Sri Lanka Brief
පුවත්විවරණගෝටා ආගමනය: වීරයෙකු අවශ්‍ය කරන දේශය අවාසනාවන්ත ය – සරත් ද අල්විස්

ගෝටා ආගමනය: වීරයෙකු අවශ්‍ය කරන දේශය අවාසනාවන්ත ය – සරත් ද අල්විස්

by

මහා තාරකා විද්‍යාඥයෙකු සහ දාර්ශ‌ෙගොනිකයෙකු වූ ගැලීලියෝ සූර්යයා වටා පෘථුවිය කැරකෙන බව කීවේය. එය එතෙක් පැවති, පෘථුවිය වටා සුර්යයා කැරකෙන බව කී පල්ලියේ අධිපති මතවාදයට එරෙහි වූ බැවින් ආගමික දණ්ඩාධිකරණය ඉදිරියේ ඔහුව වැරදිකරුවකු කරනු ලැබුණි. ඉන් පසු පල්ලියේ අණසක භාර ගත් ගැලීලියෝ තමන්ගේ විද්‍යාත්මක මතය ඉල්ලා අස්කර ගත්තේය. එයින් කිපුණු ඔහුගේ ශිෂ්‍යයෙකු වූ ඇන්ඩි්‍රියා, “වීරයෙකු නැති දේශය අවාසනාවන්ත රටක්” යැයි කීය. හදවත බර වී සිටි ගැලීලියෝ ඊට පිළිතුරු දුන්නේ, “වීරයෙකු අවශ්‍ය කරන දේශය අවාසනාවන්ත රටක්” බව ගෝලයාට පෙන්වා දෙමිනි.

වෙයිමර් ජනරජයේ ප්‍රජාතන්ත්‍රවාදය පිරිහී නට්සිවාදීන්ගේ ජයග්‍රහණය හරහා ජර්මනියේ නායකයා බවට හිට්ලර් පත්වන අවස්ථාව වන විට, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් නැමැති ජරමානු ජාතික මහා නාට්‍යකරුවා ගැලීලියෝගේ ජීවිත කතාව පිළිබඳ වීර කාව්‍යයක් රචනා කෙළේය. 1944 දී නිර්මාණය වූ එහි ඉංග්‍රීසි පරිවර්තනයට, ඉහත කී වීරත්වය සහ හේතු බුද්ධිය පිළිබඳ සංවාදය ඔහු හඳුන්වා දුනි. සාමය දිනා ගැනීම සඳහා ඇමරිකානුවෝ ජපානයේ නගර දෙකක්ම න්‍යෂ්ටික බෝම්බවලින් සුන්නත්දූලි කළහ.

ඒ වනාහී, මහා නස්පැත්තිදායක කාලයකි. හේතු බුද්ධිය පිළිකන්නට වැටී, හිතක් පපුවක් නැති යටිකූට්ටු බල අරගල රජ කළ කාලයකි. ලංකාවේ අප දැන් ළඟා වෙමින් සිටින්නේත් එවැනි අවිනිශ්චිත වකවානුවකටයි. නාට්‍යයට අමතරව බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්, සත්‍යය සොයා ගොස් එය ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න ගැනත් ලීවේය. බොරුව සහ අවිද්‍යාවට එරෙහිව කෙරෙන සටන දුෂ්කර කෙරෙන කාරණා පහක් ඔහු එහිදී දැක්වීය. සත්‍යය සොයා යන්නාට සත්‍යය ලිවීමේ ධෛර්යය තිබිය යුතුය. කොහේ බැලුවත් සත්‍යය වසංගා ඇති බැවින් එය හඳුනා ගැනීමේ පරිචය ඔහුට තිබිය යුතුය. සත්‍යය සොයන්නා ඒ සත්‍යය අවියක් වශයෙන් මෙහෙයවීමට අවශ්‍ය නිපුණත්වයෙන් යුක්ත විය යුතුය. ඒ සත්‍යය ඵලදායීව දරා සිටින්නන් නිවැරදිව විනිශ්චය කිරීමේ හැකියාව ඔහුට තිබිය යුතු අතර, සත්‍යය පතුරුවාලීමේ උපායශීලීත්වයත් ඔහුට තිබිය යුත්තේය.

මගේ මේ රචනාව ආවේශය ලබන්නේ, සත්‍යය සොයා ගැනීමටත්, ආරක්ෂා කර ගැනීමට සහ පතුරුවාලීමටත් මඩනා ලද ආශාවෙනි. අප ජීවත් වන්නේ, බලය විසින් නිරවුල් සත්‍ය්‍ය පාගා දමනු ලබන සහ නිරුවත් බලය සඳහා වන තණ්හාව රජයන සමයක ය.

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමත් සමග, සිවිල් යුද්ධයෙන් රට ගලවා ගත් මහින්ද රාජපක්ෂ සමස්ත දිවයිනේ සක්විත්තා බවට පත්විය. ඔහුගේ විධායක ජනාධිපති ධුරය කිසි වාර සීමාවකට යටත් නොවුණි. ආණ්ඩුවේ ඕනෑම අංශයක ඕනෑම නිලධාරියෙකුව පත් කිරීම හෝ ඉවත් කිරීම හිතුමතේට කිරීමේ අයිතිය ඔහු තමන්ගේ අතට ගත්තේය. ඒ අනුව, එදා ආණ්ඩුකරණය එකම දාංගලයක් බවට පත්විය.

එසේ වතුදු, එක්තරා මට්ටමක වගවීමේ සේයාවක් ඔහු පවත්වා ගත්තේය. සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ඔහු පාලනය කෙළේ නැත. ජාතික ආරක්ෂක අංශය වාර්තා කෙළේ වෙනත් කෙනෙකුට ය. බිය වපුරන රාජ්‍ය අංශය තිබුණේ ඒ තැනැත්තා අතේ ය. දණ්ඩමුක්තියේ (නඩු නැතිව අපරාධ කිරීමේ හැකියාවේ) සක්විත්තා වුණේ ඔහු ය.

සෞදි රටේ දිග හැරෙමින් තිබෙන අන්දරය අපට පාඩමකි. සුජාත බලය හොබවන මූලය තුළ හෝ ඒ ආසන්නයේ පවතින එක්තරා භූත බල යාන්ත්‍රණයක් බවට ජාතික ආරක්ෂක අංශය පත්වන විට, එය විසම්මුතිය (වෙනස් අදහස් දැරීම) මැඩලීමේ ‘අති-දේශපාලනික’ අවියක් බවට පත්වෙයි. එසේම, වෙනස් අදහස් දැරීමට තරම් නාහෙට නාහන එවුන් බිය වද්දන ‘හොල්මන් දේශපාලනික’ අවියක් බවට පත්වෙයි.

ඇඩම් ස්මිත්ගේ වේශයෙන් ලංකාවේ පෙනී සිටින බන්දුල ගුණවර්ධන කී කතාවක් නිසා, අපේ වෙන්ඩ-ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගැන පසුගිය සතිය තුළ විවිධ සිරස්තල ලියැවුණි. පල්හෑලි ගොඩක් ආර්ථික විද්‍යාව වශයෙන් අරගෙන කටමැත දොඩවන මේ ඇඩම් ස්මිත්, ලංකාවේ ඊළඟ ජනාධිපති ධුරයට වඩාත් සුදුසු සහෝදරයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ බව කියා ඇත. ඉතා සරළ භාෂාවෙන් තමන්ගේ අව්‍යාජ අදහස් කියාපාන ඒකාබද්ධයේ කුමාර් වෙල්ගම ඊට දෙහි කැපුවේය. ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ, කැළලක් නැති ප්‍රජාතන්ත්‍රවාදියෙකු බව ඔහු පෙන්වා දුනි. ඔහුගේ ඒ කතාව, ගෝඨාභයවාදීන් අතරේ කඩි කුලප්පුවක් ඇති කොට තිබේ. ඇත්තෙන්ම වෙල්ගම ගෝඨාභයගේ නමක් සඳහන් කෙළේ නැත. ඔහු කීවේ අනාගත අපේක්ෂකයාගේ රිපෝට් පොතේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී අතීත පාඩම් නොතිබිය යුතු බවයි. එය උගතමනා පාඩමකි.

ගෝඨාභය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක් ගැන පොරොන්දු දෙන්නේ නැත. ඔහු කියන්නේ, ‘නෝ හෙල්ලුම්’ ආණ්ඩුවක් තමා පිහිටුවන බව පමණි. ඇත්තෙන්ම ඔහුට අවශ්‍ය කරන්නේ ජනාධිපති ධුරය නොව, සමස්ත රාජ්‍යයයි. ඔහු තොඳොල් කරන්නේ, වර්ගවාදී ස්වෛරීත්වයක් රැකබලා ගන්නා රාජ්‍යයක් ඔහුගෙන් අපේක්ෂා කරන සමාජ තීරුවකි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන මොනම ආකාරයක හෝ දේශපාලන ප්‍රතිසංස්කරණයකට ඒ පිරිස් මරාගෙන මැරෙන විරෝධයක් පාන්නේ එබැවිනි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ගත්තොත්, ජනමත විචාරණයක් ජය ගැනීම සහතික ය. එහෙත්, තුනෙන් දෙක විශාල අනියමාර්ථයකි. දේශපාලනය තුළ පැමිණෙන අනියමාර්ථ දේවල්, ඉර හඳ තරමට අසීමිත පරාසයක විහිදෙයි. එබැවින් ගෝඨාභය රාජපක්ෂ තරගයට ඉදිරිපත් වීමේ සහ ජය ගැනීමේ විභවය ගැන සිතා බැලිය යුතුව තිබේ.

ඔහුගේ ලෝක දැක්ම ගැන අප එකඟ නොවිය හැකිය. ඒ වනාහී, ලෝකය පිළිබඳ සාකල්‍ය තක්සේරුවක් තුළ මනුෂ්‍යත්වයේ ස්ථානය විනිශ්චය කෙරෙන දැක්මකි. ලෝකය පිළිබඳව අප තුළ පවතින සංජානනයන් හැඩගස්වනු ලබන්නේ, අපේ දැනුම් සහ අත්දැකීම් සමුදායට වඩා, අපේ භාෂාව සහ සංස්කෘතිය මගිනි. රාජ්‍යය, දේශපාලනය, ආර්ථික ක්‍රියාකාරීත්වය සහ සදාචාරය ඈ සියලු දේවල් දෙස අප බලන්නේ ඒ දෘෂ්ටියෙනි.

මාර්ටින් හයිඩගර් කීර්තිමත් ජරමානු චින්තකයෙකි. එහෙත් ජර්මනියේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය, ජරමානු ආත්මයකින් සන්නද්ධ දෘෂ්ටිවාදී බලවේගයක් බවට පත්කිරීමේ ව්‍යාපෘතියකට, හිට්ලර්ගේ පාලන කාලය තුළ ඔහු උරදුන් විට ලෝකය පුරා සිටි ඔහුගේ බොහෝ විද්වත් සගයෝ අන්දමන්ද වූහ. මතක තියාගන්න, හයිඩගර් එසේ කිරීමට දරදිය ඇද්දේ, ඉමානුවෙල් කාන්ට්, කාල් මාක්ස් සහ ෂොපන්හවර් වැනි ශ්‍රේෂ්ඨයන් බිහි කළ භූමියක සිටිමිනි. යුද්ධය අවසන් වීමෙන් පසු (ජර්මනියේ පරාජයෙන් පසු) හයිඩගර්ට නට්සිහරණ රාජ්‍ය කමිටුවක් ඉදිරියේ පෙනී සිටීමට සිදුවිය. ඔහුගේ ක්‍රියාකලාපය ගැන දීර්ඝව සලකා බැලූ කමිටුව, ‘සම්මානිත මහාචාර්ය’ පට්ටම තියා ගැනීමට ඔහුට ඉඩ දුන් මුත්, විශ්ව විද්‍යාලයක ඉගැන්වීම තහනම් කෙළේය.

අගතිගාමී ෆැසිස්ට් සිත්සතන්, උසස් අධ්‍යාපන ආයතන තුළත් බිහිවෙයි. එසේ වන්නේ, ජාතික ශ්‍රේෂ්ඨත්වයක් සහ ශ්‍රී විභූතියක් පිළිබඳ කුණු කන්දල්වලින් හේතු බුද්ධිය වසා ගත් විට ය. එය, ඥානනයේ අනිවාර්ය හිඟයක, ප්‍රතිවිපාකයකි. රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්යවරයෙකු වන, ගෝඨාභයගේ විද්වත් පර්ෂදයේ ප්‍රමුඛ පෙළේ සාමාජිකයෙකු වන, චන්න ජයසුමන මෑතකදී ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීය. එහිදී ඔහු ඉදිරිපත් කෙළේ, ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ඉතිහාසය පිළිබඳ තමාගේ අර්ථකථනයයි.

සිතින් මවාගත් ජාතික පුනර්ජීවනයක මලකඩ බලපෑමෙන් රටක ශාස්ත්‍රාල ගැලවෙන්නේ නැත. ජර්මනියේ හිට්ලර්ගේ පාලනය යටතේ ෆ්‍රයිබර්ග් සරසවියේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ මාර්ටින් හයිඩගර් ඒ රාජකාරිය නිර්දය අවංක භාවයෙන් යුතුව ඉටු කෙළේය. මනුෂ්‍යත්වය පිළිබඳ අබමල් රේණුවක හෝ සේයාවක් විණි නම්, මේ මහා දාර්ශනිකයා එක්තරා දේශනයක්දී එයත් කුණු කූඩයට දැම්මේය: “කෘෂිකර්මය දැන් යාන්ත්‍රිකරණය වෙච්ච කර්මාන්තයක්. හරියටම ගත්තොත්, ගෑස් කාමරවල සහ සංහාරක කඳවුරුවල මළමිනී නිෂ්පාදනය කරනවා වගේ.”

හිට්ලර් යටතේ ජරමානු විශ්ව විද්‍යාල, ජරමානු ආධ්‍යාත්මයේ පරම අභයභූමි බවට පත්කෙරුණි. එදා මාර්ටින් හයිඩගර් අධ්‍යාපන අමාත්‍යාංශයට මෙසේ ලිවීය: “අප ඉදිරියේ දැන් තෝරා ගත යුත්තක් තිබේ. අපේ ජරමානු ආධ්‍යාත්මිකත්වයෙන් උපන් ප්‍රතිභාවන්ට මුල් තැන දෙමින් අපේ පොළොවේ පය ගසා සිටින අධ්‍යාපනඥයන් බිහි කරන්නේ ද, නැත්නම්, දැන් ලියලා වැඩෙමින් පවතින යුදෙව්වාදයට (එහි පටු සහ පුළුල් යන අර්ථ දෙකින්ම ගෙන) අපේ ආධ්‍යාත්මය සදහටම බිළි දෙන්නේ ද යන්නයි.”

ජර්මනියේ ජනතාවට ඉතිහාසය විසින් ඒ පාඩම කියාදුනි. ඔවුන්ගේ ෆෙඩරල් ව්‍යවස්ථාව තුළ, සෘජු ඡන්දයෙන් පත්කර ගන්නා ජනාධිපති තනතුර හිතමතාම බැහැර කොට තිබේ. ඒ ඓතිහාසික පූර්වාදර්ශ, ‘වියත් මග’ විද්‍යාර්ථීන්ගේ අන්තවාදී අභියෝගවලට මුහුණදීමට අපට උපකාරී කර ගත යුතුය.

කලින් කීවාක් මෙන්, ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතිය හැඩ ගැසෙන්නේ අර කී අමුතු ‘ලෝක දැක්මෙනි’. සිංහල කතා කරන, ප්‍රභූ-විරෝධී පහළ මැද පංතිකයන්ට අල්ලන කතා ඔහුට තිබේ. ඒවා, සිංහල කතා කරන වෘත්තිකයන්ට සහ ව්‍යාපාරික පැලැන්තියටත් අල්ලයි. සකල රාජ්‍යයේ පරම අධිකාරී මධ්‍යගත බලයක් අපේක්ෂා කරන ව්‍යාපාරික සමූහයාට එය ආකර්ශණීය වීම පුදුමයක් නොවේ. මන්ද යත්, වර්තමාන ආණ්ඩුවේ විගඩම් පාලනයෙන් තෙහෙට්ටුවට පත්ව සිටින එකී ව්‍යාපාරික පංතියත් වෙනසක් අපේක්ෂා කරන බැවිනි.

හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා බලගතු අපේක්ෂකයෙකි. එසේම, බොහෝ දෙනා තුළ විශ්වාසය දනවන අපේක්ෂකයෙකි. මන්ද යත්, ඔහු ශක්තිමත් නායකයෙකු සේ සැලකෙන බැවිනි. ව්‍යාකූලත්වය රජයන, අර්බුද ගහණ සමාජයක දුප්පත්, පොහොසත්, ප්‍රභූ කවුරුත් අපේක්ෂා කරන්නේ ශක්තිමත් නායකයෙකි. තමාගේ ‘එළිය’ සංවිධානයෙන් එළිය විහිදුවන බව ඔහු කියයි. එහෙත් ප්‍රශ්නය වන්නේ, එය පොලිස් රාජ්‍යයකින් විහිදෙන ඇස් නිලංකාර කරවන එළියක් වීමයි. ආත්මය වශයෙන් ගත් විට එය ජාතිකවාදී ය. ප්‍රාර්ථනාවක් වශයෙන් ගත් විට, ආර්ථිකවාදී ය. අන්තර්ගතයෙන් ගත් විට මිලිටරිවාදී ය. සැලසුම් කරන ලද මගක් ඔස්සේ, හඳුනා ගත් ඉලක්කයන් පස්සේ හඹා යන බරසාර ලුහුබැඳීමකට, විනය ඉහළ මාත්‍රාවකින් අවශ්‍ය කෙරේ. ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය කරන්නේ ඊට බෙහෙවින් අඩු මාත්‍රාවකිනි. එහිදී, විසම්මුතිය දේශද්‍රෝහී වෙයි. වෙනස් අදහස් දැරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙයි.

ගෝඨාභය රාජපක්ෂ දුර්ලභ ගනයේ දක්ෂ කළමනාකරුවෙකි. පක්ෂපාතීත්වය ලබා ගන්නා සැටි ඔහු දනී. නායකත්වයක් යනු අනුගාමිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට ඇති හැකියාවයි. ‘වියත් මග’ සහ ‘එළිය’ පේවී සිටින්නේ ඔහුගේ ඒ පුද්ගලතාව ප්‍රවර්ධනය කිරීමටයි.

ඔහුගේ වැඩිමල් සහෝදර මහින්ද රාජපක්ෂටත් අනුගාමිකත්වයක් සිටී. ඒ අනුගාමිකයෝ රේන්දකාරයෝ ය. බලය රස බැලීමේ ආශාවෙන් පෙළෙන, සොක්කන්ගේ සිට බක්කන් වී ඇති, අලුත් පෝසතුන් ය. ඔවුන්ට මහින්ද යනු තමන්ගේ ආයෝජනයන් සඳහා වන ප්‍රතිලාභ සහතික කර ගැනීමේ වාහකයකි. මහින්දට පක්ෂපාතීත්වය අවශ්‍ය කරන අතර, ගෝඨාභයට අවශ්‍ය කරන්නේ අවනත භාවයයි. ගොඩගමදී ගෝඨාභය කළ කතාව, ඕනෑම හැකරයෙකුට කළ හැකි කතාවකි. වර්තමානයේ බලය දරන්නනන්ගේ සදාචාර හයිය ගැන ප්‍රශ්න කිරීමට අමුතු හැකියාවක් කෙනෙකුට අවශ්‍ය නොකෙරේ. අකුරේගොඩ ආරක්ෂක සංකීර්ණය මහාර්ඝ දේශප්‍රේමී ව්‍යාපෘතියක් සේ ගෙනහැර දැක්වූ ඔහු, අසන්නාට ආතක්පාතක් සොයාගත නොහැකි බිලියන ගණනින් වන සංඛ්‍යා ලේඛන රාශියක් ඉදිරිපත් කෙළේය.

ඔහුගේ කතාව තුළ කුළුගැන්වෙන්නේ මිලිටරිවාදයේ අත්‍යාවශ්‍යතාවයි. එහි ඇති අනුභූතික වැදගත්කමයි. සාමය රජයන වත්මන් සමාජය තුළත් හමුදාවට ප්‍රධාන භූමිකාවක් පිරිනැමීමට ඔහු පසුබට නොවෙයි. එක්කෝ, වත්මන් සමාජය බරපතල සහ ආසන්නතම තර්ජනයකට මුහුණදී සිටින බවක් ඔහු අදහනවා විය යුතුය. නැත්නම්, එවැන්නක් උපකල්පනය කරනවා විය යුතුය. මැද-පංතික තරබාරු ගැහැනුන්ගේ ඇඟපත අඩු කර ගැනීමට සක්මන් බිම් තීරුවලින් සැලසුණු සේවය ඇගයීමට ලක්වන කොළඹ නාගරික භූ-දර්ශනයේ පරිවර්තනය ඔහු චිත්‍රණය කරයි. පැල්පත්වාසීන්ව මහල් නිවාසවල පදිංචි කොට අගනා බිම් කොටස් ලාභදායී ආයෝජන සඳහා පරිහරණයට ගැනීමේ තර්කය ඔහු පැහැදිළි කර දෙයි.

එහෙත් මේ නාගරීකරණයේ පීඩාකාරීත්වය ඔහු විස්තර කෙළේ නැත. ලක්ෂ ගණන් මිනිසුන් ප්‍රමාණවත් ඉඩහසරක් ඒ නිවාස තුළ නොලැබීමෙන් පීඩාවට පත්වූ ආකාරය, කුලී ගෙවා ගැනීමට නොහැකි වීම, රැකියා කරන ස්ථානවලට සහ පාසල්වලට ඇති අධික දුර, පිරිසුදු පානීය ජලය හිඟ කම සහ සමහර විට, සපතේරුවෙකුට පාරේ කොණක තමන්ගේ කර්මාන්තය කරගෙන යාමට තිබූ නිදහස නැති වීම ආදී කරුණු ඔහු පැහැදිළි කරන්නේ නැත. පැල්පත්වාසීන්ව මහල් නිවාසවල පදිංචි කරවීමෙන් පහළ මැද පංතිකයන්ගේ තත්වයට ඔවුන්ව උසස් කළ හැකි යැයි මොවුහූ විශ්වාස කරති. එහෙත් කාරණය එතරම් සරළ නැත.

ගෝඨාභයගේ ‘ලෝක දැක්ම’ තුළ, ජාතිකවාදය සහ දේශප්‍රේමය එකිනෙකට පර්යාය වන්නේය. ජාතික ශ්‍රේෂ්ඨත්වයක් පිළිබඳ හැඟීමක් ඇති කිරීමට තැත් කරන ඔහු ජාතියක ආධිපත්‍යයක් පිළිබඳ අදහසක් ගම්‍ය කරයි. ඔහු එය කරන්නේ ඉමහත් ආත්ම විශ්වාසයකිනි.

කෙසේ වෙතත්, ජාතික රාජ්‍යයේ අවශ්‍යතාවන් ලෝක ආර්ථිකය සමග බද්ධ කිරීමේ වැදගත්කම ඔහු පිළිගන්නා බව ඔහුට ගෞරවයක් වශයෙන් කිව යුතුය. එහෙත් ඊට අදාළ කොන්දේසි ඔහු නිර්මාණය කර ගැනීමට බලන්නේ, තමාගේම වූ කෝවක් තුළ ය. සම්ප්‍රදාය පිළිබඳ තමාගේම වූ අදහසක් තුළ ය. සාරධර්ම පිළිබඳ තමාගේම වූ වැටහීමක් තුළ ය. ඒ අනුව, ජාතිකවාදය ඔහු වටහා ගන්නේ, සිංහල බෞද්ධයන්ගේ සංස්කෘතික ධර්මතාවක් වශයෙනි. එසේම, ජාතියේ අනන්‍යතාව සහ ස්වායත්ත භාවය, තමා වටහාගෙන ඇති දේශප්‍රේමය සමග ඔහු ගැටගසයි.

ඔහුගේ කතාව තුළ ප්‍රකට කෙරෙන චරිත ස්වභාවය, හේගලියානු සම්ප්‍රදායට සමීප ය. ඔහුට අනුව, ‘වීමට’ වඩා ‘පැවැත්ම’ වටනේය. ඔහු අකාලික පරිපූර්ණත්වයක් සොයන්නේ කාල පරාසයක් තුළ ය. එය මහා නපුරක් බවට පත්විය හැකිය. ශක්තිමත් නායකයෙකුගේ අචල හස්තයක් අපේක්ෂා කිරීම යහපත් මිනිසුන්ගේ සිරිතකි. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් එවැනි මිනිසුන්ව සමාන කෙළේ, පැටියා නොමරා වහුමස් කෑමට දක්වන රුචිකත්වයක් වශයෙනි.

(2018 ඔක්තෝබර් 21 වැනි දා ‘සන්ඬේ ඔබ්සර්වර්’ පුවත්පතේ පළවූ Unhappy is the Land that Needs a Hero නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)

Back to Top