Sri Lanka Brief
පුවත්විවරණසොරිසේනගේ සිහිනලන්තය

සොරිසේනගේ සිහිනලන්තය

by

“හව් කැන් වි ට්‍රස්ට් දිස් ගයි,” වත්මන් අගමැති මෙන්ම දෙමල සංධානයේ නායක සම්බන්ධන් චන්ද්‍රිකා මැතිණියගෙන් ඇසුවාය. එවිට ඇය තම අත ඇගේ පපුවේ තබා සපත කරගනිමින්, ඔහු විශ්වාස කළ හැකි බවත්. ලෝකයේම අපවාදයට ලක් වී ඇති අපේ රට ඉන් ගලවා ගැනීමට ඔහුට හැකි බවත් තරයේ කියා සිටියාය.


විශේෂ ලියුම්කරුවකු විසිනි/ශ්‍රී ලංකා ගාර්ඩියන් .

රට අරාජික කොට අදට සතියකි. සතියක් පුරා ලෝකයේ අපවාද වලට ලක් වීම හැර වෙනත් කිසිම යහපත් දෙයක් සිදු වූයේ නැත. ඊට අමතරව ව්‍යාජ දේශප්‍රේමය දෝරේ ගලා යමින්, තම තමන්ගේ දේශපාලනය රැක ගැනීමට බොහෝ දෙනෙකු දිවා රෑ නොබලා කටයුතු කරති. ජනාධිපති සිරිසේන මහතාගේ සහෝදරයකු, ජනාධිපතිවරයාගේ පැත්තට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බා ගැනීමේ මෙහෙයුමේ ප්‍රධාන චරිතයක් රඟපාන බව වීඩියෝ වලින් පවා හෙළිවීමෙන් ඔප්පු කරනු ලබන්නේ, සිරිසේන මහතා සෑම මොහොතකම නන්දොඩවන “ප්‍රබුද්ධ සමාජය” තමන්ගේ ගෙදර අහුමුලු වල ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්නය.ඔහු ඉතාම දක්ෂ නළුවෙකි. වත්මන් දේශපාලන රටාව වහල් හිමියා සහ වහලා අතර ඇති සම්බන්ධයෙන් වෙනස් වන්නේ ඉතාම සුළුවෙනි. අලංකාර වචන වලින් වසා දමනු ලැබූ දූෂිත-කැත කම් වලින් පිරුණු වැසිකිළිවල අපි දේශපාලනය යැයි හඳුන්වන්නේය.

මෙරට දේශපාලන සංස්කෘතිය දකින ඕනෑම අයෙකුට, බලයට සහ මුදලට ඇති කෑදරකම, තම ආත්මගරුතවයට වඩා වටිනා බව යළි යළිත් ඔප්පු වේ. එනයින්, බලන කල සිරිසේන මහතා රටේ දේශපාලනය අවසානයේදී රැගෙන විත් ඇත්තේ, ඔහුට කිසිදිනක ආත්මාභිමානයෙන් මියැදීමට හෝ හැකි වටපිටාවකට නොවේ.

සේනානායක ජාතියේ පියා විය. බණ්ඩාරනයක සිංහල කමට මූලිකත්වය දීමට උත්සහ කළේය. සිරිමා බණ්ඩාරනායක නොබැඳි ජාතීන්ගේ ප්‍රතිපත්ති ප්‍රතිපත්ති ඔස්සේ රටේ විදෙස් ප්‍රතිපත්තියට කොන්දක් දුන්නාය. ජේ.ආර්. වෙළඳපොල යාන්ත්‍රණය වෙනස් කළේය.ප්‍රේමදාස පිදුරු වහලට උළු සෙවිලි කොට, පාසල් දරුවන්ට නිල ඇඳුම් දී කුසගින්න නිව්වේය. චන්ද්‍රිකා සමෘද්ධිය ගෙනාවාය. රාජපක්ෂ සන්නද්ධ ගැටුම් නිමා කළේය, නමුත් ගැටුමක් නැති සාමකාමී වටපිටාක බොහෝ දෙනෙකුගේ ආශිර්වාදය මැද රටේ බලයට පැමිණි ජනාධිපති සිරිසේන මහතා, වසර තුනක් වැනි කෙටි කාලයක් තම දේශපාලනය තමන් විසින්ම ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අපවාදයට ලක්කර ගත්තේය. ඉතිහාසයේ ඔහු ගැන ලියවිය හැක්කේ, “ව්‍යවස්ථාව තමන්ට අභිමත ආකාරයෙන් අර්ථ නිරූපණය කරමින් කුමන්ත්‍රණයක්” කළ දේශපාලනඥයෙකු ලෙසය. ලංකාවේ “දේශපාලන කුමන්ත්‍රණකරුවා” ලෙස ඔහු ඉතිහාසයට එකතුවනු ඇත.

තම දෙවැනි වාරය සඳහා ගැසීමට ගිය ගැටය වෙනම ආකාරයකින් ඔහුටම එරෙහිව නිර්මාණය වී තිබේ. මෙය මෙරට සිටි සෑම විධායක ජනාධිපතිවරයෙකුටම සහ වරියට මුහුණ දීමට සිදු වූ යථාර්තය වේ. තමන්ගේ ධූර කාලය තුළ කරගත් අත්වැරදී තුනක් ගැන සඳහන් කරමින් වරක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිණිය කියා සිටියේ, එවකට පැවති ආණ්ඩුවේ අමාත්‍යංශ තුනක් බලෙන් පවරා ගැනීම ඇය කළ එක් ප්‍රධාන වරදක් බවයි. එසේම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කරගත් එක් ප්‍රධාන වරදක් වූයේ වසර දෙකක් බලයේ සිටීමට තිබියදී බල තණ්හාව සංසිඳුවා ගැනීම සඳහා හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමය. මේ වන විට ජනාධිපති සිරිසේන මහතා එම හාස්‍යජනක වැරැද්ද නව ආකාරයකින් සිදු කරමින්, තමන්ගේ සහ තම සහෝදරයාගේ මුදල් වලින් කෘතීම බහුතරයක් පාර්ලිමේන්තුවේ තැනීමට උත්සහ කරමින් සිටින්නේය. මෙය රටේ ජනතාව හොඳින් දන්නේය.

ඉතාම විනයානුකූල ජනාධිපතිවරයෙක් යැයි ලෝකයේ ජනාදරයට පාත්‍ර වූ සිරිසේන මහතා අවසානයේදී රට තුළ නිර්මාණය කොට ඇති දේශපාලන සංස්කෘතිය ඉතාම අශීලාචාරය. රටේ වෙසෙන අසරණ මිනිසුන් මුලාවේ හෙලමින් මෙවැනි කටයුත්ක් කිරීම ඇත්ත වශයෙන්ම කිවහොත් ආත්ම ගණනකින්වත් වන්දි ගෙවීමට නොහැකි පාප කර්මයකි. එය වසා ගැනීම සඳහා, “මා මැරුවත් ෆෙඩරල් දෙන්නේ නෑ” , “මා මැරුවත් උතුරු නැගෙනහිර එකතු කරන්නේ නෑ,” වැනි සංවේදී ඕලමොට්ටල කතා සිංහලයින් කිහිපදෙනකු පිනවීමට සමත් විය හැකිය. නමුත් ඉන් ඔහුට හෝ සමස්ථ රටට ඇතිවන සුගතියක් නැත.

සත්‍යය වශයෙන්ම පැවසුවහොත්, පෙඩරල් දෙන්නේ නෑ; රට බෙදුවොත් බෙල්ල කපා ගන්නවා යැයි කියා රටේ සිංහලයින් අනාථකොට තමන්ගේ පෞද්ගලික වාසි ලබාගත් පිරිස් ඇතිකළ හානිය, රට බෙදීමට සටන් කල වුන් කළ හානියට වඩා සුවිශාලය. සිරිසේන මහතාද අවසානයේ, ගිලෙන්න යන මිනිහා පිදුරු ගෙහෙත් එල්ලෙන්නා සේ, ජාතිවාදය නමැති ව්‍යාකූල සහ ව්යාාජ සමාජ සැහැසිකම තමන්ගේ දේශපාලන වාසිය සඳහා භාවිතා කරමින් සිටින්නේය. ඔහු අඩුම තරමින්, චම්පික රණවක වැනි දේශපාලනඥයෙකුගෙන් හරි හැටි ඉගෙන ගත්තේ නම් මෙවැනි යුගයක මෙවැනි ව්‍යාජ රඟපෑමක නිරත වන්නේ නැත.

සිරිසෙන් මහතා විසින් රට තුළ ඇතිකොට ඇති කැත සංස්කෘතිය ඔහුගේ අනුගාමිකයින් විසින්ද පෙන්වමින් සිටිති. එය සිරිසේන මහතාට කිසිම දිනෙක රට සහ රටේ මිනිසුන් වෙනුවෙන් ස්ථීර ප්‍රතිපත්ති ඇතුළත් වැඩපිළිවෙලක් නොතිබූ බව සනාථ කරනු ලබයි. එක්තරා පැත්ත පනින අයෙකු මාධ්‍යය ඉදිරියට පැමිණ කියා සිටියේ, මොන ආණ්ඩුව බලයට පැමිණියද තමන් ඒ ආණ්ඩුවේ ඇමති කෙනෙකු බවය. එසේම, නීති විශාරධයෙකු ලෙස පෙනී සිටින අයෙකු පක්ෂය මාරු කිරීමෙන් පසු, ඔහුගේ නීති තර්ක සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. මෙවැනි මිනිසුන් ජීවත් වන්නේ ආත්මයක් සමගද යන්න බරපතළ ගැටලුවකි.

අමාත්‍යය පාඨලී චම්පික රණවක මහතා මෙය හඳුනාගෙන සිටින අයුරු සැබවින්ම ආකර්ශනීය වේ. ඔහුට ඉතාම ඉහල ඉල්ලුමකට මෙම ජාතිවාදී කඳවුරේ ලැගුම් ගත හැකිය. එනමුත් ඔහු ඔහුගේ දේශපාලනය තුළ සිටින සැබෑ සතුරන් ගැන මනා පරිචියෙන් විමසා බලා ඇති සැටියෙකි. එසේම වත්මන් දේශපාලන සන්දර්භය මනාව තම ග්‍රහණයට නතුකර ගැනීමට සමත් වී තිබේ. ඔහු සඳහන් කරන පරිදි, පාර්ලිමේන්තුව යළි කැඳවීමෙන් පසු ප්‍රතිඵලය කුමක් වුවත් ජනාධිපති සිරිසේනගේ දේශපාලනය අහවර වී ඇති බවය. සතියක් පුරා ඇදෙන දේශපාලන අරාජිකත්වයේ සැබෑ ඇත්ත එයයි. සිරිසේන ජනාධිපතිවරයා දැන් මුහුණ දී සිටිසෙන්නේ තමන්ගේ පළමුවාරය හෝ ආරක්ෂාකරගෙන නම්බු පිටින් ගෙදර යෑමට හැකි පාරක් තිබේද යන ප්‍රශ්නයටය.

තමන් සිහිනෙන්වත් නොසිතන තනතුරක් තමන්ගේ ඔලුවේ තැබූ විට එය කළමනාකරණය කිරීමට මනා පරිචියක් නොමැත්තේ නම්, ඕනෑම පුද්ගලයකුට මුහුණ දීමට සිදුවන සැබෑ විපාකය එයයි. දේශපාලන දර්ශනය ශක්තිමත් කර ගැනීම සඳහා එය විවේචනය කරන්නා ක්‍රමානුකූලව තමන්වෙත ආකර්ෂණය කර ගැනීම වෙනුවට, විවේචකයාගෙන් පළිගැනීම කෙටිකාලීන තෘප්තියට පමණක් හේතුවේ.

මෙහිදී යම් කිසි වැදගත් කාරණයක් මතක් කළ යුතුය. 2015 ජනාධිපති වීමට පෙර, පොදු අපේක්ෂකයා ලෙස සිරිසේන මහතා තෝරා ගැනීමට තීරණය කළ ප්‍රධාන චරිතය වූයේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියය. එහිදී ඇයට මුහුණ දීමට සිදු වූ සිදුවීමක් මෙහිදී පළමුවරට ලියා තැබීම වැදගත් යැයි සිතේ. සිරිසේන මහතා පොදු අපෙක්ෂකයා ලෙස තෝරා ගැනීමේ යෝජනාව රැගෙන, චන්ද්‍රිකා මැතිණිය වත්මන් අගමැති වික්‍රමසිංහ මහතා සහ දෙමල සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා හමුවූවාය. දෙදෙනාටම එක් ප්‍රධාන ගැටලුවක් තිබුණි. එනම් සිරිසේන මහතා විශ්වාස කරන්නේ කෙසේද යන්නය. “හව් කැන් වි ට්‍රස්ට් දිස් ගයි,” වත්මන් අගමැති මෙන්ම දෙමල සංධානයේ නායක සම්බන්ධන් චන්ද්‍රිකා මැතිණියගෙන් ඇසුවාය.

 

Maithripala Sirisena

එවිට ඇය තම අත ඇගේ පපුවේ තබා සපත කරගනිමින්, ඔහු විශ්වාස කළ හැකි බවත්. ලෝකයේම අපවාදයට ලක් වී ඇති අපේ රට ඉන් ගලවා ගැනීමට ඔහුට හැකි බවත් තරයේ කියා සිටියාය. ඉන් පසු අගමැති වික්‍රමසිංහ මහතා මෙන්ම අනෙකුත් පාර්ශවයන් එකතු වී මෛත්‍රී රැල්ලක් රට පුරා ඇති කළේය. රටේ ජනතාව යුහුසළු වෙමින් නව නායකයාට රටේ තිබූ අප්‍රසන්න දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ඉතා විශාල සහයෝගයක් ලබා දුන්හ. එය කෙතරම් ශක්තිමත් බලවේගයක්ද කිවහොත්, ඒ වන විට පැවති පරිපාලනයේ බරපතළ අතවරයට ලක් වී තිබු ආරක්ෂක අංශ වල සේවය කළ සීයට අසුපස්දෙනෙකු පමණ මෛත්‍රී රැල්ල ඔස්සේ තනන මෛත්‍රී යුගය ගැන සිහින දුටුවෝය. මැතිවරණයේදී ඊට තම කැමැත්ත පල කළෝය.

අනෙක් පසින් පරදින බව සිහිනෙන්වත් නොසිතු මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ පරාජයෙන් පසු නිවසට ගොස් කියා සිටියේ, ඔත්තු සේවා වලින් තොරතුරු ලැබුනත් ඒ කිසිවක් තමන් මායිම් නොකළ බවය. මන්ද එපමණකට ඔහුට ඔහුගේ සගයා විශ්වාසවන්තයකු විය. මුහුණ දීමට නියමිත දේශපාලන වින්නැහිය ගැන පිටු හතරක ලිපියක් ලියනු ලැබුවේ එවකට කතානායක ධූරයේ සිටි, චමල් රාජපක්ෂ මහතාය. එයද මහින්ද රාජපක්ෂ මහතා ගණනකට නොගත්තේය. නමුත් ප්‍රතිඵලය ඉතාම සහාසික විය.

මෙහි ඛේදවාචකය ඇත්තේ එය නොවේ. වසර තුනක් වැනි කෙටි කාලයක් ඇතුලත රාජපක්ෂ මහතා වටා ගොඩනැගුණු දේශපාලන බලවේගයක් තිබුණි. ඔවුහුගේ අපේක්ෂාව වූයේ, පිළිගත් ක්‍රමයකින් යලිත් ඔහුව රටේ පාලනයට ගෙන ඒම මිස, හොරෙකු ලෙස පසුපස දොරෙන් පැමිණ ලෝකය හමුවේ බරපතළ අපවාදයට ලක්වීම නොවේ. බොහෝ ගම් වල ඇති ගෙවල් වල නිතර ඇසෙන කාරණයක් වන්නේ, ඇතැම් පිරිමින් විවහා වී සිටින ස්ත්‍රීන්ගේ නිවෙස් වලට රිංගීමය. ඔවුහු එලෙස රිංගන්නේ සහ ඉන් පිටවන්නේ පිටුපස දොරෙනි. මේ නිසා, නිවසට ඇතුළුවීමේ පහසුවට පිටුපස දොර මදක් අඩවල් කර තබන්නේය. රාජපක්ෂ මහතා රටේ ජනතා කැමත්තෙන් නීතියානුකූලව බලයට පැමිණ තම ගරුත්වය සහතික කර ගැනීම වෙනුවට සිදුකොට ඇත්තේද, ඒ හා සමාන කටයුත්තකි. එය ඔහුගේ දිගුකාලීන දේශපාලනයට ඉතාම අයහපත් දෙයකි.

රාජපක්ෂ මහතා පළමුවත්, දෙවනුවත්, එකම පුද්ගලයා අතින් ලෝකයා හමුවේ ලැජ්ජාවට පත්වීම සහ හාස්‍යයට ලක්වීම, ආත්ම ගණනාවක සිට පැවතෙන වෛරයක් බඳුය. මෙහි ඇති ගැඹුර තේරුම් ගත් මහින්ද රාජපක්ෂ මහතා කඩිනම් මහමැතිවරණයක් ඉල්ලා සිටින්නේ මේ නිසා විය හැකිය.

ජනාධිපති සිරිසේන මහතා මේ සියලු රැවටීම් කරනු ලැබුවේ කුමක් අරමුණු කරගෙනද යන්න මෙහිදී මතුවන මූලික ගැටලුව වේ. එය පෞද්ගලික අවශ්‍යයතාවයන් හැරෙන්නට වෙනයමක් සේවයක් ලබාදීම උදෙසා නොවේ. නමුත් ඔහුගේ දුර්වල සහ පෞද්ගලික ආසාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා තනාගත් මූලික ප්‍රතිපත්ති සහ උපායන් වලින් කිසිම හොඳක් රටට සිදු වන්නේ නැත.

වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ දේශපාලනික වශයෙන් රට යළිත් ලෝකය හමුවේ අපවාදයකට ලක් කිරීම සුලුපටු නොවේ. චීනය හෝ වෙනයම් තනි රටකට මෙරට පවතින ගැටලු විසඳීමට නොහැකිය. එසේම, ලංකාව පොළොන්නරුව ලෙස සහ ලෝකය ලංකාව ලෙස සිතා ජීවත් වන මානසිකත්වයකින් රටේ ගැටලු විසඳිය නොහැකිය. සිරිසේන මහතාට ” පෙරදිග” යැයි සම්මත කරගත් කලාපයට අවනත වෙමින් “බරහිර” යැයි සම්මත කරගත් ලෝකය ප්‍රතික්ෂේප කළ හැකිය. නමුත්. එය අසාර්ථක බව මීට දශක ගණනාවකට පෙර ශ්‍රී ලංකාව විසින්ම ඔප්පු කොට තිබේ. නොබැඳි ජාතීන්ගේ ප්‍රතිපත්ති, මෙරට විදේශ ප්‍රතිපත්තියේ කොඳු නාරටිය වූයේ ඒ නිසාය. මෙරට නිෂ්පාදනය කරන භාණ්ඩ වලින් වැඩිම ප්‍රමාණයක් දැනටත් මිළදී ගනු ලබන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයය. එසේම එක්සත් රාජධානිය, ප්‍රංශය, ඉන්දියාව සහ ඉතාලිය,මෙරට නිෂ්පාදනය කරන දෑ මිළදී ගන්නා ප්‍රධාන රටවල්ය. චීනය අපේ නිෂ්පාදන කෙතරම් ප්‍රමාණයක් මිලදී ගන්නේද යන්න දන්නෝ දනිති. මෙම හරයන්ට සහ ඇත්තට පයින් ගසා, සිරිසේන මහතාට තම පෞද්ගලික ආසාවන් සංතෘප්ත කරගත හැකිය. එනමුත් ඉන් රටට සහ රටේ ජනතාවට යහපතක් අත්වන්නේ නැත.

මේ සියල්ල අවසානයේ, බල තණ්හාවට ගොස් අමාරුවේ වැටුණු සිරිසේන ජනාධිපතිවරයා සිහින දකිමින් රට අපුලේ හෙලීම ගැන රටේ ජනතාව සුසුම් හෙලනු ඇත. මෙම සමස්ථ නාඩගම අවසානයේ යමෙකු මෙසේ කියනු ඇත, අනේ හිටං-හුටං වූ සොරිසේනගේ සිහිනලන්තය.

ශ්‍රී ලංකා ගාර්ඩියන්

Back to Top