Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගකුමන්ත්‍රණය අවසානයි; මෙතැනින් කොතැනටද? (1) – සුනන්ද දේශප්‍රිය.

කුමන්ත්‍රණය අවසානයි; මෙතැනින් කොතැනටද? (1) – සුනන්ද දේශප්‍රිය.

by

ජායාරූපය: ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන්ට දඩුවම් දිය යුතු බවට උද්ඝෙ‌ෝෂනය කරන වාම ක්‍රියාධරයෙක්. (c) S.Deshapriya

සිරිසේන භංග විය. මහින්ද පීචං විය. රනිල් නැගී ආවේය. මේ වනාහී මතුපිට පෙනෙන දැක්ම ය. මතුපිට පෙනෙන දේ ඇත්ත නම් විද්‍යාවක් අවශ්‍ය නැත. දැන් අප දේශපාලන විද්‍යාව දෙසට හැරී මේ සිදුවීම් දාමය තේරුම් ගැනීමටත් අනතුරුව මෙැතැනින් ඉදිරියට යා හැක්කේ කෙසේදැයි විමසා බලන සාකච්ජාවකට යොමු විය යුතුය.

ඒවැනි සාකච්ජාවක් පුද්ගල බද්ධ විරෝධතා සටන්පාඨ සහ පටු කණ්ඩායම්වාදී ආකල්පවලින් තොරව කරගෙන යෑම වැදගත් ය.

ඉතාම පැහැදිළිව සිරිසේන විසින් ක්‍රියාවට නගන ලද්දේ ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණයකි. දේශපාලන කුමන්ත්‍රණයක් යනු හදිසියේ සහ රහසිගතව, නිසි නීතිමය ක්‍රියාදාමයට පරිබාහිරව රටක නායකත්වය සහ දේශපාලන දිශානතිය වෙනස් කිරීමයි. මහින්ද රාජපක්ෂට අගමැති ධුරය පිරිනැමීමේ සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සිරිසේනගේ කූටෝපාය සාකල්‍යයෙන්ම දේශපාලන කුමන්ත්‍රණයක් බව ඉහත දැක්වූ නිර්වචනයෙන් පැහැදිළි වෙයි.

ඒවැනි ක්‍රමන්ත්‍රණයකට ආරක්ෂක හමුදා සම්බන්ධ කරගනු ලැබූයේ නම් එය මිලිටරි කුමන්ත්‍රණයක් බවට ද පත්වෙයි. රාජපක්ෂවාදී දේශපාලන වින්තකයකු වන දයාන් ජයතිලක සිරිසේනගේ මෙම කූටෝපාය හැදින්වූයේ විප්ලවයක් ලෙසිනි. එසේ නමුත් දේශපාලන විද්‍යාවෙහි අයනු ආයනු අනුව විප්ලවයක් යනු ආයුධ ඇති හෝ නැති මහජන නැගීටීමක් මගින් පවතින රාජ්‍ය පෙරළා දමා නව රාජ්‍ය බලයක් පිහිටුවීමකි. දේශපාලන කුමන්ත්‍රණය සහ දේශපාලන විප්ලවය යනු එකිනෙකට හාත්පසින්ම වෙනස් ක්‍රියාදාමයන් දෙකකි.

දැන් මෙරට ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය හත් දෙ‌නෙකුගෙන් සමන්විත ඒකමතික තීන්දුවක් මගින් සිරිසේන විසින් ව්‍යවස්ථා කෙළෙසූ බව සනාථ කරනු ලැබ තිබේ. ඕනෑම රටක ව්‍යවස්ථාව උල්ළංඝනය කරමින් රාජ්‍ය බලය තමන්ට හෝ තම අතවැසියකුට ලබා දීමට උත්සාහ කිරීම දඩුවම් ලැබිය යුතු වරදකි. සිරිසේන මෙම දේශපාලන කුමන්ත්‍රණය වෙනුවෙන් අධිකරණය හමුවට ගෙන යෑම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා අත්‍යවශය පියවරකි. එසේ නොමැතිව දුර්විපාක නොලබා සිටීමේ දේශපාලන සංස්කෘතිය අවසන් කළ නොහැකිය. එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් විසින් භාරගත යුතු ප්‍රමුඛ අභියෝගයකි.

නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවෙහි දේශපාලන හෝ මිලිටරි කුමන්ත්‍රණයක් යම් දුරකට හෝ සාර්ථක වූ ප්‍රථම අවස්ථාව මෙයයි. එසේ නමුත් එය මිලිටරි කුමන්ත්‍රණයක් බවට පත්කර බලය තහවුරු කර ගැනීමට සිරිසේන අසමත් විය. මෙරට මිලිටරි කුමන්ත්‍රණයක් සිදුනොවීමට හේතුවන එක් ප්‍රධාන සාධකයක් නම් ඉන්දියාවයි. අනිවාර්යයෙන්ම දෙමළ විරෝධී සිංහල බෞද්ධ අන්තවාදී එකක් වනු ඇති එවැනි මිලිටරි කුමන්ත්‍රණයක් මගින් ඉන්දියානු මැදිහත්වීමක සහ උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යක් ඇති කිරීමක ඉඩ ප්‍රස්ථාව උදා කරයි.

යුද හමුදාවෙන් විශ්‍රාම ගෙන දැන් ගෝඨාභය රාජපක්ෂගේ හොරණෑකරුවන් බවට පත්ව සිටින සමහර ජෙනරාල්වරුන් පෙන්නුම් කරන්නේ එවැනි මිලිටරි මතවාදයකි. ගෝඨාභය යුද සහායකයින් විසින් සිහින මවනු ඇති එවැනි මිලිටරි කුමන්ත්‍රණයක් මගින් ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය අතර නොනිල යුද පිටියක් බවට ද පත් කැරෙනු ඇත. එසේ නමුත් සමස්තයක් වශයෙන් මෙරට ආරක්ෂක හමුදා නායකත්වය එවැනි සියදිවි නසා ගැනීමේ මිලිටරි කුමන්ත්‍රණයකට සහාය දෙනු ඇතැයි සිතිය නොහැකිය.

අනෙක් අතට සිරිසේනගේ දේශපාලන කුමන්ත්‍රණය පරාජය වීමට ප්‍රධාන සාධක තුනක් බලපෑවේය. එනම් ස්වාධීන අධිකරණය, දේශපාලන සහ සිවිල් සමාජයේ නැගිටීම සහ අන්තර් ජාතික තෙරපුමයි.

එහි තීරණාත්මක සාධකය වූයේ 19වන සංසෝධනය මගින් ශක්තිමත් කරන ලද ස්වාධීන අධිකරණය යි. රාජපක්ෂවාදීන්ගේ වක්‍ර තර්ජන සහ ගර්ජන මැද ස්වාධීනව ව්‍යවස්ථාව නිර්වචනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය සමත් විය. එහි ස්වාධීනත්වය තහවුරු කොට ශක්තිමත් කිරීම මෙරට දේශපාලන සහ සිවිල් සමාජය හමුවෙහි ඇති එක් කර්තව්‍යකි.

මෙමගින් අපට පෙන්වන වැදගත්ම කරුණ නම් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යහුයක තීරනාත්මක සාධකයක් වන බල විභේදනයේ වැදගත් කමයි. උදාහරණයක් ගන්නේ නම් චීන ජනාධිපති ෂීජින් පෙන් දිවි ඇති තෙක් ජනාධිපතිධූරයේ රැදී සිටීමට යෑමට හැකිවනසේ 2018 පෙබරවාරි මාසයෙහි දී ව්‍යවස්ථාව වෙනස් කර ගත්තේ හුදෙක් සිය පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයකදී ය. ඒම තීරණය අභියෝගයට ලක් කළ හැකි අන් කිසිදු ව්‍යහුයක් එරට නැත. ජනාධිපති දූරය දෙවතාවකට සිමා කැරෙන නීතිය එරට ව්‍යවස්ථාවට අැතුල් කරන ලද්දේ වීන ආර්ථික වර්ධනයේ පුරෝගාමියා වූ ඩෙං ෂියඕ පිං විසිනි. දැන් එම නීතිය එරට නැත.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ඒකිනෙකින් ස්වාධීනව පැවැතිය යුත්තේ කවර ආයතනයකට හෝ සිය බලය අවභාවිත කළ නොහැකි වනු පිනිස ය.

දෙවැනි සාධකය නම් සිරිසේන රාජපක්ෂ කුමන්ත්‍රණ සැළැස්මට යටත් නොවූ දේශපාලන, සිවිල් මෙන්ම යම් දුරකට ව්‍යාපාරික සමාජයයි. එක්සත් ජාතික පක්ෂය සහ එහි පෙරමුණෙහි කොටස්කාර පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ සන්ධානය සිරිසේනගේ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවෙහිදී පරාජය කළ අතර එක්සත් ජාතික පෙරමුණ සහ ජවිපෙ එය වීදියෙහිදී ද පරාජය කළේ ය.

ප්‍රජාතන්ත්‍රවාදය සදහා ප්‍රථමයෙන්ම වීදියට පැමිණයේ ස්වාධීන සිවිල් සමාජ පිරිස් ය. ඔව්න්ගේ බලය වූයේ සංඛ්‍යාත්මක ගණිතය නොව නිර්මාණශීලීත්වය සහ අත නොහැර සිටීමයි. කැපී පෙනෙන පරිදි ඔව්හු අයත් වූයේ ඉහළ මධ්‍යම පංතියට ය. එබැවින්ම ඔව්හු පුද්ගලවාදී සටන්පාඨ කෙරෙහි වැඩි ඇල්මක් දැක්වූහ. අගනුවර මැද දිනපතා නැගී සිටිමින් දස දහස් ගණනවකගේ අවධානය දිනා ගත් මෙම පිරිස් ඉක්මනින්ම සිය ප්‍රමාණය දේශපාලන ගුණාත්මක සාධකයක් බවට හරවා ගත්හ. ඇත්ත වශයෙන්ම නම් අනෙක් සියළු සිවිල් සමාජ ක්‍රියාකාරකම් අවධි කිරීම පිනිස කුඩා නමුත් අධිශ්ඨානශීලි මෙම පිරිස් උත්තේජකයක් බවට පත් වූහ.

රනිල් වික්‍රමසිංහ, අගමැති නිල නිල නිවස වූ අරලිය ගහ මන්දිරයෙහි කඳවුරු බැඳ ගැනීම සිරිසේනගේ කුමන්ත්‍රණයට එරෙහි දේශපාලන සටනෙහි මර්මස්ථානය බවට පත් වූ පරිද්දෙන්ම පුළුල් සිවිල් සමාජ පිරිස් අවධිකිරීමේ උත්තේජක මර්මස්ථානය බවට කොළඹ ලිබර්ටි අවකාශයේ දිනපතා එක් රැස් වූ මධ්‍යම පංතික පුරවැසි පිරිස් සමත් වූහ.

#generation මූලිකත්වය ගත් ‘නැගිටිමු’, ස්ත්‍රී කාලාකාරිනියන් මූලිකත්වය ගත් ‘කාන්තා පා ගමන’ ‘දිදුළන හදවත’ යනාදී නැවුම් සිවිල් සමාජ බලමුළු ගැන්වීම් අනතුරුව අරගලයට ආලෝකයද ගතිකත්වයක් ද ගෙන ආවේ ය.

නිසි අවස්ථාවෙහි මූලිකත්වය ගැනීම සහ අරගලයෙහි නොනැවත යෙදී සිටීම මගින් කුඩා කණ්ඩායමකට හැකි බව #PeopleResist (ජනවිරෝධය) සිවිල් කණ්ඩායම පෙන්නුම් කළේ ය.

එසේ නමුත් සංවිධානාත්මක සහ මූල්‍ය බලයක් නොමැති වූ නිසාද පුළුල් සිවිල්දේශපාලන අරමුනක් නොවූ නිසාද සිය ප්‍රජාතන්ත්‍රවාදී පණිවිඩය ක්‍රියාකාරකම් මගින් අවශේෂ නගර කරා ගෙන යෑමට මෙම පිරිස් සමස්තයක් වශයෙන් අපොහොසත් වූහ. ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහි අරගලය තුලට අවශේෂ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් ද මුසු කළේ මෙම ස්වාධීන සිවිල් සමාජ පිරිස් පමණි. එමෙන්ම මෙම ආරම්භක අරගලකාරියන් සහ අරගලකරුවන්ගේ මාධ්‍ය වූයේ සමාජ මාධ්‍ය යි. අත්‍යන්තයෙන්ම දේශපාලන පක්ෂ යටතට පත්ව ඇති ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන පමණක් නොව එවැනි වෙබ් මාධ්‍යයන් පවා මෙකී සිවිල් අරගලකාරියනට නිසි ප්‍රචාරයක් ලබා දුන්නේ නැත.

ප්‍රමාණයෙන් කුඩා වාම සංවිධාන සති ගණනාවක් යන තුරුම සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව ස්ථාවරයක් ගත්තේ නැත. මෙය ධනපති පංතිය අතර සටනක් ලෙස ඔවුන් අර්ථ දැක්වූවා ද විය හැක. ඒසේ නමුත් සිරිසේනගේ දේශපාලන කුමන්ත්‍රණය සමාජයෙහි ඇතිකළ කැළඹීම හමුවෙහි තමන්ද අරගල භූමියට පැමිනිය යුතු බව ඔව්න් තීරණය කළා වැනි විය. ඇත්ත වශයෙන්ම නම් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ ධජය ඉහළින්ම එසවීමටත් මෙම දේශපාලන කුණාටුව තුළ දේශපාලනීයකරණය වන සමාජ කණ්ඩායම්වලට ආමන්ත්‍රණය කිරීමටත් ප්‍රමාණයෙන් දුර්වල නමුත් ගණනින් බොහෝ වන වාම කණ්ඩායම් අසමත් විය. දැන් ඔවුන් අරගල බිමට පැමිණ තිබේ.

ආණ්ඩුවේ රෑපවාහිනී සහ ගුවන් කාලය මත යැපෙමින් සිවිල් ව්‍යාපාරයක් ගොඩ නැගිය නොහැකි බව ‘පුරවැසි බලය’ මෙම අරගල බිමෙහි දක්නට හෝ නොමැති වීමෙන් පෙනී ගිය තවත් අත්දැකීමකි.

එජාපයට ලැදි සහ හිතවත් සිවිල් සමාජ කණ්ඩායම් විසින් සංවිධානය කරන ලද සත්‍යග්‍රහය දින 24ක් පුරා දහස් ගණනාවක් ජනතාව සම්බන්ධ කර ගනිමින් පවත්වා ගෙන යෑමද නවමු අත්දැකීමක් විය. බාහිර බලවේගයන්හි සහාය ඇත්නම් කුඩා කණ්ඩායමකට කළ හැකි ලොකු වැඩක අත්දැකීමක් මෙම සත්‍යග්‍රහය ලබා දුන්නේ ය.

2000 මහා මැතිවරණ සමයෙහි අප ක්‍රියාකාරීව සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නායකත්වයෙන් දියත් කළ සාධාරණ සහ නිදහස් මැතිවරණයක් සඳහා කහපටි ව්‍යාපාරය වැනි පුළුල් ජනයා කරා යන ක්‍රියාදාමයක් සාර්ථක කර ගැනීමට අතිශය වාසිදායක දේශපාලන වාතාවරණයක් තිබුණද සිවිල් සමාජ පිරිස්හි හුදකලාවාදය සහ නායකත්ව අඩුව නිසා සිවිල් අරගල සීමාසහිත බවට පැමුණිනි.

රාජපක්ෂ මර්දනයට මුහුණ දීමට 2006 – 2009 කාලයෙහි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මූලිකත්වයෙන් ගොඩ නැගුණු මාධ්‍ය සංවිධාන ඒකතුව සහ එම නායකත්ව මණ්ඩලය දිගටම පැවැතියේ නම් සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරීමේ පුළුල් මහජන ව්‍යාපාරයකට මුලපුරන්නට හැකිවන්නට තිබුණි. ඉන් ලැබෙන පාඩම නම් අද පවා සිවිල් සමාජ බලවේග සිත යොමුකළ යුතු ඒක කරුණකි. එනම් සමාන පදනමක් මත ජාලගතවීම මගින් පුළුල් පිළිගැනීමක් සහ බලපෑමක් සහිත සිවිල් සමාජ නායකත්වයක් ගොඩ නගා ගන්නේ කෙසේද යන්නයි.

( මතු සම්බන්ධයි)

Back to Top