Sri Lanka Brief
පුවත්අද දක්නට ලැබෙන මහා උත්ප්‍රාසය හෙවත් සරදම – මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර

අද දක්නට ලැබෙන මහා උත්ප්‍රාසය හෙවත් සරදම – මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර

by

ඡායාරූපය: නොවැ 28 දින  ජනාධිපති කාර්යාලය කරා ගමන්ගත්  ස්ත්‍රී විරොධතා පා ගමනේ අවස්ථාවක් ( විකල්ප ඡායාරූපයකි)

විදේශ අතපෙවීම්.

වර්තමාන අර්බුදය විදේශ රටවල අතපෙවීමක ප්‍රතිඵලයකැයි බොහෝ දෙනා කියති. විශ්‍රාමික තානාපතිවරුන් සහ ආචාර්ය පාලිත කොහොන වැනි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (ගිවිසුම් අංශයේම) සේවය කළ හිටපු නිලධාරීන් එවැනි අදහස් පතුරුවන විට ජනතාව කලබල වෙති. කුමන්ත්‍රණ කතාවල යම් ඇත්තක් ඇතැයි සිතති. මේ අදහස් පතුරුවන පිරිස්, ජිනීවා නුවර සහ නිව්යෝර්ක් නුවර ජාත්‍යන්තර කරලියේ ඉහළම තැන්වල සිටි පිරිස් ය. අප එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් බව ඒ අය හොඳින් දනිති. බහු-පාර්ශ්වීය ගිවිසුම් අපරානුමත කොට තිබීමෙන් අප ස්වේච්ඡාවෙන් එකඟ වී සිටින ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර නීතිය යටතේ අප බැඳී සිටින බව ඒ අය හොඳාකාරව දනිති. මීට වසර බොහෝ ගණනකට පෙර, ආචාර්ය පාලිත කොහොන ලියන ලද මාහැඟි ලිපියක් නිව්යෝර්ක් නුවරදී ඔහු මට ගෙනැවිත් දුන්නා මට මතක ය. එය, රට රටවල් අතරේ පවතින ගිවිසුම් පද්ධතිය, එක්සත් ජාතීන්ගේ සංවිධාන ජාලය තුළ සිටින සිවිල් සමාජ නියෝජිතයන්ගේ හඬ ප්‍රකාශයට පත්කිරීමේ මෙවලමක් බවට වර්ධනය වී ඇත්තේ කෙසේද යන්න පෙන්වා දෙන සාරගර්භ ලිපියකි. එය, ඉතා වැදගත් සහ සාධනීය වර්ධනයක් වශයෙන් ඔහු එදා දැක්කේය. රටක් වශයෙන් තමන් ඇතුළත් වූ ජාත්‍යන්තර ගිවිසුමක කොන්දේසි ක්‍රියාත්මක කිරීමට යම් රටක් බැඳෙන විට, සෙසු සාමාජික රටවල් විසින් තමන්ගේ ආණ්ඩුකරණය නිරීක්ෂණයට ලක්කිරීමේ ක්‍රියාවලියකට තමන් ස්වේච්ඡාවෙන් එකඟ වන්නේය. ජාත්‍යන්තර නීතියේ විෂය පථය තුළට තමන් ඇතුළත් වන්නේය. ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ ප්‍රතිමානයන් තමන්ට අදාළ වන බව පිළිගන්නේය, ඇත්ත වශයෙන්ම, ලංකාවේ දේශීය නීතිය අර්ථ නිරූපණය කිරීමේදී, එවන් ජාත්‍යන්තර සම්මුති තුළින් අප බැඳී ඇති කරුණු අපේ ශ්‍රේෂ්ඨාධිකරණය සැලකිල්ලට ගෙන තිබේ. එසේ තිබියදී, ජාත්‍යන්තර අත්දැකීම් බහුල මෙවැනි පුද්ගලයන්, ස්වෛරී රටක් කෙරෙහි බලපවත්වතැයි කියන බටහිර කුමන්ත්‍රණයක් ගැන ජනතාවට කියන්නේ කෙසේද?

19 වැනි ව්‍යස්ථා සංශෝධනය

අද දක්නට ලැබෙන මහා උත්ප්‍රාසයක් හෙවත් සරදමක් වන්නේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය 2015 මැයි 15 වැනි දා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කරගෙන මෙරටේ උත්තරීතර නීතිය බවට පත්කර ගැනීමට උර දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් සහ ජනාධිපතිවරයා වැනි පුද්ගලයන්ම අද එය හෙලා දැක පාගා දැමීමයි. 1978 ව්‍යවස්ථාවට එක් කරන ලද ඒ සංශෝධනය ප්‍රතික්ෂේප කිරීමට හෝ යටපත් කිරීමට විවිධ න්‍යායන් ඉදිරිපත් කරනු ලැබේ.

එහි අඩංගු ඇතැම් විධිවිධාන පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේදී ‘හොරෙන් ඇතුළත් කළ’ බව ඇතැම්හු කියති. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුල ද යන්න විමසීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පිටපතේ එම විධිවිධාන නොපැවති බව ඔවුන්ගේ අදහසයි. මේ ව්‍යවස්ථා සංශෝධනය හරහා පාර්ලිමේන්තුවේ මිස විධායකයේ බලය අඩු කොට නැතැයි තවත් සමහරු කියති. ඊටත් වඩා, ව්‍යවස්ථා සංශෝධනයක් යනු ව්‍යවස්ථාව නොවන බවත් ඒ නිසා ඒවා බැහැර කොට කටයුතු කළ හැකි බවක් කියන අය ද සිටිති.

ව්‍යවස්ථාවකට එකතු කරන සංශෝධන වූ කලී, ව්‍යවස්ථාවක් වෙනස් කරන සහ වර්ධනය කරන වැදගත් වෙනස්කම් බවත්, රටේ පවතින ක්‍රියාත්මක නීතිය වශයෙන් ව්‍යවස්ථාවේ කොටසක් බවට එය පත්වන බවත් මුලින්ම තේරුම්ගත යුතුය. එවැනි සංශෝධන ඉන්දියාව සහ ඇමරිකාව ඇතුළු බොහෝ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්හි අංගයන් බවට පත්ව ඇත. 2015 මැයි 15 වැනි දා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් පනත ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය’ වශයෙන් හැඳින්වෙයි.

මේ 19 වැනි සංශෝධනය, 1978 ව්‍යවස්ථාවේ අඩංගුව පැවති ජනාධිපතිවරයාගේ නරකම බලතල සමහරක් ඉන් ඉවත් කර දැමූ, පොදු එකඟත්වයෙන් සම්මත කර ගනු ලැබූ, සාධනීය පියවරක් වශයෙන් එදා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව පිළිගත්තේය. එදා මුළුමණින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවා ගැනීම ප්‍රායෝගිකව කළ හැකි තත්වයක් නොවුණු බව කවුරුත් පිළිගත්හ. ඒ අනුව, ව්‍යවස්ථානුකූලවාදයේ න්‍යායට අනුගතව, පවතින ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒම අතරමැදි විසඳුමක් වශයෙන් පිළිගැනුණි. එහිදී ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියේ සඳහන් රාජ්‍ය ආයතන අතර තුලනයක් පවත්වා ගත හැකි බවට සහතික වීම වැදගත් විය. එහි අරමුණ වුණේ, රාජ්‍ය බලය අපයෝජනය වීම සහ අධිකාරීවාදය වැළැක්වීමයි.

එබැවින්, 19 වැනි සංශෝධනයෙන් හඳුන්වා දෙන ලද වෙනස්කම්, ආණ්ඩුකරණයේ විවිධ ව්‍යුහයන් අතරේ එතෙක් පැවති ක්‍රියාකාරීත්වය එහෙන් මෙහෙන් වෙනසකට ලක්කිරීමක් වශයෙන් සැළකිය නොහැක. ඒ සංශෝධනයෙන් අපේක්ෂා කෙරුණේ, විධායක බලය අභ්‍යාස කිරීම, වගවීමකට යටත් වන බවට වගබලා ගන්නා වෙනස්කම් කිහිපයක් ඇති කිරීමයි. ජනාධිපතිවරයාගේ වාර කාලය වෙනස් කිරීම, මානව හිමිකම්, රාජ්‍ය පරිපාලනය සහ පොලිස් සේවාව ඇතුළු අංශවලට අදාළව ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, ඉහළ අධිකරණයේ සාමාජිකයන් මෙන්ම නීතිපති සහ පොලිස්පති වැනි තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමේ ජනාධිපති බලය සීමා කිරීම ආදිය, විධායක බලය කෙරෙහි සීමා පැනවීමේ අභිලාෂය තුළට ගැනුණි. ජනාධිපතිවරයාගේ බලය සීමා කිරීම සඳහා ‘ව්‍යවස්ථා සභාවක්’ පිහිටුවන ලදි. ඇතැම් ඉහළ තනතුරුවලට මේ ‘ව්‍යවස්ථා සභාවේ’ නිර්දේශයන්ගෙන් පිටස්තරව පුද්ගලයන් පත්කිරීමට ජනාධිපතිවරයාට ඉන් පසු නොහැකි විය. ප්‍රථම වතාවට, ජනාධිපතිවරයාට එරෙහිව, මූලික අයිතීන් උල්ලංඝණයක් සම්බන්ධයේ ඔහු ධුර කාලයේ සිටියදීම නඩු පැවරීමට හෝ ඔහුට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කිරීමට පුරවැසියන්ට ඒ මගින් ප්‍රතිපාදන සැලසුණි. එනම්, ඒ කාරණය සම්බන්ධයෙන් ඔහුගේ මුක්තිය අවසන් වූ බවයි. (35 (1) වගන්තිය).

තමාගේ අභිමතය පරිදි අගමැතිවරයාව ඉවත් කිරීමට 1978 ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට තිබූ බලය 19 ව්‍යවස්ථා සංශෝධනය යටතේ මුළුමණින් ඉවත් කිරීමත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 70 (1) වගන්තිය යටතේ සීමා කරනු ලැබීමත් අප සැලකිල්ලට ගත යුත්තේ, ඉහතින් කී, විධායක ජනාධිපති බලතලවලට අදාළ හර පද්ධතිය තුළ සිදු කරන ලද වෙනස්කම් සිහියේ තබාගෙන ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණුත්, විධායක ජනාධිපති බලතලවලට අදාළ හර පද්ධතිය තුළ සිදු කෙරුණු පරිවර්තනත්, පාර්ලිමේන්තුව තුළ ඉතා ශක්තිමත් එකඟතාවකින් යුතුව පනවා ගන්නා ලදි.

2018 නොවැම්බර් 24 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ People’s Power, The Constitution & Rulers’ Power (3) නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top