Sri Lanka Brief
පුවත්විවරණඅගමැති පත් කිරීම පාර්ලිමේන්තුවට බාර නොදීම සිරිසේන කළ මුලික වරදයි – වෘත්තිකයෝ

අගමැති පත් කිරීම පාර්ලිමේන්තුවට බාර නොදීම සිරිසේන කළ මුලික වරදයි – වෘත්තිකයෝ

by

ව්‍යවස්ථාමය අර්බුදය පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශනය.
ජනාධිපතිවරයා පසුගිය දා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ධුරයෙන් ඉවත් කිරීමට යැයි කියමින් කරන ලද ක්‍රියාවන් නිසා ද, ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතාව එම අගමැති ධුරයේ පිහිටුවීමට යැයි කියමින් කරන ලද ක්‍රියාවන් නිසා ද, ව්‍යවස්ථාමය සහ දේශපාලනික අර්බුදයක් රටේ උද්ගතව තිබේ.

ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සහ ආරක්ෂා කරන වෘත්තිකයන් වශයෙන්, මේ කාරණය අරභයා වන නිවැරදි ව්‍යවස්ථාමය තත්වය පුරවැසියන්ට පැහැදිළි කර දීම අපේ වගකීමක් කොට අපි සලකමු.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය, එක්සත් ජාතික පෙරමුණු-එක්සත් ජනතා නිදහස් සන්ධාන එක්සත් ආණ්ඩුවේ දින 100 වැඩ පිළිවෙල යටතේ ඇති කර ගත් සාර්ථක කර්තව්‍යයන්ගෙන් එකකි. එය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම සඳහා ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ යන දෙදෙනාම දේශපාලනික නායකත්වය සැපයූහ. අගමැතිවරයා සම්බන්ධයෙන් වන ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරකම් නිශ්චය කෙරෙන එකම ව්‍යවස්ථාමය ලියවිල්ල වන්නේ, 19 වැනි සංශෝධනය සහිත, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.

ඒ ව්‍යවස්ථාව දැන් පවතින පරිදි, අගමැතිවරයෙකු පත්කළ පසු, ඔහුගේ/ඇගේ එම ධුරය හිස් වන්නේ, සීමිත අවස්ථා ගණනකදී පමණි. උදාහරණයක් වශයෙන්, ඔහු/ඇය එම තනතුරෙන් ඉල්ලා අස්වීමකදී හෝ ඔහුගේ/ඇගේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරය අහෝසි වීමකදී (46 වැනි වගන්තිය) හෝ කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමකදී හෝ පමණි. කැබිනට් මණ්ඩලය ස්වයංසිද්ධවම විසිරුවා හැරෙන්නේ, රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෝ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීමෙන් හෝ ආණ්ඩුවට විරුද්ධව විශ්වාස-භංගයක් සම්මත වීමෙනි. (48 වැනි වගන්තිය)

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වුණේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් දිසාවට ගමන් කිරීම වූ බැවින්, අගමැතිවරයා ඉවත් කිරීමට 1978 ව්‍යවස්ථාව සහ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට එතෙක් පැවති බලය, 19 වැනි සංශෝධනය මගින් විශේෂයෙන්ම ඉවත් කෙරුණි.

අගමැති වික්‍රමසිංහ එම ධුරයෙන් ඉල්ලා අස් වී නැත. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී ඇත්තේ ද නැත. කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමක් සිදු වී ඇත්තේ ද නැත. (මන්ද යත්, රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෝ විසර්ජන පනත් කෙටුම්පතක් පරාජයට පත්ව නොතිබීමත්, ආණ්ඩුවට විරුද්ධ විශ්වාස-භංගයක් සම්මත වී නොතිබීමත් නිසා ය).

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමග ඇමති මණ්ඩලය අහෝසි වී ඇති බව සමහරු කියති. එය පදනමක් ඇති කතාවක් නොවේ. විශේෂිත තත්වයන් යටතේ ඇමති මණ්ඩලය අහෝසි වීම පිළිබඳව උදක්ම සඳහන් කොට ඇති 48 වැනි වගන්තියේදී මෙන් නොව, ‘ජාතික ආණ්ඩුවක්’ සම්බන්ධයෙන් වන විධිවිධාන තුළ එවැනි ප්‍රතිවිපාකයක් ගැන කිසි සඳහනක් නැත. එබැවින්, ‘ජාතික ආණ්ඩුව’ අවසන් වුණත් (එය පාර්ලිමේන්තුව මගින් නිශ්චය කළ යුත්තකි), එහි එකම ප්‍රතිවිපාකය වනු ඇත්තේ, ඇමති මණ්ඩලයේ සංඛ්‍යාව පිළිබඳ පවතින සීමාව එතැන් සිට ක්‍රියාත්මක වීම පමණි.

තවද, ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ධුරයට පත්කරන ලද්දේ ‘ජාතික ආණ්ඩුව’ පිහිටුවීමට කලින් 2015 අගෝස්තු 21 වැනි දා ය. ඒ, 2015 අගෝස්තු 17 වැනි දා පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමෙන් පසුව, ජනාධිපතිවරයාට හැඟෙන පරිදි පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගැනීමට බොහෝ කොට ඉඩ ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහව සැලකීම නිසා ය.

කෙසේ වෙතත්, ජාතික ආණ්ඩුව දිගටම පවතියි. මන්ද යත්, ‘ජාතික ආණ්ඩුවේ’ සමාරම්භක පාර්ශ්වකරුවෙකු වු ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂය තවමත් එම ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙකු වන බැවිනි.

එබැවින්, අගමැති ධුරය හිස්ව නැති තත්වයක් තුළ, අගමැති රනිල් වික්‍රමසිංහව ඉවත් කිරීමට සහ මහින්ද රාජපක්ෂව එම තනතුරේ පිහිටුවීමට ජනාධිපතිවරයා ගන්නා ලද ප්‍රයත්නය ප්‍රජාතන්ත්‍ර-විරෝධී ය. ව්‍යවස්ථා-විරෝධී ය.

මතු වී තිබෙන මේ ව්‍යවස්ථා අර්බුදය පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමකින් වඩාත් ක්‍රමවත්ව විසඳා ගත හැකිව තිබුණි. ඇත්ත වශයෙන්ම, විධිමත් ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ගය විය හැකිව තිබුණේ, අගමැති වික්‍රමසිංහ සහ ආණ්ඩුව පිළිබඳ විශ්වාසයක් නැති බව, ජනාධිපති සිරිසේන මෙසේ ක්‍රියා කිරීමට කලින්, පාර්ලිමේන්තුවේ ඡන්දය විමසීමකින් ඔප්පු කොට පෙන්වීමයි.

එසේ තිබියදී, එම කාරණය පාර්ලිමේන්තුව තුළ නිරාකරණය කර නොගැනීමට අමතරව, ජනාධිපති සිරිසේන තවත් ව්‍යවස්ථා විරෝධී පියවරක් ගත්තේය. ඒ, පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙනි. පාර්ලිමේන්තුව තුළ වාද කොට ප්‍රශ්නය විසඳා ගැනීම වැළැක්වීමේ ප්‍රයත්නයට අමතරව, පිල් මාරු කිරීමට මන්ත්‍රීවරුන්ට පහසුකම් සැලසීමක් ද ඉන් අපේක්ෂා කරන්නට ඇත. කතානායක කරූ ජයසූරියගේ ලිපියෙන් පෙන්වා දෙන පරිදි, පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට පෙරාතුව කතානායකවරයාගේ අදහස් නොවිමසීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝණය කිරීමකි.

මේ තීරණාත්මක ව්‍යවස්ථාමය කාරණය, දේශපාලනික, ආර්ථික සහ සමාජ අර්බුදය තවදුරටත් උග්‍ර කරනු ඇත.

එබැවින් අපි මෙසේ ඉල්ලා සිටිමු:

1. මේ අර්බුදය පාර්ලිමේන්තුව තුළින් කඩිනමින් විසඳා ගැනීම පහසු කරවනු වස් ජනාධිපතිවරයා වාරාවසානය වහා අවලංගු කළ යුතුය.

2. මේ අර්බුදය පාර්ලිමේන්තුව තුළින් කඩිනමින් විසඳා ගැනීම පහසු කරවනු වස් කතානායකවරයා වහා පාර්ලිමේන්තුව කැඳවිය යුතුය.

3. ව්‍යවස්ථාවේ ප්‍රතිපත්ති සහ විධිවිධාන කඩා දැමීමට නොව, ඒවායින් බැඳී සිටීමට ආණ්ඩුවේ සියලු නායකයන් සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වගබලා ගත යුතුය.

4. සියලු දේශපාලන නායකයන් ප්‍රචණ්ඩත්වය සහ නොසන්සුතාව වැළැක්වීමට වගබලා ගත යුතුය.

5. මූල්‍යමය හෝ වෙනත් වරදාන වෙනුවෙන් නොව, ජනතාව විසින් තමන්ට දී ඇති වරමට අනුගතව ඡන්දය පාවිච්චි කරන බවට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වගබලා ගත යුතුය.

6. ව්‍යවස්ථා විරෝධීව පත්කරන ලද පුද්ගලයන්ගේ උපදෙස්වලට අවනත නොවන බවටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, නීතියේ ආධිපත්‍යයත් සුරකින් බවට සියලු රාජ්‍ය සේවකයන් වගබලා ගත යුතුය.

7. පොලිස්පතිවරයා සහ සන්නද්ධ හමුදා තමන්ගේ රාජකාරි ඉටු කිරීමේදී අපක්ෂපාතී ආකාරයකින් කටයුතු කරන බවටත්, ව්‍යවස්ථාවට සහ නීතියේ ආධිපත්‍යයට ඉඳුරා අනුගතව කටයුතු කරන බවටත් සහතික විය යුතුය.
මහාචාර්ය ජයදේව උයන්ගොඩ- සම්මානිත මහාචාර්ය, කොළඹ විශ්ව විද්‍යාලය
මහාචාර්ය විජය කුමාර්- සම්මානිත මහාචාර්ය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
මහාචාර්ය කුමාර් ඬේවිඞ්- සම්මානිත මහාචාර්ය, හොංකොං විශ්ව විද්‍යාලය
මහාචාර්ය ගාමිණී කීරවැල්ල- සම්මානිත මහාචාර්ය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
මහාචාර්ය නවරත්න බණ්ඩාර- විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න- කැළණිය විශ්ව විද්‍යාලය
මහාචාර්ය සුමති සිවමෝහන්- පේරාදෙණිය විශ්ව විද්‍යාලය
මහාචාර්ය උපුල් අබේරත්න- පේරාදෙණිය විශ්ව විද්‍යාලය
මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර- සෞන්දර්ය විශ්ව විද්‍යාලය
ආචාර්ය උපතිස්ස පෙතියාගොඩ
උපුල් ජයසූරිය- ජනාධිපති නීතිඥ
ජේ. සී. වැලිඅමුණ- ජනාධිපති නීතිඥ
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න- ජනාධිපති නීතිඥ
නිශ්ශංක නානායක්කාර- ජනාධිපති නීතිඥ
රාජන් පිලිප්ස්- දේශපාලන විචාරක
ආචාර්ය ලයනල් බෝපගේ
ආචාර්ය ආනන්ද ගලප්පත්ති
නීතිඥ ලාල් විජේනායක
තිස්ස ජයතිලක
චන්ද්‍රා ජයරත්න
ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු
ආචාර්ය අසංග වැලිකල- එඩින්බර්ග් විශ්ව විද්‍යාලය
නීතිඥ අමීර් ෆයිස්
පූජිත ද මෙල්- කථිකාචාර්ය, කොළඹ විශ්ව විද්‍යාලය
නීතිඥ චමන්තා වීරකෝන්
ඩැනේෂ් කාසි චෙට්ටි- හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී
නීතිඥ ලක්ස් ජෝතිකුමාර්
නීතිඥ විරාන් කොරයා
නීතිඥ රවි ජයවර්ධන
නීතිඥ තිස්යා වේරගොඩ

Back to Top