Sri Lanka Brief
පුවත්විවරණදුමින්ද සිල්වාගේ ඉරණම, දේශපාලනය හා මාධ්‍ය ප්‍රචණ්ඩත්වය – මහින්ද රූබසිංහ

දුමින්ද සිල්වාගේ ඉරණම, දේශපාලනය හා මාධ්‍ය ප්‍රචණ්ඩත්වය – මහින්ද රූබසිංහ

by

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මහාධිකරණය ලබාදී තිබූ මරණ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරුවන් ඒකමතිකව ස්ථිර කිරීම හුදු ප්‍රවෘත්තියක් පමණක් නොවේ. දුමින්දගේ දඩුවම යළි තහවුරු කිරීම දැකිය යුත්තේ ශ්‍රී ලංකා දේශපාලනයේ සහ මාධ්‍යයේද ඛේදවාචකයක් ලෙසය. නොඑසේ නම් එය මෙරට දේශපාලන ත්‍රස්තවාදයේත් මාධ්‍ය ත්‍රස්තවාදයේත් පිළිබිඹුවක් ලෙසය. එහෙත් දුමින්දගේ ඉරණම එකී ක්ෂේත්‍රයන්හි ප්‍රගමනය උදෙසා හැරවුම් ලක්ෂයක් කර ගැනීමේ හැකියාවද නැත්තේ නොවේ.

දුමින්ද සිල්වාට හෝ වෙනත් ඕනෑම අයෙකුට සිරදඩුවම් හෝ පෝරකය හිමිවීම ගැන අමුතු සතුටක් නැත. එමෙන්ම ඔහුගේ සමීපතයන් කෙතරම් සංවේගයකට පත්වනවා ඇත්දැයි යන්න ගැන සංවේදනයක්ද තිබේ. එහෙත් මේ ප්‍රතිඵලයේ සහ විදවීමේ හිමිකරුවෝද ඔවුන්මය.

ධනය සහ බලය විසින් හිස උදුම්මා ගැනීම

ඇතැම් දේශපාලකයන්ට සහ බලවතුන්ට ධනය සහ බලය ඇති විට එසේ නැති කෙනා පිළිබද සංවේදිතාවක් තිබෙන්නේද? එකී බලය දරණ අවස්ථාවේ තමන්ගේ ජීවිතයට ඇති ආදරය හෝ ලාලසාව අනෙකාගේ ජීවිතය කෙරෙහිද පවතින්නේද? කෙටියෙන්ම කියතොත් අවි අත දරා තම ජීවිතය සුරක්ෂිත කරගන්නා විට අනෙකාට ඇති මරණ බිය පිළිබද අංශු මාත්‍රයක හෝ හැගීමක් මදාවිකාර දේශපාලකයන්ට හෝ බලවතුන්ට තිබේද? තමන්ගේ අසීමාන්තික බලය බුක්ති විදින විට අනෙකාගේ ජීවත්වීමට ඇති අයිතිය ඇතුළු සියලු අයිතිවාසිකම් අහිමි වන බව ඔවුන්ට දැනෙන්නේද? හැගෙන්නේද? ධනය සහ බලය ඇති කළ ඇතැම් අවස්ථාවන්හි බාලවයස්කාර දැරියන් දූෂණයට ලක්වූයේ සෙල්ලම් බඩු ලෙසය. ඔවුන් මේ රටේ අසරණ, අහිංසක දෙමාපියන්ගේ කදුළු දුටුවේද?

මේ ආකාරයේ අත්තනෝමතිකභාවයන් මෙන්ම මාධ්‍ය අවභාවිතයන් නිසාද මරණ දඩුවම යළිත් ස්ථිරව අසරණභාවයක් ප්‍රකට කළ දුමින්ද සිල්වා කෙරෙහි සමාජයේ සානුකම්පාවක් පළවන සෙයක් දකනට නැත. තම සහෝදරයාට අයත් ABC(හිරු ඇතුළු නාලිකා) මාධ්‍ය ජාලයට අයත් නාලිකා අදාළ ඝාතන සිදුවීම වාර්තා වූ 2011 ඔක්තෝබර් මස 08 වනදා සිට දුමින්ද සිල්වා වෙනුවෙන් ඒකපාර්ශ්වික මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණ. “මව්බිම” ඇතුළු පුවත්පත්ද පසුව ඊට එක්විය.

ලොව කවර මාධ්‍ය ආයතනයක් වුව හිමිකරුවාට හෙවත් ස්වාමියාට පක්ෂපාතීත්වයකින් ක්‍රියාත්මක වීම සාමාන්‍යයකි. එහෙත් එය සීමාවක් ඇතිවය. කළු කපුටා සුදු යැයි කියන තරමින් නොවේ. ජගුබ්සාජනකද නොවේ. එහෙත් දුමින්ද සිල්වා සුදෙනෙකු කිරීමටත් ඔහු කෙරෙහි අනුකම්පාවක්, සංවේගයක් ඇතිකිරීමටත් පැමිණිලි පාර්ශවය විත්තිකරුවන් බවට පත්කරන තරමටත් හිරු මාධ්‍ය මෙම සිදුවීම අඛණඩව වාර්තා කළේය. “පැත්ත ගියත් ඇත්ත කියනවා” යැයි කියූවද අවාසිසහගත අවස්ථා වාර්තා නොකර සිටියේය. ප්‍රේක්ෂකයන් හා ශ්‍රාවකයන්ගේ පැත්තෙන් බැලූ කල එය ගහ දන්නා මිනිහාට කොල කඩාපෑමක් පමණි.

මාධ්‍ය අවභාවිතය

මහජන දේපළක් වන සංඛ්‍යාත තම පුද්ගලික පටු අභිමාර්ථයක් වෙනුවෙන් යොදාගනිමින් මහජනතාව මත බලහත්කාරයෙන් වැරදි මතයක් ගොඩනැංවීමට එම නාලිකා සෑම විටම ප්‍රයත්න දැරීය. වෙනත් පාර්ශවයන්හි වැරදි අඩුපාඩුකම් නිර්මාණශීව උළුප්පා දක්වමින් ප්‍රවෘත්ති සම්පාදනය කරන අතරතුරම අදාළ ඝාතන සිදුවීමත් නඩුවිභාගයත් අසමානාත්මක ලෙස නමුත් නිර්මාණාත්මකව ඉදිරිපත් කරන අයුරු ද දක්නට ලැබිණ. දුමින්ද සිල්වාගේ පෙර කළ භාවිතයන් මෙන්ම ඔහු වෙනුවෙන් දියත් කෙරුණු අසාධාරණ මාධ්‍ය ක්‍රියාත්විතයත් මේ රටේ මිනිස්සු පිළිගත්තේ නැත.

පළමුවර මරණ දඩුවම නියමවූ අවස්ථාවේ සිට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දක්වා අදාළ මාධ්‍ය ක්‍රියාදාමය ඉදිරියට ඇදුනේ ඇගේ හයියෙන්, මාධ්‍යයේ හයියෙන් එකී තීන්දුව වෙනස් කර ගැනීමට තමනට හැකියාවක් ඇති බව ජනතාවට හැගවෙන පරිදිය. නඩු විභාගයේදී තම පාර්ශවයේ නීතිවේදීන් ඉදිරිපත් කළ කරුණු ඇතැම් අවස්ථාවල අවසන් නිගමන ලෙස හැගෙන පරිදි විකාශය කෙරිණ. “තහවුරු කළේය”, “සනාථ කළේය.”, “ඔප්පු කළේය” යනුවෙන් අසන්නට ලැබුණේ මේ නිසාය. මෙහිදී කිසිදු මාධ්‍ය සදාචාරයක්, අචාරධාර්මික වාර්තාකරණයක් දක්නට ලැබුණේ නැත. ජනතාවට තමන් මත බලයෙන් පටවන මහා විගඩමක් දෙස බලාසිටීමට සිදුවිය. එනිසාම මේ මොහොතේ ද “දුමින්දට අනේ පව්” හෝ “අනේ අපොයි” කියන පිරිස ඉතා විරලය. මිනිසුන්ගේ සංවේදී නහර කපා දැමුවේද එකී මාධ්‍ය නාලිකාවන්මය.

2011 වසරේ අදාළ ගැටුම සිදුවී දින කිහිපයකට පසුව දුමින්ද සිල්වාගේ හිටපු පෙම්වතියක වූ ජනප්‍රිය නිළි අනර්කලී ආකර්ෂා ස්වර්ණවාහිනී නාලිකාවේ සජීවී වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටියාය. එම අවස්ථාවේ සජීවීව දුරකථනයෙන් එක්වූ මොරටුව ප්‍රදේශයේ කාන්තාවක් සිනාමුසුව අනර්කලීගෙන් නොසිතූ විලසින් විමසුවේ “දුමින්ද සිල්වාට නියම වැඩේ නේද වුණේ?” යනුවෙනි. අබ වපුරන කෙනෙකුට අබ වෙනුවට තල ලැබෙන්නේ නැතිවාක් සේම යම් පුද්ගලයෙකුට බොහෝ දුරට හිමිවන්නේ තමන් කරන කියන දෙයහි ප්‍රතිඵලයමය.

මෙම සිදුවීමේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු හතර දෙනෙකුට ජීවිත අහිමිවීමත් දුමින්ද සිල්වා ඇතුළු තිදෙනෙකුට මරණ දඩුවම හිමිවීමත් ඛේදයක් වුව ද මෙහි පාඩම් කිහිපයක්ම ඇත. දේශපාලන ප්‍රචණඩත්වයේ ආදීනව එළිපිටම ලැබී තිබේ. මෙම සිදුවීමේ අනෙක් පස සිදුව තිබුණේ නම් සමහර විට දුමින්ද සිල්වාගේ අද ඉරණම අත්විදින්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර විය හැකිය. “අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.” යන්න ව්‍යාජයක්ම නොවේ. රත්නපුරයේ ප්‍රේමලාල් ජයසේකරද (චොකා මල්ලි) දිගු කලක් රක්ෂිත බන්ධනාගාරගතව සිට මේවන විට නඩු විභාගයකට මුහුණ දෙමින් සිටින්නේද මෙවැනි දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියාවක් හේතුවෙනි.

මනාප සෙල්ලමේ විපාක

ඡන්ද ක්‍රමයේ ගැටළුවත් දේශපාලනයට එක්ව සිටින අයගේ ගැටළුවත් මෙහිදී තේරුම් ගත හැක්කකි. දුමින්ද සිල්වා ජයග්‍රාහී මැතිවරණ අපේක්ෂකයෙකු වන්නේම ධනය හා මාධ්‍ය බලයත් ඡන්ද ක්‍රමය අනුව එක්තරා සමාජ තලයක වැඩි සහයෝගයත් ලබා ගැනීමත් හේතුවෙනි. එනිසාම මෙම නඩු තීන්දුව මැතිවරණ ක්‍රමය පිළිබද ප්‍රතිසංස්කරණයකදී සිහිකරගත යුත්තකි.

දේශපාලන බලය සමග මාධ්‍ය බලයත් එක්වීමේ අනිටු ඵලද මෙහි තවත් පාඩමකි. සැබෑ ජනමතය පරයා මාධ්‍යයේ මෙහෙයුම්වලින්ද යම් පමණකට කෙනෙකුට ජයග්‍රාහකයෙක් විය හැකිය. හිමිකාරීත්වයේ බලයෙන් දුමින්ද සිල්වා වෙනුවෙන් ක්‍රියාත්මක වන මාධ්‍ය මෙහෙයුම් ද විවිධ අරමුණු කරා යොමුවන්නේද යථාර්ථවාදීව නොවන බව ඉතා පැහැදිලිය. “අපට සැලකුව හොත් අපි සලකන්නම්” යන අසම්මත රීතියකින් අයුක්තිසහගතව වර්තමානයේ මාධ්‍ය හැසිරෙන්නේ හිමිකාරීත්වයේ න්‍යාය පත්‍රය මතය.

ඒ අනුව දේශපාලන ප්‍රචණ්ඩත්වයත් මාධ්‍ය ප්‍රචණ්ඩත්වයත් එක්වූ විට අහිමි වන්නේ, මිනිසුන්ගේ නිදහසේ තීරණ ගැනීමේ අයිතියයි. එහෙත් ධනය, බලය මත පදනම්ව කෙතරම් මාධ්‍ය මෙහෙයුම් කළද නීතිය අභිබවා යා නොහැකි බව මෙම නඩු තීන්දුවෙන් පෙන්වා තිබේ. කෙසේ වෙතත් ලංකාවේ දේශපාලනයත් මාධ්‍ය භාවිතයත් වෙනස් විය යුතු බව මින් කියාදෙන ගැඹුරුම පාඩමයි.

( මහින්ද රූබසිංහ මුහුණූ පොතෙනි)

Back to Top