Sri Lanka Brief
පුවත්රිචඩ් මරා දමා වසර විසි නමයකි.

රිචඩ් මරා දමා වසර විසි නමයකි.

by

(දේදුනු සංවාද /පෙබරවාරිි 2019) රිචර්ඩ් ද සොයිසා යනු රූපවාහිනී නිවේදකයෙකි. චිත්‍රපට හා ටෙලිනාට්‍ය නළුවෙකි. ප්‍රසිද්ධ ජනමාධ්‍යවේදියෙකි. දේශපාලන විචාරකයෙකි. විශේෂයෙන්ම ඔහු මානව හිමිකම් ගැන හඬ නැගූවෙකි. එම නිසාම ඔහුව පැහැරගෙන මරා දමන ලදී.

1958 මාර්තු මස 18 වෙනි දින උපත ලබන ඔහුගේ දෙමාපියන් වන්නේ ලූෂන් ද සොයිසා‍ සහ ආචාර්ය මනෝරාණි සරවනමුත්තු ය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු රිචර්ඩ් ද සොයිසා පාසැල් කාලයේදීම නාට්‍ය කලාවට අත් පොත් තැබීය. 1983 දී යුගාන්තය චිත්‍රපටය සඳහාද, පසුව යශෝරාවය ටෙලිනාට්‍ය සඳහා ද ඔහු සිය රංගනයෙන් දායකත්වය සැපයීය. ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳවද පුළුල් දැනුමක් ඔහු සතු විය. ඔහු ඝාතනය වන කාල වකවානුවේ ඉන්ටර්ප්‍රෙස්‌ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා වාර්තාකරු ලෙස සේවය කළේය.

1990 පෙබරවාරි මස 18 වන දින පාන්දර 3.30 ට ඔහු සහ ඔහුගේ මව ජීවත්වූ වැලිකඩවත්ත නිවාස සංකීරණයේ නිවසට කඩා වැදුණු සන්නද්ධ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් 32 ශ්‍රී 4748 දරණ ලියාපදිංචි අංකය සහිත කොළ පැහැති ජීප් රථයක් භාවිත කරමින් ඔහුව පැහැර ගන්නා ලදී. ඒ අවස්ථාවේ මව සහ රිචර්ඩ් ගේ සමකාලීන මිත්‍රයෙකු වූ A.V. කරුණාරත්න නිවසේ සිට ඇත. රිචර්ඩ් ගේ පැහැරගැනීම සම්බන්ධයෙන් ඔහු ගේ මව වන ආචාර්ය මනෝරාණි සරවනමුත්තු විසින් එදිනම පාන්දර 4.15 පමණ වැලිකඩ පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර තිබුණි. පැහැර ගැනුණු අවස්ථාවේදී ඇසින් දුටු සාක්ෂි 7ක් තිබුනි.

රිචර්ඩ් ද සොයිසාගේ ඝාතනය සම්බන්ධයෙන් කොමිසමක් පත්කරන ලෙස 1990 මාර්තු 20 වෙනි දින විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියහ. එයට ප්‍රතිචාර දක්වමින් එවකට සිටි රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රන්ජන් විඡේරත්න විසින් ප්‍රකාශකොට සිටියේ සෑම මිනිමරුමකටම කොමිසමක් පත්කළ නොහැකි බවය. එසේම රිචඩ් සමලිංගිකයකු බව කියමින් මේ මරණය සිදු වෙන්නේ සමලිංගික සම්බන්ධතාවයක පලි ගැනීමක් නිසා බවත් කියමින්, රිචඩ්ගේ ලිංගිකත්වය ගැන තොරතුරු යොදා ගනිමින් ඔහුගේ මිනීමැරුම සම්බන්ධ සත්‍යය වසන් කිරීමට රජය විසින් උත්සාහ කරන ලදී.

රිචර්ඩ්ගේ ඝාතනයේ ඝාතකයන් ආරක්ෂා කළ අමාත්‍ය රන්ජන් විජේරත්න 1991 මාර්තු 2 වැනිදා මරා මරාගෙන මැරෙන බෝම්බයකට හසුව ඝාතනය විය. 1993 මැයි පළමු දා ප්‍රධාන විත්තිකරු රොනී ගුණසිංහ ජනාධිපති ප්‍රේමදාස සමඟ බෝම්බයකට හසුව ඝාතනය විය.

වසර 15 තිස්සේ විභාග වූ නඩුවේ අවසන් තීන්දුව 2005 ඔක්තෝම්බර් මස 9 දින ප්‍රකාශයට පත් කෙරුණි. රිචර්ඩ් ද සොයිසාව ඝාතනය කිරීම වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත්කොට සිටි සියලුම විත්තිකරුවන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණි. එම නඩු තීන්දුවේ සඳහන් වුයේ සාක්ෂිකරුවන් විසින් ලබාදුන් සාක්ෂි පරස්පර විරෝධී බැවින් විත්තිකරුවන්ට එරහිව ගොනුකොට තිබු චෝදනා ඔප්පු වී නොමැති බවය. ඒ වෙන විට රිචඩ්ගේ මව ඇතුළු සාක්ෂිකරුවන් කිහිප දෙනෙක් මියගොස් තිබුනා. රිචඩ් ද සොයිසා ඝාතනය සම්බන්ධයෙන් විවිධ මත ප්‍රකාශ වූවා.

ඔහු මරා දැමුවේ ඔහු පෘතුගාලයේ ලිස්‌බන් නුවර ඉන්ටර්ප්‍රෙස්‌ ප්‍රවෘත්ති සේවයේ රාජකාරී භාර ගැනීමට ගිවිසුම් අත්සන් කරගෙන රටින් පිටවීමට සැලසුම් කර දින කිහිපයක් තිබියදීයි. ඝාතනයට හේතුවන්නට ඇත්තේ මානව හිමිකම් උල්ලංඝණය පිළිබඳ තොරතුරු රැසක් රටින් පිටවීම වැළැක්වීම බව ද කතා බහට ලක් විය. මෙය ටයිම්ස් සඟරාවේ 1990 අප්‍රියෙල් 23 වන දින පළ වූ ලිපියක ද සඳහන් වූ අතර, එම කලාපය බෙදා හැරිම සහ විකිණීම ශ්‍රී ලංකා රජය විසින් තහනම් කරන ලදී. එම ලිපියේ අන්තර්ගතය වුයේ ශ්‍රී ලංකා රජය විසින් මෙහෙයවන ඝාතන කණ්ඩායම් සහ ශ්‍රී ලංකාවේ සිදුවන බරපතල මට්ටමේ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව ලොව දැනුවත් කිරීම නිසාවෙන් ඔහු ඝාතනය වූ බවයි.

ඔහු ජවිපෙ ඉහළ පෙළේ සාමාජිකයන් සමග සම්බන්ධතා පැවැත්වූ නිසා මරා දැමුනු බව ද තවත් බොහෝ දෙනෙක් ප්‍රකාශ කළා.

ඔහු පැහැර ගැනීමට පැමිණි පොලිස්‌ පරීක්‌ෂක ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි රංචාගොඩ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොනී ගුණසිංහ රිචඩ්ගේ මව විසින් හඳුනා ගන්නා ලදී. මෙම ඝාතනයට, පොලිස්‌ පරීක්‌ෂක එම්.ජී.ජී. දේවසුරේන්ද්‍ර, පොලිස්‌ සැරයන් වෙඩික්‌කාරගේ සරත්චන්ද්‍ර යන අයත් සම්බන්ධ වූ බව පසුව අනාවරණය විය. එහෙත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියට එවක ආරක්ෂක ඇමැති රන්ජන් විජේරත්න බලපෑම් කරමින්, නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ නොදුන්නේය.

රිචර්ඩ් ද සොයිසා ඝාතනය වීමෙන් පසුව ඉන්ටර්ප්‍රෙස්‌ මාධ්‍ය ආයතනය විසින් 1990 විශිෂ්ටතම ඇගයීමේ සම්මානය ඔහු වෙනුවෙන් පිරිනමන ලදී. ඉන් පසුව 2008 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍යයේ බි.බි.සී ( BBC ) මාධ්‍ය ජාලය විසින් Last time I saw Richard නමින් විනාඩි 60 ක ගුවන් විදුලි නාට්‍යයක් නිර්මාණය කොට BBC Radio4 චැනලය ඔස්සේ විසුරුවා හැරුණි. එම ගුවන් විදුලි නාට්‍යය නිෂ්පාදනය කොට තිබුනේ රිචර්ඩ් දි සොයිසා නම්වූ මාධ්‍යවේදියාගේ ජීවිතය සහ මරණය යන සිද්ධීන් පාදක කොටගෙනය.

එමෙන්ම රිචර්ඩ් ද සොයිසාගේ මව පිළිබඳව වාර්තාමය චිත්‍රපටයක් රූගත කරමින් සිටියදී ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අමාත්‍යංශය විසින් 2015 පෙබරවාරි 13 දින වාරණයට ලක් කෙරුණි. එම චිත්‍රපටිය “දේ ඩාන්ස් එලෝන් ” (They Dance Alone) යනුවෙන් නම්කොට තිබුණි.

දේශපාලන වුවමනාවන් මත සිදු කරන ලද මෙවැනි ඝාතන අපි නැවත නැවතත් මතක් කරමින් හෙළා දැකිය යුතු අතර, කෙනෙකුගේ ලිංගිකත්වය සම්බන්ධ කාරණා අපරාධ වසන් කිරීමට යොදා ගැනීමට එරෙහිව ද සටන් කළ යුතුය. යුක්තිය, සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය ඉල්ලා හඬ නැගූ මිනිසුන් අමු අමුවේ මරා දමන ලද සංස්කෘතිය අදද එදා සේම නොවුනත් වෙනත් ආකාරයෙන් මතු වෙමින් පවතී. මිනිසුන්ගේ අයිතිවාසිකම් නොහොත් මානව හිමිකම්වලට දේශපාලඥයන් මෙතරම් බිය වන්නේ ඒ නිසයි. මන්ද මිනිසුන් විරසකව සිටින තාක් කල් ඔවුන් අනුන්ගේ අයිතිවාසිකම් පිලිබඳ තකන්නේ නැති බැවිනි. නමුත් ඒ වෙනුවෙන් හඬ නගන මිනිසුන් නිහඬ කිරීමට ඔවුන් උත්සාහ කරනු ඇත. රිචර්ඩ් ද සොයිසා වැනි තරුණ තරුණියන් හා මේ රටේ පුරවැසියන් තම දිවි දුන්නේ එබැවිනි. කුහක දේශපාලඥයන් විසින් ඔවුන් කිසි කෙනෙකු ‘විරුවන්’ ලෙස නම් නොකරනු ඇත.

දේදුනු සංවාද
2019 පෙබරවාරි 18

Back to Top