Sri Lanka Brief
පුවත්විවරණමෙහෙමත් රටක් හැබෑටම – සසංක පෙරේරා

මෙහෙමත් රටක් හැබෑටම – සසංක පෙරේරා

by

කාටූනය: විනී හෙට්ටිගොඩ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2018 ඔක්තෝබර් 26 වැනි දා අගමැති රනිල් වික්‍රමසිංහව තනතුරින් ඉවත් කොට, නොවැම්බර් 16 වැනි දා දක්වා පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේදී, ශ්‍රී ලංකාවේ සංචාරක සංවර්ධන අධිකාරියේ ජගත් වෙළඳ ප්‍රචාරණ පාඨයක් වන “ලෝකෙන් එකම රට” යන්නට අලුත් අරුතක් එක් කෙළේය. ඇත්තෙන්ම, සති අන්තයක් එළැඹෙන එක් සිකුරාදා රෑක, අගමැතිවරයාට කිසිත් නොදන්වා ඔහුව එම තනතුරින් අස් කොට ඒ පිළිබඳ ගැසට් නිවේදනයකුත් නිකුත් කරන වෙනත් රටක් තවත් කොහේ නම් තිබිය හැකි ද? ව්‍යවස්ථා විශේෂඥයෙකු නොවන මට, සිකුරාදා රෑ ජනාධිපතිවරයා පෙන්වූ ඒ දේශපාලනික සෙල්ලම පෙනෙන්නේ, නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් වශයෙනි.

2015 දී සිරිසේන සහ වික්‍රමසිංහ යන දෙදෙනාගේම ආශිර්වාදය යටතේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දීමේ අරමුණ වුණේ, අගමැතිවරයාව හිතුමතේ වෙනස් කිරීමට ජනාධිපතිවරයාට තිබූ අත්තනෝමතකික විධායක බලය කප්පාදු කිරීමයි. මේ සංශෝධනය යටතේ අගමැතිවරයාගේ ධුරය අහිමි වනු ඇත්තේ, ඔහුගේ මරණයේදී, ඔහුගේ ඉල්ලා අස්වීමේදී හෝ ඔහුගේ මන්ත්‍රී ධුරය අහිමි වීමේදී හෝ පමණි. එසේ නැතහොත්, පාර්ලිමේන්තුවේ විශ්වාසය ආණ්ඩුවට නැති වුණොත් ය. ආණ්ඩුව කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය නැති වීම සිදුවන්නේ, ආණ්ඩුවේ අයවැය පරාජය වීමේදී හෝ ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයක් සම්මත වීමේදී ය. (46.2 සහ 48). එහෙත් ඒ කිසිවක් දැන් සිදුවී නැත.

අලුත් අගමැතිවරයෙකු පත්කිරීමට ජනාධිපතිවරයාට බලය ඇතත්, එම බලය ඔහුට පාවිච්චි කළ හැක්කේ දැනට බලයේ සිටින අගමැතිවරයාගේ ධුරය ඉහත කී යම් ක්‍රමයකින් හිස්ව ඇති අවස්ථාවකදී පමණි. “ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා වශයෙන් පත්කරනු ලැබිය යුත්තේය” යන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 42.4 වගන්තිය යමෙකු ජනාධිපතිවරයාට වැරදියට අර්ථ ගන්වා ඇති බවක් පෙනේ. මේ වගන්තියේ නිවැරදි අරුත වන්නේ ඉලක්කම් පිළිබඳ කාරණයක් බව පැහැදිළි ය. එනම්, පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීන් සංඛ්‍යාවක් සිටින්නේ කාට ද යන්නයි. ඔළුවක් නැති ලංකාවේ පාර්ලිමේන්තුවේ 225 දෙනා අතුරින් අඩු වශයෙන් 113 දෙනෙකුගේ සහාය ඔහුට තිබිය යුතුය. එහෙත් වික්‍රමසිංහව ඉවත් කිරීමේදී සහ රාජපක්ෂව පත්කිරීමේදී මේ මූලික අංකගණිතමය කාරණය ජනාධිපතිවරයා පැත්තකට දමා ඇති බවක් පෙනේ. වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ විශ්වාසය නැතැයි සිතන ඔහු, රාජපක්ෂට එම විශ්වාසය ඇතැයි සිතයි.

එහෙත් එම කාරණයේ නෛතික භාවය පිළිබඳ විනිශ්චය කිරීම ව්‍යවස්ථා විශේෂඥයන්ටත්, ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් (ප්‍රශ්නය එතැනට යොමු කළොත්), මම භාර කරමි. මට වඩාත් වැදගත් වන්නේ, මේ දිග හැරුණු සිද්ධියේ සදාචාරය සහ ශිෂ්ටත්වය පිළිබඳ කාරණාව ය. මේ මොහොතේ ලංකාවට අගමැතිවරු දෙදෙනෙකි. ඇමති මණ්ඩල දෙකකි. ඒ අනුව, එක පැත්තකින් රටේ සංවර්ධනය දෙගුණයකින් වැඩි කර ගැනීමටත්, අනිත් පැත්තෙන් දූෂණය සහ දේශපාලනික අල්ලස දෙගුණයකින් වැඩි වීමටත් ඉඩ තිබේ. ඒ සියල්ල අස්සේ, කඩාකප්පල් කිරීමට ලක්ව තිබෙන අපේ දුර්වල ප්‍රජාතන්ත්‍රවාදයේ දීර්ඝ කාලීන පැවැත්ම පිළිබඳ දැඩි අනියත භාවයක් හොල්මන් කරයි. ඇත්ත, මෙහෙම රටක් නම් ලෝකයේ වෙන කොහේවත් නැහැ තමයි. සාමාන්‍ය බුද්ධියක් ඇති දේශපාලඥයන් සිටින, ශිෂ්ටත්වය සහ සදාචාරය පිළිබඳ අල්ප මාත්‍ර හැඟීමක් ඇති නායකයන් සිටින වෙන කිසි රටක් මේ විදිහට එක් සිකුරාදා හැන්දෑවක, කතානායකවරයාට පවා නොදන්වා, මුළු රටටම හොරෙන්, රටේ අගමැතිවරයාව ඉවත් කොට වෙනත් අගමැතිවරයෙකුව පත්කරයි ද? එපමණක් ද? චන්ඩි කමින් රජයේ රූපවාහිනී ආයතන අත්පත් කරගෙන අලුත් පාලකයාට කඬේ යාවි ද?

සිරිසේන ඔහුගේ පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ මොරදුන්නේ රාජපක්ෂලාගේ ඥාති සංග්‍රහය, ආර්ථිකයේ අවපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන් උල්ලංඝණය කිරීම්වලට එරෙහිව ය. ඒ චෝදනාවලට එදා ලක්වූ පුද්ගලයාම අද රටේ අගමැතිවරයා වශයෙන් පත්කරන්නේ මොන තර්කයක් මත ද? ඒ සඳහා ජනාධිපතිවරයා යොදාගෙන ඇති තර්ක, මකියාවෙල්ලි සහ කෞටිල්‍යවත් පරාද කරන තරම් ය. එසේම එය, පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ සෑම පුද්ගලයෙකුටම නින්දනීය ලෙස ද්‍රෝහී වීමකි. ඒත්, අනිත් පැත්තෙන් බැලූ විට, වර්තමාන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටින බහුතරයක් මිනිසුන්ගෙන් මේ වෙලාවේ සදාචාරයක් හෝ ශිෂ්ටත්වයක් අප අපේක්ෂා කිරීමත් මෝල් වැඩක් තමයි.

වික්‍රමසිංහගේ පැත්තෙන් ගත් විට, පසුගිය කාලය තුළ එක්සත් ජාතික පක්ෂය සහ සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සම්බන්ධතාව තර කර ගැනීමට ඔහු වැඩිමනත් දෙයක් කෙළේ ද නැත. සිරිසේන සහ වික්‍රමසිංහ අතර පවතින දේශපාලනික වෙනස්කම් හුදෙක් දෘෂ්ටිවාදී ඒවාම නොවේ. ඒවා සංස්කෘතිකමය කාරණා ද වන්නේය. පංතිමය කාරණා ද වන්නේය. එය, ලෝකය දෙස බලන ආකාරයේ වෙනසක් සනිටුහන් කරන්නකි. පසුගිය දා වික්‍රමසිංහ සිය ඉන්දියානු සංචාරයෙන් පසුව නිකුත් කරන ලද ප්‍රකාශනය හරහා මෙරටේ ඉන්දීය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සිරිසේන අකුල් හෙලීම පිළිබඳව කළ ප්‍රකාශය යහපත් දෙයක් නොවේ. ඔහු කී කාරණය සත්‍ය බව ඇත්ත. එහෙත් එය ලංකාවේ දේශපාලනයට ගැලපෙන දෙයක් නොවේ. විශේෂයෙන්ම, ඉන්දීය අගමැතිවරයා හමු වූ වහාම එවැනි ප්‍රකාශයක් කිරීම ප්‍රඥාගෝචර නැත. සිරිසේන ජාතිය අමතා කළ ආතක්පාතක් නැති කතාව තුළ ඔහු අවධාරණය කෙළේ ඒ කාරණා ය. වික්‍රමසිංහ සහ ඔහුගේ සමීපතම කණ්ඩායම රටේ වරප්‍රසාදිත පංතියකට අයත් වන බවත්, සාමාන්‍ය මිනිසාගේ හද ගැස්ම නොවැටහෙන පිරිසක් වන බවත් සිරිසේන කීවේය. ඒ කතාව වැරදි නැත. එසේම රජයේ දූෂණ ක්‍රියා ගැන ද සිරිසේන කතා කෙළේය. ඒ අතරින්, මහබැංකු බැඳුම්කර වංචාව ප්‍රධාන විය. ඒ සම්බන්ධයෙන් වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රමාණවත් පරිද්දෙන් කටයුතු නොකළ බව ඔහුගේ චෝදනාවකි. එය ද සත්‍යයකි.

එහෙත් අපේ හිත් පටලවන සහ අන්දමන්ද කරවන කාරණය වන්නේ මෙවැනිම දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් මීට සුළු කාලයකට පෙරාතුව සිරිසේනම කී පුද්ගලයාව ඔහු විසින්ම දැන් අගමැති තනතුරේ පිහිටුවීමයි. ඊළඟට, එවැනිම දූෂිත ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන්ගෙන් දැන් අලුත් ඇමති මණ්ඩලයක් ස්ථාපනය කිරීමයි. ඒ කිසිවෙකුගේ එකී දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් සිරිසේනවත්, වික්‍රමසිංහවත් ගත වූ කාලය තුළ ක්‍රියාත්මක වුණේ නැති බව අපි දනිමු.

සිරිසේන කරන ලද මේ ක්‍රියාවේ ව්‍යවස්ථානුකූලත්වය සහ නෛතිකත්වය පාර්ලිමේන්තුව වහා කැඳවා පරීක්ෂාවට ලක් කෙළේ නම්, ඔහුගේ අධම ක්‍රියාව යම් ආකාරයකින් යුක්ති සහගත කරලීමට ඉඩ තිබුණි. එපමණක් ද නොව. වික්‍රමසිංහ ආණ්ඩුව මේ මස 5 වැනි දා සිය අයවැය යෝජනා ඉදිරිපත් කිරීමටත් නියමිතව සිටියේය. එය, වික්‍රමසිංහ කෙරෙහි වන විශ්වාස-භංගයත්, රාජපක්ෂ කෙරෙහි වන විශ්වාසයත් පළ කිරීමට අවස්ථාවක් කර ගත හැකිව තිබුණි. වික්‍රමසිංහව අගමැති ධුරයෙන් ඉවත් කිරීමට යොදා ගත හැකිව තිබූ ශිෂ්ට සම්පන්න සහ නෛතික ක්‍රමය එයයි. ඒ කිසිවක් නොකොට, නොවැම්බර් 16 වැනි දා දක්වා පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙන් සිරිසේන කෙළේ රාජපක්ෂලාට මන්ත්‍රීවරුන්ව මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමයි. සෑම ශ්‍රී ලාංකිකයෙකුම මේ වන විට අත්දැකීමෙන් දන්නා පරිදි, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව යනු, වැඩිම ඉල්ලුමට මන්ත්‍රීවරුන්ව වෙන්දේසි කෙරෙන මාරකැට්ටුවකි. ඔවුන්ව තෝරා පත්කර යැවූ අසරණ ජනතාවගේ අපේක්ෂා සහ ප්‍රාර්ථනා එහිදි වැදගත් නොවේ.

මේ නාටකය දිග හැරෙන විට රටේ සාමාන්‍ය මනෝ භාවය වී ඇත්තේ එක්තරා උදාසීනත්වයකි. ඊට බොහෝ කොට හේතු වන්නේ, වික්‍රමසිංහ පාලනය තුළ තිබූ අකාර්යක්ෂම ස්වභාවයයි. නායකත්වයේ තිබූ අකර්මණ්‍යත්වයයි. එක්තරා ආකාරයකින් රටට බෙහෙවින් අවශ්‍ය කොට තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය විවර වීම හැරුණු කොට, සිරිසේන-වික්‍රමසිංහ සභාගයේ වාර්තාව අසතුටුදායක ය. කිසි වැදගත් සංවර්ධන ව්‍යාපෘතියක් නැති, රාජපක්ෂ යුගයේ දූෂිතයන්ට සහ අපරාධකරුවන්ට එරෙහිව කිසි ක්‍රියා මාර්ගයක් නොගත්, ජීවන වියදම පාලනය කිරීමට කිසි පියවරක් නොගත්, දිවා රෑ තිස්සේ කතා කළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන කිසිවක් නොකළ සහ ආණ්ඩුවේම දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් කිසි පියවරක් නොගත් ඉතිහාසයක් ඊට තිබේ. එහෙත් ඒ තත්වය වික්‍රමසිංහට පමණක් බැර කළ හැකි නොවේ. සිරිසේනත් ඊට එක හා සමානව වගකිව යුතුය.

දැන් සිරිසේනගේ නවතම නාටකය නිසා ශ්‍රී ලංකාව පාහර රාජ්‍යයක තත්වයට වැටී ඇත. එරට පාර්ලිමේන්තුව, බල කොල්ලයේ සහ අශිෂ්ටත්වයේ තෝතැන්නක් බවට පත්ව ඇත. රටේ ආර්ථිකය, විදේශ සබඳතා සහ ජනතා පරමාධිපත්‍යයත් බල්ලාට ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලනය ගැන නාට්‍යයක් රචනා කිරීමට විලියම් ෂේක්ස්පියර්ට කීවොත්, ඔහුගේ එම කෘතිය තුළ එන, අප වැනි සාමාන්‍ය මිනිසුන්ගේ මතකයේ රැඳී සිටිය හැකි එක් වාක්‍යයක් මෙසේ වනු ඇතැයි මට සිතේ: “ලංකාව රඟමඬලකි. එහි සිටින ගැහැනු පිරිමි කවුරුත් රඟපාති. ඔවුහූ වේදිකාවට පිවිසෙති. පිටව යති. එක් අයෙක් තමාගේ නෘත්‍ය කාලය තුළ භූමිකා කිහිපයක් රඟ දක්වයි.”

2018 නොවැම්බර් 1 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ Land like no other  ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top