Sri Lanka Brief
පුවත්රනිල් වික්‍රමසිංහ විසදුමේ නොව ප්‍රශ්ණයේ කොටසකි.

රනිල් වික්‍රමසිංහ විසදුමේ නොව ප්‍රශ්ණයේ කොටසකි.

by

කෞටිල්‍ය විසිනි.

මහින්ද අගමැති ලෙස පත කළ 26වනදායාන් පසු සිරිසේන විසින් නීතිවිරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බව තේරුම් ගැනීමට රොකට් විද්‍යාඥයකු වීමට අවශ්‍යතාවක් තිබුණේ නැත. විසුරුවා හරින තුරුම රනිල් වික්‍රමසිංහ සිතා ගෙන සිටියේ බටහිර රටවල් ප්‍රකාශ ගණනාවක් මගින් සිරිසේනගේ ව්‍යවස්ථා විරෝධී පිළිවෙත පරාජය කළ හැකි බවයි.

දැන් සිරිසේනගේ ගැසට්ටුව අත් හිටවා ගැනීමට හැකිව ඇත්තේ 19වන සංසෝධනය නිසාය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට රනිල් වික්‍රමසිංහ එතරම් කැමැත්තක් නොදැක් වූ බව රහසක් නොවේ. මෙයට පෙර අගමැති වූ 2002 වසරෙහි ඔහු ඒ ගැන උනන්දුවක් දැක්වූයේම නැත. 

2004 වසරෙහි දී වන්ද්‍රිකා කුමාරතුංග විසින් රනිල් වික්‍රමසිංහ නායකත්වය දුන් එජාප ආණ්ඩුව විසුරුවා ඇති පුවත ඔහුට දැනුම් දුන්නේ ඔහුගේ කාර්යාලයේ සේවය කළ ජනමාධ්‍යවේදියකු විසිනි. එවිට වික්‍රමසිංහගේ පිළිතුර වූයේ ‘ ඒක වෙන්න බැහැ. මට ජාත්‍යන්තරය පොරොන්දු වුණා’ කියා යැයි කියනු ලැබේ.

2002 වසරෙහිදී රනිල් වික්‍රමසිංහ එල්ටීටීඊ නායක ප්‍රභාකරන් සමඟ සාම ගිවිසුම අත්සන් කරන ලද්දේ එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග විමසන්නේ නැතිව ය. එමෙන්ම අත්සන් කරන ලද්දේ අනෙක් කිසිදු පාර්ශවයක් සමඟ සාකච්ජාවකින් තොරව ය.

ඔහුගේ දේශපාලනය සකච්ජාවෙන් සම්මුතියෙන් සිදුවන දෙයක් නොවේ. කුමාරතුංග සමඟ ආණ්ඩුව ගෙනයෑමට නොහැකි වූ රනිල්, සිරිසේන සමඟ කෙසේ දේශපාලන හවුලක් පවත්වා ගන්නද?

රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය පුද්ගලික උද්දච්චකම මත රඳා පවතින එකකි. ඔහුගේ දේශපාලන දර්ශනය යල් පැන ගිය නව ලිබරල්වාදයයි. ඔහු විශ්වාස කරන්නේ වෙළද පොල මගින් සමාජ සාධාරණත්වය ඉටුවනු ඇතැයි කියා ය. එමෙන්ම ආර්ථිකය සමස්ථ වශයෙන් පුද්ගලික අංශය විසින් පවත්වා ගෙන යා යුතුය කියා ය.

එක් අඩියක් ඉදිරියට යාම පිනිස අඩි දෙකක් පසු පසට යෑමට සිදුවේ නම් උපක්‍රමික ලෙස එම පියවර ගත යුතු යැයි කීවේ ලෙනින් ය. කව්රු කිවද එහි සත්‍යක් තිබේ. 2004 දී හෝ 2018 දී හෝ එක් අඩියක් ඉදිරියට යෑම පිනිස අඩි දෙකක් පසු පස්සට ගැනීමට රනිල් වික්‍රමසිංහ සමත්වූයේ නම් අද තිබෙන දේශපාලන අර්බූදය ඇති වන්නේ නැත. ඔහුගේ දේශපාලනය රදා පවතින්නේ තමාගේ අභිමතය උඩ මිස යථාර්තවාදි ගණන් හැදීමක් මත නොවේ. සිරිසේනගේ පිස්සුව  තද කලේ රනිල් ය. දැන් සිරිසේනගේ පිස්සු ඩබල් වී තිබීම වෙන කතාවකි.

දැන් රනිල් වික්‍රමසිංහ අරලිය ගහ මන්දිරයෙහි සිවිල් සමාජ පිරිස්වලට වෙන කාමරයක් පවා දී තිබේ. නමුත් 2015 අගොස්තුවෙහිදි මහ මැතිවරණය ජය ලැබීමෙන් පසු රාජපක්ෂ පරාජය කිරිමට කැපවූ සිවිල් සමාජ කණ්ඩායම්වලට තේ උගුරක් දීමට වත් ඔහු ක්‍රියා කළේ නැත.

ලසන්ත වික්‍රමතුංගගේ අවමඟුල අවස්ථාවෙහි එක් රැයක එවකට හොඳ යූඇන්පී කාරයින් වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ලක්ෂමන් සෙනවිරත්න එහි පැමිණියෝ ය. කොපි බොමින් කතාවට වැටුණූ ඒ දෙදෙනාම කිවේ නායකත්වයෙන් ඉවත් නොවුනහොත් රනිල් වික්‍රමසිංහ බලයෙන් ඉවත් කරන බවය.

අන්තිමේ දී ඒ දෙදෙනාටම එජාපය අතහැර යාමට සිදුවිය. ඊයේ එනම් 13 දා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමින සිටි යූඇන්පීයේ කැපී පෙනෙන තරුණ මංත්‍රීවරු ගණනාවක්ම එම ප්‍රකාශයම පුනරුච්චාරනය කරනු ඇසීම පුදුමයට කරුණක් විය.

මේ තාක් රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට අභියෝග කළ සියලු දෙනාට සිදුව ඇත්තේ පොන්ස්ටන්ට සහ ලක්ෂ්මන්ට සිදු වූ දේමය. එජාපයේ ජීවිත කාලයෙන් තුනෙන් එකක්ම නායකත්වය දරා ඇති රනිල් යටතේ එජාපය දුර්වල වූවා මිස ශක්තිමත් වී නැත. ඔහු නිසා යූඇන්පිය හැර ගිය පිරිස කොතරම්දැයි නිකමට කල්පනා කර බලන්න.

මහා මැතිවරණකින් ජය ලැබීමේ වඩාම හැකියාව ඇත්තේ රාජපක්ෂ පෙරමුණට බව පසුගිය පෙබරවාරියේ පැවැති පළාත් පාලන ඡන්දයෙන් මනාව පෙනී ගියේ ය. එම තත්වයට මුහුණ දීමට පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතු යැයි නැගී ආ මතය රනිල් පරාජය කළේ තම අන්තේවාසිකයකු වන ආධුනික අකිල විරාජ්ට පක්ෂයේ බලතල ලබා දීම මගිනි.

ඔහු එජාපයේ අද ජනප්‍රියම නායකයා වන සජිත් ප්‍රේමදායට නිසි තැන ලබා දුන්නේම නැත. පසුගිය වසර තුන හමාර තුල ඔහු දෙනියාය ආසනයට පමණක් 42වතාවක් ගොස් ඇතැයි කියනු ලැබේ. ඔහුගේ සෙවණ ලැබෙන්නේ තෝරාගත් පිරිසකට පමණය.

එක්සත් ජාතික පක්ෂයට නව ජවයක් නැතිව ඉදිරියට යා නොහැකි ය. රනිල් වික්‍රමසිංහට එවැනි ජවයක් ලබා දිය නොහැක. එසේ වෙතත් තවදුරටත් එජාපය පවතින්නට යන්නේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ නම් එළඹෙන මැතිවරණයෙන් ජාම බේරා ගන්නටවත් නොහැකි වනවා ඇත.

එයට මැතිවරණ බිමෙහි සටනක් දීමට නම් මහජන හිතවාදි පිළිවෙත් මෙන්ම ජනප්‍රිය නායකයකු සොයා ගත යුතු ය.

ප්‍රශ්ණය සජිත් හොඳද නැත්ද යන්න නොවේ. රනිල් වික්‍රමසිංහ යල් පැන ගොස් තිබීමයි. සිරිසේන විසින් යූඇන්පියට ලබා දී ඇත්තේ අපූරු අවස්ථාවකි. මෙම දේශපාලන මොහොත අල්ලා ගැනීමට යූඇන්පියට බැරි වුව හොත් රාජපක්ෂවරු තනි අතේ් ගේමක් සෙල්ලම් කරනවා ඇත.

Back to Top