Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගහිරේදි මට නැව් පනහක් තිබුණා -71’ කැරැල්ලේ කළු රංජි

හිරේදි මට නැව් පනහක් තිබුණා -71’ කැරැල්ලේ කළු රංජි

by

මුලින්ම ඔබ හඳු­නා­ග­න්නට කැමැ­තියි?‍

මම රංජිත් දිසා­නා­යක. මට හුඟක් අය කියන්නේ කළු රංජිත් කිය­ලයි. ඒ හින්දා කවු­රුත් මාව හඳු­නන්නේ කළු රංජි නමින්.එදා මම කරපු දේවල් වලට වඩා වෙනස්ම වෘත්ති­යක තමයි දැන් මම නියැ­ළෙන්නේ. පොත් ප්‍රකා­ශ­ක­යෙක් ලෙස කට­යුතු කර­නවා. මේ වන­විට මගේ අග­හස් ප්‍රකා­ශන ආය­ත­න­යෙන් සැල­කි­ය­යුතු ප්‍රකා­ශන ප්‍රමා­ණ­යක් එළි­දක්වා තිබෙ­නවා. අපි මිත්‍යා­ම­ත­ව­ලට විරු­ද්ධව පොත් කිහි­ප­යක් කළා. ජ්‍යෝති­ෂය වගේ හදා­රන අයට එය කණේ පාරක් වුණා. සම­හරු මට ගහ­න්නත් ආවා. ඊට පස්සේ පුන­ර්භ­වයේ මනෝ­මා­යාව, ඒ වගේ අභි­යෝ­ග­යට ලක් කළ කෘති ප්‍රකා­ශ­යට පත් කළා. මම ප්‍රකා­ශ­යට පත් කළ නව­ක­තා­ව­කට සම්මාන ලැබුණා. ඒ ‘හිතු­ව­ක්කාරී’. රුසි­යා­වෙන් ද සම්මාන ලැබුණා. ඒ ‘කුණා­ටු­වෙන් උපත ලද්දෝ’ කියන දොස්ත­වු­ස්කිගේ කෘති­යක පරි­ව­ර්ත­නය සඳහා. මම මේ ආය­ත­නය පව­ත්වා­ගෙන යන්නේ පොත් ප්‍රකාශ කරන්න බලා­සි­ටින අයට සේව­යක් ලෙසයි.

ඔබේ ළමා කාලය ගැන දැන ගන්න කැමැ­තියි?

මම උපන්නේ නුගේ­ගොඩ. මූලික අධ්‍යා­ප­නය සඳහා නුගේ­ගොඩ වෛසාකා පාස­ල­ටත් පසුව තර්ස්ටන් විදු­හ­ල­ටත් ඉන් අන­තු­රුව පන්නි­පි­ටිය ධර්ම­පාල විද්‍යා­ල­ය­ටත් ඇතු­ළත් වුණා. තර්ස්ටන් විදු­හ­ලේදී තමයි බාල කාලයේ ජීවිතේ යම්යම් දේවල් තේරුම් ගියේ. උසස් පෙළට ධර්ම­පාල විදු­හ­ලට ඇතු­ළත් වුණා. මම වෛද්‍ය විද්‍යාව හදා­රන්න බලා­ගෙන විද්‍යා අංශ­යෙන් තමයි උසස් පෙළ හැදෑ­රුවේ. ඒත් මේ අව­ධි­යේදී තමයි මගේ ජීවිතේ වෙනස් මඟ­කට යොමු වන්නේ.

ඒ කොහො­මද?

ඒක දිග කතා­වක්. මම ඒ කාලෙ පාසලේ ක්‍රිකට් ගැහුවා. ටීම් එකේ ඕප­නින් බෝලර් වුණේ මමයි. මගේ අතින් හරි­යට නෝ බෝල් යන නිසා මම ගෙදර ඉදි­රි­පිට පාරේ බෝලිං ෆ්‍රැක්ටිස් කර­නවා. මේ විදි­හට ඉන්න­කොට අපේ ගමේ හිටි කෙනෙක් මොන­වද මේ ක්‍රිකට්. මේවා එංග­ලන්තෙ හීත­ලට කරන ක්‍රීඩා. මේවා තේරු­මක් නැති දෙවල් කිය­මින් හැම­දා­මත් හව­සට එතැ­නට ඇවිත් කිය­නවා. මම ඒ කිසි­දෙ­යක් ගනන් ගන්නෙ නැතිව ක්‍රිකට් සෙල්ලම් කළා. දව­සක් මේ යාළු­වාට කර­ද­ර­යක් වුණා. එයා මට ඇවිත් කිය­නවා මාව පොලී­සි­යෙන් හොය­නවා හැංගෙන්න තැනක් කියන්න කියලා. මම එයාව පයින්ම මගේ මිතු­රෙ­කුගේ ගෙද­රට එක්කන් ගියා. ඒ යන ගමන මට ඔහු මේ සමා­ජයේ ගැටලු ගැන ජන ජීවි­තය ගැන දුප්පත් කම ගැන බොහෝ දේවල් කිය­නවා. මට ඒ දේවල් හොඳ­ටම වැට­හුණා. එදා­යින් පසු මම සම්පූ­ර්ණ­යෙන්ම වෙනස් කෙනෙක් වුණා. ක්‍රිකට්, සම්පූ­ර්ණ­යෙන්ම අත් හැරලා ජනතා විමුක්ති පෙරමුණේ දේශ­පා­ල­න­යට යොමු වෙනවා.

ඉන්ප­සුව සිදු­වුණේ?‍

දේශ­පා­ලන ශිෂ්‍ය ව්‍යාපා­ර­යට සම්බන්ධ වුණා. ඒ වෙනු­වෙන් හංවැල්ලේ සිට කිරු­ළ­පන දක්වා පාසල් බාර වුණේ මටයි.

මේ දේව­ල්ව­ලට බයක් දැනුණේ නැද්ද?

ඇත්ත­ටම නැහැ. එදා අපිට බයක් දැනු­ණේම නැහැ. ඒ දේශ­පා­ලන ව්‍යාපා­රයේ තිබුණේ අපේ ජීවිතේ තවත් කෙනෙක් , පිරි­සක් වෙනු­වෙන් කැප­වී­මයි. උදව් උප­කාර කිරී­මයි. ඒ විදි­හට තව කෙනෙක් වෙනු­වෙන් අපේ ජීවිත කැප කර­නවා කියන්නේ එය හරිම වටින දෙයක්. අපි අනුන් වෙනු­වෙන් පෙනී­සි­ටි­න­වාය කියන දෙය ඇඟට ආවට පස්සේ තමන්ගේ ජීවි­තය ගැන අපි තැකුවේ නැහැ. අපි ඒක රාශි වුණේ පටු අර­මණු වෙනු­වෙන් නෙවෙයි. පොදු අර­මු­ණක් වෙනු­වෙන්. ඒ වෙනු­වෙන් අපිට සියල්ල අත්හ­රින්න පුළු­වන් කමක් තිබුණා. එය භාව­නා­වක් වගේ වැඩක්. ඒ භාව­නාව කියන්නේ ජීවිතේ තව කෙනෙක් වෙනු­වෙන් පෙනී සිටි­න­වාය කියන එකයි. අද නාය­ක­යන් තව කෙනෙක් වෙනු­වෙන් පෙනී සිටින්නේ නැහැනෙ. ආත්මා­ර්ථ­කාමී පිරි­සක්. එහෙම දෙයක් අපේ ව්‍යාපා­රයේ තිබුණේ නැහැ. අද සමා­ජයේ බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ ඉස්සෙ­ල්ලම තමන්ට ඉන්න ගෙයක් හදා­ගන්න. ඊළ­ඟට වාහ­න­යක් ගන්න. ඒ වගේ ජීවිත අභි­ලා­ෂ­ය­න්ගෙන් පිරිලා. ඒ වක­වා­නුව ඉතාම වාස­නා­ව­න්තයි. දරුණු කර­දරවලට මුහු­ණ­දීලා ජීවිතේ ගැන අද­ටත් කතා­ක­රන්න පුළු­වන් පන්න­ර­යක් ලැබුණා.

ඔබේ දේශ­පා­ලන තෝරා­ගැ­නීම ගැන මවුපි­යන් මොන­වද කිව්වේ?

මගේ අම්මා නම් හරිම නිවුණ කරු­ණා­භ­රිත මවක්. ඒත් තාත්තා මේ දේවල්වලට විරුද්ධ වුණා. 1977 දි එන් එම් පෙරේරා 71 කැරැල්ල ගැන කිව්වේ කජු කිරි කොල්ලන්ගේ වැඩක් කිය­ලයි. තාත්තත් ඒකම තමයි මට කිව්වේ. තාත්තා කොහෙත්ම කැමැති වුණේ නැහැ. සම­හර දව­ස්ව­ලට මගේ කාමරේ යාළුවො හය හත්දෙ­නෙක් ඉන්නවා. තාත්තා එන විට මේ අය බයට ඇද යටට යනවා. තාත්තා ඇවිත් ඇද උඩ නම් එකෙ­ක්වත් නැහැ.යට ඉන්වද දන්නේ නැහැ කියලා යනවා.

71 කැරැල්ල ගැන මත­කය මොන වගේද?

හරි සුන්දර මත­ක­යක් තිබෙ­නවා. යාපනේ හිර කර සිටි විජේ­වී­රව බේර­ගන්න කොළ­ඹින් යන බස් එක සංවි­ධා­නය කිරීම පැවැ­රුණේ මට. ඒත් එදාම රෑ පොලී­සි­යට මොන­රා­ග­ලදී ‍ ආයුධ සමඟ වාහ­න­යක් අසු­වුණා.

71කැරැල්ල අසා­ර්ථක වුණා?

ඔව්. ඒ අර­ග­ලය සාර්ථක නොවන්ට විශාල හේතු තිබුණා. එයට සම්බන්ධ වූ අවු­රුදු 18ක් විතර වූ අපි වගේ අය දේශ­පා­ල­න­යෙන් මුහු­කුරා ගිහිල්ල නැහැ. අපි රැස්වී­ම්ව­ලට යනවා. ඒ ගොල්ලන් කියන වැඩ කර­නවා. සාමු­හි­කව කඳ­වුරු පව­ත්ව­නවා. ඒත් අපි ප්‍රාර්ථනා කරපු දේ සිද්ධ වුණේ නැහැ. මිනිස්සු විවි­ධයි. මම හැසි­රෙන විදි­හට නෙමෙයි ඔබ හැසි­රෙන්නේ. වෙන අපේ­ක්ෂා­වන් තියෙන්න පුළු­වන්. නමුත් එක­ටම හිටි මිනිස්සු තුළ වුණත් විවිධ අද­හස් තිබුණා. ඒක නිසා එය අසා­ර්ථක වෙන්න මේ සිය­ලුම කාරණා බල­පෑවා.

රටේ නම ගිය වෛද්‍ය­ව­ර­යෙක් හෝ ක්‍රිකට් ක්‍රීඩ­ක­යෙක් වෙන්න තිබෙන අව­ස්ථාව මඟ හැරී ගියා නේද?

මට මොහො­ත­ක­ට­වත් ඒ ගැන දුකක් නැහැ. ඒ වගේම ඒ ගැන මට කිසි­වක් හිතෙ­න්නෙත් නැහැ. ඒකට හේතුව එහෙම නොවුන එකේ වටි­නා­කම ඊට වඩා වැඩියි. ජීවිතේ කියන්නේ ඊට වඩා වටින දෙයක්.

හිර­ගෙ­දර ගෙවුණු ජීවි­තය මොන වගේද?

මගේ ජීවි­තය උඩු යටි­කුරු කළේ හිරේදි කිව්වොත් හරි­ය­ටම හරි. 71 එකේ කැරැ­ල්ලෙදි හිරේට නියම වුණේ සමාජ යුක්තිය වෙනු­වෙන් සටන් කරපු තරුණ බුද්ධි­ම­තුන්. එතැන හිටියේ වෛද්‍ය, ඉංජි­නේරු, ගුරු, ශිෂ්‍ය වගේ පිළි­ගත් වෘත්තීන්හි යෙදෙ­න්නට බලා­ගෙන අධ්‍යා­ප­නය හදා­රපු සහ ඒ වෘත්තීන් හි නියැ­ලුණු අය. අපිත් එක්ක හිටියා ගුරු­ව­ර­යෙක් පාලිත ශ්‍යාම්දාස් කියලා. එයා තමා අපිට ජීවි­තයේ ඇත්ත කතාව තේරුම් කළේ. සාමාන්‍ය මිනි­සුන්ට වගේ හිර­කා­ර­ය­කුට පුළු­වන් ද එහෙම හිතන්න. ඔහු අපිව ඒ දෙයට හරි ගැස්සුවා. ඔහු හිරෙන් නිද­හස් වෙලා කැකි­රාවෙ ළම­යින්ට රුපි­යල් දෙකට ඉංග්‍රීසි ඉගැ­න්නුවා.මේ වෙන කොට එයා­ගෙන් නඩු කාර­යොත් ඉගෙන ගන්නවා. ඉතාම ආද­ර්ශ­වත් ගුරු­ව­ර­යෙක්. මේ සමා­ජයෙ එවැනි පර­මා­දර්ශී ගුරු­වරු නැහැ.මේ අයගේ ඇසුර මගේ ජීවි­ත­යට ආලෝ­ක­යක් වුණා. ලෝකෙ තිබෙන වටි­නාම පොත් මම කියෙව්වේ හිර­ගෙ­දර දී. සමා­ජය ගැන විනි­විද දැක්කේ එතැ­නදී. අපි හිරේ දි රෑට එකතු වෙලා පොත් කිය­ව­නවා. ඒකත් නිකම් නාට්‍ය­යක් වගේ. තෝල්ස්තෝ­යිගේ රීස­රෙ­ක්ෂන් කියලා පොතක් තිබුණා. ඒ පොත සමා­ජය විනි­විද දකින කැඩ­ප­තක් වගේ. ඒ පොත කියෙ­ව්වම වෙනින් පොත් කිය­වන්න ඕනද කියලා හිතෙ­නවා. රුසි­යාවේ තිබුණු ජන ජීවි­තය, උසාවි, දේශ­පා­ලන කණ්ඩා­යම්, සාමාන්‍ය මිනිස්සු පවුල් ජීවිත ගැන ඉතාම ලස්ස­නට විශ්ලේ­ෂ­ණය කරලා තිබෙ­නවා. දොස්ත­වු­ස්කිගේ කර්ම සෝ බ්‍රදර්ස් පිටු 1800ක්. මම එය මාස­යක් තිස්සේ කියෙව්වා. ඒවා ගැන තමයි හව­සට අපි කතා කරන්නේ. එයින් ජීවිතේ හරිම ප්‍රබෝ­ධ­යක් ලැබුවා. අපි රෑට කිය­වන පොත් ගැන ඒවායේ කතා හිර­ගෙ­දර ගාඩ්ල­ටත් කිය­නවා. ඒ අයට ඒ වගේ දැනු­මක් ලබා ගන්න කිය­වන්න හිතන්න රස විදින්න එහෙම පසු­බි­මක් තිබුණෙ නැහැ. ඔවුන් කිය­ව­න්නට, හිත­න්නට මේ නිසා යොමු වුණා. ඒ දේවල් බන්ධ­නා­ගා­රයේ නිල­ධා­රීන්ට කිව්වම ඔවුන් හිරි­වැ­ටිලා යනවා.මනු­ෂ්‍ය­ත්වය, එහි වටි­නා­කම් ගැන අව­බෝ­ධය ලැබුවේ එතැ­නදී. වසර පහක් පමණ රටේ හැම බන්ධ­නා­ගා­ර­ය­කම මේ කාලයේ ගත කළා. ඒ වගේම අපි අපේ අයි­ති­වා­සි­කම් හිර­ගෙ­දර දී නිසි ලෙස ලබා ගත්තා. ඒවාට සටන් කළා. අපිට පුළු­වන් වුණා බන්ධ­නා­ගා­රයේ නිල­ධා­රීන්ට පවා ඒඅ­යට තියෙන සුදු­සු­ක­ම්ව­ලට අයි­ති­වා­සි­කම් දිනා දෙන්න.

ඔබ හිටි හිර ගෙව­ල්වල දී ලබපු අත්දැ­කීම් මොන­වාද?

මම හිරගෙවල් රැසක හිටියා. මට හිරගෙදර කවුරුත් කිව්වෙ ඔනාසිස් කියලා. ඔනාසිස් කියන්නෙ ලෝකෙ හිටපු ලොකුම සල්ලිකාරයා. වැඩිම නැව් ගාණක් තිබුණෙ ඔහුට. හිරේ ඇතුළෙ ඉඳන් එළියට ලියුම් යවන්න පුළුවන් කෙනාට කිව්වෙ නැවක් කියලා. මට හිරේදි නැව් පනහකටත් වඩා තිබුණා. හුඟාක් අයගෙ ලියුම් මම එළියට යැව්වෙ ඒ් නැව් හරහා.

බෝග­ම්බර එල් වෝඩ් එකේ හිටියා මාස තුනේ හයේ හිර­කා­රයෝ. මේ අයට නිදා­ගන්න තැනක් නැහැ. කන්න පිඟා­නක් නැහැ. ඒක බලා ඉන්න ඉන්චාර්ජ් තමයි නුවර අයෝ­මය පුරු­ෂයා. මේ අයෝ­මය පුරු­ෂයා එන්නේ වේවැල අර­ගෙ­නයි. ඇවිත් ඒ හිර­කා­ර­යන්ට තල­නව තල­නව ඉව­ර­යක් නැහැ. මට මේක බලා ඉන්න බැරි වුණා. මම එයා ළඟට ගිහින් ඇහුවා සර් ඔයාට කව්රු හරි හිරි­හැර කර­න­වද කියලා. ඒ ගමන ඔහු මගේ අතින් අල්ල­ගෙන පාටි­යෙන් එළි­යට ඇවිත් මගෙන් ඇහුවා ඇයි අපේ වයිෆ් ගැන ඔයාට කවුරු හරි මොන­වත් කිව්වද කියලා. මං කිව්වා සර් මම ඒක නම් දන්නෙ නැහැ. මම එක දෙයක් නම් දන්නවා තමන් කාට හරි හිරි­හැ­ර­යක් කර­නවා නම් තම­න්ටත් කවු­රු­හරි හිරි­හැ­ර­යක් කරන්න ඕන කියලා. පස්සේ ඒ නිල­ධා­රියා මාත් එක්ක මොන­ත­රම් මිතුරු වුණාද කිව්වොත් එයාට මම කිය­වන රුසි­යන් ලේඛ­ක­යින්ගේ පොත්වල එන ජීවන කතා කිය­නවා. එයාගෙ කතා­වත් මට ඔහු කිව්වා. එයත් එක්ක තියෙන තර­හට සම­හ­ර­දාට ගෙදර යන විට එයාගෙ නෝනා එයාගෙ යුනි­ෆෝම් එක ගිනි තියලා තිබුණා. මට කව­දා­වත් එයත් එක්ක ජීවත් වෙන්න බැහැ කියලා තමයි එයා කිව්වේ. මම ඇහුවා ‘ආදරේ කියන එක සර් දන්න­වද?’ කියලා. ආදරේ කියන්නෙ හිතු­වි­ල්ලක් විත­රයි. එය ඉතා­මත්ම පිරි­සුදු එකක්. කෝන්තර මොකුත් නැහැ. මම මේ දේවල් කියන කොට එයා මගෙන් ඇහුවා දැන් ඔයා මොන­වද මට කියන්නේ කියලා. මම කිව්වා ආදරේ කරන්න නෝනට. මට ගහ­ත්දිත් ආදරේ කරන්න කිය­ලද ඔයා කියන්නේ? නිල­ධා­රියා මගෙන් ඇහුවා. කමක් නෑ ඔයා ඒක ප්‍රකාශ කරන්න කියලා මම කිව්වා. කොයි මොහො­තක හරි එයා තේරුම් ගනියි ඔයා තමයි නියම මිනිහා කියලා. මාස තුනක් වගේ ගියේ ඒ ජීවි­ත­වල මොන­ත­රම් පෙර­ළි­යක් ඇති කළා ද කිව්වොත් උදේ කෑමට ඒ ඔෆි­සර්ගෙ නෝනා හදල දුන්නු කෑම වෙල මටත් ගෙනත් දෙනවා. ඇත්ත­ටම ඒ යහ­පත් සිතු­විලි, උප­දෙස් රණ්ඩු කරපු පවු­ලක් සාම­කාමී කළා. ඒ ජීවිත සුන්දර කළා. මේ වගේ සිදු වීම් රැසක් මා සතුව තිබෙ­නවා. හිරේ තිබුණා ඉන්ඩ­ස්ට්‍රි­යල් පාර්ටි කියලා අංශ­යක්. මෙය පාල­නය කළේ අප්පු­හාමි කියලා නිල­ධා­රි­යෙක්. මාත් එක්ක වච­න­යක් දෙකක් කතා කරන කොට මිනි­හට තේරුණා මා ගැන. එතැන් පටන් මිනිසා හැකි හැම­වෙ­ලා­ව­කම එයාගෙ ජීවිත කතාව මාත් එක්ක කිය­නවා. මට මගේ පෙම්ව­ති­යත් එක්ක පැය ගණන් දුර­ක­ත­න­යෙන් කතා කර­න්නට අව­ස්ථාව දෙනවා. මම හිරෙන් නිද­හස් වෙන දවසේ මට කලින් එයා අපේ ගෙදර ගිහින් මම එන­කන් බලා­ගෙන හිටියා. අපිව වරක් පල්ලෙ­කැලේ කඳ­වු­රට මාරු කළා. එතැ­නදී වගා කර­න්නට බිම්කැ­බලි ලැබුණා. මාත් එක්ක එයට එක් වුණේ පිය­දාස සහෝ­ද­රයා. වගා­වෙන් ලැබෙන ආදා­ය­මෙන් කොට­සක් අපි­ටත් ලැබෙ­නවා. ඉතින් මමත් මහ­න්සි­වෙලා වැඩ කර­නවා. ඵල­දාව ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දී මාව බෝග­ම්බ­රට මාරු කර­නවා. එද­යින් පසුව පිය­දාස කව­දා­වත් මට හමු­වුණේ නැහැ. කොහොම හරි අපිට නිද­හස දෙන්න කිට්ටුව අපි හැමදෙ­නාම එක හිර­ගෙ­ද­ර­කට ගෙන ආවා. එතැ­නදී පිය­දාස සහෝ­ද­රයා මට යළිත් හමු­වෙ­නවා. ඔහු මාව දැකලා. එක්ස­ස­යිස් පොතක් ඇතු­ළෙන් රුපි­යල් දෙසී­යක් අර­ගෙන මට දීලා කිය­නවා. පල්ලෙ­කැලේ වගාවේ මේ ඔයාගෙ කොටස කියලා. බලන්න එදා ඇති වුණු බැඳීම. ඔහු සෑහෙන කලක් ගත­වෙ­ලත් මගේ කොටස අරන් තියලා තිබුණා. මනු­ෂ්‍ය­ත්වය තමයි ඒ.

හිරෙන් නිද­හස් වී ජීවි­තය ගොඩ­නඟා ගත්තේ කොහො­මද?

මම හිරෙන් නිද­හස් වුණාට පසුව මට සී අයි ඩී එකෙන් එන්න කිව්වා. ඔබ­රෝයි හෝට­ලයේ ස්ටුවට් කෙනෙක් විදි­හට වැඩ කරන්න කැමැ­තිද ඇහුවා. එදා මට නික­රුණේ දවස් 21ක් පුරා හොඳ­ටම ගහපු උන්ගෙන් රස්සා ගන්න කැමැ­ත්තක් මට තිබුණේ නැහැ. මම පසුව කිය­න්නම් කියලා ආවා. මගේ මල්ලී විශ්ව විද්‍යා­ලයේ අධ්‍යා­ප­නය ලබන අත­ර­තුර ෆාම් එකක් කළා. එය ඔහු මට කරන්න කිව්වා. එතැන් පටන් එය ජීවන වෘත්තිය විදි­හට කර­ගෙන ගියා. ඉන්ප­සුව විවිධ රැකියා කළා. ඒවා­යින් හොඳට මුදල් හරි හම්බ කළා. මගේ මිතු­රන්ට මම උදව් කළා.

ඔබ තවත් බොහෝ දේ සමා­ජ­යට බෙදා දුන්නා?

මැලි­බන් එක ඉස්ස­රහා තිබුණා ස්පෙයාර් පාර්ට් කඩ­යක් ලහිරු ට්‍රේඩ් සෙන්ටර් කියලා. මම ඩියුටි ෆ්‍රී එකෙන් බඩු ගෙනල්ලා විකු­ණ­නවා. 1987 දි මට එතැ­නට ඇවිත් වෙඩි තිබ්බා. මේ නිසා මම රට අත­හැ­රලා සිංග­ප්පූ­රු­වට ගියා. මේ විදි­හට රට­වල් ගණ­න­කට ගියා.වසර ගණ­නක් රටින් පිට හිටියා. ඒ අත­රත් මගෙන් උදව් අවශ්‍ය අයට උදව් කළා. මේ හැම­දේම අතර යළිත් ලංකා­වට ඇවිත් මම ගුණ­දාස කපු­ගේත් එක්ක එකතු වෙලා සාමු­හික වශ­යෙන් විවිධ වැඩ­ස­ට­හන් දිය­ත්කළා. නන්දන මාර­සිංහ සමඟ ‘කාලයේ රාවය’ දැවැන්ත සංගීත වැඩ­ස­ට­හන දියත් කළා. දිවු­ල්ගනේ වැනි ගාය­ක­යන් කර­ලි­යට ආවේ මෙයින්. ඊට පස්සේ සාමන්‍ය ජීවිතේ ගෙවන්න ඕන කියන අද­හ­සින් නෙමෙයි හිටියේ සමා­ජ­යට මොනවා හරි කරන්න ඕන කියන අද­හ­සින් කට­යුතු කළේ. අද­ටත් එය සිතේ පව­ති­නවා. අද අපි කරන්නේ වික්ටර් අයි­වන් සහ තවත් පිරි­සක් එකතු වෙලා කරන ‘පුන­රු­දය’ ජනතා ව්‍යාපා­ර­යට පණ දීම. එහි සාකච්ජා දෙසීය ගාණක් විතර අපි කරලා තිබෙ­නවා. මේ රටේ ජන­තාව දේශ­පා­ලන වශ­යෙන් හරි දේ දකින්නේ නැහැ. මොන­වද කරන්න ඕන කියලා ඒ අය දන්නේ නැහැ. බලය තියෙන තැන්ව­ලට තමයි ඒ අය ඒක රාශී වෙන්නේ. අපි ජන­තා­ව­ගෙන් බල­යක් ඉල්ලන්නේ නැහැ. අපි කියන්නේ මුළු ජනතා සනු­හ­රේම එක්විය යුතුයි කිය­ලයි. සිංහල, දෙමළ මුස්ලිම්, බර්ගර් එකතු කර­ගත් ජාති­ක­ත්ව­යක් නැහැ දැන් රටේ. එය ඇති­වෙන්න ඕන.එයයි මෙහි අර­මුණ.

ඔබ තමා වෙනු­වෙන් නෙමෙයි අනෙකා වෙනු­වෙන් කැප වෙන කෙනෙක් ?

එය පුංචි කාලෙ ඉඳල පුරුදු වුණු වැඩක්. ඔබට පුළු­වන්ද ඔබෙන් ඉල්ලන ඕනම දෙයක් දෙන්න? (මම කල්පනා කර බැහැ කිව්වෙමි) ඒත් මට පුළු­වන් මගෙන් ඉල්ලන ඕනම දෙයක් දෙන්න. ජීවිතේ වුණත්. මගේ බිරිය මගෙන් අහ­නවා ඇයි ඔයා හැමෝ­ටම කඩේ යන්නෙ කියලා. මම කියන්නේ ඒ විදි­හට කඩේ යන්න මිනි­ස්සුත් මේ සමාජෙ ඉන්න ඕන කිය­ලයි. සමා­ජය යහ­පත් වෙන්නේ එහෙ­මයි. මිනිස්සු එක්ක කතාකරන්න ඕන. බැදීම් තියෙන්න ඕන. එවි­ටයි සමා­ජ­යත් වෙනස් වෙන්නේ.

ආපසු හැරී­බ­ලත් දී ඔබේ ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?

මට ජීවිතේ හැම එක­ක­ටම කතා­වක් තිබෙ­නවා. මගේ අතේ සත පහ­ක්වත් නැතුව මට පුළු­වන් ඕනම ලොකු ව්‍යාපා­ර­යක් කරන්න. ඒක තමයි මගේ චැලෙන්ජ් එක. මම රුපි­යල් සීයක් තියා­ගෙන තමයි අද ඉන්න ගේ සල්ලි­ව­ලට ගත්තේ. පූට් බයික් එක විත­රයි මට තිබුණේ. මගේ මිතු­රන් ගෙන් මම ණයට ගත්තා. මම ඒ ණය මාස හයක් ඇතු­ළත ගෙවා නිම කළා. ඒ අය­ටත් උදව් උප­කාර කළා. හලා­වත ඉස්ටෑන්ඩ් එකේ ටොපි විකිණූ කමල් මට දරු­වන්ගේ කැටය කඩලා ගේ ගන්න මුදල් දුන්නේ. මම එදා හිතුවා මට කළ උප­කා­ර­යට ඔහුට හලා­ව­තින් අක්ක­ර­යක් අරන් දෙනවා කියලා. ඒ දේ මම කළා. අද දරු­වන්ට අපිට වගේ සමාජ සම්බ­න්ධතා නැහැ. ඒ අය දෙම­ව්පි­ය­න්ගෙන් ලද දෙය­කින් ඉදි­රි­යට යන්නේ. විශේ­ෂම දේ තමයි කෙනෙ­ක්ගෙන් මොනවා හරි දෙයක් ගත්තොත් ඒ කෙනාට ඒක දෙන්න ඕන කියන හැඟීම අද සමා­ජයේ නැහැ. මම කවදාකවත් දැකල නැති හිරුක කරුණාරත්න මට පුවත්පතක මෙහෙම ලියලා තිබුණා.

කළු රංජිත් වෙනු­වෙන්!
තමන් පිළි­බඳ නොසිතූ
අනුන් පිළි­බ­ඳම පම­ණක් සිතූ
සියල්ල අත­හැර සියල්ල ලැබූ
දුවන ලෝකේ තැනක නැව­තුණු
මගේ ලෝකයෙ වීරයා ඔහු…

-තුෂාරි නේරංජා වික්‍ර­ම­සිංහ/ සිළුමිණ

Back to Top