Sri Lanka Brief
පුවත්විශ්ලේෂනරුපියලේ ඉරණම (2): ප්‍රශ්නයේ මූලයන්ට ආමන්ත්‍රණය කිරීමේ අවශ්‍යතාව – ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන

රුපියලේ ඉරණම (2): ප්‍රශ්නයේ මූලයන්ට ආමන්ත්‍රණය කිරීමේ අවශ්‍යතාව – ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන

by

‘යක්ෂයාගේ විකල්පයට’ අදාළ තේරීමක්.

අද ඊයේ පටන් නොව, 1948 දී බි්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ දා පටන්ම රුපියලේ අගය පල්ලම් බැසීමේ තනි දිසාවටම ගියේ කෙසේද යන්න ගිය සතියේ අපි සලකා බැලුවෙමු. ඒ අනුව, 1948 දී ඩොලරයට රුපියල් 4.76 වශයෙන් පැවති අපේ විනිමය අනුපාතිකය, 1977 දක්වා පවත්වාගෙන ගිය ඉතා තදබල ආනයන සීමාවන් සහ විනිමය සීමාවන් තිබියදී පවා, ඒ මට්ටමේ එක දිගට පවත්වා ගැනීමට නොහැකි විය. අනතුරුව, විනිමය අනුපාතිකය අර්ධ වශයෙන් නිදහස් කරන ලදි. එසේ තිබියදීත් රුපියලේ අගය පහළ ගියේය. 1977 ට කලින්, රුපියලේ අගය ආරක්ෂා කර ගැනීම සඳහා රජය විටින් විට (රුපියල බාල්දු කරමින්) මැදිහත් වීම් කළත්, එසේම අපේ විදේශ විනිමය පිටතට ගලා යාම වැලැක්වීම අරමුණු කරගෙන ආනයන සහ විනිමය සීමා කිරීම් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළත්, පැවති නිල විනිමය අනුපාතිකයට වඩා සියයට 65 කින් රුපියල බාල්දු කිරීමට පියවර ගත්තේය. එය ඇත්තෙන්ම අර්ධ බාල්දුවක් විය. මන්ද යත්, එම බාල්දුව ක්‍රියාත්මක කරනු ලැබුවේ, තෝරා ගත් විශේෂිත ගනුදෙනු වර්ගයක් සඳහා පමණක් වූ බැවිනි. (එනම්, අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා ය). එය හැඳින්වුණේ, ‘විදේශ විනිමය හිමිකම් සහතික පත් ක්‍රමය’ යනුවෙනි.

1976 වන විට, විනිමය අනුපාතිකය විටින් විට මෙසේ ඕනෑකමින් සකස් කිරීමේදී රුපියලේ වටිනාකම සියයට 86 කින් බාල්දු කොට තිබුණි. ඒ අනුව ඩොලරය රුපියල් 8.83 ක් විය. ඊළඟට, අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා පනවන ලද ‘විදේශ විනිමය හිමිකම් සහතික පත් ක්‍රමය’ යටතේ තවත් සියයට 65 ක් අය කළ විට, ඩොලරයේ වටිනාකම රුපියල් 14.57 ක් විය.

1977 දී මේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය අහෝසි කෙරුණි. ඒ වෙනුවට, වඩාත් නම්‍යශීලී නිදහස් විනිමය අනුපාතික ක්‍රමයකට මාරු වුණි. එවිට ඩොලරයේ අගය පිහිටියේ රුපියල් 15.56 ක් වශයෙනි. කලින් පැවති තත්වය සමග සසඳද්දී එය සියයට 7 කින් පමණ රුපියල අවප්‍රමාණ වීමකි. එදා පටන් හැම අවුරුද්දක් පාසාම රුපියලේ අගය විනිමය වෙළඳපොළ තුළ පහළ ගියේය. හේතුව, ශ්‍රී ලාංකීය පුරවැසියන් විසින් ද, ව්‍යාපාර විසින් සහ ආණ්ඩුව විසින් ද වසරකට ඉල්ලා සිටිනු ලබන විදේශ මුදල් ප්‍රමාණයට සරිලන විදේශ මුදල් ප්‍රමාණයක් විදේශයන්ගෙන් උපයා ගැනීමට අපට නොහැකි වීම නිසා ය. ඒ අනුව, විදේශ මුදල් සඳහා වන ඉල්ලුම සහ සැපයුම අතර පරතරයක් ඇති වුණි. ඒ පරතරය පියවා ගැනීම සඳහා විදේශයන්ගෙන් ණය ගැනීමට සිදු වුණි. එය අපේ ආර්ථිකයට තවත් බරක් විය. මන්ද යත්, ණය වාරික සහ ඒවායේ පොලී ගෙවීම සඳහා තව තවත් ණය ගැනීමට අපට සිදු වූ බැවිනි. ඒ අනුව, අද වන විට ලංකාව ඉතා අවදානම්කාරී අඩියකට වැටී තිබේ. එහිදී මොන ක්‍රියා මාර්ගය තෝරා ගත්තත්, එය ඉතා වියදම්කාරී එකක් වන්නේය. එය හැඳින්වෙන්නේ ‘යක්ෂයාගේ විකල්පය’ වශයෙනි.

අතීතයේ හටගත් විදේශ විනිමය අර්බුද

මෙවැනි අවදානම්කාරී විදේශ විනිමය අර්බුදයකට ලංකාව මුහුණදෙන ප්‍රථම අවස්ථාව මෙය නොවේ. නිදහසෙන් පසු එවැනි අවස්ථා ගණනාවකට අප මුහුණදී තිබේ. ඒ හැම අවස්ථාවකම ශ්‍රී ලංකාව එම අර්බුදයෙන් ගොඩ ආවේ තාවකාලිකව ය. ඒ, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ ආධාර හරහා ය.

හැම විදේශ විනිමය අර්බුදයකින්ම ලංකාව ගොඩ ආවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ පිහිටෙනි.

1984 දී ලංකාව සතුව තිබූ ඩොලර් මිලියන 522 ක විදේශ විනිමය සංචිතයක් තිබුණි. 1988-89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලෙන් පසු, 1989 වන විට, එය ඩොලර් මිලියන 291 දක්වා පහළ බැස්සේය. 1984 දී අප සතුව පැවති විදේශ විනිමය සංචිතයෙන් මාස තුනක අපේ ආනයනික අවශ්‍යතා පියවා ගැනීමට පුළුවන් කම තිබුණි. එහෙත් 1989 දී පැවති විදේශ විනිමය සංචිතය ප්‍රමාණවත් වුණේ, එක මාසයකට ටිකක් වැඩි ආනයනික අවශ්‍යතා ප්‍රමාණයක් පියවා ගැනීමට පමණි. මේ අවස්ථාවේ ලංකාව ගලවා ගත්තේ, 1991 මැයි මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත් මිලියන 336 ක ණයක් පාවිච්චියට ගැනීමෙනි. එහෙත් (එය රුපියලේ අගය බේරා ගැනීම සඳහා පාවිච්චියට නොගෙන) රුපියල අවප්‍රමාණ වීමට ආණ්ඩුව ඉඩ හැරියේය. ඒ අනුව, 1990 දී රුපියල් 40 ක් වූ ඩොලරය, 1992 වන විට රුපියල් 46 ක් විය. එනම්, සියයට 15 කින් පමණ රුපියල අවප්‍රමාණ වීමකි.

ඊළඟ විදේශ විනිමය අර්බුදය ආවේ 2000 දී ය. ඒ වන විට අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 1049 දක්වා පහළ බැස තිබුණි. එය ප්‍රමාණවත් වුණේ මාස 2 ක ආනයනික අවශ්‍යතා පියවා ගැනීමට පමණි. එනිසා නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මිලියන 200 ක් ලබා ගන්නා ලදි. එහිදීත්, රුපියලේ අගය දිගටම අවප්‍රමාණ වීමට ඉඩ හැරියේය. ඒ අනුව 2002 අවසානය වන විට ඩොලරයක් රුපියල් 96.73 ක් විය.

ඊළඟ විදේශ විනිමය අර්බුදය ආවේ, එල්.ටී.ටී.ඊ. යුද්ධයේ අවසාන භාගයේ 2008 දී ය. ඒ වන විට අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 2560 ක් දක්වා පහළ බැස තිබුණි. එය ප්‍රමාණවත් වුණේ, මාස දෙකක ආනයනික අවශ්‍යතා පියවා ගැනීමට පමණි. නැවතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ ගැලවීමට ආවේය. ඒ අනුව, 2009 ජුලි මාසයේදී මිලියන 1654 ක විශාල මුදලක් එම අරමුදලෙන් අපට ලබා දුන්නේය.

2015 දී නැවතත් ලංකාව විදේශ විනිමය අර්බුදයකට වැටුණි. එක පැත්තකින්, අපේ විදේශ විනිමය සංචිතය ඒ වන විට පහළ ගොස් තිබුණි. එනම්, ඩොලර් මිලියන 6019 ක් දක්වා පහළ වැටී තිබුණි. එය ප්‍රමාණවත් වුණේ, මාස තුනක රටේ ආනයනික අවශ්‍යතා පියවා ගැනීමට පමණි. තවත් පැත්තකින්, ඒ වන විට විදේශයන්ගෙන් ලබාගෙන තිබූ ණය ආපසු ගෙවා දැමීමේ බර වැඩි වී තිබුණි. කෙටිකාලීන ණය ආපසු ගෙවා දැමීම සඳහා අවශ්‍ය කරන මුදල ඩොලර් මිලියන 4300 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. එවිට, ඉහත කී ආනයනික අවශ්‍යතා පියවා ගැනීමේ මාස තුනේ කාලය, එක මාසයක කාලයක් දක්වා පහත වැටුණේය.

මේ අතර ආණ්ඩුව, සම්ප්‍රදායික නොවන විසඳුම් ගැන බලාගෙන සිටියේය. උදාහරණයක් වශයෙන්, නමක් නොදන්නා බෙල්ජියම් ජාතික පරිත්‍යාගශීලියෙකුගේ උදව් ලැබෙතැයි සිතා සිටියේය. එයින් සිදුවුණේ, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ ආධාර පැතීම පමා වීමයි. තත්වය තවත් භයානක වන විට සහ ක්‍රියාකාරී වැඩපිළිවෙලක් නැතිව තවදුරටත් ඉදිරියට යාමට නොහැකි තත්වයක් උදා වූ විට, 2016 ජුනි මාසයේදී ආණ්ඩුව ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්’ මිලියන 1070 ක් ලබා ගත්තේය. එහෙත් ඒ වන විට, 2014 අවසානයේ රුපියල් 131 ක් වූ ඩොලරය 2016 අවසන් වන විට රුපියල් 149.80 ක් වී තිබුණි. මේ අනුව, වර්තමාන අර්බුදය පවතින්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහනාධාරයක් ලබන අතරතුරේ ය.

ප්‍රතිසංස්කරණ සඳහා වර්තමාන ආණ්ඩුව දුන් ප්‍රතිඥා

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ ආධාර ඉල්ලා සිටීමේදී ලංකාව සිය අභිලාෂයන් ලිපියකින් දන්වා තිබේ. එම ලිපියට අත්සන් කොට තිබුණේ, එවක මුදල් ඇමති රවි කරුණානායකත්, එවක මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රනුත් ය. එම ලිපියේ දක්වා තිබුණු පරිදි, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ ආධාර හරහා ලංකාවේ මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ආර්ථික වර්ධනය ඇති කර ගනු වස්, ආර්ථික ප්‍රතිසංස්කරණ 6 වර්ගයක් ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වී තිබුණි.

අයවැය සහ එහි ආදායම් ප්‍රවර්ධනය කර ගැනීම, රජයේ මූල්‍ය කළමනාකරණය දියුණු කර ගැනීම, රාජ්‍ය ව්‍යවසාය අංශයේ ප්‍රතිසංස්කරණ ඇති කිරීම, වෙළඳ සහ ආයෝජන වැඩපිළිවෙලක් හඳුන්වා දීම සහ මුදල් සැපයුම පාලනය කිරීමෙන් වෙනස්ව, කෙලින්ම පූර්ව-සැලසුම්ගත උද්ධමන මට්ටමක් පවත්වා ගැනීම වෙත මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාකාරීත්වය වෙනස් කර ගැනීම ඒ අතර විය.

එහෙත් ආණ්ඩුව පොරොන්දු වූ වඩාත් වැදගත් ප්‍රතිසංස්කරණය වන්නේ වෙනත් එකකි. එය, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ වචනවලින්ම දක්වතොත් මෙසේ ය: “2020 වන විට, සමස්ත අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 3.5 දක්වා අඩු කිරීම ඉලක්ක කර ගත් අයවැය පාලනයකට ආපසු යාම, ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේ ප්‍රධාන කාරණය විය. ඒ සම්බන්ධයෙන් ගත් විට, බදු ප්‍රතිපත්තිය සහ පරිපාලනය යන අංශ දෙකම පුළුල් ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යාවශ්‍ය වෙයි. ඊට සමගාමීව, ආණ්ඩුවේ වියදම් වඩාත් විධිමත්ව පාලනය කෙරෙන පියවර ගැනීමත්, රාජ්‍ය ව්‍යවසායක ක්‍රියාකාරකම් වඩාත් වාණිජමය මට්ටමකින් පවත්වා ගැනීමත් අවශ්‍ය කෙරේ.”

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ ආධාර ලැබෙන්නේ තිරසාර වර්ධනයක් සඳහා පියවර ගැනීමට අත්වැලක් වශයෙනි.

එවැනි පරිත්‍යාගශීලී ආධාර ලැබෙද්දීත්, විදේශ විනිමය අර්බුදය නිත්‍ය වශයෙන් විසඳා ගැනීමට ශ්‍රී ලංකාව අසමත්ව ඇත්තේ මන්දැයි කෙනෙකුට සිතෙන්ට පුළුවන. හේතුව, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ ආධාර වනාහී, අපේ රටේ ගෙවුම් ශේෂයේ හිඟය තාවකාලිකව පියවා ගැනීම සඳහා පමණක් තිබෙන අත්වැලක් වන බැවිනි.

එවැනි ආධාර මගින් කෙරෙන්නේ, රටකට හුස්ම ගැනීමේ ඉඩක් සලසා දීමයි. ඒ අවකාශය තුළ එම රට සංවර්ධන හිතකාමී ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කර ගත යුත්තේය. දීර්ඝ කාලීන සංවර්ධන සැලැස්මක් තුළ රට ස්ථානගත කළ යුත්තේය. ඇත්ත වශයෙන්ම, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්’ ආධාර ඉල්ලා සිටින හැම අවස්ථාවකම මෙවැනි රටවල් තමන් එවැනි ප්‍රතිසංස්කරණ ඇති කරගන්නා බවට ප්‍රතිඥා දෙයි. එසේ වෙතත්, ඒවා ක්‍රියාත්මක කිරීමට යාමේදී මෙතෙක් බලයේ සිටි ආණ්ඩු කටයුතු කොට ඇත්තේ බාගෙට ය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙතෙක් අප ලබාගෙන ඇති එවැනි ආධාර හුදෙක් ණය බවට පත්වී ඇත්තේ, රටේ වර්ධන වේගයට සම්මාදම් නොවෙමිනි. එනිසා රටේ අසාර්ථකත්වයේ වරද ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ ආධාර මත පැටවීමේ තේරුමක් නැත. එම වරද භාරගත යුත්තේ, අවශ්‍ය ප්‍රතිසංස්කරණ මුළු හදින් ඇති කර ගැනීමට වගබලා නොගත් මෙතෙක් බලයේ සිටි පාලකයන් ය.

මුල් වරද ඇත්තේ, හිඟ අයවැය නිරර්ථක වීම තුළ ය.

2016 මැද භාගයේ මේ ආණ්ඩුව ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ ආධාර ඉල්ලා සිටි අවස්ථාවේ, වර්තමාන රුපියලේ අර්බුදයේ මූල හේතුවට ආමන්ත්‍රණය කිරීමට සැලසුම් කරගෙන සිටියේය. ඒ මූල හේතුව කුමක් ද? වග විභාගයක් නැති ආණ්ඩුවේ වියදම්කාරී වැඩ සටහන්, සමස්ත ආර්ථිකයේ වර්ධනය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය කෙරෙන නිෂ්පාදන ඵලදායීතාව වැඩි දියුණු කර ගැනීමට ලොකුවට දායක වී නොතිබීම ය. රුපියලේ අර්බුදයේ ප්‍රධාන වරද ඇත්තේ එතැන ය.

මෙය බැලූ බැල්මටත් දකින්නට ලැබෙන තත්වයකි. වසරක් පාසා හිඟ අයවැය ඉදිරිපත් කරමින් ආණ්ඩුව උපයාගෙන ඇති අලුත් ආදායම්, වසරක් පාසා ඉහළ යන ආනයනයන් සඳහා පිටරටට ඇදී ගොස් තිබේ. ඉතා කුඩා විවෘත ආර්ථිකයක් වශයෙන් පවතින රටකට, මෙය අතිශය අනර්ථකාරී ගමන් මගක් වන්නේය. මෙවැනි ප්‍රතිපත්තියක් ගෙන යාමේ භයානක කම, ලංකාවේ මහ බැංකුවේ නිර්මාතෘ ජෝන් එක්ස්ටර් එදා අපේ මහ බැංකුව ආරම්භ කිරීමේදීම ඉදිරිපත් කළ වාර්තාවකින් ආණ්ඩුවට පෙන්වා දී තිබුණි.

එහෙත් ඒ අවවාදය, නිදහසෙන් පසු මුදල් ඇමති කමට පත් සෑම බීරි අලියෙකුටම ගැයූ වීණා වාදනයක් බඳු විය. ඒ තත්වයෙන් අත්මිදුණේ 1954-56 දක්වා මුදල් ඇමති පදවිය දැරූ එම්. ඩී. එච්. ජයවර්ධන පමණි. නිදහස් ලංකාවේ ඉතිහාසය තුළ අතිරික්ත අයවැයක් අපට දකින්ට ලැබෙන්නේ ඒ වසර දෙකේදී පමණි. අනිත් සෑම වසරකම, අපේ අයවැයවල විශේෂ ලක්ෂණය වුණේ, අත දිග හැර වියදම් කිරීමේ වැඩ සටහන් ය. මේ අමතර වියදම් පියවා ගැනුණේ, එක පැත්තකින් ණය ගැනීමෙනි. අනිත් පැත්තෙන්, මුදල් අච්චු ගැසීමෙනි. අරපරෙස්සමක් නැති වියදම් පියවා ගැනීම සඳහා එසේ ගත් ණය, එන්න එන්නම ගොඩ ගැසුණි. අනිත් පැත්තෙන්, මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය (අධික මිල ඉහළ යාම) ඇති කෙරුණි. අවසාන ප්‍රතිවිපාකය වුණේ, නිතිපතා ඇති වන ගෙවුම් ශේෂ අර්බුදයකට (පිටරටට යන මුදල් සහ පිටරටින් එන මුදල් අතර හිඟයකට) රට මුහුණදීමත්, ඒ හේතුවෙන්ම, අපේ විනිමය අනුපාතිකය අවප්‍රමාණ වීමත් ය.

ආනයන පාලනය සඳහා ඉඩක් නැත.

දැන් රුපියලේ අර්බුදය ඉහවහ ගොස්, ඉහත කී ‘යක්ෂයාගේ විකල්පයට’ ගොදුරුව ඇති තත්වයක් තුළ, වර්තමාන දේශපාලනික නායකත්වය ආනයනයන් අඩු කිරීම කෙරෙහි වැඩි ප්‍රමුඛත්වයක් දෙමින් සිටී. එසේ වෙතත්, ලංකාවේ ආනයනික ව්‍යුහය සකස් වී ඇත්තේ, පරිභෝජන භාණ්ඩවලට වඩා අතරමැද භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයන්ගෙන් බව මෙහිදී සිහිපත් කර ගත යුතුය.

අපේ මුළු ආනයනයන්ගෙන් සියයට 55 ක් සමන්විත වන්නේ අතරමැද භාණ්ඩවලිනි. අතරමැද භාණ්ඩ යනු, මෙරටේ කෙරෙන නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අත්‍යාවශ්‍ය වන ආනයනයන් ය. එසේම අපේ මුළු ආනයනයන්ගෙන් සියයට 23 ක් සමන්විත වන්නේ, ආයෝජන භාණ්ඩවලිනි. ආයෝජන භාණ්ඩ යනු, රටේ නිෂ්පාදන සීමාව පුළුල් කෙරෙන ප්‍රාග්ධන භාණ්ඩ ය. ඒවා බරපතල ලෙස කපා හැරීම, අපේ ආර්ථික වර්ධනයට මරු පහරක් විය හැකිය.

එවැනි තත්වයක් තුළ ආනයන සීමා කිරීම සඳහා ඉලක්ක කර ගැනීමට යන්නේ, පරිභෝජන භාණ්ඩ ය. එහි වටිනාකම ඩොලර් බිලියන 4.5 කි. එය, අපේ මුළු ආනයනයන්ගෙන් සියයට 22 කි. මෙහිදී පවා, රටට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත්හේත් වැනි දෑ ඉවත් කළ විට, (ඒවා සීමා කිරීමට පුළුවන් කමක් නැත), ආනයනය කෙරෙන පරිභෝජන භාණ්ඩවල වටිනාකම ඩොලර් බිලියන 1.5 ක් පමණ වන්නේය. ඒ භාණ්ඩත් එක වර කපා හැරිය නොහැක. එසේ කිරීම යෝග්‍ය වන්නේ ද නැත. එබැවින් ආණ්ඩුවට සිදුවන්නේ, හුදෙක් සුඛෝපභෝගී භාණ්ඩ වශයෙන් ගැනෙන භාණ්ඩ ප්‍රමාණයක් පමණක් තෝරාගෙන ඒවා ගෙන්වීම අඩු කිරීමයි. එයින් ඉතිරි කර ගත හැකි විදේශ විනිමය ප්‍රමාණය වන්නේ ඩොලර් බිලියන 1 ක පමණ මුදලකි. එහෙත් රට අද මුහුණදී සිටින ප්‍රශ්නයේ තරම ගැන බලන විට එය ඉතා නොවැදගත් ප්‍රමාණයකි.

අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම හෙවත් වාහන ආනයනයට වැට බැඳීම.

රටට ගෙන්වන වාහන ප්‍රමාණය අඩු කිරීම සඳහා මහ බැංකුව, වාණිජ අවශ්‍යතා සඳහා වන වාහන හැරුණු කොට අනිත් සෑම වාහන ආනයනයක් සඳහාම සියයට 100 ලංසුවක් පැනවීය. එසේ වෙතත්, ලංකාවට එන පෞද්ගලික වාහනවලින් වැඩි ප්‍රමාණයක් ගෙන්වන්නේ තීරුබදු රහිත බලපත්‍ර පාවිච්චියට ගනිමිනි. මේ බලපත්‍ර නිකුත් කරන්නේ මුදල් අමාත්‍යාංශයෙනි. ඒවායේ හිමිකරුවන් වන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ය. මේ දෙපාර්ශ්වයම ඒ බලපත්‍ර කළුකඩයේ විකුණති. එවැනි රාජ්‍ය නිලධාරියෙකුගේ බලපත්‍රයක වටිනාකම රුපියල් මිලියන 2 ක් පමණ වන අතර මන්ත්‍රීවරයෙකුගේ බලපත්‍රයක වටිනාකම රුපියල් මිලියන 3 ක් පමණ වන්නේය. ඉස්සර මේ බලපත්‍ර නිකුත් කෙරුණේ අවුරුදු 10 කට එක් වරකි. දැන් එය, මේ වසරේ ජුනි මාසයේ සිට, අවුරුදු 5 කට වරක් වශයෙන් තවත් පහසු කොට තිබේ. මේ ක්‍රමය නිසා, එක පැත්තකින් ආණ්ඩුවට එන ආදායමක් නැතිව ගියේය. අනිත් පැත්තෙන්, සැබෑ රාජ්‍ය නිලධාරියා සඳහා අරමුණු කළ සහනයක්, වෙනත් පිරිසක් අතට ගියේය. දැන්, පෞද්ගලික වාහන ආනයනය සීමා කිරීමට මහ බැංකුව තීරණය කොට ඇති තත්වය තුළ, මුදල් අමාත්‍යාංශය මේ තීරුබදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය අත්හිටුවා තිබේ. ඒ, රාජ්‍ය සේවකයන්ට මාස 6 කටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවුරුද්දකටත් වශයෙනි.

එහෙත් සෑම මන්ත්‍රීවරයෙකුම පාහේ මේ වන විට තමන්ගේ බලපත්‍රය පාවිච්චි කොට ඇති තත්වයක් තුළ මුදල් අමාත්‍යාංශයේ අත්හිටුවිල්ල ඔවුන්ට බලපාන බවක් පෙනෙන්ට නැත. රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් ගත්තත්, ඔවුන්ගෙන් බොහොමයක් දෙනා දැනටමත් එය පාවිච්චි කොට ඇත. මේ වනාහී, අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීමකි.

ප්‍රශ්නයේ වලිගයට නොව, මූලයට අමතන්න.

මෙවැනි පියවරවලින් කෙරෙන්නේ වෙළඳපොළට යම් සංඥා නිකුත් කිරීම පමණි. එය, ප්‍රශ්නයේ මුලට නොගොස් අගකින් අල්ලා ගැනීමකි. ආණ්ඩුව ගත යුතුව ඇති වඩාත් යෝග්‍යතම පියවර වන්නේ, අයවැය තුළ සකසුරුවම ඇති කර ගැනීමයි. එනම්, එක පැත්තකින් නිරර්ථක සහ සෝබන වියදම් කපා හැරීම සහ අනිත් පැත්තෙන් ආදායම් මාර්ග වැඩි කර ගැනීමයි. මීට අදාළව කලින් මා ලියු ලිපි පෙලකදී, 2016 සිටි මුදල් අමාත්‍යවරයාගේ අවධානය එක කාරණයකට යොමු කරවා තිබේ. ආණ්ඩුවේ අයවැය තුළ පවතින කාන්දුව වලක්වා ගැනීම, ‘අයවැය මුට්ටියේ සකසුරුවමක’ සංකේතයකින් එහිදී මම දැක්වූයෙමි. වර්තමාන මුදල් ඇමතිවරයාටත් ඒ දෙයම කිව යුතුව තිබේ.

මහ බැංකුව ගන්නා පියවර ආණ්ඩුව මගින් සවිබල ගැන්විය යුතුය.

රුපියලේ අගය ස්ථාවර කර ගැනීම මහ බැංකුවට පමණක් තනියෙන් කළ හැකි දෙයක් නොවේ. මහ බැංකුවේ එම උත්සාහයට ආණ්ඩුව උපකාරී විය යුතුව තිබේ. එය කළ හැක්කේ, ආණ්ඩුවේ හැම අංශයකින්ම අරපරෙස්සම ප්‍රගුණ කිරීමෙනි. එසේ කිරීමට තවමත් ප්‍රමාද නැත.
(මේ ලිපියේ සඳහන් වන, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්’ ලබාගෙන ඇති ආධාර අපට ලැබී ඇත්තේ එස්.ඩී.ආර්. වශයෙන් හැඳින්වෙන මුදල් අනුපාතිකයට අනුගතවයි. එහි විනිමය අගය ගණනය කෙරෙන්නේ, ප්‍රධාන මුදල් වර්ග 5 ක් එකට ගෙන, අගය කිරීමෙනි. ඒවා නම්, ඇමරිකානු ඩොලරය, යුරෝව, බි්‍රතාන්‍ය පවුම, ජපාන යෙන් සහ චීන රෙන්මින්බි ය.)

2018 සැප්තැම්බර් 25 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ The Fate of the Rupee: Need for Addressing Issues at Root නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top