Sri Lanka Brief
පුවත්විවරණවියරු වියවුල – තිසරණී ගුණසේකර

වියරු වියවුල – තිසරණී ගුණසේකර

by

එතෙක් පැවති නිසි ක්‍රමවේදය එක මිනිහෙක් කැඳ හැළියක් කෙළේය. පතුලක් නොපෙනෙන මානයේ මහා අවුලකට රටම ඇද දැම්මේය. ඒ තනි මිනිහාට ඊට ගතවුණේ සති දෙකක් පමණි.

විධායක ජනාධිපති ක්‍රමයක් නොවන්නට, සමස්ත රටක් මත මේ මහා ව්‍යසනය මුදා හැරීමට මෛත්‍රිපාල සිරිසේනට හැකි වනු ඇත් ද?

සිදුවන දේවල්වල දිග පළල මැන ගැනීම සඳහා, විටෙක ප්‍රහසණය දෙසට හෝ සාහිත්‍යය දෙසට හැරීමට කෙනෙකුට සිදුවෙයි. මෙය එවන් අවස්ථාවකි. මෛත්‍රීපාල සිරිසේන නීති විරෝධීව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම මගින් තමන්ගේ දෙවැනි ව්‍යවස්ථා-විරෝධී ක්‍රියාවට අතගැසූ අවස්ථාවේ කෙනෙකු මෙවැනි ට්විටර් සටහනක් තබා තිබුණි. “මරිජුවානා, කොකේන් සහ එක්ස්ටසි වෙළඳාම ඇණහිට තිබේ. මන්ද යත්, ඊට වඩා සැර යමක් කවුරුත් ඉල්ලා සිටින බැවිනි. ඒ නිසා, කරුණාකර, සිරිසේන පාවිච්චි කරන දෙයක් අපටත් දෙන්න.”

සිරිසේන පාවිච්චි කරන මත්ද්‍රව්‍යය, මිනිස් ශිෂ්ටාචාරය තරමටම පැරණි ය. ඒ, බලය නමි. ඔහුට දෙවැනි වරටත් ජනාධිපති වීමට අවශ්‍ය කර තිබේ. ඒ පිස්සු ආශාව, අනිත් සෑම දෙයකටම- එනම්, විනීත කම, ලැජ්ජාව, කෘතඥතාව, සාමාන්‍ය බුද්ධිය, සාධාරණ ස්වාර්ථය සහ ප්‍රතිපත්ති- ආදී සෑම දෙයකටම ඔහුගේ ඇස් අන්ධ කොට තිබේ. ඒ වනාහී, අදෘෂ්‍යමාන බලය ගෙන දෙන ඉන්ද්‍රජාලික ‘පේරැස්’ මුදුවක් තමාගේ කරගෙන, එහි දාසයෙකු බවට පත්ව, ඒ වෙනුවෙන්ම ජීවත්ව, ඒ නිසාම මියගිය, ජේ.ආර්.ආර්. ටොලිකියන්ගේ එක් නවකතාවක එන චරිතයක් වන, ගෝලම් නැමැති අපරූපිකයාගේ තත්වයට සිරිසේන පත්වීමකි.

බලයට පත්වූ සැණින්, නැවත වතාවක් නම් ජනාධිපති නොවෙමි යි සිංහ නාද කළ සිරිසේන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් කුඩුපට්ටම් කරගෙන නැවත වතාවක් ජනාධිපති වීමට බලයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ එක් නිර්මාතෘවරයෙකුගේ සිට එහි ඝාතකයා බවට ඔහුගේ පත්වීමේ කතාන්තරය මගින්වත් මේ විධායක ජනාධිපති ක්‍රමයේ නපුර අපට ඒත්තු නොයන්නේ නම්, වෙන කිසිවක් ඒ පාඩම අපට කියා දීමට සමත් නොවනු ඇත.

ලංකා දේශපාලනයේ අශුද්ධ වූ ‘රුධිර තැටිය‘ විධායක ජනාධිපති ක්‍රමයයි. ඒ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රතිඥාව සිරිසේන සහ වික්‍රමසිංහ යන දෙදෙනාම අත්හලෝය. තමාගේ අනාගත ජනාධිපති අපේක්ෂාවන් උදෙසා රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙකඩ කොට තබා ගනු වස්, රාජපක්ෂලාව නීතියේ දඬු අඬුවෙන් බේරා ගැනීමට වගබලා ගත් බව කවුරුත් දනිති. එක වරක්වත් ජනාධිපති වීමට වික්‍රමසිංහට තිබූ ආශාවත්, තවත් වරක් ජනාධිපති වීමට සිරිසේනට තිබූ ආශාවත් අද අප පත්ව සිටින මේ අවුලට දායක විය.

විධායක ජනාධිපති පාලනයේ ලංකා මොඩලයේ නිර්මාතෘ ජේ. ආර්. ජයවර්ධන එහි ඇති සර්වබලධාරීත්වය ගැන පාරම්බෑවේ, ගැහැනියක පිරිමියෙකු කිරීම සහ පිරිමියෙකු ගැහැනියක කිරීම හැරුණු කොට, වෙන කළ නොහැකි දෙයක් ඊට නැති බව කියමිනි. සංකල්පයක් වශයෙන් ගත් විට, එම පාලන ක්‍රමය අන්තගාමී ය. අශීලාචාර සීමාන්තිත බව, ඊට නෛසර්ගික ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බැලුවේ, විධායකය සතුව තිබූ අධිකතර බලතල සහ වරප්‍රසාද කප්පාදු කිරීමෙන් එම ක්‍රමය ප්‍රජාතන්ත්‍රීය තත්වයට පත්කිරීමටයි. සිරිසේනගේ වර්තමාන ක්‍රියාව මගින් පෙන්වන්නේ, 19 ව්‍යවස්ථා සංශෝධනයේ පැවති දුර්වලතාවක් නොව, ජනාධිපති ක්‍රමයේ පවතින අවදානමේ මහතයි. මෙය, මැඩලිය නොහැකි, හීලෑ කළ නොහැකි ක්‍රමයකි. ඉහතින් කී ඉන්ද්‍රජාලික මුද්ද සම්බන්ධයෙන් කළා සේ, මේ සඳහා ඇති එකම විසඳුම වන්නේ මේ සමස්ත නිර්මාණයම අහෝසි කර දැමීමයි.

රණසිංහ ප්‍රේමදාසගෙන් පසු බලයට පත් සෑම ජනාධිපති කෙනෙකුම එම ජනාධිපතිවරණය ජයගත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රතිඥාව දෙමිනි. ඒ හැම කෙනෙක්ම එකා මෙන් ඒ ප්‍රතිඥාවට පිටුපෑවේය. මහින්ද රාජපක්ෂ තවත් පියවරයක් ඉදිරියට යමින්, එතෙක් එහි තිබූ ජනාධිපති වාර සීමාවත් වෙනස් කොට තවත් එය තිරිහන් කෙළේය. ඒ වනාහී, ඉහත කී ‘පේරැස් මුද්ද’ සන්තකයේ තබාගෙන සිටි ගෝලම් කී ‘ප්‍රාතිහාර්ය බලයයි.’ විධායක ජනාධිපති ධුරයට පත්වූ පසු එය අහෝසි කිරීමට කෙනෙකු තුළ තිබෙන කැමැත්ත ‘හෝස් ගා’ අහෝසි වී යන්නේය. ඒ වෙනුවට ඒ තැනැත්තා කරන්නේ, තමාගේ ප්‍රථම ධුර කාලය තවත් ධුර කාලයක් වෙනුවෙන් සූදානම් වීම සඳහා යොදා ගැනීමයි.

සමහර විට සිරිසේන, මේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව, ඊට කලින් සිටි සියලු ජනාධිපතිවරුන්ට වඩා අව්‍යාජව ගත්තා විය හැකිය. එහෙත්, බලයේ විෂබීජවලින් අනතුරුව ඔහු ඔත්පල විය. 2015 දී ජනාධිපති ධුර කාලය අවුරුදු 4 දක්වා අඩු කිරීමට කැමැත්තක් දැක්වූ පුද්ගලයා, 2017 වන විට එය අවුරුදු 6 ක් කර ගැනීමට බැලුවේය. එහෙත් අධිකරණය ඊට ඉඩ නොදුනි. පළාත් පාලන ඡන්දයේ මරාලය කඩා වැටුණේ එවිට ය. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ/එක්සත් ජනතා නිදහස් සන්ධාන ඡන්ද මල්ල සියයට 12.1 ක් දක්වා කඩා වැටුණි. තමාගේ තනි හයියෙන් දෙවැනි වරටත් ජනාධිපති වීමේ සිරිසේනගේ සිහිනය එතෙකින් නිමා විය.

2020 ජනාධිපතිවරණයේදී සිරිසේනට පිටුබලය දීමට රනිල් වික්‍රමසිංහ එකඟ වූයේ නම්, සිරිසේන අඩු වශයෙන් 2020 දක්වාවත් තම අගමැතිවරයාට මිත්‍රශීලීව සිටින්ට තිබුණි. සිරිසේනගේ ග්‍රාම්‍යත්වය, සංස්කෘතික ගතානුගතිකත්වය සහ සමකාමී ප්‍රජා-ද්වේෂය සත්තකින්ම ඔහු තුළ මුල් බැසගෙන තිබෙනවා විය හැකිය: එහෙත් ඒ සියල්ල සහ තවත් ඕනෑම දෙයක්, 2020 ඔහුගේ ජනාධිපති අපේක්ෂකත්වයට වික්‍රමසිංහගෙන් අනුග්‍රහයක් ලැබිණි නම්, ඔහු ඉවසා වදාරන්ට තිබුණි. එහෙත් රනිල් වික්‍රමසිංහගෙන් ඊට අනුබලයක් නොලැබුණු තැන සිරිසේන බැලුවේ තමාට අනුග්‍රහශීලී නායකත්වයක් එක්සත් ජාතික පක්ෂය තුළ බලයට පත්කර ගැනීම සඳහා නායකත්ව කැරැල්ලක් උසිගැන්වීමටයි. ඒ සියල්ල ව්‍යර්ථ වූ තැන, අප කාටත් හිතාගත නොහැක්කට ඔහු අත ගැසුවේය. මහින්ද රාජපක්ෂ සමග සන්ධානය ගොඩනැගුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

රාජපක්ෂලා එන්නේ ආපසු යන්නට නොවේ.

සිරිසේන-වික්‍රමසිංහ පාලනයේ දේශපාලනික සහ ආර්ථික අසාරත්වයට පිංසිදු වන්නට, රාජපක්ෂලා මැතිවරණ ජයග්‍රහණයේ මාවතට පිවිස සිටිති. 2020 තෙක් ඔවුන් ඉවසා සිටියේ නම්, කරදරයකින් තොරව, නීත්‍යානුකූලව සහ ව්‍යවස්ථානුකූලව යළි බලය ලබා ගැනීමට ඔවුන්ට හැකියාව තිබුණි. එහෙත්, ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය පිළිබඳ නඩුව, දෙසැම්බර් 4 වැනි දා සිට විශේෂ මහාධිකරණය ඉදිරියේ දිනපතා විභාග වීමට නියමිතව තිබුණි. එහි ප්‍රධාන චූදිතයෙකු වන්නේ ගෝඨාභය රාජපක්ෂ නිසා, එය කෙසේ හෝ වැළැක්වීම, රාජපක්ෂලා සම්බන්ධයෙන් ගත් විට, අත්‍යාවශ්‍ය කාරණයක් විය.

දෙවැනි වාරයක් සඳහා වන සිරිසේනගේ උමතු ආශාව සන්තර්පණය කර ගනු වස් එල්ලීමට පරඬැලක් හෝ සිරිසේනට අවශ්‍ය විය. ඒ සමගම, බලයට පැමිණීම සඳහා රාජපක්ෂලාට ක්ෂණික වාහකයක් අවශ්‍ය විය. කිසි දා හමු නොවීමට ඉරණම් කෙටී සිටි ජෝඩුව එහි දී යළි මුණගැසුණි.

තමා මහින්ද රාජපක්ෂව අගමැති වශයෙන් පත්කෙළේ, රනිල් වික්‍රමසිංහව පෙරලාගෙන යා හැකි කෙනෙකු තමාට අවශ්‍ය කළ නිසා යැයි පසුගිය දා සිරිසේන කීවේය. ඕනෑම කෙනෙකු හෝ ඕනෑම දෙයක් පෙරලාගෙන යාමට රාජපක්ෂ කප්පිත්තෙකි. දැන් බලයට අත ගසා ඇති තත්වය තුළ ඔහු සියල්ල සහ සියල්ලන් පෙරලාගෙන යනු නොඅනුමානයි. ඉතිරිව ඇති ප්‍රශ්නය වන්නේ, ඔහු සිරිසේනවත් පෙරලාගෙන යයි ද යන්න නොව, එසේ යන්නේ කවදා ද යන්නයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ද විය හැකිය. ජරපත් මහල්ලෙකු හරහා ඇති කර ගත් ‘ඩීල්’ එකක් ඔස්සේ ජර්මනියේ නව චාන්සලර්වරයා බවට පත් වූ සැණින් හිට්ලර් මැතිවරණයක් කැඳවීය. පාර්ලිමේන්තුව අකර්මණ්‍ය කිරීම සඳහා පාර්ලිමේන්තු බහුතරයක් තමන්ට අවශ්‍ය බව හිට්ලර්ගේ නට්සිවාදිහූ දැන සිටියහ. ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් සාර්ථකව සහ වඩාත් පහසුවෙන් නසාලිය හැක්කේ ජයග්‍රාහී මැතිවරණයකින් ලබන සුජාත භාවය හරහා බව ඔවුහු අබබෝධ කරගෙන සිටියෝය.

ගෝඨාභය රාජපක්ෂ දැනට කියා ඇති පරිදි, ඔවුන්ගේ අරමුණ වන්නේ තුනෙන් දෙකක බහුතරයක් දිනා ගැනීමයි. එවැනි බහුතරයක් ඇති විට, දෝෂාභියෝගයක් පිළිබඳ තර්ජනය දමා ජනාධිපතිවරයාව නිශ්ක්‍රීය කළ හැකිය. ජනාධිපති වාර සීමාව ඉවත් කොට නැවත වරක් මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරයා වීමේ අවස්ථාව උදා කර ගත හැකි වන පරිද්දෙන්, 19 වැනි සංශෝධනය අහෝසි කොට 20 වැනි සංශෝධනයක් ගෙන ඒමටත් පුළුවන් කම තිබේ.

2018 පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියයට 40.47 ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ/එක්සත් ජනතා නිදහස් සන්ධානය සියයට 12.1 ක් ලබා ගත්තේය. සිරිසේන සමග එක්ව තරග කිරීමෙන්, ප්‍රචණ්ඩත්වය සහ හිංසනය හැකි තාක් අවම කරගෙන, සියයට 50 ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමේ ඉඩකඩක් ඔවුන්ට තිබේ. (එවැනි තීන්දුවකට තවම පැමිණ නැත. මන්ද යත්, බොහෝ රාජපක්ෂවාදීන්ට තනියෙන් ගොස් ජයග්‍රහණය කිරීමේ අවශ්‍යතාව ඇති බැවිනි). එහෙත් තුනෙන් දෙකක බහුතරයක් දිනා ගැනීම සඳහා හිංසනයත්, නීති විරෝධී භාවයත් ඉහළින්ම අවශ්‍ය කෙරේ. එක පිට එක ව්‍යවස්ථාව උල්ලංඝණය කළ සිරිසේන දැන් ඒ මාවතත් ඔවුන්ට පාදා දී තිබේ.

හිට්ලර්ගේ නට්සිවාදීන් සිය මැතිවරණ ජයග්‍රහණය සහතික කර ගත්තේ පාර්ලිමේන්තුව ගිනි තබා මැතිවරණ පරිසරය වෙනස් කර ගැනීමෙනි. ව්‍යවස්ථා-විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, මැතිවරණ කොමිසම සහ අධිකරණය විසින් පිළිගනු ලැබුවහොත්, සිරිසේන-රාජපක්ෂ ජෝඩුවත් එවැනි උපක්‍රම පාවිච්චි කළ හැකිය. තමන්ගේ යෝධ පාවා දීම සහ රාජපක්ෂලා සමග විලිලැජ්ජා නැති සන්ධානයකට යාම සඳහා සිරිසේන පාවිච්චියට ගත් ඝාතන සැලසුමක් ගැන අර ඔල්මොරොන්දන් කතාව වැනි තවත් බොහෝ පිස්සු කතා අපට ඉදිරියේදී අසන්ට ලැබිය හැකිය. (සමහර විට ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ යටතේ) එක්සත් ජාතික පක්ෂ නායකයන් අත්අඩංගුවට ගැනීම සහ ප්‍රචණ්ඩකාරී පරිසරයක් මැතිවරණය සඳහා නිර්මාණය කර ගැනීම වැනි තත්වයක්, ජර්මනියේ පාර්ලිමේන්තු ගින්නේ ලාංකීය අනුවාදය බවට එදාට පත්වනු ඇත.

සිරිසේන ජනාධිපති වීමෙන් පළමු සංවත්සරය සැමරීම සඳහා පොළොන්නරුවෙන් බිහි වූ රජ කෙනෙකු ගැන ගීතයක් එදා සූදානම් කෙරුණි. ඒ බව කල්තියා ප්‍රසිද්ධියට පත්වීමත් සමග මහා විරෝධයක් මතු විය. එතැනින් ඒ සැලැස්ම අවසන්ව, අර ගීතයක් හකුලා ගැනුණි. බලය පිළිබඳ මහමාරිය සිරිසේනගේ ශරීරගත වූ ප්‍රථම අවස්ථාව සමහර විට එය විය හැකිය.

දැන් පොළොන්නරුවේ රජාත්, රුහුණේ රජාත් එක ගෙයි කති. ඒ හවුල තුළ තිබිය හැක්කේ එක අවසානයක් පමණි. ජනවහර පිළිබඳ තම දැනුම දැන්වත් සිරිසේන සිහිපත් කර ගැනීම වටී. ටොල්කියන් නැමැති නවකතාකරුවා ගැන ඔහු කිසිත් නොදන්නවා විය හැකිය. එහෙත්, කොටියාව වලිගෙන් අල්ලා ගත් මිනිසා පිළිබඳ කතාව ඔහු අසා ඇතිවාට සැක නැත.

අපේක්ෂාව සහ ප්‍රතිරෝධය පෑම

ඉතිහාසය පිනා යන උත්ප්‍රාසයන් ද තිබේ. 2015 ජනවරම රාජපක්ෂගේ මහා හිම පතනයකට යට කොට වළ ලෑමට සිරිසේන ගත් ප්‍රයත්නය, ප්‍රජාතන්ත්‍රීය බලවේගවලට නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය අල්ලා ගැනීමට පොටක් පාදා දී තිබීම එවැන්නකි. 2015 ජනවාරි 8 වැනි දා හැට දෙලක්ෂයක් ජනතාව සිරිසේනට ඡන්දය පාවිච්චි කළ අවස්ථාවේ ඉන් බොහෝ දෙනා ඡන්දය දුන්නේ පුද්ගලයාට නොව, ඒ පුද්ගලයා සංකේතවත් කළ ප්‍රාර්ථනයකටයි. ඒ වනාහී, රාජපක්ෂ පවුල් පාලනයෙන් නිදහස් වීමේ ප්‍රාර්ථනයයි. අද ඔහු විසින්ම රාජපක්ෂලාගේ පුනරාගමනයක් සඳහා දොර විවර කර දී තිබේ. නීති විරෝධී විසුරුවා හැරීම සහ නීති විරෝධී මැතිවරණය නොනැවතී ඉදිරියට ගියොත්, 2019 ජනවාරි 6 වැනි දාට, අර කලින් ජනවාරිය කිසි දා නොපැවතුණු දෙයක් වශයෙන් පෙනේවි ද?

ගත වූ තුන් වසරකට වැඩි කාලයක් තිස්සේ ඇති කර ගත් ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණවල ශක්තිය උරගා බැලීමේ අවස්ථාවක්, අගමැතිවරයෙකු නීති විරෝධීව පහ කිරීමත්, පාර්ලිමේන්තුව නීති විරෝධීව විසුරුවා හැරීමත් විසින් උදා කර දී ඇති බව අප වටහා ගත යුතුය. ඒවායේ සැබෑ අරුතක් තිබේ ද, ඒ ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ කල් පවත්නා ගතියකින් යුක්ත වන්නේ ද, එසේ නැතහොත්, හුදෙක් මායාවක් ද නැත්නම් වහා නස්නා සුළු වේද? ස්වාධීන කොමිෂන් සභා සැබවින්ම ස්වාධීන ද? කොල්ලකාරී දේශපාලඥයන්ගෙන් ව්‍යවස්ථාව ආරක්ෂා කර දීමට සහ නිසි ක්‍රියාපරිපාටි පවත්වාගෙන යාම සහතික කර දීමට අධිකරණයට ශක්තියක් තිබේ ද? 2015 න් පසු ඇති කර ගත් හෝ ප්‍රකෘති තත්වයට පත්කර ගත් ප්‍රජාතන්ත්‍රීය ආයතන ආක්‍රෝශකාරී විධායකයකට මුහුණදීමට තරම් ජවයෙන් යුක්ත ද? මෙය, එනම් සිරිසේනගේ පාවාදීම, ප්‍රජාතන්ත්‍රීය ප්‍රාර්ථනයේ අවසානය ද, නැතහොත් හුදු පසුබෑමක් පමණක් ද?

අධිකරණය විනිශ්චයන්ට එළැඹෙන්නේ නීතිරීති මත පමණක් පදනම්ව නොවේ. විශේෂයෙන් රටක ඉරණම අවදානමට ලක්ව ඇති මොහොතක, දේශපාලනය ද යම් භූමිකාවක් රඟපායි. සිරිසේනගේ ක්‍රියාකලාපයේ නීති විරෝධී භාවය අධිකරණය අනුමත නොකළොත්, එයම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයකි.

එහෙත් නග්න බලය ඉදිරියේ මැතිවරණ කොමිසම දණ ගැසුවොත් සහ ලාංකීය අධිකරණයේ ස්වාධීනත්වය හුදෙක් අවාරයේ එළැඹෙන දෙයක් පමණක් බවට වුණොත් තත්වය කවරේ ද? එවිට අනීතිකත්වය ජය ගනු ඇත. මැතිවරණය පැවැත්වෙනු ඇත. එවැනි මැතිවරණයක ස්වභාවය විසින්ම එය ප්‍රජාතන්ත්‍රවාදී අභ්‍යාසයක් නොව ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි අභ්‍යාසයක් බවට පත්වනු ඇත.

බලාපොරොත්තු විය හැකි නරකම තත්වය එයයි. ඊට අප සූදානම් විය යුතුය.

අප ජීවත් වන්නේ. ක්‍රමානුකූලව, සමහර විට ප්‍රචණ්ඩ ආකාරයෙන්, පසුබෑමට ලක්විය හැකි කාලයකයි. එහෙත් ඒ අන්ධකාරය අස්සේ දීප්තිමත් එළි ද විහිදෙයි. එය, ආචාර්ය දේවනේසන් නේසයියා ගත් ප්‍රතිපත්ති ගරුක ස්ථාවරය වේවා, වැඩිමනත් සාමාන්‍ය පුරවැසි කණ්ඩායම් දිනපතා දක්වන විරෝධතාවන් වේවා, ව්‍යවස්ථාව ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කිරීමට දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව ගත් ස්ථාවරය වේවා, 2009 දී පුද්ගලයන් දෙදෙනෙකු පැහැර ගැනීමේ චෝදනාවට ලක්ව සිටින නාවුක හමුදා නිලධාරියාව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීම වේවා, ඒ හැම තැනකම, ලොකු කුඩා වශයෙන්, විරෝධතාවයේත්, එඩිතර භාවයේත්, ශිෂ්ට සම්පන්න භාවයේත් නිමිති දකින්ට තිබේ. ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ වාර්තාවකට අනුව, මල්වතු පාර්ශ්වයේ මහනායක හිමියන් සිරිසේනව හමුවීම ප්‍රතික්ෂේප කොට තිබේ. (රාජපක්ෂටත් මේ දේම වෙන්නට ඇති. මන්ද යත්, ඔක්තෝබර් 26 න් පසු ඔහු නුවරට ගිය දේශපාලන වන්දනාවට මල්වතු මහා විහාරයට යාමක් සිදු නොවුණු බැවිනි).

ප්‍රාර්ථනය ඝාතනය කොට ඇති මුත් නෂ්ටාපේක්ෂාවට පත්වීමට හේතුවක් නැත.

සිරිසේන-වික්‍රමසිංහ හවුල ඉදිරියටත් ඉබාගාතේ ගියේ නම්, 2020 වන විට එය ජනතා අප්‍රසාදයේ පතුලටම යන්නට තිබුණි. එහි ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරීත්වය විසින් ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් බොහොමයක්, එක්කෝ රාජපක්ෂගේ තුරුලට, නැත්නම් හුදු අපේක්ෂා භංගත්වයට හෝ ඡන්දය පවා පාවිච්චි කිරීමට නොසිතෙන ආකාරයේ අක්‍රීයත්වයකට, තල්ලු කිරීමට තිබුණි.

එහෙත් සිරිසේන-රාජපක්ෂ ජෝඩුව සිදු කළ ව්‍යවස්ථා-විරෝධී අපරාධ හේතුවෙන් අද වන විට දේශපාලනික සහ මනෝමය භූමි දර්ශනය ප්‍රබල වෙනසකට ලක්කොට තිබේ. ඒ මගින්, සැබවින්ම පරදුවට වැටී ඇත්තේ කුමක් ද යන්න පැහැදිළිව බෙදා වෙන් කොට දක්වා තිබේ. මෙය සාමාන්‍ය අර්බුදයක් නොවේ. අද අප ගන්නා තීරණයන්, අප පුරවැසියන්ගේ තත්වයේ සිටිනු ඇත් ද, නැත්නම් ඉස්සරටත් වඩා යටත් වැසියන්ගේ තත්වයට පත්කරනු ඇත් ද යන්න විනිශ්චය කරනු ඇත.

ඒ අනුව බලන විට අප ඉදිරියේ ඇත්තේ, 2015 තිබුණාටත් වඩා බරපතල අභියෝගයකි. ඊට සාර්ථකව මුහුණදිය හැක්කේ, එක් මුලික සත්‍යයක් එක්සත් ජාතික පක්ෂය අවබෝධ කර ගන්නේ නම් පමණි. එන මැතිවරණය ඔවුන්ට තනියෙන් ජය ගත හැකි නොවේ. එහි නායකත්වය රනිල් වික්‍රමසිංහ වේවා, සජිත් ප්‍රේමදාස වේවා, වෙන ඕනෑම කෙනෙකු වේවා, එය කළ නොහැක්කකි. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරණම තීන්දු කරන මැතිවරණයකි. ඒ බව හඳුනාගෙන ඒ ආකාරයෙන් ඊට මුහුණදිය යුතුව තිබේ. පක්ෂ මතවාදයෙන් මැතිවරණයට මුහුණදුන්නොත්, එක්සත් ජාතික පක්ෂයට ලබා ගත හැකි වනු ඇත්තේ සියයට 35 ක පමණ ඡන්ද ප්‍රතිශතයකි.

අලුතින් තිරිහන්ව සිටින රාජපක්ෂ ගල්රෝල නතර කළ හැක්කේ පුළුල්ම දේශපාලනික සන්ධානයකට පමණි. ව්‍යවස්ථාව අමු අමුවේ ඝාතනය කිරීමට එරෙහිව පෙළ ගැසුණු ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග්‍රසය සහ වෙනත් සියලු පක්ෂ එකතුව ඇති කර ගන්නා සන්ධානයක එක්සත් ජාතික පක්ෂය කොටස්කරුවෙකු විය යුතුය. මේ සංග්‍රාමය සඳහා, හැකි තාක් බලවේග ඇතුළත් කර ගන්නා කූඩාරමක් තැනිය යුතුව තිබේ. එය, දියත් කළ යුතු, නිවැරදිව දියත් කළ යුතු, ප්‍රතිඵලය කුමක් වුවත් දියත් කළ යුතු, අනිවාර්ය සංග්‍රාමයකි.

Back to Top