Sri Lanka Brief
පුවත්විවරණහොඳ මොළ එක්කර නව මාවතක් සොයමු! – ජයතිලක ද සිල්වා

හොඳ මොළ එක්කර නව මාවතක් සොයමු! – ජයතිලක ද සිල්වා

by

 පසුගිය 26 වැනි දා ජනාධිපති තුමන් විසින් නව අගමැතිවරයෙක් පත් කරනු ලැබීය. ඒ 2015 අගෝස්තුවෙහි පාර්ලිමේන්තු මැතිවරණයෙහි දී බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් හෙයින් පාර්ලිමේන්තුවෙහි බහුතර කැමැත්තෙන් තෝරා ගත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටියදීම ය. අගමැති අස් කළ බව ජනාධිපතිතුමන් කීව ද ව්‍යවස්ථානුකූල ව තවමත් තමා අගමැති යැයි වික්‍රමසිංහ මහතා පවසයි. මෙහි ප්‍රතිඵලය වන්නේ එක්වර අගමැතිවරුන් දෙදෙනකු සිටීමෙහි අසාමාන්‍ය සහ අවිනිශ්චිත තත්ත්වයකට රට ඇද වැටීම ය. නිදහස් ශ්‍රී ලංකාවෙහි පෙර නොවූ විරූ ව්‍යවස්ථාමය අර්බුදයක් එයින් ජනිත ව ඇත.

ජනාධිපති තුමන් ගත් පියවරෙහි ව්‍යවස්ථානුකූලත්වය පිළිබඳ මහත් විවාදයක් රටෙහි පවතී. නීති විශාරදයන් සහ සියල්ල දත් දේශපාලනඥයන් ගේ ප්‍රකාශ ද ජනතාව ගේ සිත් සතන්හි පවත්නා වියවුල දුරු කිරීමට උදවු ව නැති සේය. ඔවුහු තවමත් කම්පිත ව සිටිත්. ඇති ව තිබෙන තත්ත්වය යුක්තියුක්ත කිරීමට අතීත පූර්වාදර්ශ ද ගෙන හැරැ පානු ලැබේ. එහෙත් වර්තමාන සන්දර්භයෙහි දී ඒවා වලංගු නොවන්නේ ව්‍යවස්ථාවෙහි ඇති කරන ලද සංශෝධන හේතුවෙන් ම ය. නිදසුනකට අගමැති දි මු ජයරත්න ඉවත් කිරීම සහ දැන් අගමැති වික්‍රමසිංහ ඉවත් කිරීම සමාන කළ නොහැකි වන්නේ දැන් 19 වැනි සංශෝධනය හේතුවෙනි. අපේ මතය අනුව අගමැති වික්‍රමසිංහ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති වශයෙන් පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, එහි 19 වැනි සංශෝධනයට පටහැනි ය. එයට අනුව අගමැතිවරයා ඉවත් කළ හැකි අවස්ථා තුනක් පවතී. අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වීම, පාර්ලිමේන්තුවෙහි විශ්වාස භංග යෝජනාවකින් පරාජය වීම හෝ අය-වැය යෝජනාව පරාජය වීම ය. මේ එකක් වත් සිදු ව නැත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය පාලක සන්ධානයෙන් ඉවත් වීම නිසා සම්මුති ආණ්ඩුව ඉබේ ම අහෝසි විනැයි ද, එහෙයින් ජනාධිපති තුමන් ගත් පියවර ව්‍යවස්ථානුකූල යැයි ද කියනු ලැබේ. එහෙත් පාලක සන්ධානවලින් එක් පාර්ශ්වයක් ඉවත් ව ගිය පසු ද ආණ්ඩුව දිගට ම පවත්නා බවට ජාත්‍යන්තර පූර්වාදර්ශ එමට ය. මවු පාර්ලිමේන්තුව ලෙස සැලැකෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් ද එබඳු පූර්වාදර්ශ සැපැයෙයි. එවන් අවස්ථාවන්හි ද ආණ්ඩු ඉවත් කළ හැකි වන්නේ පාර්ලිමේන්තුව තුළ විශ්වාස භංග යෝජනාවක් මඟින් පමණකි.මෙහි දී වැදගත්ම කාරණය ජනාධිපති තුමන් ගේ ක්‍රියාව 2015 ජනවාරි 8 ජන වරමට සහ එය අනුමත කළ 2015 අගෝස්තු මහා මැතිවරණ ජන වරමට පටහැනි ව යාම ය. එයට දේශපාලන හෝ සදාචාරමය හෝ සුජාතභාවයක් ලැබෙන්නේ නැත.

ජනාධිපති තුමන් ගත් පියවර හැඳින්විය හැකි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ යුක්තියට එල්ල කළ ප්‍රහාරයක් සේ ය. යහපාලනය ශක්තිමත් කිරීම සඳහා එය යමපාලනය ලෙස දක්වමින් එයට අද වන තෙක් ම අභියෝග කළ බලවේගය සමඟ ම, ගෝත්‍රික හා ඒකාධිපති පාලකයෙකැ යි ජනතාව විසින් පිටුදක්නා ලද තැනැත්තා සමඟ ම එකතු ව ප්‍රජාතන්ත්‍රය සහ මානව හිමිකම් ශක්තිමත් කරන බවට ජනාධිපතිවරයා පවසන කතාව අත දරුවකු වත් විශ්වාස නොකරන තරම් ය.පැන නැඟ ඇති ව්‍යවස්ථාමය අර්බුදයට ව්‍යවස්ථානුකූල විසඳුමක් සොයන මෙන් අපි දෙපාර්ශ්වයෙන් ම ඉල්ලා සිටිමු. ඒ අතින් බලන කල පාර්ලිමේන්තු සැසි වාරය කල් තැබීම ව්‍යවස්ථානුකූල වුව අනුවණ ක්‍රියාවකි. පාර්ලිමේන්තුව යුහුසුළු ව රැස් කර විසඳුමකට එළැඹීම හදිසි අවශ්‍යතාවක් වන්නේ එහෙයිනි.
ජනතාව ප්‍රකෝප විය හැකි කියුම් කෙරුම් වලින් වැළැකෙන ලෙස අපි දෙපාර්ශ්වයෙන් ම ඉල්ලා සිටිමු. කවරාකාරයෙන් වුව ප්‍රචණ්ඩත්වයකට මඟ පෑදීම දුක් විඳින ජනතාව කබලෙන් ළිපට ඇද දැමීමක් වනු ඇත. බාහිර බලවේගවලට මෙහි කටයුතුවලට අත පොවන්නට අවස්ථා උදා කර දීමක් වනු ඇත.

අප රට කලක් තිස්සේ පවත්නා අර්බුදයක වෙළී ගිලී පවතී. එය සමාජ ආර්ථික, දේශපාලන, සාංස්කෘතික හා නෛතික යනාදී සාර්වාංශික ය. පාලකයෝ ද එය පිළිගනිත්. එයට මෙතෙක් රට පාලනය කළ සියලු දේශපාලන පක්ෂ වගකිව යුතු ය. ප්‍රධාන වශයෙන් ම එජාපය, ශ්‍රීලනිපය සහ දැන් පොදු ජන පෙරමුණ වශයෙන් හැඳින්වෙන පිරිස ද අයත් ය.

රට බේරා ගන්නවෝ යැයි කෑමුර ගැසුව ද මේ එක ද කණ්ඩායමකට වත් විසඳුමක් නැත. ඔවුන් දන්නේ ජනතාවට පටි තද කර ගන්නට කියමින් සිය උදර පෝෂණය සඳහා තමන් ගේ පටි බුරුල් කර ගැනීම සහ අල්ලසෙහි, නාස්තියෙහි, දූෂණයෙහි සහ කාමසුඛල්ලිකානු යෝගයෙහි ගැලීම පමණකි. ඔවුන් සියල්ලන් ම කරන්නේ අවිචාරයෙන් බටහිර නව ලිබරල් දර්ශනය හඹා යාමට වැඩි දෙයක් නො වේ. ගිරවුන් මෙන් විදේශ ආයෝජන ගුණ ගායනා කළ ද රටට වුවමනා කවර ආයෝජන ද?, කවර ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාව දිය යුතු ද? යනු සොයා නොබලන ඔවුහු පෞද්ගලික ලාභ ප්‍රයෝජනවලට මුල් තැන දෙති. ඔවුන් සියල්ලෝ ම රාජ්‍ය පරිපාලනයට මෙන් ම මූල්‍ය කළමනාකරණයට ද අසමත් ව ඇත්තා හ. නීතිය සහ සංවරය අනතුරේ ය. රට අරාජිකත්වයෙහි මුව විතය.

කවරෙකු අගමැති වුව රට ගොඩගන්නට මෙම එක ද නඩයකට වත් නොහැකි ය. තනි තනි වත් නොහැකි ය. හවුලේ වත් නොහැකි ය. ඒ අපේ අත්දැකීම ය. එහෙත් විකල්පයක් තවමත් ක්ෂිතිජයෙහි පහළ ව නැත. ඇති හැකි අය රට හැර යති. නැති බැරි අය පමණකි අවසානයෙහි මෙහි රැඳෙන්නේ.

අපි කුමක් කරමු ද? පාලකයනට බැණ වදිමින් හෝ කරුමයට ඉඩ දෙමින් හෝ දෑත් බැඳ බලා සිටිමු ද? නැතහොත් කිසි යම් ගැලැවුම්කරුවකු සොයා යමු ද? ඒකාධිපතියකු හෝ දියසේන කුමාරයකු පහළ වන තෙක් බලා සිටිමු ද? නැත. අපට එසේ කළ නොහැකි ය. අපේ ජනතාව ඊට ඉඩ නොදෙනු ඇත. රට ගලවා ගත හැකි වන්නේ අපට ම ය. ජනතාවට ම ය. එහෙයින් වසර 70 ක් ආ මඟින් බැහැර වන නව මාවතක් අපි ම සෙවිය යුත්තෙමු. ජාතියෙහි හොඳම මොළ ඒ සඳහා එක් තැන් කළ යුත්තෙමු.

ජනතා දුක හඳුනන සහ ජනතාවාදී පිළිවෙතක් ගෙන යන නව සමාජ බලවේගයක් ගොඩනැඟීම සහ ඒ තුළින් විකල්ප සංවර්ධන මාවතකට පිවිසීම හදිසි කටයුත්තකි. එය ප්‍රගතිශීලීන් ගේ සැබෑ දේශප්‍රේමීන් ගේ වගකීම ය. එවැන්නෝ එක්සත් වෙත්වා!

(සත්‍යයට පිටුපෑම ආ වැඩීම නමින් ලංකාදීප පුවත්පතෙහි පළ වූ ලිපියයි)

Back to Top