Sri Lanka Brief
පුවත්විවරණව්‍යවස්ථා සභාවට අත නොතබනු ! – සන්ඩේ ටයිම්ස් කතුවැකිය

ව්‍යවස්ථා සභාවට අත නොතබනු ! – සන්ඩේ ටයිම්ස් කතුවැකිය

by

 

හිටිහැටියේම ව්‍යවස්ථා සභාවට වෙඩි වරුසාවක් එල්ල වෙමින් තිබේ. ඒ, අන් කවරෙකුටත් වඩා, ශ්‍රී ලංකා ජනරජයේම ජනාධිපතිවරයාගෙනි. ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය නොවන විපක්ෂයත් ඒ ප්‍රහාරයට එක්ව සිටී. ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ කතානායකවරයා ය. පැහැදිළිවම, මේ දිනවල කතානායකවරයාට ද්වේෂ කිරීමට ඒ දෙපාර්ශ්වයටම දේශපාලනික හේතු තිබේ.

ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවට එරෙහිව චෝදනා එල්ල කරන්නේ නම්, එයම එකී සභාවේ නිරවද්‍ය භාවය පෙන්නුම් කරන සහතිකයක් වන්නේය. ව්‍යවස්ථා සභාව මුලින්ම පිහිටුවන ලද්දේ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ය. (එය පතුරු ගසමින් ජනාධිපතිවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේදී කියා සිටිය පරිදි, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ නොවේ). එය පිහිටුවීමේ අරමුණ වුණේ ඉබාගාතේ යන විධායක ජනාධිපතිවරයෙකු වෙතොත් ආම්බාන් කිරීමයි. විධායක ජනාධිපතිවරයෙකුගේ ස්වාධිපති බලතල ඉදිරියේ තැබෙන ‘තුලන සහ සංවරණ’ නියාමනයක් ඒ මගින් අපේක්ෂා කෙරුණි. ඒ කාලයේ මේ කියන බලතල බෙහෙවින් අවභාවිත කෙරුණු අතර ඊට එරෙහි විශාල ජනතා හඬක් මතු විය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඉල්ලා අද පවා තිබෙන ජනතා හඬ එහිම ප්‍රතිරාවයයි.

ඒ කාලයේ පත්වෙන ජනාධිපතිවරුන් සිතුවේ ජනතාවගෙන් තමන්ට ලැබෙන වරම, තමන්ගේ අභිමතයක් කිරීමට දෙවියන් වහන්සේගෙන් ලැබෙන අවසරයක් වශයෙනි. රාජ්‍යයේ ඉහළ තානාන්තරවලට පුද්ගලයන් තෝරා ගැනීමේදී එදා ජනාධිපතිවරුන් පරීක්ෂාකාරීව සහ ගෞරවාන්විතව කටයුතු කෙළේ නැත. දේශපාලඥයන් වශයෙන් මේ ජනාධිපතිවරුන් දේවල් දිහා බැලුවේ ස්වකීය දේශපාලනික කණ්නාඩිවලිනි. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන තිබියදී පවා, අගවිනිසුරු වැනි ඉතා වැදගත් තනතුරුවලට තමන්ගේ මිනිසුන් පත්කර ගැනීමට එදා ජනාධිපතිවරු කටයුතු කළහ.

කෙසේ වෙතත්, ඉහළ තනතුරුවලට වැරදි පුද්ගලයන් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතුව එතෙක් තිබූ තනි බලය, ව්‍යවස්ථා සභාව පත්කර ගැනීමෙන් පසු වැළකී ගියේය. එවැනි තනතුරු සඳහා තමා පුද්ගලයන් නිර්දේශ කර යැවීමේදී වඩාත් සුපරීක්ෂාකාරී වීමට ඉන් පසු ජනාධිපතිවරයාට බල කෙරුණි. හිතුමතේට සහ තමාගේ කැමැත්තට පමණක් පුද්ගලයන් පත්කිරීමට ජනාධිපතිවරයාට නොහැකි වුණි. මන්ද යත්, ඔහුගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අනිවාර්ය වූ බැවිනි.

මේ අතර, ඉහළ තනතුරු සඳහා වන පාර්ලිමේන්තු කමිටුවක් ද ඒ වන විට පිහිටුවා තිබුණි. එහෙත් ඒ මගින් සලකා බැලුණේ, අමාත්‍යාංශ ලේකම්වරුන්, ව්‍යවස්ථාපිත මණ්ඩලවල සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ තානාපතිවරුන් වැනි දෙවැනි පෙළේ පත්කිරීම් ගැනයි. ජනාධිපතිවරයා ඒ තනතුරුවලට නම් නිර්දේශ කොට එවූ විට මේ පාර්ලිමේන්තු කමිටුව රබර් මුද්‍රාවක් වශයෙන් ඒවාට අනුමැතිය දුනි. එම කමිටුවෙන් සලකා බැලුණේ, අදාල පුද්ගලයන්ගේ සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය වාර්තා සහ ඔවුන්ගේ ආදායම් බදු ලිපිගොනු අංක පමණි. වරක් එක් අයෙකු ඒඞ්ස් රෝගයෙන් පෙලුණු නිසා එම නම ප්‍රතික්ෂේප කෙරුණි. තවත් වරක්, ආදායම් බදු ලිපිගොනු අංකය සැපයිය නොහැකි වූ තවත් අයෙකුගේ නම ප්‍රතික්ෂේප කෙරුණි. ඉතා මෑතකදී, එක් තානාපතිවරයෙකුගේ නම අනුමත කෙරුණේ ජනාධිපතිවරයා පෞද්ගලිකවම ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවට කරුණු දැක්වීමෙනි.

මේ කියන උසස් තනතුරු සඳහා වන පාර්ලිමේන්තු කමිටුවට වඩා හරවත්ව ව්‍යවස්ථා සභාව පිහිටුවා තිබේ. දේශපාලඥයන් නොවන 7 දෙනෙකුගෙන් සහ දේශපාලඥයන් 3 දෙනෙකුගෙන් සමන්විත ආයතනයක් වශයෙන් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ එය පිහිටුවා තිබුණත්, 2015 දී මේ පත්කිරීම් ‘ක්‍රමය’ තවදුරටත් නිර්දේශපාලනීකරණය කිරීමට අපේක්ෂා කළ ව්‍යවස්ථා සභාව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවා ගැනුණේ, දේශපාලඥයන් 7 දෙනෙකුගෙන් සහ දේශපාලඥයන් නොවන 3 දෙනෙකුගෙන් සමන්විත ආයතනයක් වශයෙනි. ඒ ආකාරයෙන්, ජනාධිපතිවරයා සහ විපක්ෂය ඇතුළු දේශපාලඥයන් කලින් තමන්ගෙන් ගිලිහී ගොස් තිබුණු බලය ආපසු තමන් වෙත පවරාගෙන තිබුණි.

වර්තමාන ගැටුම හටගැනුණේ ඉහළ පෙළේ අධිකරණ පත්වීම් සම්බන්ධයෙන් වන ජනාධිපතිවරයාගේ නිර්දේශයන් ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමත් සමග ය. ජනාධිපතිවරයාගේ චෝදනාව වන්නේ, තමාගේ නිර්දේශ ප්‍රතික්ෂේප කිරීමේ හේතු තමන් නොදන්නා බවයි. ඒ නිසාම, ප්‍රතික්ෂේප කරන නම් නැවත නැවතත් තමා ව්‍යවස්ථා සභාවට යළි සලකා බැලීම සඳහා නිර්දේශ කොට යවන බව ඔහු කීය. එහෙත් මේ කියන ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු ද සිටී. නමක් ප්‍රතික්ෂේප වීමේ හේතු මේ නියෝජිතයා මාර්ගයෙන් ජනාධිපතිවරයාට දැන ගත හැකිය. මේ කටයුතු කිරීමේදී එක්තරා විනිවිද භාවයේ ප්‍රශ්නයක් ඇති බව ඇත්ත. අවසානයේදී, ජනාධිපතිවරයාගේ චෝදනා ප්‍රශ්න කරමින් තරමක් තද ප්‍රතිචාරයක් දැක්වීමට ඒ හේතුව නිසා, කතානායකවරයාට සිදු විය. පරිපාටිමය විධිවිධාන පද්ධතියක් නොතිබීම මේ ප්‍රශ්නයට තුඩුදී ඇති බවක් පෙනේ. ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථා සභාව අතර කෙරෙන ගනුදෙනුව (නම් නිර්දේශ කිරීම සහ ප්‍රතික්ෂේප කිරීම) ගැන ජනතාවත් කිසිවක් නොදනිති. අවසානයේ ඔවුන් මේ ගැන දැන ගන්නේ, චෝදනා සහ ප්‍රතිචෝදනා ඔස්සේ, යමක් පුපුරා ගිය විට ය.

2015 දී විනිසුරු ඒ. ආර්. බී. අමරසිංහ විසින් කෙටුම්පත් කරන ලද, තෝරා ගැනීමේ නිර්නායක පිළිබඳ රීති මාලාවක් තිබුණි. එහෙත් ඒවා කිසි විටෙක ගැසට් කෙරුණේ නැත. ජනාධිපතිවරයාගේ නාම නිර්දේශය තිබියදී තවත් අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ව්‍යවස්ථා සභාව වෙත ලැබේ. ඒ සියල්ල ප්‍රසිද්ධියට පත්කළ යුතුද යන ප්‍රශ්නය එහිදී පැනනගී.

වෙනත් රටවල මෙවැනි උසස් පෙළේ පත්කිරීම් සඳහා ඔවුන්ගේම වන ක්‍රම සහ විධිවිධාන ඇති කරගෙන තිබේ. ඇමරිකාවේ ඒ සඳහා වන කොන්ග්‍රස් මණ්ඩල සැසිවාර තිබේ. ඒවා මහජනතාවටත් විවෘත ය. එහෙත් තෝරා ගැනීම් කෙරෙන්නේ ඡන්දයෙන් වන අතර ඡන්දය පාවිච්චි කෙරෙන්නේ පක්ෂ දේශපාලනය අනුව ය. ඉන්දියාවේ උසස් විනිසුරුවරුන් පත්කිරීම්, උසස් කිරීම් සහ මාරු කිරීම් කරන්නේ, ජ්‍යෙෂ්ඨත්වයෙන් මුල් තැන ගන්නා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් මගිනි. අදාළ පත්කිරීම සඳහා යෝජිත පුද්ගලයන්ගේ සුදුසුකම් සහ යෝග්‍යතාව ගැන මොවුන් දැන සිටිය යුතු බවට විශ්වාස කෙරේ. කෙසේ වෙතත්, එකී මණ්ඩලයේ විනිවිද භාවය පිළිබඳවත් විවේචන එල්ල වී තිබේ. එක්සත් රාජධානියේ ඉහළ පෙළේ අධිකරණ පත්වීම් කෙරෙන්නේ අධිකරණ පත්වීම් කොමිෂන් සභාවක් මගිනි. එහි ප්‍රධානියා වන්නේ නීතියට සම්බන්ධ නැති පුද්ගලයෙකු වීම විශේෂිතයි. ඊට කලින් අවුරුදු 900 කට ආසන්න කාලයක් තිස්සේ එරට පැවතියේ අගවිනිසුරුවරයා විසින් සෙසු විනිසුරුවරුන් තෝරා පත්කර ගන්නා ක්‍රමයකි. දැන්, තේරීම් කමිටුවක් මගින් ඉදිරිපත් කරන ලැයිස්තුවකින්, අගමැතිවරයාගේ උපදේශ පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් රැජිණ විසින් පත්කරනු ලැබේ.

මෙයින් පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ අධිකරණයේ උසස් තනතුරුවලට පත්කිරීම සඳහා ‘කෝකටත් තෛලයක්’ වශයෙන් ගත හැකි ක්‍රමවේදයක් වෙනත් රටවලින්වත් සොයා ගැනීමට නැති බවයි. එසේ වෙතත්, ජනාධිපතිවරයාගෙන් නිර්දේශ වන නාම යෝජනා දැඩි පරීක්ෂාවට ලක්කෙරෙන ව්‍යවස්ථා සභාවක් තිබීම එවැනි කිසිවක් නොමැති තත්වයටක වඩා කොයි අතිනුත් වටනේය. මේ මෑතකදී ආණ්ඩුවේ සංස්ථා, බැංකු සහ ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් පත්කිරීම ක්‍රමවත් කිරීම සඳහා ජනාධිපති කමිටුවක් පත්කෙරුණි. එහෙත්, ඒවාට දෙන ලද මාර්ගෝපදේශ අවසානයේ කඩ කෙළේ ජනාධිපතිවරයාම ය. මෙය පසුගිය කාලයේ අප කිහිප වරක්ම පෙන්වා දී ඇති කාරණයකි. සමහර ඇමතිවරුන් තමන්ගේ බලය පාවිච්චි කරමින් තමන්ගේ නැයන් සහ මිතුරන් තමන්ගේ අමාත්‍යාංශ යටතේ පවතින ආයතනවලට පත්කරන ලද්දේ මාර්ගෝපදේශ නොතකමිනි. අදාළ පුද්ගලයන් එම තනතුරුවලට ගැලපේ ද නැද්ද යන්න එවිට සලකා බැලුණේ නැත. දේශපාලනික පුද්ගලයන්ට මේ උසස් තනතුරු සඳහා පත්කිරීමේ තනි බලය දුන් විට නිතැතින්ම වැරදි පත්කිරීම් සිදු කෙරේ. ඒ පත්කිරීම්වල පඩිනඩි ඇතුළු වෙනත් වියදම් දැරිය යුත්තේ මහජනතාව ය.

එසේ තිබියදී, තමන්ගේ මිනිසුන්ව පත්කර ගැනීමට නොහැකි වීම ගැන චෝදනා එල්ල විය යුත්තේ ආණ්ඩුවෙනි. එහෙත් මෙහිදී චෝදනා එල්ල වන්නේ ජනාධිපතිවරයාගෙන් සහ විපක්ෂයෙන් වීම විශේෂිත ය. හේතුව, මේ රටේ වෙනත් අවස්ථාවලත් සිදුවන්නා සේ ජනාධිපතිවරයා සහ විපක්ෂයේ න්‍යාය පත්‍ර මේ මොහොතේ සමපාත වීම නිසා ය. ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා පරිපූර්ණ ආයතන නොවෙනවා විය හැකිය. එහෙත් ඒ ආයතන මගින් ස්වාධීන අධිකරණයකට සහ ස්වාධීන රාජ්‍ය සේවාවකට අවශ්‍ය කරන කොඳු නාරටිය මේ වන විට සපයා තිබේ. මන්ද එවැනි ක්‍රමයක් නැති තත්වයක් තුළ අප අත්දැක ඇත්තේ, තමන්ගේ පත්වීම් සහ උසස් වීම් ආදිය ලබා ගැනීම සඳහා බලය දරණ දේශපාලඥයන් පස්සේ යාමට අදාළ පුද්ගලයන්ට සිදුවන තත්වයක් වන බැවිනි. ව්‍යවස්ථා සභාවක් සහ ස්වාධීන කොමිෂන් සභා ඇති තත්වයක් තුළ එය තවදුරටත් දැන් අවශ්‍ය නොවේ.

2019 පෙබරවාරි 24 වැනි දා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ Hands Off the Constitutional Council නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top