Sri Lanka Brief
පුවත්විවරණ“ජනාධිපතිවරයාගේ මතය අනුව” යනු, ජනාධිපතිවරයාට හිතුවක්කාරීව තේරීමක් කළ හැකි බව නොව, සරළ අංකගණිතය අනුව කටයුතු කළ බවයි – (01) ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන

“ජනාධිපතිවරයාගේ මතය අනුව” යනු, ජනාධිපතිවරයාට හිතුවක්කාරීව තේරීමක් කළ හැකි බව නොව, සරළ අංකගණිතය අනුව කටයුතු කළ බවයි – (01) ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන

by

 

ජනාධිපතිවරයා යනු ප්‍රථම ස්වාමියා නොව, ජනරජයේ ප්‍රථම සේවකයා ය.

පුද්ගල සාධක මත නිර්මාණය කොට ගොඩනගා ගත් ලංකාවේ ව්‍යවස්ථාමය අර්බුදය දැන් දෙවැනි මාසයටත් ළඟා වී තිබේ. එහෙත් පේන තෙක් මානයක විසඳුමක් නැත. ඒ මගින් රටේ ආර්ථිකයට සිදු වී ඇති හානිය අති විශාල ය. ඒ සමගම රටේ විශ්වනීයත්වය බාල්දු වී තිබේ. මෑතකදී ඇති කර ගත්, තවමත් ළදරු මට්ටමේ පවතින ආයතනික සැකිල්ල, යළි පිලිසකර කළ නොහැකි පරිද්දෙන් පළුදු වී තිබේ. මේ අර්බුදය හරහා ඉස්මත්තට පැමිණ ඇත්තේ, තමන්ගේ පුද්ගල ඕනෑ එපා කම් මත කටයුතු කරන බලවේගවල ප්‍රහාරයන්ට ලක්වීම නිසා ඇති විය හැකි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳෙන සුළු ස්වභාවයයි.

මේ තත්වය තුළ ශ්‍රී ලාංකිකයෝ දෙවර්ගයකට පිල් බෙදී සිටිති. ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයේ ව්‍යවස්ථානුකූල භාවය වෙනුවෙන් පිරිසක් පෙනී සිටිති. අනිත් පිරිස එය විවේචනයට ලක්කරති. නීතිඥයන්, විද්වතුන් මෙන්ම ජනාධිපතිවරයාගේ පාක්ෂිකයෙන් කියා සිටින්නේ, ඔහුගේ ක්‍රියාව වනාහී, රටේ අගමැතිවරයා තෝරා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පවරා ඇති පරම අභිමතානුසාරී බලය අභ්‍යාස කිරීමක් වන බවයි. එය පෙන්නුම් කිරීම සඳහා මේ පිරිස උපයෝගී කර ගන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ කාරණය සම්බන්ධයෙන් සඳහන්ව ඇති, ‘ජනාධිපතිවරයාගේ මතය අනුව’ යන වාක්‍යාංශයයි. තමාට කැමති පරිද්දෙන් අගමැතිවරයෙකු තෝරා ගැනීමට ජනාධිපතිවරයාට ඒ අනුව හැකියාව ඇති බව ඔවුහු කියති.

මේ පිරිස එක කාරණයක් අමතක කොට ඇති සෙයකි. එනම්, ශ්‍රී ලංකාව ජනරජයක් වන බවත්, රාජාණ්ඩුවක් නොවන බවත් ය. ජනරජයක පරමාධිපත්‍යය බලය හිමිවන්නේ පුරවැසියන්ට ය. එවැනි ජනරජයක ජනාධිපතිවරයා යනු, තම අභිවෘද්ධිය සඳහා ජනතාව ගොඩනගා ගත් දේශපාලන සංවිධානයක සභාපතිත්වය දැරීමට ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන පුද්ගලයෙකු පමණි. එබැවින් එම ජනරජයේ වෙනත් පුරවැසියන්ට නැති බලයක් ජනාධිපතිවරයාට හිමි වන්නේ නැත. එසේ හෙයින් ඔහුගේ ක්‍රියාකලාපය සඳහා මගපෙන්වන වඩාත් වැදගත් මූලධර්මය වන්නේ, ඔහුගේ කල්ක්‍රියාව රටේ පුරවැසියන්ගේ අභිවෘද්ධිය සඳහා යොමු විය යුතුය යන්නයි. ඔහු ඒජන්තයෙකු හෙවත් නියෝජිතයෙකි. ඔහුව ඒ ඒජන්ත රැකියාවට පත්කොට ඇත්තේ පුරවැසියන් ය.

ඉතා සරළව ගතහොත්, ජනාධිපතිවරයා යනු ‘පුරවැසියන්ගේ ප්‍රථම සේවකයා’ ය. 2015 ජනවාරි 9 වැනි දා ජනාධිපති වශයෙන් දිව්රුම් දුන් අවස්ථාවේ ඔහුමත් ඒ බව කියා තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක ඔහු ‘ප්‍රථම ස්වාමියා’ නොවේ. එසේ හැසිරීමට ගන්නා ඕනෑම ප්‍රයත්නයක් අවසන් වනු ඇත්තේ, ඔහුටත්, රටටත් විනාශයක් අත්කර දෙමිනි. එවැනි තත්වයක් ඇති වීම වැලැක්වීම සඳහා ඔහු හැම පියවරක්ම ගත යුතුව තිබේ.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට අත්තනෝමතික අභිමතානුසාරී බලයක් පවරා නැති බව, මේ අනුව පැහැදිළි ය. ව්‍යවස්ථාවේ සඳහන්, ‘ජනාධිපතිවරයාගේ මතය අනුව’ යන්න, වටහා ගත නොහැකි, පැටලිලි සහගත සූත්‍රයක් නොවේ. එහි ඉතා සරළ අදහස වන්නේ අංක ගණිතමය බහුතරයයි. එය, සංඛ්‍යාත්මක කාරණයකි. එබැවින් ජනාධිපතිවරයා දැන් කළ යුතුව ඇත්තේ, පිළිගත නොහැකි විවිධ අවසර පාමින් තීරණයක් ගැනීම කල් දමනවා වෙනුවට, ඔක්තෝබර් 26 වැනි දාට කලින් තිබුණු තත්වයට ආපසු යාමත්, පාර්ලිමේන්තුවේ සරළ බහුතරයක් මගින් අගමැතිවරයා තෝරා ගැනීමට ප්‍රජාතන්ත්‍රීය බලවේගවලට ඉඩ හැරීමත් ය.

පුද්ගලයන් තම ප්‍රතිපත්තිලට අනුගත වීම පසෙකලන්නේ ආත්මාර්ථකාමීත්වය නිසා ය.

මේ ප්‍රධානී-ඒජන්ත සම්බන්ධතාව, ආර්ථික විද්‍යාවේ ‘ප්‍රධානී-ඒජන්ත ගැටළුව’ වශයෙන් හඳුනා ගැනෙත තත්වයට සමාන අවස්ථාවකට තුඩු දී තිබේ. මේ කාරණයේදී ප්‍රධානියා වන්නේ පුරවැසියන් ය. ඔවුන්, තමන්ගේ අවශ්‍යතා සාධනය සඳහා ඒජන්තයෙකු හෙවත් ජනාධිපතිවරයෙකු යොදවා තිබේ. එබැවින්, ජනාධිපතිවරයා කියන කරන සෑම දෙයක්ම පුරවැසියන්ගේ සුභසිද්ධිය සඳහා විය යුතුය.

කෙසේ වෙතත්, ඒජන්තයා කෙරෙහි ප්‍රධානීන් සතුව ඇති අධීක්ෂණ සහ පාලන බලය වියැකෙන විට, ඒජන්තයා කරන්නේ තමාව පත්කළ ප්‍රධානීන් නොතකා තමාගේ ඕනෑ එපාකම් වෙනුවෙන් වැඩ කිරීමට පටන් ගැනීමයි. මෙය පෞද්ගලික සමාගම්, රාජ්‍ය ආයතන සහ රටක ජාතික මට්ටමේ දේශපාලනික සංවිධාන තුළත් දක්නට ලැබෙන තත්වයකි. එසේ කිරීම නිසා අත්වන පාඩුව, පෞද්ගලික සමාගමක නම්, එහි කොටස්කරුවෝ දරති. රාජ්‍ය ආයතනවලදී එය දරන්නේ, එම රාජ්‍ය ආයතනවලින් මහජන සේවා ලබා ගන්නා පාරිභෝගිකයන් ය.

එහෙත් ජාතික මට්ටමේදී ඒ පාඩුව හෝ වියදම සියලු පුරවැසියන්ට දරා ගැනීමට සිදුවෙයි. එසේම, අදාළ රටේ ආර්ථික, දේශපාලනික සහ වෙනත් ආකාරයේ සම්බන්ධතා මත, විදේශිකයන්ටත් එය දරා ගැනීමට සිදුවෙයි. මේ අනුව, යම් රටක පුරවැසියන් වෙනත් රටවල් සමග සම්බන්ධතාවන්ට අවතීර්ණ වී ඇත්නම්, තමන්ගේ නායකයන් ඉහත කී ප්‍රධානී-ඒජන්ත සම්බන්ධතාව උල්ලංඝණය කිරීම නිසා ඇති වන තත්වයක් හේතුවෙන් විදේශිකයන්ගේ අතපෙවීමක් සිදුවීම වැලැක්විය නොහැක්කේය. වෙනත් වචනවලින් කිවහොත්, සෑම රටක්ම තවත් සෑම රටක් සමගම සම්බන්ධ වී ඇති නූතන ලෝකයේ රටක ස්වෛරීත්වය යනු, පහසුවෙන් බිඳෙන සුළු, නොපැහැදිලි සහ විවාදයට තුඩුදෙන කාරණයකි.

මීට හොඳ උදාහරණයක්, ඇමරිකාව සහ චීනය අතර පවතින සම්බන්ධතාව තුළින් අපට සැපයේ. චීනයේ විදේශ වත්කම්වල වටිනාකම ඩොලර් ටි්‍රලියන 4 කි. එයින් සියයට 75 ක් චීනය ආයෝජනය කර ඇත්තේ ඇමරිකානු ඩොලර්වලිනි. මේ තත්වය තුළ ඇමරිකාව සිය විදේශ ප්‍රතිපත්තියට අදාළව කරන දේවල් චීනයට බලපායි. උදාහරණයක් වශයෙන්, ඇමරිකාව ඉරානය සමග යුද්ධයකට යාමට හෙට තීරණය කළොත් ඒ ගැන වඩාත් කලබලයට පත්වන රට වන්නේ චීනයයි. මන්ද යත්, එවැනි යුද්ධයක් නිසා තමන් සතුව ඇති වත්කම් අහිමි කර ගැනීමට චීනයට සිදුවිය හැකි නිසා ය.

ලංකාවේ අතීත ඉතිහාසයෙන් තවත් උදාහරණයක් සොයා ගත හැකිය. 1153 සිට 1186 දක්වා ලංකාව පාලනය කළ පළමුවැනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී වර්තමාන මියන්මාරය (බුරුමය) සමග ලංකාව ඇතුන් වෙළඳාම කරගෙන ගියේය. එදවස මියන්මාරයේ රජු වූ අරිමද්දාන ලංකාවෙන් ගෙන්වන අලි ඇතුන් සඳහා පැවති රිදී කාසි 100 ආනයන බද්ද රිදී කාසි 1000 දක්වා ඉහළ දැම්මේය. බෙංගාලයෙන් ගෙන්වනු ලබන අලි ඇතුන්ගේ මිල සමග මෙවැනි ඉහළ බද්දක් යටතේ තරග කිරීමට ලංකාව අපොහොසත් වන නිසා, පළමුවැනි පරාක්‍රමබාහු රජු මියන්මාරය ආක්‍රමණය කොට තමන්ගේ වෙළඳ අයිතිය යළි ස්ථාපනය කර ගත්තේය. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සඳහා විදේශ අතපෙවීම් ගැන අද පැමිණිලි කරන පිරිස්, වෙනත් රටවල් සමග ලංකාව වෙළඳ, ආර්ථික, දේශපාලනික සහ ආගමික සම්බන්ධතා පවත්වන තත්වයක් තුළ, එවැනි දේවල් වැළැක්වීම දුෂ්කර බව වටහා ගත යුතුය. මෙයම වෙනත් රටවල්වලට ද අදාළ වන්නේය.

බලය අවභාවිත වීම වැළැක්විය හැක්කේ හොඳ ව්‍යවස්ථාවක් සහ ශක්තිමත් පාලන ව්‍යුහයක් ඇති කර ගැනීමෙනි

ඉහතින් කී ප්‍රධානී-ඒජන්ත ගැටළුව අවම කර ගැනීම සඳහා රටවල් ක්‍රමවේද දෙකක් අනුගමනය කරයි. එකක් වන්නේ, රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. දේශපාලන නායකයන්ගේ හැසිරීම ඒ මගින් පාලනය කෙරේ. දෙවැනුව, ශක්තිමත් ආයතන පද්ධතියක් ඇති කර ගැනීමයි. දේශපාලන නායකයන් විසින් යහපත් පාලන ප්‍රතිපත්ති අනුගමනය කෙරෙන බවට ඒ මගින් වගබලා ගැනේ. පුරවැසියන් හෙවත් ප්‍රධානීන් සම්බන්ධයෙන් ඉටු කළ යුතු වගකීම් උල්ලංඝණය කිරීමට පෙළඹිය හැකි දේශපාලන නායකයන්ගේ ව්‍යවස්ථා-විරෝධී ක්‍රියා ඉදිරියේ තිරිංගයක් වශයෙන් ඒවා කටයුතු කරයි.

මේ නිසා ජනරජවල ජනාධිපතිවරුන් සහ ප්‍රජාතන්ත්‍රවාදී රටවල දේශපාලන නායකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නැමීමට හෝ යහපාලන මූලධර්ම තමන්ගේ ඕනෑ එපාකම් මත උල්ලංඝණය කිරීමට උත්සාහ නොකළ යුතුය. ඔවුන් එසේ කළහොත්, ඉන් අගතියට පත්වන තමන්ගේ රටේ පුරවැසියන්ගේ විරෝධයට පමණක් නොව, අපේ රටේ යම් පරදුවක් ඇති වෙනත් රටවල ඉලක්කයක් බවටත් පත්විය හැකිය.

බලයේ සිටින කවුරුත් ව්‍යවස්ථාවට අනුගත විය යුතුය

ව්‍යවස්ථාවක් යනු, බලයේ සිටින අයගේ පාලනය සුජාත කර ගැනීමේ ලියවිල්ලක්ම නොවේ. එය එක පැත්තකින් පුරවැසියන් සහ අනිත් පැත්තෙන් බලයේ සිටින පාලකයන් එකට බැඳ තබන ගිවිසුමකි. බලයේ සිටින්නන් යන්නෙන් අදහස් වන්නේ, ජනරජයේ ජනාධිපති, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්, අධිකරණ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සමාජයේ එක් කොටසකි. ඒ සෑම කෙනෙක්ම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීමට සහ ඒ අනුව කටයුතු කිරීමට බැඳී සිටිති.

තමන්ගේ ඕනෑ එපාකම් මත ඔවුන් ව්‍යවස්ථාවේ විධිවිධාන ඒ මේ අත නමන්නට ගත්තොත් හෝ ව්‍යවස්ථාවේ විධිවිධාන සමස්තයක් වශයෙන් ගෙන කියවනවා වෙනුවට, තමන්ගේ අවශ්‍යතාවන්ට අනුරූප වන පරිදි වෙන් කොට කියැවීමට ගත්තොත්, පුරවැසියන්ගේ මෙන්ම විදේශිකයන්ගේ ද ඇස් ඉදිරියේ විශ්වසනීයත්වය පිළිබඳ බරපතල ගැටළුවක් පැන නැගිය හැකිය. ජනාධිපතිවරයාගේ ක්‍රියාවට සහාය දක්වන අය ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යවස්ථාවට අනුකූල බවට පෙන්නුම් කිරීම සඳහා මහත් උත්සාහයක් දරන්නේත්, අනිත් පාර්ශ්වය එහි අගතිය ගැන කරුණු කියන්නේත් එබැවිනි.

 

2018 දෙසැම්බර් 3 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ “In the Opinion of the President” Does Not Mean Arbitrary Choice, but Going by Simple

(මේ ලිපියේ ඉතිරි කොටස හෙට බලාපොරොත්තු වන්න)

Back to Top