Sri Lanka Brief
පුවත්ශ්‍රී ලංකාව: අධිපතිවාදියෙකු ආපහු ඇවිත් – අනුර ගුණසේකර

ශ්‍රී ලංකාව: අධිපතිවාදියෙකු ආපහු ඇවිත් – අනුර ගුණසේකර

by

‘දේශපාලනය තුළ සදාකාලික මිතුරන්වත්, සදාකාලික හතුරන්වත් නැත. ඇත්තේ සදාකාලික අවශ්‍යතා පමණි’ යන, අර පට්ට ගැසූ කතාව, ශ්‍රී ලංකාවේ මේ මොහොතේ දිග හැරෙමින් පවතින අභූතරූපී රංගනය තුළ තරම් මනාව විසද වෙන වෙනත් කිසි අවස්ථාවක් තිබී නැත. මීට වසර හතරකට පෙර, දිවි හිමියෙන් සුරකින් බවට ජනාධිපති සිරිසේන පොරොන්දු වූ නීතියේ ආධිපත්‍යය, ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය පිළිබඳ සකල සාරධර්ම, හුදෙක් දේශපාලනික වාසිය සඳහා, හිතාගත නොහැකි අන්දමින් ඔහු අද පාවා දී ඇත. අවිශිෂ්ට චර්යාවක් සහිත අවිශිෂ්ට මිනිසෙකු වූ මෛත්‍රීපාල සිරිසේන, යුග පෙරලිකාරී සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් දවසක සැමරෙනු ඇත. ඒ දෙකම සිදුව ඇත්තේ ඔහුගේ දේශපාලනික දිවියේ සැන්දෑ සමයේ ය. ඒ සිදුවීම් දෙක නොවන්නට, ඔහුගේ මට්ටමේ වෙනත් ඕනෑම සාමාන්‍ය දේශපාලඥයෙකු මෙන් ඔහු ද කාලයාගේ ඇවෑමෙන් ජනතා මතකයෙන් වියැකී යන්නට තිබුණි.

පළමු සිදුවීම ඇති වුණේ 2014 නොවැම්බර් මාසයේ ය. සමගාමී දේශපාලන ව්‍යාපාරයේ සගයන් සහ සහායකයන් පිරිවරාගෙන ඔහු එදා ජාතිය ඉදිරියේ පෙනී සිටිමින්, නිදහසින් පසු මේ රට හඳුනාගෙන සිටි වඩාත් ජනකාන්ත සහ වඩාත් බලවන්ත දේශපාලඥයාට අභියෝග කෙළේය. ඒ කාලයේ හැටියට, එසේම එදා සිටි ප්‍රතිවාදියාගේ තරමේ හැටියට, එය එඩිතර ක්‍රියාවක් විය. එය, සාමාන්‍ය තත්වයන් යටතේ වැඩි ආටෝපයක් නොතිබුණු මිනිසෙකුගේ සැබෑ ශ්‍රේෂ්ඨත්වය නිරූපණයට පත් අවස්ථාවක් විය. මහින්ද රාජපක්ෂගේ අතීත ක්‍රියාකලාපය දෙස බලන විට, මෙවැනි අභියෝගයක් හේතුවෙන් සිරිසේනට එල්ල විය හැකිව තිබූ ජීවිත තර්ජනය අතිශයෝක්තියක් නොවේ. බිහිසුණු ඝාතනය, අතුරුදහන් කැරැවීම, තනතුරුවලින් පහ කිරීම, සිරගත කිරීම හෝ විදේශයකට පලා යාමට සැලැස්වීම ආදී නොයෙක් අත්දැකීම්, ඊට කලින් මහින්ද රාජපක්ෂගේ යකඩ හස්තයට අභියෝග කළ අයවළුන් සම්බන්ධයෙන් අනන්තවත් අප දැක තිබුණි.

යක්ෂයා මුදා හැරීම

දෙවැනි සිද්ධිය ඇති වුණේ දැන් දින කිහිපයකට කලිනි. අගමැති රනිල් වික්‍රමසිංහව හිටිගමන් අස් කිරීමෙන් හැට දෙලක්ෂයක් ජනතාව සිරිසේන කෙරෙහි තැබූ විශ්වාසය කඩ කොට, තමා විසින්ම කලකට ඉහතදී නතර කරන ලද යක්ෂයාව සිරිසේන මුදා හැරියේය. තමා විසින්ම කලකට ඉහතදී නතර කිරීමට පියවර ගත් රාජපක්ෂ රාජාවලී ව්‍යාපෘතිය එක පෑන් පහරකින් යළිත් සිරිසේන ස්ථාපනය කෙළේය. යම් හාස්කමක් සිදු නොවෙතොත්, ඒ ව්‍යපෘතිය දැන් මහ දවල් පාරට බැස තිබේ. මගේ විශ්වාසයේ හැටියට හාස්කම් සිදු වන්නේ නැත. රාජපක්ෂ කල්ලියෙන් ඉස්සර සිදුවූ අතපසු වීම් යළි සිදුවන එකක් නැත. ඒ, ඉස්සරට වඩා ඔවුන් දැන් හැදී වැඩී ඇති නිසා නොවේ. විපක්ෂයකට යළි හිස එසැවීමට ඉඩ නොදෙන ලෙස, වඩාත් පරිස්සමින්, වඩාත් නිර්දය ආකාරයෙන් සහ නියත භාවයකින් යුතුව මෙවර ඔවුන් කටයුතු කළ හැකි බැවිනි.

විශේෂයෙන්, රජවරුන්ම පතන, ලජ්ජා නැති ජී. ඇල්. පීරිස් වැනි පුද්ගලයන්ගේ නීති තර්ක කෙසේ වෙතත්, වික්‍රමසිංහව ඉවත් කිරීම සහ රාජපක්ෂව පත්කිරීම පිළිබඳ සමස්ත ක්‍රියාදාමය තුළ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක සියලු අඩුවැඩිය තිබේ. එය, රහසින් සැලසුම් කරන ලද, හදිසියේ ක්‍රියාවට යොදවන ලද, බිල්ලට ගැනෙන පුද්ගලයාගෙන් අවසානය දක්වාම වසං කරගෙන සිටි, කුමන්ත්‍රණයකි. පාර්ලිමේන්තුව සහ කතානායකවරයා මෙන්ම, කුමන්ත්‍රණකරුවාවත්, එහි බිල්ලට පත් වින්දිතයාවත්, තමන්ව බලයට ගෙනා ලක්ෂ සංඛ්‍යාත ජනතාවත් මේ ක්‍රියාවලිය ගැන අඳුරේ තබා ගැනීමට ඔහු වගබලාගෙන තිබුණි. මෙය, වර්ණවත් ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ කිසි විටෙක සිදු නොවිය යුතුව තිබුණකි. එය, රාජපක්ෂ පාලන කාලයේ ලංකාව පත්කොට තිබුණු ආකාරයේ, ලෝකයේ ඉතා නොදියුණු වෙනත් තැන්වල සිදුවන ආකාරයේ සංසිද්ධියකි. වෙනසකට ඇත්තේ, එවැනි රටවල්වල සිදුවන්නා සේ, (සීපෙට්කෝ කාර්යාලයේ හැරුණු කොට), තවම වෙඩි තැබීම් සිදු වී නොතිබීම පමණි. එහෙත්, සාධාරණ වූත්, ප්‍රජාතන්ත්‍රවාදී වූත් පිළිගත හැකි විසඳුමක් සොයා නොගත්තොත්, රටේ වෙනත් තැන්වලත් වෙඩි තැබීම් සිදු වීමට ඉඩ තිබේ.

ලෝකයේ කොහේවත් නෑ

මෑත කාලීන ලෝකයේ ප්‍රජාතන්ත්‍රීය ඉතිහාසයෙන් කිසි තැනක සිරිසේනගේ මේ ක්‍රියාවට සාම්‍යත්වයක් දරන සාදෘශ්‍යයක් සොයා ගැනීමට නැත. මෑතකදී ජාතිය අමතා ඔහු කළ කතාවේදී, තමා මේ පියවර ගැනීමට හේතු වූ පසුබිම වශයෙන් ඔහු ගෙනහැර දැක්වූයේ, අගමැතිවරයා කෙළේ යැයි කියන වැරදි මාලාවකි. ඒ වැරදිවලට, ඔහු සහ අගමැතිවරයා අතර පැවතිණැයි කී සංස්කෘතික පරතරයක් ද ඔහු එක් කෙළේය. වික්‍රමසිංහ රට කරවන්නේ, ඔහුට සමීප වරප්‍රසාදිත පංතියේ කල්ලියක් සමග ය යන්න ඔහුගේ චෝදනාවයි. සිරිසේනගේ ක්‍රියාවේ ප්‍රතිඵලය වන්නේ රාජපක්ෂලා යටතේ ඇති විය හැකි බිහිසුණු පාලනයක සම්ප්‍රාප්තිය නොවන්නට, ඔහුගේ මේ ප්‍රකාශය ගැන අපට සිනාසී නිකං ඉන්නට තිබුණි.

වික්‍රමසිංහට වඩා වෙනස් ආකාරයකින් සහ ඊට වඩා ප්‍රජාත්නත්‍රවාදී ආකාරයකින් රාජපක්ෂලා කටයුතු කරති යි සිරිසේන සැබවින්ම විශ්වාස කරන්නේ ද? රාජපක්ෂ යටතේ රට පාලනය වනු ඇත්තේ, ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ තවත් සමීපතම අතලොස්සකගේ බැල්ම යටතේ ය. අවුරුදු නවයක ඔහුගේ පාලන කාලය තුළ අප ලද අත්දැකීම එයයි. වික්‍රමසිංහගේ සහ රාජපක්ෂලාගේ පාලන ක්‍රම අතර එක් වෙනසක් නම් සැබවින්ම පවතිනු ඇත. එනම්, රනිල් වික්‍රමසිංහ යටතේ, පාලකයන්ව විවේචනයට ලක්කිරීමට සහ පාලකයන්ට එරෙහිව කටයුතු කිරීමට ලැබී තිබූ ඒ මුග්ධ අවසරයේ ඉඳුරා ප්‍රතිලෝමය රාජපක්ෂලා යටතේ අත්දකින්ට සිදුවිය හැකි වීමයි.

පාර්ලිමේන්තුවේ බහුතරය

රනිල් වික්‍රමසිංහව ඉවත් කිරීමේ නෛතික සහ ව්‍යවස්ථාමය වලංගු භාවය තවදුරටත් වාද විවාදයට ලක්වනු ඇත. එය අවසානයේ විසඳා ගත හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි. එහෙත් ඒ, රාජපක්ෂලා සීග්‍රයෙන් අත්පත් කර ගනිමින් යන ඒ යකඩ පාලනය යටතේ එවැනි ආයතනයකට ඉඩක් ඉතිරි වුණොත් ය. මාත්, මේ රටේ වෙසෙන සාධාරණ කවුරුත් වටහා ගන්නා පරිදි, ආණ්ඩුවක සුජාත භාවය නිශ්චය කෙරෙන තීරණාත්මක ලිට්මස් පරීක්ෂාව වන්නේ, පාර්ලිමේන්තුවේ බහුතරය තමන්ට ඇති බව පෙන්වීමයි.

පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම සම්බන්ධයෙන් ඊට පක්ෂ පිරිස් දක්වන හේතුවාචක කුමක් වුවත්, සැබවින්ම එය, රාජපක්ෂගේ අවජාතක උසස් වීම, මිල මුදලින් සහ වෙනත් වරදාන පිරිනැමීමාදියෙන් සුජාත කර ගැනීම සඳහා ලබා දෙන ලද සහන කාලයක් බව පැහැදිළි ය. පාර්ලිමේන්තුව නැවත කැඳවීමට මත්තෙන් රාජපක්ෂ බලය රාජ්‍ය පරිපාලනය කෙරෙහි තහවුරු කර ගැනීම, සමහර විට අවසානයේදී, මේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී නෛතික විනිශ්චයකට එළැඹීමට බාධාවක් විය හැකිය. මේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ මධ්‍යකාලීන අරමුණ වන්නේ, රාපක්ෂලාගේ කඩප්පුලියෙකු වශයෙන් දෙවැනි වතාවටත් සිරිසේනට ජනාධිපති වීමේ අවස්ථාව ලබා ගැනීම බව පෙනේ. එය ඔහුට එක්සත් ජාතික පක්ෂයෙන් කිසි දවසක නොලැබෙන්නකි.

නෛතික සහ ව්‍යවස්ථාමය තර්ක විතර්ක පැත්තකින් තිබ්බොත්, සිරිසේන මේ අපරීක්ෂාකාරී ක්‍රියාව හරහා දියත් කොට ඇත්තේ පෙර නොවූ විරූ ව්‍යවස්ථා අර්බුදයකි. අගමැති පුටුව සහ පාලන බලය පිළිබඳ මාරාන්තික අරගලයකට ඔහු පාර කපා ඇත. ඊට අමතරව, පවතින ව්‍යවස්ථාවේ වලංගු භාවය සහ සුජාත භාවයත් ඔහු අනතුරේ හෙලා තිබේ. මහජන කෝලාහලවලට පරිසරය සකස් කොට තිබේ. එය, රාජපක්ෂලාට තෝතැන්නකි. ජයග්‍රහණය සඳහා කෙටිම මාර්ගය, බලය පාවිච්චි කිරීම සහ එම බලය අවභාවිතයත්, අනීතික බිය වැද්දීම්, බලාත්කාරය පෑම් සහ කුලී හමුදා මර්දනයත් බවට පත්වන පරිසරයක සිටිය හැක්කේ එක ජයග්‍රාහකයෙකු පමණි.

දිග හැරුණු ප්‍රචණ්ඩත්වය

ඒ සඳහා වන මනා නිදර්ශනය වන්නේ, මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් දිව්රුම් දුන් ගමන්ම, ජාතිකරූපවාහිනියේ සහ අයි.ටී.එන්. නාලිකාවේ දිග හැරුණු ප්‍රචණ්ඩත්වයයි. එසේම, රනිල් වික්‍රමසිංහව බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයෙන් එළියට ඇද දැමීම ගැන විමල් වීරවංශ කී කතාව, ඔහුගේ හාම්පුතාගේ හඬ ප්‍රතිරාව කිරීමක් බව පෙනේ.

මේ ලිපියේ අරමුණ වන්නේ, වික්‍රමසිංහට සුදු හුණු ගෑමවත්, රාජපක්ෂව යක්ෂයෙකුට ඇන්දවීමවත් නොවේ. දෙදෙනාම, වෙනස් ආකාරයන්ගෙන්, දුෂ්ට ය. ප්‍රතිපත්ති විරහිත ය. එක හා සමානවම බලයට කෑදර ය. වික්‍රමසිංහගේ වෙනස වන්නේ, විසම්මුතිය මැඩ පවත්වා තමාගේ බලය ස්ථාපනය කර ගැනීම ඔහුගේ ක්‍රමය නොවීමයි. එසේම, බිය වැද්දීම සහ ඝාතනය ඇතුළු කායික තර්ජන ඔහුගේ විලාසයට අයත් නොවීමයි. අද අප ඉදිරියේ මතුව ඇති ප්‍රශ්නය වන්නේ, අගමැති තනතුරට සුදුස්සා කවුරුන්ද යන්න නොව, රටේ ප්‍රජාතන්ත්‍රීය පාලනයේ සුජාත භාවය ආරක්ෂා කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයයි. එය, මේ කියන පුද්ගලයන් දෙන්නාට වඩා බෙහෙවින් වැදගත් ය.

 ප්‍රතිවිපාක ගණනාවක් 

රාජපක්ෂ පාලනයක් යටතේ වහා අපේක්ෂා කළ හැකි ප්‍රතිවිපාක ගණනාවක් තිබේ. මුලින්ම, දැනට පටන්ගෙන ඇති මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සියලු පරීක්ෂණ නතර වනු ඇත. රාජපක්ෂ සමයේ සිදු වූ, දේශපාලනික ඝාතන පිළිබඳ සියලු පරීක්ෂණ නතර වනු ඇත. දැනට සිර භාරයේ සිටින, තෝරා ගත් පුද්ගලයන් කිහිප දෙනෙකු හිරෙන් එළියට එනු ඇත. ගලගොඩඅත්තේ ඥානසාර ජම්පරය ගලවා, බුදුන්ගේ පූජණීය සිවුරට බැස, නැවත වරක් මුස්ලිම්-විරෝධී සංග්‍රාමය අරඹනු ඇත. වැඩි කල් නොගොස් දුමින්ද සිල්වා නැවත වරක් මැතිවරණ රැස්වීම් අමතනු ඇත. සන්නද්ධ සේවාවන් තුළ, පොලීසිය තුළ, අධිකරණය තුළ රාජපක්ෂවාදීන් අරක්ගනු ඇත. ජාතියට අපක්ෂපාති සේවයක් කිරීමට සිටින රාජ්‍ය සේවය, රාජපක්ෂ ව්‍යාපෘතියේ ස්වේච්ඡා ගමන් සගයන් වනු ඇත.

දැනටමත් ආර්ථික ප්‍රශ්නවලටත්, යෝධ රාජ්‍ය දූෂණයන්ටත් මුහුණදී සිටින රටක්, හැම පැත්තකින්ම ව්‍යාකූලත්වයට සහ අරාජකත්වයකට පත්කරන තත්වයක් සිරිසේන නිර්මාණය කොට ඇත. එය වහා විසඳීම ඔහුගේ වගකීමකි. රට වෙනුවෙන් නිවැරදි දේ කිරීම සඳහා තමාගේ ජීවිතය පවා පරදුවට තබන බව 2015 දී ඔහු කීවේය. අද රට මුහුණදී දී සිටින තත්වය එදාට වඩා අතිශය භයානක වෙතත්, දැන් ඔහුට නැවතත් කිරීමට ඇත්තේ එයයි. තමන්ගේ අරමුණුවලට ද්‍රෝහී වන්නන්ට සමාව දීම රාජපක්ෂලාගේ සිරිත නොවේ. විශේෂයෙන් දෙවැනි වරටත් එවැනි ද්‍රෝහී ක්‍රියාවකට ඔවුන් සමාව නොදෙනු ඇත.

මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ විසින් නිල වශයෙන් පිළිගත්, මීට වසර හතරකට පමණ පෙර උදා වූ ඒ ඉරණම්කාරී දා මට මිතුරෙක් දුරකථනයෙන් කතා කෙළේය. ‘සිලෝන්’ නමින් හැඳින්වුණු ලංකාවේ සිවිල් සේවය තුළ අති ගෞරවයට පාත්‍රව සිටි ඔහු මට කතා කරන විට සිටියේ එංගලන්තයේ විශ්‍රාම සුවයෙනි. මා සිටියේ නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය කිරීමෙන් පිනා ගිය මනෝ භාවයක ය. එහෙත් මගේ මිතුරා මාව මහ පොළොවට ගෙනාවේය. “කවදාවත් දේශපාලඥයෝ ගැන විස්වාසේ තියන්න එපා. මං හුඟ කාලයක් තිස්සේ ඒගොල්ලෝ එක්ක ළඟින් වැඩ කරලා තියෙනවා. සිරිසේනම දවසක මහින්ද රාජපක්ෂට ආයි සැරයක් ජයග්‍රාහීව එන්න පාර කපන්න පුළුවන්.”

තුච්ඡ මිනිසා

1967-1970 කාලයේ ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් කටයුතු කළ, විවිධ අවස්ථාවල යාපනේ සහ වව්නියාවේ දිසාපතිවරයා වශයෙන් කටයුතු කළ නෙවිල් ජයවීර එදා හරියටම පාවිච්චි කළ වචන එයාකාර ය. වෙනස් ආකාරයක දේශපාලඥයන් රට කැරැවූ යුගයක දේශපාලඥයන්ගේ හොඳ මෙන්ම නරකත් ඉතා ළඟින් දැන සිටි මිනිසෙකුගේ ඒ වචන තුළ ඇත්තෙන්ම අනාගත වක්තෘවරයෙකුගේ දැක්ම තිබුණි.

මෛත්‍රීපාල සිරිසේන, ආපසු හැරවිය නොහැකි ආකාරයෙන්, තමා මොන තරම් තුච්ඡ මිනිසෙකු ද යන්න දැන් පෙන්වා තිබේ. ගිනි තියන්නන්ම ගින්නෙන් දැවී යාම සදාතනික නියාමයකි.

2018 නොවැම්බර් 3 වැනි දා ‘ශ්‍රී ලංකා ගාර්ඩියන්’ වෙබ් අඩවියේ පළවූ Sri Lanka: The Return of a Supremacist නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top