Sri Lanka Brief
පුවත්“ගින්නෙන් උපන් සීතල” හෙවත් කථාවෙන් හා සත්‍යයෙන් අඩක් කීම

“ගින්නෙන් උපන් සීතල” හෙවත් කථාවෙන් හා සත්‍යයෙන් අඩක් කීම

by

පොඩි මහත්තයා විසිනි.

පසු ගිය දිනක “ගින්නෙන් උපන සීතල” හෙවත් Frozen Fire චිත්‍රපටිය නැරඹුවෙමි.

චිත්‍රපටිය මුලදීම අධ්‍යක්‍ෂවරයා විසින් මෙහි කථා වස්තුව දෙවන කැරැල්ලට සීමා වන බව දන්වයි. එසේ කරමින් අධ්‍යක්‍ෂවරයා විජේවීර වීර සාන්තුවරයකු ලෙස සිත්තම් කරයි. මෙම චිත්‍රපටය ජනතා විමුක්ති පෙරමුණ ගැන නොව එහි නායක රෝහණ විජේවීර ගැන වන හෙයින් එසේ සීමා කිරීමට හේතුව කථා රචකයා හා අධ්‍යක්‍ෂවරයා 1988 කැරැල්ලට පෙර විජේවීරගේ දේශපාලන හා පෞද්ගලික ජීවිතය ගැන නොදන්නා කම නිසාද නැතහොත් 1971 කැරැල්ලට පෙර නායකයාගේ තොරතුරු මෙයට ඇතුළත් කළහොත් අර්නස්ටෝ චේ ගුවේරාගේ මෙන් වීර හා සාන්තුවර චරිතයක් නිර්මාණයට නොහැකි වන නිසාදැයි සැකයක් මතුවේ.

1971 කැරැල්ලට පෙර විජේවීර කාලයක් පුරා දැක ඔහුගේ ආකර්ෂණිය කථා අසා ඇති හෙයින්ද විජේවීර හා 1971 අපරාධ විනිශ්චය සභා මහ නඩුවේ විත්තිකරුවන් දුන් සාක්ෂි පොත් කියවා ඇති හෙයින්ද 1989 කැරැල්ලේදී රාජ්‍ය හමුදා මෙන්ම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් කරන ලද කෘර මිනිස් විනාශය දෙස විමසිල්ලෙන් බලා සිටීමේ මතකයන් නිසා ද රෝහණ විජේවීර චිත්‍රපටියේ දක්වන තරම් වීරයෙකු හෝ සාන්තුවරයෙකු නොවන බව හඟිමි.

1971ට පෙර චමින්ද ඉතා කුඩා කොලුවෙකු ලෙස විජේවීර දැන සිටියේ ඔහු 1965-1971 කාලයේදී ඔහු අප නිවසේ සුපුරුදු චරිතයක් වූ හෙයිනි. ජ.වි.පෙ. හි ආරම්භකයන් තිදෙනාගෙන් දැනට ජීවතුන් අතර සිටින එකම පුද්ගලයා වන අම්බලන්ගොඩ නිවැසි පියසිරි කුලරත්න ඔහුගේ “මගේ මතක සටහන්” පොතෙහි දක්වා ඇත්තේ ජ.වි.පෙ.හි ආරම්භක සාකච්ඡාව 1965 මාර්තු මස දිනක අප නිවසේ රැය පහන් වන තුරු පැවැත්වූ බවයි. එදා සිට අපගේ පියා ජ.වි.පෙ. න් ඉවත් වූ කාලය තුල හැර රෝහණ විජේවීර හෙවත් ලොකු මහත්තයා අප නිවසේ බහුලව දකින චරිතයක් වී තිබුනි. (මුල් කැරැල්ලට පෙර තිබුනු ව්‍යාපාරයේ සාමාජිකයින් සහෝදරයා ලෙස නොව මහත්තයා ලෙස හැඳින්වීම දේශපාලන ව්‍යාපාරයේ දෙවන අදියරේ දී නොතිබුනු බව චිත්‍රපටියෙන් හැඟවේ. චමින්දගේ නිවසේ පැවැත්වුනු ඔවුන්ගේ දේශපාලන සාකච්ඡාවලට නිතර තේ රැගෙන වන අවස්ථාවලදී විජේවීර විසින් චමින්දට පොඩි මහත්තයා ලෙස නමක් ද පටබැඳ තිබුනි. විශේෂයෙන්ම ඔහු හා එකල ඔහුගේ ආරක්‍ෂකයින් ලෙස සිටි සිසිල්චන්ද්‍ර හා අමරදාස යන අය චමින්දට පොඩි මහත්තයා ලෙස විහිලුවට ඇමතීමට පුරුදුව සිටියහ). චමින්දලාගේ නිවස පක්ෂයේ මුල් වකවානුවේ කේන්ද්‍රස්ථානයක් වී තිබුනද පියා පක්ෂයෙන් ඉවත් වූ පසුව හා එයට පෙර ද රෝහණ විජේවීර අම්බලන්ගොඩ, මහ අම්බලන්ගොඩ සිසිල්චන්ද්‍රගේ නිවසේ ද අම්බලන්ගොඩ, පෝරඹ අනුර කුරුකුලසූරියගේ නිවසේ ද නැවතී සිටියේය.

චිත්‍රපටියේ නොකියන නමුත් නොතිබුනා ලෙස පෙන්වන හැඟවුමකි,  රෝහණ විජේවීරගේ පළමු ප්‍රේම අන්දරය. ඔහු අම්බලන්ගොඩ, මහ අම්බලන්ගොඩ සිසිල් චන්ද්‍රගේ නිවසේ නවා තැන් ගෙන සිටියදී සිසිල් චන්ද්‍රගේ නැගණිය වූ යසෝමා සමග පෙමින් වෙලීම, එකළ පෙම් සබඳතා තහනම් පක්ෂය තුළ ආන්දෝලනයක් වී තිබේ. ඔහු යසෝමාට ලිවූ හා යසෝමා ඔහුට ලිවූ ලිපි එකතුවක් රෝහණ විජේවීර විසින් ආරක්ෂාවට තබා ගැනීමට චමින්දගේ මවට දී තිබුනි. 1971 අප්‍රියෙල් කැරැල්ල ඇවිලීමත් සමගම තම දරුවන් දෙදෙනෙකුම ජ.වි.පෙ. පූර්ණකාලින් ලෙස ගෙදරින් පැන ගොස් සිටි චමින්දලාගේ නිවසේද භිය ගිනි ඇවිළීම නිසා චමින්දගේ මව චමින්ද ද කැටුව ඇයගේ බාලම නැගණිය වන අපේ සුදු අම්මාගේ නිවසට ගොස් මෙම ලිපි සැඟවිමට දුන්නා ය. එම නිවසේ තිබූ යුනික් රේඩියෝව ගලවා එහි ඇතුළත ලිපි සැඟවූයේ චමින්ද සහ මව ඉදිරියේම ය. 1971 අප්‍රියෙල් මස අග භාගයේදී ඉඳිකැටිය, නින්දාන ආදී පෙදෙස් ජ.වි.පෙ. විසින් නිදහස් කලාපයක් බවට පත් විය. සුදු අම්මාගේ දියණියක වන රාණි අක්කාද එම නිදහස් හමුදාවට එක් වීමට ගෙදරින් පැන ගිය පසු එම නිවසේ අය බිය වී එම පෙම් හසුන් සියල්ල ගිනි දෙවියාට නොපිදුවේ නම් අටවන එඩ්වඩ් රජුගේ ලිපි මෙන් එම ලිපි ද ඉතිහාසයට එක් වීමට ඉඩ තිබුනි. 1971 අප්‍රියෙල් මහ නඩුව ආරම්භ වූ පසු රෝහණ විජේවීරගේ බාල සොයුරු ආනන්ද විජේවීර පැමිණ චමින්දගේ මවගෙන් මෙම ලිපි ඉල්ලා සිටිය ද ඒවා පුලුස්සන ලද බව අසා ඔහු ආපසු ගියේ ඒ ගැන එතරම් විශවාසයෙන් නොවේ. මෙම ආදර සම්බන්ධය රෝහණ විජේවීර විසින්ම නවතා දමන ලද අතර එයින් සිසිල්චන්ද්‍රගේ පවුලට විශාල හානියක් විය.

අර්‍ධ සත්‍ය යනු අර්‍ධ මුසාවකි.

මහ නඩුවේදී රෝහණ විජේවීර සමග දේශපාලන වශයෙන් ඉතුරු වූයේ ලයනල් බෝපගේ, ජයදේව උයන්ගොඩ, කෙලී සේනානායක යන අය පමණි. මහ නඩුවේ බහුතරයක් සැකකරුවන් එනම් එදා පක්ෂයේ PB එකේ හෙවත් දේශපාලන මණ්ඩළයේ සිටි සියල්ල සාක්ෂි දෙමින් කියා සිටියේ රෝහණ විජේවීර විසින් මර්ධනය අධික හෙයින් එයට ප්‍රතිප්‍රහාර දක්වමින් කැරැල්ල ආරම්භ කිරීමට යාපන බන්ධනාගාරයේ සිට පණිවුඩයක් එවූ බවත් ඒ සමගම තමා මුදවා ගැනීමට කණ්ඩායමක් යාපනය බන්ධනාගාරයට එවන ලෙස ඔහු විසින් දන්වා තිබූ බවයි. රෝහණ විජේවීර මෙය එක හෙළාම ප්‍රතික්ෂේප කරමින් 1971 කැරැල්ලට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව කියා සිටිමින් තම පක්ෂයේ දෙවෙනි පෙළ සොයුරන් වෙත එම වගකීම පවරා අත් සෝදා ගත්තේ ය. එසේ කරමින් ඔහු 1971 කැරැල්ලේදී දිවි දුන් දහස් ගණනකට අධික සොයුරන්ද පක්ෂයට බැඳී යුධ වැදී තම අනාගතය අඳුරු කර ගත් 22,000 කට අධික පිරිසක් ද පාවා දුන්නේය. ප්‍රහාරය ආරම්භ කිරීමට රෝහණ විජේවීර නියෝග දුන් බව ඔහු මුසාවාදයෙන් එම වගකීමෙන් මිදීමට උත්සාහ කළ බව දැන සිටි 1971 කැරැල්ලේ නායකයින් කිසිවෙකු පක්ෂයට හෝ දෙවන කැරැල්ලට සහය නොදැක් වූ අතර ඉන්පසු පක්ෂයේ දේශපාලන බල මණ්ඩළය පවා අළුතින් පක්ෂයට බැදුනු අයගෙන් පමණක් යුතු විය. එහි සිටි පැරණියන් වන සෝමවංශ අමරසිංහ පහරදීමට නෑවිත් පළා ගොස් සැගවී සිටියෙකි. ගමනායක 1971 දී සාමාන්‍ය මට්ටමේ පුර්ණ කාලීනයකු පමණි. 1971 අප්‍රියෙල් මහ නඩුව විජේවීර සාන්තුවරයෙකු හෝ වීරයෙකුට වඩා පාවා දෙන්නකු මෙන්ම තම පුද්ගලික වාසිය පතා බොරු කියන්නෙකු බව හෙළි කළේය.

තෙවෙනි කරුණ නම් 1988 කැරැල්ලේ සාමාන්‍ය මිනිස් ජීවිත විනාශ කරමින් ද රජයේ රැකියාවක් කිරීම නිසාම අහිංසක රජයේ සේවකයින් මරා දමමින්ද ජ.වි.පෙ. සමග එක් නොවූ සියළු වාමාංශික මෙන්ම අනෙකුත් දේශපාලන පාක්ෂිකයන් විරුද්ධවාදීන් ලෙස සලකා ඝාතනය කිරීමෙන් ද සමාජගත කරන ලද කෘරත්වයෙන් හා ලංකාවේ වාමාංශික දේශපාලනය බිඳ දැමීමේ වරදින් මෙම චිත්‍රපටිය රෝහණ විජේවීර නිදහස් කොට තිබීමයි. සේවයට වාර්තා කිරීම නිසාම රජයේ සේවකයින් මරා දැමූ රෝහණ විජේවීරගේ නායකත්වයෙන් යුතු වු ජ.වි.පෙ.ය රජයේ සේවකයින්ට ඍජුව හා අවංකව සේවය කරන ලෙස ඇතැම් අවස්ථාවල උපදෙස් දීම හෝ බලාපොරොත්තු වීම මේ නිසාම සිනාවට කරුණකි. එකල කෑගල්ලේ සේවය කළ චමින්දට මෙන්ම අනෙක් රජයේ මාණ්ඩලික නිලධාරීන්ට දරණ දඬුවම පණවා එවන ලද ලිපි බොහෝ ය. සහකාර මැතිවරණ කොමසාරිස්වරයකු වූ චමින්දගේ වැඩිමල් සොයුරා හමුදාව විසින් මාතර කොටුවේ තබා ගෙන මැතිවරණ රාජකාරි කරවන ලද අතර ඒ නිසාම රජයේ සේවයෙන් ඔහු ඉල්ලා අස් වන බව දන්වා අම්බලන්ගොඩ අප නිවසේ කළු කොඩි දමන ලෙස ජ.වි.පෙ. විසින් නීති පණවා තිබුනි. එවකට කාන්තාවන් පමණක් සිටි අප නිවසේ එසේ කොඩි දමන ලදී. 1971 කැරැල්ලට සමබන්ධ වූ චමින්දගේ අනෙක් වැඩමහල් සොයුරා එකල ද සිටියේ සමාජවාදය පිහිටුවීමට අවි අත දරා තමා පසු පස හඹා එන ජ.වි.පෙ. සහෝදරයින්ගෙන් ගැලවීමට දිනෙන් දින, රැයෙන් රැය නිවෙස් මාරු කරමින් තම අත දරුවා හා බිරිද සමග කට්ටි පනිමිනි. ඔහු හා පවුල මරණයෙන් කිහිප වතාවක්ම ගැලවුනේ හාස්කමකින් මෙනි. අද ද ජාතිවාදයට විරුද්ධ වීම නිසා ජාතිවාදීන් හා රාජපක්ෂවාදීන්ගෙන් පහර කන ඔහු එදා කළ වරද නම් 1971 දී තම පක්ෂය දේශපාලනමය වරදක් කළ බව විශ්වාස කළ කණ්ඩායමක් ජනතා සංගමය නමින් එක්ව ස්වයංවිවේචනයක් කිරීම හා තමන් විශ්වාස කළ සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමයි.

අද මැතිවරණම ඉල්ලන ජ.වි.පෙ.ය එදා තම සාන්තුවර නායකයා ලෙස සිටි විජේවීරගේ අනුදැනුමින් යුතුව පළමුව ඡන්දය ප්‍රකාශ කළ පස් දෙනා මරා දමා ඔවුන්ගේ දෙණ කර මත ගෙන යාම තහනම් කොට දණිසට පහළින් එල්ලා ගෙන යාමට නියම කළේ ය. එකළ අමබලන්ගොඩ පනියන ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ සිටි ප්‍රබලයා වූයේ සෝමතුංග මහතායි. දේශපාලනය කෙසේ වෙතත් ඔහු සාධාරණත්වය ඇගයූ ඍජු මිනිසෙකි. 1989 දී අම්බලන්ගොඩ පෝරඹ හා පනියන ජ.වි.පෙ. නායකයෙකු වූයේ සෝමතුංග පවුල සමග පුද්ගලික අමනාපයක් තිබූ අයෙකි. 1988-12-11දින රෝහණ විජේවීරගේ නායකත්වයෙන් තිබූ ජ.වි.පෙ. හි පෝරඹ හා පනියන ශාඛා මෙහෙයවූ එම නායකයා ඇතුළු පක්ෂයේ සහෝදරයෝ සෝමතුංග මහතා අතුළු පවුලේ 8 දෙනෙකු එකතැනම ඝාතනය කළෝ ය. නිවසේ එදින නොසිටි දරුවන් දෙදෙනෙකු පමණි එදා ජ.වි.පෙ.ට මරා දැමීමට නොහැකි වූයේ. නිවසේ සිටි බල්ලන් තිදෙනා සහ කිරි දෙනුන් සියල්ලද දේශප්‍රේමීන් විසින් ඝාතනය කරන ලදී. අත දරුවන් දෙදෙනෙකුද කාන්තාවන් තුන් දෙදෙනෙකු ඇතුළුව අහිංසකයන් 8 දෙදෙනෙකු එක තැනම මරා දැමූ එම පක්ෂයේ නායකයා ගැන චිත්‍රපටියේ අවසානයේ පෙන්වන “අප මරා දැමූවද අප නැගූ හඬ සදා නොමියෙනු ඇත” යනුවෙන් දැක්වීමට චිත්‍රපට අධ්‍යක්ෂවරයාට හැකි වන්නේ කෙසේද? රෝහණ විජේවීරගේ නායකත්වයෙන් ජ.වි.පෙ. විසින් මරා දැමූ එම අහිංසකයන් මරණ භියෙන් නැගූ හඬ ගැන චිත්‍රපට අධ්‍යක්ෂවරයා කියනුයේ කුමක්ද?

ධර්මන් විත්‍රමසිංහ ලියූ “ජවිපෙ දෙවැනි කැරැල්ල” නැමැති පොත අනුව ජවිපෙ ක්‍රියාත්මක කරන ලද භීෂණය නිසා මරා දුමුණු සංඛ්‍ය මෙසේ බැව් ලංකාදිප පුවත්පත වාර්තා කළේය.

“ජවිපෙ නායකයෙකු 2014 දී බ්‍රිතාන්‍යයේ සංදේශය සිංහල ගුවන් විදුලි සේවය සමග පැවති සාකච්ඡාවකදී කියා සිටියේ එසේ මරා දැමූ සංඛ්‍යාව 6000ක් පමණ වන බවය. ” ප්‍රෙතියෝ”  එනම් ප්‍රතිගාමීන් යැයි මෙසේ මරා දැමුවන් අතර එජාප ක්‍රියාකාරිකයන් 1783, රාජ්‍ය නිලධාරින් හා සේවකයින් 485, පොලිස් නිලධාරින් 324, ආරක්ෂක හමුදා නිලධාරින් 15 ක් ඇතුළු සෙබළුන් 202, සරසවි සහ පාසල් සිසුන් 187, පොලිස් පවුල් සාමාජිකයින් 92, හමුදා පවුල් සාමාජිකයින් 70, විදුහල්පතිවරුන් 52, භික්ෂුන් 41, වෘත්තීය සමිති ක්‍රියාකාරිකයින් 27, වතු පාලකයින් 18, මාධ්‍යවේදීන් 12, කලාකරුවන් 9, නීතිඥයන් 7, ප්‍රධාන ව්‍යාපාරිකයින් 6, මහාචාර්යවරු 2 , කතෝලික පූජකවරුන් 2, ශ්‍රිලනිප 200 ක් පමණ, මහජන පක්ෂය 141, කොමියුනිස්ට් 43, නසසප 24,, සමසමාජ 22, ජනතා සංගමය 19, 71 කැරලිකරුවන් 7, විකොස 3, ස්වාධීන ශිෂ්‍ය 3, ජනතා සමාජවාදියෝ 2, සමාජවාදී ජනතා ව්‍යාපාරය 1, අවිස්සාවේල්ල කණ්ඩායම 1, වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, ගුරුවරුන්ද ඇතුළත්ව පුරවැසියන් 2888 අයත් විය.”

කබ්රාල් හෙවත් සමන් පියසිරි ප්‍රනාන්දු හෙවත් කීර්ති විජයබාහු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නම් සන්නද්ධ අංශය ක්‍රියාත්මක කළේ රෝහණ විජේවීරගේ අනු දැනුම හා එකගත්වය නොමැතිවද? චිත්‍රපටය මේ ගැන සිතා මතාම මුණිවත රකී. මෙම චිත්‍රපටය කථාවෙන් අඩක් කියමින් රාජ්‍ය භීෂණයට හසු වු රෝහණ විජේවීර ඇතුළු ජ.වි.පෙ. සාමාජිකයන් ගැන සානුකම්පිත බැල්මක් හෙළිමට කරුණු නොදන්නා නරඹන්නා නොමග යවමින් ඔවුන්ගේ මනසට බලපෑම් කෙරුවද එය වක්‍ර ආකාරයෙන් වර්ථමාන ජ.වි.පෙ. කෙරෙහිද සුදු හුණු ගෑමකට යත්න දරයි. නමුත් එය වක්‍ර ආකාරයෙන් ම කියනුයේ තමන් කළ ඓතිහාසික වරද නොපිළිගන්නා තෙක් මෙතැනින් ඔබ්බට ඔවුනට ද ගමනත් නැති බවයි. එක් අතකින් රෝහණ මුණසිංහ වැනි අය කරන පක්ෂයේ අවංක කම පිළිබඳ භයානක හෙළිදරව්ය. අනෙක් අතින් පක්ෂය ඉටු කළ ඓතිහාසික වැරදිය. තම වැරදි පිළිගැනීමෙන් තොරව “ගින්නෙන් උපන් සීතල” මෙන්ම කථාවෙන් අඩක් කියා හෝ රෝහණ විජේවීරට සුදු හුණු ගැමෙන් මෙම උගුලෙන් මිදීමට නොහැකි බව පිළිගැනීමට ජ.වි.පෙ. නායකත්වය දැනවත් අවංක හා එඩිතර විය යුතුය.

ජවිපෙ තමන් පක්ෂයක් ලෙස කරන ලද ඓතිහාසික වරද පිලිනොගන්නා පසුබිමක මෙම වි්‍ත්‍රපටිය නිසා ජවිපෙට වාසියකට වඩා සිදුවිය හැක්කේ අවාසියක් යැයි හැඟේ. මන්ද යත් ජවිපෙට ජන්දය දීමට බලා සිටින මධ්‍යස්ථ පිරිස් වෙත මම චිත්‍රපටිය ගෙන එන්නේ වරද පිළිනොගන්නා මනුෂ්‍ය ඝාතන සාධාරණ කරන ජනතා විමුක්ති පෙරමුණක් පිළිබඳ චිත්‍රයක් නිසාය.

(මෙය චිත්‍රපටය ගැන විචාරයක් නොවේ. අධ්‍යක්ෂණය, සංගීතය, රඟපෑම හා සිනමා රූප ශිල්පය ඉතා අගනා බව ඒවායේ දැනුමැත්තෙකු නොවන චමින්දට ද වැටහේ. එහෙත් චිත්‍රපටය රෝහණ විජේවීරගේ චරිතය ගැනත් ජ.වි.පෙ. ගැනත් ප්‍රක්ෂේපණය කරන චිත්‍රයේ අර්‍ධ සාවද්‍ය බව හෙළි කිරීම මෙහි අරමුණයි).

චමින්ද වර්ඩ්ප්‍රෙස්

Back to Top