Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංග2019: වර්ධනයන් සහ අභියෝග – සුනන්ද දේශප්‍රිය

2019: වර්ධනයන් සහ අභියෝග – සුනන්ද දේශප්‍රිය

by

2019 වසර එළඹෙන්නේ ශ්‍රී ලංකාව සහ අප අභිමුව බරපතල අභියෝග ගණනාවක් ඉදිරිපත් කරමිනි.

අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පෙරමුණූ ආණ්ඩුව, මේ තාක් පෙන්වා ඇති පරිදි, දිගටම ගමන් කරමින් සිටින්නේ පරණ පාරේ ය. 2018 ඔක්තෝබර් 26 දින සිට දින 51ක් පුරා සිරිසේන රාජපක්ෂ දේශපාලන කුමන්ත්‍රණයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අරගල භූමියට සපැමිණි සිවිල් ජනයාගේ අපේක්ෂා අවම වශයෙන් හෝ සම කිරීමට එය කණගාටුදායක ලෙස අසමත් විය. සිය අමැති මණ්ඩලය පත් කිරීමෙහිදි අඩුම වශයෙන් විශවසනීය නව මුහුණුවරක් හෝ ලබා දීමට හෝ රනිල් වික්‍රමසිංහ උත්සාහ දැරුවේ නැත.

අලුත් බෝතලේ පරණ වයින්

පසුගිය වසර තුනහමාර තුළ අසාර්ථක වූ ඇමැති මණ්ඩලයක් ඉදිරි වසර තුල ප්‍රතිහාර්‍ය පානු ඇතැයි විශ්වාස කරනු ඇත්තේ 1975-76 වර්ශයන්හි සිරිමා බන්ඩාරණායක වෙනුවෙන් ‘සීනි නැතිව තේ බොන්නම්මිරිස් නැතිව හොදි කන්කම්’ කියමින් පෙළපාලි ගිය දේශපාලන වර්ගයේ අය පමණ ය.

ආර්ථික වශයෙන් අප 2019 වසර පුරාද මුහුණ දෙනු ඇත්තේ අවම ආර්ථික වර්ධනයක් සහිත එදිනෙදා ජීවිතයේ මෙරට ජනයා මුහුණ දෙන අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු ප්‍රවාහණය වැනි අවශ්‍යතා සාධනීය වෙනසකට ලක් නොවන වාතාවරණයකට ය. දැනටම පෙනෙන්නට තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ස්වෙච්චාවෙන් එජාප නායකත්වයෙන් බැස නොයනු ඇති බව ය. එසේ වුවහොත් ඒ විසින් ද එජාපය දුර්වල කරනවා ඇත. වසර මැද වන විට එහි පක්ෂ අභ්‍යන්තර ගැටුම් ඇරඹෙනු ඇතැයි උපකල්පනය කිරීමේ වරදක් නැත.

එජාපය දස වසරකට පසු

තීරණාත්මක බිදීමක් සිදු නොවුන හොත්, ප්‍රධාන පක්ෂ දෙක අතුරින්, දිර්ඝකාලීන වශයෙන් දේශපාලන බිමෙහි ශක්තිමත්ව රැදී සිටීමේ විභවය තිබෙන්නේ එජාපයට ය. ශ්‍රිලනිපය දැන් සිටින්නේ සම සමාජ හා කොමියුනිස්ට් පක්ෂයන්ට හෝ මහජන එකසත් පෙරමුණට අත් වූ ඉරණම අභිමුඛව ය. මහින්ද රාජපක්ෂගෙන් පසු පෙහොට්ටු පක්ෂට අනාගතයක් නැත. දශකයකින් එපිටට කල්පනා කරන්නේ නම් ශක්තිමත්ම නායකත්ව මණ්ඩලයක් සිටිනු ඇත්තේ ද එජාපයට ය.

එලඹෙන මැතිවරණ වර්ශයෙහි දී රාජපක්ෂවරුන් මුහුණ දෙනු ඇති ප්‍රධාන ප්‍රශ්ණය වනු ඇත්තේ පවුලෙන් ජනාධිපති අපේක්ෂකයකු සොයා ගැනීම යි. බැසිල් රාජපක්ෂ සිය ඇමෙරිකානු පුරවැසිබව අත් නොහරින බව ශපථ කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ ඊට සූදානම්යැයි කියන මුත් එය සාර්ථක නොවීමට ඇති ඉඩ වැඩි ය. රාජපක්ෂ මස්සිනා කෙනෙකු වන ජාලිය වික්‍රමසිංහට ඇමෙරිකානු රජය විසින් දූෂණ චෝදනා යටතේ පවරා ඇති නඩුව පොහොට්ටුවට අසුභ පෙර නිමිත්තකි.

මහින්ද නැති පොහොට්ටුව පරවේ

පොහොට්ටු පක්ෂය එකට බැදී සිටින එකම සාධකය මහින්ද රාජපක්ෂ පමණි. ඔහු නැතොත් පොහොට්ටු පක්ෂ කැඩි බිදී යනු නියත ය. මහින්ද රාජපක්ෂ මෙන්ම බැසිල් රාජපක්ෂ ද ජනාධිපතිවරණය සඳහා ශිරන්තිට හෝ චමල්ට වැඩි කැමැත්තක් දැක්වීමට ඉඩ තිබේ.

දැනටමත් පෙනෙන්නට ඇති පරිදි දේශපාලන බලය ලබා ගැනීම සඳහා රාජපක්ෂ බලඇනි විසින් එන්න එන්නම උත්සන්න කරනු ඇත්තේ ජාතිවාදය සහ බොරු දේශප්‍රේමය යි. ජාවාරම්කාර මාධ්‍ය හිමිකරුවන්ගේ අධිපත්‍ය සහිත ජනමාධ්‍ය විසින් අමූලික බොරු, බොරු, සහ අර්ධ බොරු වැපිරීම මගින් එම වර්ගවාදී ගින්න ඇවිලවීමට ඉන්ධන සපයනවා ඇත.

රාජ්‍ය මාධ්‍ය දිගටම පක්ෂ දේශපාලනයේ

එජාපය විසින් රාජ්‍ය පාලිත මාධ්‍ය දිගටම සිය අණසක යටතේ පවත්වා ගනිමින් එහි පැවතිය යුතු ස්වාධීනත්වය කෙළෙසීම දැනටමත් පටන් ගෙන තිබේ. එහි කොටසක් කෑමට ජනපති සිරිසේනට ද ඉඩ ලැබී තිබේ. සිවිල් සමාජ පිරිස් රාජ්‍ය මාධ්‍ය ස්වාධීන කිරීම තවමත් සිය න්‍යාය පත්‍රයන්ට ඇතුල් කරගෙන නැත. එනයින් යහපත් මහජන සේවා ජනමාධ්‍ය භාවිතයක් 2019 වසරෙහිද දක්නට ලැබෙන පාටක් නැත.

ඊට අමතරව හිටපු මහ ඇමැති විග්නේශ්වරන් විසින් නාමික නායකත්වය දෙනු ලබන ආන්තික දේශපාලන ධාරාව දෙමළ දේශපාලනය තුළ වඩ වඩා ශක්තිමත් වනු ඇත. එය දකුණේ අන්තවාදය සහ උතුරේ අන්තවාදය එකිනෙක ඌණ පූර්ණය කරගන්නවා ද ඇත. පළාත් පාලන මැතිවරණයෙන් පසුබෑ දෙමළ ජාතික සන්ධානය තවදුරටත් පසුබැසීමට ඇති ඉඩ වැඩි ය. මෙරට දෙමළ දේශපාලනයේ තීරණාත්මක වෙනසකට මඟ පාදමින් විග්නේශ්වරන්වාදී බලවේග දෙමළ සන්ධානය පරදවනු ඇත්දැයි කීමට තවම කල් වැඩි මුත් එය සහමුලින්ම බැහැර කළ නොහැකි විභවතාවයකි.

සිරිසේනගේ කකුල් මාට්ටු

නළලෙහි දේශපාලන සොහොන් ළකුණු දැනටමත් කෙටී ඇති සිරිසේන දිගටම ආණ්ඩුවේ කකුලෙන් අදිනු සිකුරු ය. ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ ඇමැතිවරයකුට ඔහුම කියා ඇති පරිදි ඔහු යනු ඇත්තේ හනුමා මෙන් දිගට ම ගිනි තියා ගෙන ය. සිරිසේන දේශපාලන අනාථයකු බවට පත් කරමින් ඔහු සමඟ ඉතිරිව සිටින ශ්‍රීලනිප මංත්‍රීවරු ආණ්ඩුවට හෝ රාජපක්ෂ කරා මාරු වී යනවා ඇත. 2019 වර්ශය, සිරිසේනගේ දේශපාලන ගමනක අවසානය සටහන් කරනු ඇත්තේ ඔහු දේශපාලන පාවාදෙන්නෙකු ලෙස ඉතිහාසයේ සටහන් කරමිනි.

නිදහසින් පසු මෙරට පාලනය කළ ප්‍රධාන ධාරාවන් දෙකම කෙරෙහි කළකිරෙන ජනයා තෙවැනි පක්ෂය ලෙස පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණ කරා 2019 වර්ශයේදී ආකර්ශණය වනු ඇත්ද? සිරිසේන රාජපක්ෂ දේශපාලන කුමන්ත්‍රණය බිම් මට්ටමෙහිදී සිය දේශපාලන වාසියට යොදා ගැනීමට ජවිපෙ සමත් වූ බවක් පෙනෙන්නේ නැත. එසේ වුවත් අලුතින් මැද පංතික ජන්ද යම් ප්‍රමාණයක් එය කරා ඇදී යෑමට බොහෝ දුරට ඉඩ තිබේ. එනමුත් එම ප්‍රමාණය ගුණාත්මක වෙනසක් ඇති කිරීමට සමත්වෙනු ඇත්දැයි කීමට නොහැක. එමෙන්ම එජාපය සහ පොහොට්ටු පක්ෂය තියුණූ මැතිවරණ සටනක් කරා අවතීර්ණ වුවහොත් ජවිපෙ කරා ඇදී එනු ඇතැයි උලකල්පනය කැරෙන එවැනි පිරිස් ආපසු එම පක්ෂ කරාම ඇදී යාමට ද ඉඩ තිබේ.

ජවිපෙට පුලුවන්ද?

ඊටත් වඩා ජවිපෙ මුහුණ දෙන ප්‍රශ්ණයක් නම් 1989-90 සමයෙහි එය ගෙන ගිය ත්‍රස්තවාදී ප්‍රචන්ඩ දේශපාලනය යි. එම යුගය පිළිබඳ විවෟත සහ ස්වයං ව්වේචනාත්මක සාකච්ජාවකින් තොරව එයට මෙම බාධකය ජයගත නොහැක. සම්ප්‍රධායික මාක්ස්වාදී මතයන්හි එලබ සිටීමද ජවිපෙ වෙනස්වීමට දක්වන නොහැකියාවේ ළකුණකි. අද ලෝකයේ වැඩිම ප්‍රමාණයක් ඒක පාක්ෂික අඥාදායක රටවල් වශයෙන් පවතින්නේ පැරණි තවමත් එනමින්ම පෙනී සිටින කොමියුනිස්ටිවාදී රාජ්‍යන්ය.

කෙටියෙන් කියන්නේ නම් 2019 වසරෙහිදී ජවිපෙට තීරණාත්මක පිම්මක් ඉදිරියට පැනීමට හැකිවෙතැයි සිතිය නොහැකිය.

එජාපයට සහ ශ්‍රීලනිපපොහොට්ටුවට එරෙහි විකල්පයක් විය හැකි යුක්තිය මත පදනම් වූ ජනවාර්ගික සමානාත්මතාවය පිළිගන්නා හරිතසමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් හෝ මතවාදයක් හෝ 2019 වසරෙහි අප හමුවෙහි නැත. මෙරට නැගී එන උගත් මධ්‍යම පංතික ජනයාගේ ආකර්ශණය හිමිවනු ඇත්තේ හුදෙක් රාජ්‍ය බලය අල්ලා ගැනීමම වෙනුවට බලපෑමේ දේශපාලනය මුල් කරගත් එවැනි දේශපාලනයකට ය.

මාර්තු මාසයේ ජිනීවා වාර්තාව

මේ සියල්ළ මැද 2019 වර්ශය නව ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත්වන වර්ශය බවට පත්වීමට ඉඩ තිබේ. තවද 2019 මාර්තු මාසයේදී ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ වාර්තාව ඉදිරිපත් වෙයි. සංක්‍රමනීය යුක්ති යාන්ත්‍රණයන් පිහිටුවා ඇත්ද, ඒවා සාර්ථකද, යනාදිය මෙන්ම ඉදිරි පියවරයන්ද එහිදී තීරණය වනු ඇත.

මෙකී වර්ධනයන් විසින් ඇතිකළ හැකි දේශපාලන ගතිකත්වයන් සහ අප මුහුණ දෙන අභියෝග පසුව කතා කරමු.

 

 

 

Back to Top