Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගසමනල්ලු සහ මාපිල්ලු – රංජිත් හේනායකආරච්චි

සමනල්ලු සහ මාපිල්ලු – රංජිත් හේනායකආරච්චි

by

ඡායාරූපය: සිරා – මරා ව්‍යවස්ථා කුමංත්‍රණයට විරෝධතා දක්වන සිවිල් පුරවැසි ප්‍රජාව පහන් දල්වා සමණල රෑපයක් මෑවූහ, ‘ අප මෙහි නැගි සිටින්නේ මානව හිමිකම්ථ ප්‍රජාත්න්ත්‍රවාදය සහ සමණලුන් උදෙසාය’ එහි තිබූ වැකියයි. ( ට්විටර් ජායාරූපයකි)

මම සමනලුන්ට ප්‍රිය කරමි. ඒත් මම මාපිලුන් ට බිය වෙනවා මෙන්ම ඔවුන් මට හිරිකිතය. ඊයේ ලංකාවේ ජනාධිපති සිරිසේන දස දහස් ගණන් මිනිසුන් හමුවේ සමනලුන් රෑනක් ගැන කියමින් සමච්චලයෙන් සිනාසෙන්නේ මේ රටේ ජනයාගෙන් සුළු ජන කණ්ඩායමක් ලෙස ගැනෙන සමරිසි ජනයා ගැනයි. ඇත්තටම ජනාධිපති සිරිසේන වැනි ග්‍රාම්ය මිනිසුන් හැර මෙවැනි කතා හැදියාවක් ඇති අය අද වැනි නූතන ලෝකයේ නොකියයි. එසේ නැත්නම් එවැනි කතා කියන්නේ පැසිස්ට් මතවාදීන් පමණි. ජනාධිපති සිරිසේනගේ මේ කතාවෙන් ගම්‍ය වන වචනාර්ථය සහ ව්‍යංගාර්ථ යන දෙකින්ම සිරිසේනගේ අමනකම එළිදරව් වේ. සමනලුන්ට වචනාර්ථයෙන් හැමෝම ප්‍රිය කරති. සමනලුන් කිසිවෙකුට හානියක් නොකරන බව පැහැදිලි සත්‍යයකි‍. රනිල් වික්‍රමසිංහ සමනලයකු ලෙස නම් කිරීම තුල ඔහුට කර ඇත්තේ වැදගත් තැනක් දීමය. ඇත්තෙන්ම සැබෑ රනිල් වික්‍රමසිංහ සමනලයෙක් නම් නොවේ. සිරිසේනගේ මේ කියමනේ ව්‍යංගාර්ථය ගත් විට ඔහු සමච්චල් කරන්නට තනන්නේ තාමත් අප රට තුළ සමාජ අසාධාරණයට ලක්ව ඇති සුළු ජන කණ්ඩායමක් ගැනයි. එසේනම් සිරිසේනගේ සදාචාරය රෙද්දපල්ලෙන් පෙරෙණ එකක් නොවන්නේ ද?

අවසන් නොවූ සිරිසේන නාඩගම

නමුත් සිරිසේනගේ දේශපාලන නාඩගම තාම අහවර වී නොමැත. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට යයි කියා කතාවක් තිබේ. පාර්ලිමේන්තුව තුළ සිටින ගෙම්බන් එහාට මෙහාට පැනීම අවසාන වන්නේ යම් දිනක පාර්ලිමේන්තුව කැඳවා එහි බලය එක කණ්ඩායමකට හිමි වීමෙන් පසුවයි. ඒ දිනය එනතුරු මෙම ජනතා නියෝජිතයන් යැයි කියාගන්නා මන්ත්‍රීවරුන් මුදලට හෝ තානාන්තරවලට තමාව විකුණන බව දකින්නට තිබෙන කාරණයයි.

සිරිසේනගේ වචනයට අනුව ඔහු සමනලුන් ගෙන් ඈත් වී අතිනත් ගන්නේ කා සමගද? ඇත්තෙන්ම ඔහු අතිනත් ගන්නේ මාපිලුන් සමගයි. සමනලුන්ට වඩා මාපිලුන් භයානකය. මේ මාපිලුන් රටට සමාජයකට විශාල හානියක් කරන බව ජනාධිපති සිරිසේන නොදන්නේද. ඒවාගේම ජනාධිපති සිරිසේනත් පාර්ලිමේන්තුවේ සිටින බොහෝ දේශපාලඥයින් මෙන් තමන්ගේ පවුල් ගස සහ තමා වටා සිටින හිතමිතුරන් සරු කරගෙන නැද්ද? ඔහුගේ දේශපාලන ජීවිතය තුළ ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන්ගේ දේපළ ප්‍රමාණයන් කොපමණ ප්‍රමාණයකින් වැඩි වී ඇද්ද යන්න බැලුවොත් ඒවා ඉතා සාධාරණ ක්‍රමයකින් සොයාගත් දේවල් නොවන බවත් දේශපාලන ප්‍රතිරූපය පිහිටෙන් ලබාගත් දේවල් බවත් පැහැදිලිය. තම දේශපාලන ප්‍රතිරූපය මුදල් උපයන මාරගයක් ලෙසට භාවිතා නොකරන්නේ ඉතා සුළු දේශපාලඤයන් ප්‍රමාණයක් ගමනක් බව රටටම නොරහසකි.

සිරිසේන ජනාධිපතිවරයා ගේ මේ පසුගිය වෙනස්වීම අපට හඳුනාගන්නට වෙන්නේ කෙසේද? එදා ඔහු පොදු අපේක්ෂකයා වන විට, එතෙක් අප හඳුනා නොසිටි නම පමණක් විටින් විට අසා තිබූ අයකු වූ ඔහු [ඇත්තෙන්ම දේශපාලන සෙවනැල්ලක්ප්‍රතිරූපයක් ලෙස කරළියට ගෙන ඒම පොදු උවමනාවක ප්‍රතිඵලයක් විය. අගද අපට හැකි අයුරින් පැවැති දුර්දාන්ත පසුගාමී ක්‍රමය අවසාන කර යහපත් එමෙන්ම සභ්‍යත්වයක් ඇති පාලනයක් ඇතිකරගැනීම සඳහා එදා මෛත්‍රීට සහාය දුන්නෙමු. නමුත් පසුගිය අවුරුදු 3ට ඒකිනෙකාට බර පටවමින් රනිල් සහ සිරිසේන තම කාර්යය ඉටුකිරීම වෙනුවට දිනෙන් දින පැරණි රාජපක්ෂ ක්‍රමයම වෙත නැඹුරුවීම ඇරඹීය. අපි නිශ්ශබ්දව බලා සිටියෙමු. කලකිරීම අප තුළ නැතිවාට ම නොව කිසි දිනක ඉස්ගෙඩියන් ලොකු වන විට ගෙම්බන් බවට පත් වනු මිස ඉස්ගෙඩියන් ගෙන් මාළුන් ඇති නොවන බව අපට නැවතත් දකින්නට සිදුවෙමින් තිබූ බැවිනි. මා පසුගිය වසර දෙකක් පමණ මේ කාරණා ගැන ලිවීමෙන් වැළකී සිටීයේ ඒ නිසාවෙනි.

මක්ස් ලීබර්මාන් හිට්ලර්ගේ පන්දම් පෙළපාලිය ගැන

එසේ වුවද පසුගිය සිකුරාදා හැන්දෑවේ මට දුරකථන ඇමතුමක් දුන් මිතුරකු මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දුන් බව පැවසීය. පළමුවෙන්ම මා සිතුවේ එය විහිලුවක් බවයි. අන්තර්ජාලයට ගොස් එම දිවුරුම් දීම සහ සිරිසේනගේ ප්‍රකාශය දුටු මට එකවරම විශාල අපුලක්මා තුළ ඇති විය. එසැනින් මගේ මතකයට ආවේ 1933 මහාචාර්ය මක්ස් ලීබර්මාන් හිට්ලර්ගේ පන්දම් පෙළපාලිය දැක කී කතාවයි. “මට වමනේ දාන්න ඕන තරමට මට කා ගන්න බැරි එක ගැන තමා මට කණගාටු” එදා ඔහු තුල මතුවූ අප්‍රසන්න තත්ත්වය ඔහු ප්‍රකාසකල ආකාරයයි.

පසුගිය සිකුරාදා ජනාධිපති සිරිසේනගේ කතා, ඔහු පෙර කී කතා, දැන් දැන් කියන කතා, ආදිය දකින අසන විට මා තුළ විශාල අප්‍රසන්න බවක් ඇති විය. මා සිරිසේනට ඡන්දය දුන්නේ නැත. ඒ මා පිටරටක සිටින අයකු බැවිනි. නමුත් ඒදා ඔහු බලයට ගෙන ඒමට එමෙන්ම එදා රාජපක්ෂලාගේ දුර්දාන්ත පාලනය පෙරලීමට මට හැකි ආකාරයෙන් මමද ලිව්වෙමි. නමුත් දැන් සිරිසේන අපට අහවල් එක පෙන්වමින් සිටි.

ඊයේ පස්වැනි දා ජනාධිපති සිරිසේනගේ සමනල ස්වරය තුළ ඔහුම උද්දාමයට පත් වී ඇති අයුරු දැක මට නැවතත් මහාචාර්ය මක්ස් ලීබර්මාන්ගේ කියමනම සිහි විය.

මහින්ද ඇන්න ටොක්ක

සමනල්ලු එපා කියන ඔහු අත්වැල් බැඳගන්නේ මාපිලුන් සමගය. ඒම රැස්වීමේ දීම සිරිසේන ගැන කියන මහින්ද ඔහුට ඔළුව අතගා ටොක්කක් අනියි. “මම ජනාධිපතිව හිටියානං මේ වැඩේ මම කරන්නෙ නෑ. මම නම් බැඳගත්තු බෙරය අවසාන වන තුරු ගහනවා.” මහින්ද රාජපක්ෂගේ මේ හින්ට්ඒක සිරිසේන තේරුම් ගත්තාද  නොගත්තාද මම නොදනිමි. වසර හතළිහකට වැඩි දේශපාලනය කළ පුද්ගලයෙකු යයි සිරිසේන ජනාධිපතිවරයා කටමැත දොඩවා වුවත් දැන් කර ඇති ප්‍රමාණයෙන් වැටෙන්නේ එ් කළ දේශපාලනයෙන් කිසිම පරිණත බවක් ඔහු නොලැබූ බවයි.

තමනට ඡන්දය දුන් ලක්ෂ 62ක පිටුපා ඇත්තේ තමා විසින්ම දූෂිතයන් යයි, අපරාධකරුවන්යයි, රට වනසන්නන්යයි, මිනීමරුවන් යයි, එදා පැවසූ අය සමග අතිනත් ගැනීමටයි. රනිල් වික්‍රමසිංහගේ වැරදි නිසා ඔහු ලංවන්නේ එ මෙන් සිය ගුණයක් වැරදි කළවුන් සමග බව ඔහු නොදන්නවා නොවේ. ඔහුගේ මේ අපභ්‍රංසය සාධාරණීකරණය කරන්නට ඔහු කොතෙකුත් බොළඳ කතා සහ අමන කතා කියමින් සිටී ද? නමුත් ඔහුගේ මේ ක්‍රියාව ඔහුට කිසි දිනක මේ ඉඡ්චා බස් වලින් නම් සාධාරණීකරණය කර ගැනීමට නොහැකිවනු ඇත. ඔහුට ලැජ්ජා නැති උනත් ඔහුට ඡන්දය දුන් දහස් ගණනක් අද ලැජ්ජාවෙන් මිරිකෙමින් සිටි. ඒ ඔවුන් තුලම ඇතිවන අපුල නිසාවෙනි. අවසානයේ ජනාධිපති සිරිසේනට ඉතුරුවෙන්නේ “දේශපාලන කුණකටුවකු” ලෙස තම නම ඉතිහාසයට ලියා තැබීම පමණි.

 රංජිත් හේනායකආරච්චි

 

Back to Top