Sri Lanka Brief
පුවත්විවරණරාජපක්ෂ අගමැතිකරවීමත් ඉන් පසු සිරිසේන ගත් පියවරත් බල රහිතයි – ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න

රාජපක්ෂ අගමැතිකරවීමත් ඉන් පසු සිරිසේන ගත් පියවරත් බල රහිතයි – ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න

by

 

පාර්ලිමේන්තූ මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා විසින් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය පිළිබඳව මාධ්‍ය හමුවලදී කරන ලද ප්‍රකාශවල සාරාංශය.

2018 ඔක්තෝම්බර් මස 26 වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන විසින් අගමැති ධූරයෙන් උද්දේශිතව ඉවත් කර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස උද්දේශිතව පත් කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් පැන නැගී ඇත.

2015 මැයි මස 15 වන දින නීතිගත වූ 19 වන ව්‍යවස්ථා සංශෝධයට පෙර ව්‍යවස්ථාවේ 43 වන වගන්තිය මෙසේ කියවුණි.

“පාර්ලිමේන්තූවේ යම් කිසි මන්ත්‍රීවරයෙකු කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇතැයි ජනාධිපතිවරයා කල්පනා කෙරේ ද, ජනාධිපතිවරයා විසින් ඒ මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ යුත්තේ ය.”

අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට ප්‍රකාශිතවම බලය තිබුණි. 47 වන වගන්තිය මෙසේ කිය වුණි.
“අග්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක් හෝ වෙනත් යම් අමාත්‍යවරයෙක් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් –

(අ) ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවන ලිපියක් මගින් ඉවත් කරනු ලැබුවහොත්: හෝ
(ආ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් අස්වුවහොත්: හෝ
(ඇ) තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු නොවුවහොත් හෝ මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේ ද ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේ ය.”

19 වන සංශෝධනයෙන් කරන ලද වෙනස් කම්.

19 වන සංශෝධනය තුළින් පාර්ලිමේන්තුව ශක්තිමත් කරන ලදී. ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබු බලය සීමා කරන ලදී. දැන් 70 වන වගන්තිය යටතේ වසර හතර හමාරක් යන තුරු පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් විසුරුවා හැරිය හැක්කේ ක වැඩි ඡන්දයකින් පාර්ලිමේන්තුව විසිරුවා හරින ලෙස ඉල්ලා සිටියහොත් පමණි.
අග්‍රමාත්‍යවරයා පත් කිරීම පිළිබඳ දැන් ක්‍රියාත්මක 42(4) වන්තිය මෙසේ කිය වේ.

“ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේ ය.”
ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු පත්කළ හැක්කේ අගමැතිවරයාගේ උපදෙස් පරිදි පමණි. (44, 45 වගන්ති)

අගමැතිවරයා, ඇමතිවරයෙක් හෝ නියෝජ්‍ය ඇමතිවරයෙකු ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබුණු බලය මේ අනුව ව්‍යවස්ථාවෙන් ඉවත් කරන ලදී. පැරණි 47 වන වගන්තිය වැනි විධිවිධාන වගන්තියක් දැන් ව්‍යවස්ථාවේ නැත. 46(3) වගන්තිය යටතේ, ඇමතිවරයෙක් හෝ නියෝජ්‍ය ඇමතිවරයෙකු ඉවත් කළ හැක්කේ අගමැතිවරයෙකුගේ උපදෙස් මත පමණි. එසේනම් පැරණි 47 වන වගන්තිය ප්‍රකාශිතවම ඉවත් කර ඇති බැවින් ජනාධිපතිවරයාට සිතුමතේට ඇගමැතිවරයාව ඉවත් කළ හැකි බව කියා සිටීම විකාරයකි.
අග්‍රමාත්‍යවරයා ස්වකීය ධූරය දැරීම පිළිබඳ ඇති එකම වගන්තිය වන්නේ 46(2)

“අග්‍රාමාත්‍යවරයා (අ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් හෝ: (ආ) තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු නොවුවහොත් හෝ මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේ ද ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේ ය.
අමාත්‍ය මන්ඩලය විසිරුවා හැරියාය ලෙස සැලෙකෙන අවස්ථා තුනකි.

48(2) පාර්ලිමේන්තුව විසින් ආන්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ ප්‍රතික්‍ෂේප කළ හොත් එවිට ද ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් සම්මත කළ හොත් එවිට ද අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ ය.

එසේ වූ විට 70 වන ව්‍යවස්ථාව යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවහොත් මිස, ජනාධිපතිවරයා විසින් 42 වන, 43 වන, 44 වන සහ 45 වන ව්‍යවස්ථා අනුව අග්‍රාමාත්‍යවරයෙක් ද, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් ද, අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයන් නොවන අමාත්‍යවරයන් ද, නියෝජ්‍ය අමාත්‍යවරුන් ද පත් කළ යුත්තේ ය.”

ඉහත සඳහන් අවස්ථා තුනෙන් එකක් වත් මේ වන තෙක් උද්ගත වී නොමැත. අනෙක් අතට 2018 අප්‍රේල් 04 වන දා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන ලද විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 46කින් පරාජය විය. ඉන්පසු කිසිදු වෙනස්වීමක් සිදු නොවීය. 2018 ඔක්තෝම්බර් 25 වන දින සහ 26 වන දින වල පවා ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත්, නියෝග සහ යෝජනා කිහිපයක්ම සම්මත විය. මෙයට මුදල් පනතක් ද ඇතුළත් විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(1) වගන්තියේ සිංහල පිටපතෙහි අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමක් සඳහන් වන බව තර්ක කර ඇත. එම වගන්තියේ සිංහල පිටපත මෙසේ ය.

“පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලැබීමත් මහ මැතිවරණය අවසාන වීමත් අතර කාලය තුළ හැර, ධූරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින හෝ අග්‍රාමාත්‍යවරයා ධූරය දැරීම නතර වූ විට, 70 වන ව්‍යවස්තාව යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇතොත් මිස. අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ ය. එසේ වූ විට ජනාධිපතිවරයා විසින් 42 වන, 43 වන, 44 වන සහ 45 වන ව්‍යවස්ථා අනුව අග්‍රාමාත්‍යවරයෙකු ද, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් ද, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් ද, නියෝජ්‍ය අමාත්‍යවරුන් ද පත් කළ යුත්තේ ය.”

ඉංග්‍රීසි පිටපතේ සඳහන් ව ඇත්තේ “මරණය, ඉල්ලා අස්වීම හෝ අන්‍යාකාරයෙන් යනුවෙනි.” කෙසේ වෙතත් අගමැතිවරයා ඉවත් කිරීමට පැහැදිලි ලෙස ජනාධිපතිවරයාට බලය දෙන කිසිම විධිවිධානයක් සිංහල හෝ ඉංග්‍රීසි පිටපතේ නොමැත. එම නිසාත්. අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට මුල් ව්‍යවස්ථාවෙන් තිබූ බලය 19 වන සංශෝධනයේ ප්‍රකාශිතවම ඉවත් කර ඇති නිසාත් දැනුදු ජනාධිපතිවරයාට සිය කැමැත්තට අගමැතිවරයා ඉවත් කිරීම කිසිසේත් කළ නොහැක. ඒ අනුව සිංහල පිටපතෙහි අගමැතිවරයා “ඉවත් කිරීම” යනුවෙන් කෙරෙන සඳහන 48(2) වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජය වීම, අය-වැය ලේඛනය පරාජය වීම හෝ විශ්වාස භංගයක් සම්මත වීම මගින් අගමැතිවරයා ඉවත් කිරීම ලෙස අර්ථ නිරූපණය කළ යුතු වේ. වෙනත් ඕනෑම අර්ථ නිරූපණයක් 2015 ජනවාරි 08 වන දින ජනාධිපතිවරණයේ දී ජනතාව ප්‍රකාශ කළ අභිලාශයන්ට සහ 19 වන සංශෝධන සම්මත කිරීමේ දී පාර්ලිමේන්තුවේ අරමුණට පටහැනි වනු ඇත.

අර්ථ නිරූපණ ආඥා පනත

අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන පැහැදිලි විධිවිධානයක් නොමැති වුවද අර්ථ නිරූපණ ආඥා පනතේ 14 වන වගන්තිය යටතේ එසේ කළ හැකියි තර්ක කර තිබේ. එම වගන්තියෙන් කියවෙන්නේ යම් නිලධාරියෙකුගේ පත්වීම් බලධාරියාට එම නිලධාරියා ඉවත් කිරීමට ද බලය ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථ නිරූපණය කිරීමේ දී අර්ථ නිරූපණ ආඥා පනත අදාළ නොවන බව ශ්‍රී ලංකාවේ අධිකරණ දිගින් දිගටම ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ සමීපතම තීරණය වන්නේ, 18 වන සංශෝධනය යටතේ තමන්ට තෙවෙනි වාරයක් ජනාධිපති ධූරයට ඉදිරිපත් වීමට හැකි දැයි ජනාධිපති රාජපක්‍ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසු විට ප්‍රකාශ කළ මතයයි. (ශ්‍රේෂ්ඨාධිකරණ යොමු කිරීම් අංක 01/2014, 2014 නොවැ: 10). ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ විනිශ්චය මඩුල්ල ඒකමතිකව තීරණය කලේ ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ දී අර්ථ නිරූපණ ආඥා පනත අදාළ වන බවට තර්කය සාවද්‍ය බවය.

අර්ථ නිරූපණ ආඥා පනත යටතේ අදාළත්වය. ශ්‍රී ලංකා අධිකරණ විසින් දිගින් දිගට ප්‍රතික්‍ෂේප කර ඇති බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ බවට අග්‍රවිනිශ්චයකාර සරත් සිල්වා සහ අමරතුංග සහ රත්නායක විනිශ්චයකාරවරුන් ශ්‍රේෂ්ඨාධිකරණ යොමු අංක 03/08 නඩුවේ දී දුන් එවැනි තීන්දුව කෙරෙහි අවධානය යොමු කළේය. එසේම 1997 ශ්‍රී ලංකා නීතිවාර්තා පළමු වන වෙළුමේ 208 පිටේ වාර්තාගත පීටර් අතපත්තු එදිරිව මහජන බැංකු නඩුවේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානයන් සහ අර්ථ නිරූපණ ආඥාපනත යටතේ ගැටුමක් ඇති විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක වන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළ බව සඳහන් කරන ලදි.

මෙම කාරණය පිළිබඳ විදේශීය අධිකරණ විසින් දෙන ලද නඩු තීන්දු ගණනාවක් ද විශ්‍රාමලත් අගවිනිසුරු ශර්වානන්ද මැතිතුමා සිය “ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්” නම් ග්‍රන්ථයේ 43 වන පිටේ කරන ලද ප්‍රකාශයක් කෙරෙහි ද ශ්‍රේෂ්ඨාධිකරණය අවධානය යොමු කළේ ය.

ජාතික ආණ්ඩුව

19 වන සංශෝධනයෙන් පසු 46(1) වගන්තිය යටතේ අමාත්‍ය සංඛ්‍යාව 30ටත්, රාජ්‍ය අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරු 40ටත් සීමා වේ. එහෙත් පාර්ලිමේන්තුව තුළ වැඩි ආසන සංඛ්‍යාවක් හිමි පක්‍ෂය ජාතික ආණ්ඩුවක් පිහිටු වූ විට අමාත්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට පාර්ලිමේන්තුවට හැකි බව 46(4) වගන්තියෙන් කියවේ.
2015 අගෝස්තු මස පැවති මහ මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුව පිහිටුවා ඇති බවත් එම ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සංධානය ඉවත් වීමත් සමග කැබිනට් මණ්ඩලය විසිරුවා හරින බවට තර්කයක් ද ඉදිරිපත්ව ඇත.

2015 අගෝස්තු මස 17 වන දින පැවැති මහ මැතිවරණයෙන් වැඩි ආසන ලබාගත් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2015 අගෝස්තු 21 වන දින අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරන ලදී. එසේ කරන ලද්දේ පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇත්තේ වික්‍රමසිංහ මහතාට බව ජනාධිපතිවරයාගේ මතය වූ නිසාය. එයින් ඉක්බිතිව මංගල සමරවීර, තිලක් මාරපන, විජයදාස රාජපක්‍ෂ යන තිදෙනා අමාත්‍යවරු ලෙස පත්කරන ලදි. 2015 සැප්තැම්බර් මස 01 වන දින නව පාර්ලිමේන්තුව පළමුවරට රැස්වූ විට අගමැතිවරයා ලෙස කළින්ම පත්කර සිටියේ වික්‍රමසිංහ මහතායි.

එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බැවින් අමාත්‍ය සංඛ්‍යාව වැඩි කිරීම සඳහා යෝජනාවක් 46(4) වගන්තිය යටතේ 2015 සැප්තැම්බර් මස 03 වන දින අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලදි. එම යෝජනාව සම්මත විය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය පිළිබඳ කිසිම සඳහනක් එම යෝජනාවේ නොවී ය. ඇත්තෙන්ම ජාතික ආණ්ඩුවට එක් වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය පමණක් නොව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සලකුණ යටතේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රීවරයා ද ඊට එක්විය. මුස්ලිම් කොන්ග්‍රසයේ අනිකුත් මන්ත්‍රීවරු පත් වූයේ එක්සත් ජාතික පක්‍ෂයේ සලකුණ යටතේ ය.
මේ අනුව වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්කරනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවට එක් වීමට පෙරය. වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති මන්ත්‍රීවරයා ලෙස ජනාධිපතිවරයා මතයකට පැමිණියේ පාර්ලිමේන්තුව තුළ වික්‍රමසිංහ මහතාගේ පක්‍ෂයේ ශක්තිය පමණක් මතය.
මේ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීම, 2015 අගෝස්තු මස 21 වන දින වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්කිරීමට කිසිදු බලපෑමක් නොවීය.
තවද ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පාර්ලිමේන්තුවේ කාර්යයකි. ජාතික ආණ්ඩුවක් පැවතීම කෙළවර වූ විට එහි එකම ප්‍රතිඵලය වන්නේ එහි අමාත්‍යවරු සංඛ්‍යාව 30ට අඩු වීම සහ රාජ්‍ය අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 40ට අඩු වීම පමණි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සමග ඇති ජාතික ආණ්ඩුව එසේම පවති.

■ නිගමනය

මේ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කෙරුවායයි කියමින් කරන ලද නියෝගය (උද්දේශිත ඉවත් කිරීම) සහ රාජපක්‍ෂ මහතා අගමැති ධූරයට කලායැයි කියන පත්වීම (උද්දේශිත පත්වීම) ව්‍යවස්ථාව විරෝධි බව පැහැදිලිය.

ඒ අනුව ඉන් පසු ගන්නා ලද සියලු පියවරයන් ද බල රහිතය.

Back to Top