Sri Lanka Brief
පුවත්විවරණව්‍යවස්ථා කෙටුම්පත ගැන ඇත්තට පිටුපා බොරුවට පණදීම – මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා

ව්‍යවස්ථා කෙටුම්පත ගැන ඇත්තට පිටුපා බොරුවට පණදීම – මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා

by

ජායාරූපය: 2017 අගොස්තු 15 දින පැවැති මහජන රැළියේ ප්‍රධාන ඉලිලීමක් වූයේ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවයයි. ( c) සුනන්ද දේශප්‍රිය.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික හැඩරුව කෙසේවිය යුතුද යන්න පිළිබඳ කරුණු අන්තර්ගත වාර්තාවක් ජනවාරි 11 දින පාර්ලිමේන්තුවේ සලකා බැලීම සඳහා අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලදී. එම වාර්තාවේ ප්‍රාරම්භක වාක්‍යයේ සඳහන් වන ආකාරයට එය වූ කලී, ‘අන්තර්වාර වාර්තාව, අනුකමිටු වාර්තා හය සහ පාර්ලිමේන්තුව හා පළාත් සභා අතර සම්බන්ධතාව පිළිබඳ සොයාබැලීම සඳහා මෙහෙයුම් කම්ටුව විසින් පත් කරන ලද තත්කාර්යය අනුකමිටුවේ වාර්තාව යන වාර්තා පදනම් කරගනිමින් මෙහෙයුම් කමිටුව වෙනුවෙන් විද්වත් මණ්ඩලය විසින් සම්පාදනය කරන ලද වාර්තාවක් වේ’. මේ අනුව බලන විට පැහැදිලිවම පෙනී යන්නේ අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ හුදෙක් සම්පාදනය කිරීමට අපේක්‍ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වරූපය කුමක් වියහැකිද යන්න සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනා සහ නිර්දේශවල එකතුවකින් යුත් වාර්තාවක් මිස සාදා නිම කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොවන බවය. එමෙන්ම එම වාර්තාව අඩුම වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ලෙසවත් නොසැලකිය යුතුබව අගමැතිවරයා අවධාරණයෙන්ම පාර්ලිමේන්තුවට කියා සිටියේය.

රාජපක්ෂලාගේ මුසාවාද

වාර්තාව පිළිබඳ සැබෑ තත්ත්වය මෙය වුවද, එම අදහස අගමැතිවරයා සහ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පසුගිය 11 දා සිට මේ දක්වාම නිරන්තරයෙන්ම අවධාරණය කළද විරුද්ධ පක්‍ෂයේ නායක මහින්ද රාජපක්‍ෂ ප්‍රධාන ආණ්ඩු විරෝධීන් සහ ඔවුනට සහාය දක්වන සමහර සංඝයා වහන්සේලාද එම අදහස පිළිගැනීමට ලැහැස්ති වී ඇති බවක් දැකිය නොහැක. ඔවුන් එම වාර්තාව දකින්නේ වාර්තාවක් හැටියට නොව මුළුමනින්ම සාදා නිමකළ ක්‍රියාත්මක කිරීමට පමණක් ඉතිරිව ඇති පරිපූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෙසය. එපමණක් නොව එම ව්‍යවස්ථාවෙන් වියහැකි හානි මොනවාද යන්න පිළිබඳවත් සමහරුන් විවිධ අදහස් ඉදිරිපත් කරන ආකාරය මේ වනවිට දැකිය හැක. මෙම විරෝධතා අදහස් මූලික වශයෙන් ගොඩනැඟී තිබෙන්නේ බුද්ධාගම, රාජ්‍යයේ ඒකීයභාවය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ පළාත් සභා ක්‍රමය ශක්තිමත් කිරීම යන කරුණු හතර පදනම් කරගෙනය. එයින් බුද්ධාගම පිළිබඳව ඉදිරිපත් කරන අදහස මගින් ප්‍රකාශ වන්නේ යෝජිත නව ව්‍යවස්ථාව මගින් 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙක යටතේ රාජ්‍යය විසින් බුද්ධාගමට දී තිබූ ප්‍රමුඛස්ථානය නව ව්‍යවස්ථාව යටතේ යම් ප්‍රමාණයකට අවප්‍රමාණ කර ඇති බවය.

පෙඩරල් භීතිකාව

රාජ්‍යයේ ඒකීයභාවය පිළිබඳව ඉදිරිපත් කරන අදහසෙන් ප්‍රකාශ වන්නේ නව ව්‍යවස්ථාව මගින් රටේ ඒකීයභාවය නැතිකොට රට තුළ ෆෙඩරල් ආණ්ඩුක්‍රමයක් හෙවත් සන්ධීය ආණ්ඩුක්‍රමයක් පිහිටුවීමට අවශ්‍ය මූලික අඩිතාලම දමා තිබෙන බවය. මෙම පදනම මත මොවුන් තවදුරටත් කියා සිටින්නේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාවට නැංවුව හොත් ශ්‍රී ලංකා රාජ්‍යය කොටස් නවයකට කැඩී ගොස් එයින් උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එක්වී එම ප්‍රදේශය වෙනම ස්වාධීන රාජ්‍යයක් වශයෙන් සංවිධානය වීම නොවැළැක්විය හැකි දෙයක් වන බවය. පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ පළාත් සභා ක්‍රමය තවදුරටත් ශක්තිමත් කිරීම ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් බවට පත්කිරීමේ උත්සාහය තවදුරටත් පහසු කිරීමේ ව්‍යවස්ථාමය උපක්‍රම වන බව ඔවුහු වැඩිදුරටත් කියා සිටිති. මේ සියලුම කරුණු එක්තැන් කරමින් අවසාන වශයෙන් මොවුන් කියා සිටින්නේ රට සහ ජාතියට ඉමහත් ව්‍යසනයක් අත්කර දියහැකි යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාවට නැංවීම වැළැක්වීම සඳහා රටට සහ ජාතියට ආදරය කරන සෑම අයෙකුම එයට එරෙහිව නැඟී සිටිය යුතු බවය. සමහර භික්‍ෂූන් වහන්සේලා කියා සිටින්නේ මේ මොහොතේ රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බවත් පවතින 1978 ව්‍යවස්ථාව තවදුරටත් එසේම පවත්වා ගෙන යායුතු බවත්ය.

මනසින් මවාගත් යක්ෂයා

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට එරෙහිව ඉදිරිපත් වී ඇති ඉහත දැක්වූ ප්‍රතිවිරුද්ධ අදහස් වලින් පැනනඟින මූලික ප්‍රශ්න දෙකක් තිබේ. පළමු ප්‍රශ්නය වන්නේ එම අදහස් මගින් සැබෑ ලෙසම සත්‍යය ප්‍රකාශ වනවාද යන්නය. දෙවැන්න වන්නේ රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වනවාද නැද්ද යන්නය. මෙයින් පළමුවන ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී කිවයුත්තේ එම අදහස්වල හරි වැරැදි පිළිබඳව අවසාන නිගමනයකට මේ අවස්ථාවේදී පැමිණිය නොහැකි බවය. හේතුව එම අදහස් ඉදිරිපත් කර තිබෙන්නේ සැබෑ වශයෙන් පවතින ව්‍යවස්ථාවක් ගැන නොව මනසින් මවාගත් ව්‍යාජ ව්‍යවස්ථාවක් පදනම් කරගෙන වීමය. වෙනත් ආකාරයකට කියනවා නම් ඒ සෑම අදහසක්ම ඉදිරිපත් කර තිබෙන්නේ මෙහෙම වුණොත් මෙසේ විය හැකිය යන උපකල්පන පදනම් කරගෙනය. අගමැතිවරයා ප්‍රකාශ කරන ආකාරයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම කෙසේ වෙතත් එවැනි ව්‍යවස්ථාවක් මේ මොහොත වනවිට කෙටුම්පත් කිරීමටවත් පටන් ගෙන නැත. අනෙක් අතට ව්‍යවස්ථාව කෙටුම්පත් කළද එය ක්‍රියාත්මක වීමට නම් ප්‍රථමයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් සම්මත විය යුතුය. අනතුරුව කැබිනට් මණ්ඩලයෙන් අනුමත කොට පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතුය. පාර්ලිමේන්තුව විසින් නව ව්‍යවස්ථාව තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කළයුතු අතර එසේ සම්මත වුවහොත් අවසාන වශයෙන් ජනතා අනුමැතිය සඳහා ජනමත විචාරණයකට ඉදිරිපත් කළ යුතුය. ජනමත විචාරණයේදී ව්‍යවස්ථාව අනුමත වීමට නම් ඡන්දය ප්‍රකාශ කරන මුළු ඡන්දදායකයන්ගෙන් භාගයකට වඩා වැඩි ප්‍රමාණයක් එයට කැමැත්ත ප්‍රකාශ කළ යුතුය. මෙයින් පෙනී යන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නීත්‍යනුකූල පදනමක් මත ස්ථාපිත කිරීම සඳහා තව බොහෝදුර යාමට ඇති බවය. එම දුර ගමන යාමේ ආරම්භක පියවරවත් මේ වනවිට තබා නොමැත. එබැවින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ අවස්ථාවේ ඉදිරිපත් වී ඇති සෑම විවේචනයක්ම එකහෙළාම ප්‍රතික්‍ෂේප කිරීමට සිදුවේ. හේතුව අනුමාන සිතාගැනීම් මත කරන විවේචන ඵල රහිත වීමය.

නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය දිගු කළක සිට පවතින්නකි.(c) සුනන්ද ‌ ‌දේශප්‍රිය

රාජ්‍යයේ ස්වභාවය

ඉහත දැක්වූ දෙවන ප්‍රශ්නයට එනම් මේ අවස්ථාවේදී රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද නැද්ද යන ප්‍රශ්නයට පිළිතුරක් සෙවීමේදී කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමුකළ යුතුය. එයින් එකක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කාර්යභාරය කුමක්ද යන්න තේරුම් ගැනීමය. දෙවැන්න රටේ මේ මොහොතේ ක්‍රියාත්මක වන වයස අවුරුදු 40 ක් තරම් වූ 1978 වර්ෂයේදී ස්ථාපිත කරන ලද දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෙවත් ජේ.ආර්. ජයවර්ධන ව්‍යවස්ථාව එම කාර්යභාරය නිසියාකාරව ඉටුකිරීමට සමත් වී තිබෙනවාද යන්නය. දේශපාලන ක්‍රමයක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් ඉටුකරන කාර්යභාරය විවිධාකාර වේ. මෙයින් එකක් වන්නේ රාජ්‍යයේ ස්වභාවය කුමක්ද යන්න හඳුන්වා දීමය. එනම් රාජ්‍යය ඒකීය එකක් වනවාද නැතිනම් සන්ධීය හෙවත් ෆෙඩරල් එකක් වනවාද යන්න සහ රාජ්‍යය ලෞකික එකක් වනවාද නැතිනම් ආගමික එකක් වනවාද යන්න පැහැදිලිව හඳුන්වා දීමය.

පුරවැසියන් සතු අයිතිවාසිකම්

දෙවැන්න වන්නේ රාජ්‍යය තුළ ජීවත්වන පුරවැසියන් සතු අයිතිවාසිකම් මොනවාද සහ ඒවා භුක්ති විඳිය හැකි අවකාශය කුමක්ද යන්න පෙන්වා දීමය. තුන්වන කාර්යය වන්නේ රාජ්‍යයේ බලතල හා කාර්ය පෙන්වා දීමය. එනම් රාජ්‍ය බලයේ ප්‍රමාණය කුමක්ද? එම බලය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන ත්‍රිත්වය අතර ආයතනගත කර තිබෙන්නේ කුමනාකාරයකටද සහ එම බලතල ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් පවතින අවකාශය හා සීමා මොනවාද යන්න පෙන්වා දීමය. සිව්වන කාර්යය වන්නේ රාජ්‍ය බලය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පුරවැසියන් එකට යාකරන යාන්ත්‍රණයේ ස්වභාවය කුමක්ද යන්න පෙන්වා දීමය. මෙයින් අදහස් කරන්නේ පුරවැසියන් රාජ්‍ය පාලනයට සහභාගි වන නියෝජන ක්‍රමයේ ස්වභාවය සහ එය ක්‍රියාවට නංවන ආකාරය හා සම්බන්ධ විධිවිධාන මොනවාද යන්න පෙන්වා දීමය.

පස්වන කාර්යය වන්නේ රාජ්‍යයේ ඉදිරි ගමනට මඟ පෙන්වන ව්‍යවස්ථානුකූල දර්ශනය සැපයීමය. එනම් රාජ්‍යය ඉදිරියට ගමන් කළයුතු දේශපාලන හා ආර්ථික දර්ශනය කුමක්ද යන්න පෙන්වා දීමය. සයවන කාර්යය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන ආකාරය පෙන්වා දීමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් අපේක්‍ෂා කරන තවත් කාර්යයක් වන්නේ රාජ්‍යය සහ ජාතිය ගොඩනැංවීම සඳහා දායක වීමය. වෙනත් ආකාරයකට කියනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පාලනය වන දේශපාලන ක්‍රමය බහු වාර්ගික, බහු ආගමික සහ බහු භාෂා යනාදියෙන් සමන්විත වන එකක් වන්නේ නම් එවැනි තත්ත්වයක් තුළ නිසැක ලෙසම පවතින විවිධත්වය යටපත් කරමින් ඒකීයත්වයක් ගොඩනඟා එක් රටක් එක් ජාතියක් යන සිද්ධාන්තය යටතේ රාජ්‍ය සහ ජාතිය ගොඩනැඟීමේ කාර්යයට දායක වීමය.

1978 ව්‍යවස්ථාව අසාර්ථකයි

කරුණු විමසීමේදී පෙනී යන්නේ ඉහත දැක්වූ එකදු කාර්යයක්වත් ගැටුම්කාරී සහ අවුල් සහගත තත්ත්වයකින් තොරව ඉටුකිරීමට 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපොහොසත් වී තිබෙන බවය. නිදසුන් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස හැඳින්වුවද 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් එම ඒකීයභාවය ප්‍රතිවිරෝධතාවකට ලක්කර ඇත. පළාත් සභා පිහිටුවීම සහ රටේ මූලික නීතිය මගින් පළාත් සභාවලට බලතල පැවරීමෙන් පෙන්නුම් කරන්නේ ​ෙෆඩරල් රාජ්‍යය ගති ලක්‍ෂණ මිස ඒකීය රාජ්‍යයක ගති ලක්‍ෂණ නොවේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම හේතුවෙන් බහුවිධ සමාජ ක්‍රමයක් තුළ අපක්‍ෂපාතී බේරුම්කරුවෙකු ලෙස රාජ්‍යයට හිමිවිය යුතු අපක්‍ෂපාතීභාවය ප්‍රතිවිරෝධතාවකට ලක් කරමින් රාජ්‍යය පක්‍ෂපාතී බේරුම්කරුවකුගේ තත්ත්වයට පත්කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ පදනම සීිමිත බලැති වගකීමට යටත් කළ ආණ්ඩුවක් වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම වගකීමට බැඳී නැති විධායක ආඥාදායකත්වයක් ගොඩනැගීම මඟින් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ප්‍රතිවිරෝධතාවකට ලක්කර තිබේ.

මූලික දුබලතා කිහිපයක්

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ තවත් පදනම් මූලධර්මයක් වන සමාන පුරවැසියන් සහ සමාන ඉඩප්‍රස්ථා යන සිද්ධාන්තය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම අසමාන පුරවැසියන් සහ අසමාන ඉඩප්‍රස්ථා යන තත්ත්වයට පත්කිරීම මගින් එම සිද්ධාන්තය බරපතළ ප්‍රතිවිරෝධතාවකට ලක්කර තිබේ. කාර්යක්‍ෂම ආණ්ඩුක්‍රමයක පැවැත්ම සඳහා අවශ්‍යම මූලික කොන්දේසියක් වන විධායක=ව්‍යවස්ථාදායක සහයෝගිතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම බරපතළ ලෙස ප්‍රතිවිරෝධතාවකට ලක්කරමින් ආණ්ඩුක්‍රමයේ කාර්යක්‍ෂම ක්‍රියාකාරිත්වය අඩපණ කොට තිබේ. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ගොඩනඟා තිබෙන දෙමුහුන් විධායකය තුළ පවතින ප්‍රතිවිරෝධතා හේතුවෙන් ආණ්ඩු යාන්ත්‍රණය පවත්වා ගෙන යාමට කිසිසේත්ම නොහැකි තත්ත්වයකට මේ වනවිට පත්ව තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ තවත් මූලික කොන්දේසියක් වන නීතියේ අධිපතිත්වය සිද්ධාන්තය හෙවත් සියලු දෙනාම නීතියට යටත් වනවාය යන සිද්ධාන්තය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්ම ජනාධිපතිවරයා නීතියට ඉහළින් තැබීම හේතුවෙන් බරපතළ ප්‍රතිවිරෝධතාවකට ලක්කර තිබේ. මෙකී නොකී ප්‍රතිවිරෝධතා සහ අඩුපාඩු දහස් ගණනක් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සොයාගත හැක. ඉතාම කෙටියෙන් කියනවා නම් රටට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් සැපයීමට වර්තමාන ව්‍යවස්ථාව අපොහොසත් වී ඇත. රාජ්‍ය සහ ජාතිය ගොඩනැංවීමට වර්තමාන ව්‍යවස්ථාව අපොහොසත් වී ඇත.

දේශපාලන ස්ථාවරබව

ආර්ථික සංවර්ධනයේ අත්‍යවශ්‍යම පූර්ව කොන්දේසිය වන දේශපාලන ස්ථාවරභාවය සැපයීමට පවතින ව්‍යවස්ථාව අපොහොසත් වී ඇත. එහෙත් මෙයට පරස්පරව රට සහ ජාතිය දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් ඉතාම දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්කිරීම කෙරෙහි නම් වර්තමාන ව්‍යවස්ථාව බෙහෙවින්ම දායක වී ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට එරෙහිව කතාකරන දේශපාලනඥයන්, ඔවුන්ගේ අනුගාමිකයන් සහ හාමුදුරුවරුන් ඉල්ලා සිටින්නේ පවතින ව්‍යවස්ථාව එසේම පවත්වා යමින් මෙම අර්බුදය තවදුරටත් පවත්වා ගෙන යාමටද යන ප්‍රශ්නය ඔවුන්ගෙන් ඇසිය යුතුය. පිළිතුර ඔව් නම් ඒ සියලු දෙනාම හැඳින්විය හැක්කේ වචන දෙකකින්ය. එනම් දේශද්‍රෝහීන් සහ ජාතිද්‍රෝහීන් වශයෙන්ය. මෙම ද්‍රෝහීන්ගෙන් රට බේරා ගත හැක්කේ ඔවුන්ගේ වර්ගවාදී හා ආගම්වාදී අදහස්වලට ඇහුම්කන් දීමෙන් නොව ඉහත දැක්වූ මූලධර්ම පදනම් කරගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමෙන් පමණි. එසේ කිරීමේදී ඒකීයභාවය හා ආගම සම්බන්ධයෙන් පිළිගෙන තිබෙන ආචීර්ණකල්පික හණමිටි අදහස් සමහරවිට ඉවත දැමීමට සිදුවනු ඇත. එය කළයුතුම දෙයක් නම් එය කළ යුතුම බව අවසාන වශයෙන් කිව යුතුය. හේතුව වැදගත් වන්නේ රට සහ ජාතිය මිස වර්ගය සහ ආගම නොවීමය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය – එම්.ඕ.ඒ. ද සොයිසා ( උපුටා ගැනීම ලංකාදීප පුවත් පතිනි)

Back to Top