Sri Lanka Brief
පුවත්විවරණසිසිෆස්ගෙන් ඉගෙනීම – තිසරණී ගුණසේකර

සිසිෆස්ගෙන් ඉගෙනීම – තිසරණී ගුණසේකර

by

“තම රටේ පාලක රජ පවුලේ උදහසට ලක්වූ මාධ්‍යවේදියා”: ඒ, ගාර්ඩියන් පුවත්පතේ පළවූ ජමාල් කෂෝගිගේ මරණ දැන්වීම සඳහා යොදාගෙන තිබූ උද්ධෘතයයි. අරාබි ලෝකයට අද වැඩියත්ම අවශ්‍ය කරන්නේ ප්‍රකාශනයේ නිදහස බව, ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතේ පළවූ සිය අවසාන තීරු ලිපියේ ජමාල් කෂෝගි ලියා තිබුණි. බොහෝ මානවයන්ට මානව හිමිකම් අහිමි කෙරෙන ලෝකයක ජීවිතය සහ මරණය මොන වගේ ද යන්න, ඔහුගේ තිරිසන් ඝාතනයෙන් මොනවට පෙන්නුම් කරයි. තුර්කි තොරතුරු මූලාශ්‍රවලට අනුව, ඔහුගේ ඝාතකයෝ ඔහුව පණ පිටින් ඉරා දමන්ට පටන්ගෙන තිබේ.

කෂෝගි මහතාගේ ඝාතනය අප ඉදිරියේ දිග හරින අනාගත චිත්‍රය පැහැදිළි ය. ඇමරිකාවේ ධවල මන්දිරයේ ඩොනල්ඞ් ට්‍රම්ප් වෙනුවට මේ මොහොතේ සිටියේ වෙන කෙනෙකු නම්, සවුදිකාරයන් මෙයාකාරයෙන් මෙවන් තැනකදී (තුර්කිය යනු සෞදි අරාබියේ මිතුරු රටක් නොවේ) කෂෝගි මහතාව ඝාතනය නොකරනු ඇත. එහෙත් ට්‍රම්ප් මහතා ධවල මන්දිරයේ සිටින කාලයේ රියාද් නුවර උන්මත්තක සිත්සතන් නිදැල්ලේ හැසිරෙයි. නිදහස් ප්‍රකාශනය කෙරෙහි තමන් තුළ ඇති වෛරය සහ නිදහස් මාධ්‍ය පිළිබඳ තමාගේ අපුල ට්‍රම්ප් වසංගන්නේ නැති බව අපි දනිමු. සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා ජාරෙඞ් කුෂ්නර්ට දුරකථනයෙන් කතා කොට, මේ කුලප්පුව කුමක්දැ යි ඇසූ බව, ‘ද වෝල් ස්ටී්‍රට් ජර්නල්’ පුවත්පත වාර්තා කෙළේය.

කෂෝගි මහතාගේ ඝාතනය, ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සේම, හුදෙකලා සිදුවීමක් නොවේ. එය, අප ජීවත් වන මේ යුගයේ සංකේතයකි. ජයග්‍රහණය කොට ඇතැයි මෙතෙක් සිතා සිටි සටන් නැවත කිරීමට සිදුවන, විසඳාගෙන ඇතැයි මෙතෙක් සිතා සිටි ප්‍රශ්න යළිත් සැලකිල්ලට ගැනීමට සිදුවන ඓතිහාසික යුගයකි, එය.

ලංකාවේ මැල්කම් රංජිත් කාදිනල්වරයා, ප්‍රැන්සිස් පාප් වහන්සේට ඉඳුරා පටහැනි ස්ථාවරයක් ගනිමින් රටකට මානව හිමිකම්වල අවශ්‍යතාවක් ඇත්දැ යි ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීම වූ කලී, ලොව පුරා බොහෝ දේශපාලඥයන්, චින්තකයන් සහ පූජකයන් මේ අවස්ථාවේ කියමින් සහ කරමින් සිටින දේවල්වලම ප්‍රතිරාවයකි. ජාතිකවාදී-ජනතාවාදයේ නව රැල්ලක් ලොව පුරා හමා යන මේ මොහොතේ, ජන සමාජ සහ රටවල් විසින් නිදහස සහ ආරක්ෂාව අතර, මූලික මිනිස් අයිතීන් සහ ආර්ථික සමෘද්ධිය අතර තෝරා ගැනීමක් කළ යුතුව ඇති බවට ප්‍රබල පුද්ගලයෝ තර්ක කරති. එහිදී, තමන් සතු මූලික අයිතීන් කැමැත්තෙන්ම අතහැරීමට තරම් ඡන්දදායකයාව බිය වද්දනු ලැබේ. නිදහස් පුරවැසියන්ගේ සිට කීකරු යටත් වැසියන් බවට පත්වීමට ඔවුන්ව තල්ලු කරනු ලැබේ.

ප්‍රජාතන්ත්‍රවාදයේ කයිවාරුව වන්නේ, ආණ්ඩුව ජනතාව සඳහා ය යන්නයි. එහෙත් රටක ආර්ථිකය තුළ යහපත් ජීවිතයක් වෙනුවට මහ දවල් අසමානත්වය වැපිරෙන විට, ආණ්ඩුවක් යනු ජනතාව සඳහා නොව, ජනතාවට එදිරිව සිටින ආයතනයක් බවට හැඟීමක් ජනතාව තුළ ඇති වෙයි. චන්ඩි නායකයාගේ වෙලාව එන්නේ ඒ මොහොතේදී ය. ඔහු පවතින පදනම් ගල් පුපුරුවා හැරීමට සපථ කරයි. මඩ ගොහොරුව හිස් කොට රටවල් ශ්‍රේෂ්ඨත්වයට පත්කිරීමට සපථ කරයි. ඒ සියල්ල වෙනුවෙන් හැම විටකම උපමාවට ගැනීමට අතීත රාම-රාජ්‍යයක් ඔහුට තිබේ.

ලෝකයේ වඩාත් ආරක්ෂාව සහිත රටවල් හෙවත් රටේ ජනතාවට හොඳම ජීවන තත්වයන් සහතික කරලීමට සමත්ව ඇති රටවල් වනාහී, ඒකාධිපති තන්ත්‍රයන් ඇති හෝ දරදඬු පාලකයන් සහ පවුල්වලින් පාලනය කෙරෙන රටවල් හෝ නොවේ. ඒ සියල්ල ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ය. මූලික අයිතීන් පිළිගනු ලබන, මූලික නිදහස යහමින් තිබෙන, නීතියේ ආධිපත්‍යය රජයන රටවල් ය. එහෙත් ජාතිකවාදී-ජනතාවාදයේ නව රැල්ල තුළ එවැනි සත්‍ය දත්ත සඳහා කිසි ඉඩක් නැත.

මේ මාසයේ, ‘දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර්-රාජ්‍ය මණ්ඩලය’ අනතුරු ඇඟවීමේ වාර්තාවක් ඉදිරිපත් කෙළේය. ලෝකයේ ඌෂ්ණත්වය, ප්‍රාග්-කාර්මික යුගයේ පැවති තත්වයට වඩා සෙල්සියස් අංශක 1.5 කට නොවැඩි මට්ටමක පවත්වා ගැනීමට හැකි වෙතොත් පෘථුවියට අනාගතයක් ඇති බව එයින් කියැවුණි. එසේ නොවුණොත්, විශේෂයෙන් ඒ මට්ටම සෙල්සියස් අංශක 2 පැන්නුවොත්, ස්වභාවික ලෝක විනාශයක් බලාපොරොත්තු විය හැකිය. මේ වාර්තාව පිළිබඳ අදහස් විමසන ලදුව ඩොනල්ඞ් ට්‍රම්ප් කීවේ, මෙවැනි අසම්මජාති නිගමන ඇතුළත් වාර්තා තමා අනන්තවත් දැක ඇති බවත්, ලෝකයා ඉදිරියේ දීප්තිමත් අනාගතයක් ඇති බව තමාගේ විශ්වාසය වන බවත් ය. (විද්‍යාව පිළිබඳ තමාට සහජ ඉවක් ඇති බවටත් ඔහු කයිවාරු ගැසුවේය).

ඉහත කී වාර්තාව සඳහන් කරන පරිදි, දැඩි ප්‍රතිකර්ම පියවර ගැනීමෙන් මේ විනාශය වළක්වා ගත හැකිය. එහෙත් ඒ, ඩොනල්ඞ් ට්‍රම්ප් එක දිගටම ධවල මන්දිරයේ නොසිටියොත් ය. කාලගුණ විද්‍යාවන් ප්‍රතික්ෂේප කරන බ්‍රසීලයේ ජයීර් බොල්සොනාරෝ වැන්නන් එම රටවල ජනාධිපති ධුරයට පත් නොවුණොත් ය. මොහු සංවර්ධනයේ නාමයෙන් බ්‍රසීලයේ ඇමසෝන් වනාන්තරය වැඩි වැඩියෙන් පාවිච්චියට ගැනීමට සපථ කර ඇති පුද්ගලයෙකි. ඉතාලියේ ‘තරු පහේ ව්‍යාපාරය’ එන්නත්-විරෝධයක් කරලියට ගෙනැවිත් කර ගත් වින්නැහිය (එන්නත් කිරීම් අඩු වත්ම සරම්ප උවදුර උග්‍ර වීම), තනි තනි රටවල් සම්බන්ධයෙන් පමණක් නොව, සමස්ත ලෝකය සම්බන්ධයෙන් ගත්තත්, මෙකී ජාතිකවාදී-ජනතාවාදයේ නව රැල්ල එක දිගටම ගියොත් සිදු විය හැකි අනාගත විනාශයේ තරම පිළිබඳ අනතුරු ඇඟවීමකි.

ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින මතකයේ ඇණහිටීම

කාදිනල් මැල්කම් රංජිත් පුද්ගල අයිතීන් පිළිබඳ ඉහත කී ප්‍රතිගාමී අදහස් ගෙනහැර පෑ අවස්ථාවේ, ඔහුව ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වූ එකම දේශපාලඥයා මංගල සමරවීර ය. එහිදී ‘ඒකාබද්ධ විපක්ෂය’ කාදිනල්වරයාගේ ආරක්ෂාවට ආවේය. (හිට්ලර් කෙනෙකු වී හෝ රට සංවර්ධනය කරන්නැයි මීට කලින් එක් මහනායක හිමි නමක් කී අවස්ථාවේත් ඒකාබද්ධය මෙයාකාරයෙන්ම එය ආරක්ෂා කෙළේය). මහින්ද රාජපක්ෂත් (මංගල සමරවීරට එරෙහිව) ‘ආගමට එරෙහිව කරන පහරදීම්’ ගැන කණස්සල්ල පළ කොට තිබුණි. ගෝඨාභය රාජපක්ෂත් ‘ලංකාදීප’ පුවත්පතට ලියන සතිපතා තීරු ලිපියේ, ආගමික සම්ප්‍රදායයන් ගැන නූතනත්වය දක්වන නොසැලකිල්ල ගැන දෙස් තියා තිබුණි.

සමරවීර මහතා ලිබරල් දේශපාලඥයෙකි. එහෙත් අද කාලයේ බොහෝ ලිබරල් දේශපාලඥයන් මෙන් ඔහුත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය අතර පවතින සහසම්බන්ධය වටහාගෙන නැති පාට ය. ඔහු ආගමික සහ සංස්කෘතික අන්තවාදයන්ට එරෙහිව පෙනී සිටින බව ඇත්ත. එහෙත්, ආර්ථික සාධාරණත්වය සහ දේශපාලනික සහනශීලීත්වය අතරේ අන්‍යොන්‍ය පරායත්ත භාවයක් ඉතිහාසය පුරා පැහැදිළිවම තිබී ඇති බව සිහියට නගා ගැනීමට ඔහු අසමත් වෙයි. සමරවීර මහතා මුදල් ඇමති නොවුණි නම්, ඔහුගේ ඒ නොහැකියාව බරපතල ප්‍රශ්නයක් නොවන්නට තිබුණි. එහෙත් ලුහුපෙවතේ (ජනතාවට පටි තද කර ගැනීමට සිදුවීමේ) දේශපාලනික ආදීනව වටහා ගැනීමට මුදල් ඇමතිවරයා වශයෙන් ඔහු අසමත් වීම, රාජපක්ෂ පුනරාගමනයකට පේන තෙක් මානයේ පාර කැපිය හැකි බව සැලකිල්ලට ගැනීම වටී.

ජාතිකවාදී-ජනතාවාදයක් මීට පෙර ලොව පුරා පැතිර ගිය අවස්ථාව වුණේ 1920 සහ 1930 දශකයන් ය. පළමු ලෝක යුද්ධයෙන් පසු එහි පළමු රැල්ල හටගත් අතර එයම දෙවැනි ලෝක යුද්ධයට පාර කැපුවේය. මේ යුද්ධ දෙක අතරතුර කාලයේ දක්නට ලැබුණු එක් මූලික ලක්ෂණයක් වුණේ ආර්ථික දුෂ්කෘතියයි. අකර්මණ්‍යත්වයයි. 1929 හටගත් මහා අවපාතය ලොව පරසිඳු ය. ඊට කලින් 1921-23 කාලයේ, එතරම් ලෝක අවධානයට යොමු නොවුණත්, තවත් ආර්ථික අවපාතයකට ලෝකය යට විය. ආර්ථික හිරිහැරය සහ අපේක්ෂා භංගත්වය නිසා පුද්ගලයන් මෙන්ම රටවල් ද නන්නත්තාර විය. ශක්තිමත් ආයතන තිබූ රටවල් පමණක් විනාශය වළක්වා ගත්තේය. එම රටවල්, පැමිණි අර්බුදකාරී අවස්ථාව, පවතින ක්‍රමයේ සමහර අංග නිවැරදි කර ගැනීමට අවස්ථාවක් කර ගත්තේය. හොඳම උදාහරණය වන්නේ ‘ඇමරිකානු නව ක්‍රමවේදයයි’. ශක්තිමත් ආයතන පද්ධතියක් නැති වෙනත් රටවල් තමන්ගේ රටවල් තුළ ඇති වූ හිඩැස පුරවා ගැනීමට බැලුවේ ශක්තිමත් නායකයන් බලයට පත්කර ගැනීමෙනි. ඇඩොල්ෆ් හිට්ලර් බලයට ආවේ එලෙසිනි.

(පළමු ලෝක යුද්ධයෙන් පසුව) 1918 ජයග්‍රාහී රටවල් කටයුතු කළ ආකාරයට වෙනස් ආකාරයකින් (දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව) 1945 ජයග්‍රාහී රටවල් කටයුතු කිරීමට පෙළඹුණේ, සමාජවාදී අභියෝගය සහ සෝවියට් ආදර්ශයේ ජනකාන්ත භාවය ඉදිරියේ වෙනස් විදිහකින් සිතීමට බල කෙරුණු නිසා ය. ක්‍රමයක් වශයෙන් විනාශ නොවී පැවතීම සඳහා වෙනස් විය යුතුව ඇති බව තේරුම් ගැනීමට තරම් ශක්තියක් තිබූ නායකයන්ගෙන් එදා ධනපති ක්‍රමයට අඩුවක් නොවුණි. ඒ ධනපති නායකයෝ සමාජවාදයේ පැවති සමාජ-ආර්ථික දායාදයෙන් පවා දේවල් ණයට ගැනීමට පසුබට නොවූහ. ජෙනරාල් ලුසියස් ක්ලේ දැඩි කොමියුනිස්ට්-විරෝධියෙකි. සීතල යුද්ධයේ දී ධනවාදී කඳවුර වෙනුවෙන් පෙනී සිටි දැවැන්තයෙකි. “දවසට කැලරි 1500 ක් ලබන කොමියුනිස්ට්වාදියෙකු සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය තබමින් දවසට කැලරි දහසකින් යැපෙන පුද්ගලයෙකු අතර තේරීමක් නැතැ” යි ඔහු කීය. සුපුරුදු ක්‍රමයට වෙනස්ව, අවශ්‍ය තන්හිදී පිළිගත් සම්මතයන් පවා කඩා දැමීමට කැමති එවැනි නායකයෝ එදා බටහිර ධනවාදය තුළ සිටියෝය. යුරෝපයේ සමස්ත සමාජ ක්‍රමය (ධනවාදයේ පැත්තට) තීරණාත්මකව වෙනස් කළ ‘ජෝර්ජ් මාෂල් සැලැස්ම’ දියත් කිරීමට ඉඩහසර ලැබුණේ, ධනපති ක්‍රමය තුළම තිබූ එවැනි ආකල්පමය පරිවර්තනයන් නිසා ය. ව්‍යුහාත්මකව රටවල් වශයෙන් යළි ගොඩනැගීමේ අවශ්‍යතාව සහ තම රටවල පුරවැසියන් සඳහා සෘජුවම ආයෝජන යෙදවීමේ අවශ්‍යතාව අතර හිර වී සිටි පශ්චාත්-යුද කාලීන යුරෝපා ආණ්ඩුවලට ‘ජෝර්ජ් මාෂල් සැලැස්ම’ තුළින් විශාල නිදහසක් සැපයුණි. දේශපාලනික අස්ථාවරත්වය ඇති කරලිය හැකි සහ දෛනික ජීවන තත්වයේ කඩා වැටීමකට තුඩුදිය හැකි ආකාරයේ දුෂ්කරතාවන් ජනතාව මට පැටවීමෙන් වැළැකී සිටීමට ‘ජෝරජ් මාෂල් සැලැස්ම’ නිසා බටහිර ලෝකයට හැකියාව ලැබුණි.

ඒ ආකාරයට, සුභසාධන රාජ්‍ය ක්‍රමය දියුණු ලෝකයේ ධනපති රටවල ප්‍රතිමානය බවට පත්වුණි. පිටස්තරයන් වශයෙන් සිටි සාමාන්‍ය ජනතාව, ආර්ථික ක්‍රමයේ පරදු දරන්නන්ගේ තත්වයට පත් කිරීමට එදා දේශපාලන නායකයෝ ආර්ථික ක්‍රමවේද පාවිච්චි කළහ. ඒ බටහිර සුභසාධන රාජ්‍ය පද්ධතිය, තම රටවල ජනතාවට ඉහළ ජීවන තත්වයන් සහතික කරලීමටත්, තමන්ගේ රටවල කම්කරු පංතිකයන්ට නැගෙනහිර යුරෝපා සමාජවාදි රටවල කම්කරුවන්ට වඩා යහපත් සේවා තත්වයන් සහතික කරලීමටත් සමත් විය. මේ තත්වය එරික් හොබ්ස්බෝම් විස්තර කෙළේ මෙසේ ය: “මේ සියවසේ එක් අසාමාන්‍ය උත්ප්‍රාසයක් වුණේ, ධනවාදය ලෝක පරිමාණව පෙරලා දැමීමට පේ වී සිටි ඔක්තෝබර් විප්ලවය, යුද සමයේදී සේම සාම සමයේදීත් තමාගේ එදිරිවාදියාව ආරක්ෂා කර දීමට හේතුකාරක වීමයි. එනම්, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, එම (ධනපති) ක්‍රමයට ඇතුළෙන්ම ප්‍රතිසංවිධානය වීමට තල්ලු කරන ආකාරයේ පන්නරයක් සහ භීතියක් ජනිත කරවීම මාර්ගයෙනි.”

ඒ ඉතිහාසය දැන් අමතකව තිබේ. ප්‍රජාතන්ත්‍රවාදයේ ඒ අමතකය, ඇදහිල්ලක් තරමට ගැනෙන ආධානග්‍රාහී ආර්ථික ආකල්පයකට තුඩු දී තිබේ. පුද්ගල නිදහස සහ සමාජ සාධාරණත්වය අතර පැවති පශ්චාත්-යුද කාලීන සහසම්බන්ධය දැන් කැඩි බිඳී ගොසිනි. 2009 දී තවත් මහා ආර්ථික අවපාතයක් වළක්වා ගැනුණි. එහෙත් ඒ ආර්ථික කඩා ඉහරවීම වළක්වා ගැනීමට ගත් පියවර නිසා දස ලක්ෂ ගණනන් ජනීජනයාගේ ජීවිතවලට ඇති කළ අහිතකර බලපෑම අති විශාල ය. මිනිසුන්ගේ ජීවිකා වෘත්ති නැති විය. ගෙවල් දොරවල් මිනිසුන්ට අහිමි විය. එසේ තිබියදී, මේ ආර්ථික අර්බුදවලට වඩාත්ම හේතුකාරක වූ බැංකු, රක්ෂණ සමාගම්, හෙජිං අරමුදල් සහ මූල්‍ය ප්‍රාග්ධනයේ වෙනත් ආයතන පද්ධති සීරීමක්වත් නැතිව ඇඟ බේරාගෙන සිටීම, ජනතා අප්‍රසාදයට තවත් හේතු කාරණා වන්නේය.

යම් කාලයක් ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථකව නඩත්තු කිරීනේ පසුව බ්‍රසීලය මාරාන්තික අසාර්ථකත්වයකට මුහුණදීමේ කතාව, එවැනිම දුෂ්කරතාවන්ට මුහුණදී සිටින අපත් ඇතුළු වෙනත් ප්‍රජාතන්ත්‍රවාදයන්ට යස පාඩමකි. බ්‍රසීලයේ කම්කරු පක්ෂය දූෂණයට කප් ගැසුවේ නැතිනම්, අති දැවැන්ත ධන සම්පත් (රියෝ ඔලිම්පික්ස් වැනි) සෝබන ව්‍යාපෘතිවලට නාස්ති කරන්නේ නැතිව සාමාන්‍ය ජනයාගේ ජීවන තත්වයන් නගා සිටුවීම සඳහා යෙදවූයේ නම්, බ්‍රසීලයේ ගමන් මග වෙනස් වන්නට තිබුණි. ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් තමන්ගේ මූලික ප්‍රතිඥාවන්ට පිටුපාමින් තමන්ගේ ඡන්දදායකයා අහිමි කර ගන්නා විට සිදුවන්නේ, අධිකාරීවාදී අනාගත පාලකයන්ට අත වැනීමකි.

හිට්ලර් බලයට පත් සැණින් යුරෝපීය සංස්කෘතික නායකයෝ ආන්ද්‍රේ ජීද් ගේ මගපෙන්වීම යටතේ සමුළුවක් කැඳවූහ. වැරදුණේ කොතැනදැ යි සොයා බැලීමත්, හිට්ලර්ගේ නට්සිවාදයට එරෙහිව නැගී සිටිය හැක්කේ කෙසේද යන්න සොයා බැලීමත් එහි අරමුණ විය. තමා වැනි වාමවාදී බුද්ධිමතුන් මේ තත්වයට අර්ධ වශයෙන් වගකිව යුතු බව එහිදී ක්ලෝස් මාන් පෙන්වා දුන්නේය. හිට්ලර් බලයට පැමිණීමට කලින් පැවති වෙයිමර් ජනරජය පිළිබඳ තමන්ගේ විවේචන අන්ත නිර්දය වූ බවත්, එසේ වුණේ, ඒ දූෂිත වූත්, අකටයුතු වූත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ කිසි හොඳක් තමන් නොදුටු නිසා බවත් එහිදී කියැවුණි. අවසානයේ එහි ප්‍රතිඵලයක් වශයෙන් හිට්ලර් බලයට පත්ව, මූලික මිනිස් අයිතිවාසිකම්වල ඇති වටිනාකම ගැන ඔවුන්ට පාඩමක් ඉගැන්නුවේය.

පරණ සටන් අලුතෙන් කිරීමට සිදුවීම අපේ අවාසනාවයි. එහෙත් ඒ සටන් කළ යුත්තේ, පැරණි වැරදි මගහරවා ගනිමිනි. ජාතිකවාදී-ජනතාවාදී රැල්ල තවත් වටයකින් ලෝකය පුරා කැරකීමට පටන්ගෙන ඇති තත්වයක් තුළ, එහි අතීත රැළිවලින් උගත් පාඩම් මතකයට නංවා ගත යුතුව තිබේ. ලෝක යුද්ධ දෙක අතර කාලයේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පැවතියේ ගර්හා කටයුතු ආකල්පයකි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලඥයෝ, දැන් මෙන්ම, බොහෝ කොට පගාකාර සහ අකාර්යක්ෂම ජාතියක් වුහ. දූෂණයත් ඔඩුදුවා තිබුණි. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිඥා සහ යථාර්ථය අතර හිඩැස වැඩි වත්ම, ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයෝ කලකිරීමට සහ මන්දෝත්සාහයට පත්වුහ. ඒ දූෂිත, ගොබ්බ සහ අකාර්යක්ෂම ප්‍රජාතන්ත්‍රවාදය යටතේ පවා තිබූ නිදහසේ වටිනාකම මිනිසුන්ට වැටහුණේ, එම නිදහස් අයිතීන් නට්සිවාදී පාලනය යටතේ මුළුමණීන් දූරිභූත වූ පසුව ය.

මිනිස් ඉතිහාසයේ වැඩි කාලයක් තිස්සේ මිනිසා ජීවත්ව ඇත්තේ මූලික මිනිස් අයිතීන් සහ නිදහස නැතිව ය. ඔවුන්ගේ ජීවිත දිළිඳු විය. කෙටිකාලීන විය. දරුණු විය. තමන්ගේම වූ අයිතීන් සහ හඬක් නොමැතිව, රජවරුන්ගේ, ජෙනරාල්වරුන්ගේ, ධන කුවේරයන්ගේ හෝ ආගමික නායකයන්ගේ අණසක යටතේ ඔවුන් ගත කෙළේ නොමිනිස් පැවැත්මකි. අද අප ස්වභාවික දෙයක් වශයෙන් ගන්නා නිදහස, ආරක්ෂාව සහ සමෘද්ධිය වෙනුවෙන් හුවමාරු කර ගැනීමටත් කැමැත්තක් දක්වන ඒ නිදහස, සියවස් ගණනාවක් තිස්සේ කරන ලද දුෂ්කර සටන්වල ප්‍රතිඵලයකි. සර්වජන ඡන්ද බලය පිළිබඳ අයිතියට පවා මොන තරම් පසමිතුරු බලවේග විණි ද යන්න ඉතිහාසය දෙස උඩින්පල්ලෙන් බැලුවත් දැක ගත හැකිය.

ඓතිහාසිකව ගත් විට, ප්‍රජාතන්ත්‍රවාදය යනු ධනවතාගේ සිල්ලර ආශාවක් නොව. දුප්පතාගේ බලවත් අවශ්‍යතාවකි. මූලික අයිතීන් නැති වීම ප්‍රයෝජනවත් වන්නේ සාමාන්‍ය නීතිගරුක පුරවැසියාට නොව, දේශපාලනික, ආගමික සහ ආර්ථික බලය හසුරුවන්නන්ට ය. එවැනි පරිසරයක අපරාධ මැඩලීම පවා කළ නොහේ. නිසි නීති ක්‍රියාවලියක් නැති, නිදහස් භාෂණයක් නැති වටපිටාවක අපරාධයක් සිදු වූ විට, පොලීසියට පරීක්ෂණ පවත්වමින් සිටීමට අවශ්‍යතාවක් පැන නගින්නේ නැත. ඔවුන්ට කිරීමට ඇත්තේ ‘සැක කටයුතු තැනැත්තෙකු’ අල්ලාගෙන ඔහු ලවා සියදිවි නසා ගැනීමට සැලැස්වීම හෝ අත්අඩංගුවෙන් පැන යාමට තැත් කිරීමේ දි මරණයට පත්වන තැනට වගබලා ගැනීම පමණි.

ශ්‍රී ලංකාවේ රාජපක්ෂලාගේ විපක්ෂය සහ (ඡන්දදායකයන්ගෙන් සියයට 45 ක් පමණ විය හැකි) ඔවුන්ගේ සහායක ජනතාව, නිසි බලධාරීන් අතින් නීතියට පිටින් සිදු කෙරෙන ඝාතන සහ අතුරුදහන් කිරීම් සලකන්නේ, මහජන යහපතට අවශ්‍ය කාරණයක් ලෙස ය. ‘විකල්ප’ සඟරාවේ සංවිධායකත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ ‘අන්ෆ්‍රේම්ඞ්’ නැමැති ඡායාරූප ප්‍රදර්ශනය තහනම් කරනු ලැබීම, සමාජයේ පවතින අනෙකා නොඉවසීමේ ගතිය සහ අධිකාරීවාදය මොන තරම් දරුණුදැ යි පෙන්වූ අවස්ථාවකි. යාපනේ මෑතකදී පැවැත්වූ චිත්‍රපට උළෙලකදී ‘ඩීමන්ස් ඉන් පැරඩයිස්’ නැමැති චිත්‍රපටය වාරණය කිරීම, නිල වාරණයක් නැති තත්වයක පවා ස්වයං-වාරණය රජයන සැටි පෙන්වූ අවස්ථාවකි. මේ විෂකාරක වටපිටාවට සාමාන්‍ය ජනතාවගේ ආර්ථික අගහිඟකම් ද මුසු වූ විට, යළි ඒකාධිපති විජයග්‍රහණයකට අවශ්‍ය අඩුවැඩිය ශ්‍රී ලංකාවේ පදමට වැඩෙමින් ඇති බව කිව හැකිය.

නැවත නැවතත් බිංදුවෙන් පටන් ගැනීමට සිදුවීම මංගල්‍යයක් නොවේ. කලින් දිනාගෙන සිටි සටන් නැවතත් අලුතෙන් පටන් ගැනීමට සිදුවීමත් ගාම්භීර නැත. එහෙත් එය අපේ ඉරණම වීමට නියමිත නම්, ඒ සඳහා සිසිෆස්ගෙන් තරම් ආදර්ශයක් වෙන කිසිවකින් අපට නොසැපයේ. බැලූ බැල්මට නිරර්ථක යැයි පෙනෙන තත්වයන් යටතේ කඹුරන්ට සිදුවීමේදී අපේක්ෂා භංගත්වයට පත්වීම, මහා කන්දට ජයග්‍රහණය බාර දී සිටීමක් වැනි යැයි ඇල්බෙයා කැමූ අපට පෙන්වා දෙයි. ‘කඳු මුදුනට නැගීමේ අරගලයම මිනිසෙකුගේ හදවත පුරවාලයි’ යන්න ඔහුගේ අවසාන නිගමනයයි. බාගෙ විට, අප ද එය දැන ගැනීමට නියමිත ය.

(2018 ඔක්තෝබර් 21 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Learning from Sisyphus නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)

Back to Top