Sri Lanka Brief
පුවත්විවරණමාධ්‍යයෙන් හුස්ම සිර කොට සිටියදී අධිකරණයෙන් ජීව වායුව දුන් ප්‍රජාතන්ත්‍රවාදය – මාස් යූසුෆ්

මාධ්‍යයෙන් හුස්ම සිර කොට සිටියදී අධිකරණයෙන් ජීව වායුව දුන් ප්‍රජාතන්ත්‍රවාදය – මාස් යූසුෆ්

by

 

‘වීරයන් සහ වීර වන්දනාව’ නැමැති සිය කෘතියේදී තෝමස් කාලයිල් මෙසේ කියයි: “පාර්ලිමේන්තුවේ පර්ෂද තුනක් ඇතැයි එඞ්මන්ඞ් බර්ක් කීවේය. එහෙත් ඊට එපිටින් වාර්තාකරුවන්ගේ ගැලරියේ අසුන් ගෙන සිටි සිව්වැනි පර්ෂදය ඒ තුනටම වඩා වැදගත් ය.”

ඉන්දියාව ගැන සඳහන් කරමින් පණ්ඩිත් ජවහර්ලාල් නේරු, මාධ්‍ය ‘අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුරපල්ලා’ වන බව කියා ඇතැයි චිරප්‍රසිද්ධ ය. ඊට අයත් ආයතනික නාමකරණයට අමතරව කෘත්‍ය සාධනයේදී එය තොරතුරු පරිතුලනය කරයි. ප්‍රචාරණය කරයි. එකී කාර්ය භාරය පුළුල් ය. විවිධ ය. එය විසින් ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ආවරණය කරනු ලැබේ. එසේම, සමාජයට, ආර්ථිකයට, ආගමට සහ සංස්කෘතියට ආදී වශයෙන් වන විශාල පරාසයක් ඒ මගින් ආවරණය කරනු ලැබේ. ඒ සමගම, සාකච්ඡා සහ සංවාද මාර්ගයෙන් මහජනතාව දැනුවත් කරමින් මගපෙන්වනු ලැබේ. විනෝදයත් එහි අංගයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

ආණ්ඩුකරණය සම්බන්ධයෙන් ගත් විට, ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදයකට නැතිවම බැරි අංශ තුනක් තිබේ. ඒ ආයතන තුන අතරේ ස්ථාවරත්වය ස්ථාපනය කෙරෙන්නේ, බල විභජනය නම් වූ ක්‍රමයකිනි. ඒ මගින්, ඒ ඒ ආයතන අන්‍යොන්‍ය වශයෙන් තුලන සහ සංවරණ ක්‍රමයකට යටත් කෙරේ. මේ ආයතන තුනෙන් නිකුත් වන තොරතුරු ජනතාව වෙත සපයන්නේ මාධ්‍ය මගිනි. මේ කියන මාධ්‍ය හෙවත් සිව්වැනි පර්ෂදය අනිත් තුනට වඩා වැදගත් යැයි එඞ්මන්ඞ් බර්ක් කියා ඇත්තේ එබැවිනි.

සීමිත ප්‍රවේශය

ලංකාවේ ප්‍රථම රූපවාහිනී ආයතනය වන්නේ ස්වාධීන රූපවාහිනියයි. එහි විකාශන කටයුතු ආරම්භ කෙරුණේ 1979 අප්‍රේල් මාසයේදී ය. මෙය ස්වාධීන ආයතනයක් වශයෙන් පැවතියේ මාස දෙකක් පමණි. මන්ද යත්, අනතුරුව එය රජයට පවරා ගත් බැවිනි. ලංකාවේ රජය සතු දෙවැනි රූපවාහිනී නාලිකාව වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 1982 අංක 6 දරණ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත යටතේ ස්ථාපනය කරන ලදි.

විවෘත විශ්ව විද්‍යාලය මගින් කරන ලද අධ්‍යයනයකට අනුව, ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි නාලිකා 60 කට වැඩි ගණනක් ද, රූපවාහිනී නාලික 20 ක් ද, භාෂා තුනෙන් පළවෙන පුවත්පත් 200 ක් ද තිබේ. ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශන අරභයා වන ශ්‍රාවක සහ ප්‍රේක්ෂක මට්ටම් තක්සේරු කරන්නේ වෙළඳ පර්යේෂණ සමාගම් දෙකක් මගින් පමණි. එහෙත් මේ කියන තක්සේරු පද්ධති ක්‍රියාත්මක වන ක්‍රියාවලීන් සහ ක්‍රමවේද පිළිබඳ පාරදෘෂ්‍ය භාවයක් සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ නැත. එම තත්වය ප්‍රයෝජනයට ගන්නා රූපවාහිනී අයිතිකරුවෝ, වැඩියෙන්ම නරඹන අංක එකේ නාලිකාව තමන් යැයි කියා ගනිති. සාමාන්‍ය ජනතාව ඒ ගැන මෙලෝ හසරක් දන්නේ නැත. ඔවුන්ව මේ ව්‍යාජ ප්‍රකාශයන් තුළින් පහසුවෙන් රැවටිය හැකිය.

ලංකාවේ ග්‍රාමීය ජනතාව, මුළු ජනගහනයෙන් සියයට 81 කි. ඒ අනුව, නගර සහ තදාසන්න පෙදෙස්වල ජීවත් වන්නේ සියයට 19 ක් පමණි. මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරණය කෙරෙන තොරතුරු ග්‍රාමීය ජනතාවට සැපයෙන්නේ සීමිත ආකාරයකිනි. ඊට හේතු කිහිපයකි. යටිතල පහසුකම් නැති කම, ගෘහ ආර්ථික ප්‍රමුඛතා වඩා වැදගත් වීම, නොදැනුම සහ දුර්වල මිල දී ගැනීමේ හැකියාව ඉන් ප්‍රධානයි. පොදුවේ ගත් විට, ඒ සියල්ලට පසුපසින් ග්‍රාමීය පසුගාමිත්වය තිබේ. එසේම රූපවාහිනියක් නැති නිවෙස් ද බොහොමයක් තිබේ. රූපවාහිනියක් ඇති බොහෝ නිවෙස්වලට පවා ඇත්තේ නොමිලේ සැපයෙන සේවාවන් පමණි. වඩාත්ම, රාජ්‍ය නාලිකාවන් ය. එසේ වෙතත්, රූපවාහිනී නරඹන විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටිති. සමහර පිරිස් වෙනත් නිවෙස්වලට ගොස් හෝ ඇතැම් වැඩ සටහන් නරඹති.

විකෘති වාර්තාකරණය

මොන මාධ්‍යයෙන් ඉදිරිපත් කරන ප්‍රවෘත්තියක් වුවත් නිවැරදිව සහ අපක්ෂපාතීව ඉදිරිපත් කළ යුතුය. ප්‍රවෘත්ති සපයන්නා තුළ තිබිය යුත්තේ සමාජයේ පොදු සුභසිද්ධිය පිළිබඳ හැඟීමයි. ‘යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ ආගමික හිංසනය’ නැමැති අධ්‍යයනයේ 2014 අලුත්ගම ප්‍රචණ්ඩත්වය ගැන මෙසේ දැක්වෙයි: “අලුත්ගම සිදුවීම් ඒවා සිදුවන පරිද්දෙන් ප්‍රධාන මාධ්‍ය තුළ වාර්තා කෙළේ නැත. රාජ්‍ය මාධ්‍ය එය ඉදිරිපත් කෙළේ විකෘති ආකාරයකිනි. වැරදිකරුවන්ව සුද්ද කෙරෙන ආකාරයෙනි. 2014 ජුනි 17 වැනි දා ආණ්ඩුවේ ‘ඬේලි නිව්ස්‘ පුවත්පත මෙය ‘හුදෙකලා’ සිදුවීමක් වශයෙන් හෑල්ලු කළ අතර, වෙනත් තැන්වල අතිශයෝක්තියට නගා එය ප්‍රචාරණය වන බව කියා සිටියේය. පෞද්ගලික පුවත්පත්.. 2014 ජුනි 16 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ කතුවැකිය, බොදුබල සේනා රැස්වීමට මුලින් පහර දීමක් සිදු වූ බව කියමින්, වරද මුස්ලිම් ප්‍රජාව මත ව්‍යංගයෙන් පැටවීය.”

එහෙත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තියේ දැක්වෙන්නේ මෙසේ ය: “කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව ද, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේය.”

භාෂණයේ නිදහස සහ පරිසීමාව

සක්‍රීය මාධ්‍යයක් සඳහා භාෂණයේ නිදහස අත්‍යාවශ්‍ය අංගයකි. එහෙත් එය සීමාවකින් තොර පරම බලයක් විය යුතු නැත. ඒ නිසා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ අරභයා ඇතැම් සීමාවන් පනවා තිබේ. ව්‍යවස්ථාවේ 14 (1) (අ) වගන්තියෙන් ඒ නිදහස සපයා දී ඇත්තේ මෙසේ ය: “සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම ඇත්තේය.”

ඊළඟට, 15 (2) වගන්තියෙන් එය මෙසේ සීමා කෙරේ: “14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාවේ (අ) ඡේදයෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ ද, ක්‍රියාත්මක විය හැක්කේ ද, වාර්ගික හා ආගමික සහයෝගීතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම හා සම්බන්ධව නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට යටත්ව ය.”

වෙනත් විදිහකින් කිවහොත්, මේ වනාහී ‘වාර්ගික සහ ආගමික සහයෝගීතාව තහවුරු කිරීම සඳහා නීතියෙන් පනවා ඇති’ තත්වයන්ට අනුගත විය යුතු බවකි. මේ සීමාව වෙනත් නීතිවලටත් බලපවත්වන නිසා ඒ වෙනත් නීති කවරේදැ යි දැන ගැනීම වැදගත් ය. දණ්ඩනීති සංග්‍රහයේ ඒ පිළිබඳ අවස්ථා දෙකක් දැක්වෙයි. ඒ මෙසේ ය:

291 (අ) වගන්තිය- “යම් තැනැත්තෙකුගේ ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත අදහසින් එකී තැනැත්තාට ඇසෙන ලෙස යමෙකු යම් වචනයක් කියතොත් හෝ ශබ්දයක් කළහොත් හෝ එකී තැනැත්තාට පෙනෙන පරිදි යම් සංඥාවක් කරතොත් හෝ එකී තැනැත්තා අභිමුඛයෙහි යම් ද්‍රව්‍යයක් තබතොත්, ඔහුට අවුරුද්ද දක්වා කාලයක, දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය.”

291 (ආ)- “ආගමික හැඟීම් කෙලසීම සඳහා ඒකාන්ත හා ද්වේෂ සහගත අදහසින් භාෂිත හෝ ලිඛිත වචනයෙන් හෝ දැකිය හැකි නිරූපණවලින් එකී පංතියේ ආගමට හෝ ආගමික විශ්වාසවලට නින්දා කරන හෝ නින්දා කිරීමට තැත් කරන තැනැත්තෙකුට අවුරුදු දෙක දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය.”

අපේ මාධ්‍ය මේ සීමාවන් ගැන කිසි තැකීමක් කරන්නේ නැත. විශේෂයෙන්, සිංහල බෞද්ධ ජාතිකවාදයෙන් කුරුවල් වූ සමහර නිවේදකයන් සහ මුද්‍රිත ක්ෂේත්‍රයේ මාධ්‍යකරුවන් මේ තහනම්වලට යටත් වන තොරතුරු ඉදිරිපත් කරනු දක්නට ලැබේ. එවැනි ප්‍රවෘත්ති යහපැවැත්මට සහ විනීත භාවයට හානියකි. අපරාධ සහ නොසන්සුන්තා ඇති කිරීමට ඒවා හේතු විය හැකිය. මාධ්‍යයට නිදහස තිබිය යුතු වුවත්, මාධ්‍ය ස්වාධීන විය යුතු වුවත්, ඊට පැවරෙන වගකීමක් ද තිබේ. ආචාරශීලී වීමක් ද ඉන් අපේක්ෂා කෙරේ. එහෙත් මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා බොහෝ දෙනා නියෝජනය කරන්නේ මෙහි සපුරා ප්‍රතිපාර්ශ්වයයි.

එක් කෝටි පනස් ලක්ෂයක ඡන්දදායකයන්

මාධ්‍ය අයථා පරිද්දෙන් මෙහෙයවනු ලැබීම පිළිබඳව මහාචාර්ය නෝම් චොම්ස්කි වරක් මෙසේ කියා තිබේ: “සිදුවන්නේ කුමක්ද යන්න සාමාන්‍ය ජනතාව නොදනිති. එය තමන් නොදන්නා බව ද ඔවුහූ නොදනිති”. මතක තියාගන්න. අපේ ජනගහනයෙන් සියයට 81 ක් පමණ ග්‍රාමීය ජනතාවයි. ඔවුන්ගෙන් බොහොමයක් පුවත්පත් කියවන්නේ නැත. ඒ නිසා රූපවාහිනියට සහ රේඩියෝවට ග්‍රාමීය නූගත් ජනතාව දැනුවත් කිරීමේ සහ රටේ සිදුවන දේවල් ගැන ඔවුන් යාවත්කාල කිරීමේ විශාල කාර්ය භාරයක් පැවරේ. ශ්‍රී ලංකාවට එක් කෝටි පනස් ලක්ෂයක ඡන්දදායක ලැයිස්තුවක් තිබේ. සිදුවන දේවල් දැන ගැනීමෙ අයිතියක් මේ සියලු දෙනාට තිබේ. එමෙන්ම, රූපවාහිනිය සහ වෙනත් මාධ්‍යයන් හරහා සත්‍යය දැන ගැනීමේ සදාචාරමය අයිතියක් ද ඔවුන්ට තිබේ.

රාජ්‍ය මාධ්‍ය සහ වෙනත් ඇතැම් පෞද්ගලික නාලිකාවන් ද මෙකී සදාචාරමය වගකීම පැහැර හැර ඇත. ජනතාව දැනුවත් කිරීමේ කාර්යයට ඔවුන් උර දී නැත. ඡන්දදායකයාට තමන්ගේ විනිශ්චයන්ට පැමිණීම සඳහා අවශ්‍ය කරන දේශපාලනික තොරතුරු ඔවුන්ට සැපයීම මාධ්‍යයෙන් අපේක්ෂා කෙරේ. එහෙත් ඒ වෙනුවට සිදුවන්නේ, මේ මාධ්‍ය ආයතන මගින් ඔවුන්ගේ සිත්සතන් එක දිගටම කුරුවල් කිරීම ය. විශේෂයෙන්ම, අසරණ ගැමි ජනතාව ඊට ගොදුරු වෙති. මාධ්‍ය ආයතන බලන්නේ, පටු ජාතිකවාදී දේශපාලනික ව්‍යාපෘතීන් මත පදනම්ව බලය කේන්ද්‍රගත කර ගැනීම ප්‍රවර්ධනය කිරීමට ය. මේ නපුරු සැලැස්ම සාර්ථක කර ගැනීම සඳහා, රටේ ජනතාව ජාතිය, ආගම සහ උතුර-දකුණ වශයෙන් ප්‍රාදේශීයව බෙදා වෙන්කොට තබා ගැනීමට ඔවුහූ යත්න දරති. මේ අරභයා ඔවුන් සතු බලපෑමේ පරිමාණය ගණනය කළ නොහැකි වෙතත්, ග්‍රාමීය ජනතාවගේ හැඟීම්වලට ආමන්ත්‍රණය කෙරෙන ආකාරයෙන් තමන්ගේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඔවුන් කටයුතු කරන බව නම් පැහැදිළි ය.

මිනිසුන්ගේ තාර්කික පාර්ශ්වයට වඩා මාධ්‍ය ආමන්ත්‍රණය කරන්නේ ඔවුන්ගේ හැඟීම් පාර්ශ්වයට බව මහාචාර්ය නෝම් චොම්සිකි පෙන්වා දෙයි. හැඟීම්බර භාවය, තාර්කික චින්තනය මොට කරයි. භීතිකාවන්, උද්වේගයන් සහ හැඟීම්බර ප්‍රේරණයන් ඇද බැඳ ගන්නා දොරටු ඒ මගින් විවර කර දෙනු ලැබේ. අහිංසක සහ පහසුවෙන් රැවටෙන සුළු සිංහල ග්‍රාමීය ජනතාව මේ ප්‍රචාරකවාදී කතා විශ්වාස කරති. ඒ අනුව අපේ මාධ්‍ය මේ වන විට ජනප්‍රියවාදී ප්‍රචාරණයන්ගෙන් පිරී ගොස් ඇති අතර, ‘විරුද්ධවාදියාට’ එරෙහිව රැවටිලිකාරී සහ ද්‍රෝහී මතිමතාන්තර නිර්මාණය කිරීම සඳහා පේ වී සිටී.

අධිකරණය

ලාබ ජනතාවාදය විසින් ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් දුර්වල කරනු ලැබේ. ප්‍රජාතන්ත්‍ර-විරෝධී නායකයන්ට බලයට පත්වීමටත්, මෑතකදී දැක ගැනීමට ලැබුණු පරිද්දෙන් බලය අවභාවිත කිරීමටත් ඒ මගින් ඉඩහසර පාදා දෙනු ලැබේ. ඒ ආකාරයෙන් අපේ ප්‍රජාතන්ත්‍රවාදය හුස්ම හිර වී මරණාසන්නව සිටි පසුගිය සතියේ අවස්ථාවක අධිකරණය පෙරමුණට විත් ඔක්සිජන් වායුව පිම්ඹේය.

මාධ්‍යයේ ඒකායන අරමුණ විය යුත්තේ මහජන අභිවෘද්ධිය සඳහා සේවයට කැපවීමයි. මෙතෙක් කල් ඉතිරි කරගෙන ඇති යහපත් යමක් වේ ද ඒ සියල්ල ආරක්ෂා කර ගැනීම, රාජ්‍යකරණයේ සිව්වැනි පර්ෂදය වන මාධ්‍යයේ වගකීමයි. එසේ නොමැතිව, ප්‍රජාතන්ත්‍රවාදයේ හුස්ම හිර කැරැවීම මාධ්‍යයෙන් නොකළ යුතුය. පටු සහ අවස්ථාවාදී දේශපාලනයෙන් ඔබ්බට යන ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් පෝෂණය කිරීම සඳහා වන අත්වැලක් වශයෙන් එය කටයුතු කළ යුතුව තිබේ.

මාධ්‍ය චර්යාවේ පක්ෂපාතීත්වය සහ ආධානග්‍රාහීත්වය පසුගිය ඔක්තෝබර් 26 වැනි දා සිට රටට නිරාවරණය වුණි. ඔවුන්ට පැවරී තිබුණේ රාජ්‍යයේ ප්‍රධාන අංශ තුන පිළිබඳ මුරපල්ලෙකුගේ භූමිකාව වුවත්, ඔවුන් කටයුතු කෙළේ රටේ අස්ථාවරත්වය, සැකසාංකා සහ ජනතාව අතරේ ගැටුම් ඇති කරවන ආකාරයෙනි. රටක ප්‍රජාතන්ත්‍රවාදයක් නිසියාකාරයෙන් ක්‍රියාත්මක වීමට නම්, මාධ්‍යය කිසි දේශපාලන පක්ෂයක හෝ පුද්ගලයන් අතලොස්සකගේ බලපෑමට යටත් නොවී, සියල්ලන්ට සාධාරණත්වය ඉෂ්ට වන ආකාරයෙන් කටයුතු කළ යුතුය. එවැනි නිදහස්, මධ්‍යස්ථ සහ සක්‍රීය මාධ්‍යයකින් තොර ප්‍රජාතන්ත්‍රවාදයක් අර්ථ විරහිත වන්නේය.

සිවිල් සමාජ න්‍යාය පත්‍රයේ ඊළඟ අයිතමය විය යුත්තේ, රාජ්‍ය මාධ්‍ය ආයතන ස්වාධීනව කටයුතු කරන ලෙස ඉල්ලා සිටීමත්, පෞද්ගලික මාධ්‍ය තමන්ගේ චර්යාවන් මාධ්‍ය සදාචාරයට ඔබින අයුරින් හැඩගස්වා නොගන්නේ නම් ඔවුන්ව වාරණය කරන ලෙස ඉල්ලා සිටීමත් ය. එහි තේමාව විය යුත්තේ, “මාධ්‍ය මුදලාලිලාගේ සහ රාජ්‍යයේ අතපෙවීමෙන් නිදහස් මාධ්‍යයක් සහ මාධ්‍යවේදීන්ගේ වෘත්තීයමය භාවය නගා සිටුවීමක් අත්‍යාවශ්‍යය” යන්නයි.

2018 දෙසැම්බර් 18 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Democracy Suffocated by Media and Oxygenated by the Judiciary නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top