Sri Lanka Brief
පුවත්විවරණසිරිසේනව පැත්තකින් තියා, විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන ක්‍රමයක් සොයා ගැනීම.

සිරිසේනව පැත්තකින් තියා, විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන ක්‍රමයක් සොයා ගැනීම.

by

රාජන් පිලිප්ස්.
2019 වසරේ දේවල්වල එක්තරා දෝරේ ගලන ගතියක් තිබේ. දෝෂාභියෝගය, දෝෂාරෝපණය හෝ ඉල්ලා අස්වීමට බල කිරීම වැනි, 2018 දී මෛත්‍රීපාල සිරිසේන දිගට හරහට කළ ව්‍යවස්ථා උල්ලංඝණයන් සම්බන්ධයෙන් ඔහු ඉලක්ක කෙරෙන කාරණා බහුල ය. ඒ ඕනෑම එකකට හෝ ඒ සියල්ලටම ඔහු අත්‍යන්තයෙන් සුදුස්සෙකි. එහෙත් ප්‍රශ්නය වන්නේ, ඒ කියන ඕනෑම දෙයක් සඳහා ගත යුතුව ඇති ප්‍රයත්නයන් සහ මහන්සිය තරමට ඔහු වටින්නේ ද යන්නයි. දෝෂාභියෝගයක් ගෙන ඒමෙන් හෝ ඉල්ලා අස්වීමට ඔහුට බල කිරීමෙන් සමහර විට ඔහු ධුරයෙන් ඉවත් කිරීමට පිළිවන් කම තිබේ. එහෙත් සිරිසේන යගදාවක් කර ගත් විධායක ජනාධිපති ක්‍රමය එතැනම තිබෙනු ඇත. එබැවින් තව වසරකින් කොහොමත් ඉවරයක් වීමට නියමිත සිරිසේන නැමැති පුද්ගලයා වෙනුවෙන් කාලය නාස්ති කර ගන්නවාට වඩා, විධායක ජනාධිපති නැමැති තනතුර රැඩිකල් වෙනසකට ලක්කිරීම සඳහා මහන්සි වීම වඩා වැදගත් ය. ඉතා සරළව කිවහොත්: සිරිසේනට පාඩුවේ ඉන්න දෙන්න, විධායක ජනාධිපති ක්‍රමය ඉලක්ක කරගන්න.

මේ පුද්ගලයා ඉලක්ක කරගෙන කටයුතු කිරීම පාර්ලිමේන්තුව තුළ භේදකාරී තත්වයක් ඇති කිරීමට ඉඩ තිබේ. ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක සහ සජිත් ප්‍රේමදාස වැනි දේශපාලඥයන් අතරේ ඇතැයි පෙනෙන රහස්‍ය හිතවත් කම් ඒ තත්වයට තවත් තුඩුදෙනු ඇත. ඒ නිසා අවශ්‍ය කරන තුනෙන් දෙකේ බලයක් පාර්ලිමේන්තුවෙන් සොයා ගැනීමත් පහසු වෙන එකක් නැත. ඒ වෙනුවට, විධායක ජනාධිපති ක්‍රමය නැමැති ආයතනය ඉලක්ක කර ගැනීම සඳහා ප්‍රමාණවත් සහයෝගයක් සොයා ගැනීම අපහසු නැත. එයම, පසුව පැවැත්වෙන ජනමත විචාරණයකටත් අත්වැලක් සපයනු ඇත. විධායක ජනාධිපති ක්‍රමය ‘අහෝසි’ කිරීමට විරුද්ධ වීමට මෛත්‍රීපාල සිරිසේනට වුව පහසු නැත. මන්ද යත්, බලයට පත්වීමට මත්තෙන් මෙන්ම බලයට පත්වීමෙන් පසුවත්, තමා ලංකාවේ අවසාන විධායක ජනාධිපතිවරයා වන බව ඔහු කියා ඇති බැවිනි.

කතානායකවරයාගේ ගිනි පුපුර

මෑතකදී මේ තනතුරට පහර දුන් ප්‍රධාන චරිතය වුණේ කතානායක කරූ ජයසූරියයි. වාර්තාගත ඔහුගේ ප්‍රකාශයකට අනුව, 2019 වසරේ අපේ ඉෂ්ටාර්ථය කර ගත යුත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි. ඒ සඳහා කලක් තිස්සේ පැවති පරණ ව්‍යාපාරය ඔහුගේ එම ප්‍රකාශය මගින් නැවත අවුළුවන ලද බවක් පෙනේ. කරූ ජයසූරියගේ මේ කැපවීම, කාරණා කිහිපයක් නිසා ලංකාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙනස සඳහා බලපෑම් කළ හැකිය. මුලින්ම, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ඒ තනි අභිලාෂය ඉදිරියට ගෙන යාමට එතුමන්ගේ අපවත් වීමෙන් පසු කරූ ජයසූරිය එක දිගටම කැප වී තිබේ. සිරිසේන-රාජපක්ෂ කුමන්ත්‍රණයට එරෙහිව කතානායක වශයෙන් නැගී සිටීම හේතුවෙන්, සෝභිත හිමියන්ගේ ලෞකික ධජය ඉදිරියට ගෙන යාමට, කරූ ජයසූරිය තවදුරටත් සුදුස්සෙකු වී තිබේ. ඊළඟට, ඒ ක්‍රමය වෙනස් කිරීමේ අවසාන දිනයක් වෙනුවෙන් පෙනී සිටීමට ඔහු මේ මොහොතේ කැපව සිටී. එනම්, මේ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට කලින් එය ඉවරයක් කර ගත යුතු බවයි. ඒ නිශ්චිත කැපවීම, රනිල් වික්‍රමසිංහගේ බොල් සහ දියාරු ප්‍රතිඥාවන්ට වඩා අති විශිෂ්ට ය.

කරූ ජයසූරියගේ අලුත් වෑයම පහසු කරවන අවස්ථාවක් ජනතා විමුක්ති පෙරමුණේ 20 වැනි සංශෝධන යෝජනාවෙන් සැපයෙතත්, මේ තනතුර අහෝසි කිරීමේ ඉලක්කයට වඩාත් සාර්ථක නායකත්වයක් සැපයීමට එම පක්ෂයට වඩා කරූ ජයසූරියට හැකියාව ඇත්තේය. අවසාන වශයෙන් ගත් විට, එය අහෝසි කිරීමෙන් කරූ ජයසූරියට දේශපාලනිකව ලැබෙන විශේෂ පුද්ගල වාසියක් ද නැත. ඊටත් වඩා, පසුගිය ව්‍යවස්ථා කුමන්ත්‍රණය අවස්ථාවේ ඔහුගේ හැසිරීම ඊළඟ ජනාධිපති වීමට ගන්නා ප්‍රයත්නයක් සේ ගෙනහැර දක්වමින් ඔහුට විරුද්ධව ගෙන ගිය සාවද්‍ය සහ දුෂ්ට අවලාදයත්, ඔහුගේ මේ වර්තමාන ඉදිරිපත් වීමෙන් බොරුවක් බවට පත්කරවයි. සත්‍යය වන්නේ, ජනාධිපති ධුරයේ බලතල අපහරණය කරමින් සිරිසේන ජනාධිපතිවරයා එදා හැසිරුණු ආකාරය නිසා කරූ ජයසූරිය තුළ මේ ක්‍රමය සම්බන්ධයෙන් ඇති වූ අසීමිත කලකිරීම විය හැකිය.

‘අහෝසි කිරීම’ යන යෙදුම මේ වන විට ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ කතිකාවේ නිත්‍ය භාවිතයට පත්ව ඇතත්, ජනාධිපති ක්‍රමය යනු එකහෙලා මුලිනුදුරා දැමිය හැකි දෙයක් නොවන බවත් අමතක කළ යුතු නැත. එසේම, 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව යටතේ පැවති නාමික රාජ්‍ය නායකයාගේ තත්වයට ආපසු යා හැකි තත්වයක් නැති බවත් දත යුතුය. කළ යුතුව ඇත්තේ, එදා 1972 ක්‍රමය තුළ පැවති ඒ ‘නාමමාත්‍ර නායකත්වය’ සහ වර්තමාන 1978 ව්‍යවස්ථාව යටතේ පවතින සර්වබලධාරී නායකත්වය අතර අලුත් ව්‍යවස්ථාමය ස්ථානයක් සොයා ගැනීමයි. 19 වැනි සංශෝධනය හරහා විධායක ජනාධිපති ක්‍රමයේ සෑහෙන පදාසයක් ඉවත් කොට ඇති මුත්, තවත් විසකුරු අඬුපඬු ඉතිරිව තිබේ. උදාහරණයක් වශයෙන්, මොහුව ජනතාවගේ සෘජු ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම දැක්විය හැකිය.

එසේ රාජ්‍ය නායකයා සෘජු ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම ඉවත් කොට, රාජ්‍ය නායකයාට සුදුසු අතරමැදි ව්‍යවස්ථාමය ස්ථානයක් පිළිබඳ අදහසක් ජනතා විමුක්ති පෙරමුණේ 20 වැනි සංශෝධන යෝජනාවේ අන්තර්ගත ය. මේ සම්බන්ධයෙන් ඉදිරියට යාමේදී, මේ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි මතවාදය ඉතා ශක්තිමත්ව ගොනු කිරීමේ හැකියාව තිබේ. අවධානය යොමු විය යුත්තේ, 20 වැනි සංශෝධනය ආරම්භයක් වශයෙන් ගනිමින් මේ කාර්යය සාධනය කර ගන්නේ කෙසේද යන්නයි. කතාවට කියන්නා සේ, අවුන්සයක අත්දැකීම, න්‍යාය ටොන් එකකට වඩා වටනේය. දැන් මෛත්‍රීපාල සිරිසේනට පිංසිදු වන්නට ඒ පිළිබඳ ටොන් ගණනක පළපුරුද්දත් අපට තිබේ. කප්පරක් තර්ක විතර්කවලින් ඔප්පු කරනවාට වඩා, මෛත්‍රීපාල සිරිසේනගේ චර්යාව මගින් මේ විධායක ජනාධිපති ක්‍රමය දැන්වත් අහෝසි කිරීමේ අවශ්‍යතාව ඔප්පු කොට දී තිබේ.

එය සාධනය කර ගැනීම

එය සාධනය කර ගැනීම සඳහා වන ගමනේදී ඒ සඳහා පෙනී සිටින පාර්ශ්වයේම දේවල්වල නොපෑහීමක් දක්නට ලැබේ. අලුත් අවුරුද්දේ කරූ ජයසූරිය මේ සම්බන්ධයෙන් කළ සාධනීය ප්‍රකාශයත්, ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කොට ඇති 20 වැනි සංශෝධන යෝජනාවත් එසේ තිබියදී, රනිල් වික්‍රමසිංහ මෙවර නැවත බලයට පත්වීමෙන් පසු, ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය’ නමින් අලුත් දේශපාලන සන්ධානයක් සඳහා වන මුට්ටියක් දමා තිබේ. මෙය, ව්‍යවස්ථා වෙනසක් ඇති කර ගැනීම සඳහ වන වාහකයක් ලු. ඒ සඳහා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ද ඉල්ලා සිටිනු ලැබේ. මේ දක්වා ඒ කතාව ගිලින කෙනෙකු පේන්න නැත. අගමැතිවරයාගේ සහ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු සහායකයන් වශයෙන් සිටින දෙමළ ජාතික සන්ධානයත්, ජනතා විමුක්ති පෙරමුණත් එම යෝජනාව ප්‍රතික්ෂේප කොට තිබේ. ඒ පක්ෂ දෙකට තමන්ගේම වන වෙනම ව්‍යවස්ථා න්‍යාය පත්‍ර තිබිය හැකිය.

අගමැතිවරයාගේ ‘ජාතික සන්ධාන කතාව’, කාලය පිළිබඳ ප්‍රශ්නයක් ද මතු කරවයි. අගමැතිවරයා හදන්නේ, ව්‍යවස්ථා සංශෝධන මාතෘකාව මෙවරත් මැතිවරණ පොරොන්දුවක් බවට පත්කොට, ඊළඟ පාර්ලිමේන්තුවට එය භාර කිරීමට ද? එසේ නම්, මේ දක්වා නිදිගතව තිබුණු ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව’ හදිසියේම යළි පටන්ගෙන, අගමැතිවරයා යටතේ පැවති ‘මෙහෙයුම් කමිටුව’ මගින් සකස් කරන ලද අලුත් ව්‍යවස්ථා කෙටුම්පතක් පිළිබඳ ලියවිල්ලක් සංවාදයට ලක්කිරීමට කටයුතු කරන්නේ කුමකට ද? යලට මහට ඉහළට ගෙනෙන ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කතාව දැන් නැවත වේදිකාවට පැමිණ තිබේ.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් කියන පරිදි, අලුත් ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ පසුගිය දෙසැම්බර් 7 වැනි දා ය. එහෙත් ඒ දිනවල සිරිසේනගේ ක්‍රියාකලාපය හේතුවෙන් එය කල්ගත වූ බවත්, දැන් පෙබරවාරි 4 වැනි දා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඔහු කියයි. එහෙත් ආණ්ඩුවේ ‘ඉහළ පෙළේ කෙනෙකු’ කියා ඇති පරිදි, මේ කෙටුම්පත ලබන සතියේ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට’ ඉදිරිපත් කිරීමට නියමිතලු.

දින වකවානු ගැන අවුලක් තිබුණත්, අලුත් ව්‍යවස්ථා කෙටුම්පතක් යම් ආකාරයකින් සූදානම්ව ඇති බවක් පෙනෙන්ට තිබේ. ඉන් පසුව ඇති විය හැකි තත්වය කුමක් ද? ඒ කෙටුම්පත සහ දැනටමත් ගැසට් කර ඇති සහ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විමර්ශනයට ලක්කොට ඇති ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 20 වැනි සංශෝධන කෙටුම්පත අතර ඇති සම්බන්ධය කවරේද? අලුත් කෙටුම්පත තුළ, ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන සහ පාර්ලිමේන්තුවේ සහ පළාත් සභාවල බලතල වැඩි කරන’ ප්‍රතිපාදන ඇතුළත් බව වාර්තා වෙයි. එහි අදහස වන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාවට උඩින් මෙය ඉදිරිපත් කොට, ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණයටත් යොමු කොට, සංශෝධන ක්‍රියාවලියක් හරහා ගෙන යා යුතු බවයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන කතානායක කරූ ජයසූරියගේ මැදිහත්වීම, මේ අලුත් ව්‍යවස්ථා කෙටුම්පත තුළ ස්ථානගත වන්නේ කෙසේද? මට පෙනී ගොස් ඇති පරිදි, ජනතා විමුක්ති පෙරමුණේ 20 වැනි සංශෝධනය ගැනවත්, මේ කියන අලුත් ව්‍යවස්ථා කෙටුම්පත ගැනවත් සඳහනක් කතානායකවරයාගේ ප්‍රකාශයෙන් නොකියැවුණි. කතානායකවරයා තනියෙන් වෙනම ව්‍යවස්ථා ක්‍රියාවලියක් දියත් කරතැයි සිතිය නොහේ. කෙසේ වෙතත්, පෙනී යන විදිහට, මේ කාරණා අතර ප්‍රමාණවත් සම්බන්ධීකරණයක් ඇති බවක් නොපෙනේ.

තවත් වැදගත් ප්‍රශ්න ගණනාවක් තිබේ. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අගමැතිවරයා සහ ආණ්ඩුව සිටින තැන කුමක් ද? යෝජිත ප්‍රතිසංස්කරණ මාලාවේ වපසරිය කුමක් ද? ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් ලබා ගත හැකි වේ ද? එසේ කිරීමට යන්නේ, මේ පාර්ලිමේන්තුව තුළ ද, නැත්නම් ඊළඟට බලයට පත්වෙන වෙනත් පාර්ලිමේන්තුවක් තුළ ද?

කරූ ජයසූරිය යෝජනා කරන පරිදි මේ ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළම එය අවසන් කර ගත යුතුය යන්න ඉතා වැදගත් ය. ඇත්තෙන්ම ඒ සඳහා වර්තමාන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලබා ගැනීමත් දුෂ්කර විය නොහැක. එය ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනැවිත් ඉවත් කරනවාට වඩා පහසු ය.

විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කර ගැනීම මේ වසරේම ඉවරයක් කර ගත යුතුව තිබේ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කරගෙන, ජනමත විචාරණයකිනුත් එය සම්මත කර ගැනීමට වසරක කාලයක් හොඳටම සෑහේ. එහෙත් එය සාර්ථක වීමට නම්, ඒ සමගම, සමානුපාතික ඡන්ද ක්‍රමය සහ මනාප ඡන්ද ක්‍රමයත් වෙනස් කර ගත යුතුව තිබේ. 2019 ව්‍යවස්ථා න්‍යාය පත්‍රය තුළ ගත යුතු එකම කාරණය එය වන අතර, රනිල් වික්‍රමසිංහ, කතානායකවරයා සමග ඊට සමනායකත්වය දිය යුතුව තිබේ.

පුළුල් පරාසයක් නියෝජනය කරන සමස්ත ව්‍යවස්ථා වෙනසකට වඩා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වැනි, නිශ්චිත වූත් සීමිත වූත් කාරණයක් අරභයා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් ලබා ගැනීම සඳහා යොමු වීම, මේ මොහොතේ පවතින තත්වය තුළ, වඩාත් ප්‍රායෝගික වන්නේය. වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් සහ පක්ෂ නායකයන්ගෙන් කිසිවෙකු එවැනි සංශෝධනයක් නිසා අගතියට පත්වෙතැයි සිතිය නොහැක. ඔවුන් අතරින් මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන වැන්නන්ට, පවතින තත්වයන් යටතේ, ඇත්තෙන්ම එයින් සුගතියක් ද අත්විය හැකිය.

2019 ජනවාරි 5 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ Leaving Sirirsena Alone & Finding a Way to Change the Executive Presidency නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

 

Back to Top