Sri Lanka Brief
පුවත්විවරණ‘මිග් යානා ජාවාරමට’ තව තවත් බෝම්බ කඩා වැටෙයි (2)

‘මිග් යානා ජාවාරමට’ තව තවත් බෝම්බ කඩා වැටෙයි (2)

by

ජායාරූපය:  ගෝඨාභය රාජපක්ෂ මේ ජාවාරම සාධාරණ කිරීමට කිවේ බොරුය.

විශේෂ ලේඛකයෙකු විසිනි.

මේ යෝජනාව මගින් අමාත්‍ය මණ්ඩලය නොමග යවන ලද්දේ මෙයාකාරයෙන් පමණක් නොවේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ටෙන්ඩර් මණ්ඩලය ‘යුක්රින්මෑෂ්’ සමාගමේ යෝජනාව සඳහා වන තමන්ගේ අනුමැතිය පිළිබඳ තීරණය අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීමෙන් සති දෙකකට පසු, ‘යුක්රින්මෑෂ්’ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ඩී. ඒ. පෙරෙගුඩෝව් අපේ ගුවන් හමුදාවට ලිපියක් ලිවීය. එහි ඔහු සඳහන් කොට තිබුණේ, අපේ ‘මිග්-27 එම්’ වර්ගයේ යානා සඳහා සවි කිරීමට කලින් ඉදිරිපත් කර තිබූ එන්ජින් හතර වෙනත් විදේශීය ගැනුම්කරුවෙකුට ඒ වන විට විකුණා ඇති බව ය. ඒ වෙනුවට පෙරෙග්ඩෝව් මේ යානා සඳහා වෙනත් එන්ජින් හතරක් යෝජනා කොට තිබුණි. එය, අපේ ‘තාක්ෂණ ඇගැයුම් කමිටුව’ මගින් තක්සේරුවට ලක්කොට තිබූ හෝ අපේ ටෙන්ඩර් මණ්ඩලය නිර්දේශ කොට තිබූ මුල් යෝජනාවේ සඳහන්ව නොතිබුණු කාරණයකි. කරුණු එසේ තිබියදීත්, අදාළ ගනුදෙනුව තුළ සිදුව ඇති එකී භාණ්ඩවල වෙනස ආරක්ෂක අමාත්‍යාංශය කිසි අවස්ථාවක අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන්නේ නැත.

නොතිබුණු ‘බෙලිමිස්ස හෝල්ඩින්ස් ලිමිටඞ්’

2006 ජුලි මාසයේ ගිවිසුමට අත්සන් තැබුණි. ගෙවීම් ලබන්නාගේ අනන්‍යතාව හෙළි වුණේ එහිදී ය. එය, ‘බෙලිමිස්ස හෝල්ඩින්ස් ලිමිටඞ්’ නම් විය. ලිපිනය සඳහන් වුණේ ලන්ඩන් නුවර ස්ථානයකි. එහි සඳහන්ව තිබූ ෆැක්ස් අංකයේ නිරවද්‍යතාව ගැන ගුවන් හමුදාවෙන්වත්, ආරක්ෂක අමාත්‍යාංශයෙන්වත් සොයා බැලුවේ නැත.

ඉක්බාල් අත්තාස් කියන පරිදි, ගිවිසුම අත්සන් කිරීමෙන් මාස දෙකකට පමණ පසු, “2006 සැප්තැම්බර් මාසයේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යම් පුද්ගලයෙකු, ‘මිග්-27’ වර්ගයේ යුද යානා 4 පිළිබඳ ගිවිසුමට අදාළ විශාල ලිපි ගොනුවක්” ඔහුට භාර දී තිබේ. සති ගණනක් තිස්සේ ඔහු ඒ ලිපි ගොනුව පරීක්ෂාවට ලක්කොට ඇත. ඒ අංශය පිළිබඳ දැනුමක් ඇති ඔහු දන්නා කියන පුද්ගලයන් සමගත්, ආරක්ෂාව සහ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ විශේෂඥතාවක් ඇති රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ පුද්ගලයන් සමගත් මේ ගැන ඔහු සාකච්ඡා කොට තිබේ. ඒ සාකච්ඡාවලින් පසු සමස්ත කතාව පිළිබඳ “පැහැදිලි චිත්‍රයක් ඇඳී ගිය” බව ඔහු කියයි.

“1991 දී සෝවියට් සංගමය කැඩී යාමෙන් පසු, යුක්රේනය වෙනම රාජ්‍යයක් බවට පත්විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ‘මිග්-27’ යානා කාණ්ඩයක් යුක්රේනයේ ගාල් හලක අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් සහ හිම පතනයන්ට යට වෙමින් තිබී ඇත. මේ යානාවලින් කිහිපයක් ශ්‍රී ලංකාවට විකිණීමට අවශ්‍ය වී ඇත්තේ සිංගප්පූරුවේ සමාගමකට ය. එහිදී බොහෝ අක්‍රමිකතා සිදු වූ බවක් පෙනේ.”

‘මිග් යානා ජාවාරම’ ගැන ප්‍රවෘත්තිය 

2006 දෙසැම්බර් මාසයේදී ඉක්බාල් අත්තාස් ‘මිග් යානා ජාවාරම’ ගැන ප්‍රවෘත්තිය ලියා පළ කෙළේය. ආණ්ඩුවක් සහ ආණ්ඩුවක් අතර කෙරෙන ගනුදෙනුවක් සේ සළුපිළි දවටා කෙරුණු වෙළඳ වෘකයෙකුගේ ජාවාරමක් එහි ඇති බව අත්තාස් පෙන්වා දුනි. 2006 දී වැඩි මිලක් ගෙවා ලබා ගත් මේ යානා වනාහී, 2000 දී අපේ ගුවන් හමුදාව විසින්ම දෙවතාවකදී මිල දී ගත් යානා ගොඩකින් ඉතිරිව තිබූ යානා හතරක් බව ඔහු තවදුරටත් පෙන්වා දුනි. “දැන් ඒවා සඳහා ගෙවා ඇති මිල ගණන් අධිකතර” යැයි ඔහු ලිවීය.

මේ හෙළිදරව්වෙන් පසු, “අතිශය මාන්නාධික, බලයෙන් පිම්ඹුණු පුද්ගයන් කිහිප දෙනෙක් මට එරෙහිව ත්‍රස්ත භීතිය මුදා හලේ” යැයි ගිය සතියේ අත්තාස් කියා සිටියේය. ආරක්ෂක අමාත්‍යාංශය තමන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශන තුළ එකල අත්තාස්ව හැඳින්නුවේ, ‘ද්‍රෝහියෙකු’ වශයෙනි. ඔහු වෙනුවෙන් එතෙක් සපයා තිබූ ආරක්ෂාව ඉවත් කර ගැනුණි. ආණ්ඩුවේ නිරන්තර සෝදිසියට ඔහුව යටත් කෙරුණි. “මගේ හෙළිදරව්වෙන් අපහසුවට පත්වෙච්ච යම් කෙනෙකුට හොඳටම රිදිලා තියෙන විත්තිය මං තේරුම් ගත්තා” ඔහු ගිය සතියේ කීය.

2007 ජුලි මාසයේදී ලසන්ත වික්‍රමතුංග තමන්ගේ ‘සන්ඬේ ලීඩර්’ පුවත්පත හරහා මේ අරභයා තවත් හෙළිදරව්වක් කෙළේය. එනම්, අපේ ගුවන් හමුදාව ඩොලර් මිලියන 15 කට ආසන්න මුදලක් ගෙවා ඇති ‘බෙලිමිස්ස හෝල්ඩින්ස් ලිමිටඞ්’ නමින් වන සමාගමක් එක්සත් රාජධානියේ නොපවතින බවයි. මේ සමාගම අපේ ගුවන් හමුදාව සමග එළැඹි ගිවිසුමට ඇතුළත් කොට ඇති එකී ලන්ඩන් නුවර ලිපිනයත්, ෆැක්ස් අංකයත් ව්‍යාජ ඒවා බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.

ගෝඨාභයගේ බොරු

2007 අගෝස්තු මාසයේ දෙරණ නාලිකාවේ 360 වැඩ සටහනේ දිල්කා සමන්මලී සමග ගෝඨාභය රාජපක්ෂ සම්මුඛ සාකච්ඡාව පවත්වන්නේ මේ හෙළිදරව්වෙන් පසුව ය. මිග් යානා ගනුදෙනුවට තමන්ගේ සෘජු සම්බන්ධයෙක් නැති බව ඔහු කියා සිටියේ එහිදී ය. ඒ සම්මුඛ සාකච්ඡාව නැරඹීමෙන් පසු තම පියා ‘ඊළඟට ඒ ගැන ලියන ලිපිය ගැන උද්දාමයට පත්ව සිටි’ බව අහිම්සා වික්‍රමතුංග දියණිය මෑතකදී සිහිපත් කළාය.

2000 දී මිල දී ගත් ගුවන් යානා සහ 2006 දී මිල දී ගත් ගුවන් යානාවල මිල ගණන්වල වෙනසත් ගෝඨාභය රාජපක්ෂ මෙහිදී යුක්ති සහගත කෙළේය. ඔහුට අනුව, 2000 දී මිල දී ගත් යානාවල ආයු කාලය අවුරුදු 2 කි. එසේ තිබියදී, 2006 දී මිල දී ගත් යානා අවුරුදු 8 ක ආයු කාලයකින් යුක්ත වූ බව ඔහු අවධාරණය කෙළේය. 2000 දී ගෙව්වාට වඩා වැඩි මිලක් 2006 යානා වෙනුවෙන් ගෙවන්ට සිදුව ඇත්තේ එබැවිනි. එහෙත්, ‘මිග් යානා ජාවාරමට’ අදාළ ලිපිගොනු පරීක්ෂා කර බැලීමේදී, ‘සන්ඬේ ඔබ්සර්වර්’ හඳුනාගෙන ඇති තොරතුරුවලින් හෙළිදරව් වන්නේ ඊට වෙනස් චිත්‍රයකි.

යානාවක ආයු කාලය

2000 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලබාගෙන ඇති මීට වඩා මිලෙන් අඩු යානා 6 සපයා ඇත්තේ අවුරුද්දක් සහ අවුරුදු දෙකක් අතර කාලය තුළ ගුවන් පැය 750-850 අතර දුරක් දුවන බවට සහතිකයක් ඇතිව ය. එහි අදහස වන්නේ, එක්කෝ පැය 750-850 අතර ගුවන් පැය ගණනක් අවසානයේදී හෝ යානය සේවයේ යොදවා වසරක් සහ වසර දෙකක් අතර කාලය අවසානයේදී එම යානා යළි පිළිසකර කළ යුතු බව ය. එදා ගිවිසුමේ සඳහන්ව තිබූ පරිදි, අපේ ගුවන් හමුදාව මාසයකට දිවීමට අපේක්ෂා කෙළේ ගුවන් පැය 100 ක් දක්වා කාලයකි.

අලුතෙන් පිළිසකර කිරීමට ලක්වන 2006 දී මිල දී ගත් ගුවන් යානා, ඊළඟ අළුත්වැඩියාවට කලින් වසර 8 ක කාලයක් සඳහා සේවයේ යෙදවිය හැක්කේය. ගෝඨාභය ඒ කියන කතාව නිවැරදි ය. එහෙත් පියාසර කළ හැකි ගුවන් පැය ගණන, 2000 දී මිල දී ගත් යානාවල ගුවන් පැය ගණනම ය. ඒ සෑම යානයක්ම පියාසර කළ හැක්කේ ගුවන් පැය 850 ක් දක්වා පමණි. මේ යානා අවුරුදු 8 ක් තිස්සේ පාවිච්චියට ගත හැක්කේ එකී ගුවන් පැය ගණනට යටත්ව ය.

මේ වනාහී, එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග අවසාන යුද්ධය ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබූ අවදියකි. එහෙව් කාලයක, අවුරුදු 8 ඉක්මවීමට බොහෝ කලකට මත්තෙන්, මේ ගුවන් යානා තමන්ගේ ගුවන් පැය 850 පියාසර කොට අවසන් විය හැකි බව ගෝඨාභය රාජපක්ෂවත්, ගුවන් හමුදාවවත්, ආරක්ෂක අමාත්‍යාංශයවත් සැලකිල්ලට ගත්තේ නැත. ඒ සමස්ත වසර ගණන තිස්සේම යානා පාවිච්චියට ගැනීමට නම්, එක යානයකට මාසයකට පියාසර කළ හැකි පැය ගණන වන්නේ පැය 8 ක් පමණි.

මේ යානාවල එන්ජින්වල ආයු කාලයත්, පියාසර පැය 500-550 අතර කාලයකට සීමා වෙයි. එය, 2000 දී මිලදී ගත් යානාවලට සේම 2006 දී මිලදී ගත් යානාවලට ද එක සමාන ය. එහෙත් 2006 දී මිලදී ගත් යානාවල කැලැන්ඩර් ආයු කාලය අවුරුදු 7 කි. 2000 දී මිලදී ගත් යානාවල ආයු කාලය අවුරුදු 2 කි. නැවතත්, අවුරුදු 7 ක් තිස්සේ යානය පාවිච්චි කිරීමට නම් එක මාසයකට ඒ යානාව පියාසර කළ යුත්තේ පැය හය හමාරකට අඩු කාලයකි. එය, යුද්ධයක සිටින රටකට කොහෙත්ම ප්‍රායෝගික දෙයක් නොවේ.

2000 ගිවිසුමේ අඩංගු නොවුණු, 2006 ගිවිසුමේ අඩංගු වූ තවත් කරුණක් වන්නේ, ගුවන් යානයේ ආයු කාලය තුළ සැපයෙන සේවාවන් සම්බන්ධයෙන් වන වගන්තියකි. 2000 ගිවිසුමේ, යානාවේ ආයු කාලය හෝ පියාසර පැය ගණන පිළිබඳ හිල් නැත. එහෙත් 2006 ගිවිසුමේ සඳහන් 13.4 වගන්තියට වෙනස් කරුණු එහි අංක 4 දරණ ඇමිණුමේ 13.1 සහ 13.2 වගන්ති යටතේ සඳහන් වෙයි. මේ ගිවිසුමේ ඒ කාරණය ගැනත්, තාක්ෂණික ඇගැයුම් කමිටුව හෝ ටෙන්ඩර් මණ්ඩලය හෝ අමාත්‍ය මණ්ඩලය සැලකිල්ල යොමු කොට නැත.

දෙරණ සම්මුඛ සාකච්ඡාවෙන් මාසයකට පසුව 2007 සැප්තැම්බර් මාසයේ ලසන්ත වික්‍රමතුංග, මේ ගනුදෙනුවට ගෝඨාභය රාජපක්ෂගේ ඇති සම්බන්ධය ගැන යළිත් වාර්තා කෙළේය. ගෝඨාභයගේ මස්සිනා වන උදයංග වීරතුංග මාර්ගයෙන් ගෝඨාභයට මේ යෝජනාව කලින් ලැබී තිබුණු බවත්, මෙවැනි ගනුදෙනුවකට අදාල ප්‍රසම්පාදන පරිපාටි ගෝඨාභය නොතකා හැර ඇති බවත් ලසන්ත පෙන්වා දුන්නේය.

මේ ලිපි සහ විපක්ෂයෙන් මතුවෙමින් තිබූ පීඩනය හමුවේ ‘මිග් ගනුදෙනුව’ ගැන පරීක්ෂා කර බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බවට ආණ්ඩුවෙන් ප්‍රතිඥාවක් දුන්නේය. එහෙත් එවැන්නක් කවදාවත් පත්කෙරුණේ නැත. ඒ වෙනුවට ගෝඨාභය කෙළේ, ලසන්ත වික්‍රමතුංගට සහ ඔහුගේ පත්තරයට විරුද්ධව අපහාස නඩුවක් පැවරීමයි. ඉක්බාල් අත්තාස්ට රටින පළා යන ලෙස අනතුරු අඟවා සිටියේත්, ලසන්ත වික්‍රමතුංගව ඝාතනය කෙරුණේත්, ගල්කිස්ස දිස්ත්‍රික් උසාවියේ මේ නඩුව ඇසෙන්ට ආසන්නව තිබියදී ය.

ඉන් පසු මිග් යානා ගනුදෙනුව පිළිබඳ කතාව යටපත් විය. 2015 අලුත් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ඉක්බාල් අත්තාස් මේ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට ප්‍රකාශයක් කොට ඇත. ඒ අනුව සිදු කෙරුණු පරීක්ෂවලින්, එදා ලසන්ත වික්‍රමතුංග සහ ඉක්බාල් අත්තාස් හෙළිදරව් කළ කරුණුවලින් බොහොමයක සත්‍යතාව සනාථ වී ඇත. උදයංග වීරතුංග මේ ගනුදෙනුවට කෙලින්ම සම්බන්ධ බව කියා සිටි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ඔහුව මේ සිද්ධියේ චූදිතයෙකු කර තිබේ. එසේම, ‘බෙලිමිස්ස හෝල්ඩින්ස් ලිමිටඞ්’ සමාගම පසුපස සිටි සිංගප්පූරු ජාතික ව්‍යාපාරිකයාව පොලීසිය හඳුනාගෙන ඇති අතර, මේ හොර සමාගමේ ව්‍යාපාරික මූලයන් පවතින්නේ බි්‍රටිෂ් වර්ජින් අයිලන්ඞ්වල (ලෝක කළු සල්ලි ගාල් කර තබන කුප්‍රකට ස්ථානයක්- පරිවර්තක) බවත් සොයාගෙන තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීහු යුක්රේනයට ගොස් යුක්රේන ආණ්ඩුවෙන් සාක්ෂි සපයා ගත්හ. කිසි ගුවන් යානයක් විකිණීමට හෝ අළුත්වැඩියා කිරීමට හෝ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග තමන්ගේ ආණ්ඩුව 2006 වසරේදී කිසි ගිවිසුමක් අත්සන් කොට නැතැයි යුක්රේනය ප්‍රකාශ කොට තිබේ. අපේ ගුවන් හමුදාව අත්සන් කරන ලද ගිවිසුම ව්‍යාජ එකකි. ටී. එස්. ලී සහ එන්ජි ලේ කිම් නැමැති සිංගප්පූරු ජාතික ව්‍යාපාරිකයන් දෙන්නාට යුක්රේන ආණ්ඩුව මිග් යානා විකුණා තිබේ. අපේ ගුවන් හමුදාවට එම යානා විකුණා තිබුණේ මේ පුද්ගලයන් දෙන්නා ය.

මේ සිංගප්පූරු ජාතිකයන් දෙන්නා යුක්රේන ආණ්ඩුවට ගෙවා ඇත්තේ එක යානාවකට ඩොලර් මිලියන 1.2 කට ටිකක් වැඩි මිලකි. අපේ ගුවන් හමුදාව ‘බෙලිමිස්ස හෝල්ඩින්ස් ලිමිටඞ්’ සමාගමට එක යානාවක් සඳහා ඩොලර් මිලියන 2.4 ක් ගෙවා තිබේ. මේ කියන සෑම ගුවන් යානයකින්ම සියයට සීයක කොමිස් මුදලක් ගසා කෑ පුද්ගලයන් කවුරුන්ද යන්න පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පරීක්ෂා කරමින් සිටී.

මේ යානා ගනුදෙනුවට අදාළ ප්‍රසම්පාදන ක්‍රියා පරිපාටිය ආරම්භ කළ පුද්ගලයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂත්, තාක්ෂණික ඇගැයුම් කමිටුවේ සභාපතිත්වය දැරූ එවක ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලකත් පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශය මගින් මේ වන විට ප්‍රශ්න කිරීමට ලක්කොට තිබේ. එකී පරීක්ෂණ තුළ ඔවුන්ගෙන් කිසිවෙකු සැකකරුවෙකු වශයෙන් නම් කොට නැත. මේ ‘මිග් යානා ගනුදෙනුව’ සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමක් වළක්වා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කොට ඇති ගෝඨාභය රාජපක්ෂ, එවැනි අත්අඩංගුවට ගැනීමක් වළක්වන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මේ වන විට ලබා ගෙන තිබේ.

2019 පෙබරවාරි 3 වැනි දා ‘සන්ඬේ ඔබ්සර්වර්’ පුවත්පතේ පළවූ More Bombs Drop on the “Mig Deal” (2) නැමැති ලිපියේ සිංහල පරිවර්තනය (අවසාන කොටස) ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top