Sri Lanka Brief
පුවත්විවරණගින්නෙන් උපන් සීතල: විජේවීර සර්ව සාධාරණ සහ අහිංසක දේශපාලන නායකයෙකු ලෙස අර්ත නිරූපනය කිරීමක්- කසුන් චන්ද්‍රනාත් පතිරණ

ගින්නෙන් උපන් සීතල: විජේවීර සර්ව සාධාරණ සහ අහිංසක දේශපාලන නායකයෙකු ලෙස අර්ත නිරූපනය කිරීමක්- කසුන් චන්ද්‍රනාත් පතිරණ

by

ජායාරුපය: ජවිපෙ ගත් ප්‍රථම බිල්ල – ශිෂ්‍ය නායක දයා පතිරණ.

අටෝරාසියක් වැඩ රාජකාරි විසින් කල් දමනු ලැබූ “ගින්නෙන් උපන් සීතල” නැරඹීමට ඉස්පාසුවක් ලද්දේ අද ය. චිත්‍රපටයේ විශිෂ්ඨත්වය පිළිබදව විචාර සටහන් කිහිපයක්ම කලින් කියවා තිබුනු නිසා තරංගණියට ගොඩ වැදුනේ බලාපොරොත්තු සහගතව ය. සමස්ථ චිත්‍රපටයම දෝලනය වන්නේ විජේවීරගේ විප්ලවවාදී දේශපාලනය හා සාම්ප්‍රදායික පවුල වටා ය. මින් විජේවීරගේ දේශපාලන ජීවිතය විදාරනය කිරීම සදහා චිත්‍රපටයේ අධ්‍යක්ශකවරයාත් පිටපත් රචකයාත් තෝරාගන්නා සිදුවීම් තීරණාත්මකය. චිත්‍රපටය තුළ පැහැදිලිවම අදාල සිදුවීම් පෙළ ගස්වන්නේ විජේවීරගේ දේශපාලන භාවිතාවන් සාධාරණීකරනය කිරීම උදෙසා ය. 88/89 සන්නද්ධ අරගලය අනිවාර්‍යතාවයක් ලෙස මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පක්ශයක් වූ ජවිපෙය එවකට පැවති ජේ. ආර්. රජය විසින් සන්නද්ධ අරගලයක් වෙත තල්ලු කර හරිනු ලැබූ බව ඉස්මතු කිරීමට අධ්‍යක්ශකවරයා උත්සාහ දරා ඇත. සිංහල ජාතික ව්‍යාපාරය කෙරෙහි විජේවීර තුළ පැවැති පාර්ශවීයත්වය මෙන්ම පසුකාලීනව ලයනල් බෝපගේවැන්නවුන් විජේවීරගේ ජාතිවාදී නැඹුරුව පිළිබද ගෙන ආ චෝදනා සමනය කිරීම සදහා ද තිර කාලයෙන් වැඩි ඉඩක් ලබා දීමට අධ්‍යක්ශකවරයාට සිදු වී තිබේ. එසේම සන්නද්ධ අරගලයේ යම් යම් ක්‍රියාමාර්ග සාධාරණීකරනය උදෙසා ද (කටුනායක හමුදා කදවුරට එල්ල කළ ප්‍රහාරය, හැදුනුම්පත් බලෙන් ලබා ගැනීම) උත්සාහ දරා ඇත. එලෙසින් හෝ සාධාරණීකරනය කළ නොහැකි ක්‍රියාවලි මග හැර යාමට වග බලා ගෙන ඇත. අඩුම තරමින් චිත්‍රපටය තුළ විජේවීර සන්නද්ධ ක්‍රියාවලීන්ට අණ දෙන බවක් හෝ ක්‍රියාකාරී ලෙස මැදිහත්වන බවක් වත් පෙනෙන්නට නැත. ඒවා කබ්රාල්ගේ හිතු මනාපයට සිදු වූ ඒවා බදු ය. මේ අයුරින් ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ දේශපාලන පරිච්චේදය වෙන් වන්නේ විජේවීර සර්ව සාධාරණ සහ අහිංසක දේශපාලන නායකයෙකු ලෙස අර්ත නිරූපනය කිරීමට පමනි.

විප්ලවවාදී විජේවීරගේ වැඩවසම් පවුල පිළිබද සිදුවීම් මාලාව ඊට වඩා සිනමාත්මක ය. විජේවීරගේ දේශපාලන අරගල අතර හුදෙකලා වන චිත්‍රාංගනී විජේවීර, අරගලයට උදුරා දැමිය නොහැකි විජේවීරගේ පීතෲත්වය චිත්‍රනය වන හැටි අපූරු ය. හසරක් නොදන්නා විප්ලවයකින් විඩාබර වූ ගැහැණියකගේ හැගීම් නිරූපනය කර ඇති ආකාරය කදිම ය. අවසනයේ හමුදා ග්‍රහනයට හසුවන විජේවීර මරණය කරා රැගෙන යන විට චිත්‍රාංගනීගෙන් ඉල්ලා සිටින්නේ නිවස හැර දා දරුවන් සමග පලා යන ලෙස ය. ඊට ප්‍රතිචාර ලෙස චිත්‍රාංගනී විමසන්නේ පලා යන්නේ කොතැනට ද? කියා ය. චිත්‍රාංගනීගේ අවසාන පැනයටවත් පිළිතුරක් දී ගත නොහී අසරණ වන විජේවීර මරණය කරා රැගෙන යන්නේ අනෝරා වැසි මැදින් බොඳවුණු දෑසින් යුතුව ය.

සමස්ථයක් ලෙස චිත්‍රපටයේ රංගනය විශිෂ්ඨ ය. කමල්, සුලෝචනා, ජගා, දිල්හානී ඇතුලු නළු නිළි කැල සිනමා රංගනයේ උපරිමත්වය ස්පර්ශ කර ඇත. උදේනි සුබෝධි කුමාර චිත්‍රපටයේ පසු තලය පිළිබදව දක්වා ඇති අවධානය ද අති විශිෂ්ඨ ය. ඉතා සියුම් ලෙස තත් කාලීන සමාජය නිරූපනය කිරීමට ඔහු සමත් වී ඇත. හතර අතේ අලවා තිබූ “පවන” පෝස්ටර් පමනක් බලෙන් එබ්බ වූ ඒවා ලෙස දිස්විනි. මින් පෙරද චිත්‍රපට කිහිපයක් පිළිබදවම මතුකරන්නට සිදු වූ ප්‍රධානතම දුබලතාවයක් ගින්නෙන් උපන් සීතල රසවිදීම ද වනසා දැමීමට සමත් විය. ඒ ශබ්ධ සංයෝජනයයි. කිසිදු ගැලපීමකින් හෝ හැගීමකින් තොරව ඉතාම දුර්වල ලෙස හඩකවා තිබුණු දෙබස් තවදුරටත් ලංකාව තුළ වෘතීය මට්ටමේ ශබ්ධ සංයෝජන ශිල්පීන්ගේ ඇති හිඟය මැනවින් ප්‍රදර්ශනය කළේ ය. කැමරා අධ්‍යක්ශනය මුලු මනින්ම අච්චාරුවකි. කැමරා චලනයන් පුළුල් තිරයක් මත දී ප්‍රේක්ශකයාගේ රසවින්දනයට බලපෑම් කළ හැකි සූක්ශමභාවය පිළිබද අවබෝධයක් තිබූ බවක් පෙනෙන්නට නොතිබිනි.

ඇකඩමි සම්මාන නියෝජනය කරන්නට යන්නේ මේ තත්වයේ නිශ්පාදනයන්ගෙන් නම් ලාංකේය සිනමාවට දෙයියන්ගේම පිහිට ය.

මුහුණු ‌පොතෙනි.

 

Back to Top