Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගකුමන්ත්‍රණය අවසානයි! මෙතැනින් කොතැනටද? (2) – සුනන්ද දේශප්‍රිය.

කුමන්ත්‍රණය අවසානයි! මෙතැනින් කොතැනටද? (2) – සුනන්ද දේශප්‍රිය.

by

ජායාරූපය: සිය මතවාද දේශපාලනය කරා ගෙන යාමට නම් සිවිල් ජන කණ්ඩායම් ජාල ගතවීමත් සමාජ මාධ්‍ය භාවිතයත් ප්‍රගුණ කළ යුතුය.

සිරිසේන – රාජපක්ෂ කුමන්ත්‍රණය විසින් ඉස්මත්තට ගෙන එන ලද වැදගත් කාරණයක් වූයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනමාධ්‍ය භූමිකාව පිළිබද ප්‍රශ්නයයි. ඇත්ත වශයෙන්ම නම් මෙරට ජනමාධ්‍ය බහුතරය එකී කුමන්ත්‍රණ සහායකයෝ බවට පත් වූහ.

පසුගිය සටහනෙහි අප කතා කළ එකිනෙකින් ස්වාධීන එමෙන්ම එකිනෙක තුලනය සහ සංවරණය කැරෙන ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණූ තුන, එනම් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය හැරුණු විට හතරවැනි කුළුණ ලෙස සැලකෙන්නේ නිදහස් ජනමාධ්‍යය යි. මන්ද යත් පෙර කී කුළුණූ තුනම පිළිබඳ හරවත් සංවාදයන් ජනතාව කරා ගෙන යෑමටත් එම කුළුණූ තුනම පිළිබඳ මහජන සුපරීක්ෂාකාරීත්වය පවත්වා ගැනීමටත් ඇති වේදිකාව ජනමාධ්‍ය වන නිසා ය.

එසේ නමුත් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම වාගේ ජනමාධ්‍ය සලකන්නේ දේශපාලන ප්‍රචාරක ආයතන වියයුතු ඒවා ලෙස ය. මේ බව වඩාම පැහැදිලි වන්නේ රාජ්‍ය පාලිත මාධ්‍ය සම්බන්ධයෙන් එකී පක්ෂ දක්වන ආකල්පයෙනි.

රාජපක්ෂ මැර පිරිස් කුමන්ත්‍රණයට පසුදාම රාජ්‍ය මාධ්‍ය ආයතනයන්ට කඩා වැදී බලහත්කාරයෙන් එ්වා සියතට ගත්තේ ඒ නිසා ය. ඊටත් වඩා කණගාටුදායක කාරණයක් වූයේ මාධ්‍ය නිදහස වෙනුවෙන් රාජපක්ෂ සමයෙහි සටන් කළ මාධ්‍යවේදීන් ගණනාවක් සිරිසේන විසින් මෙම මාධ්‍ය ආයතනයන්හි ප්‍රධාන තනතුරුවලට පත් කිරීම යි. අවසානයේදී අනෙක් සමහර මාධ්‍යවේදීන් මෙන්ම ඔවුහු ද ජාතිවාදය සමඟ මුසු කරන ලද බොරු, පුවත් ලෙස ඉදිරිපත් කළහ.

මෙරට මාධ්‍ය නිදහස වෙනුවෙන් ඉදිරිපෙළ සටන් කරන ලද බොහෝ දෙනෙක් 1994 සිට රාජ්‍ය ස්ත්‍රෝත්‍ර ගායකයින් බවට පත් වූහ. ඉන් අයෙක් රාජපක්ෂ සමයෙහි ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදෙීන්ට එරෙහිව එල්ල වූ නෑසූ විරූ මර්දනයේ අපරාධ සහායකයින් බවට ද පත්වූහ. මෙවර සිදුවූයේ ද ඊට නොදෙවෙනි ක්‍රියාවලියකි. එනම් දේශපාලන කුමන්ත්‍රණයක සහායකයින් බවට නිදහස් මාධ්‍ය ක්‍රියාධරයින් පත්වීමයි.

මෙම සටහන ලියමින් සිටින අවස්ථාවෙහි ලැබුණූ ට්වීට් පණිවිඩයක් මගින් කියැවෙන්නේ එජාප ආණ්ඩුවේ මාධ්‍ය ඇමැති සමරවීර සහ ජනපති සිරිසේන එක්ව රාජ්‍ය මාධ්‍ය බෙදා ගන්නා අන්දම පිළිබඳව එකඟත්වයකට එළඹ ඇති බවයි. ඔවුන්ට අනුව පොදු අයිතියට අයත්, රාජ්‍ය විසින් අයුතු ලෙස පාලනය කරන එකී ජනමාධ්‍ය ඔවුන්ගේ දේපලකි. සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරීමට වීදි අරක් ගත් ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් සමාජයට පිටුපා එජාපය යන සුපුරුදු ගමනෙහි තවත් හැරවුම් ලක්ෂයක් රාජ්‍ය මාධ්‍ය තවදුරටත් දේශපාලන අතකොළු වශයෙන් පවත්වා ගැනීමෙන් සනිටුහන් වෙයි.

1973 ජූලි මාසයෙදී සිරිමා බණ්ඩාරනායක විසින් කොමියුනිස්ට් සහ සමසමාජ පක්ෂයන්හි ඉල්ලීම සහ සහයෝගය ඇතිව ලේක්හවුසිය (ANCL) සිය පාලනයට ගන්නා තුරු මෙරට රාජ්‍යයට අයත් පුවත්පත් තිබුණේ නැත. 1977 අගෝස්තුවෙහි දී ජේ.ආර්. ජයවර්ධන ලංකාදීප සහ ටයිම්ස් ඔෆ් සිලෝන් ප්‍රකාශයට පත් කළ ටයිම්ස් ඔප් සිලෝන් ලිමිටඩ් (TOCL) සිය යටතට ගත්තේ ය. (බංකොලොත් වූ එම සමාගම පසුව රංජිත් විජේවර්ධන විසින් 1985 දී මිලට ගෙන අද පවතින විජය ප්‍රකාශන දක්වා දියුණූ කරන ලදී.) 1979 දී ෂාන් වික්‍රමසිංහ විසින් ITN රූපවාහිනිය ආරම්භ කර දෙමසක් ගතවන විට ජේ.ආර්. ජයවර්ධන එය ද සිය යටතට ගත්තේ ය. ජාතික රූපවාහිනිය යැයි වරදවා නම් කර ඇති, එකී ආයතනය ආරම්භ කරන ලද්දේ ජපානය විසින් මහජන සේවා ජනමාධ්‍යයක් ලෙස පවත්වා ගෙන යාම පිනිස දෙන ලද මුල්‍ය සහ තාක්ෂණික ආධාර මත ය.

ආරම්භක වසර කිහිපයෙන් පසු අද දක්වාම මෙම රාජ්‍ය පාලිත දැවැන්ත මාධ්‍ය යන්ත්‍රය පවතින්නේ බලයට පත්වන දේශපාලන පක්ෂය විසින් දේශපාලනිකව පාලනය කරන ගැති සහ ජඩ මාධ්‍ය ආයතන ලෙස ය. මෙම ආයතන ස්වාධීනව කටයුතු කරන ජන මාධ්‍ය බවට පත් කරන ලෙස අප විසින් කලක් මුළුල්ලේ මතවාදයක් ද ව්‍යාපාරයක් ද ගොඩ නැගූ නමුත් කිසිදු දේශපාලන පක්ෂයක් ඊට දායක වූයේ නැත. එම ව්‍යාපාරය ගොඩ නැගීමට දායක වූ පුද්ගලයින් ගණනාවක් ම දේශපාලන අනුග්‍රහයෙන් එම ආයතනයන්හි ප්‍රධානීන් බවට පත්ව ජඩ මාධ්‍ය භාවිතාවෙහි ම යෙදුණි.

සිරිසේනගේ දේශපාලන කුමන්ත්‍රණයෙන් පසු තොරතුරු දැන ගැනීමේ උනන්දුව සමාජයෙහි උත්සන්න විය. එසේ නමුත් මුල්පෙළ ව්ද්යුත් මාධ්‍ය ආයතන සියල්ල ම වාගේ රාජපක්ෂවාදී මාධ්‍ය භාවිතයක යෙදී සිටි අතර රාජ්‍ය මාධ්‍ය සිරිසේනගේ දේශපාලන පත්වීම් විසින් අල්ලාගෙන තිබුණි. නමුත් මේ සියළු මාධ්‍ය ජනයාට කියා සිටියේ තමන් ඇත්ත මිස වෙන යමක් නොකියන බවයි. එය අමූලික බොරුවකි. පුද්ගලික මාධ්‍ය ආයතනයන්ට රාජපක්ෂවාදී වීමට හෝ රනිල්වාදී වීමට හෝ අයිතියක් තිබේ. එවැනි භාවිතාවක යෙදෙන්නේ නම් එම ආයතනයන්ට ස්වකීය දේශපාලන නැඹුරුව සිය ග්‍රාහකයිනට දැනුම්දීමට යුතුකමක් තිබේ.

එසේ වතුදු ජනමාධ්‍ය භාවිතයෙහි ස්වර්ණම ය රීතිය වන ‘ප්‍රවෘත්ති පූජනීය යි; අදහස් නිදහස් ය’ යන්න සියල්ලන් විසින් ම අනුගමනය කළ යුතුය. ඉන් කියැවෙන්නේ ප්‍රවෘත්ති විකෘති නොකළ යුතු අතර ඊට සපයන විවරණ වෙන වෙනස් විය හැකි බවයි. නමුත් විකාශනය කරන පුවත් මොනවාදැ යි තීරණය කිරීම මගින් පක්ෂග්‍රාහී භාවිතයක යෙදීමට ජනමාධ්‍යයට ඉඩ තිබේ. ආදායම් ලබන ව්‍යාපාරයක් ලෙස ජනමාධ්‍ය පවත්වාගෙන යෑම කරවල විකිණීමට වඩා වෙනස් ය. කරවල විකිණීමට පවා නිසි ප්‍රමිතීන් තිබිය යුතු අතර ජනමාධ්‍ය සඳහා ප්‍රමිතීන් මෙන්ම ආචාර ධර්ම ද තිබිය යුතුය. එසේ නමුත් අද මෙරට කරවල වෙළඳාම සහ ජනමාධ්‍ය විකිණීම අතර එතරම් වෙනසක් බොහෝ මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් දැකිය නොහැකිය.

සිරිසේනගේ කුමන්ත්‍රණය විසින් ඇතිකළ කැළඹීම තේරුම් ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීමට ඊනියා

ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය අසමත් වූ බැවින් එම තැන ගත්තේ සමාජ මාධ්‍ය යි. විශේෂයෙන්ම මුහුණු පොත එහිලා මූලික විය. එහි අදහස් පූජනීයයි යන රීතිය සැලකෙන්නේ ම නැති තරම් ය. සිරිසේනගේ කුමන්ත්‍රණයට එරෙහි විරෝධය ලැව් ගින්නක් සේ පැතිර ගියේ සමාජ මාධ්‍ය විසින් සපයන ලද අවකාශය නිසාය. මේ අවකාශය එකවරම ගින්න ඇවිලවීම පිනිස භූමිතෙල් ද ගින්න පිළිබඳ අදහස් හුවමාරුව සඳහා වේදිකාවක් ද නිර්මාණය කළේ ය.

වඩා සංවරයකින් යුතු ප්‍රවෘත්ති කෙරෙහි වගවීමක් සහිත සමාජ මාධ්‍ය බවට පැමිනුණේ ටිවීටර් අවකාශය යි. අනෙත් අතට එය ඉංග්‍රිසි බසින් එසැනින් තොරතුරු වාර්තාවන ජාලය බවට ද පත්විය. ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනයන් දෙස දෙස් විදෙස් අවධානය ඉස්මත්තට ගිය ඔක්තෝබර් අග සිට දෙසැම්බර් මැද දක්වා වූ කාලයෙහි #SriLanka / #LKA ටිවිටර් ජාලය ප්‍රධානතම එසැණ පුවත් මූලාශ්‍රය බවට පත් විය.

ඊට ප්‍රතිවිරුද්ධව පේස් බුක් නොහොත් මුහුණූ පොත කාටූන්, විත්‍ර, දේශපාලන හාස්‍ය, කෙටි අදහස්, පුද්ගල අත්දැකීම් යනාදිය මගින් විවරණ සපයන වේදිකාවක් බවට පත් විය. කිසිදු මූලාශ්‍රයක් හෝ වාර්තාව සපයන මාධ්‍යවේදියා හෝ වේදිනියගේ නම නොමැතිව හෝ සහමුලින්ම ව්‍යාජ නමින් පළ කැරෙන වෙබ් අඩවි පුවත් ද මුහුණූ පොත අරක් ගත්තේ ය. සිරිසේන කුමන්ත්‍රණය නිසා ඇතිවූ මහජන උද්යෝගයට සරිලන වගකීමෙන් යුතු ජනප්‍රිය අඩවියක්/පිටුවක් මුහුණූ පොත හරහා බිහිවූයේ ද නැත. එහි ජනප්‍රිය වූයේ කැපී පෙනෙන දේශපාලන ලැදියාවන්ගෙන් යුතු පිටු ය. මෙම දුබලතා තිබියදීත් සිංහල බසින් පවත්නා මුහුණූ පොත් අවකාශය ‘ප්‍රධාන ධාරාව’ බවට පත් විය. බහුතර ජනයාට තමන්ගේ ජංගම දුරකතනය මගින් ළගා විය හැකි ලෙහෙසි ම මාධ්‍ය එයයි. සමහර විට එහි සාර්ථකත්වයට එක් හේතුවක් වන්නේ බරපතල දේශපාලන සංවාද මැද හාස්‍ය ද උත්පාදනය කිරීමට මුහුණූ පොත්කරුවන්/කාරියන්ගේ ඇති දක්ෂතාවය යි.

මෙම කාලය තුළ අත්දකින්නට ලැබුණු තවත් මාධ්‍ය වර්ධනයක් වූයේ එතෙර සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව සම්බන්ධ වෙබ් පුවත් අඩවි පසුකරමින් රට තුළ පිහිටි වෙබ් මාධ්‍ය වඩ වඩා ග්‍රාහකයින් කරා ළගා වීම යි. මෙම කාලය තුළ තමන්ගේම වෙබ් මාධ්‍ය ගණනාවක් නිර්මාණය කර ගැනීමට එජාප දේශපාලනඥයෝ කිහිප දෙනෙකු මූලිකත්වය ගත්හ. එනමුත් සිරිසේනගේ දේශපාලන කුමණ්ත්‍රණය පැරදවීමට මහත් වැඩ කොටසක් කළ, ජවිපෙ හෝ දෙමළ සන්ධානය හෝ එවැනි වර්ධනයක් අත් කර ගත්තේ නැත.

දැන් අප, පශ්චාත් සිරිසේන කුමන්ත්‍රණ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයෙහි අත්‍යවශ්‍ය අංගයක් ලෙස ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ ඉදිරියට ගත යුතුය. එමෙන්ම ආචාර ධාර්මික ජනමාධ්‍ය භාවිතය පිළිබඳ සංවාදය ද යළි සෑම මාධ්‍ය අවකාශයක ම සාකච්ජාවට ගත යුතු ය.

19වන සංශෝධනය සාකච්ජා වෙමින් තිබූ අවස්ථාවෙහි රාජ්‍ය ජනමාධ්‍ය ද ස්වාධීන කොමිසමක් යටතට පත් නොකරන්නේ නම් තමන් සහාය නොදෙන බව ප්‍රකාශ කීරීමට ජවිපෙ සහ දෙමළ සන්ධානය පියවර ගත්තේ නම් ලෙහෙසියෙන්ම එම ප්‍රජාතන්ත්‍රවාදී ජය දිනා ගන්නට ඉඩ තිබුණි. මෙම පක්ෂ දෙකටම පෙනෙන අනාගතය තුළ, තමන්ගේ ම හෝ තමන් ද හවුල් වූ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට නොහැකි ය. එසේ තිබියදීත් ඔවුහු රාජ්‍ය පාලිත ජනමාධ්‍ය බලයේ සිටින පක්ෂයේ බූදලයක් ලෙස ලියා දීමට කැමැත්තෙන් සිටින්නේ ද යන ප්‍රශ්නය අද තීරණාත්මක ය.

සිවිල් සමාජ ක්‍රියාධරයන් ලෙස අප ඍජුව ම මුහුණ දෙන ප්‍රශ්නයක් නම් දේශපාලන පක්ෂ මතවාදයන්ට පිටින් ස්වාධීන මාධ්‍ය අවකාශයක් නිර්මාණය කර ගැනීම හෝ පවත්නා අවකාශ ශක්තිමත් කිරීමයි. මෙහිලා ද කර්තෘ කේන්ද්‍රීය වෙබ් මාධ්‍යයන්ගෙන් බැහැර වීම අවශ්‍ය ය.

මර්දනකාරී රාජ්‍යයකට එරෙහි ගරිල්ලා භටයකු විනය, අතනෑර සිටීම, මතවාදී නිරවුල් බව යනාදිය පමණක් නොව තුවක්කුව පාවිච්චි කිරීමට ද අනිවාර්යයෙන් ම ඉගෙන ගත යුතුය. අද යුගයෙහි සමාජ ජාල භාවිතය පුහුණු වී දියුණූ කර නොගන්නා සිවිල් සමාජ ක්‍රියා ධරයකු සමාන වන්නේ වෙඩි තැබීමට නොදන්නා ගරිල්ලා භටයකුට ය.

නිපුණ සමාජ ජාල ක්‍රියාකාරීන්/කාරිනියන් සියයක් රට පුරා විසිරී ජාල ගතව සිටින සිවිල් සමාජ සංවිධානයක් ඇත්නම් එය අද කොතරම් බලවත්වනු ඇත්දැයි නිකමට සිතන්න. එය දහසක් බවට පත්වුවහොත් ඇත්ත පුවත් වාර්තා කිරීමේත් මත නිපදවීමේත් කොතරම් ශක්තියක් එවැනි ජාලයකට හිමිවනු ඇත්ද?

ප්‍රධාන ධාරාවේ ගැති මාධ්‍ය හැසිරීම විවේචනය කරන ජනමාධ්‍යවේදිනියන් සහ වේදීන් එක්ව මුල්‍ය දායකත්වයක් සහතික කර ගනිමින් අාචාරධර්මානුකූල සහ කාර්යක්ෂම වෙබ් පුවත් අඩවියක් ගොඩ නැගුව හොත් එවැන්නක්ද මහත් බලපෑමක් අත් කරගන්නට ඉඩ තිබේ.

2019 මැතිවරණ වර්ෂයක් වන්නේ යැයි කියනු ලැබේ. ඒ සන්දර්භයෙහි අප අමතක නොකළ යුතු කාරණයක් වන්නේ එළඹෙන මැතිවරණ සටන් හි තීරණාත්මක අවකාශයක් බවට සමාජ ජාල පත්වනු ඇති බවයි.

අපට පමාවීමට කාලයක් නැත.

Back to Top