Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගසිරිසේන: මැන්ඩෙලා වර්ණනා කොට ඔහුටම පස්ස හැරවීම – නෙවිල් ද සිල්වා

සිරිසේන: මැන්ඩෙලා වර්ණනා කොට ඔහුටම පස්ස හැරවීම – නෙවිල් ද සිල්වා

by

නිව්යෝර්ක් නුවර ‘නෙල්සන් මැන්ඬේලා සාම සමුළුවේ’ කතාවක් පැවැත්වීමට ජනාධිපති සිරිසේනට ඇරියුම් කෙළේ කවුද යන්න දන්නවා ඇත්තේ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු සහ දකුණු අප්‍රිකානුවන් පමණි. ඊට දවසකට පසුව එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීමටත් ඔහු නියමිතව සිටි නිසා, මැන්ඬේලා කතාව සංවිධානය කළ පිරිස එක මිලකින් වැඩ දෙකක් කරවා ගැනීමට හෙවත් එකක් මිලට ගන්නා විට තව එකක් නිකං ගැනීමේ ආර්ථික න්‍යාය අනුගමනය කරන්නට ඇත. එහෙත් දැන් අවුරුදු පතා නිව්යෝර්ක් වන්දනාවේ යන සිරිසේනගේ කතා යුගලය එකට ගෙන ඇසුවොත් එහි මහ ලොකු වටිනාකමක් කෙනෙකුට නොදැනෙනු ඇත. මැන්ඬේලා සමුළුව අමතා සිරිසේන කළ කතාව සංක්ෂිප්ත ය. එය ඇසුවේ නම් මැන්ඬේලා සිටින තැනක සිට දහස් වාරයක් අපේ ජනාධිපතිවරයාට ස්තුති කරනු නොඅනුමානයි. ඊට සවන්දුන් දකුණු අප්‍රිකානු නායකයන් වුව එසේ කරනු ඇත.

මැන්ඬේලා කෙරෙහි සිරිසේන දැක්වූ උපහාරය, ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුව අමතා කළ කතාව සමග එකට ගෙන කියවිය යුතුව තිබේ. එවිට, පිටස්තරයෙකුට වඩා ශ්‍රී ලාංකිකයන්ට සහ ශ්‍රී ලංකාවේ කටයුතු ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට සිරිසේනගේ කුහක තර්ජනය වඩාත් හොඳින් වැටහෙනු ඇත. දේශීය මාධ්‍ය තුළ පළවූ සිරිසේනගේ මැන්ඬේලාභිවාදනය, එහි සමස්තය ද නැතහොත් ඉන් උපුටා ගැනීම් කිහිපයක් පමණක් ද යන්න මම නොදනිමි. ජනාධිපති මාධ්‍ය අංශයෙන් මීට වඩා සවිස්තරාත්මක වාර්තාවක් සොයා ගැනීමට මා උත්සාහ කළත් එවැන්නක් හමු නොවීය. ඒ ගැන මොන දෙයියන්ට ස්තුති කරන්නදැ යි මම නොදනිමි. අපේ නායකයන් යන්නේ, තමා ගැන තමාම කර ගන්නා වර්ණනාව තරම් නොවන ඕනෑම ප්‍රවෘත්තියක් ‘ව්‍යාජ ප්‍රවෘත්තියක්’ වශයෙන් දකින අර නැහැදිච්ච ඇමරිකානු ජනාධිපතියාගේ අඩි පාරේ විය හැකි නිසා, ආණ්ඩුවේ පුවත්පතක්ම මේ ගැන කියන වාර්තාවක් උපුටා ගැනීම යෙහෙකැයි මට සිතේ.

“වර්ණභේදවාදයට විරුද්ධව සිටි විප්ලවීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන නෙල්සන් මැන්ඬේලාගේ අඩි පාරේ යන්නැයි ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සාමය සංහිඳියාව සහ ඒ සියල්ලටමත් වඩා සකල මනුෂ්‍යත්වය සඳහා වන බොහෝ පාඩම් මැන්ඬේලාගේ ජීවිතය තුළින් සැපයෙන බව කියා සිටියේය. කැපී පෙනෙන නායකත්ව ගුණාංග ප්‍රකට කළ ඔහුගේ ජීවිතය සහ කාර්ය භාරය ගැන ලෝක නායකයන් උගත යුතුව ඇතැයි ඔහු තවදුරටත් කියා සිටියේය. තවද, ලෝකයා ඔහුගේ නායකත්ව ගුණාංගයන්ගෙන් අගනා මාර්ගෝපදේශ ලැබිය යුතුව ඇති අතර ඒ අසාමාන්‍ය නායකයාගේ ගමන් මගේ යා යුතුව ඇතැයි ඔහු කීය. තවදුරටත් කරුණු දැක්වූ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා, නෙල්සන් මැන්ඬේලා තමන් අතේ පැවති බලය අතහැරීම හෝ සීමා කිරීම සම්බන්ධයෙන් අගනා පාඩම් ගණනාවක් ලෝකයාට පෙන්වා දී ඇති බව ද කීවේය.”

මැන්ඬේලාගේ මාර්ගයේ යන්නැයි ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටින නලාකාරයා වීම ගැන සිරිසේනට ස්තුති කළ යුතුය. එහෙත් ප්‍රශ්නය වන්නේ, කියන පාඩම් ඉගෙනගෙන නොතිබීමයි. කාහල නාදය නිකුත් කිරීමට පෙර ඒ පාඩම සිරිසේන ස්වකීයආදර්ශයෙන් පෙන්වා සිටියේ නම් මීට වඩා වැදගත් වන්නට තිබුණි. තවත් විදිහකින් කිවහොත්, මැන්ඬේලා කළ කී දේවල්වලට පටහැනි දේවල් කරනවා වෙනුවට, මැන්ඬේලාගේ කාර්ය භාරයෙන් අංශුමාත්‍රයක් හෝ කිරීමට සිරිසේනට හැකි විණි නම් මේ කතාව අපූරු එකක් වන්නට තිබුණි.

පුවත්පත් වාර්තාවල සඳහන් වන අවසාන වැකිය ගෙන බලන්න: “තමා අතේ ඇති බලය අතහැරීමේ හෝ සීමා කිරීමේ” ආදර්ශය මැන්ඬේලා ක්‍රියාවට නැගූ එක් ක්‍රමයක් වුණේ, දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වීමෙන් පසු තමාගේ ධුර කාලය එක වරකට පමණක් සීමා කර ගැනීමට වගබලා ගැනීමයි. අවශ්‍ය විණි නම්, ජීවිත කාලයටම එරටේ ජනාධිපති වශයෙන් සිටීමේ හැකියාව ඔහුට තිබුණි. 1990 පෙබරවාරි මාසයේ මැන්ඬේලා හිරෙන් නිදහස් කිරීමෙන් මාස 15 කට පසුව, ‘හොංකොං ස්ටැන්ඩර්ඞ්’ පුවත්පතේ මාධ්‍යවේදියෙකු වශයෙන් මා එරටට ගිය අවස්ථාවේ මට පෙනුණු යථාර්ථය එයයි.

රටේ කළු ජාතික අති-බහුතරයේ අසහාය සහාය තමන්ට තිබුණත්, මර්දනයට සහ පීඩාවට ලක්ව සිටි ඒ බහුතරයත්, ඔවුන්ව පීඩාවට පත් කළ වර්ණභේදවාදී සුදු ජාතික සුළුතරයත් එක තැනකට ගෙනැවිත් තනි ජාතියක් ගොඩනැගීමේ ඇති බරපතල අභියෝගය මැන්ඬේලා වටහාගෙන සිටියේය. ඒ අලුත් දකුණු අප්‍රිකාව උපදින්නට විළිලමින් සිටි ආකාරය එදා මා දුටු ආකාරය විස්තර කිරීමට මෙය තැන නොවේ. එහෙත් පවතින අභියෝගය ඉදිරියේ, වෛරය පැත්තකින් දමා, මර්දකයාට සහ මර්දිතයාට යුක්ති ධර්මය පිළිබඳ හැඟීමෙන් යුතුව එක ආකාරයෙන් සැලකීමේ ඇති වැදගත් කම ඔහු තේරුම් ගෙන සිටි බව පැහැදිළි ය.

එහෙත් එසේ කිරීම සඳහාවත්, බලයේ එල්ලී සිටීමට ඔහු බැලුවේ නැත. එක වරක් පමණක් ජනාධිපති ධුරයේ සිටි ඔහු, කලින් පොරොන්දු වී සිටි පරිද්දෙන්ම, එම ධුරය කැමැත්තෙන්ම අත්හලේය.

ශ්‍රී ලංකාවේ බලයට පත් සිරිසේනත් මහජන වේදිකාවේ සිට කීවේ එක දෙයකි. එනම්, එක ධුර කාලයකින් පසුව ඉන් ඉවත් වී තමාගේ ගමට ගොස් ගැමියන් සමග ජීවත් වන බව ය. දැන් ඒ මිනිසා තවත් වරක් බලයේ රැඳී සිටීමට බලයි. (ඒ කියන්නේ, ඊළඟ ජනාධිපතිවරණයකින් ජය ගත හැකි නම් ය). මැන්ඬේලාගේ පුරුෂාර්ථ සහ භාවිතය උකහා ගන්නැයි ලෝක නායකයන්ගෙන් අද ඉල්ලා සිටින්නේ ඔහු ය. බලයේ සිටීමට තමා තුළ ඇති අභිලාෂය ඔහු දැනටමත් ප්‍රකාශ කොට හෝ ප්‍රකාශ කරවාගෙන හෝ තිබේ.

ඊළඟට, පසුව දා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතමින් ඔහු රාජ්‍ය නායකයන්ගෙන් තවත් දෙයක් ඉල්ලා සිටියේය. එනම්, ලංකාව දෙස වෙනත් මානයකින් හෙවත් වඩාත් සානුකම්පික ඇසකින් බලන ලෙසයි. “මගේ රට දෙස, කුරුරි යුද්ධයකින් පසු දැන් සාමය උදා කරගෙන ඇති මගේ රට දෙස, අලුත් අදහස් සහිත අලුත් මානයකින් බලන්නැ යි මම ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ජාතික සංහිඳියාව පවතින රටක් ලෙස, තවත් යුද්ධයක් ඇති වීම වැළැක්වීම සඳහා සෑම පියවරක්ම ගෙන ඇති සහ ගනිමින් සිටින රටක් ලෙස සහ මානව හිමිකම් අගයන සහ ආරක්ෂා කරන රටක් ලෙස එදෙස බලන්නැයි මම ඉල්ලා සිටිනවා.”

කදිම ය/ අපූරු ය/ ලෝක නායකයන්ගෙන් ලංකාව දෙස මානුෂීය ඇසකින් බලන්නැයි ඉල්ලා සිටීමට කලින්, ඒ නායකයන්ට දී ඇති පොරොන්දු මොහුගේ ආණ්ඩුව ඉටු කර තිබුණේ නම් කතාව ටිකක් වැදගත් වන්නට තිබුණි. ඊට අදාළව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක්, ශ්‍රී ලංකාවේ සම සහභාගීත්වයෙන් යුතුව සම්මත කරගෙන තිබේ. හිටපු විදේශ ඇමතිවරයා විසින් සම-යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කොට සම්මත කර ගන්නා ලද මෙම යෝජනාව තුළ වගවීමේ යාන්ත්‍රණයක් පිහිටුවීමේ පොරොන්දුව තිබුණි. එනම්, දකුණු අප්‍රිකාවේ නායක නෙල්සන් මැන්ඬේලා විසින් ඇති කරගෙන තිබූ ‘සත්‍යය සහ සංහිඳියා කොමිසම’ බඳු යාන්ත්‍රණයක් පිහිටුවන බව ය.

එවැනි කොමිසමක් පිහිටුවීම ගැන දකුණු අප්‍රිකාවෙන් උපදෙස් ද ලබා ගත් ලංකාව එවැන්නක් ලංකාවේ පිහිටුවන බව 2015 සැප්තැම්බර් 14 වැනි දා ප්‍රකාශයට පත්කෙළේය. ස්වයං-විජයග්‍රාහී ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අඩිපාරේ යමින් තමන්ගේ ආණ්ඩුව ඇති කරගෙන තිබෙන ජයග්‍රහණයන් ගැන අපේ ජනාධිපතිවරයා කතා කළත්, අර කියන ‘සත්‍යය කොමිසම’ ගැන කතා කෙළේ නැත. එහෙත්, ඒ සඳහා කටයුතු කිරීමට ජාත්‍යන්තරයෙන් අපේ ආණ්ඩුව කල් ලබාගෙනත් තිබුණි. මුලදීම අවුරුදු දෙකක කාලයක් ලබා ගත්තේය.

මැන්ඬේලාගේ අඩිපාරේ යන්නැයි ලෝකයට කියා දෙන පුද්ගලයාගේ ආණ්ඩුව, මැන්ඬේලාගේ ඉහළම ජයග්‍රහණය වන ‘සත්‍යය කොමිසමට’ පස්ස හරවා සිටී. එසේ තිබියදී, ඒ ලෝක නායකයන් සියල්ලන්ම තමන්ගේ ඇස්වල සුදු ඉංගිරියාව සාමූහිකව අලුතින් බද්ධ කරගෙන නැත්නම්, ලංකාව දෙස වෙනත් ඇසකින් කෙසේ නම් බලන්න ද?

මෑතකදී දකින්ට ලැබුණු ලොකුම මායාව වුණේ, 2016 අගෝස්තු මාසයේ කොළඹ පැවති ආසියාතික නීති විශාරදයන්ගේ සමුළුවකදී, එවක ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වූ උපුල් ජයසූරිය, අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව ශ්‍රී ලංකාවේ නැගී එන මැන්ඬේලා කෙනෙකු වශයෙන් හඳුන්වා දීම ය. තමාගේ ආරම්භක දේශනයේදී ජනාධිපතිවරයාට ආමන්ත්‍රණය කරමින් උපුල් ජයසූරිය මෙසේ කීය:

“අපේ රටත් ජනතාවත් එක්සත් කළ, එක ජාතියක් සහ එක ජනතාවක් ගොඩනැගූ පුරවැසියා වශයෙන් නූතන ශ්‍රී ලංකාවේ නෙල්සන් මැන්ඬේලා ඔබතුමා වන බවට ඉතිහාසය තීරණය කරනු ඇතැයි කියා මා විශ්වාස කරනවා.” ජනාධිපති සිරිසේන රට සහ ජනතාව එක්සත් කළ නායකයා වශයෙන් දැක්වීම මගේ මතකයට ගෙනාවේ, ‘සැකය ඕනෑ කමින් නතර කර තබා ගැනීම’ ගැන සැමුවෙල් කොල්රිජ්ගේ කවියක සඳහන් කොටසකි.

ශ්‍රී ලංකාවේ කටයුතු ගැන තරමක් හෝ දන්නා කියන විදේශීය නියෝජිතයන්ට පවා, ජනාධිපති සිරිසේන ‘අපේ රට’ එක්සත් කොට ඇතැයි පිළිගැනීම අමාරු වූවාට සැක නැත. මන්ද යත්, ඒ වන විට ඔහුගේ පක්ෂයම පවා එක්සත් බව නැති කර ගනිමින් සිටි බැවිනි. සභාග ආණ්ඩුවත් අවුලට යමින් සිටි බැවිනි. ඒ නිසා, ගාන ඕනෑම සායමක් තාවකාලික එකක් පමණක්ම වීමට නියමව තිබුණි.

ඉතිහාසය යළිත් එයාකාරයෙන්ම සිදුවෙයි නම් මුලින් එය ඛේදවාචකයක් වශයෙන් සිදුවිය හැකි බවත්, දෙවැනුවත් එය ඒ ආකාරයෙන්ම සිදුවෙයි නම් ඒ විගඩමක් වශයෙන් බවත්, මාක්ස් (ගෘචෝ නොව, කාර්ල්) කියා ඇත. මෙය, විගඩම් වටයක් වශයෙන් ඉතිහාසය යළිත් කැරකී ඒමකැ යි පෙනේ. එය මගේ මතකයට ගෙනෙන්නේ, කාර්ල්ව නොව, ගෘචෝව ය.

* ගෘචෝ මාක්ස් යනු, ගත වූ සියවසේ විසූ ශ්‍රේෂ්ඨ ඇමරිකානු විකට රංගනවේදියෙකි.

(2018 සැප්තැම්බර් 30 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ Sirisena & the Mandela Moment  “සිරිසේන සහ මැන්ඬේලා මොහොත”නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)

Back to Top