Sri Lanka Brief
පුවත්විවරණනව අගමැතිවරයාගේ පත්කිරීම සහ පෙර අගමැති ඉවත්කිරීම පිළිබඳ සරල ව්‍යවස්ථානුකූල විමර්ශණයක්

නව අගමැතිවරයාගේ පත්කිරීම සහ පෙර අගමැති ඉවත්කිරීම පිළිබඳ සරල ව්‍යවස්ථානුකූල විමර්ශණයක්

by

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ක්‍රමය තුළ විධායකය හා අගමැතිවරයා අතර සම්බන්ධය සහ ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව පෙන්වන සම්බන්ධකම් අඩු වැඩි වශයෙන් ප්‍රංශයේ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රමයට සමානකම් දක්වයි. මෙහිදී ජනාධිපතිවරයාට අගමැතිවරයා පත්කිරීමට ව්‍යවස්ථානුකුල ඉඩකඩක් ලැබේ. 78 ව්‍යවස්ථාවේ 42 (අ) වගන්තියට අනුව අගමැතිවරයා පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා ය.

පසුගිය ඔක්තෝම්බර් 26 මෛත්‍රිපාල ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා ලෙස පත්කරන්නේ ඒ අනුවය. ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා පත් කිරීමේ දී සළකා බලන එකම පරාමිතිය අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දිනාගැනීමට හැකිද? යන්නයි. මෙහි “විශ්වාසය” යනු පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීන් පිරිස හෝ බහුතරය හිමි පක්‍ෂයේ විශ්වාසය නොවේ. එනම් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ සු`ඵතර ආසන සංඛ්‍යාවක් හිමි පක්‍ෂයක නායකයෙකු වුව ද (නායකයෙකු විය යුතුය යන්න ද නිශ්චිත නැත.) අගමැතිවරයා ලෙස පත්කිරීමට හැකිය.
2015 ජනවාරියේ ජනාධිපතිවරයා පත් කළ අගමැති රනිල් වික්‍රමසිංහ මේ ආකාරයට පත් වු අගමැතිවරයෙකි. ඒ වන විට පාර්ලිමේන්තුවේ බහුතරය හිමි එක්සත් ජනතා නිදහස් සංධානයට වුවත් දින 100 අන්තර්කාලීන ආණ්ඩුවේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා උපරිම විශ්වාසය තැබුවේ (පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය) අගමැති රනිල් වික්‍රමසිංහ කෙරෙහිය.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දිනාගතහැකි තැනැත්තා ජනාධිපතිවරයාගේම පක්‍ෂයෙන් පත්වුවහොත් (ජනාධිපතිවරයා පක්‍ෂයේ නායකයා ද වේ.) පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළට අගමැතිවරයා පත් කෙරේ. සාමානයෙන් පාර්ලිමේන්තුවේ අවම බහුතරය හිමි පක්‍ෂයක මන්ත්‍රීවරයෙකු (නායකයා) අගමැතිවරයා ලෙස පත් නොකරන්නේ, එවැනි අගමැතිවරයෙකු ට පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමි පක්‍ෂයේ හැලහැප්පීම් මැද ගමන් කිරීමට නොහැකිවන නිසාය. එම නිසා සාමාන්‍යය පාර්ලිමේන්තු සම්ප්‍රදාය වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගන්නා පක්‍ෂයේ නායකයා, ඔහු ජනාධිපතිවරයාගේ පක්‍ෂයට අයත් නොවුවත් අගමැතිවරයා ලෙස පත්වීමයි. 2001 වසරේ මෙවැනි සිදුවීමක් සිදු විය. එහිදී ජනාධිපතිනිය එක්සත් ජනතා නිදහස් පක්‍ෂයෙන් පත්වන විට අගමැතිවරයා වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගන්නා රනිල් වික්‍රමසිංහ මහතාය.

පසුගිය 26 වැනි දින අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් මුලික නීති ප්‍රශ්න ගණනාවක් ගොඩනැගී තිබෙන්නේ ජනාධිපතිවරයාට අගමැතිවරයා පත්කිරීමට ඇති බලය සම්බන්ධයෙන් නොව එක් අගමැතිවරයෙකු ධුරයේ සිටයදී, තවත් අගමැතිවරයෙකු පත්කිරීම ව්‍යවස්ථානුකුල ද යන්නයි. එහෙත් මෙවැනි පත්කිරීමක් 2015 වසරේ ද සිදු වු බව මතක් කළ යුතුය. අගමැතිවරයා ලෙස දී.මු. ජයරත්න මහතා ධුරය දරමින් සිටිය දී අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ පත්කළේ එතෙක් සිටි අගමැතිවරයා ඉවත් කිරීමකින් තොරව ය.

මෙහි දී යොදාගත්තේ “නව පත්කිරීම මගින් පෙර පත්කිරීම අවලංගුවේ ය” යන න්‍යාය යි. එහෙත් මෙම න්‍යාය මහින්ද රාජපක්‍ෂ මහතාගේ පත්කිරීම ට අදාළදැයි සැකසහිත වන්නේ 19 වැනි සංශෝධනයෙන් අගමැතිවරයෙකුගේ ධුරය අවලංගු වන අවස්ථා 46 (2) – (48) වගන්ති වලින් සඳහන් කරන නිසාය. එම වගන්ති වලට අනුව අගමැතිවරයා ට පෞද්ගලිකවත්, පාර්ලිමේන්තුවේ තුලිතාවය බිඳවැටීම නිසාත් ඔහුගේ ධුරය අහිමිවන බව සඳහන් වේ.

අගමැතිවරයාගේ මියයෑම, ඉල්ලා අස්වීම (සිය කැමැත්තෙන්), පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට නොහැකිවීම යන හේතු තුන නිසා අගමැතිධුරය අහිමිවන බව සඳහන් ය. ඊට අමතරව පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය කඩවීම හේතුවෙන් විශ්වාසභංග යෝජනා සම්මතයකින්, පාර්ලිමේන්තු රාජසන කථාව පරාදවීම හා අයවැය යෝජනා පරාජය වීම වැනි පාර්ලිමේන්තු පැවැත්ම බිඳවැටෙන අවස්ථාවල ද අගමැතිවරයාට සිය ධුරය අහිමිවන බව සඳහන් වේ.
කොතරම් හොද නීතියක වුව ද අඩුලුහුඩුතා දේශපාලන විපර්යාසයක් සිදුවන මොහොත දක්වා හොදින් දැකගැනීමට අපහසුය. දේශපාලන ක්‍රමයේ විපර්යාසයන් විසින් නීතියේ අඩුලුහුඩුතා හොදින් ප්‍රකාශමාන කරනු ඇත.

19 වන සංශෝධනය විසින් හඳුන්වා දුන් 42 (4) වගන්තිය ජනාධිපතිවරයෙකුට අගමැතිවරයෙකු පත්කිරීමට ඇති හැකියාව සඳහන් කළ ද අගමැතිවරයෙකු ඉවත් කිරීම ගැන කිසිවක් සඳහන් නොකරයි.

මෙහි දී ගරු අධිකරණයට තම නිර්වචන මගින් අර්ථ නිරූපණය කළ යුතු ගැටලු කිහිපයක් ඉතුරු වේ.
1. ජනාධිපතිවරයාගේ පත්කිරීමේ බලය හා අගමැතිවරයා ඉවත්කිරීමේ බලය අතරින් මෙම සුවිශේෂී මොහොතේදී වඩාත් බලගතු වන්නේ කුමක් ද?
2. නව පත්කිරීම විසින්ම ඊට පෙර පත්කිරීම බහිෂ්කරණය වේද?
3. එසේ නොවේ නම් 46 (2) වගන්තිය කෙසේ නිර්වචනය කළ යුතු ද?

ලේඛකයන් ලෙස අපට අපගේ පෞද්ගලික දේශපාලන දෘෂ්ඨිවාද, ඉගෙනගත් දේශපාලන මතවාද හා සාපේක්‍ෂ – තුලනාත්මක දේශපාලන ක්‍රියාකාරීත්වය ගැන විමර්ශණශිලී වෙමින් යම් යම් අනුමාන කළ හැකි වුව ද අවසානයේ අප ලියන සියල්ලේ නීත්‍යානුකූලභාවය ගරු අධිකරණයේ විනිසුරුවන්ගේ නීති දැක්මට යටත්වන බව පිළිගත යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පුරවැසියන් ලෙස ඊට හිසනැමීමට තරම් අප නිරහංකාර විය යුතුය. එය මෙම රචනයටත් පොදු අතර ලේඛකයා ද ඊට හිසනමන බව සඳහන් කළ යුතුය.

සටහන : ධනුෂ්ක සිල්වා

Back to Top