Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගකලු විරෝධයෙන් ඔබ්බට: මාධ්‍ය නිදහස සහ ජනමාධ්‍ය – සුනන්ද දේශප්‍රිය

කලු විරෝධයෙන් ඔබ්බට: මාධ්‍ය නිදහස සහ ජනමාධ්‍ය – සුනන්ද දේශප්‍රිය

by

ජනමාධ්‍ය ආයතන වෙත එල්ල වු කලු විරෝධයේ ප්‍රධාන සටන් පාඨය බැනරයක දක්වා තිබුණේ මෙසේ : ‘අපේ සටන ජඩ මාධ්‍යකරණයට එරෙහිවයි’. මෙම සටන් පාඨයට විවිධ අර්ථ දැක්වීම් ලබා දිය හැකි . එසේ නමුත් ඉන් පොදුවේ අදහස් කැරෙන්නේ යහපත් ආචාර ධර්මීය මාධ්‍ය භාවිතයක අවශ්‍යතාවය යැයි අපට උපකල්පනය කළ හැකිය. ජඩ යන වචනය සිය කේන්ද්‍රීය සටන් පාඨයට ඇතුළත් කර ගැනීම කොතරම් ආචාර ධාර්මික ද යන්න අනෙක් අතට අයෙක් ප්‍රශ්ණ කළ හැකිය.

මාධ්‍ය ආයතන ඉදිරිපිට උද්ඝෝෂණය කිරීම ප්‍රකාශණයේ අයිතිය පාව්ච්චි කිරීමකි. එවැනිම කලු ඇදගත් පිරිසක් ප්‍රහාරක සටන් පාඨ රැගෙන මෙම විරෝධතාකාරියන්ගේ ආයතනයක් හෝ නිවෙස් ඉදිරිපිට උද්ඝෝෂණයක් කළ හොත් එය අප දැකිය යුත්තේ ප්‍රකාශන අයිතිය පාවිච්චි කිරීමක් ලෙස ද? බිය ගැන්වීමක් ලෙස ද?

මෙම තත්වයන් දෙක එක හා සමාන නැති නමුත් පොදු ස්ථානයක පමණක් මෙම උද්ඝෝෂණය පැවැත්වුයේ නම් වඩා යහපත් දැයි කතා බහ කිරීම වැදගත් ය. නමුත් එසේ වී නම් අද ඇතිව තිබෙන සමාජ සංවාදය එමගින් ඇති වන්නේ නැති බව ද ඇත්ත ය‍.

මානව හිමිකම් ක්‍රියාකාරිනී නිමල්කා ප්‍රනාන්දුගේ නිවෙස ඉදිරිපිට පවත්වන ලද ජාතිවාදීන්ගේ උද්ඝෝෂණය බිය ගැන්වීමමට දරන ලද උත්සාහයකි.

කලු විරෝධයට ප්‍රතිචාරයක් ලෙස පමණක් නොව තමන් විවේචනය කරන දේශපාලනඥයින් සම්බන්ධයෙන් ද දැන් යම් මාධ්‍ය ගෙන යමින් සිටින්නේ මාධ්‍යවේදී ප්‍රතිචාරයකට වඩා හන්දියේ චන්ඩියාගේ භුමිකාවකි. ‘සුමන්දිරන් මව්බිමට බුරයි’ යනුවෙන් ලියනවාට වඩා ආචාරශීලී ලෙස සිය විවේචනය ඉදිරිපත් කළ හැකි බව එම පුවත්පත නොදන්නවා නොවේ. නමුත් චන්ඩි මාධ්‍ය භුමිකාව ඊට ඉඩ දෙන්නේ නැත.

මෙවැනි දුරාචාර මාධ්‍ය භාවිතයන්ට අප විරුද්ධ වන අතරම මතකයේ තබා ගත යුතු තවත් කරුණක් තිබේ. එනම් ප්‍රකාශණයේ නිදහස අයුතු ලෙස පාවිච්චි කිරීම වැළැක්වීම ඉතා දුෂ්කර බවයි. අපේ විවේචනයන් නිසා මෙම දුරාචාර මාධ්‍ය සිය භාවිතය වෙනස් කරනු ඇතැයි අප මොහොතකටවත් කල්පනා නොකළ යුතු ය. ශ්‍රී ලංකාවේ දූෂිත දේශපාලන පංතියේ පැවැත්ම තහවුරු කරන ප්‍රධාන සංස්ථාවක් නම් අධිපති ජනමාධ්‍ය ධාරාව ය.

කලු විරෝධයෙන් සංකේතවත් වූ දුරාචාර මාධ්‍ය භාවිතයන්ට විරුද්ධව රට නැගී එන විරැද්ධකම් පෑම දැන් මුහුණ දෙන එක් අභියෝගයක් වන්නේ මහජන සේවා මාධ්‍ය භාවිතයක් මෙරට වර්ධනය කරන්නේ කෙසේද යන්නයි. කෙටියෙන් කියනනේ නම් දුරාචාර අධිපති ජනමාධ්‍යන්ට අභියෝගයක් ඉදිරිපත් කරන්නේ කෙසේ ද යන්න යි. මන්ද යත් දුරාචාර ජනමාධ්‍ය සදාචාර කිරීම ඉතා දුෂ්කර නිසා ය.

චීනය, වියට්නාමය, උතුරු කොරියාව වැනි කොමියුනිස්ට් පක්ෂයන්හි තනි පාලනය ඇති රටවල සහ යුදබලය මත ඒ්කාධිපති පාලනයන් පවත්වා ගෙන යන සිටින බුරුන්ඩි චාඩ් වැනිටවල හැර වෙනත් රටවල ඒකමතික අදහසක් පමණක් ප්‍රකාශ කරන ජන මාධ්‍ය නැත. ඊටත් වඩා වැදගත් කාරණය වන්නේ එවැනි රටවල හැර කවර හෝ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් ඇති සෑම රටකම වාගේ දුරාචාර, අගතිගාමී, අන්තවාදයට උඩගෙඩි දෙන ජන මාධ්‍ය පැවතින බවයි. අනෙක් අතට දේශපාලන මාධ්‍ය ද බොහෝ විටම වාගේ ආචාරශීලිත්වයට වඩා ප්‍රහාරක මාධ්‍ය භාවිතයකට ඇල්ම දක්වන බවයි.

අතුරු මැතිවරණ තුනකින් ඩඩ්ලි සේනානායක පරාජය වීම ‘ ඩඩ්ලිට තුනම නෑ” යන ශීර්ෂ පාඨයෙන් දක්වන ලද්දේ අද ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියකු ලෙස සළකන ඇත්ත පුවත්පතෙහි ආරම්භක කර්තෘ බී. . සිරිවර්ධන ය. මුදල් ඇමැති වශයෙන් රොනී ද මැල් ඉදිරිපත් කළ අයවැයට වරක් එම පුවත්පත විසින් දෙන ලද ශීර්ෂ පාඨය වූයේ ‘ රොනී හිල් මකයි’ කියා ය. මෙවැනි නිදසුන් බොහෝ ය. 1970 දශකය වනතුරැම වාගේ මෙරට මැතිවරණ දේශපාලනයට අදාළව කැලෑ පත්තර සංස්කෘතියක් ද තිබුණි. එම කැලෑ පත්තර පිරී තිබුණේ අසභ්‍ය ප්‍රහාර සහ අමූලික බොරු වලිනි. එම කැලෑ පත්තරවල කාරිය අද අධිපති ධාරාවේ යම් යම් ජනමාධ්‍ය විසින් බාරගෙන තිබේ.

වන්ඩි මාධ්‍ය භාවිතය

එසේ නමුත් මාධ්‍ය විටෙක තියණු උපහාසය යොදා ගත්ත ද, අසත්‍ය ප්‍රචාර කළ ද, සමාජීය ගිනි ඇවිලවූව ද, පුරවැසි පුද්ගලිකත්වය කෙළසූව ද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මාධ්‍ය නිදහසේ ඇති වටිනාකම සහ අත්‍යවශ්‍ය බව මදකුදු හෝ අඩුවන්නේ නැත. මන්දයත් ප්‍රකාශණයේ නිදහස නැති සමාජයක් පාලකයන්ගේ සිතැගි අනුව පමණක්ම පවත්වාගෙන යනෙන නිහඩ බියඟුලු සමාජයක් බවට පත්වන නිසා ය.

සිරිසේන රාජපක්ෂ කුමන්ත්‍රණ කාල සීමාව තුළ මෙරට යම් ජනමාධ්‍ය අගතිගාමී ලෙස ද යම් ජනමාධ්‍ය අගතිගාමීත්වය සහ මධ්‍යස්ථභාවය අතර ද සිය මාධ්‍ය භාවිතය කරගෙන ගියේ . ඒ් වනාහී මෙරට මාධ්‍ය සංස්කෘතියේ පසුගාමී, ආන්තික සහ ජාවාරම්කාර භාවිතයෙහි ස්වභාවික දිගුවක් පමණි. අප ඒ් බව යුද සමයේදී තරම් තියුණු ලෙස තවමත් අත්විඳ නැත. යුද සමයෙහි දී විශේෂයෙන්ම ප්‍රධාන ධාරවෙහි සිංහල මාධ්‍ය ක්‍රියාත්මක වූයේකම සත්‍යය වනාහී කෙසේ හෝ යුද්ධය දිනවීම යැයි යන මතයේ පිහිටා . අත් අඩඟුවට පත් සෑම දෙමළ ජාතිකයකුම ‘කොටියකු’ බවට පත් කරන ලද්දේ එම භාවිතය විසිනි.

2005න් පසු ඇරඹි අවසන් යුද සමයෙහි මහින්ද රාජපක්ෂගේ සිට පැරනි වම සහ ජවිපෙ හරහා එජාපය දක්වා ම දැරූ දේශපාලන අදහස වූයේ යුද්ධය මගින්ම යුද්ධය අවසන් කළ යුතු බවත් එහිදී යුද්ධයට අදාළ නැති දෙමළ ජනයා ගැන තැකීමක් නොකළ යුතු බවත් . 1980 ගණන් මැද භාගයේ සිට 1994 දක්වා මෙරට තිබූ අධිපති මතවාදය එය විය. මෙම අවස්ථා දෙකෙහිදී ම මානව හිමිකම් ගැන කතා කිරීම අධිපති ජනමාධ්‍ය විසින් නම් කරන ලද්දේ දේශද්‍රෝහි කමක් ලෙසිනි.

එසේ තිබියදීත් එම වර්ගවාදී අධිපති මාධ්‍යයේ කැලෑ පත්තර මතවාදය සමඟ හැප්පෙමින් එය පරාජය කිරීමට 90 දශකයෙහිදී මෙරට සිවිල් සහ මාධ්‍ය ප්‍රජාවන් සමත් විය. එම ජයග්‍රහණය මල්ඵල ගැන්වීම කරා ගෙනයාමට නොහැකි වූ දේශපාලන සහ සමාජීය හේතු වෙනම කතා බව කළ යුතු ය. අදට ප්‍රායෝජනවත් විය හැකි පාඩම් එම කාලයෙහි කිඳාබැස තිබේ.

එකළ විකල්ප මාධ්‍ය සංස්කෘතියක් ගොඩ නැගීමට අප කළ අරලගයෙහිලා අත්දුටු එක් ප්‍රධාන කාරණයක් නම් මෙරට සංස්කෘතිමය වූ ශිෂ්ඨාචාරවත් දානපති ධනපති පංතියක් හෝ ව්‍යාපාරික පංතියක් නැති බවයි. නිදසුනක් දක්වන්නේ නම් අප පවත්වාගෙන ගිය ‘යුක්තිය’ පුවත්පත සතියකට පිටපත් 40,000 සිට 80,000 දක්වා අළෙවි වූ කාලයේදීවත් ප්‍රමාණවත් වෙළද දැන්වීම් ලබා ගැනීමට නොහැකි වීමයි. මෙරට ප්‍රධානතම දැන්වීම් සපයන්නකු වන ආණ්ඩුව පවා එවැනි විකල්ප ජනමාධ්‍ය සංස්කෘතියකට කැමත්තක් දැක්වූයේ නැත. මෙරට සම්ප්‍රදායික අර්ථයෙන් ධනපති පංතියක් නැත. ඇත්තේ දේශපාලන පංතියේ නිවුන් සොයුරකු වන සහ අනොන්‍යව යැපෙන ජවාරම්කාර පංතිය කි.

එනයින් විශාල වෙළෙද පොළක් නැති අපේ වැනි කුඩා රටක අධිපති ජනමාධ්‍යට අභියෝගයක් විය හැකි මාධ්‍ය භාවිතයක් ගොඩ නැගීමේ දී මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්ණයක් නම් මුල්‍ය පදනමයි. අද විකල්ප සහ යහපත් මාධ්‍ය භාවිතයන් සහිත සති අන්ත පුවත්පත් දෙකක්ම තිබුණද ඒ්වා ‌‌මෙම සීමාව විසින් සිරකර තිබේ. මුද්‍රිත ජනමාධ්‍ය කිසිවිටෙක අලෙවියෙන් පමණක් යැපෙන්නේ නැත. ගුවන් විදුලි සහ රුපවාහිනී ආයතන සහමුලින්ම යැපෙන්නේ වෙළද දැන්වීම් මගිනි.

අපුරු සඟරා සංස්කෘතියක් තිබූ අපට අද සිදුව ඇති දේ බලන්න. විද්වත් සඟරාවක් අද මෙරට නැත. එවැනි සඟරාවකට සමාන වෙබ් අඩවියක් හෝ නැත. අධිපති මාධ්‍යට සම්බන්ධ නැති මෙරට බොහෝ පුවත් වෙබ් අඩවි වලට සිදුව ඇත්තේ දැන්වීම් හෝ මුල්‍ය සහය ලබා ගැනීමට දේශපාලනඥයින් පසුපස යෑමට ය.

ලොව විවිධ රටවල යහපත් භාවිතයන් සහිත පුවත්පත් පවත්වා ගනු ලැබෙන්නේ සංස්කෘතිමය වූ ධනවත් පවුල් විසිනි. ඉන්දියාවේ හින්දු පුවත් පත මෙන්ම ඇමෙරිකාවෙහි නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතද ඕස්ට්‍රේලියාවෙහි සිඩිනි මෝනිං හෙරල්ඩ් පුවත් පතද එවැනිය. මෙරට එම ස්ථානය ගත හැකිව තිබූ විජේවර්ධන පවුලේ මාධ්‍ය භාවිතය, ව්‍යපාරයකට වඩා ජාවාරමක් බවට පත්වීම අපේ දේශපාලන සමාජ සංස්කෘතියේම පිළිඹිමුවකි.

එසේ නැත්නම් යහපත් විද්‍යුත් ජනමාධ්‍ය පවතින්නේ රාජ්‍ය මුල්‍ය අනුග්‍රහය ඇති මහාජන සේවා ජනමාධ්‍ය ලෙසය. බ්‍රි‍තාන්‍යය, ජර්මනිය, ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, යනාදී රටවල් බොහෝ ගණනාවක එවැනි ආයතන තිබේ.

මෙම විකල්පයක් දෙකට ම පිටින් සිවිල් සමාජ කණ්ඩායම් විසින් විවිධාකාර මුල්‍ය සහායන් ලබා ගනිමින් පවත්වා ගෙන යමින් තීරක සමාජ කණ්ඩායම් ඇද බැද තබා ගන්නා අන්තර් ජාල වෙබ් අඩවි ද බොහෝ රටවල ගොඩ නැගී තිබේ.

කලු විරෝධයෙන් ඔබ්බට යමින් අප සාකච්චාවට ගත යුත්තේ මෙවැනි කරැණු ය. විරෝධතාකාරියන් විසින් අවුලනවන ලද ගිනිසිළුව නිවෙන්නට නොදී පවත්වා ගැනීම යනු විකල්ප මාධ්‍ය භාවිතයන් ශක්තිමත් කරමින් නව මාධ්‍ය මූලිකත්වයන් දියත් කිරීමය.

වෙනස පටන් ගන්නේ අනුන්ගෙන් නොවේ. තමන්ගෙනි.

above image (c) S.deshapriya.

Back to Top