Sri Lanka Brief
පුවත්වැලිකඩ ඝාතන ගවේශනය කළ මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙලට අපරාධ සැකකාර රංගජිවගෙන් මරණ තර්ජන

වැලිකඩ ඝාතන ගවේශනය කළ මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙලට අපරාධ සැකකාර රංගජිවගෙන් මරණ තර්ජන

by

වැලිකඩ බන්ධනාගාරයෙහි සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් ගවේෂනාත්මක මාධයවේදියක යෙදී සත්‍ය හෙළිදරව් කළ කසුන් පුස්සේවලට එකී අපරාධය සම්බන්ධයෙන් සැකකරුවක වන පොලිස් පරීක්ෂක රංගජීව විසින් දිගින් දිගටම මරණ තර්ජන කරන බව දක්වමින් ඔහු විසින් අදාළ බලධාරීන්ට යවන ලද ලිපිය පහත දැක්වේ.

සභාපති,
අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය,
අංක 428/11ඒ
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත
බත්තරමුල්ල,

ගරු මහත්මයාණෙනි/ මහත්මියනි,

-පවතින නඩු විභාගයකට බලපෑම් කරමින් සාක්ෂිකරුවන්ට, වින්දිතයින්ට හා මාධ්‍යවේදීන්ට ජීවිත තර්ජන හැඟවෙන පරිදි ප්‍රකාශ සිදු කිරීම, අපහාස කිරීම සහ සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා සමාජගත කිරීමට එරෙහිව කරනු ලබන පැමිණිල්ල-

2012 නොවැම්බර් 9 සහ 10 වැනිදා දින අලුයම දක්වා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ සිරකරුවන් ඝාතනයට අදාල නඩු විභාගය කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ මේවනවිටත් පැවැත්වෙමින් ඇත. එම අපරාධ ලඝු නඩු විභාගය තුළදී සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් පසුගිය මාර්තු මාසයේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඉන් එක් සැකකරුවෙකු ඇපමත සිටිමින්ම මේවනවිට පොලිස් සේවයේ යෙදී සිටී. අනෙක් සැකකරු ලබන ජනවාරි 1 වැනිදා පැවැත්වෙන ඊලඟ නඩු දිනය වනතෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබා තිබෙන අතර එලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ලමාහේවගේය. ඇපමත සිටින සැකකරු වනුයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවය.

වසර 6කට ආසන්න කාළයක් පුරා මෙම අපරාධය සම්බන්ධයෙන් විවිධ මට්ටමින් අපරාධ පරීක්ෂණ කාර්යයන් සිදු විය. එවක බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර විසින් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු ප්‍රමුඛ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදි. එමෙන්ම බොරැල්ල පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින්ද අපරාධ පරීක්ෂණයක් සිදු කර මහේස්ත්‍රාත් අධිකරණ කටයුතු( බී /6540/02/12) සිදු කරන ලදි. ඊට අමතරව එවක ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් විශ්‍රාමික පොලිස්පති ටී.ඊ ආනන්දරාජාගේ ප්‍රධානත්වයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවද පරීක්ෂණයක් පවත්වන ලදි. එම පරීක්ෂණ සිදු වුවද වැලිකඩ බන්ධනාගාර ඝාතන සිදුවීමට අදාලව කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමක් හෝ සාධනීය පරීක්ෂණයක් සිදු නොවූණි. 2015 ජනවාරි 8 වැනිදා බලයට පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලන රජය සිය මැතිවරණවල මූලික පොරොන්දුවක් ලෙස වැලිකඩ බන්ධනාගාර ඝාතනය පිළිබඳ ප්‍රකාශ කරන ලදි. ඒ අනුව 2015 ජනවාරි මාසයේදී එවක අධිකරණ අමාත්‍යව සිටි විජේදාස රාජපක්ෂ විසින් වැලිකඩ බන්ධනාගාර ඝාතන සිදුවීම අරබයා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම්ගේ ප්‍රධානත්වයෙන් යුතුව ත්‍රිපුද්ගල කමිටුවක් විමර්ශන සඳහා පත් කරන ලද අතර එහි අවසන් වාර්තාව 2015 ජුනි 9 වැනිදා අග්‍රාමාත්‍යවරයාට බාර දී තිබිණි.

එම කමිටුව හමුවේ එවක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වූ චන්ද්‍රරත්න පල්ලේගම ඇතුළු බන්ධනාගාර නිලධාරීන් 20 දෙනෙකුද, දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින දෙවන සැකකරුද සාක්ෂි ලබා දී තිබිණි. පොලිස් දෙපාර්තුමේන්තුව නියෝජනය කරමින් හිටපු පොලිස්පති එන්. කේ ඉලංගකෝන්, රාජ්‍ය ඔත්තු සේවයේ හා ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ට, හිටපු නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානයක සහ මෙම නඩුවේ පළමු සැකකරුවන පොලිස් පරීක්ෂක මොසෙස් රංගජීව නියොමාල් ඇතුළු පොලිස් නිලධාරීන් 14 දෙනෙකු සාක්ෂි ලබා දී තිබිණි. පොලිස් විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් එහි අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්ලිව්.එම්. සී රණවන ඇතුළු තවත් නිලධාරීන් 4දෙනෙකු සාක්ෂි ලබා දී තිබිණි. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරමින් විශ්‍රාමික මේජර් ජනරාල් කපිල ගාමිණී හෙන්දවිතාරණ, අමාත්‍යාංශ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ලුතිනන් කමාන්ඩර් තනුජ ගොඩේවත්ත ඇතුළු නිලධාරීන් 3දෙනෙකුද, බන්ධනාගාර හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ආරියසිරි විතානගේ සහ තවත් නිලධාරියෙකුද සාක්ෂි ලබා දී තිබිණි. රජයේ ගිනි අවි විශේෂඥයන් ලෙස ඩබ්ලිව්.ඩී.ජී.එස් ගුණතිලක ප්‍රමුඛ රස පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රස පරීක්ෂක පී.ජී මඩවල ඇතුළු නිලධාරීන් තිදෙනෙක්ද, රජයේ ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රාර් ප්‍රධාන පොලිස් පරීක්ෂක සේන්ක කළුආරච්චි ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙක්ද සාක්ෂි සහ අපරාධ පරීක්ෂණ වාර්තා ත්‍රිපුද්ගල කමිටුවටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙතත් ඉදිරිපත් කර තිබිණි. ඊට අමතරව බන්ධනාගාරයේ සිදුවීම ඇසින් දුටු බන්ධනාගාර රැඳවියන් 15දෙනෙකද, පුරවැසියන් 10 දෙනෙකුද සිය සාක්ෂි ලබාදෙමින් කටයුතු කර තිබිණි. එම ත්‍රිපුද්ගල කමිටුව විසින් සිය අවසන් නිර්දේශ ලබාදෙමින් පොලිස්පති පූජිත් ජයසුන්දරගේ අධීක්ෂණය හා උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් නඩු පවරා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට වූ නිර්දේශ මත මෙම නඩු විභාගය මේවනවිටත් පැවැත්වෙමින් තිබේ. එමෙන්ම මෙම නඩු විභාගයට පෙර බන්ධනාගා රැඳවියන් සුරැකීමේ කමිටුව, නීතීඥවරුන්, සිවිල් පුද්ගලයින් කීපදෙනෙකුද මානව හිමිකම් කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කීපයක්ම ඉදිරිපත් කර තිබූ අතර මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම නඩු විභාගය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් කට උත්තර 2000කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන තිබූ බවයි.

වැලිකඩ බන්ධනාගාර සිදුවීමට අදාලව පවතින නඩු විභාගයේ වසර 6කට වඩා වැඩි නෛතික පසුබිම සැකවින් මෙලෙස සඳහන් කළ හැකිය. ඒ වටා වාර්තා ගණනාවක්, ජායාරූප සාක්ෂි, පරිවේෂනීය සාක්ෂි, ලිඛිත හා වාචික සාක්ෂි, ඇසින් දුටු සාක්ෂි, රජයේ රස පරීක්ෂණ සහ අධිකරණ වෛද්‍ය විශේෂඥ වාර්තා ආදිය විශාල ප්‍රමාණයක දායකත්වය මත පොලිස් දෙපාර්තුමේන්තුව විසින්ම ගොනු කරන ලද නඩු විභාගයක් ලෙස සඳහන් කළ හැකිය. 2012 නොවැම්බර් මාසය වනවිට මා නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස රාවය පුවත්පතේ සේවය කළ සමය වූ අතර වැලිකඩ බන්ධනාගාර සිදුවීම හුදෙක් සිරකරු ‘කැරැල්ලක්’ ලෙස ප්‍රධාන මාධ්‍ය සියල්ලම පාහේ එම සිදුවීමේ එක් කොටසක් පමණක් ගෙන වාර්තා කළ පසුබිමක රාවය පුවත්පත එම සිදුවීම නෛතික කාර්යන්ගෙ බැහැරව සිදු කෙරුණු සෝදිසියක් බවත්, බන්ධනාගාරය සන්සුන් වූ පසුව සිරකරුවන් ලැයිස්තුගතකර දණ ගස්වා ඝාතනය කර ඇති බවත් දිගින් දිගටම වාර්තා කරන ලදි. ( රාවය පළමු පිටුව – සෝදිසි වරෙන්තුවක් අවශ්‍යයි – නීතිපති -2012.11.18/ රැඳවියන්ගේ ඝාතන ලැයිස්තු අනුව කළ වැඩ – 2012.11.18/ වැලිකඩ ගැටුම ගැන මානව හිමිකම් පරීක්ෂණයක් – 2012.11.18/ රාවය 3 වැනි පිටුව – වැලිකඩ ඝාතන අලුත්ම මරණ දඬුවම් දීමේ ක්‍රමයද?/ රාවය 3 වැනි පිටුව – ලැයිස්තුගතකර මරා දැමීමෙන් ඉක්බිතිව – 2012.11.25/ රාවය පළමු පිටුව – සිරකරුවන් නොමැති සිර ගොනු හමුවේ – 2012.11.25)

මෙම හෙළිකිරීම් හා පුවත් සම්බන්ධයෙන් එවක රජය හෝ ආරක්ෂක අමාත්‍යාංශය හෝ පොලීසිය හෝ බන්ධනාගාරය හෝ කිසිඳු පිළිතුරක් ලබා නොදුන් අතර මෙම හෙළිදරව් කිරීම් අසත්‍ය බවට එකඳු ප්‍රකාශයක් සිදු නොකරන ලදි. කිසිඳු පැහැදිලි කිරීමක් හෝ එවකදී මෙන්ම අද වනතුරුත් සිදු නොකරන ලදි. ඉන්පසුව 2015 වසර තෙක්ම මා විසින් විටින් විට වැලිකඩ බන්ධනාගාර සිදුවීමට කිසිඳු යුක්තියක් ඉටු නොවීම සම්බන්ධයෙන් ලිපි ගණනාවක් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් සමඟින් පළ කරන ලදි. ( ඉරුදින 11 වැනි පිටුව – යහපාලනය කර අරින වැලිකඩ ඝාතන විසිහත – 2015.11.8/ ඉරුදින 9 වැනි පිටුව – වැලිකඩ සංහාරයේ අලුත් ආරක්ෂකයෝ කවරහුද? – 2016.06.03/ ඉරුදින 4 වැනි පිටුව – දණ ගස්වා වෙඩි තබා වැලිකඩ අමු සොහොනක් කළා, ඇසින් දුටු සාක්ෂිකරුවෙකුගේ මතකය/ ඉරුදින 4 වැනි පිටුව – ඇසින් දුටු බන්ධනාගාර නිලධාරියෙකුගේ සාක්ෂ්‍ය සටහන් – 2017.01.29/රැස පළමු පිටුව – වැලිකඩ සිරකරු ඝාතනයට රංගජීව, ළමාහේවා අත්අඩංගුවට – 2018.01.11/ රැස පළමු පිටුව – වැලිකඩ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් අතුරුදන් – 2018. 02.20/ රැස 7 වැනි පිටුව – වැලිකඩ බන්ධනාගාරයේ ඇසින් දුටු සාක්ෂි අභියස රංගජීවලාගේ නාටක – 2018.03.29/ රැස 10 වැනි පිටුව – වැලිකඩ ඝාතන චෝදනා ලත් හිටපු කොමසාරිස්, බුද්ධි ප්‍රධානී අතුරුදන් – 2018.04. 25) පුවත්පත් කිහිපයකින් වසර 6ක් පුරා මෙම බන්ධනාගාර ඝාතන සිදුවීම පිළිබඳව හෙළිදරව් කිරීම් සිදු කළද උක්ත සඳහන් ඊට වගකිවයුතු රාජ්‍ය ආයතන හෝ පුද්ගලයින් කිසිවෙක් ඒ සම්බන්ධයෙන් කිසිඳු ප්‍රකාශයක් සිදු නොකරන ලද බව වගකීමෙන් ප්‍රකාශය කරමි.
( උක්ත සඳහන් සියලුම ලිපි ලේඛන අමුණා ඇත)

2015න් පසුව බලයට පත් යහපාලන රජය සහ ජනාධිපතිවරයාද වැලිකඩ ඝාතන සිදුවීම මැතිවරණ වේදිකා තුළ සාකච්ඡාවට ගැනීම් කළද ඊට යුක්තිය ඉටු කිරීමට කිසිඳු සාධනීය පියවරක් නොගන්නා ලද හෙයින්ද, මාධ්‍යවේදියෙකු ලෙසත් යුක්තිය අපේක්ෂා කරන පුරවැසියෙකු ලෙසත් මා විසින් 2016.11.09 වැනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරමින් මා සතුව තිබෙන සියලුම සාක්ෂි ලබා දෙන ලදි. එම විභාගය මේවනවිටත් CHR/4304/16 අංකය යටතේ විමර්ශනය වෙමින් පවතී. ඉන් අනතුරුව 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී ’12-11-10 වැලිකඩ’ කෘතිය රචනා කරන ලදි. ඒ තුළ 1983 ජූලි 23 වැනිදා එවක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන සමයේදී වැලිකඩ බන්ධනාගාරය තුළ ඝාතනය කරන ලද සුප්‍රසිද්ධ කුට්ටුමනී ඇතුළු සිරකරුවන් 52ක් ඝාතනය කිරීම, 1997 දෙසැම්බර් 12 වැනිදා ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේ කළුතර බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය, 2000 ඔක්තෝබර් 20 වැනිදා බිඳුණුවැව රැඳවියන් 28 දෙනෙකු ඝාතනය කිරීම පිළිබඳව හා 2012 නොවැම්බර් 9 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ සමය තුළ වැලිකඩ බන්ධනාගාරය තුළ ඝාතනය කෙරුණු සිරකරුවන් 27දෙනා පිළිබඳ ආදි ඓතිහාසික තොරතුරු සියල්ල සටහන් කරන ලදි. එමෙන්ම 2012 වැලිකඩ බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් මා විසින් ලියන ලද පුවත්පත් ලිපි හා සාක්ෂිකරුවන්, සිවිල් සංවිධාන සාක්ෂි සියල්ලද, එවක සිටි විෂය බාර අමාත්‍යවරයා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර සහ එවක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ කරන ලද සාකච්ඡාවන්ද කෘතියට ඇතුළත් කරන ලදි. එම කෘතිය සමාජගත වීමත් සමඟ විවිධ දේශපාලනික කන්ඩායම් විසින් කෘතියේ අන්තර්ගතයහෝ නොවිමසා, එහි ඇති නෛතික කරුණු පිළිබඳව කිසිඳු වගවිභාගයකින් තොරව එය දේශපාලන ව්‍යාපෘතියක් බවටත්, එය රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාව ඉටු කිරීමක් බවත් මෙන්ම පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මා හට මුදල් ගෙවා කෘතිය සම්පාදනය කර ඇති බවටත් විවිධ අසත්‍ය චෝදනා හා ප්‍රචාර දියත් කළද ඒ සියල්ල මා නිහඬව විඳදරාගන්නා ලදි. එම කෘතිය රහසිගත ලියවිල්ලක් නොවූ අතර මේවනතුරුත් වෙළඳපොලෙහි එය ඇතත් කිසිවෙකු විසින් එම කෘතියේ අඩංගු කිසිවක් සාවද්‍ය බවට හෝ මා විසින් වෙනත් පාර්ශවයක වුවමනාවන් ඉටු කිරීමක් බවට කිසිඳු නෛතික ඔප්පු කිරීමක් හෝ නෛතික ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

දිගින් දිගටම සාක්ෂි සහිතව මා ඇතුළු මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුත්, සිරකරුවන්ස් සුරැකීමේ කමිටුව වැනි සිවිල් සංවිධාන වෙතත්, සාක්ෂිකරුවන් වෙතත් මෙවැනි අසත්‍ය චෝදනා හා මඩ ගැසීම් මෙන්ම මාධ්‍ය නිදහසට බාධා එල්ල කිරීම් විටින් විට ඍජුව සහ වක්‍රව වූ නමුදු එය වඩා තීව්‍ර තත්ත්වයකට පත් වූයේ ඉකුත් ජනවාරි මාසයෙන් පසුවය. ඉකුත් ජනවාරියේ සිට මෙම නඩුවේ පළමු සැකකරු වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශයේ පොලිස් පරීක්ෂක මොසෙස් රංගජීව නියෝමාල් විසින් සිය ෆේස්බුක් ගිණුම හරහා මාගේ ජායාරූප පවා භාවිතා කරමින් විවිධ පළ කිරීම් සිදු කරමින් මා විදේශ පුරවැසි භාවය බලාපොරොත්තුවෙන් ලිවීම් සිදු කරන බවත්, මා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් හා පාතාලයෙන් මුදල් ලබාගෙන ලිවීම් සිදුකරන බවටත් දිගින් දිගටම පළ කිරීම් සිදු කරන ලදි. ඒ වනවිටත් නඩු විභාගයක් ආරම්භව ඇති බැවින් එම බලපෑම් කිරීම් කිසිවක් ගණන් නොගත් අතර, අනවශ්‍ය බලපෑම් සිදුවීම හා අවධානය යොමු වීම වැලැක්වීම වෙනුවෙන් මාස ගණනාවක් නිහඬව කටයුතු කරන ලදි. ඒ අතරතුර කාල වකවානුවේදී මෙම නිලධාරියා හා දැනට රක්ෂිත බන්ධනාගාරයේ සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එමිල් රංජන් ළමාහේවාගේද කිහිපවිටකදී පුද්ගලයින් කීපදෙනෙකු සමඟ සහ මාධ්‍යවේදීන් කීපදෙනෙකු සමඟ මා බොරු ලියා ඇති බවත්, මා මරාදැමිය යුතු ඝනයේ පුද්ගලයෙකු බවත් ප්‍රකාශ කර තිබිණි. මා ඒ කිසිවක් පිළිබඳව ලිඛිත පැමිණිලි ඉදිරිපත් නොකළ නමුත් දන්වා තබා තිබිය යුතු වගකිවයුතු නිලධාරීන් කීලදෙනෙකුට වාචිකව එම සිදුවීම් වාර්තා කරන ලදි.

මෙම තත්ත්වය වඩාත් බරපතළ වෙමින් ඉකුත් ඔක්තෝබර් 26 වැනිදායින් පසුව පොලිස් පරීක්ෂක රංගජීව විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් ගණනාවක් තබමින් සාක්ෂිකරුවන් හා වින්දිතයින් බිය ගැන්වෙන, බලපෑම් වෙන අයුරින් හැසිරී තිබිණි. ඒ සියල්ල තුළ මාගෙ නමද සම්බන්ධ කරමින් පාතාලකරුවන්ගේ ලියන්නා, එන්ජීඕ ලියන්නා, කුඩු ජාවාරමුන්ගේ මාධ්‍යවේදියා යන යෙදුම් භාවිතා කරමින් අසත්‍ය ප්‍රචාර ගෙන යනු දක්නට ලැබිණි. එමෙන්ම ත්‍රිපුද්ගල කමිටුවට සාක්ෂි ලබාදුන් බන්ධනාගාරගතව සිටි සිරකරුවන් 15 දෙනාගෙන් එක් සාක්ෂිකරුවෙකු වූ සිවිල් ක්‍රියාකාරී සුදේශ් නන්දිමාල් හා නීතිඥ සේනක පෙරේරාටද අධිකරණ සංකීර්ණය තුළදීම මෙම සැකකරුවන් තර්ජනයන් සිදු කළ බවද ඔවුන් විසින් සිය සමාජ මාධ්‍ය ජාලා තුළ හා ප්‍රධාන මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

පසුගිය දෙසැම්බර් 23 වැනිදා සිට නැවත වරක් ෆේස්බුක් සමාජ ජාලය හරහා ‘ රංගජීවට මඩ ගැසීම සඳහා රාජිත සහ පාඨලීගේ කුඩු සල්ලි මිලියන ගණනින් වියදම් කර මෙරට පාතාලකරුවන්ගේ හා කුඩු ව්‍යාපාරිකයන්ගේ එන්ජීඕ පත්තරකාරයා වන කසුන් පුස්සෙවෙල ලවා පොත් ලියූ බවට’ අසත්‍ය ප්‍රචාරයක් ගෙනයමින් තිබේ. ඊට පෙරද පොලිස් පරීක්ෂක රංගජීව විසින් ‘ නන්දිකඩාල්වල්දී එක පිරිසක් එලොව යැව්වා, ඊලඟ පිරිස යවන්න පොලිස් කොල්ලෝ සූදානම්’ හා ‘වසර දාහතක් මා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ සිට මේ රටේ කුඩු ,පාතාලය විසින් වැනසුන හා ඒ වින්දිතයන් වු මව්වරුන් ,දරුවන්ට ජිවිත පරිත්‍යාගයෙන් කළ ඒ උදාර සේවය මගේ අවසන් කරන ලදි . මම එකක් කියන්නම් උන්ඩයට බය නැති, මැරිලා ඉපදුණ මම උඔලට කොහොමත් බය නැහැ . උඔලා මට පදිරියිනේ. බය වුනා නේ. පව් උඔලා, තවම බය වෙන්න එපා. තව ටිකක් ඉස්සරහ යමු. මතක තියා ගනිල්ලා මම නාකොටික් රංගජිව කියලා .සමාව ඉල්ලේයි’ 
වැනි ආකරයේ ප්‍රකාශ ගණනාවක් කරමින් මාධ්‍යවේදීන්ට ඇතුළු එම නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කරමින් දිගින් දිගටම හැසිරෙමින් තිබේ. ( ඊට අදාල සාක්ෂි ඇමණුමේ ඇත)

අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා විධිමත් නීතිමය වැඩපිළිවෙලක් හඳුන්වා දීම මඟින් අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සවිබල ගැන්වීම සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත යටතේ මා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ හුදෙක් පවතින අපරාධ නඩුවක වින්දිතයින්ට හා සාක්ෂිකරුවන්ට උක්ත සඳහන් ලෙස කෙරෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් මාගේත්, අනෙකුත් වින්දිත – සාක්ෂිකාර පාර්ශවය්න්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ අධිකාරිය දැනුවත් කිරීම සඳහාය. දෙවැන්න සැකකරුවන් විසින් මෙලෙස අසත්‍ය ප්‍රචාර සමාජගත කරමින්ද, සැකකරුවන් වීරත්වයට නංවමින්ද අපරාධ උත්කර්ෂවත් කිරීම හරහා අධිකරණයට කරමින් සිටින බලපෑම හා අපහාසය පිළිබඳව දැනුවත් කිරීමය. සැකකරුවන් මෙලෙස වාචික තර්ජන කිරීම්, හැසිරීම් හා බලපෑම් කිරීම් සිදු කිරීම මගින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සඳහන් තුන්වන පරිච්ඡේදයේ 11 වැනි ව්‍යවස්ථාවේ සිට 14 වැනි ව්‍යවස්ථාව දක්වා වූ මූලික අයිතිවාසිකම් මෙමගින් කඩවන බව මාගේ හැඟීමයි. අනෙක් අතට වසර 6ක් පුරා සාක්ෂිකරුවන් හා මා විසින් වාර්තා කරන ලද සියල්ලට මෙලෙස බලපෑම් කිරීම හරහා සිදුකරමින් පවතින්නේ මාධ්‍ය නිදහසට බාධා කිරීමක් බව මාගේ හැඟීමයි.

මා මෙරට ගෞරවනීය පුරවැසියෙකු ලෙසත්, වෘත්තීය ආචාරධර්මවලට ගරු කරමින් කටයුතු කරන ජනමාධ්‍යවේදියෙකු ලෙසත් කටයුතු කරන්නෙක්මි. පෞද්ගලික ජීවිතය තුළත් වෘත්තීය ජීවිතය තුළත් මා කිසිඳු ආකාරයේ අනීතික හෝ ආචාරධාර්මී නොවන කිසිවක් සිදුනොකළෙක්මි. අතිශයෝක්තියට කරුණු නොවූවත් ගෙවුණු වසර 6කට ආසන්න ජනමාධ්‍ය වෘත්තීය කාළය තුළ මා 2012 වසරේ සිට සමාජ ප්‍රශ්න, මහජන සෞඛ්‍ය, නීතියේ ආධිපත්‍යය, අපරාධ විනිර්මුක්තිය, වංචා හා දූෂණ, දේශපාලනය තුළ සිදු වූ අපරාධ, සමාජ සාධාරණත්වය සහ මහජන සාමය ආදී වූ විෂයන් ගණනාවක් අරබයා මා හට හැකි උපරිමයෙන් පෑන හැසිරවූයෙක්මි. ඒ ගෙවුණු වසර 6 තුළ මෙරට විශිෂ්ටතම තරුණ ජනමාධ්‍යවේදියා, විශිෂ්ටතම විශේෂාංග රචකයා, උණුසුම්ම ප්‍රවෘත්ති වාර්තාකරුට හිමි සම්මානයන් ගණනාවක් ශ්‍රී ලංකා කර්තෘ සංසඳය විසින් පවත්වනු ලබන සම්මාන උළෙලවල් ගණනාවකදී ලබා ඇත්තෙමි. රටවල් 150කට ආසන්න ප්‍රමාණයක ක්‍රියාත්මක වන Junior Chamber International Top Ten Outstanding Young Persons Awards (TOYP Awards) සම්මානයද ගවේෂණාත්මක ජනමාධ්‍යකරනය වෙනුවෙන් දිනාගෙන ඇත්තෙක්මි. ප්‍රතිපත්තිගරුක, ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ජනමාධ්‍යවේදීන් බොහෝමයක් ඉන්නා මෙරට තුළ මාද මට හැකි අයුරින් කිසිවෙකුගේ අතකොලුවක් නොවී කටයුතු කළ අයෙක් බව පිරිසිදු හෘදසාක්ෂියක් සහිතව මම ප්‍රකාශ කරමි. ප්‍රතිපත්තියක් ලෙස මා ගෙවුණු කාලය පුරාවට එකඳු දේශපාලඥයෙකුගේ ප්‍රිය සම්භාෂණයකට හෝ වරප්‍රසාදයකට සහභාගී නොවුණෙක්මි. කිසිඳු දේශපාලන හෝ රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධානයන් හරහා විදේශ සංචාරයක නොයෙදුනෙක්මි. මා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ කාරක සභිකයෙකු වන්නට හැරෙන්න මෙරට හෝ විදේශ හෝ රාජ්‍ය නොවන කිසිඳු සංවිධානයක සාමාජිකයෙක්ද නොවෙමි. මා දේශපාලඥයින්ගෙන්, පක්ෂයකින් , මෙරට හෝ විදේශීය හෝ කිසිඳු සංවිධානයකින් එකඳු රුපියලක් ලබා නොගත්තෙක්මි. එම පිරිසිදු දෑත්ද, හෘදසාක්ෂියද මා සතුව ඇත. එවැනි ජ්‍යෙෂ්ඨයින්ද, ජනමාධ්‍යවේදීන්ද මෙරට තව කොතෙකුත් සිටී.

වැලිකඩ සිදුවීම යනු මා විසින් ලියන්නට යෙදුණු මෙරට සිදු වූ අප්‍රසන්න සිදුවීම් ගොන්නක් අතුරින් එක් ප්‍රධාන සිදුවීමක් පමණි. ඒ සම්බන්ධයෙන් ‍ඍජුව වාර්තා කළෝ මා පමණක්ද නොවේ. තම ජීවිත පරුදුවට තබමින් වැලිකඩ ඝාතන පිළිබඳව සත්‍ය ප්‍රකාශ කළ, සාක්ෂි ලබා දුන්, පෑන මෙහෙයවූ තව බොහෝ ගෞරවනීය පිරිසක් සිටී. ඒ අතර මා ඉතාම කුඩා වගකීමක් ඉටුකළ එක් පුද්ගලයෙකු පමණි. මා හට මෙම නඩුවේ සැකකරුවන් කිසිවෙකු සමඟ හෝ වින්ඳිතයින් කිසිවෙකුත් සමඟ කිසිඳු පුද්ගලික ගනුදෙනුවක් නොමැත. මා හටත්, මේ වෙනුවෙන් පෙනී ඉන්නා මා දන්නා සහ මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය හසුරවනා සියල්ලටත් ඇත්තේ එක් පොදු අරමුණක් බව කිවයුතුය. ඒ අපරාධ සඳහා යුක්තිය ඉටු වීමේ අවශ්‍යතාවයි. රාජ්‍ය ආරක්ෂාව යටතේ සිටි රැඳවියන් සහ සැකකරුවන් ඝාතනය කිරීමේ අනීතික ක්‍රියාවට එරෙහි වීමයි. එනයින් මෙම නඩු විභාගයේ චූදිතයන් හෝ සැකකරුවන් සිරගත කිරීමෙන් හෝ ඔවුන්ට දඬුවම් ලැබීමෙන් මා හට පෞද්ගලිකව ලැබෙන විශේෂ කිසිඳු සතුටක් හෝ දුකක් නොමැත. මක්නිසාදයත් ඔවුන් සිදුකළ බවට චෝදනා ලබා තිබෙන අපරාධ හේතුවෙන් ඔවුන් සේම මාද එක් අතකින් වසර 6ක් පුරා වින්දිතයෙකු බවට පත්ව තිබේ.

අපරාධකරුවන් බිහිවන්නේ සමාජයේම වරදිනි. මෙරටට මත්ද්‍රව්‍ය ගෙන එන්නේ හෝ අවි ආයුද ගෙන එන්නේ ඒවා භාවිතා කරන උදවියම නොවේ. ඒ සියල්ල මර්දනය කිරීම සඳහා ආයතන හා දෙපාර්තුමේන්තු ගණනාවක් මෙරට තුළ මහජන බදු මුදලින් නඩත්තු වේ. එය දීර්ඝ සංවාදයකි. එනෙක් අතට හදිසි රථවාහන වරදක් හේතුවෙන් වුවද, දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිවීම තුළද යමෙකුට බන්ධනාගාරගත වීමට සිදුවනු ඇත. 2012 නොවැම්බර් 9 වැනිදා ඝාතනය වුණු සිරකරුවන් 27 දෙනාගෙන් 14 දෙනෙකුම සැකකරුවන්ය. ඉතිරි වරදකරුවන් වූ 13 දෙනාගෙන් තිදෙනෙකු හැරෙන්න අනික් බහුතරය දඩ මුදල් ගෙවීමට නොහැකි වූ, රථවාහන වැරදි කෙරූවන් විය. එවක ආණ්ඩුව විසින් ජනමාධ්‍ය වෙත ලබාදෙන ලද අසත්‍ය තොරතුරු සොයා බැලීමකින් තොරව ජනමාධ්‍ය බහුතරය විසින් වාර්තා කළේ මහා අපරාධකරුවන් පිරිසක් ඝාතනය වූ බව හැඟවෙන පරිදිය. රාජ්‍ය ආරක්ෂාව යටතේ සිටි පුද්ගලයින් ‍රාජ්‍ය නිලධාරීන් විසින්ම ඝාතනය කරන්නේ කෙසේදැයි බොහෝමයක්දෙනා නොඅසති. මෙම පැමිණිල්ල මා විසින් ඉදිරිපත් කරන්නේ එවන් වටපිටාවකය. මෙම තර්ජන, බිය වැද්දීම්, බලපෑම් කිරීම් හා අසත්‍ය චෝදනා මා වෙත පමණක් එල්ලවන්නක් නොවන බව මාගේ හැඟීමයි. මෙය මෙරට යුක්තිය අපේක්ෂා කරන, නීතියේ ආධිපත්‍යය අපේක්ෂා කරන හා ජනමාධ්‍ය නිදහස අපේක්ෂා කරන සමස්ථ සමාජය වෙතත්, වින්දිතයින් හා සාක්ෂිකරුවන් වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට හා ගරු අධිකරණය වෙතත් මෙන්ම සමස්ථ ජනමාධ්‍යවේදීන් අරබයාත් එල්ලවන්නකි. මෙම තර්ජනයන් හා බලපෑම් පිළිබඳ ඉදිරි පියවර ගන්නා ලෙසත්, මාගේත්, සියලුම සාක්ෂිකරුවන්ගේත් හා මාධ්‍යවේදීන්ගේත් ආරක්ෂාව, නිදහස තහවුරු කරන ලෙසත් මින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ස්තුතියි,

මෙයට විශ්වාසී,

කසුන් පුස්සෙවෙල
2018. 12. 28

පිටපත් –

ගරු ජනාධිපති
ගරු අග්‍රාමාත්‍ය
ගරු අග්‍රවිනිශ්චයකාර
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති
ගරු පොලිස්පති
අධ්‍යක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව
ගරු ජනමාධ්‍ය අමාත්‍ය
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

Back to Top