Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගහේ ජිනීවා! සැරසේන්!! – සුනන්ද දේශප්‍රිය

හේ ජිනීවා! සැරසේන්!! – සුනන්ද දේශප්‍රිය

by

 

අසාමාන්‍ය සීතල තවමත් ජිනීවා වසාගෙන ය. හිරු එළියක් පේනමානයක නැත. එනමුත්  ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අරභයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කෙමෙන් උණුසුම් වන්නට පටන් ගෙන තිබේ. සිය තනතුරෙහි වැඩ බාරගැනීමෙන් පසු නව මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ප්‍රථම වරට ශ්‍රී ලංකාව ගැන සඳහනක් කරන ලද්දේ පසුගිය 04දා පැවැති රුස්වීමක දී ය. ඇයගේ කතාවෙහි දී සදහන් කරන ලද්දේ රටවල් 08ක් ගැන පමණි.

 

මහ ‌කොමසාරිස්වරිය කී ‌‌දේ

ඇය මෙසේ කීවා ය: “යම් සාධනීය වර්ධනයන් තිබියදීත් 2015 වර්ශයෙහි දී ශ්‍රී ලංකා ආණ්ඩුව සංක්‍රමණීය යුක්තිය සම්බන්ධයෙන් දෙන ලද පොරොන්දු කරා දක්වා  ඇති ප්‍රගතිය අක්‍රමවත් ය. අතිශයෙන් ප්‍රමාද ය. අතීත මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් සත්‍ය සෙවීම සහ වගවීම මෙන්ම තීරණාත්මක විශ්වාසය ගොඩ නැගීමේ පියවරයන් අරභයා ඇත්තේ අප්‍රමාණවත් ප්‍රගතියකි. මෙම තත්වය දිගට ම පැවැතුනහොත් එ් විසින් සංහිදියාවට බාධා පමුණුවනු ඇත. ශ්‍රී ලංකාවේ සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය කවුන්සිලයෙහි න්‍යාය පත්‍රයෙහි පවත්වා ගැනීම වැදගත් ය. මෙම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාම පිනිස එක්සත් ජාතීන්ගේ අනෙක් අංශ ද සමඟ එක්ව සහාය වීමට කැමැති බව අප ශ්‍රී ලංකාවට දන්වා තිබේ.”‍‍

2019 පෙබරවාරි 25 දා ඇරඹෙන මානව හිමිකම් කවුන්සිලයේ 40වන සැසිවාරය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වැදගත් එකකි. මන්ද යත් මෙයට වසර හතරකට ශ්‍රී ලංකාණ්ඩුවේ සමදායකත්වයෙන් මෙරට මානව හිමිකම්, සංහිදියාව සහ වගවීම ප්‍රවර්ධනය කිරීම උදෙසා මානව හිමිකම් කවුන්සිලය සම්මත කළ යෝජනාව ඉටු කිරීම සඳහා ලද කාලය මෙම මාර්තු මාසයෙන් අවසන් වන නිසා ය. එළඹෙන සැසිවාරයෙහි දී මාර්තු 20 දින ශ්‍රී ලංකාව එම යෝජනාව ක්‍රියාත්මක කළ ඇත්ද යන්න පිළිබඳව වාර්තාවක් මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරනු ඇත. මෙම වාර්තා කෙටුම්පත දැනටමත් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත ලබා දී ඇතැයි ද දැන ගන්නට තිබේ. මෙම යෝජනාව මගින් ශ්‍රී ලංකාණ්ඩුව තදබල ලෙස විවේචනය වනු ඇතැයි තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.

අප කව්රුත් දන්නා පරිදි ශ්‍රී ලංකා ආණ්ඩුව යුද සමයෙහි දී කෙළෙසීමට ලක් වූ මානව හිමිකම් සම්බන්ධයෙන් රැගෙන ඇති පියවර අල්ප ය. අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සත්‍ය සෙවීමක් සිදුව නැත. ඒ වෙනුවට සිදුව ඇත්තේ එසමයෙ හි දරුණූ මානව හිමිකම්වලට චෝදනා ලබා තිබෙන යුද සහ නාවික නිලධාරීන්ට ආරක්ෂක අංශයන්හි ඉහළම තනතුරු ලබා දීම ය. අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය හැර හානිපූර්ණය, සත්‍ය සෙවීම සහ යුක්තිය පසිදලීම අරභයා නිසි යාන්ත්‍රණයන් පිහිටුවා ද නැත.

2015න් පසු

2015 වෙනසින් පසු ශ්‍රී ලංකාණ්ඩුව මානව හිමිකම් කවුන්සිලය සමඟ සමීපව කටයුතු කිරීමට සෑහෙන උන්නදුවක් පෙන්නුම් කරන ලදී. ඒ විදේශ ඇමැති මංගල සමරවීර යටතෙහි ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින්ට ශ්‍රී ලංකාව විවෘත කරන ලද අතර ඔවුන්ට අවශ්‍ය පරිදි තොරතුරු සොයා බැලීමට ද අවසර ලබා දෙන ලදී. එය රාජපක්ෂ සමය සමඟ සන්සන්දනය කරනවිට මහත් ඉදිරි පියවරකි. නමුත් ප්‍රශ්ණය නම් එම විශේෂඥයින් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අසමත් වීම යි. එපමණක් මෙම මෙම නිර්දේශ සමාජගත වීමක් ද සිදු නොවුනි. සැකකරුවන්ට වධහිංසා පැමිණවීම තවමත් සිදුවෙයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවමත් ක්‍රියාත්මක ය. යුද හමුදාව දෙමළ ජනයාගෙන් අල්ලා ගත් ඉඩම් යම් ප්‍රමාණයක් තවමත් බාර දී නැත. දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්ණය ද නොවිසදී පවතී.

2012 සිට පරීක්ෂණ ආරම්භ කරන ලද යුද සමයේ සිදුවූ ඝාතනයන් පිළිබඳ පරීක්ෂණ ඇණහිට තිබේ. 2006 වසරෙහි ත්‍රිකුණමලයෙහි දී සිසුන් පස් දෙනෙකු ඝාතනය කිරීම සහ එම  වසරෙහිදීම මුතූර්හිදී සහන සේවකයින් 17 දෙනෙකු ඝාතනය කිරීම ඒ අතර වෙයි. එමෙන්ම මෑතදී මෙරට ජනමාධ්‍ය සංවිධාන විසින් එක්සත් ජාතීන් වෙත ලිපියක් බාර දෙමින් කියා සිටි පරිදි එසමයෙහි සිදුවූ කවර හෝ ජනමාධ්‍ය ඝාතනයක් ගැන ද පරීක්ෂා කොට දඩුවම් පමුණුවා නැත. 2009 මැයි මාසයේදී යුද හමුදාවන්ට බාරවූ සිය ගණනාවකට සිදුවූ දෙයක් පැහැදිළි කිරීමට ද රජය සමත් වී නැත. මෙම ලැයිස්තුව ඉතා දිගු ඒකකි.

සිරිසේන විරුද්ධයි

ජනාධිපති සිරිසේන 2015 දී ශ්‍රී ලංකාවේ සම දායකත්වයෙන් සම්මත කරන ලද මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව තමාගේ අනුදැනුමකින් තොරව සම්මත කරන ලද එකක් බව කියා  තිබේ. එපමණක් නොව එම යෝජනාවට විරුද්ධ යෝජනාවක් එළඹෙන මාර්තු මාසයේදී මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යුතු බව කියන දයාන් ජයතිලක දැන් සිරිසේන විසින් මොස්කව්හි තානාපතිවරයා ලෙස පත්කර තිබේ. විදේශ අමාත්‍යංශ ආරංවි මාර්ග සදහන් කරන්නේ සිරිසේන – රාජපක්ෂ දේශපාලන කුමන්ත්‍රණය අතරතුර විදේශ අමාත්‍යංශයේ කරන ලද වෙනස්කම් මගින් ද මෙම යෝජනාවට විරුද්ධ පිරිස් බලවත් කර ඇති බව යි.

ශ්‍රී ලංකාණ්ඩුව, ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිදියාව සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා ගන්නා බවට යුද්ධ විනිදිතයින් සහ අන්තර් ජාතික ප්‍රජාව වෙත වූ පොරොන්දු ඉටු කර නැති බව එළඹෙන මානව හිමිකම් සැසි වාරයේදී පැහැදිළිව දැක්වෙනු ඇත. මහ කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබද වාර්තාව මෙන්ම දැනටමත් විවිධ මානව හිමිකම් සංවිධාන විසින් එළි දක්වා ඇති වාර්තා ඒ සඳහා කදිම නිදසුන් ඉදිරිපත් කරනු ඇත.

නව යෝජනාව සූදානම්

මෙම තත්වය යටතෙ හි, දැනටමත් මහ කොමසාරිස්වරිය ප්‍රකාශ කොට ඇති පරිදි ශ්‍රී ලංකාව පිළිබද මානව හිමිකම් කවුන්සිලයෙහි න්‍යාය පත්‍රයෙහි තව දුරටත් තිබිය යුතුය යන්න පොදු අදහසක් වශයෙන් ඉදිරිපත්ව තිබේ. ඒ සඳහා නව යෝජනාවක් මෙම මාර්තු මාසයේ දී කවුන්සිලය විසින් සම්මත කළ යුතුය.

ශ්‍රී ලංකා සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයෙහි සමාජිකයින්ගෙන් සැදුම් ලත් ස්වෙච්චක ක්‍රියාකාරී එකතුවක් (Core Group) තිබේ. එක්සත් ජනපදය, ජනාධිපති ට්‍රම්ප් යටතෙහි කවුන්සිලයෙන් ඉවත් විය. ඒ වෙනුවට ජර්මනිය එම ස්ථානය ගත්තේ ය. ඊට අමතරව මෑතදී කැනඩාව ද මෙම කණ්ඩායමට එක්විය. බ්‍රිතාන්‍යය මෙම ඒකතුවෙහි මූලික වැඩ කොටස ඉටු කරන අතර මැසිඩෝනියාව සහ මෙන්ටෙනීග්‍රෝ අනෙක් රටවල් දෙක ය. මේ තාක් දුරට, එක්සත් ජනපදය ජනාධිපති ට්‍රම්ප් යටතේ පවා, ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම්  සම්බන්ධ සිය ස්ථාවරය වෙනස් කොට නැත. මෙවර සැසි වාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වෙතොත් ඒ මෙම ක්‍රියාකාරී කණ්ඩායමෙහි මූලිකත්වයෙනි. දැනට පෙනෙන අන්දමට කවුන්සිලයේ 47ක් වන සාමජික සංඛ්‍යාවෙන් බහුතර සහයෝගයක් එවැනි යෝජනාවකට ලැබෙනු ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ගයකට අනුව 2015 සැප්තැම්බර් මාසයෙදී සම්මත කරන ලද යෝජනාව ක්‍රියාත්මක කිරීම තව දෙවසරකට දීර්ඝ කිරීමට එකඟත්වයක් ආණ්ඩුවෙහි දැනට තිබේ.  එසේ නොවුන හොත් ආණ්ඩුව දුෂ්කර අඩියකට පත්විය හැකි බව අගමැති වික්‍රමසිංහ ද දන්නවා ඇත.

එසේ නමුත් මෙම හැතියාව පවතින්නේ ජනාධිපති සිරිසේනගේ ස්ථාවරය උඩ ය. රාජපක්ෂ උකුළෙහි සැතපීමට පෙරුම්පුරන සිරිසේන එවැනි පියවරකට එකඟවනු ඇතැයි සිතිය  නොහැක. අතේ පැලවෙන බොරු කීම සිය දේශපාලනය බවට පත් කරගෙන සිටින සිරිසේන මොනවා හෝ කෙබර ටිකක් ඇද බා එවැනි යෝජනාවකට තමා විරුද්ධ බවට අඬහැර පාන්නට ඉඩ තිබේ. ඔහුට ජාතිවාදී වාචාලයකු වීමට එතරම් දුෂ්කර නැත.

එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු දේශපාලන සංවාදයක් නොමැති බැවින් එතුළ ද සිරිසේන සමඟ එක්වී යෝජනාවකට විරුද්ධවිය හැකි පිරිසක් සිටින බව අමතක නොකළ යුතු ය. සමහර විට සිරිසේන, රාජපක්ෂ සමයෙහි මානව හිමිකම් ඇමැතිවරයා වූ මහින්ද සමරසිංහ මෙවර සැසිවාරයට සිය නියෝජිතයා ලෙස එවන්නටත් තිබේ. රාජපක්ෂ විසින් ගොඩනඟමින් සිටින ජාතිකවාදී රැල්ල සමඟ පාවී යාම පිනිස සිරිසේනගේ ශ්‍රිලනිපයේ පිරිසක් ද මෙවර තවත් යෝජනාවක් සම්මත වීමට විරුද්ධව අවි අමෝරා ගැනීමට ඉඩ තිබේ.

ජාතිවාදීන් මොනවා කරයිද?

එපමණක් නොව මෙවර මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය තේමා කොට ගෙන අන්ත ජාතිකවාදී පිරිස්  රටතුළ උද්ඝෝෂණ සංවිධානය කරන්නට ද ඉඩ තිබේ. මන්ද යත් මෙම මැතිවරණ වසරෙහි රාජපක්ෂවාදින්ට ලෙහෙසියෙන්ම නැංවිය හැකි රැල්ල අන්ත ජාතිකවාදය වනු ඇති නිසාය.

එවැනි දේශපාලන වර්ධනයක් ඇතිවුවහොත් යලිත් වතාවක් මානව හිමිකම් කවුන්සිලයෙහි යෝජනාවකට සමදායකත්වය දීමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට ඉතා දුෂ්කරවීමට ඉඩ තිබේ. ඊට හේතුවක් නම් මෙම ආණ්ඩුව මානව හිමිකම් සම්බන්ධ කිසිම මහජන අවබෝධතා ව්‍යාපාරයක් ගෙන ගොස් නොතිබීම ය. මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ගැන ද කිසිදු දේශපාලන සාකච්ජාවක් ගෙනගොස් නොතිබීම ය.

අනෙත් අතට දෙමළ සන්ධානය ඇතුළු දෙමළ දේශපාලන සහ සිවිල් සංවිධාන දැනටමත් මෙම සැසිවාරයෙහිදී හුදු යෝජනාවක් පමණක් නොව එය ඉක්මවා යමින් අඩුම වශයෙන් ශ්‍රී ලංකාණ්ඩුවට සිය පොරොන්දු ඉටු කිරීම සඳහා කාල සටහනක් ඉදිරිපත් කළ යුතු බව අවධාරණය කරන්නට පටන් ගෙන තිබේ. ඔවුන් බොහෝ දෙනෙකු මෙම සැසිවාරයට සහභාගි වනු ඇති අතර සාමාජික රටවල් හමුවී සාකච්චා කරනවා ද ඇත.

අණ්ඩුව කැමැතිවුවත් නැතත් මෙම මාර්තු සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත්වීම අනීවාර්යෙන් සිදුවනු ඇත.  තමන්එ එවැනි යෝජනාවක් ඉදිරිපත් කරන බව බ්‍රිතාන්‍ය පසුගිය සදුදා මානව හිමිකම් කවුන්සිලයේ සංවිධාන කමිටුවට දැනුම් දුන්නා ය. ආණ්ඩුව සහාය නොදුනහොත් දෙමළ ජනයා අතර ද අන්තර් ජාතික ප්‍රජාව අතර ද එය තව දුරටත් දුර්වල වනු ඇත.

මාර්තු මුල් සති දෙක තුළ  මහ කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයේ වෙබ් අඩවියෙහි පළවනවා ඇත. ශ්‍රී ලංකාවේ යුද සමයට අදාළ මානව හිමිකම් සාකච්ජාව යළි ඉස්මත්තට පැමිණෙනු ඇති අතර ආණ්ඩුව පත්වනු ඇත්තේ ‘මඟ සිටියොත් තෝ නසී; ගෙදර ගියොත් අඹු නසී’ වැනි තත්වයකට ය. මේ වනාහී වසර හතරක් පුරා ඉටු නොකළ පොරොන්දු වෙනුවෙන් ගෙවන්නට එයට ගෙවන්නට සිදුවිය හැකි එක් වන්දියක් පමණක් විය හැකිය.

 

 

 

Back to Top