Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගසිරිසේන, දුතර්තේ සහ මත් සටන – සුනන්ද දේශප්‍රිය

සිරිසේන, දුතර්තේ සහ මත් සටන – සුනන්ද දේශප්‍රිය

by

කලින් කලට වෙස් බදින නමුත් ජනාධිපති සිරිසේන අන්තිමට පොළව ඇද නිසා නටන්නට බැරියයි කියා වෙනත් වෙස් මුහුණක් සවි කර ගැනීම දැන් පුරුද්දක් කරගෙන තිබේ. රාජපක්ෂ සමඟ නටන්නට බැදඟත් ස්ථාවර ආණ්ඩු වෙස් මුහුණ ගලවා කුමන්ත්‍රණ පරාජයෙන් පසු ඔහු පටන් ගත්තේ දූෂණ විරෝධී වෙස් මුහුණක් දා ගෙන . අධිකරණය හමුවෙහි දැවැන්ත වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින්නන් පළාත් ආණඩුකාරයින් සිය ලේකම්වරුන් ලෙස පත්කරගනිමින් ඔහු එම වෙස් මුහුණ ඉක්මණින් ගලවා දැම්මේ . දැන් ඔහුගේ වෙස් මුහුණ මත් කුඩු විරෝධී සටන . මේ වෙස් මුහුණ යහපත් සේ පෙනෙන භයානක එකකි.

සිරිසේන දුතර්තේ සරණ යෑම

මේ සටනේ ඔහුගේ මඟ පෙන්වන්නා පිලිපීනයේ ජනාධිපති දුතර්තේ . දුතර්තේ ගේ මත් ද්‍රව්‍ය විරෝධී සටන ලෝකයට ආදර්ශයක් විය යුතු බවට සිරිසේන ස්තෝත්‍ර ගායනයක යෙදුනේ . ඔක්තෝම්බර් කුමන්ත්‍රණයට පෙර සිරිසේන අන්තර් ජාතික ප්‍රජාව අතර දුම්බිමට විරුද්ධ ලෝක ව්‍යාපාරයේ නායකයකු ලෙස පිළිගැනීමක් ලබා තිබුණි. දුතර්තේ ලෝකයේ ප්‍රසිද්ධ වී සිිටින්නේ මත් ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරයේ නාමයෙන් ජන ඝාතනයකට නායකත්වය දෙන දරුණූ පාලකයකු ලෙසනි. සිරිස්න ගේ මෙම නව වීරයා පිලිපීනයෙහි බලයට ආවේ 2016දී්‍ . එතැන් පටන් 2018 අග වන විට පිලිපීනයෙහි මත් ද්‍රව්‍ය නැති කිරීමටයැ යි කියා මහ මග මරා දමන ලද ජනයා ගණනින් 27,000කි. ( IDPC/2018) දැන් සිරිසේනගේ ආදර්ශය එම දුතර්තේ . පෙනෙන විදිහට දෙසැමිබර් කුමන්ත්‍රණය විසින් සිරිසේන එහෙම පිටින් උඩියටිකරු කර තිබේ.

මත් ද්‍රව්‍ය (Narcotic drugs) අද ලෝකයෙහි මහත් විපතකට හේතු වී තිබෙන බව ඇත්ත . නමුත් එය මතු පිටින් පෙනෙනවාට වඩා සංකිර්ණය.

පුවක් සහ දුම්කොළ

මත් වීමට ඇති මිනිසාගේ ආසාව සමහර විට මිනිස් වර්ගයා තරම් පැරණි විය හැක. ඉන්දියාවෙහි රා මැදීම තිබුණේ නැත්ද යන්න කෙසේ වෙතත් බෞද්ධ ජනප්‍රවාදයේ කියැවෙන්නේ දෙව්දත් බුදුන් ඝාතනය කිරිම පිනිස නාලාගිරි ඇතා රා කළ දහසයක් පෙවා මත් කර එවූ බව යි. එකළ මත්වීම තිබුණි. දුටු ගැමුණූ කුමරාගේ යෝධයින් පවා රා කල ගණන් බිවූ බව කියැවෙන්නේ ජනප්‍රවාදයෙනි. අබිං කෑම දුරාතියේ පවා පැවැති අතර මරිජුවානා නම්න් අද හැදින්වෙන ගංජා අප සමාජ සංස්කෘතියේ ම කොටසකි. එමෙන්ම දේශීය ළකුණක් සේ දැක්වෙන බුලත් විටට ගන්නා පුවක් සහ දුම්කොළ යන දෙවගය ම මත් ද්‍රව්‍ය සේ සැලකේ.

මත්වීම මිනිසා ගේ සහජ ලැදියාවක් වන අතර එය සහමුලින්ම අහෝසි කළ නොහැකි බවට අද ලෝක පිළිගැනිමක් ඇතිව තිබේ. කළ හැක්කේ එය නියාමනය කිරිමත්, හානි අවම කැරෙන ප්‍රතිපත්තියක් මත ඇබ්බැහිවීම වැළැක්වීමටත් ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර කිරීමත් ය. මත් ද්‍රව්‍ය ජාවාරම සහ මත් ද්‍රව්‍ය භාවිතය ඒකක් ම නොවේ.

ලෝක මත් ද්‍රව්‍ය ජාවාරම වසරකට ඩොලර් බිලියන 426-652 බව නිගමනය කරන එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබද කාර්යාලය (UNODC) ඉන් සියයට 50ක් මුදල් විශුද්ධිකරණයට යොමු වන බව ද සදහන් කරයි. ඉන් නීතියට හසු වන්නේ සියයට 01ක් පමණි.

ජාවාරම පිටුපස දේශපාලනඥයෝ

අද ශ්‍රී ලංකාවෙහි මත් ද්‍රව්‍ය ජාවාරම පිටුපස දේශපාලනඥයින් සිටින බව රහසක් නොවේ. දේශපාලන පංතිය සැම දුෂ්ඨ ජාවාරමකට ම සම්බන්ධ ය. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට බැරිව ඇත්තේ ද ඒනිසා ය. පාතාලය සහ එහි ගිනි අවි ප්‍රචන්ඩත්යයන් හි පදනම මෙම අතිවිශාල ජාවාරමයි.

මත් ද්‍රව්‍ය ජාවාරම නිසා අතිශය භයානක ප්‍රචණ්ඩත්වයන්ගෙන් ලතින් ඇමෙරිකාව බැට කයි. ලතින් ඇමෙරිකාව හෙරෙයින් නිශ්පාදනයේ

මධ්‍යස්තානයක් ද වන නිසා ය. මත් ද්‍රව්‍ය ජාවාරම පාලනය කරන මාෆියා සංවිධාන සිය බලය පවත්වා ගන්නේ සන්නද්ධ මිනීමරු කල්ලි මගිනි. මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රචන්ඩ ක්‍රියා පැතිර ඇති මෙක්සිකෝවෙහි 2005 වසරෙහිදී මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධයක් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම ඊනියා යුද්ධය විසින් මේ වන විට බිලිගෙන ඇති ජීවිත ගණන එක් ලක්ෂ පනස් දහසක් වන අතර අතුරුදහන් වී ඇති ගණන 32,000කි‍. එනමුත් එරට මත්ද්‍රව්‍ය පාලනයක් වී නැත.

ආදර්ශයන් දෙස බලන්න

මත් දුව්‍ය නිපදවීම සහ පරි‌භෝජනය නියාමනය කිරිම අතින් බොලීවියාව ආදර්ශක් වශයෙන් සළකනු ලැබේ. බොලීවියාවෙහි බලයට පත් ප්‍රථම ස්වදේශිකයා වූ මෙරාලේස් කොකා වැවීම පරිභෝජනයට සහ සුළු පරිමාණයට සීමාකර සහ කොකා කොළ හැපීම නීතිගත කළේ ය. එමගින් මත් ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරිමටත් අබ්බැහි වූවන්ට ප්‍රතිකාර ලබා දිමටත් හානි අවම කිරීමේ පිළිවෙතක් දියත් කිරිමටත් හැකි විය.

2009 වසරෙහිදී එක්සත් ජාතින්ගේ සංවිධානය මත්ද්‍රව්‍ය තුරන් කිරීම හෝ ඉතාම අවම කිරීම ඉලක්ක කරගත් දශකයක් ප්‍රකාශයට පත් කළේ ය. මෙම සැළැස්ම පදනම්ව තිබුනේ වගාවන් අහෝසි කිරීම, මත් ද්‍රව්‍ය නීති විරෝධී කිරීම සහ නව නීති හදුන්වා දීම මතය.

අසාර්ථක වූ මත් සටනේ දශකය

දැන් එම දශකය අවසන් වී ඇත්තේ ඒම සියළු ඉලක්ක පරාජය කරමිනි. අද මත් ද්‍රවය නිශ්පාදනය, පරිභෝජනය, මත්ද්‍රව්‍ය අදාළ ප්‍රචන්ඩත්වයන් සහ රෝග බෝ වීම අද එදාට වඩා අතිශයන් ම ඉහළ ය. අද ලෝක බන්ධනාගර ජනගහණයෙන් සෑම පස් දෙනෙකුට ම සිරගතව ඇති එක් අයෙක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙනි. ඉන් සියයට 83ක්ම පුද්ගලික පාවිච්චිය පිනිස මත් ද්‍රව්‍ය ළග තබා ගැනීම නිසා ය.

නමුත් යම් රටවල් මත් ද්‍රව්‍ය පාවිච්චිය නියාමනය කරමින් ඇබ්බැහිවුවන්ට ප්‍රතිකාර ලබා දෙමින් වඩා හොඳ ප්‍රතිඵල අත් කරගෙන තිබේ. මේ සඳහා යොදා ගෙන ඇති ක්‍රමෝපා තුනකි. එනම් මත් ද්‍රව්‍ය නියාමනය කිරීම, තෝරා ගත් මත්ද්‍රව්‍ය නීතිගත කිරිම, මත් ද්‍රව්‍ය භාවිතය අපරාධකරණය නැවැත්වීම ය.

අද ලෝකයේ රටවල් 26ක් ගංජා නොහොත් මරිජුවානා පාවිච්චිය නීත ගත කොට තිබේ. එමගින් පිරිසිදු මරිජුවානා ලබා ගැනිමටත් නීති විරෝධී වෙළදාම අවම කිරිමටත්, ආදායම් මාර්ගයක් ඇති කිරීමටත් හැකි වී තිබේ. කැනඩාව ඒ අතින් පෙරමුණෙහි සිටී.

මත්ද්‍රව්‍ය නිර්-අපරාධකරණය

මත්ද්‍රව්‍ය භාවිතය නිර්-අපරාධකරණය  යනුවෙන් අදහස් වන්නේ දඩුවම් දීමේ ක්‍රම වෙනුවට අවබෝධය සහ ප්‍රතිකාර ලබා දීම පහසු කිරීමයි. මා මුල් වරට එතෙර ගිය 1979 තරම් ඈත පවා නෙදර්ලන්තයෙහි මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන්ට නොමිලයේ හෙරොයින් ප්‍රමාණයක් ලබා දෙමින් තිබුණේ රෝග බෝ වීම වැළක්වීීමටත් අපරාධ අඩු කිරිමටත් පියවරක් ලෙසය. අද එරට ගංජා විකිණීම සහ පානය නීතිගත ය. දශකයකට පෙර ස්විට්ටර්ලන්තයෙ හි නීඩල් පාක් නමින් ප්‍රසිද්ධ වූ උද්‍යානයක් තිබුණි. එහි දී මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමට ඇබ්බැහි වී සිටි පුද්ගලයින්ට නොමිලයේ සිරින්ජ්ර් ලබා දෙන ලදී. ඒ රෝග බෝවීම වැළැක්වීමට ය. අද ස්විස්ටර්ලන්තය මත් ද්‍රව්‍ය නියාමනය කිරීම අතින් පෙරමුණේ සිටින රටකි. එරට ජීවත්වන පක්කී අසල්වාසයේ සෑම හන්දියකම වාගේ මත්කුඩු විකුණන තරුණයෙක් දිවා රෑ ගැවසෙයි. නමුත් පොලිසීය ඔවුන් පසුපස නොයන්නේ මේ තරැණයන් වෙනුවට වෙතන් අය ලෙහෛසියෙන්ම යෙදවීමට ජාවාරම්කරුවන්ට හැකි නිසාය. නීති නිලධාරින් යන්නේ ජාවාරම්කරුවන් පිටුපස ය.

ඇබ්බැහිවූවන් ඉන්නේ සියයට 20යි

මත් දුව්‍ය භාවිත කරන්නන්ගෙන් ඇබ්බැහි වූවන් සිටින්නේ සියයට 20කට වඩා අඩුවෙනි. අනෙක් ඉතිරි සියයට 80 තරම් පිරිස අතර උගතුන්, ශිෂය ශිෂ්‍යාවන්, වෛද්‍යවරුන්, නීතිඥයින්, කලාකරුවන් සහ කාරියන් වැනි පිරිස් ද සිටිති. ඔවුන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ සමාගමය සහ විදීමක් ඇති අවස්ථාවන්හිදී ය. අනෙකුට කරදරයක් නොවන ලෙස ය. ලංකාවෙහි දී මාද ඉදහිට ජොයින්ට් එකකට සෙට් වන්නේ ආතල් එකක් ගැනිමට ය. එවැනි පිරිස් අපරාධකරුවන් ලෙස සැළකිය නොහැකි අතර නීතියේ රැහැණට හසු වන්නේ ද නැත. දුගී භාවය ද මත් ද්‍රව්‍ය ඇබ්බැහියේ මෙන්ම සුලු වෙළදාමේ ද සාධකයකි. සිරගත වන්නේ දුගියන් ය. ආපසු පැමිණ එම වෙළදාමටම යනවා හැර ඔවුනට වෙන අවස්ථාවක් නැත.

24,060ක් හිර‌ගෙට යවා 2,385කට ප්‍රතිකාර කිරීම

ශ්‍රී ලංකාවේ මත් ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 2016 වර්ශයෙහි දී 79,378ක් අත් අඩංඟුවට ගැනුණි. ඉන් සියයට 60ක් ම අත් අඩංඟුවට ගැනුණේ ගංජා ළඟ තබා ගැනීම හෝ විකිනීම නිසා ය‍. සියයට 35ක් හෙරොයින් නිසා ය. ඒම වසරෙහි දි මත්ද්‍රව්‍ය අදාළ වැරදි නිසා දඩුවම් දී සිරගත කරන ලද 24,060ක් විය. ඉන් සියයට 90ක් පිරිමින් වූ අතර බොහෝ කොටම දුගී පවුල් පසුබිමිවලින් පැමිණි අය විය. ඊටත් වඩා වැදගත් කරැණ වන්නේ ඒම වසරෙහි දී මත් ද්‍රව්‍ය භාවිතයට අදාලව ප්‍රතිකාර ලද පිරිස 2,385ක් පමණක් වීමය (WPR 2018). මෙම තත්වය අද දක්වාම වෙනසක් වන්නට හේතුවක් නැත. මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් අවශ්‍ය කරන හානි අවම කිරිමේ ප්‍රතිපත්තියක් ගැන මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සාකච්ජාවක්වත් නැත.

මෙම සංඛ්‍යා ලේඛණ පෙන්නුම් කරන විත්‍රය ඉතා වැදගත් ය. එනම් මෙරට මත්ද්‍රව්‍ය අදාළව වඩාම සිරගත වන්නේ ගංජා නොහොත් මරිජුවානා නොහොත් කැනිබාස් පාවිච්චිය නිසා බවය. ව්‍යවහාර බසින් කියන්නේ නම් ජොයින්ට් ගැසිම සහ විකිනීම නිසා ය

මත්පැන්ද ගංජාද?

මත්ද්‍රව්‍යක් වශයෙන් ඇබ්බැහිය සහ ශාරීරික සෞඛ්‍ය‍යට වන බලපෑම අතින් ගංජා පවතිනුයේ අරක්කු ඇතුළු මත් ද්‍රව්‍ය (Alcohol) සහ දුම්පානයට පහළිනි. (The World Drug Problem 2017) සමාජීය සහ සෞඛ්‍ය අතින් බලන විට වඩාම හානිකර වන්නේ මත්පැන් ය. ගංජා පානය නීතිගත කරන ලෙස කැරෙන උද්ඝෝෂණයේ එක් පදනමක් එය යි. එවිට නිසි ප්‍රමිතියකින් යුතු ගංජා ලබා ගැනීමටත් ආණ්ඩුවට යම් පාලනයක් පවත්වා ගැනිමටත් අවස්ථාවක් ලැබේ. අරක්කු විකිනීම නීතිගත රටක ගංජා තහනම් වන්නේ කුමණ තර්කයක් අනුවදැ යි පැහැදිළි නැත. එකම තර්කය සුදු පාලකයින් අරක්කු විකිනීම පිනිස ගංජා තහනම් කිරීම විය හැක.

මෙරට අමද්‍යප නායකයින්ට අනුව යමින් අරක්කු ඇතුළු මත්පැන් විකිණිම තහනම් කළහොත් කුමක් වනු ඇත්ද? එවිට අපට බොන්න වෙන්නේ කසිප්පු ය!

සිරිසේනගේ මරණ දඩුවම

පසුගිය දශකය තුළ මත්ද්‍රව්‍ය අදාළ වැරදි සම්බන්ධයෙන් ලෝකයෙහි 3,940කට මරණ දඩුවම දී තිබේ. දැන් ජනාධිපති සිරිසේනද මෙම සංඛ්‍යාව ඉහළ නැංවීමට ශපත කර තිබේ. නමුත් ඉන් මත් ද්‍රව්‍ය ජාවාරම හෝ පරිභෝජනය අඩුවන්නේ නැත.

අපට අන් සෑම ක්ෂේත්‍රයකදී මෙන්ම මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද අවශ්‍ය කරන්නේ සමෝධාන සහ මානව කේන්ද්‍රීය පිළිවෙතකි. ‘ අපි යන්නේ කොයි පාරේ; දුතර්තේව යන පාරේ’ යැයි කෑ ගසන සිරිසේනට එවැනි පිළිවෙතක් ගැන සිතීමට අවශ්‍ය කරන දැනුවත්කම හෝ නූතනකම නැතිවීම අපේ අවාසානාවකි.

Back to Top