Sri Lanka Brief
පුවත්විශ්ලේෂනශ්‍රී ලංකාව: අමුතුම රටක්

ශ්‍රී ලංකාව: අමුතුම රටක්

by

දුෂ්කර අඩියකට මුහුණදී සිටි මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මෙන්ම මුදල් අමාත්‍ය මංගල සමරවීරත්, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉදිරි සති කිහිපය තුළ තවත් අඩු වීමට ඉඩ ඇතැයි දින කිහිපයකට පෙර කීහ. එසැණින්ම, විදේශ මුදල් හුවමාරුව සඳහා ඉල්ලා සිටින අනුපාතික වියදම සියයට 20 කින් ඉහළ ගියේය. මේ සිද්ධිය අපේ මතකයට ගෙනාවේ, හිටපු ජනාධිපති ඩී. බී. විජේතුංග දවසක් අපේ රාජ්‍ය බැංකු දෙක බංකොලොත් වී ඇති බව ප්‍රසිද්ධියේ කී අවස්ථාවේ තමන්ගේ මුදල් ආපසු ලබා ගැනීමට දෙනෝ දාහක් පොරකෑ සිද්ධියට ය.

රුපියල බාල්දු වීම වළක්වා ගැනීමට පුළුවන් කමක් නැතැයි මුදල් ඇමතිවරයා සහ මහබැංකු අධිපතිවරයා කියන විට වහා සිදු විය හැකි ප්‍රතිවිපාක දෙකක් තිබේ. රුපියල්වලින් ලංකාවේ ආයෝජනය කර ඇති විදේශිකයන් තමන්ගේ මුදල් ආපසු ගෙන යාමට එක පැත්තකින් තැත් කළ හැකි අතර, අනිත් පැත්තෙන් ඩොලර් මුදල් සතුව සිටින විදේශීය ශ්‍රී ලාංකිකයන් එම මුදල් ආපසු ලංකාවට ගෙන ඒමෙන් වැළකී සිටිය හැකිය. එසේම, තමන් සතු රුපියල් මුදල් ඇතොත් හැකි තාක් ඉක්මණින් ඩොලර්වලට ඒවා මාරු කර ගැනීමට ඔවුන් පෙළඹිය හැකිය. අවසානයේ ගත් විට ඒ සියල්ලෙන් ලංකාවේ ආර්ථිකයට සිදුවිය හැක්කේ මහත් වින්නැහියකි.

පසුගිය කාලය තුළ ලංකා රුපියල පමණක් නොව, වෙනත් බොහෝ ආසියාතික රටවල මුදල්වල වටිනාකමත් අවප්‍රමාණය වී ඇති බව අපි දනිමු. ශ්‍රී ලංකාවේ රුපියල සියයට 8 කින් බාල්දු වන විට, ඉන්දියානු රුපියල සියයට 13 කින් බාල්දු වී තිබේ. පාකිස්තානු රුපියල සියයට 12 කින් ද, ඉන්දුනීසියානු රුපියියා සියයට 9 කින් ද බාල්දු වී තිබේ.

එහෙත් ශ්‍රී ලංකාවේ අවාසනාව වන්නේ අප ඉතා කුඩා ආර්ථිකයක් වීමයි. අපේ මුළු දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම ඩොලර් බිලියන 90 කි. ඉහත සඳහන් කළ රටවල් තුනේම අපනයනවල වටිනාකම පමණක් අපේ මුළු දළ දේශීය නිෂ්පාදිතයට වැඩි අගයක් ගනී. එසේම රුපියලේ අගය තීන්දු වන්නේ විදේශ විනිමය වෙළඳපොළ මත බවත්, ඒ සම්බන්ධයෙන් ගත් විට අපේ රුපියලේ වටිනාකම තීන්දු වන ප්‍රධාන නිර්ණායක දෙක වන්නේ, අපේ භාණ්ඩ සහ සේවා සම්බන්ධයෙන් පවතින ආනයන සහ අපනයන වටිනාකම් බවත් අපි දනිමු.

දැන් පවතින රුපියලේ ආරාවුල අපේ ආනයන ව්‍යාපාර අඩපන කරයි. අපනයනකරුවෝ පවා, දීර්ඝ කාලීන සැලසුම් ඇති කර ගන්නවා වෙනුවට, සමපේක්ෂණය කරමින්, එනම් අනාගතයේ සිදුවිය හැකි ලාබ අලාබ ගැන සිතමින් කල් මරති. ඩොලර් පැත්තකින් තබාගෙන ඔවුන් තව තවත් ණය ගැනීමට ඉඩ තිබේ. එවිට වෙනත් ව්‍යාපාර පැත්තකට තල්ලු වෙයි. අද බොහෝ සමාගම්වල ව්‍යාපාරික සැලසුම් සහ වැය ශීර්ෂ මේ නිසා ව්‍යාකූල වී තිබේ.

විදේශ මුදල් පිටරටට ගලා යාම නතර කිරීම සඳහා ආණ්ඩුව, අත්‍යාව්‍ය නොවන වාහන ආනයනය සඳහා නිකුත් කෙරෙන ණයවර ලිපි සඳහා වන මුදල් සීමාව සියයට 100 කින් වහා ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ. එසේම, එන්ජින් ධාරිතාව 1000 ට අඩු වාහන සඳහා අවම බද්දක් නියම කිරීම තුළින් සහ වෙළඳපොල විසින් නිශ්චය කෙරෙන ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම තුළින්, එතෙක් පැවති අධිකතර ආනයන වර්ධනය යම් තාක් දුරකට පාලනය කිරීමට සමත් වී ඇතත්, ඊට සමගාමීව සුඛෝපභෝගී වාහන සඳහා තිබෙන බද්ද වැඩි කොට නොතිබීම ප්‍රශ්නයකි.

වඩාත් අනතුරුදායක දෙය වන්නේ, රුපියලේ අගය බාල්දු වීම හේතුවෙන් රටේ භාණ්ඩ මිල වැඩි විය හැකි අතර ඒ හේතුවෙන් පාරිභෝගිකයන්ගේ ක්‍රය ශක්තිය බාල වී, ආර්ථික ක්‍රියාකාරකම් බෙලහීන වීමට ඇති ඉඩකඩයි. 2014 පැවති සියයට 6.25 අනුපාතිකය නැවත කිසි දවසක ඇති කර ගැනීමට හැකි වෙතැයි සිතිය නොහැකි මුත්, වර්තමාන අනුපාතිකයේ කප්පාදුවක් අවශ්‍ය කෙරේ. ඒ මගින් ආර්ථික වර්ධනයට තල්ලුවක් සැපයිය හැකිය. රටක ණය සැපයීමේ චක්‍රය නිසියාකාරයෙන් ක්‍රියාත්මක වන විට රටක ආර්ථික ක්‍රියාවලිය පණ ගසා නැගී සිටී.

ඇත්ත, ආර්ථික ක්‍රියාකාරීත්වයේ ප්‍රවේගය වර්ධනය කිරීම සඳහා තවත් ගත හැකි මාර්ග බොහොමයක් තිබේ. ව්‍යපාරික විශ්වාසය ඉන් ප්‍රධාන තැනක් ගනී. ආර්ථිකය නිසියාකාරයෙන් කළමනාකරණය කර ගන්නා රටවල පොලී අනුපාතය ඉහළ යන අතරේම රටේ ආර්ථික වර්ධනයත් සිදුවෙයි. සිංගප්පූරුවේ සහ ඇමරිකාවේ කෙටිකාලීන පොලී අනුපාත ඉහළ යමින් තිබේ. ඇත්තෙන්ම සිංගප්පූරුවේ ප්‍රතිපත්තිමය අනුපාතිකයක් ඇත්තේ නැත. එසේ තිබියදී, පොලී අනුපාත නොකපා රටේ ආර්ථික වර්ධනය ඇති කර ගැනීමට එරට සමත්ව තිබේ.

කෙසේ වෙතත්, අපේ තත්වය ඊට ඉඳුරා වෙනස් ය. විනිමය අනුපාතිකය ආරක්ෂා කර ගැනෙන යම් කඩුල්ලක් මහ බැංකුව තනා ගත යුතුව තිබේ. මන්ද යත්, විටින් විට මෙරටින් විදේශයට ආපසු ප්‍රාග්ධනය ඇදී යාම දැන් නිතර සිදුවන බැවිනි. ඇමරිකාව තවදුරටත් තමන්ගේ පොලී අනුපාත ඉහළ දැමීමට ඉඩ තිබේ. එසේ වන විට, ඒ ඩොලරය සඳහා අප ගෙවිය යුතු මිල තවත් ඉහළ යයි. එබැවින්, රුපියල ආරක්ෂා කර ගැනීම සඳහා අපේ විදේශ සංචිතය ප්‍රසිද්ධියේ වියදම් කිරීමට කැමති නැති වුවත්, ඉහත කී අපේ විනිමය අනුපාතිකය යම් තාක් දුරකට හෝ ආරක්ෂා කර ගැනෙන බාධක කඩුල්ලක් තනා ගත යුතුව තිබේ.

ලංකාවේ පරිභෝජන මට්ටමට සාපේක්ෂව ගත් විට අපට ඇත්තේ කුඩා දේශීය නිෂ්පාදන පදනමකි. එසේම, දේශීය ණයත් ඩොලර්කරණය වුණොත් මූල්‍ය අර්බුදයක අවදානම මතුවිය හැකිය. ශ්‍රී ලංකාවේ තවත් අවාසනාවක් වන්නේ, අපේ විදේශ බැරකම්වලින් බහුතරයක් රාජ්‍ය ණයවලින් සමන්විත වීමයි.

දේශපාලනික තත්වය

රටේ ආර්ථික ස්ථායිතාව ඇති කර ගැනීම සඳහා, පවතින දේශපාලනික තත්වයෙන් උදව්වක් ලැබෙන්නේ ද නැත. ජනාධිපති සිරිසේන නිතරම පාහේ අගමැතිවරයා එල්ල කරගෙන ගෙන යන ප්‍රහාරය හේතුවෙන් සිදුවන්නේ, ව්‍යාපාරික විශ්වාසය බිඳ වැටීමයි. රටේ උද්ධමනය සියයට 5 ක පමණ ඉහළ මට්ටමක පැවතියත් මේ වසරේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 3.7 කින් වර්ධනය වීමට නියමිත ය. එහෙත් එය, පසුගිය පස් වසරක සාමාන්‍ය වර්ධන අනුපාතිකය වන සියයට 4.2 සමග සසඳද්දී, අඩු වර්ධනයකි. 2020 දීත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මේ වන විට වැඩි වැඩියෙන් කැමැත්තක් දක්වන බව පෙනෙන ජනාධිපතිවරයා, ඉදිරි අයවැයෙන් පසුව දැනට රටේ ආර්ථිකය කළමනාකරණය කරමින් සිටින ආර්ථික විද්වතුන්ව ඉවත් කොට තමාගේ පිරිසක් ඒ තැන්වලට පත් කිරීමට ඉඩ තිබේ. ඒ, අනාගත ජනාධිපතිවරණයක දී තමාට විශේෂ දේශපාලනික වාසියක් ලබා ගත හැකි ආකාරයේ පොදු අපේක්ෂකයෙකු බවට යළිත් වරක් පත්වීමට ය.

එක්සත් ජාතික පක්ෂය විසින් ගනිමින් සිටින ආර්ථික පියවර ඔහු ප්‍රසිද්ධියේ විවේචනය කරයි. එසේම වික්‍රමසිංහට කිට්ටුවෙන් සිටිතැයි කියන සගයන්ට විරුද්ධව තමා පියවර ගන්නා බවට ඔහු තර්ජනය කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙකුට සම්බන්ධකම් ඇති ගොඩනැගීම් ව්‍යාපාරිකයෙකුට රාජ්‍ය බැංකු දෙකෙන් අනවශ්‍ය අන්දමේ විශාල ප්‍රමාණයේ ණය සපයා තිබීම පසුගිය දා ඔහු ප්‍රසිද්ධියේ විවේචනය කෙළේය.

අනිත් අතට, මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ පවතින ඒකාබද්ධ විපක්ෂයත් මහත් වූ ප්‍රශ්නවලට මුහුණදී සිටී. මෑතකදී ඔවුන් පැවැත්වූ විරෝධතාව කෙළවර වුණේ, ඔවුන්ගේම ගණනයන් අනුව පවා අසාර්ථකත්වයකිනි. මනා සැලසුමකින් තොරව දියත් කළ එම විරෝධතාව බැසිල් රාජපක්ෂගේ නොසතුටට හේතු වී ඇති බව ප්‍රසිද්ධ කාරණයකි. පැහැදිළිවම, ඒකාබද්ධයේ මධුසමය සමාප්ත වී තිබේ. තවත් රාජපක්ෂ කෙනෙකුගේ පැමිණීම පිළිබඳ නොසතුට එම කඳවුර තුළින්ම මතුවෙමින් තිබේ. රටක ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තෙන්ම ක්‍රියාත්මක වන්නේ එයාකාරයෙනි.

කෙසේ වෙතත්, මේ රටට අවශ්‍ය කරන්නේ හොඳ නීතිරීති ය. ශක්තිමත් ආයතන පද්ධතීන් ය. අකමැත්තෙන් වුවත්, සීමා මායිම්වලට ගරු කරමින් වැඩ කරන දේශපාලනික නායකයන් ය. අන්ත අසරණ දුප්පතුන්ව කබලෙන් ලිපට වැටිය හැකි ආකාරයෙන් හදිසියේ ඇති වන බාහිර ආර්ථික කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කරගත හැකි ආකාරයේ නායකයන් ය.

2018 සැප්තැම්බර් 22 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ Sri Lanka: A Land Like No Other නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top