සුරේන් රාඝවන් 40වන සැසි වාරයට පැමිණ සිටීම දෛවයේ සරදමක් බදු විය.

තිලක් මාරපනගේ කතාව

පසුගිය බදාදාා මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බෂලේ සිය වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ රට වෙනුවෙන් කතා කරමින් විදේශ ඇමැති තිලක් මාරපන අදහස් දක්වන ලදී. මාරපන සිය කතාවෙහි දී මහ කොමසාරිස්වරියගේ වාර්තාවෙහි එන එනමුත් ශ්‍රී ලංකාව එකඟ නොවන කරැණු එකින් එක දක්වන ලදී.

ඔහු විසින් දක්වන ලද කරුණු අතරින් ප්‍රධාන වන්නේ විදේශ විනිසුරන් සහිත දෙමුහුම් අධිකරණයකට ශ්‍රී ලංකාව එකග නොවන බවයි. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ නීතියෙන් ඒයට ඉඩක් නැති බව මිස ශ්‍රී ලංකාව ප්‍රතිපත්තියක් ලෙස එවැනි පියවරයන්ට එකඟ නැති බව නොවේ. මන්නාරමේ සමූහ මිනීවල පිළිබදව මහ කොමසාරිස්වරියගේ වාර්තාව දොස් සහිත බවත් කරුණු නිශ්චය වීමට පෙර නිගමනයන්ට පැමිණීම වරදක් බවත් ඔහු ප්‍රකාශ කළේ ය. ඔහු‌ට අනුව ශ්‍රී ලංකාණ්ඩුව දෙමළ ජනයාට අයත් ඉඩම්වලින් සියයට 75ක් නොව සියයට92ක් ම නිදහස් කර තිබේ. ඉතිරි ඉඩම් ජාතික ආරක්ෂාව සඳහා ඉදිරියටත් ආරක්ෂ හමුදා අත තබාගනු ඇතැයි ඔහු කියා සිටියේ ය. යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති නිලධාරින්ට ඉහළ පෙළේ තනතුරු ලබාදීම සාධාරණ කරමින් අදහස් දැක් වූ විදේශ ඇමැති මාරපන කියා සිටියේ ඒ් කිසිවකුට එරෙහිව චෝදනා ඔප්පු වී නැති බැවින් ඒම තනතුරු ලබාදීමේ වරදක් නැති බවයි. එසේ නමුත් අතුරුදහන්වුවවන්ගේ කාර්යාලය විසින් ප්‍රසිද්ධ කරන ලද අතුරු වාර්තාව ද එළෙස චෝදනා ලබා ඇති යුද නිලධාරින් සේවයෙන් ඉවත් කර තැබිය යුතු බවට යෝජනා කර තිබේ.

විදේශ ඇමැති මාරපන ශ්‍රී ලංකාව අන්තර් ජාතික ප්‍රජාව හමුවෙහි දුන් පොරෙන්දු ඉටු නොකිරීම ගැන කිසිදු අදහසක් ප්‍රකාශ කළේ නැත. කිසිදු ස්වයං විවේචනාත්මක ස්වරයක් හෝ ඔහුගේ කතාවෙහි නොතාබුණි. ඔහු කළේ මහ කොමසාරිස්වරියගේ වාර්තාවෙහි වැරදි සහ තමන් එකඟ නොවන දේ දැක්වීම පමණි. ශ්‍රී ලංකාව එකී පොරොන්දු ඉටු කිරිම පිනිස නිශ්චිත කාල රාමු දැක්විය යුතු බව මහ කොමසාරිස්වරියගේ වාර්තාවෙහි සහ කෙටුම්පත් යෝජනාවෙහි එන නිර්දේශය පිළිගත නොහැකි බව ද මහ කොමසාරිස්වරියගේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවිමට අවශ්‍ය නැති බව ද මාරපන කියා සිටියේ ය.

මිෂෙල් බෂලේගේ වාර්තාව

මිෂෙල් බෂලේ සිය ලිඛිත වාර්තාවෙහි සංරාංශයක් පමණක් ඉදිරිපත් කරමින් මූලික අදහස් දෙකක් දැක්වීය. පළමුවැන්න නම් ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමත් සංක්‍රමණීය යුක්ති ක්‍රියාවළිය ඉදිරියට ගෙන යාමෙහි ලා දැනට ලබා ඇති ප්‍රගතියත් ප්‍රසංසාවට ලක් කිරීම ය. අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයට සහ හානිපූර්ණ කාර්යාලයට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සළසන ලෙස තමන් ශ්‍රී ලංකාණ්ඩුව ධෛර්යමත් කරන්නට කැමැති බව කී ඇය එම යාන්ත්‍රණයන් දෙකට සිය වැඩ කටයුතුවලදී යුක්තිය,වගවීම සහ සත්‍ය සෙවීම ද අදාළ කරගනිමින් සමෝධාන ප්‍රවිශ්ඨයකින් කටයුතු කිරීමට ද අවස්ථාව සළසන ලෙස ඉල්ලා සිටියා ය. ඉඩම් ආපසු දීමේ ක්‍රියාදාමය ඉක්මන් අවසානයක් කරා ගෙන යෑම ද ඇයගේ තවත් ඉල්ලීමක් විය.

ඇය ඉදිරිපත් කළ දෙවන අදහස නම් සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමයෙහි හතරවන කුළුන වන යුක්තිය පසිඳලීම හා සම්බන්ධයෙන් ඇති ප්‍රමාදය සහ වගවීමේ ක්‍රියාවළියේ අසමත්භාවය පිළිබදව ය. මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම වඩා ස්ථිරසාර ලෙස සිදුවිය යුතු බව කී බෂලේ රටෙහි ඉහළ ම නායකත්වයෙ හි පොදු දැක්මක් නැතිකම එය සිදු නොවීමට හේතුව ලෙස පෙනෙන්නේ යැයි කියා සිටියා ය.

ඇය තවදුරටත් මෙසේ ද කීවා ය: වැදගත් ප්‍රශ්ණ සම්බන්ධයෙන් ආණ්ඩුවෙහි ඇතිවී තිබෙන ඇණහිටීම තවත් එනමුත් මගහැරිය හැකිව තිබූ කාරණයකි. මෙම ඇණ හිටීම සියළු වාර්ගික කණ්ඩායම්වලට අයත් වින්දිතයින්ට මෙන්ම සමස්ත සමාජයට ද හානිදායක බලපෑමක් ඇති කරයි. සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය කල්ගතවන සංකිර්ණ ක්‍රියාවළියකි. එනමුත් ශ්‍රී ලංකාවට මේ වන විට ඒ සදහා ඇති තරම් කල් ලැබී තිබේ.

2018 මාර්තු මාසයේ දී හදිසි නීතිය පැනවීමත් 2018 ඔක්තෝබරයේ දී ඇතිවූ ව්‍යවස්ථා අර්බූදයත් විසින් ප්‍රතිසංස්කරණ පියවරයන් ක්‍රියාවට නැගීම දුෂ්කර වටපිටාවක් ඇති කළේ ය. එබැවින් දැන් සංක්‍රමණීය යුක්ති ක්‍රියාවළිය සඳහා නිශ්චිත කාල රාමුවක් සහිත පරිපූර්ණ උපාය මාර්ගයක් අවශ්‍ය වී තිබේ. සත්‍ය සහ සංහිදියා කොමිසම පිහිටුවීම ඊළඟ වැදගත් පියවර විය හැකිය. වගවීම සම්බන්ධයෙන් නම් ප්‍රගතියක් ලබා ඇත්තේම නැති තරම් ය.

දුර්විපාක නොලැබීමේ සංස්කෘතිය දිගටම පවත්වාගෙන යෑමෙන් වාර්ගික සහ අන්තර්වාර්ගික ප්‍රචන්ඩත්වයන්ට සහ අස්ථාවරත්වයන්ට මඟ පෑදේ. එවැනි කාරණා විසදීමත් අතීතයෙ හි සිදුවූ අපරාධයන්ට වගකිවයුතු වරදකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමත් සියළු ජනවර්ගයන්ට අයත් වින්දිතයින්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ය‍.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනත් පනතක් මගින් විස්ථාපනය කිරීම ආණ්ඩුවෙහි න්‍යාය පත්‍රයෙහි සිව් වසරක්ම පැවත තිබේ. එම ක්‍රියාවලිය ඉක්මන් කරන සේ ආණ්ඩුව ධෛර්යමත් කරන බව කී බෂලේ කෙටුම්පත් පනත අන්තර් ජාතික යහපත් ආදර්ශ අනුව සංසෝධනය කරන්නැයි ද ඉල්ලා සිටියා ය‍. ආරක්ෂක හමුදා විසින් දිගටම මානව හිමිකම් කෙළෙසීම් කරනු ලබන බවට ඇති චෝදනා සහ විශේෂයෙන් ම ලිංගික වධහිංසා සම්බන්ධයෙන් ඇති චෝදනා මගින් තමා වික්ෂිප්තව ඇතැයි කී ඇය ආණ්ඩුව විසින් එම චෝදනා විවෘතව පරීක්ෂා කරන්නේ නම් එය සාධනීය පියවරක් වනු ඇතැයි ද කීවාය. ශ්‍රී ලංකා ආණ්ඩුව මානව හිමිකම් කවුන්සිලයේ 30/1 සහ 34/1 යෝජනාවන්ට සම දායකත්වය දීම මගින් වගවීම, ගරුත්වය, මානව හිමිකම් සහ නීතියේ පාලනය තහවුරු වූ අනාගතයක් ගොඩ නැගීම පිනිස අතීතය ආමන්ත්‍රණය කළ යුතු යැයි පිළිගෙන ඇති බව ද මහ කොමසාර්සවරිය සිය කතාවෙහි දී අවධාරණය කළා ය.

දීපිකා උඩගමගේ මැදිහත්වීම

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙහි සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම වීඩියෝ තාක්ෂනය මගින් ශ්‍රී ලංකාව පිළිබඳ සැසිවාරයට සම්බන්ධ විය. ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කළ යුතු බවට මහ කොමසාරිස්වරියගේ වාර්තාවෙහි වන සඳහන අගය කළ ඇය මෑතක දී ස්වාධීන කොමිෂන් සභාවන්ට, විශේෂයෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාවට සහ 19වන සංසෝධනයට එල්ල කරන ලද නිෂේධාත්මක ප්‍රහාරයන් ගැනද මානව හිමිකම් කවුන්සිලයට දැනුවත් කළා ය. ඇය අවධාරණයෙන් කියා සිටියේ 19වන ව්‍යවස්ථා සංසෝධනය දුර්වල කරනු වෙනුවට ශක්තිමත් කළ යුතු බවයි. සියළු සංක්‍රමණීය යුක්ති යාන්ත්‍රණයන් ශ්‍රී ලංකාණ්ඩුව විසින් පිහිටුවිය යුතු බව ද ඇය සදහන් කළා ය.

මහ කොමසාරිස්වරියගේ වාර්තාව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන දක්වන පොදු අදහස සමඟ එකඟ වන අතරම දීපිකා උඩගම වැදගත් කරුණක් මතු කළා ය. එනම් එම වාර්තාවෙහි 56වන අංකය යටතේ වන ‘ 2016 -2018 අතර කාලයෙහි ශ්‍රී ලංකාවේ යුද හමුදා විසින් පැහැර ගැනීම්, නීතී විරෝධී රඳවා තැබීම්, වධහිංසා පැමිණවීම් සහ ලිංගික අපයෝජනයන් කරන ලද බවට පිළිගත හැකි පැමිණිළි මහ කොමසාරිස්වරියගේ කාර්යාලයට ලැබී ඇත’ යන ප්‍රකාශය ගැන ය. ඇය කියා සිටියේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට එවැනි පැමිණිළි කිසිවක් ලැබී නැති බවයි. එබැවින් මෙම පැමිණීළි පරීක්ෂා කිරීම පිනිස ඒවා තම කාර්යාලයට ලබා දෙන්නැයි දීපිකා උඩගම, මිෂෙල් බෂලේගෙන් ඉල්ලා සිටියා ය.

ඇයගේ මෙම ප්‍රකාශය වහාම යම් යම් ශ්‍රී ලාංකික ඩයස්පෝරා කණ්ඩායම් විසින් හෙළා දකින ලදී. ඔවුන් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ කිසිම ආයතනයක් තමන්ට විශ්වාස නැති බවයි. එසේ නම් ඔවුන් විශ්වාස කරන්නේ කවරෙක්ද? පෙනෙන අන්දමට ඔවුන් කිසිවකු විශ්වාස කරන්නේ නැත.

වත්මන් ශ්‍රී ලංකික දෙමළ සමාජය මුහුණ දෙන උභතෝකෝටිකයක් මෙමගින් අපට මුණ ගැසේ. පසුගිය සති හතර පුරා යාපනයේ සිට කිළිනොච්චිය හරහා මඩකළපුව දක්වා පැවැති දෙමළ ජාතික උද්ඝෝෂකයින් කියා සිටියේ මෙවර මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් එපා කියා ය.බොහෝ ශ්‍රී ලාංකික ඩයස්පෝරා කණ්ඩායම්ද එම අදහසම ගෙන යති. ඔවුන්ගේ යෝජනාව වන්නේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත් කල යුතු බවයි. ඒ සදහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ආරක්ෂක කවුන්සිලයේ අනුමැතිය ලබා ගත යුතු ය. එය සිදුවිය නොහැක්කේ ආරක්ෂක මණ්ඩලයෙහි නිෂේධ බලය ඇති චීනය සහ රුසියාව එවැනි පියවරකට සහාය නොදෙන නිසා ය‍.

මානව හිමිකම්සු කවුන්සිලයේ 40වන සැසිවාරය අතරතුර 18වනදා පැවැති සමාන්තර රැස්විමකදී අදහස් දැක්වූ වකල්ප ප්‍රතාිපත්ති ‌කේන්ද්‍රයේ බවානි ෆේාන්සේකා අන්තර් ජාතික යුද යාන්ත්‍රණන් ගැන අදහස් දැක්වීය. © s.deshapriya

එපමණක් නොව මෙවර කවුන්සිල සැසි වාරයෙහි දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් යුරෝපා රටවල් දැක් වූ අදහස් විශේෂයෙන්ම ජර්මනිය දැක් වූ අදහස් දෙස බලන විට පෙනෙන්නේ ශ්‍රී ලංකාණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සංක්‍රමණීය යුත්ති ක්‍රියාදාමය ඉදිරියට ගෙන යෑමට එම රටවල ඇති කැමැත්ත ය.

පසුගිය 18වනදා මානව හිමිකම් කවුන්සිල ගොඩනැඟිල්ලෙහි පැවැති ශ්‍රී ලංකාව පිළිබඳ සමාන්තර රැස්විමෙහි දී මෙම ප්‍රශ්ණය, එනම් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යන ලෙස කියා නොසිටින්නේ මන්දැයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් අදහස් දැක් වූ බවානී ෆොන්සේකාගෙන් විමසන ලදී. එයට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ ජාත්‍යන්තර යුද අධිකරණයට ශ්‍රී ලංකාව ගෙන යෑම මෙම අවස්ථාවෙහි කිසිසේත්ම සිදුවිය නොහැකි දෙයක් බවත් කළ යුත්තේ මහ කොමසාරිස්වරියගේ වාර්තාව ද දක්වන පරිදි ඊට විකල්පව අන්තර් ජාතික විනිශ්චයන් ලබා ගත හැකි යාන්ත්‍රණයන් සොයා බැලිය යුතු බවත් ය.

අන්තර් ජාතික අධිකරණ

යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති යුද නිලධාරීන් 17 දෙනෙකු පිළිබඳ ලිපිගොනු දැනටමත් ජරමානු ආයතනයක් විසින් සකස්කර ඇතැයි කියනු ලැබේ. එවැනි පුද්ගලයින් යුරෝපයට හෝ උතුරු ඇමෙරිකාවට පැමිණිය හොත් අත් අඩංඟුවට ගැනීමේ ඉඩක් ඇති නමුත් එය කන කැස්බා විය සිදුරෙන් එළිය බලනවා වැනි දුෂ්කර කාරියකි.

පසුගිය සතියෙහි පැවැති එම සමාන්තර රැස්වීමෙහි දී ම ප්‍රතිවිරුද්ධකම් පෑමේ ගී ගායක ජයතිලක බණ්ඩාර විනාඩි කිහිපයක් තුල පැමිනි සිටි පිරිසගේ සිත් බැඳ ගැනීමද විශේෂ සිදුවීමක් විය. ඔහුගේ කෙටි අදහස් දැක්වීමෙන් පසු ගීය සුවපත් කිරිමේ මාධ්‍යක් ලෙස දක්වමින් බොහෝ දෙනෙකු ඔහු ප්‍රසංසාවට ලක් කළෝ ය. යුද්ධයෙන් තුවාල වූ සමාජයක් සුවපත් කිරීමට සංක්‍රමණීය යුක්ති පියවරයන් මෙන්ම වෙනත් කලා සංස්කෘතික මාධ්‍ය යොදා ගැනීමේ වැදගත්කම ජයතිලක බණ්ඩාර පෙන්වාදුන් සැබෑව විය.

ප්‍රශ්ණයක් යනු ප්‍රශ්ණ ගණනාවක එකතුවක් වන විට ඊට පිළිතුරද එකක් ම නොවේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ද එවැනි ය. ඒ කරා යා හැකි මාවත් විවිධ ය. ඇත්තේ එකම මාවතක් පමණක් යැයි කියා පෑමත් එකම මාවතක් දිගේ පමණක් ගමන් කිරීමත් සාර්ථක උපායක් නොවේ. අපේ සමාජය දශක ගණනාවක් පුරා දිව යන ප්‍රචන්ඩත්වයේ දේශපාලන සංස්කෘතියක ගොදුරු බවට පත් එකකි. එයට විසදුම අන්තර් ජාතික එකක් පමණක් යැයි සිතීම වරදකි. වෙනස ඇති වන්නේ රට තුළය. රට තුල ඇති වන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වෙනසකින් තොරව හුදෙක් අන්තර් ජාතික පියවරයන්ගෙන් මානව හිමිකම් සහ සංහිදියාව ස්ථාපිත කළ නොහැක. බාහිර සාධක ද්විතීයක වන අතර වෙනස ඇති කරන මූලික සාධක පවතින්නේ අභ්‍යන්තරයේ ය‍.

සමහර විට අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාවේ යුදඅපරාධ සම්බන්ධයෙන් දෙතුන් දෙනෙකුට දඩුවම් ලැබෙන්නට බොහෝ දුරස්ථ ඉඩක් තිබේ. එනමුත් එමගින් ශ්‍රී ලංකාව තුල සාධනීය වෙනසක් ඇති වන්නේ නැත. අනෙත් අතට දේශීය යාන්ත්‍රණයන් මගින් කිසිවක් සිදු නෙවෙන්නේ නම් කළ හැක්කේ කුමක්ද? සිරිසේන පමණක් නොව වික්‍රමසිංහ ද 2015 ජනවාරියෙහි ඇති වූ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුල මානව හිමිකම්, සංහිදියාව සහ වගවීම ප්‍රවර්ධනය කිරීම අතහැර දැමීම සම්බන්ධයෙන් වගකිය යුතු ය.

දැන් ඉදිරි දෙවසර තුළ සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය යම් කිසි අවසානයක් කරා ගෙන යාමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා වී තිබේ. මානව හිමිකම් කවුන්සිලය එය අධීක්ෂනය කරනු ද ඇත. එම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජනය නොගතහොත් මෙරට යළි සන්නද්ධ නොවන එනමුත් ජනවාර්ගික ගැටුමකට ඇදී නොයනු ඇතැයි කිව නොහැක. එමෙන්ම අන්තර් ජාතික වශයෙන් යළි හුදකලා වීමේ අනතුරද තිබේ. බාල ජනප්‍රිය සටන්පාඨ මගින් දේශපාලනය තීරණය වන්නට නියමිත මැතිවරණ වසරක කෙසේ නම් මහ කොමසාරිස්වරියගේ වචනයෙන්ම කියන්නේ නම්, සංකීර්ණ සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමයක් පෙරට යනු ඇත් ද?

Back to Top