Sri Lanka Brief
පුවත්විශ්ලේෂනවිරෝධතාව, අරාබි වසන්තය සහ සිම්බාබ්වේ – රවි පෙරේරා

විරෝධතාව, අරාබි වසන්තය සහ සිම්බාබ්වේ – රවි පෙරේරා

by

“ක්‍රිකට් ක්‍රීඩාවෙන් මිනිසුන්ව ශිෂ්ට සම්පන්න කෙරේ. යහපත් මහත්වරුන්ව නිර්මාණය කෙරේ“
– රොබට් මුගාබේ

සැප්තැම්බර් 5 වැනි දා උදෑසන වෙන දාට වඩා කොළඹ නගරය නිශ්ශබ්ද විය. එසේම යම් අපහසුවක් දනවන වාතාවරණයක් ද එහි විය. ලොකු දෙයක් වීමට යන පාටක් පෙනෙන්ට තිබුණි. පවතින ආණ්ඩුව කඩා වැටෙන්ට ඉඩ තිබුණි. ලේ වැගිරීමක් පවා සිදුවන්ට ඉඩ තිබුණි.

එදා කොළඹ පාරතොටේ වෙන දා මෙන් යානවාහන තදබදයක් නොවීය. බස්වල බාගයක්වත් සෙනග සිටියේ නැත. වෙන දාට උදේ රැයින් දකින්ට ලැබෙන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් එදා දක්නට නොවීය. යම් කලබලයක් ඇති වෙතැයි සැක කළ ගෘහනීහූ සකසුරුවමින් ඉතිරි කළ සොච්චම් ඉතිරිය පවා වැය කරමින්, හාල්, පරිප්පු, පොල් ආදී අත්‍යාවශ්‍ය දේවල් කල් තියා රැස්කර ගන්ට පෙළඹුණහ.

ප්‍රධාන විපක්ෂය වූ ඒකාබද්ධය දින ගණනක් තිස්සේ සිටියේ තර්ජන පාමිනි. මහා බල සෙනගක් කොළඹට ගෙන්වා අගනුවර වටලා දුර්වල ආණ්ඩුව පෙරලා දමන බවට ඔවුහූ ඉඟි කළෝය. එනම්, මැතිවරණයකින් හෝ කුමන්ත්‍රණයකින් නොව, බල සෙනග පෙන්වා ජයග්‍රහණය අත්පත් කර ගැනීම ඔවුන්ගේ අරමුණ වූ බවයි. ඒ මහා සෙනගේ විරෝධතාව උඩ ආණ්ඩුව අස්ථාවර කොට ගෙදර යැවීමට එහි නායකයෝ බලාපොරොත්තු වූහ. එසේ ආණ්ඩුව පෙරලා දැමීමෙන් පසු බලයට පත්වන්නේ කවුරුන් ද, ඒ මොන වැඩ පිළිවෙලක් යටතේ ද යන්න ගැන කිසි පැහැදිළි කිරීමක් නොවුණි.

ජනතා විරෝධතා හරහා ආණ්ඩු පෙරලා දැමූ මෑත කාලීන ඉතිහාසයක් අප දැක තිබේ. එසේ පෙරලා දැමුණේ, බොහෝ කාලයක් තිස්සේ එම රටවල් පාලනය කළ ශක්තිමත් පාලන තන්ත්‍රයන් ය. ඒ තත්වය වැඩියත්ම දැක ගැනීමට ලැබුණේ අර්බුදකාරී මැද පෙරදිග කලාපයෙනි. එය ‘අරාබි වසන්තය’ වශයෙන් හැඳින්විණ. ටියුනීසියාව, ලිබියාව සහ ඊජිප්තුව එසේ ජනතාව බලමුළු ගැන්වීමෙන් පෙරලා දැමුණු රාජ්‍යයන් ය. බලසම්පන්න පවුල් පාලනයක් යටතේ අත්තනෝමතික පාලකයන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ පාලනය කෙරුණු මේ රටවල් බෙහෙවින් දූෂිතව පැවතියේය.

ඔවුන්ගෙන් බොහෝ දෙනා තම දේශපාලනය පටන්ගෙන තිබුණේ කැරලිකරුවන් වශයෙනි. එසේ වෙතත්, සීමාන්තික බලය පරිහරණය කිරීමේදී ඔවුහූ දුෂ්ට නරුමයන් බවට පත්ව සිටියහ. බටහිර සියල්ලට එරෙහිව මහා ඝෝෂා කළ ලිබියානු නායක ගඩාෆිගේ පවුලේ සාමාජිකයන්, විශේෂයෙන් ඔහුගේ පුතුන් බටහිර රටවල මහ පරිමාණව ආයෝජනය කොට තිබුණි. ස්විස් බැංකුවල විශාල රහස් ගිණුම් පවත්වාගෙන ගිය ඔවුන්ට, බටහිර රටවල නිශ්චල දේපළ සහ නවීන පන්නයේ යානවාහන පමණක් නොව, සුඛෝපභෝගී විනෝද නාවුක යාත්‍රා පවා තිබුණි.

මේ අරාබි රටවල පාලක පවුල් තම තමන්ගේ රටවල් මොන තරම් ගෙල ග්‍රහණයෙන් ගෙන තිබිණි ද යත්, පවුලේ කෙනෙකුගේ ආශීර්වාදය නැතිව රටේ කිසිවක් කර ගත නොහැකි තත්වයක් උද්ගතව තිබුණි. කොමිස් ගැහිලි සහ වෙනත් අයථා වරදාන, සමාජයේ සාමාන්‍ය සම්මතය බවට පත්ව තිබුණි. ඒ සියල්ල, පාලක පවුලේ සාමාජිකයෙකුව ඉපැදීමේ ආනුභාවයෙනි. එහෙත් මේ මහ බලධාරී කල්ලියට පිටින් සියල්ල ඇනහිට තිබුණේ නැත. මේ සමාජ කෙමෙන් ඉදිරියට ගියේය.

අධ්‍යාපනය ඉහළ යද්දී, ලෝකයේ වෙනත් තැන්වල සංචාරය කරද්දී සහ ලෝකය දැන කියා ගද්දී, ජනතාවගේ අපේක්ෂාවන් ද ඊට සමගාමීව වර්ධනය විය. ඒ අනුව ඔවුන් වඩා යහපත් ජීවිතයක් සහ වඩා පුළුල් නිදහසක් සොයා යද්දී, අතීතයේ සිටි ‘විමුක්තිදායකයන්’ දැන් වන විට තමන්ගේ පීඩකයන් බවට පත්ව ඇති බව ඔවුන්ට අවබෝධ විය. තෙල් ආකරවලින් මොන තරම් තෙල් ගලා ආවත්, තම තමන්ගේ වාසිය සඳහා පමණක් පේ වී සිටි කුඩා පාලක කල්ලිය වැඩ කෙළේ රටේ සමස්ත ආර්ථික කාර්යක්ෂමතාව සඳහා නොව. රටේ ධනය තමන්ගේ සාක්කුවේ දමා ගැනීම සඳහා ය.

2011 වන විට මිනිස්සු පාරට බැස්සෝය. එහෙත් මේ බලවත් පවුල් නිකංම බලය අතහැරියේ නැත. එවිට ලේ වැගිරීම් සහ ප්‍රචණ්ඩත්වය රජ විය. එහෙත් ජනතාව නතර කළ නොහැකි විය. දශක ගණනක් තිස්සේ බලයේ සිටි පාලකයන් වාෂ්ප වී ගියේ, වසන්තයේ හිරු උදාවත් සමග හිම දිය වී යන්නා සේ ය. දීර්ඝ කාලයක් තිස්සේ මර්දනයට යටත්ව සිටි මේ රටවල්වල අලුත් ආරම්භයක් සඳහා නව ප්‍රාර්ථනා ලියලන්නට විය.

අවාසනාවකට, එතෙක් ආශාවෙන් බලා සිටි වසන්තය වහා නැසී ගියේය. අරාබි ලෝකය, සමහර විට, බුද්ධිමය, සංස්කෘතිකමය සහ අධ්‍යාත්මික වශයෙන් තවමත් පුරුදු කෝවෙන් කැඩී යාමට සූදානමක් නැතිවා විය හැකිය. ‘වසන්තය’ හේදී ගියේය. අලුත් ‘බලවත්තු’ බලයට ආහ. නැවතත් එම රටවල් ඇදී යන බව පෙනෙන්නේ, ‘අසන්තෝසයේ ශීත සෘතුව’ දිසාවටයි.

මේ ‘අරාබි වසන්තය’ සමග සැප්තැම්බර් 5 වැනි දා ලංකාවේ සැලසුම් කළ තොවිලය මොන ආකාරයකින්වත් සමාන කිරීමට බැලීම විකාරයකි. මේ දෙක, අහස පොළොව තරමට සම කළ නොහැකි අවස්ථා දෙකක් වන බැවිනි.

කොළඹට පැමිණෙන විරෝධතාව සංවිධානය කෙළේ, දෙවරක්ම මෙරට ජනාධිපති පදවිය දැරූ මහින්ද රාජපක්ෂ ය. එම විරෝධතාවයේ සංවිධායකයන් බොහොමයක් දෙනා ජනතාවගෙන් පඩි ලබන සහ ජනතා ධනයෙන් අනේක වරදාන භුක්ති විඳින, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ය. රජයෙන් ලැබෙන බංගලාවල වෙසෙන මොවුන් විරෝධතා ව්‍යාපාරය පැවැත්වෙන ස්ථානයට පවා ගියේ අධි සුඛෝපභෝගී යානවාහනවලිනි. ඒවා ද, ජනතා මුදල්වලින් ලබා ගත් පාරිතෝෂික මිස අන් කිසිවක් නොවේ. මොවුන්ගේ ආරක්ෂාවට රියැදුරන් සහ ආරක්ෂකයන් ද සපයා දී තිබුණේ ජනතාවමයි. ඒ වහල්ලු, හාම්පුතුන්ගේ ආවතේව කළෝය. මන්ත්‍රීවරයාගේ ටෙලිෆෝනය රැගෙන යාම, ඔහුගේ වතුර බෝතලය උස්සාගෙන යාම වැනි තවත් රාජකාරි ඒ අතර වෙයි. වැදගතා එවැනි දේවල් තමන්ම කර ගැනීම තමාගේ තත්වයට තරම් නොවන දෙයක් සේ සලකයි.

ඇත්ත වශයෙන්ම, අද ප්‍රශ්නය තිබෙන්නේ ආණ්ඩුව සහ විපක්ෂය අතර නොව. ඒ දෙගොල්ලන්ම තම තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සිටින්නේ එකම කඳවුරක ය. මේ රටේ සැබෑ සටන ඇත්තේ ඊනියා ජනතා නියෝජිතයන් සහ ඔවුන්ට බලය පවරන ඡන්දදායකයන් අතර ය. අපේ යුගයේ මහා සදාචාර අරගලය ඇත්තේ එතැනයි.

අවුරුදු හැත්තෑවක් තිස්සේ අපේ ජනතාව මහා බලාපොරොත්තු පුරවාගෙන ඡන්ද පොළට ගියහ. එහෙත් මෙතෙක් බලයට පත් සෑම ආණ්ඩුවක්ම ඒ ජනතා බලාපොරොත්තු සාධනය කිරීමෙහි ලා එක්කෝ තත්පරව නැත. නැත්නම් අසමත්ව ඇත. එහි ප්‍රතිවිපාකය වී ඇත්තේ, රට දිනෙන් දින දිළිඳු භාවයට පත්වීමත්, ලෝකයට ණයගැති වීමත් ය.

මීට ප්‍රතිපක්ෂව, 1965 දී මැලේසියාවෙන් කැඩී ගිය සිංගප්පූරුව නැමැති පුංචි දිවයිනට තනියෙන් ගෙන යන අනාගතයක් ගැන සිතා ගැනීම පවා එදා ලේසි පහසු දෙයක් නොවීය. එරටේ ස්වභාවික සම්පත් තිබුණේ නැත. විරැකියාව තිබුණේ ඉතා ඉහළ මට්ටමක ය. මැලේසියාව නැමැති එතෙක් තිබූ මහා වෙළඳපොලත් ඊට අහිමි විය. එහෙත් අවුරුදු පහක් ඇතුළත් ඔවුහූ තමන්ගේ නිවැරදි ගමන් මග සොයා ගත්හ. අවසානයේ සාඩම්බරයෙන් යුතුව එම රට නැගී සිටියේ, ශ්‍රේෂ්ඨ නායකයන් එරටේ සිටි බැවිනි.

1950 දශකයේ මුල් කාලයේ දකුණු කොරියාව යුද්ධයෙන් විනාශ වී ගියේය. එහෙත් 1970 දශකය වන විට එරට ධනවත් රටක තත්වයට පත්වීමේ අඩිතාලම් දමා ගත්තේය. 1970 දශකයේ චීනය ඉතා දිළිඳු රටකි. එහෙත් දශක දෙකක කාලයක් තුළ එරට ලෝක ආර්ථිකයේ ප්‍රධාන බලවතෙකුගේ තත්වයට පැමිණියේය.

අප මුහුණදෙන සංකීර්ණ ප්‍රශ්න, හුදෙක් කාලෙන් කාලෙට අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමෙන් විසඳා ගත නොහැකි බව පැහැදිළි ය. හැම මැතිවරණයකින්ම පසුව, සුදු හැඳ ගත් රංචුවක් දිව්රුම් දෙති. ඔවුන්ගෙන් සෑහෙන පිරිසක්, හිටපු මැති ඇමතිවරුන්ගේ දූ පුතුන් ය. මේ කල්ලියේ සේවා කාලයෙන් පසුව, මොන තරම් කෑකෝ ගැසුවත්, කයිවාරු ගැසුවත්, රට තිබෙන්නේ පහළ ශ්‍රේණියේ රටක් වශයෙන්ම ය.

වැරදියට සිදුවිය හැකිව තිබූ සෑම දෙයක්ම වැරදියට සිදුව ඇති රටක් වන්නේ සිම්බාබ්වේ ය. රොබට් මුගාබේ 1980 සිට 1987 දක්වා එරටේ අගමැතිවරයා විය. (එකල ජනාධිපති ක්‍රමයක් නොතිබුණි). අනතුරුව 1987 සිට 2017 දක්වා එරටේ ජනාධිපතිවරයා විය. එනම්, පුරා අවුරුදු 37 ක් එක දිගට මේ තනි නායකයා බලයේ සිට ඇති බවයි. ඒ කාලය තුළ, එතෙක් සාමාන්‍ය සමෘද්ධියක් ලබා සිටි එම රට, විනාශයෙන් විනාශයට ගියේය. දළ දේශීය නිෂ්පාදිතය අඩකටත් වැඩි ප්‍රමාණයකින් මේ කාලය තුළ අඩු වුණේය. රටේ විරැකියාව ඉහළ ගියේය. අධි-උද්ධමනය හේතුවෙන්, රටේ මුදල බිංදුවටම බැස්සේය. එපමණක් නොව, මිනිසුන්ගේ ආයු කාලය පවා පහළ ගියේය. අවසානයේ බොහෝ සේවකයෝ රට අතහැර අසල්වැසි රටවලට ගියෝය. ඒ රටවල් ද දුප්පත් ය. එහෙත් අඩු වශයෙන් එම රටවල ජීවත් වීමට සරිලන වැටුපකටවත් හිමිකම් කිව හැකි විය.

අවසානයේ 2017 දී හමුදා කුමන්ත්‍රණයක් මගින් මේ උන්මත්තක පාලකයාව බලයෙන් පහ කෙරුණි. එහෙත් ඒ බල මාරුව පවා කර ගැනුණේ ‘සිම්බාබ්වේ ක්‍රමයට’ ය. එනම්, මුගාබේගේම ක්‍රමයට යැයි කිව හැකිය.

සාමකාමීව බලය අතහැර යාම සඳහා, මේ ජාතික කොල්ලකරුවා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට නඩු නොපවරන බවට පොරොන්දු වන්නට සිදු වූ බව කියැවේ. එසේම ඒ සඳහා වන ‘බෝනස්’ එකක් වශයෙන් ඩොලර් මිලියන 10 ක් ගෙවීමටත් සිදුවිය. ඒ සියල්ලට අමතරව, නිල නිවාස, නිල යානවාහන, කාර්යාල සහ ආරක්ෂක නිලධාරීන් ඇතුළු තවත් පහසුකම් රාශියක් සැපයූ බව කියැවේ. වර්තමාන පාලකයන්, කාලයාගේ ඇවෑමෙන් පරණ පාලකයන්ගේ තත්වයටම තමන්මත් පත්වීමට ඇති ඉඩකඩ සලකා බලා සමහර විට මේ ක්‍රමය අනුගමනය කළා විය හැකිය.

මේ සියලු සාපරාධී විකාර, ‘සිම්බාබ්වේ ක්‍රමයට’, ඔවුන්ගේ යථාර්ථයට සහ ඔවුන්ගේ සාරධර්මවලට සපුරා පෑහෙන බවක් පෙනේ. සිම්බාබ්වේ දේශපාලනය තුළ බලය පිළිබඳ කාරණය විසඳා ගැනෙන්නේ, බටහිර ක්‍රමයට කලිසම් කෝට් හැඳ ගත්, සමහර විට අතීතයේ දඩයක්කාර ගෝත්‍රික ප්‍රධානීන්ගෙන් පැවත එන කළු ජාතික නායකයන් අතලොස්සක් අතරේ කතිකා කරගන්නා ගනුදෙනුවක් වශයෙනි. ලෝකයේ දේවල් එකලාසයක් කර ගැනීමේ තවත් එක් මාර්ගයක් එය විය හැකිය.

සැප්තැම්බර් 5 වැනි දා කොළඹ විරෝධතාව සංවිධානය කළ පිරිසත් ලෝකය දෙස බලන වෙනම ක්‍රමයක් තිබේ. ජනතාව වන අප තුළ අද ඇති අසන්තෝෂය සහ අතෘප්තිය වසර හතරක්වත් නැති මේ ආණ්ඩුවේ වරදකැයි ඔවුහූ සිතති. එහෙත් එය වසර 70 ක උරුමයක් බව අපි දනිමු.

විරෝධය පෑමට, ප්‍රකෝප වීමට කාරණා ඇති බව ඇත්ත. එහෙත් ඒ අහවල් ආණ්ඩුව නිසා පමණක් නොවේ. සමස්ත ක්‍රමයටම එරෙහිව අප ප්‍රකෝප විය යුතුය. අපේ නායකත්වයේ අසම්මජාති අසාර්ථකත්වය, ඔවුන්ගේ මානසිකත්වය, සංස්කෘතිය, ආකල්ප සහ සාරධර්ම, ඒ සියල්ලටමත් වඩා අපේම නොහැකියාව ගැන අප ප්‍රකෝප විය යුතුව තිබේ. නිදහස ලබන විට අප සාර්ථක අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකිව සිටි ජාතියක් විය. ඒ බලාපොරොත්තුව දැන් කෙමෙන් වියැකී ගොස් තිබේ. තව කෙනෙකුට වරද පැටවීමෙන් සතුටු වීම ඉතා පහසු ය. අපේ නායකයන් අසමත් වී ඇති බව ඇත්ත. එහෙත් ඒ අසමත් භාවය ඔවුන්ගේ වරදක් පමණක් ද?

2018 සැප්තැම්බර් 27 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ Protest, Arab Spring & Zimbabwe නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top