Sri Lanka Brief
පුවත්විවරණවිශ්වාස භංගයේ දෙවැනි කොටස: භාරකාර ආණ්ඩුවක් පිළිබඳ ප්‍රයත්නයක් – රසික ජයකොඩි

විශ්වාස භංගයේ දෙවැනි කොටස: භාරකාර ආණ්ඩුවක් පිළිබඳ ප්‍රයත්නයක් – රසික ජයකොඩි

by

මුද්‍රිත සහ සමාජ ජාලා මාධ්‍ය වාර්තා නිවැරදි නම්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ ජන්මාන්තාර ප්‍රතිවාදියා වන මහින්ද රාජපක්ෂ සමග භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ කල්පනාවක මේ අවස්ථාවේ නිමග්නව සිටී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊනියා ‘15 කණ්ඩායමේ’ සාමාජිකයෙකු වන එස්. බී. දිසානායකගේ නිවසේ දී සිරිසේන සහ රාජපක්ෂ අතර සාකච්ඡාවක් පැවති බව පුවත්පත් කිහිපයක් වාර්තා කොට තිබුණි. ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලය කුමක්දැ යි තවම පැහැදිළි නැතත්, භාරකාර ආණ්ඩුවක් සඳහා වන යෝජනාව ඉදිරියට ගෙන යාමේ සාකච්ඡා පදනමක් ඒ හමුවෙන් ඇති කර ගන්නා ලදැයි අපට උපකල්පනය කළ හැක.

එවැන්නකින් බලාපොරොත්තු වන එල්ලයේ තරම හිතා ගැනීම අපහසු නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර ඇති කර ගන්නා තාවකාලික සභාගයක් හරහා එක්සත් ජාතික පක්ෂයත්, අගමැති රනිල් වික්‍රමසිංහවත් ආණ්ඩු බලයෙන් පන්නා දැමීම එහි අරමුණ බව පැහැදිළි ය. තම වාසනාව උරගා බැලීමට සිරිසේනත්, රාජපක්ෂත් 2019 අයවැය පිළිබඳ එළැඹෙන පාර්ලිමේන්තුවේ ඡන්දය ඒ සඳහා අවස්ථාවක් කර ගැනීමට බලනවා විය යුතුය.

මේ වැඩපිළිවෙල ගැන සහාය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ‘ඒෂියන් මිරර්’ සමග පැවති සාකච්ඡාවකදී ඒ පිළිබඳ අවසාන ඉලක්කය මෙසේ පැහැදිළි කොට තිබුණි: “හිටපු ජනාධිපති රාජපක්ෂ, අපේක්ෂා කරන භාරකාර ආණ්ඩුවේ අගමැති වෙන්න පුළුවන්. ඒ වැඩපිළිවෙලම ඊළඟ ජනාධිපතිවරණයටත් යනවා. ඒ ජනාධිපතිවරණයේදී සිරිසේනට සහාය වෙන්න රාජපක්ෂට පුළුවන්. ඊළඟට එන පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජපක්ෂට සහාය වෙන්න සිරිසේනට පුළුවන්. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආණ්ඩුවේ ප්‍රධාන චරිතය වෙන්නේ අගමැතිවරයා කියන එක ජනාධිපති සිරිසේන දැනටමත් කියලයි තියෙන්නේ. ඒක නිසා, හිටපු ජනාධිපතිවරයාට ඔහුට නිසි තැන ලැබෙනවා ඇති.’

භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන ජනාධිපති සිරිසේනගේ මේ වුවමනාව එන්නේ, ඊළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයක පොදු අපේක්ෂකයා වශයෙන් තමන්ට ඉදිරිපත් වීමට ඇති හැකියාව සොයා බැලීමට ගත් අසාර්ථක ප්‍රයත්නයකින් පසුවයි. ඒ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ කිසි අවශ්‍යතාවක් තමන්ට නැති බව එක්සත් ජාතික පක්ෂය කෙලින්ම ජනාධිපතිවරයාට කියා ඇති බව සැලයි. තමාගේ ජනාධිපති අභිලාෂය ඉෂ්ට කර ගැනීම සඳහා සිරිසේන ඒකාබද්ධ විපක්ෂය දෙසට හැරෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

එක දෙයක් පැහැදිළි ය. භාරකාර ආණ්ඩුවක් හැදීමේ වෑයම සාර්ථක වුවහොත් වර්තමාන දේශපාලනික අර්බුදයත්, ආර්ථික අස්ථාවරත්වයත් තවත් උග්‍ර වනු ඇත. අඩු වශයෙන් ඊළඟ ජනාධිපතිවරණය දක්වාවත්, රට ව්‍යසනකාරී දේශපාලනික කුණාටුවකට හසුව, දැනට පවතින රුපියලේ අවප්‍රමාණය වීම පිළිබඳ ප්‍රශ්නය තවත් උග්‍ර වී, රටට පැමිණීමට සිටින ආයෝජකයන්වත් අධෛර්යමත් කරවනු ඇත.

කරුණු එසේ තිබියදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ගැන සොයා බැලීම වටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය ඒකාබද්ධව අවසාන වරට ගත් ප්‍රයත්නය වුණේ, මේ වසරේ අප්‍රේල් මාසයේ අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙනා විශ්වාස භංගයයි. අවසානයේදී, එය පටන් ගත් සහ ඊට සහාය දුන් අයගේම හිස මතට එය පාරාවළලක් වී ආවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෑහෙන මන්ත්‍රීවරුන් පිරිසක් එහිදී ඡන්දය දීමෙන් වැළකී සිටි අතර, විශ්වාස භංග යෝජනාව විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පරාජය කරනු ලැබීය.

මේ වසරේ පෙබරවාරියේ පළාත් පාලන ඡන්දයෙන් අන්ත පරාජයට පත්ව සිටි අගමැතිවරයා ඒකාබද්ධය ගෙනා මේ විශ්වාස භංගය හරහා පාර්ලිමේන්තුවේ ඡන්ද 122 ක් ලබා ගනිමින් තමාගේ අධිකාරය යළි තහවුරු කර ගත්තේය. අගමැතිවරයාව එලවා දැමීම කෙසේ වෙතත්, ඒ මගින් අගමැතිවරයාගේ ශක්තිය තර වීම නිසා ඒකාබද්ධය හොඳටම වැටුණේය. විශ්වාස භංගයට සහාය දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වී වෙනම කණ්ඩායමක් හදා ගත් අතර ජනාධිපති සිරිසේනට නැවතත් අලුතෙන් පටන් ගැනීමට සිදු විය.

ඒ අනුව ගත් විට, මේ ‘ඒකාබද්ධ ප්‍රයත්නය’ අගමැතිවරයා එලවා දැමීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව ගන්නා දෙවැනි වෑයමයි. එහෙත් ප්‍රශ්නය වන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ඒකාබද්ධ විපක්ෂයට, අගමැතිවරයාව සහ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙදර යැවීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති වීමයි. ඒ නිසා, එවැන්නක් සාර්ථක වීමට නම්, ජනතා විමුක්ති පෙරමුණේ සහායත්, ඊට අමතරව, එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී යාමට තරම් හයියක් ඇති මන්ත්‍රීවරුන් අඩු වශයෙන් 10 දෙනෙකුගේ පමණ සහායත් අවශ්‍ය කරනු ඇත.

දෙපාර්ශ්වය අතර පවතින බරපතල දේශපාලනික වෙනස්කම් ගැන සලකන විට, භාරකාර ආණ්ඩුවකට ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලැබෙතැයි සිතිය නොහැක. එසේම, ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වන අතුරලියේ රතන හිමියන් හැරුණු කොට, එක්සත් ජාතික පක්ෂයේ වෙන කිසිවෙකු මේ අවස්ථාවේ පක්ෂයෙන් කැඩී ගොස් නායකයාට විරුද්ධ සටනකට ලැහැස්ති වෙතැයි සිතිය නොහැක. විශ්වාස භංගය ගෙන ඒමට කලින් නායකයාව විවේචනය කරමින් සිටි අයවළුන් පවා ඒ පිලිබඳ අවසාන ඡන්දයේදී සුවචව නායකයාට පක්ෂව පෙනී සිටි බව අපට මතක ය. අන්තිමට සිදුවුණේ, යෝජනාව ගෙනා සහ ඊට සහාය දුන් පිරිස බරපතල අමාරුවක වැටීමයි.

වැදගත්ම ප්‍රශ්නය වන්නේ, ඒකාබද්ධ විපක්ෂය හෝ එහි සහචර බලඇණිය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇත්තෙන්ම සිරිසේන සමග ඇති කර ගන්නා සභාගයක් හරහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය වන්නේද යන්නයි. ජනාධිපතිවරයාම පිළිගෙන ඇති පරිදි, ඔහුගේ ජනප්‍රියත්වය මේ වන විට හොඳටම පල්ලම් බැස තිබේ. පළාත් පාලන මැතිවරණ ඡන්දයෙන් ඒ බව සනාථ විය. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සසඳන විට ඔහුගේ පක්ෂය මේ වන විට නොවැදගත් පක්ෂයක් බවට පත්ව තිබේ.

රාජපක්ෂලා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඒ අතින් ගත් විට, ඊළඟ ජනාධිපතිවරණයකදී ජයග්‍රහණය කොට තනියෙන් ආණ්ඩුවක් පිහිටුවීමට තරම් බලසම්පන්න පක්ෂයකි. රුපියලේ අගය අවප්‍රමාණ වීමේ ප්‍රශ්නය සහ පෙට්‍රල් මිල වැඩි වීමේ ප්‍රශ්නය අඩු වශයෙන් ඊළඟ වසර මැද දක්වාවත් පැවතීමට ඉඩ ඇති අතර, එය ද රාජපක්ෂලාගේ ජයග්‍රහණයකට අත්වැලක් වනු ඇත. එසේ තිබියදී සිරිසේන සමග භාරකාර ආණ්ඩුවකට යාම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැත්තෙන් ගත් විට, අනවශ්‍ය ආපදාවක් ඇති කර ගැනීමක් සහ ඊළඟ මැතිවරණයක ජයග්‍රහණය සඳහා පවතින අවස්ථාව දුර්වල කර ගැනීමක් විය හැකිය. ඊට හිලව්වට රාජපක්ෂලා වෙනුවෙන් සිරිසේන සතුව ඇත්තේ දිනෙන් දින ගරා වැටෙන බලයකුත්, කැඩී ගිය පක්ෂයකුත්, අසාර්ථක පරිපාලනයකුත් පමණි.

හුළං හමන්නේ කොයි අතටදැ යි කල්තියා දැන ගැනීමේ මනා හුරුවක් ඇති දේශපාලඥයෙකු වන මහින්ද රාජපක්ෂ, ඊළඟ මැතිවරණයට අවුරුද්දක තරම් කෙටි කාලයක් තියාගෙන ඇති කර ගන්නා භාරකාර ආණ්ඩුවක තිබිය හැකි හොඳ නරක හොඳින් කිරා බලා ඇතිවාට සැක නැත. එබැවින් මේ කාරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා කටයුතු කරනු ඇත්තේ ඉතා පරිස්සමිනි. ඒ අනුව, සිරිසේනට ඔහුගේ ‘භාරකාර ආණ්ඩුව’ කරගෙන යාමට ඉඩ දී, එහි ඇමති තනතුරු කිසිවක් නොගෙන එළියේ සිට ඔහු ඊට සහාය දැක්වීමට ඉඩ තිබේ. ඒ ආකාරයේ දියාරු අච්චාරුවක් නිසා සිරිසේනගේ බලය තවත් පිරිහී ගොස් එක්සත් ජාතික ආණ්ඩුව තුළ ඔහුට දැනට ඇති බලය තවත් දුර්වල වීමට තුඩුදෙනු ඇත.

පිටස්තරයෙකු වශයෙන් මට පෙනී යන කාරණය වන්නේ, ‘භාරකාර ආණ්ඩුවක්’ පිළිබඳ උපදේශය ඔහුට දී ඇති කවරෙකු වුවත් කර ඇත්තේ ඔහුව ගොනාට ඇන්දවීමක් බවයි. ඒ ගැන ජනාධිපතිවරයා විමසිලිමත් විය යුතුය. ඒ නිසා වහා ආපසු හැරී දිරච්ච ලණු නොකා තමන්ගේ පැවැත්ම සඳහා වෙනත් මාර්ගයක් නොගත්තොත්, විශ්වාස භංගයේදි අත්වූ නීරස පාඩම නැවත වරක් අලුතෙන් උගෙනීමට ජනාධිපතිවරයාට සිදු විය හැකිය.

 

(2018 ඔක්තෝබර් 7 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රෆ්’ වෙබ් අඩවියේ පළවූ No-Confidence Saga Part Deux: An Attempt at a Caretaker Government නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)

Back to Top