Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගබෝපගේද ටිල්වින්ද අදවත් ඇත්ත කිව යුතුයි..! ගින්නෙන් ඉපැදී සීතලෙන් මරාදමන සත්‍ය‌‌යේ කතාවක්..!

බෝපගේද ටිල්වින්ද අදවත් ඇත්ත කිව යුතුයි..! ගින්නෙන් ඉපැදී සීතලෙන් මරාදමන සත්‍ය‌‌යේ කතාවක්..!

by

විසල් කරුණාරත්න.

 

(ලංකා ඊ නිව්ස් )  “ගින්නෙන් උපන් සීතල” විජේවීරගේ චරිතය පාදක කරගත් චිත්‍රපටයක් හරහා වැදගත් දේශපාලන ප්‍රපංචයක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. මෙහිදී මූලික වශයෙන් අවධානය යොමුවී ඇත්තේ ජවිපෙ යටිබිම්ගත දේශපාලනයට යොමු වූයේ මන්ද යන කාරණාවයි. මේ වන විට චිත්‍රපටයෙන් අතහැරී ඇති දේශපාලන කාරණාවක් වන එනම් විජේවීර යටිබිම් ගත වීම ගැන බෝපගේ සහෝදරයා ගේ ලිපියක්ද එයට ප්‍රතිචාර ලෙස ගාමිණී මුතුකුමාරණ නම් අයෙක් පල කළ ලිපියක්ද, ප්‍රති-පිළිතුරු ලෙස කොටස් තුනකින් යුතු ලිපිපෙලක් නැවත බෝපගේ සහෝදරයා විසින් ද එකතු කර ඇත.

1978 සිට 1984 මුල දක්වා ජවිපෙ යට පෙළ ක්‍රියාකාරිකයෙක් වශයෙන් මා ලත් අද්දැකීම් සහ නිරීක්ෂණයන් මේ සාකච්ඡාවට වැදගත් වේ යැයි අදහස් කරමි.

බෝපගේගේ පුද්ගල බද්ධ කයිවාරු

ජවිපෙ යටබිම්ගත වීම සහ නැවත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක් කර ගැනීමට තමන් කළ වෑයම ගැන බෝපගේ සහෝදරයා මීට පෙරද ස්වයං කයිවාරුවක් දිනමිණ පත්‍රයට ඉදිරිපත් කර තිබුණි. චිත්‍රපටය සම්බන්ධයෙන් පලකළ ඔහුගේ පළමු ලිපිය දිනමිණ ලිපිපෙලේ සංෂිප්තයක් ලෙස සැලකිය හැකිය.

බෝපගේ සහෝදරයාගේ මූලික තර්කය වන්නේ යටිබිම්ගත වීම විජේවීර සහ සමීපතයින්ගේ පුද්ගලික අදහසක්ය පක්ෂය නිළ වශයෙන් ඒ ගැන සාකාච්ඡා නොකළේය යන කාරණය යි. ගාමිණී මුතුකුමාරණ අවධාරණයෙන් කියන්නේ යටිබම්ගතවීම විජේවීරගේ පුද්ගලික අදහසක් නොව පක්ෂයේ තීරණයක් අනුව ගත් ක්‍රියාමාර්ගයක් බවයි. ජේ. ආර්., ලලිත් වැනි එජාප නායකයින්ද සුමිත් අතුකෝරළ, විජත රණවීර වැනි ජවිපෙ නායකයින්ද වෙනත් බොහෝ චරිත ගැන අප වීරයන් දෙදෙනා තමන්ගේ ලියකියවිලි සඳහන් කර ඇත. දෙදෙනාගේම ප්‍රවේශය පුද්ගල බද්ධ කාරණා මත පදනම් වූ ආත්මීය ප්‍රවේශයන් ලෙස සැලකිය හැකිය.

1983 ජවිපෙ ඇත්ත ස්වභාවය

ජවිපෙ පසුපෙළ ක්‍රියාකාරිකයෙකු වූ මා හට ඉහළ පෙලේ නායකයින් සමග පුද්ගලික සම්බන්ධතාවයක් නොවීය. තිබෙන්නට හැකියාවක්ද නැත. මේ සහෝදරවරුන් දෙදෙනාටම මඟ හැරෙන (හෝ මඟ හරින්නට හදන) මූලිකම කාරණය, එනම් 1983 පක්ෂය තහනම් කරන විට ජවිපෙ ඇත්ත ස්වභාවය මාගේ මූලික අවධාරණයයි. බෝපගේ සහෝදරයා ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කල 1979 – 83 කාලයේ ජවිපෙ දේශපාලනය ගැන තුලනාත්මක විග්‍රහයකින් තොරව විජේවීර යටබිම්ගත වීම හෝ ජවිපෙ යටිබිම්ගත දේශපාලනය තෝරා ගැනීම ගැන පූර්ණ වටහා ගැනීමක් සිදු කිරීම අපහසු බව මාගේ හැඟීමයි.

පදනම දෙදරන්නේ තහනමෙන් නොවේ

1979 සිට ජවිපෙ එතෙක් පැමිණි ප්‍රචාරාත්මක ප්‍රවේශයක් සහිත වූ දේශපාලන ගමනේ මූලික පදනම දෙදරන්නේ 1983 තහනම නොව 1982 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය විසිනි. 1978 ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණි පසුව පක්ෂය විසින් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙනගිය අතර සමස්ත කාඩරයම මෙම ප්‍රචාරක ව්‍යපෘතිය වෙනුවෙන් යෙදූ බව රහසක් නැත. පක්ෂයේ ඉහල ස්ථරය කුමක් කතා කළත්, මොනවා ඔළුවල තියාගෙන සිටියත් ඇත්ත පොළොවේ සිද්ධ වූයේ සමස්ත පක්ෂ යාන්ත්‍රණයම මෙම ප්‍රචාරක කටයුතුවල යෙදවීමයි. ජවිපෙ ජනතාව වෙත ප්‍රවේශ වූයේ සහ ජනතාව ජවිපෙ දැක්කේ ප්‍රසාංගික විචිත්‍රත්වයකින් යුතුවය. මෙම ප්‍රවේශයේ ලාංකික දේශපාලනයට නව අද්දැකීමක් වූ අතර එනිසාම ජවිපෙ ක්‍රියාකාරීන්ට අනුකම්පාව මුසු වූ සහයෝගී ප්‍රතිචාරයක් සමාජයෙන් හිමිවිය. ප්‍රචාරණවාදී ප්‍රවේශය සහ 71 කැරැල්ලේ උරුමය මත නව තරුණ පිරිසක් ජවිපෙට ආකර්ශණය විය.

කාඩර් ශ්‍රමය මත කළ දැවැන්ත ප්‍රචාරණය 

මෙය පෙරළා ජවිපෙ ක්‍රියාකාරීන්ට තම කටයුතු වලට උත්තේජනයක්ද විය. වාර්ෂිකව අප්‍රේල් සමරුව සහ මැයි දිනය මහා ඉහලින් සැමරූ අතර දැවැන්ත පෝස්ටර් සහ කටවුට් පක්ෂයේ කාඩර් වරුන් අතින් නිමවිණි. කටවුට් ආරක්ෂා කිරීම සඳහා පූර්ණකාලිකයින් මහාමාර්ග වල රාත්‍රියේ නිදි වැරුවේය. සෑම මසකම කිහිප වරක් විමුක්ති ගී ප්‍රසංග පැවැත් වූ අතර එහි ප්‍රචාරක කටයුතුද භාර වූයේ කාඩර් ශ්‍රමය මතය. වෙන කිසිම වැඩක් නොකළ පෝස්ටර් පමණක් ඇඳීමට ස්ථාන තිබූ අතර පෝස්ටර් ඇඳීම පමණක් කළ පූර්ණකාලිකයෝ ද සිටියහ. පෝස්ටර් ඇලවීමේ විශේෂඥයෝද සිටි අතර තාප්පවල දිග පළල පවා ඔවුහු දැන සිටියහ. පෝස්ටර් මාධ්‍යයේ පූර්ණ ඒකාධිකාරය ජවිපෙ සතුවිය.

සතියකට එක් දිනක් මුදල් එකතු කිරීම උදෙසා ප්‍රධාන නගරයක කැට ව්‍යාපාරයක් සංවිධාන කළ අතර ඉරිදා අනිවාර්යයෙන්ම වෙන් වූයේ ගෙන්ගෙට ගොස් පුවත් පත් විකිණීමටය. මීට අමතරව 50/-, 100/- වටිනා කමකින් යුතු ආධාර ටිකට් පත් මුද්‍රණය කර කාඩර්වරු අතරේ බෙදාදුන් එතර ඒවා විකුණා මුදල් රැස්කිරීමට වෙනම දින යොදා ගැනුනේය. ටිකට් විකිණීමේ ප්‍රගතිය කමිටු රැස්වීම් වලදී අවධාරණය කරන ලදී. මාසයකට වරක් ප්‍රධාන මාර්ග ආවරණය වන ලෙස බයිසිකල් පැරේඩ් සංවිධානය කෙරුණු අතර මේවාට අවශ්‍ය ප්‍රදර්ශණ පුවරු අතින්ම නිර්මාණය විය.

විජේවීර ඇමතූ ප්‍රධාන පෙලේ රැස්වීමක් මාසයකට වරක්වත් අසල නගරයක අනිවාර්යයෙන්ම සංවිධානය වූ අතර ඒ වෙනුවෙන් නැවත රවුමක් පෝස්ටර් ගැසීමට සිදුවිය. සියළු පෝස්ටර් අතින්ම ඇඳි අතර පෝස්ටර් ඇලවීම සිදුවූයේ පාපැදි මගිනි. මේ අති වෙහෙසකර වැඩ කටයුතු සිදුවූයේ සාමාන්‍ය කාඩර්වරුන් අතිනි. කෑම එකක් පවා නොලැබූ මෙය දැවැන්ත ශ්‍රම සූරාකෑමක් බව කීමට අද මා මැලිවන්නේ නැත.

ලේකම්ලාගේ ගජයන් වූ ගං හාල්පාරුවෝ 

එකක් අවසන් වන විට තව එකක් ලෙස සංවිධානය කෙරුණු මේ වැඩසටහන් වෙනුවෙන් සාමාන්‍ය කාඩර්වරු කායික ශ්‍රමය වගුරුවද්දී වැඩ පරීක්ෂක පූර්ණ කාලිනකයෝ ස්වල්පයක්ද සිටියෝය. උන් දිස්ත්‍රික් ලේකම්ලාගේ ගජයන්ය. ඉහල පෙලේ සුපිරි නායකයින් සමග හැඳුනුම් පෑ එවුන්ය. එනිසාම කායික ශ්‍රමයෙන් ගැලවීමේ අවස්ථාව ලද්දෝය. උන් කළේ වැඩ කරන සාමාන්‍ය කාඩර් වරුන්ට වැඩ පැවරීම සහ ඒවා අධීක්ෂණය කිරීමයි. සියළු සමානයෝ අතර වෙනත් සමානයෝ පිරිසක්ද වූහ.

1980 පමණ වන විට පක්ෂය තුල කැපී පෙනෙන ලෙස නිළධාරී තන්ත්‍රයක් වර්ධනය වී තිබුණි. පක්ෂයට ලැබුන මුදල් වලින් දිස්ත්‍රික් ලේකම් වැනි තනතුරු වලට මෝටර් බයිසිකල් සපයා දී තිබූ අතර සාමාන්‍ය කාඩර්වරුන් ගාටමින් ගෙන්ගෙට යන අතරේ රවුමක් ගසා බලා යෑමට මේ අය පුරුදු වී සිටියහ. දැන් කල්පනා කරන විට මුන් මෙලෝ දෙයක් නොදන්නා අඩුම තරමේ මූලික මාක්ස්වාදය පවා නොදන්නා ගං හාල්පාරුවන් පිරිසක් වූවත් පක්ෂය ඇතුලේ මුන් සිරා පොරවල් වී සිටියෝය. (මුන්ට බලය නොලැබුනේ පූර්ව වාසනාවකටය. නැතිනම් ස්ටාලින්ගේ නිළධරය පවා මේ ගං  හාල්පාරුවන් ට පරාද වන්නේය).

ස්ථර 3 කින් ජනාධිපතිවරණයට

1982 ජනාධිපතිවරණයට පක්ෂය යන්නේ සුපිරි නායකයින්, නිළධාරි තන්ත්‍රයක් සහ සාමාන්‍ය කාඩර්වරුන් සහිත ස්ථර තුනකින් යුතු සංවිධානයක් ලෙසය. පක්ෂය සමස්තයක් ලෙස පූර්ණ බලය සහ ශක්තිය ජනාධිපතිවරණය වෙත යොමුකරන ලදී. කමිටු රැස්විම්වලදී ලබාගත හැකි ජයග්‍රහණයක් ගැන විශේෂයෙන් අවධාරණය කරන ලදී. මැතිවරණයේ සියළු බරට කර තියන්නේ සාමාන්‍ය කාඩර්වරුන්ය. රැකියා කරන සාමාජිකයින් බොහෝ දෙනෙක් නිවාඩු ලබාගෙන පූර්ණකාලීනව ජනාධිපතිවරණය වෙනුවෙන් පැමිනියෝය. වේදිකා සෑදීම, පෝස්ටර් ඇඳීම, ගැසීම සහ රැකීම, ගෙන්ගෙට කැන්වසින් යෑම, කීනොකී සෑම දෙයක්ම ශ්‍රමය මගින් සිදුවිය. ඒ මූලික පහසුකම් පවා නොමැතිවය.

‘කැප කිරීම්’ නමැති පිරුවටය

වරක් මා ඇතුළු තරුණයින් තිදෙනෙක් අවසන් වූ රැස්වීමක් පැවති ස්ථානයක සිට වෙනත් රැස්වීමක් පවත්වන්න නියමිත ස්ථානයකට අඩු තරමේ කිලෝ මීටර් 3 ක් පමණ දුරක් යකඩ බට තොගයක් කරෙන් ඇද්දේය. අවම මට්ටමේ වාහනයක් අඩු තරමේ අත්කරත්තයක් වත් තිබුණේ නැත. එය අතිශය වෙහෙසකර මැතිවරණයක් විය. දිගින් දිගට නිදි වරා පාපැදියේ නින්ද ගොස් බිම ඇද වැටුනු සහෝදරයෝද වූහ. මේ දරුණු ශ්‍රම කොල්ලය ‘කැප කිරීම්’ යන සුදු පිරුවටයකින් වසා තිබුණි.

මේ වෙහෙසකර ව්‍යායාමයේ ආසන්න ඉලක්කය වූයේ ජනාධිපතිවරණ ජයග්‍රහණයයි. සාමාන්‍ය කාඩර්වරුන් අතර විජේවීර ජයග්‍රහණය කරනු ඇතැයි සිතූ අයද සිටියහ. සෑම කෙනෙක්ම පාහේ සැලකිය යුතු අවම වශයෙන් ලක්ෂ 10 ඉක්මවූ චන්ද ප්‍රමාණයක් ලබාගනු ඇතැයි විශ්වාස කළෝය. රාජ්‍ය බලය අත්පත් කර ගැනීමට අවශ්‍ය ඉදිරි ගැම්ම ජනාධිපතිවරණය මගින් ලබාගත හැකි වෙතැයි සියල්ලෝම විශ්වාස කලහ.

ඡන්ද ප්‍රතිඵලය සහ හිරි වැටීම  

පක්ෂය විසින් 1979 සිට ගෙනගිය දැවැන්ත ප්‍රචාරණ වැඩ පිළිවෙල විසින් පක්ෂයේම කාඩර්වරුන් ස්වයං මෝහණයට පත් කර තිබුණි. යාන්තමට ලක්ෂ දෙකක් චන්ද ලැබූ ජනාධිපතිවරණ ප්‍රතිඵලය විසින් සියල්ල ගල් ගැසූ තත්වයකට පත්වුණි. 79 සිට වසර තුනක අතිමහත් ශ්‍රමයේ අවසන් ප්‍රතිඵල ලැබී තිබුණි. ප්‍රතිඵලය විසින් බොහෝ දෙනෙක් බලාපොරොත්තු රහිත තත්වයකට පත් කර තිබුණු අතර තමන්ගේ අතිමහත්වූ වෙහෙසට නිසි ඵලයක් නැති වූවා වැනි හැඟීමක් ඇති වී තිබුණි. ප්‍රතිඵලය විසින් ඇති කළ හිරිවැටීම නිසා පක්ෂයේ සංවිධාන කටයුතු මාස දෙකක් පමණ මුළුමණින්ම පාහේ ඇණ සිට තිබු අතර තොරතුරු ජාලය අකර්මණ්‍ය වී තිබුණි.

වෘත්තීය අංශයේ සිටි බොහෝ දෙනෙක් නොකියාම පක්ෂය හැරදා ගොස් සිටියෝය. ආසන්න ප්‍රදේශවල සිටි කාඩර්වරුන් නොනිල ලෙස හමුවූ නමුත් සංවිධානාත්මක හමුවීමක් නොවීය. කොළඹ ආශ්‍රිතව ඛාදනය දරුණු විය. දිස්ත්‍රික් ලේකම්ලා සොයා ගැනීමටවත් නොහැකි විය. මේ අතරේ පක්ෂයේ විවිධ මූල්‍ය වංචා සහ ලිංගික අපයෝජන ගැන දූෂමාන ආරංචි කාඩර්වරු අතරේ හුවමාරු විය.

ඉරාකයෙන් ලැබුන උප කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන් ලැබුණු මුදල් කොටස් සෝමවංශ වංචා කිරීම, දිස්ත්‍රික් ලේකම් දිසා නැමැත්තා විසින් කළ වංචාවක් මේ අතර විය. මෙතෙක් රැක සිටි විනය සහ නායකත්වය කෙරෙහි වූ ගෞරවය පැත්තකට දමා විවෘතව ඉහල නිළධරය විවේචනය කිරීමට කාඩර්වරු ඉදිරියට ආවෝය. පළමුව විවේචන ආවේ මෙවැනි පුද්ගලික කාරණා හරහාය. දියුණු දේශපාලන විවේචනයක් කිරීමට තරම් ශ්‍රමදායකත්වය පමණක් දැරූ අහිංසකයින්ට හැකියාවක් හෝ දැනුමක් තිබුනේ නැත. (ජවිපෙ ගොන් පන්ති 5 න් හෝ කඩපාඩම් අධ්‍යාපන කඳවුරු මගින් ලැබෙන දැනුමක් නැත) පක්ෂයේ කමිටු රැස්වීම් වලදී සිදුවූයේ එදිනෙදා කළ යුතු වැඩ සැලසුම් කිරීම් පමණි. තොරතුරු ඒකපාර්ශවීය ලෙස ඉහල නිළධාරියෙක් විසින් ඉදිරිපත් කෙරිණි. මොනම ආකාරයකවත් න්‍යායික හෝ දේශපාලණික සාකච්ඡාවක් කමිටු වල සිදුවූයේ නැත. ජවිපෙ කාඩර්වරුන් වෙනත් වාමාංශික පක්ෂවලට නිරාවරණය නොවූ අතර තොරතුරු සාකච්ඡා කෙරුනේ ඔවුනොවුන් අතරේ පමනි. එබැවින් දේශපාලන කාරණා මත විවේචන ඉදිරිපත් වනවාට වඩා පුද්ගලික කාරණා ඉස්මතුවීම අපේක්ෂා කල යුතු අනිවාර්යයකි.

මැතිවරණයෙන් පසුව ගැටුම් කරළියට

මැතිවරණයෙන් පසුව සාමාන්‍ය කාඩර්වරුන්ට නොදැනෙන වෙනසක් පක්ෂයේ සිදු වී තිබුණි. දකුණු කොළඹ දිස්ත්‍රික් ලේකම් සමන් පූර්ණකාලීණවරියක් සමඟ පක්ෂය හැරදා ගොස් තිබුණි. නව ලේකම් ලෙස මූල්‍ය චෝදනාලාභී දිසා නැමැත්තා පත්කර තිබුණි. රත්මලාන ආසනයේ මැතිවරණයෙන් පසු පලමු රැස්වීම පැවැත්වූයේ වෝලටර් සහෝදරයාගේ නිවසේය. ඒ දිසා නම් මධ්‍යම කමිටු සමාජිකයෙකුගේ ප්‍රධානත්වයෙනි. මැතිවරණයෙන් පසුව මහන්සි වූ කාඩර්වරු සහ සුපවයිසර් වැඩේ කළවුන් පලමු වරට මුණ ගැසුනේ මේ රැස්විමේදීය. රැස්වීම එළිපිට මරා ගැනීමක් බදු විය. බහුතර කාඩර්වරුන්ගේ දැඩි විවේචනයට සුපවයිසර්ලාට මුහුණ දීමට සිදුවූ අතර අවස්ථා කිහිපයකදී පහර දීමට කළ උත්සාහයන්ද විය. මූල්‍ය වංචා ගැන සහ ලිංගික කාරණා ගැන ඇති චෝදනා ප්‍රශ්න කරන ලදී. මේ තත්වය පාලනය කර ගැනීමට මධ්‍යම කමිටු සාමාජිකයාට හැකියාවක් තිබුණේ නැත. ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර චෝදනා නගනවුන් පක්ෂයේ ද්‍රෝහීන්ගේ ගොදුරු බවට ප්‍රති චෝදනා ඉදිරිපත් කළේය. ඔහු පෙනී සිටියේ සුපවයිසර්ලා වෙනුවෙනි.

මීට සමාන තත්වයක් කොලොන්නාව ආසනයේද සිදු වී තිබුණු බව පසුව දැනගන්නට ලැබුණි. මේ අනුව පක්ෂයේ නිළ ස්ථරය අනුගාමිකවාදී සුළුතරය බවටත් සටන්කාමී සහ ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම බහුතරයක් ලෙසත් විභේදනය වෙමින් මේ රැස්වීම් අවසන් විය. නමුත් තීරණාත්මක ලෙස පක්ෂයෙන් වෙන්වීමක් සිදුවූයේ නැත. අවධාරණය විය යුත්තේ බහුතර කණ්ඩායම වඩා සටන්කාමී මෙන්ම ක්‍රියාශීලී කොටස වුවද ඔවුන් අතර ලිහිණු සහ විසිරුණු සහ එකම මතයක් නොදැරූ ස්වභාවයක් තිබුණ නමුත් පක්ෂයේ අනුගාමිකවාදීන් සුළුතරය එක මතයක් යටතේ එකට සිටි කාරණයයි.

මේ තත්වය සෑම තැනකම අඩු වැඩි වශයෙන් ඇතිවී තිබුණ බව සාධාරණ නිරීක්ෂණයකි. දේශපාලන මණ්ඩලය, මධ්‍යමකාරක සභාව වැනි ඉහල ස්තර වලද මේ සමාන තත්වයක් ඇති බව ප්‍රතිසංස්කරණවාදීන් අතර ජනප්‍රිය චරිතයන් වූ අසේල සහ විජේසිරි (සඳරුවන්) සහෝදරවරු කියා සිටියහ. මේ දෙදෙනාටම පක්ෂයේ ඉහල සමඟ සම්බන්ධතා තිබුණු අතර නොනිල හමුවීම් කල්‍යානන්ද සහෝදරයාගේ ගල්කිස්ස නිවසේදී නිතර නිතර සිදුවිය.

ජනමත විචාරණය

ජවිපෙ 1982 දෙසම්බර් ජනමත විචාරණයට මුහුණ දෙන්නේ මේ අභියෝග මැදය. සංවර්ධන සභා චන්ද විමසීමේදී සෑම ආසනයකටම ප්‍රධාන රැස්වීම් දෙකක් ලෙස සංවිධානය කිරීමට සමත් වූ ජවිපෙ ජාතික වැදගත්කමකින් යුතු ජනමත විචාරණයට පැවැත්වූයේ කොළඹ එක් රැස්වීමක් පමණි. ආසන මට්ටමෙන් එකදු රැස්වීමක් හෝ පැවැත්වූයේ නැත. මේ වන විට පක්ෂයේ ප්‍රචාරණ සහ සංවිධාන යාන්ත්‍රණය කෙටිකාලීනව පිළිසකර කරගත නොහැකි ලෙස දුර්වල වී තිබුණි. ඉදිරි මැතිවරණයක් පක්ෂයට අවාසිදායක විය හැකි බැවින් ලාම්පුව ජයග්‍රහණය විය යුතුය යන මතය අභ්‍යන්තරයේ සාකච්ඡා විය. 1983 මුල වනවිට පක්ෂයේ සිටි ප්‍රතිසංස්කරණවාදී කොටස් කායික ශ්‍රමයෙන් ඉවත් වෙමින් සිටි අතර අනුගාමිකවාදීන් පමණක් ඉතිරි වී සිටියේය. එතෙක් පැවති අසාර්ථකම මැයි රැළිය පැවැත්වුනේ 1983 වර්ෂයේදීය.

සංක්‍රාන්තික අවධිය සහ ‘ජවිපෙ නව ප්‍රවණතාවය’ 

අපේක්ෂා කළ යුතු ආකාරයටම බහුතර ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම ඉක්මණින්ම වෙනස් වෙනස් දිශාන්තීන්ට යොමු වෙන්නට විය. සමහරක් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් විය. පක්ෂයේ ප්‍රචාරක ව්‍යාපෘති නොමැති තත්වයක් මත කායික ක්‍රියාකාරකම් අඩු වූ අතර සෑම දෙනෙකුටම වාගේ විවේකය සහිත කාලයක් ලැබුණි. මෙතෙක් නිරාවරණය නොවූ වෙනත් මානයන් වෙත ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම යොමුවිය. පිරිසක් කලාව වෙත තම අවධාණය යොමු වන අතරේ පාර්ලිමේන්තුවාදයෙන් බැහැර විප්ලවවාදී පක්ෂයක් සෑදිය යුතුය යන මතයේ තවත් සමහරක් කටයුතු කළේය . පසුකාලීනව ‘ජවිපෙ නව ප්‍රවනතාවය’ ලෙස පෙනී සිටියේ මේ අයයි. ඛේදවාචකයකින් අවසන් වූ ‘නව ප්‍රවනතාවය’ ගැන වෙනම ලියා තැබිය යුතු ඉතිහාසයක් ඇත.

මේ කාලයේ කොළඹ වාම දේශපාලනය න්‍යායික ගැටුම් සහිත අතිශයින් චමත්කාරය යුගයකි. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ජවිපෙන් ඉවත්වූ තරුණයන් ඉලක්ක කරගෙන නිතිපතා ඔවුන්ගේ න්‍යායික දේශන පැවැත්වූ අතර ප්‍රථම වරට මාක්ස්වාදය ගැන සරල මෙන්ම ගැඹුරු විග්‍රහයන් ඇසීමට අවස්ථාවක් මෙමගින් ඇතිවිය. කීර්ති බාලසූරිය සහෝදරයාගේ දේශන සම්භාව්‍ය මාක්ස්වාදය, කලා විචාරය සහ බටහිර සභ්‍යත්වය වැනි විශයන්ගෙන් පොහොසත් වූ අතර ජවිපෙ සුළු ධනපති සංවිධානයක් ලෙස උපහාසයෙන්, අවඥාවෙන් මෙන්ම න්‍යායිකවත් බැහැර කෙළේය.

මේ අතර ‘ජාතික චින්තන කණ්ඩායම්’ විදග්ධ ජාතිවාදීන් ලෙස පෙරට ආවේය. ජවිපෙට මාක්ස්වාදය තුල හෝ ජාතිවාදය තුල ඇති ඉඩ මෙම කණ්ඩායම් විසින් අත්පත් කරගනිමින් සිටියේය.

උතුරේ සන්නද්ධ ක්‍රියා පුද්ගල ඝාතන සිට මිලිටරි ප්‍රහාර දක්වා වර්ධනය වී තිබුණ අතර දකුණේ සටන්කාමී උත්තේජනයක් ඇති කිරීමට මේ ප්‍රහාරයන් සමත් වි තිබුණි. ‘උමා, ප්‍රභා, සභාරත්නම් සහ පත්මනාභා ගැන දකුණේ වාමවාදී තරුණයින් ආකර්ශණය වෙමින් තිබුණේය’ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් කීර්ති බාලසූරිය ප්‍රමුඛ මාක්ස්වාදීන්නේ ස්ථාවරයට අලගු තබන්නවත් ජවිපෙට නොහැකි විය.

මහාචාර්ය සුචරිත ගම්ලත් හරහා මාක්ස්වාදී මතය කලා කවයන් තුලද ඉදිරියට පැමිණියේ ජවිපෙ න්‍යයික දුප්පත් කම හෙලිදරව් කරමිණි. උතුරේ සහ දකුණේ ඒකාබද්ධ අරගලයක් මගින් සමාජවාදී විප්ලවය සිදුකල යුතුය යන මතය දකුණේ වාමවාදී නව පරපුර අතර මතයක් ලෙස වර්ධනය වෙමින් පැවතිණි. අපි ජවිපෙ කමිටු රැස්වීම් වලට ආවේ කීර්තිගේ දේශන වල කෑලි අල්ලාගෙනය. ප්‍රථම වරට ජවිපෙ ඉදිරි පෙලට පසු පෙලින් න්‍යායික අභියෝග එල්ල වන්නට වූ අතර ‘ද්‍රෝහී ලේබලය’ හැර වෙනත් දෙයක් කීමට ඉදිරිපෙලට හැකියාවක් තිබුණේම නැත.

පක්ෂය තහනම් වීම

පක්ෂය තහනම් කරන විට එය විවිධ බෙදීම් වලට ලක්වී සංවිධාණාත්මකව දුර්වලව සිටියේය. රජයේ තහනම ප්‍රකාශයට පත් කිරීමත් සමගම කාඩර්වරුන් අතරේ මර්ධනය පිළිබඳ භීතියක් පැතිරිනි. රටපුරා එක්දිනක් තුල සිදුකෙරෙන මෙහෙයුමක් මගින් ජවිපෙ සියළු ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන මහා පරිමාණ මර්ධනයක් දියත්වනු ඇති බවට ආරංචි පැතිර ගියේය. තහනමින් පළමු සතිය සියළුම කාඩර්වරුන් පාහේ සිටියේ යම් ආකාරයක යටිබිම් ගතවය. නමුත් දින කිහිපයකින් මේ භීතිය පහව ගියේය.

තහනමට ලක්වූ අනෙක් පක්ෂවල (නසසපය සහ කොමියුනිස් පක්ෂය) සාමාජිකයින් සුපුරුදු ලෙස සිටියෝය. මේ කාලයේ ජවිපෙ කාඩර්වරුන් අතර නොනිල හමුවීම් සිදුවූවද මාස දෙකක් පමණ යනතෙක් පක්ෂයේ නිළ කැඳවීමක් සිදුවූයේ නැත. ඒ අතරේ ඉහල පෙලේ නායකයින් කිහිප දෙනෙක් පක්ෂය හැරදා ගොස් ඇති බවට ආරංචි පැතිර ගියේය.

තහනමින් පසුව පක්ෂයේ පළමු නිළ කැඳවීම සිදුවූයේ ‘යවින්ද්‍ර සහෝදරයාගේ’ නිවසේය. එය පක්ෂයේ නව තීරණයක් අනුව සිදුකළ කුඩා කණ්ඩායම් කැඳවීමකි. තහනම විසින් යම් ආකාරයක නිහඬ බවක් ඇතිකළ නමුත් පක්ෂයේ බෙදීම් සමනය වී තිබුණේ නැත. මේ බෙදීම් සමනය කිරීම සදහා සියළු දෙනා කැඳවූ හමුවක් 1983 අගදී ‘අබේරාම සහෝදරයාගේ’ නිවසේදී පැවැත්වුණි.

ඉදිරිපත් විය හැකි න්‍යායික ගැටළුවලට පක්ෂය වෙනුවෙන් පිළිතුරු දීමට ‘අරුණ’ නැමැත්තෙක් (ඩී.එම් ආනන්ද විය හැකිය) පැමිණ සිටියේය. සුපුරුදු න්‍යායික අභියෝග එල්ල වූ අතර ජාතික ගැටළුව ගැන පක්ෂයේ ස්ථාවරය මෙන්ම මාක්ස්වාදී ප්‍රවේශය ගැන තියුණු ප්‍රශ්න නැගුණු නමුත් සාම්ප්‍රදායික උත්තර හැරෙන්න විෂයානුබද්ධ කාරණා ඉදිරිපත් කිරීමට ‘අරුණට’ නොහැකි විය.

අවසානයේ එළිපිට සිදුකෙරෙන ‘මඩ ගැසීම්’ දක්වා මේ සංවාදය පරිවර්ථනය විය. ප්‍රශ්න නගන්නන් ද්‍රෝහීන් බවත් පක්ෂය මර්දනය කිරීමට කුමන්ත්‍රණය කරන එවුන් බවත් ‘අරුණ’ චෝදනා නැඟුවේය.

කීර්ති බාලසූරිය හා සැසැඳීමේදී ‘මුන් මොක්කුද?’ යන ප්‍රශ්නය අප අතර ඇතිවීම නොවැලැක්විය හැකිවිය. පක්ෂය ඇතුලේ මෙතෙක් කල් පොරවල් ලෙස වැජඹී තිබුනේ මෙලෝ හසරක් නොදන්නා  ගං හාල්පාරුවන් බව අපට පසක් වෙමින් තිබුණේය. එය මා අවසන් වරට සහභාගි වූ ජවිපෙ නිළ රැස්වීම වූ අතර වසර 5 ක ජවිපෙ සමඟ වූ ගමන එයින් අවසන් වූයේ ය.

මාගේ නිගමනය

1983 ජවිපෙ තහනම් කරන විට පක්ෂයේ සිටි 80% පමණ ක්‍රියාකාරීන් පක්ෂය හැරගොස් අනුගාමික සුළුතරයක් දක්වා හැකිලී තිබුණි. ප්‍රතිසංස්කරණවාදීන් ගේ විවේචනයන්ට උත්තර බැඳීමට නිළ අනුගාමික සුළුතරයට හැකියාවක් නොතිබූ අතර මතවාදී තලයේදී අග නගරයේදී සුළු මාක්ස්වාදී කණ්ඩායම් තීරණාත්මක ලෙස ජවිපෙ අභිබවා නැගී සිටියේය.

විශේෂයෙන් ප්‍රමුඛ කාරණය වූ ජාතික ගැටළුවේදී ජවිපෙ ස්ථාවරය දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක් වූ අතර මාක්ස්වාදී සුජාත බව රැක ගැනීමට ජවිපෙට කොහෙත්ම ඉඩක් ඉතිරි වී තිබුනේ නැත. උතුරේ සන්නද්ධ කණ්ඩායම් සමග සහයෝගයෙන් ක්‍රියාකර සමාජවාදී විප්ලවය සිදුකල යුතුය යන මතය වඩා සටන්කාමී තරුණයන් අතරේ ජනප්‍රිය වෙමින් පැවතුණේය.

මෙම මතය දැරූ කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශීෂ්‍ය සංගමය එහි බලය ජවිපෙ පරදවා අත්පත් කරගැනීමට සමත්විය. විපක්ෂයේ ජනප්‍රිය දේශපාලන අවකාශය නැක්සලයිට් ක්‍රමන්ත්‍රණ චෝදනාවන්ට සිරගත කෙරූ විජය කුමාරතුංග සහෝදරයා ප්‍රමුඛ කණ්ඩායම විසින් අත්පත් කරගනිමින් සිටියේය.

මේ වන විට 1978 සිට විජේවීර සහ ජවිපෙ සතුව තුබූ තරුණ දේශපාලන අධිකාරී බලය වෙනස් වෙනස් කණ්ඩායම් විසින් ආක්‍රමණය කර තිබුණි. මේ තත්වය මත ජවිපෙට ඉතිරිව තිබූ විකල්ප මොනවාද යන්න සාධාරණ ප්‍රශ්නයකි.

විජේවීර විසින් තෝරා ගත්තේ විනාශකාරී විකල්පය බවත් එය ඔහු ඇතුළු 60,000 කට දේශපාලණිකව මාරාන්තික වූ බවත් මේ වන විට ඉතිහාසය විසින් තහවුරු කර තිබේ. තහනම් කරනු ලැබුවේ ජවිපෙ පමණක් නොවේ. නව සමසමාජ පක්ෂයද තහනම් කළේය. නමුත් ඔවුන් යටිබිම්ගත වූයේ කෙටි දවස් කිහිපයකට පමණි.

ජේආර් පිට දමා සාධාරණ කළ නොහැකියි

එමනිසා ජේ.ආර්.ගේ මර්දනය ඉදිරියට දමා ජවිපෙ විසින් සිදුකළ මහා විනාශය සාධාරණීකරණය කළ නොහැකිය.

ජවිපෙ ප්‍රචණ්ඩත්වයේ පළමු ගොදුර බවට එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ සහෝදරයා පත්වීම අහම්බයක් නොවේ. ජවිපෙට සිටි ආසන්නතම ප්‍රතිවාදියා වූයේ ඔහුය. ඉන් අනතුරුව ජවිපෙ ගොදුරු බවට පත් වූයේ ‘නන්දන මාරසිංහ’ වැනි හිටපු ජවිපෙ සාමාජිකයින්ය.

විජේවීර, විජය මරා දැමීමට තීරණය කරන්නේ මන්දැයි අපට තේරුම් ගත හැකිය. අපගේ මුඛ්‍ය කාරණය ජවිපෙ යටිබිම්ගත වීමට හේතු වූ කාරණා විමර්ෂණය කිරීම පමණක් බැවින් ඉන් අනතුරුව ඔවුන්ගේ ක්‍රියාකාරකම් මේ අවස්ථාවේදී අවිෂයය.

බෝපගේ සහ චිත්තරපටිය 

ජවිපෙ සහ විජේවීර යටිබිම්ගත වීම මේ යථාර්තයෙන් පරිභාහිරව සිදු නොකළ හැකි බව මාගේ නිරීක්ෂණයයි. බෝපගේ සහෝදරයා ඉදිරිපත් කරන ආත්මීය කාරණා අදාල විෂයේදී වැදගත් කමෙන් දෙවනි වන බව මාගේ අදහසයි.

යල්පැනගිය මිණුම් දඬු වලින් යක්ෂයා දෙවියෙක් කළ නොහැකි බව බෝපගේ සහෝදරයාට මතක් කරදෙමු. චිත්‍රපටය සම්බන්ධයෙන් කිව යුතුව ඇත්තේ එවකට පැවැති තීරණාත්මක දේශපාලන කාරණා වලින් තොරව විජේවීරගේ චරිතය පැතලි සහ විශ්වාසණීයත්වයෙන් තොර එකක් වී ඇති බවයි.

අතුරුම කතාව සහ නිමාව

දිනය 1989 නොවැම්බර් 14. රෝහණ විජේවීරව අත්අඩංගුවට පත් වූ බවත් අනතුරුව ඝාතණය කළ බවත් මේ දිනයේ පස්වරු දෙක වන විට ආරංචී පැතිරෙමින් තිබුණි. නිළ මාධ්‍යට අමතරව වෙනත් මාධ්‍යයක් නොතිබූ සහ දුරකථන පහසුකම් සීමිත මේ යුගයේ ආරංචී බොහෝදුරට පැතිර ගියේ ඔිපාදූප මට්ටමෙන්ය. සවස හතර පමණ වන විට මේ ආරංචිය සත්‍ය බවට තහවුරු වී තිබුණි. මේ සන්ධ්‍යාවේ ගල්කිස්ස තපෝදනාරාමයේ අපේ සුපුරුදු තිප්පොලට මා යන විට එහි තද දේශපාලන ඝෝෂාවක්ය. මිතුරු කැළ සහ නිතිපතා රැස්වන තරුණ පිරිසක්ද එහි විය.

කල්‍යානන්ද සාමාන්‍ය සහ සුපුරුදු ලෙසම කාරණයට අදාල නොවන කරුනක් එනම් විජේවීර වරක් මයික් එකක් පොළොවේ ගැසූ කතාවක් කියමින් සිටියේය. ඕනෑම දෙයක් කීමෙන් අසන්නන්ගේ අවධානය ලබා ගැනීමේ නිසඟ හැකියාව ඔහු සතුවිය. මේ ආ ගිය කතා වහාම දරුණු දේශපාලන වාදයක් බවට පත්වීමට වැඩි වෙලාවක් ගත වූයේ නැත. මා ඉදිරිපත් කළ කාරණය වූයේ විජේවීර ඝාතණය කිරීම හරිද වැරදිද යන ඍජු කාරණයයි. මේ ඝාතණය කළ යුතුම තිබූ එහෙත් මඳක් පමා වූ අවශ්‍යම ඝාතණයක් බවට මා සමඟ එකඟ වූයේ දෙතුන්දෙනෙක් පමණි.

කල්යා අපට එකඟ වූයේ නැත. මේ ඝාතණය විය යුතු එකක් ලෙස වූ මාගේ අදහස අද පවා වෙනස් නැත. අද දිනයේ මේ ගැන කල්‍යාගෙන් විමසුවහොත් නම් අදාල නොවන බොහෝ කාරණා අසා ගැනීමට හැකිවනු ඇත.

සෙනඟ පිරි ගල්කිස්සේ කඩයක රාත්‍රී රූපවාහිණි පුවත් මා බැළුවේ ‘සඳරුවන්’ සමඟිණි. රැවුල සහ තොප්පිය නැති විජේවීර යැයි කෙනෙක් කළ ප්‍රකාශයක් ප්‍රධාන පුවත ලෙස විකාශය වූ අතර ඒ ඇත්තම විජේවීර දැයි බොහෝ අය ප්‍රශ්න කරන අතරේ “මචං මේ බොසාම තමයි” යැයි නිශ්චිතවම හඳුනා ගැනීමට සඳරුවන් සමත් විය.

-විසල් කරුණාරත්න විසිනි-

Back to Top