Sri Lanka Brief
පුවත්විවරණජනතා බලය, ව්‍යවස්ථාව සහ පාලකයන්ගේ බලය – මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර

ජනතා බලය, ව්‍යවස්ථාව සහ පාලකයන්ගේ බලය – මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර

by

 

රටේ පවතින වර්තමාන තත්වය පිළිබඳ ඉතා ප්‍රබල සංවාදයක් මේ දිනවල මුද්‍රිත මාධ්‍ය තුළ දියත්ව තිබේ. පාර්ලිමේන්තුවේ පසුගිය දා දක්නට ලැබුණු සතුරු සහ රොස්පරොස් බව සහ භික්ෂූන් වහන්සේලා පිරිසකගේ කලබැගෑනියට සමාන වාතාවරණයක් මුද්‍රිත මාධ්‍ය තුළ දක්නට නොවුණි. එහිදී, පෞද්ගලිකත්වයට නොගොස්, වෙනත් කෙනෙකු දක්වන අදහස් සම්බන්ධයෙන් තැන්පත්ව අදහස් දැක්වීමේ වාතාවරණයක් දක්නට ලැබුණි. වෙනස් අදහස් සහ දෘෂ්ටිකෝණ සම්බන්ධයෙන් වන ඒ ගෞරවය සහ ඉවසීම මෙන්ම, රටේ නොයෙක් තැන්වල සාමකාමීව විරෝධතා දැක්වීමේ තත්වයක් පැවතීම, ශ්‍රී ලාංකීය ජනතාවගේ ගෞරවයට කාරණයකි. එයම, රටේ පොදු වැදගත්කමක් ඇති කාරණා ගැන සාකච්ඡා කිරීමට සහ සංවාද කිරීමට තිබෙන පාර්ලිමේන්තුව වැනි ස්ථානයක් කෙලසන, ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමට පේ වී සිටින්නේ යැයි කියන දේශපාලඥයන්ට ලැජ්ජාවට කාරණයකි.

මුද්‍රිත මාධ්‍ය තුළ සංවාදයට සහ සාකච්ඡාවට විවරව තිබෙන මේ අවකාශය ඔස්සේ අදහස් දැක්වීමට මම කැමැත්තෙමි. එහිදී, මා පුද්ගලයෙකු වශයෙන් පළ කළ අදහස් සම්බන්ධයෙන් සහ තවත් පිරිසක් සමග එක්ව ප්‍රකාශයට පත්කළ අපේ ඒකාබද්ධ නිවේදනයක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ සම්මානිත මහාචාර්ය ජී. එච්. පීරිස් දක්වා තිබෙන අදහස් මම සැලකිල්ලට ගනිමි. එසේ කිරීමේදී, මේ කාරණා සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු මතු කොට තිබෙන තවත් අයගේ අදහස් ද සැලකිල්ලට ගැනෙයි.

සමාජ වැදගත්කමක් ඇති වර්තමාන ගැටළු සමහරක්: ජනතා පරමාධිපත්‍යය

මෙය, අද සාකච්ඡාවට ගැනෙන ප්‍රධාන ප්‍රශ්නයකි. වෘත්තිකයන් බොහොමයක් දෙනා මෙන්ම, මහාචාර්ය ජී. එච්. පීරිස්, ආචාර්ය පාලිත කොහොන, සමන්තා රත්වත්ත මහත්මිය සහ නිතර ලිපි සපයන නෙවිල් ලද්දුවහෙට්ටි සහ කුසල් පෙරේරා වැනි මහත්වරුන්, ඔක්තෝබර් 26 වැනි දා ඇති වූ ආණ්ඩු වෙනස, ජනතා ජයග්‍රහණයක් නියෝජනය කරන අවස්ථාවක් බවට තර්ක කොට ඇත. ඔවුන් බොහෝ විට උද්ධෘත කොට දක්වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියයි. එය මෙසේ ය: “ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය… පරමාධිපත්‍යයට, පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේය.” එසේ වෙතත්, ජනතාවගේ පරමාධිපත්‍යය පිළිබඳ සංකල්පය ඉහත කී පිරිස අර්ථ ගන්වන්නේ ව්‍යවස්ථාවේ රාමුවට පිටතින් පිහිටා ඇති සංකල්පයක් වශයෙනි.

වර්තමාන සන්දර්භය තුළ ව්‍යවස්ථාමය ප්‍රශ්න කෙරෙහි ඇති වී තිබෙන යොමු වීමේ ස්වභාවය දෝෂ සහගත බව මහාචාර්ය ජී. එච්. පීරිස් කියයි. ආණ්ඩුකරණය තුළ පැවති අසාර්ථකත්වයක් හේතු කොටගෙන ඔක්තෝබර් 26 වැනි දා තමන් විසින් ‘ප්‍රතිසංස්කරණ’ ඇති කෙළේ ය යන ජනාධිපතිවරයාගේ යෝජනාව, ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කර ගැනීමේ වඩාත් වැදගත් කැපවීමක් වශයෙන් ඔහු ගෙනහැර දක්වයි. ඒ අදහස සමග කුසල් පෙරේරා මහතා එකඟ වන බවක් පෙනේ. ‘වැඩිමනත්’, නැතහොත් නිරර්ථක ව්‍යවස්ථාමය විධානයන් අප නොතකා හැරිය යුතු බවට ඔහු තර්ක කරයි. (2018 නොවැම්බර් 16 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ 12 වැනි පිටුව). විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා ද, ප්‍රසිද්ධ ස්ථානවල පළ කොට ඇති දැන්වීම් පුවරු හරහා ද වර්තමාන තන්ත්‍රය ගෙන යන ප්‍රචාරක ව්‍යාපාරය, මෙවැනි අදහස් මගින් තවදුරටත් තහවුරු කෙරේ. ඔවුන් පුරවැසියන්ට මතක් කර දෙන්නේ, පාලන තන්ත්‍රයේ වෙනස මගින් රටක් බේරා ගත් බවයි. ජනතාවක් සවිබල ගැන්වූ බවයි. ‘ජනතා මහිමය’ යළි අත්පත් කර ගත් බවයි.

රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටතින් ජනතා පරමාධිපත්‍යය පිළිබඳ සංකල්පය අර්ථ ගැන්වීම, ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් අප වැඩි දුරටත් විභාග කොට බැලිය යුතුව තිබේ. දකුණු ආසියාවේ අපේ රට ඇතුළු ලෝකය පුරා සෑම රටක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවාගෙන තිබෙන්නේ, රාජ්‍යයේ බලය පාලනය කෙරෙන සහ සීමා කෙරෙන ආයතන රාමුවක් මත ආණ්ඩුකරණය පදනම් විය යුතුය යන විශ්වාසය පෙරදැරිව ය. ‘ව්‍යවස්ථානුකූලවාදය’ පිළිබඳ න්‍යාය යනුවෙන් හැඳින්වෙන්නේ එයයි. එය තුළ, රාජ්‍ය බලය සීමා කිරීමේ වැදගත්කම නිරූපණය වන්නේය. රාජ්‍ය බලයේ අවභාවිතයත්, හිතුවක්කාරී සහ අධිකාරීවාදී ආණ්ඩුකරණය වැලැක්වීමේ ඇති වැදගත්කමත් නිරූපණය වන්නේය. ඇත්තෙන්ම රාජ්‍යයේ බලය සීමා කිරීම මගින් කෙරෙන්නේ, රටක පුරවැසියන් වන ස්වෛරී ජනතාව වෙත වගවීමේ සංකල්පය ප්‍රවර්ධනය කිරීමයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ පවතින රාමු වෙනස් විය හැකිය. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් වන්නේ, පූර්විකාවේ (ස්වස්ති) දැක්වෙන පරිදි, ‘ධර්මිෂ්ඨ, නිවහල් සමාජයක් සුරක්ෂිත කිරීම’ සඳහා වන ‘නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයක්’ මත ය. (ව්‍යවස්ථාවේ පූර්විකාවේ පළමු ඡේදය). නිදහසේ පටන් ලිඛිත ව්‍යවස්ථාවක් පනවා ගැනීම තුළින්, ලිඛිත ව්‍යවස්ථාව ප්‍රකාර ආණ්ඩුකරණ ව්‍යුහයන් මත ආණ්ඩුව පදනම් විය යුතු බව, ජනතාවක් වශයෙන් අපි පිළිගෙන ඇත්තෙමු.

1978 ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියේ තර්කණය වන්නේ, වෙනස් ආයතනයන් ඔස්සේ, ආණ්ඩුකරණයේ කෘත්‍යයන් සහ බලතල බෙදා හැරිය යුතු බවයි. 3 වැනි වගන්තියෙන් පිළිගෙන ඇති ජනතා පරමාධිපත්‍යය තුළට පූර්විකාවේ සඳහන් වන ආණ්ඩුකරණ මාදිලිය ඇතුළත් වන බව ඒ මගින් පැහැදිළි කොට තිබේ. ජනතාවගේ පරමාධිපත්‍යය, ‘ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද, ජනමත විචාරණයකදී ජනතාව විසින් ද ක්‍රියාත්මක කළ යුත්තේය’ යනුවෙන්, 4 වැනි වගන්තියෙන් කියැවෙන්නේ එබැවිනි.

විධායක බලය සහ රටේ ආරක්ෂාව, ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයෙකු විසින් අභ්‍යාස කළ යුත්තේය. 4 වැනි වගන්තියෙන් තවදුරටත් දැක්වෙන පරිදි, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද, නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද, අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් ජනතාවගේ අධිකරණ බලය අභ්‍යාස කෙරේ’. ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී ජනතාව විසින් අභ්‍යාස කරනු ලබන මූලික අයිතීන් සහ ඡන්ද බලය, ජනතා පරමාධිපත්‍යයේ තවත් මුලික කුළුණු දෙකකි. මහාචාර්ය ජී. එච්. පීරිස් ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය ගෙනහැර දක්වයි. එහෙත් ව්‍යවස්ථානුකූලවාදයට අනුගතවත්, ව්‍යවස්ථාව මගින් හඳුනාගෙන ඇති ආයතන හරහා ආණ්ඩුකරණය සිදුවිය යුතු බවටත් එහි සඳහන් වැදගත් කාරණය ඔහු සැලකිල්ලට ගන්නේ නැත.

ඔක්තෝබර් 26 වැනි දා සහ ඉන් පසුව, ආණ්ඩු මාරුවක් සඳහා ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග යුක්ති සහගත කිරීමේ හැකියාවක්, ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය අනුව නැති බව මනාව පැහැදිළි ය. ව්‍යවස්ථාවෙන් පිටස්තරවත්, 4 වැනි වගන්තියේ පැහැදිළිව දක්වා ඇති ආයතන සහ ප්‍රතිපත්තිවලින් පිටස්තරවත් ඇති ජනතා ස්වෛරීත්වයක් පිළිබඳ සංකල්පයකින් ජනාධිපතිවරයාගේ එම ක්‍රියාව යුක්ති සහගත කළ නොහේ.

ජාතිය අමතා ජනාධිපතිවරයා කළ කතාවේදී සඳහන් කළ ආණ්ඩුකරණයේ අසාර්ථකත්වය පිළිබඳ කාරණය හෝ පෙබරවාරියේ පළාත් පාලන මැතිවරණයේදී ප්‍රකාශයට පත් ජනතා මතය මගින් හෝ, ව්‍යවස්ථානුකූලවාදය පිළිබඳ න්‍යාය සහ ව්‍යවස්ථාවෙන් හඳුනාගෙන ඇති ආයතනවල ක්‍රියාකාරීත්වයේ වැදගත්කම පසෙකට ලෑම කළ නොහැක්කේය. නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ 70 වසරක කාලය තුළ ආණ්ඩුකරණය පදනම්ව තිබී ඇත්තේ, ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියෙන් ද හඳුනාගෙන ඇති, (ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ) නැමැති ආණ්ඩුකරණයේ ශාඛා තුනකින් සැදුම්ලත් ව්‍යුහයක් මත ය. මේ ආයතන තුන අතරේ තුලනය, ව්‍යවස්ථාවේ වෙනත් විධිවිධාන මගින් නිරූපණය කෙරේ. ඉන් එකක් වන්නේ, ව්‍යවස්ථාව යටතේ පවරා ඇති බලතල සහ කෘත්‍යයන් අභ්‍යාස කිරීමේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගවිය යුතු බවයි. ව්‍යවස්ථාදායක සහ විධායක බලය අතර පැවතිය යුතු තුලනය පිළිබඳ මේ මූලික නියාමය, 1978 ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තිය තුළ සේම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 33 (අ) වගන්තිය තුළත් අඩංගු කොට තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වර්තමාන සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, 1994 දී ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතට දෙන ලද සම්මුඛ සාකච්ඡාවකදී, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු මේ කියන පාර්ලිමේන්තුව, විධායකය සහ අධිකරණය අතර තුලනය හඳුන්වා ඇත්තේ, ‘පාර්ලිමේන්තුවාදී විධායක මාදිලියක්’ වශයෙනි. (2018 නොවැම්බර් 20 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ කතුවැකිය), ජනාධිපති සිරිසේන ඇතුළු දේශපාලඥයන්, මේ ආණ්ඩු මාදිලිය විධායක ජනාධිපති තනතුරට පමණට වඩා බර වෙන ක්‍රමයක් වශයෙන් එක දිගටම හෙලාදැක ඇත්තේ කෙසේද යන්න කවුරුත් දනිති. ඔක්තෝබර් 26 වැනි දා පත්කර ගත්තේ යැයි කියන ආණ්ඩුව ඇතුළු තවත් සමහර දෙනා දැන් ගර්හාවට ලක්කරන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සුජාත භාවය, වර්තමාන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයකින් 2015 දී සම්මත කර ගන්නා ලදි. ඒ සම්මුතිය ඇති වුණේ, 2015 මහ මැතිවරණය ද ඇතුළත්ව, දශක ගණනාවක් තිස්සේ දේශපාලන පක්ෂ වේදිකාවල ඇති කර ගත් එකඟත්වයක් මත ය. 1978 ව්‍යවස්ථාවේ සඳහන් බලගතු ජනාධිපති ක්‍රමයක් රටට අවශ්‍ය නැති බවට එදා කවුරුත් එකඟ වූහ. රාජ්‍ය බලය දමනය කිරීමේ හැකියාව එවැනි විධායක බලයක් විසින් නිෂේධ කරන බවත්, ඒ මගින් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝණය කෙරෙන බවත්, ව්‍යවස්ථාවෙන් සහතික වී ඇති නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ඒ මගින් හෑල්ලු වන බවත් කවුරුත් පිළිගත්හ.

ව්‍යවස්ථානුකූලවාදයට අනුගත වීමේ අවශ්‍යතාව එසේ තිබියදී, ව්‍යවස්ථාවට පිටින් විධායක බලය අභ්‍යාස කරනු ලැබීම, ජනාධිපතිවරයා විසිනුත්, ඔහු විසින් පත්කර ගත්තේ යැයි කියන ආණ්ඩුව සහ වෙනත් පුද්ගලයන් විසිනුත් දැන් අනුදැන සිටීම, තියුණු උත්ප්‍රාසය දනවන්නකි. ඔවුන් කතා කරන්නේ, ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියේ පැහැදිළිව සඳහන් ආකාරයට වෙනස්ව, ආණ්ඩුවේ ආයතනවලට පිටස්තරින් අභ්‍යාස කරනු ලබන ජනතා පරමාධිපත්‍යයක් ගැන සංකල්පයක් පිළිබඳව ය. මෙය, පෙර නොවූ විරූ අර්බුදයකට රට ඇද තබා තිබේ. පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා අතර ඇති වී තිබෙන පරුෂ එදිරිවාදිකම කෙනෙකුගේ මතකයට නංවන්නේ, සියවස් ගණනාවකට ඉහතින් එංගලන්තයේ රජු සහ පාර්ලිමේන්තුව අතර පැවති ඒ ඓතිහාසික ගැටුමයි. අද ලෝකයේ බොහෝ රටවල පවතින ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ මූලික ප්‍රතිපත්ති ව්‍යුත්පන්න වුණේ ගැටුමේ ප්‍රතිඵලයක් වශයෙනි.

ජනාධිපතිවරයාගේ බලතල: ආණ්ඩු සහ අගමැතිවරුන් මාරු කිරීම

බල තුලනය පිළිබඳ කාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ගත් විට, ජනාධිපතිවරයා නායකත්වය දරණ යම් ආණ්ඩුවක් කඩා වැටුණු අවස්ථාවක ජනාධිතිපතිවරයා කළ යුත්තේ, තමා කැමති ආණ්ඩුවක් සහ තමා කැමති අගමැතිවරයෙකු පත්කර ගැනීම නොව, ඒ කාරණය නිරාකරණය කර ගැනීම සඳහා ආපසු පාර්ලිමේන්තුවට යාමයි. 1978 ව්‍යවස්ථාවේ 43 (3) සහ 47 (අ) වගන්ති ප්‍රකාරව, අගමැතිවරයෙකු පත්කිරීම සහ ඉවත් කිරීම ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි කළ හැකිව තිබුණි. ඒ විධිවිධාන, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ ඉවත් කරන ලදි. මේ වෙනස්කම් ගැන අදහස් දක්වන බොහෝ දෙනා, අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට ඇති බලය ගැන සාකච්ඡා කොට තිබේ.

අගමැති තනතුර සම්බන්ධයෙන් 19 වැනි ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන මේ වන විට පසෙක ලා තිබීම හේතුකොටගෙන, අගමැතිවරයෙකු වශයෙන් මහින්ද රාජපක්ෂව පත්කිරීමේ කාරණය නීති විරෝධී සහ බල රහිත ක්‍රියාවක් වශයෙන් පාර්ලිමේන්තුව තුළ අභියෝගයට ලක්ව තිබේ. එතෙක් පැවති සභාග ආණ්ඩුව බිඳ වැටීමත් සමග, ඒ වෙනුවට පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගත හැකි පුද්ගලයා පාර්ලිමේන්තුවෙන් තෝරා නොගෙන ඊනියා අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරයා කටයුතු කිරීම බරපතල කාරණයකි. මේ කාරණය සම්බන්ධයෙන් කලින් ව්‍යවස්ථාවේ 43 (3) වගන්තියෙන් පනවා තිබූ ‘පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇතැයි සිතන’ යන්න, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 42 (4) වගන්තිය තුළට ගෙනැවිත් ඇත. එසේ වෙතත්, අගමැතිවරයා පත්කිරීමට ජනාධිපතිවරයා සතු මේ බලය අර්ථ නිරූපණය කළ යුත්තේ පාර්ලිමේන්තුවට අනුබද්ධිතව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියේ සඳහන් ආණ්ඩුකරණයේ ව්‍යුහයන් පිළිබඳ විධිවිධාන අනුව ගත් විට, අගමැතිවරයා පත්කිරීමට ජනාධිපතිවරයා සතු එම බලය, පාර්ලිමේන්තුවට යොමු නොවී ජනාධිපතිවරයාගේ තනි අභිමතය පරිදි අගමැතිවරයකු සහ ආණ්ඩුවක් පත්කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි බලයක් වශයෙන් අර්ථ දැක්විය නොහැක. පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස කතානායකවරයා විසින් දිගින් දිගටම කරන ලද ඉල්ලීමේ පදනම එයයි. නව සභාග පාර්ශ්වකරුවන් සමග බහුතරයේ ආණ්ඩුවක් පිහිටුවීම හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන වෙනත් පක්ෂවල සහයෝගය ඇතිව සුළුතර ආණ්ඩුවක් පිහිටුවීම හෝ පිළිබඳ කාරණය, පාර්ලිමේන්තුවට පිටස්තරින් නිගමනය කළ හැකි දෙයක් නොවේ.

බලයේ සිටින අගමැතිවරයා ඉවත් කොට මහින්ද රාජපක්ෂ අගමැතිවරයා වශයෙන් මේ අවස්ථාවේ පත්කරනු ලැබීමේ සිද්ධිය, 2015 ජනාධිපතිවරණයෙන් පසු අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහව පත්කිරීමේ සිද්ධිය සමග සන්සන්දනය කිරීම දුර්වල තර්කයකි. එදා රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ සිටියේ ඉතා සුළු මන්ත්‍රීන් සංඛ්‍යාවකි. එසේ වෙතත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් නොතිබුණු එදා, අගමැතිවරයාව ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබුණි. අනිත් අතට ගත් විට එය, වෙනත් ජනවරමක් යටතේ අලුත් ජනාධිපතිවරයෙකු පත්කරගෙන සිටි අවස්ථාවකි. ඒ අලුත් ජනාධිපතිවරයාත්, අලුත් අගමැතිවරයාත් සමග එක්ව කටයුතු කිරීමට තරම් සහයෝගයක් පාර්ලිමේන්තුව තුළ එදා තිබුණු නිසා, අලුත් අගමැතිවරයා ‘පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගත හැකි’ පුද්ගලයා විය. එය එසේ නොවිණි නම්, නැතහොත් එදා පැවති දේශපාලනික යථාර්ථය සමග අලුත් අගමැතිවරයාගේ (රනිල් වික්‍රමසිංහගේ) පත්වීම නොගැලපුණි නම්, ඒ අලුත් අගමැතිවරයාට එරෙහිව වහාම විශ්වාසභංග යෝජනාවක් එදා ගෙන එන්නට තිබුණි. ඉතිං, එදා පැවති එම තත්වය, අද තමන්ගේ බලය පාර්ලිමේන්තුව තුළ පෙන්වීමේ හැකියාවක් නැති ආණ්ඩුවක් විසින් රට පාලනය කරනු ලැබීම සමග සැසඳිය හැකි නොවේ.

19 වැනි ව්‍යස්ථා සංශෝධනය තුළ ජාතික ආණ්ඩු සංකල්පයක් හඳුන්වා දී තිබේ. එනම්, පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීන් සංඛ්‍යාවක් සිටින පක්ෂය සමග පාර්ලිමේන්තුවේ වෙනත් පක්ෂ එකතු වී පිහිටුවා ගන්නා ආණ්ඩුවකි. (46 (5) වගන්තිය). ව්‍යවස්ථාවේ 46 (1) (අ) වගන්තියට අනුව අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට සීමා විය යුතුය. එහෙත් ඉහත කී ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගන්නා අවස්ථාවක මේ කියන ඇමති මණ්ඩලයේ සංඛ්‍යාව ඉක්මවා යාම ගැන තීරණයක් ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේය. (46 (4) වගන්තිය). මේ අනුව, පැවති සභාග ආණ්ඩුවක් බිඳ වැටුණු පසු, ඒ හේතුව නිසා කැබිනට් මණ්ඩලය සහ අගමැති තනතුර නිරායාසයෙන් බිඳ වැටෙන බවක් එම වගන්තියෙන් කියැවෙන්නේ නැත. අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයා සතු බලතලවල සීමාවන් ද, අමාත්‍යවරුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් පැනවෙන සීමාවන් ද එකට ගෙන කියැවිය යුත්තේය. එහිදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට යාමත්, ආණ්ඩුවක් පිහිටුවිය හැක්කේ කාට ද යන්න පිරික්සා බැලීමත්, ඒ ආණ්ඩුව කුමනාකාර ආණ්ඩුවක් විය යුතු ද යන්නත්, ජාතික සභාග ආණ්ඩුවක් විය යුතු ද නැත්නම් සුළුතරයේ ආණ්ඩුවක් විය යුතු ද යන්නත්, විමසා බැලිය යුත්තේ පාර්ලිමේන්තුවෙනි. එසේ නොමැතිව, හුදෙක් තමාගේ හිතුමතේට, තමාට සහයෝගය දක්වන පක්ෂයකින් හෝ වෙනත් පක්ෂයකින් අගමැතිවරයෙකු තෝරා ගැනීමේ බලයක් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට දී නැත. එය, එනම් අගමැතිවරයෙකු පත්කිරීම යනු, ජනාධිපතිවරයාට තමා වෙත හිතුමතේට පවරා ගත හැකි තුටුපඬුරක් හෝ පාරිතෝෂිකයක් හෝ නොවේ. එය එවැන්නක් සේ ගැනීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියේ සඳහන් ජනතා පරමාධිපත්‍යය අභ්‍යාස කිරීමේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පය කෙලසීමකි.

බලයෙන් පහ කෙළේ යැයි කියන ආණ්ඩුව ඔක්තෝබර් 26 වැනි දා ඇති වූ සිදුවීමෙන් පසු පාර්ලිමේන්තුවට ආයාචනා කරනවා වෙනුවට වහාම අධිකරණය ඉදිරියට මේ කාරණය ගෙන නොගියේ සහ එය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් නොකෙළේ මන්දැයි ප්‍රශ්න කෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් කරුණක් පිළිබඳ අර්ථ නිරූපණයක් අවශ්‍ය යැයි ජනාධිපතිවරයාට පෙනී ගියහොත්, ඒ ප්‍රශ්නය සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ හැක්කේය. තමාගේ ධුර කාලය පිළිබඳ අදහසක් ලබා ගැනීම සඳහා ජනාධිපති සිරිසේන ඒ ක්‍රියා මාර්ගය මීට කලින් අනුගමනය කෙළේය. ඒ විදිහටම, සභාග ආණ්ඩුව බිඳ වැටීමෙන් පසු තමන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපතිවරයාට විමසිය හැකිව තිබුණි. එහෙත් ඔහු එසේ කෙළේ නැත. ඊළඟට, පාර්ලිමේන්තුව කැඳවීමට ඔහු අපොහොසත් වීමත්, අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔහු ගත් තීරණයත්, අවසානයේදී මූලික අයිතීන් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යාමට පාර කැපුවේය. මේ අධිකරණ ක්‍රියාවලිය සඳහා කල් ගත වෙයි. ඉහත කී මූලික අයිතීන් කඩවීම පිළිබඳ විභාගය සඳහා ඊළඟ දිනය දෙසැම්බර් මාසයට යෙදී තිබීමෙන් ඒ බව පෙනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අභිමත ආකාරයට, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඉදිරියට ගියේ නම්, ආණ්ඩුකරණය පිළිබඳ වර්තමාන අර්බුදය, නඩු මගට නොබැස, රටේ යහපත වෙනුවෙන්, ඉතා කෙටි කාලයක් තුළ විසඳා ගත හැකිව තිබුණි.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනට ඉදිරිපත්ව ඇති කාරණයට අදාළව දී ඇති වාරණ නියෝගයේ බලපෑම පිළිබඳවත් විවිධ මත පළ කෙරේ. වාරණය යන්න තුළම අදහසක් ගැබ් වෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයට ගැනෙමින් තිබෙන, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අරභයා ජනාධිපතිවරයා ගත් ක්‍රියාව පිළිබඳව කටයුතු කිරීම අත්හිටුවිය යුතු බව එහි අදහසයි. එහි නියතාර්ථය වන්නේ, ජනාධිපතිවරයාගේ නියෝගයෙන් අපේක්ෂා කළ පරිදි පාර්ලිමේන්තුව විසිරී ගොස් නැති බවයි. නොවැම්බර් 14 වැනි දා පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමට කතානායකවරයාට හැකි වූයේ එබැවිනි. ඒ දිනය වූ කලී, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද කාලය අවසන් වන දිනයයි. ඒ අනුව, කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව කැඳවී ය යන්න සාවද්‍ය මතයකි. ඇත්තෙන්ම එම දිනයේදී පාර්ලිමේන්තුව කැඳවන බවට ජනාධිපතිවරයා ඊට කලින් නිකුත් කළ නියෝගයක් තිබුණි.

තමාව එම ධුරයට පත්කළ ජනවරමට ගරු කිරීමට ජනාධිපතිවරයා බැඳී සිටී. එසේම, තමන්ගේ පාර්ශ්වකරුවා සමග පිහිටුවා ගත් ආණ්ඩුවේ ජනවරමටත් ඔහු ගරු කළ යුතුය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයාට ලැබුණු ජනවරම, වගවීමේ ආණ්ඩුකරණයක් සඳහා ලැබුණු ජනවරමකි. තම සභාගයේ පාර්ශ්වකාර පක්ෂය සමග සහ එහි නායකයා සමග තමන්ට ඇතැයි කියන වෙනස්කම් හේතුවෙන් පාලනය තවදුරටත් ගෙන යා නොහැකි යැයි ජනාධිපතිවරයා තීරණය කරන්නේ නම් ඔහු කළ යුතුව තිබුණේ, ඡන්දයෙන් තේරී පත් වූ නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව ඉදිරියට ආපසු ගොස්, බහුතර සභාග ආණ්ඩුවක් හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන වෙනත් පක්ෂයක් ඇතුළු සෙසු සාමාජිකයන්ගේ සහයෝගය සහිත සුළුතර ආණ්ඩුවක් හෝ පිහිටුවීමට හැකියාව ඇති පුද්ගලයා කවරෙක්දැ යි විමසා සිටීමයි.

විශ්වාසභංගයක් සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දය පාවිච්චි කිරීම

කලහකාරීව හැසිරෙමින්, පොදු දේපළවලට හානි කරමින් පාර්ලිමේන්තුව තුළ ගෙන ගිය ඒ අපුල දනවන සිද්ධි අස්සේ, හේතු බුද්ධියෙන් යුත් සංවාදයක් පැවැත්වීමේ අවස්ථාව නොලැබී ගියේය. එසේම, අලුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ විශ්වාසය ඇත්තේ කාටද යන ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමේ අවස්ථාව නැති වී ගියේය. ඒ ඉන්ද්‍රජාලික 113 සංඛ්‍යාව හදා ගැනීම සඳහා මුදලට මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ ප්‍රයත්නයට එරෙහිව නැගී ආ මහජන විරෝධතාවලට තවමත් ඒ අනර්ථකාරී අවදානම නතර කිරීමට හැකි වී නැත. ඒ සංඛ්‍යාව ළඟදීම තමන් සතු කර ගන්නා බවත්, ඊනියා ආණ්ඩුව වෙත ‘පවරා ගත් බලය’ අත්නොහරින බවත්, ඉදිරි දින කිහිපයේදී තවදුරටත් මන්ත්‍රීවරුන් බා ගැනීමේ ප්‍රයත්නය ක්‍රියාත්මක කෙරෙන බවත්, ප්‍රධාන පෙළේ ඇමතිවරයෙකු කියා තිබේ. (නොවැම්බර් 16 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පත- එස්. බී. දිසානායක).

මීටත් වඩා බරපතල කාරණය වන්නේ, විශ්වාසභංගයේ සඳහන් කරුණු වෙනස් කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටීමත්, ඒ විශ්වාසභංග යෝජනා සම්මත කර ගත් ආකාරය ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීමත් ය. ඕමල්පේ සෝභිත හිමියන් මේ අරභයා වැදගත් යෝජනාවක් කර තිබේ. එනම්, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ගොස් එහි ක්‍රියාකාරීත්වය බලා ගත යුතු බවයි. 33 (අ) වගන්තිය ප්‍රකාරව, පාර්ලිමේන්තුව කෙරෙහි වන වගවීමකින් යුතුව ජනාධිපතිවරයා තමන්ගේ බලතල සහ කාර්යයන් ඉටු කළ යුතුව ඇති බවට ඔහු වෙත පැවරී ඇති වගකීම සමග එම යෝජනාව මනාව ගැලපේ.

පාර්ලිමේන්තුවේ සිදු වූ ඒ අශීලාචාර හැසිරීම පිළිබඳව බොහෝ පුරවැසියන් තමන්ගේ කෝපය සහ කම්පාව ප්‍රකාශ කොට තිබියදීත්, ඊනියා ආණ්ඩුවේ ප්‍රකාශකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් කතානායකවරයා වෙත ඇඟිල්ල දිගු කිරීමටත්, ඒ සිදුවීම්වලට කතානායකවරයා වගකිව යුතු බවටත් චෝදනා කිරීමට පසුබට නොවුණි. එපමණක් නොවේ. මේ ආණ්ඩුව ගැට ගසාගෙන සිටින ප්‍රධාන ප්‍රවාහයක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, කතානායකවරයාට එරෙහි විශ්වාසභංගයක් ගෙන ආ යුතු බවටත් යෝජනා කොට තිබේ. (නොවැම්බර් 20, ‘ඬේලි මිරර්’). පාර්ලිමේන්තුව තුළ පුද්ගලයන්ටත්, දේපළවලටත් කරන ලද හානි ගැන එහි කිසි සඳහනක් නැත. රස්තියාදුකාර කම එසේ සුජාත කිරීමත්, පක්ෂග්‍රාහීව සහ කඩාකප්පල්කාරීව කතානායක ධුරය කෙරෙහි තිබිය යුතු ගෞරවය නොපෑමත්, ඉතා භයානක පූර්වාදර්ශයක් විය හැකිය.

එසේ වෙතත්, බොහෝ පුරවැසියන් වඩාත් යථාවාදී ය. ඒ සැහැසි හැසිරීම ඔවුහූ හෙළාදකිති. එසේම, නිරන්තරයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරමින් මේ අර්බුදයට ද්වි-පාර්ශ්වීය විසඳුමක් ඇති කර ගැනීම සඳහා කටයුතු කරන අතරේම, තම තනතුරේ ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා කතානායකවරයා ගෙන යන ප්‍රයත්නය ඔවුහූ ප්‍රශංසාවට ලක්කරති. තමාට විසඳිය නොහැකිව එක දිගටම ඇදෙමෙන් පවතින මේ ප්‍රතිවාදී අවුලට ප්‍රතිචාර දක්වමින් ඔහු අනුගමනය කළ ප්‍රතිපත්තිය, නොවැම්බර් 16 වැනි දා ඔහු ජනාධිපතිවරයා අමතා අවසාන වරට ලියූ ලියුමෙන් මනාව පිළිඹිබු කෙරේ.

කතානායකවරයාට ගැරහීම සහ තමන්ගේ පක්ෂවල සාමාජිකයන්ගේ නොමනා හැසිරීම පිළිබඳ වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම මගින් එම පක්ෂ, තමන්ගේ ආසන සහ තමන්ගේ රට කෙරෙහි තමන්ට ඇති වගකීමට පයින් ගසා තිබේ. කලහකාරී ක්‍රියාවල යෙදුණු සහ පාර්ලිමේන්තුව තුළ බලය අපයෝජනය කළ මන්ත්‍රීවරුන් හඳුනාගත යුතුව තිබේ. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයකදී එම සාමාජිකයන්ට නාම යෝජනා නොදෙන ලෙස ඒ ඒ පක්ෂවලට බල කළ යුතුව තිබේ.

2018 නොවැම්බර් 24 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ People’s Power, the Constitution & Rulers’ Power නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top