Sri Lanka Brief
පුවත්ගරු අගවිනිසුරුතුමනි, පා සලකුණ මිස අප පාදය දුටුවේ නැත. ස්තුතියි. – කීර්ති තෙන්නකෝන්

ගරු අගවිනිසුරුතුමනි, පා සලකුණ මිස අප පාදය දුටුවේ නැත. ස්තුතියි. – කීර්ති තෙන්නකෝන්

by

ප්‍රියසාද් ඩෙප් මහතා වසර 1 යි, මාස 7 යි, දින 10 ක් අගවිනිසුරු පුටුව දරා නික්ම ගොසිනි. කාල් ලුවිස් හෝ හුසෙන් බෝල්ට් තම විශිෂ්ඨත්වය තහවුරු කරන්නේ තප්. 10කටත් අඩු කාලයකිනි. අගවිනිසුරුතුමාට ලැබුණු, කෙටි කාලය විශ්ෂ්ඨත්වය සලකුණු කරන්නට ඕනෑ තරමටම විය.

ගෙවීගිය වසර 10 පුරාම ලංකාවේ අධිකරණ කේෂ්ත්‍රය බිහිසුණු චන්ඩ මාරුත හමා ගියේය. අගවිනිසුරුවරුන් දෙදෙනෙකුට දෝෂාභියෝග එල්ල වූ අතර, එයින් එක් අයෙකු වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කෙරුණි. ඇයගේ අනුප්‍රාප්තිකයා වූ මෙහාන් පීරිස් මහතා ට සිදු වූයේ සිය ගණනක් උද්ඝෝෂකයින් ශ්‍රේෂ්ඨාධිකරණය වටලා සිටිය දී ඉල්ලා අස්වන්නටය.

2009 ජූනි 7 අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විශ්‍රාම ගියේ දෝශාභියෝග දෙකකට මුහුණ දුන් එකම අගවිනිසුරු ලෙසය. ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට 2004 දී අගවිනිසුරු බේරා ගැනීමට ආණ්ඩුව විසිරුවා හරින්නට සිදු විය. ඔහුගේ අනප්‍රාප්තිකයා වූ අශෝක සිල්වා අගවිනිසුරුතුමාගෙන් පසුව එම තනතුරට පත් වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය, මාස තුනක බල අරගලයකින් පසුව, දෝෂාභියෝගයකින් ඉවත් කරන විට වසර 1 මාස 7 ක් පමණ සේවය කර තිබුණි. ඇයගෙන් පසුව පත් වූයේ මොහාන් පීරිස් මහතා ය. 2015 ජනවාරි 28 පිරිසක් ජනාධිපති මන්දිරයේ ද, තවත් පිරිසක් අලුත්කඩේ ද උද්ඝෝෂණය කරද්දී සේවයෙන් ඉවත් විය.

ශ්‍රීපවන් අගවිනිසුරුතුමාගේ වසර දෙකක ධූර කාලයෙන් පසුව, ප්‍රියශාන්ත් ඩෙප් මහතා එම ධූරයට පත්වන විට ඔහුගේ කිසි ලෙසකින්ම විවාදාත්මක චරිතයක් වූයේ නැත. ඔහුගේ ධූර කාලය තුල ද, ඔහු විවාදාත්මක චරිතයක් නොවීය. බොහෝ දෙනා අගවිනිසුරු ගේ නම පවා අසා තිබුණේ නැත.

එතුමන්ගේ විශිෂ්ඨත්වය ගැන බොහෝ දෙනා කථා කරන්නට පටන් ගත්තේ විශ්‍රාම ලැබීමෙන් ද පසුවය. තීරු බදු රහිත වාහන නැත. ඉඩම් ලබාගෙන නැත. පාරිතෝෂික දීමනාව ද ආපසු ගෙවූ අවස්ථා ඇති බව ද, ආරංචිය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සංවිධානය කළ වැඩමුළුවක දී විනිසුරුවන්ගේ උසස්වීම් සදහා ජ්‍යෙෂ්ඨත්වය නොව, ඔවුන්ගේ සේවා ඇගයීම (නඩු කීයක් අවසන් කොට ඇති ද? නඩු තීන්දු කීයක් ලියා ඇති ද? වැනි කරුණු) සැලකිල්ලට ගත යුතු යැයි කතිකාවක් ඇති වූ බව මතකය. එය ක්‍රියාත්මක වූයේ නැත.

තීන්දු දුන් නඩු ගණනට, ලියු නඩු තීන්දු ගණනට වැටුප් වර්ධක දුන්නා නම්, ඔහුට තවත් වැටුප් වර්ධක කිහිපයක්ම හිමිවන්නට තිබුණි.

ප්‍රියසාද් ඩෙප් මහත්තයා දුන් විශිෂ්ඨ නඩු තීන්දු දෙකක් ගැන සිහි කරනු වටී. එයින් පළමුවන්න, ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 6 ද, 5 ද යන්න පිළිබදවය. ඉතිහාසය පුරාම ගැටළුවල දී තීන්දුව ලැබී තිබුණේ බලයේ සිටින ජනාධිපතිවරයාට වාසි වන ආකාරයට ය. හය ද? පහ ද? ප්‍ර‍ශ්නයේ දී පහ යැයි කියා නඩු තීන්දු දීමට ශක්තිය ඔහුට තිබූ අතර, දැන් අපට ඒ වසර පහ කවදා පටන් ගෙන, කවදා අවසන්වන්නේ දැයි යන ගැටළුවට නුදුරේම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උත්තර හොයන්නට සිදුවනු ඇත.

මහා පරිමාන වංචා විමර්ශනය සදහා විශේෂ මහාධිකරණ 3 ක් පිහිටුවීමේ තීන්දුවේ දී, එම නඩු විභාග කාර්ය පටිපාටියට නීතිපතිවරයාට අමතරව අගවිනිසුරුවරයා ගේ අනුමැතිය ද ලබා ගැනීමට තීරණය කිරීම ප්‍රියසාද් ඩෙප් මහතා ගේ මැදහත් ගුණයේ සලකුණකි.

සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ දී මෙන්, නීතිපතිවරයා දේශපාලන තීන්දු ගත් අවස්ථාව ද ඉදහිට හෝ සොයා ගත හැකිය. එවැනි තත්වයක් තුලනය කිරීම සදහා අගවිනිසුරු මැදිහත් කර ගැනීම ප්‍ර‍තිපාදන සැකසීම වැදගත් යහපාලන ව්‍යාවහාරයක් වන්නේ ය.

හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, දැවැන්තයකු බව අපට වැටහෙන්නේ, ඔහු ඉතිරි කර ගිය සලකුණු නිසාමය.

ගරු අගවිනිසුරුතුමනි, පා සලකුණ මිස අප පාදය දුටුවේ නැත. ස්තුතියි.

 

Back to Top