Sri Lanka Brief
පුවත්විවරණදියවන්නාවේ තත්ව පිස්සුව සහ දේශපාලන ස්ථාවරත්වය ඉදිරියේ ඇති අභියෝග – ෂ්‍යාමන් ජයසිංහ

දියවන්නාවේ තත්ව පිස්සුව සහ දේශපාලන ස්ථාවරත්වය ඉදිරියේ ඇති අභියෝග – ෂ්‍යාමන් ජයසිංහ

by

විධායක ජනාධිපති ක්‍රමයේ ත්‍රිවිධාකාර අසාර්ථකත්වයන්.

විධායක ජනාධිපති ක්‍රමයේ අසාර්ථකත්වයත්, එවැනි ක්‍රමයක් යටතේ ඇති විය හැකි අවුලත්, සිරිසේන-රාජපක්ෂ යන දෙදෙනා විසින් මෑතකදී දියත් කරන ලද ව්‍යවස්ථා කුමන්ත්‍රණය හරහා විශේෂ ආකාරයකින් ප්‍රදර්ශනය කෙරුණි. ඊට කලින් එම ක්‍රමයේ අසාර්ථකත්වය ගැන පැවතියේ වෙනස් ආකාරයක අදහසකි. එහිදී කැපී පෙනුණේ, එක පුද්ගලයෙකු අත ගොනු විය හැකි අසීමිත බලයක් තුළින් ඇති විය හැකි බල අපයෝජනයක් පිළිබඳ විවේචනයකි. මෙහිදී මගේ අවධානය යොමු වන්නේ ඒ දෙකටම වෙනස් ආකාරයක අසාර්ථකත්වයක් ගැනයි. එනම්, එම ක්‍රමය යටතේ ඇති විය හැකි, එක තැන හිරවෙන අස්ථාවරත්වයක් රට තුළ ඇති වීමට තිබෙන ඉඩකඩ ගැන ය.

එනයින් ගත් කල, මේ හාස්කම් සහිත පුටුවේ පළමු වරට වාඩි වූ ජේ. ආර්. ජයවර්ධන ඇති කළ විධායක ජනාධිපති ක්‍රමය තුළ ත්‍රිවිධාකාර අසාර්ථකත්වයක් අපට හමු වෙයි. එකක් වන්නේ, බල අපයෝජනයයි. දෙවැන්න වන්නේ, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විරසක වූ විටෙක ඇති විය හැකි අවුලයි. තෙවැන්න වන්නේ, බලයේ සිටින පාර්ලිමේන්තු පක්ෂයක් තුළ ඇති විය හැකි නිදන්ගත දුෂ්කෘත්‍යය හෙවත් කිසිවක් කරකියා ගත නොහැකි තත්වයකට පත්වීමයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය

ඇත්ත වශයෙන්ම, තෙවැනුව කී ප්‍රශ්නය මතුවුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව 30 ක් දක්වා අඩු කිරීමත් සමග ය. ඊට කලින් එවැනි සීමාවක් තිබුණේ නැත. ජේ. ආර්. ජයවර්ධන විශාල ඇමති මණ්ඩලයක් පත්කර ගැනීමෙන් හිතාමතාම වැළකී සිටියේය. අනිත් පැත්තට මහින්ද රාජපක්ෂ, තමන්ගේ මන්ත්‍රීවරුන්ගේ මනදොළ හැකි තාක් සපුරාලීම සඳහා විශාලම ඇමති මණ්ඩල පිහිටුවා ගත්තේය. ඒ ආකාරයෙන් සියල්ලන් තෘප්තියෙන් තබා ගැනීමට ඔහුට හැකි විය. එකී අයවළුන් විවිධ දූෂිත ක්‍රියාවන්හි යෙදෙන විට ඒ ගැන අහක බලාගෙන සිටීමෙන් මහින්ද රාජපක්ෂ තමන් කෙරෙහි වන ඔවුන්ගේ පක්ෂපාතීත්වය තවදුරටත් තහවුරු කරගත්තේය.

අපේ සමාජයේ පවත්වා ගැනෙන ‘තත්වය’

ශ්‍රී ලංකාවේ සමාජ සහ සංස්කෘතික සැකැස්ම තුළ බොහෝ ශ්‍රී ලාංකිකයන් තුළ තත්වය හඹා යාමේ නැමියාවක් දක්නට ලැබේ. ගම් මට්ටමෙන් ගත් විට සාමාන්‍ය පාසල් ගුරුවරයෙක් විදුහල්පති හෝ නියෝජ්‍ය විදුහල්පති වීමේ ආශාවෙන් පෙලෙයි. අඩු වශයෙන්, අංශ භාර මුල් ගුරුවරයෙකු හෝ වීමට බලයි. ආණ්ඩුවේ ලිපිකරුවන්ටත් මේ තත්වය තිබේ. එනිසා ගැමියන් වඩාත් කැමති වන්නේ තමන්ගේ දරුවන් වඩාත් ඵලදායී ව්‍යාපාරික ව්‍යවසායකයන් වෙනවාට වඩා රජයේ ලිපිකරුවෙකු වනු දැකීමට ය.

ආණ්ඩුවේ ආයතන, රැකියා සපයන ජනප්‍රිය තිප්පොලක් බවට පත්ව ඇති එක් හේතුවක් එයයි. ඉතිං, තමන්ගේ දරුවෙකු වෛද්‍යවරෙයෙකු, නැත්නම් ඉස්සර කච්චේරි ක්‍රමය යටතේ දී මෙන් ආණ්ඩුවේ ‘ඒජන්තතුමෙකු’ වුවහොත් එය එම පවුලට ලැබෙන ඉතා ඉහළ තත්වයකි. එවිට, එවැනි වැඩිහිටියන්ව හැඳින්වෙන්නේ අහවලාගේ තාත්තා අම්මා වශයෙනි. කුලය යන සාධකය ප්‍රධාන සමාජ කාරණාවක් බවට පත්වුණේත් බොහෝ විට මේ කියන තත්වය මාර්ගයෙනි. සල්ලි තියෙන, නැත්නම් කඩයක් තියෙන පුද්ගලයෙකු නිකංම ‘මුදලාලි මහත්තයෙකි.’ ඔහුට එතරම් තත්වයක් නැතත් ගැමියන් කෙරෙහි යම් බලයක් ඔහුට හිමි වුණේ ඔහුගේ සල්ලි නිසා ය. ඉතිං, මුදලාලි කෙළේ බැනියමට උඩින් කෝට් එකක් හැඳගෙන තත්වය ලබා ගැනීමයි.

කාලයක් යන විට, සල්ලි හම්බ කර ගත් පවුල් තමන්ට තත්වයක් නැති කම පිරිමසා ගත්තේ තමන්ගේ දූවරුන්, තත්වයක් ඇති ආණ්ඩුවේ සේවකයෙකුට කරකාරයට දීමෙනි. අද මෙන්ම එදාත් හිඟන තත්වයේ සිටි ආණ්ඩුවේ සේවකයාත් තම තත්වය පාවිච්චි කරමින් ලොකු දෑවැද්දක් එක්ක ගෑනියෙක් බැඳගත්තේය. තත්වය ඇති තරුණයා තත්වයක් නැති පවුලක් ඉදිරියේ තත්ව දානපතියෙකු බවට විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා

මන්ත්‍රීවරු සහ ඇමතිවරු කාලයාගේ ඇවෑමෙන් තත්ව දෙවිවරුන්ගේ තත්වයට පත්වුහ. කිසිවෙකු තමන්ගේ උණ්ඩයක් නාස්ති කර ගැනීමට හීනෙන්වත් නොසිතන තත්වයකදී පවා මේ මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් යානවාහන සහ ජීප් රථ පිරිවරා ගත් ආරක්ෂක වළල්ලක් යටතේ ගමන්බිමන් යන්නේ එබැවිනි. මේ ක්ෂේත්‍රයේ අලුත්ම දෙවියා මන්ත්‍රීවරයා ය. වැදගත් වන්නේ ඔහු ආණ්ඩු පක්ෂයේ සිටීම පමණි. ඉතිං, ඒ පැත්තට මේ පැත්තට පනින සංස්කෘතියක් අපට ලැබී තිබේ. යම් යම් දේවල් දීමට සේම ගැනීමටත් හැකි වන එක්තරා බලයක් මේ මන්ත්‍රීවරුන්ට ලැබී තිබේ. ඔවුහූ ඒ බලය තම පක්ෂ නායකයන් වෙතින් තව තවත් ඉල්ලා සිටිති.

රංගෙ බණ්ඩාරගේ නිදර්ශනය

පුත්තලම් දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ රංගෙ බණ්ඩාර ගැන සිතා බලන්න. තමාට කැබිනට් අමාත්‍ය ධුරයක් නොලැබීම ගැන අපේක්ෂා භංගත්වයට පත්ව ඇති බවට චෝදනා කර ඇති ඔහු ඒ මානව හිමිකම් උල්ලංඝනය ගැන ඉදිරියේ දී තමන් යම් පියවරක් ගන්නා බව පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කියා ඇති බව මාධ්‍ය වාර්තා කෙළේය. ඔව්, අද කාලයේ මන්ත්‍රීවරයෙකුට ඇමතිවරයෙකු වීමම මූලික මිනිස් අයිතියක් භුක්ති විඳීමකි. මේ තත්වය යටතේ මානව හිමිකම් සහ මූලික අයිතීන් ගැන වෙනම ලැයිස්තුවක් ලිවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට සිදු වනු ඇත. සරදම වන්නේ, අනිත් පැත්තෙන්, නෛතික මුක්තියක් ඇති ජනාධිපතිවරයාට එරෙහිවත් නීතිපතිවරයා වගඋත්තරකරු කොට තමන්ගේ මූලික අයිතීන් උල්ලංඝණය කළ බවට මේ දේශපාලඥයන් නඩු පැවරීමයි. එය වෙනම ආකාරයක කතාවකි.

බාබර් සාප්පුව

මහින්ද රාජපක්ෂ නිර්මාණය කළ වඩාත් ආකර්ශනීය සංකල්පයක් තිබේ. ඒ, බාබර් සාප්පුවක් ගැන කතාවකි. ඉස්සර බාබර් සාප්පුවල තිබුණේ, කෙනෙකුට ඇතුලු වීමට සේම පිටවීමටත් ඉතා පහසුවෙන් හැකි වන, දෙපැත්තට ඇරෙන සහ පැද්දෙන් දොර පලු දෙකකි. තමාගේ ආණ්ඩුවත් එවැනි දොරක් ඇති තැනක් බව මහින්ද රාජපක්ෂ කියා තිබේ. මැති ඇමතිවරුන්ට අවශ්‍ය නම් පිට වන්නටත්, ඇතුලු වන්නටත් අවසර තිබේ. ඔවුන් විපක්ෂයට යන්නේ නම් ඊට ද අවසර ඇත. ඔවුන් නැවත ආණ්ඩුවට එන්නේ නම් ඊටත් පහසුකම් සලසනු ලැබේ. එසේ එන විට අලුතින් ඇමතිකමක් දීමටත් පුළුවන.

කැබිනට් අමාත්‍ය සංඛ්‍යාවක සීමාව පිළිබඳ බාධාවක් මහින්දට එදා තිබුණේ නැත. එය පාවිච්චි කරමින් ඔහු නැටූ සෙල්ලම් අපි නොදන්නේ ද? එසේ ඇමතිකම් දීමේදී යම් තාර්කිකත්වයක් පිළිබඳ හැඟීමක් ඔහුගේ අහලකවත් තිබුණේ නැත. ඒ හේතුවෙන් සිදු වන ජනතා මුදල් නාස්තිය ඔහුට ප්‍රශ්නයක් වුණේ නැත. පියවා ගත නොහැකි අයවැය හිඟයක් පැවතීම ඔහුට ප්‍රශ්නයක් වුණේ නැත. ඔහුගේ රාජ්‍ය කාලයේදී, ඇමතිකමක් නැති මන්ත්‍රීවරයෙකු සොයා ගැනීමටත් නොහැකි වූ තරම් ය.

නොමිලේ ලැබෙන බදු රහිත වාහන බලපත්‍ර

වාහන බලපත්‍ර සෙල්ලම විගඩමක් බවට පත්වුණේ ඒ තතු යටතේ ය. මන්ත්‍රීවරයෙකුට ඇමතිකමක් ලැබෙන විටත් වාහන බලපත්‍රයක් ලැබෙන්නේය. එපමණක් ද නොවේ. ඒ සඳහා වන ඉන්ධනත් නොමිලේ ලැබෙන්නේය. තමන් කැමති තැනක යන්නට එන්නට ඔවුන්ට පුළුවන. තමන්ගේ අතින් කරන්ට සිදුවන කිසි වියදමක් නැත. කැබිනට් අමාත්‍ය ධුරයත්, ඒ සමග ලැබෙන යානවාහන ඇතුළු අනෙකුත් පරිවාර පහසුකමුත් සමග සමාජ තත්වය ඉඳුරා ගැට ගැසුණි. ඒ සියල්ලට උඩින් පිටරට සවාරි ලැබෙන විට තත්වය තවත් නගින්නේය.

කෑලිවලට කැඩී යාමේ සහ කල්ලි ගැසීමේ අවදානම

පිස්සු ජනාධිපතිවරයෙකුගේ උමතු කල්ක්‍රියාවට මුහුණදීමට අමතරව මෙවැනි දේශපාලඥයන්ගේ තත්ව අභියෝගයට මුහුණදීමටත් අගමැතිවරයාට සිදුව තිබීම ගැන මට ඇත්තේ අනුකම්පාවකි. යහපාලන ප්‍රතිපත්ති යටතේ ඇති කර ගත් ඇමති මණ්ඩලයේ සීමාව 30 කි. එසේ වන කල, තමන්ගේ මන්ත්‍රීවරුන් සියල්ලන් කෙසේ නම් ඔහු තෘප්තිමත්ව තබා ගන්නද? ඒ තත්වය යටතේ, මන්ත්‍රීවරුන් කැඩී යාම හෝ කල්ලි ගැසීම කෙසේ නම් විසඳා ගන්නද?

මේ අතර, ආණ්ඩුව ඇතුළේ සිටින යම් කොටසක් බල තැරැව්කාරයෙකු යටතේ කල්ලි ගැසෙමින් සිටිති. උන්නතිකාමයෙන් පෙලෙන යම් මන්ත්‍රීවරයෙකු හෝ ඇමතිවරයෙකු වෙනම කණ්ඩායමක් ගොඩනගමින් සිටින බව කියැවේ. එහි අරමුණ වන්නේ, එක්සත් ජාතික පක්ෂය තුළ වෙනම බල කේන්ද්‍රයක් ගොඩනගා ගැනීමයි.

එවැනි තත්වයක් තුළ අනාගතයේ ජනාධිපති අපේක්ෂකයෙකු හෝ අගමැති අපේක්ෂකයෙකු තෝරා ගැනීම පිළිබඳ සැබෑ ගැටළුවක් තිබේ. ඒ නිසා, පක්ෂයේ නායකත්වය සහ ඉහළ ධූරාවලියේ ක්‍රියකාරීන් ඒ අවදානම ගැන සැලකිලිමත් විය යුතුය.

මේ සියලු කරුණුවලින් පෙනී යන්නේ අපේ ව්‍යවස්ථාවේ බරපතල වෙනසක් සිදුකළ යුතුව ඇති බවයි. එය ශ්‍රී ලංකාවේ ඉදිරි පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය වන්නේය. එහෙත් එය කරන්නේ කෙසේද? ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය කෙරේ. ඒ නිසා, අනාගතයේ මෙවැනි අවාසනාවන්ත තත්වයන් ඇති නොවීම සඳහා මේ අවස්ථාවේ ද්වි-පාර්ශ්වීය එකඟත්වයන් ඇති කර ගත යුතුව තිබේ.

2018 දෙසැම්බර් 29 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ The Portfolio Madness at Diyawanna & New Challenges to Political Stability නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top