Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගලෝක ජනාවාස දිනය: 2025 දීවත් අපට ඉඩක් ලැබේ දෝ !

ලෝක ජනාවාස දිනය: 2025 දීවත් අපට ඉඩක් ලැබේ දෝ !

by

ඡායාරූපය:  ඔක්තෝබර් 1දා  පාගමන.

සංචාරක සටහන සහ පින්තූර – මෙලනි මානෙල් පෙරේරා.

“අපේ ඉල්ලීම වනුයේ ශ්‍රි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා එක්සත් ජාතින්ගේ සමුළුව පවා පිළිගෙන ඇති අයිතියකි. හිසට සෙවනක් සැමට අයිතියකි. අපට ස්ථීර නිවසක් නැත. දරුවන්ට ස්ථීර පාසලක් නැත. එහෙත් අපද මනුෂ්‍යයෝ ය. අපට නිවෙසක් ලබා දී ඔබට හිමි වාසස්ථාන හිමිකම අපටත් ලබාදෙන්න. මනුෂ්‍යත්වයට ගරු කරන්න. ඒ සඳහා දුරදක්නා රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස්කර ක්‍රියාත්මක කරන්න.”
මෙය 2018 ඔක්තෝබර් මස පළමුවෙනි දා, ලෝක වාසස්ථාන දිනයේදී, වාසස්ථාන අහිමි, මීගමුව ජනතා ඒකාබද්ධ සංවිධානයේ සියලු සාමාජික සාමාජිකාවන්ගේ එකම ඉල්ලීම විය.

සෑම පුරවැසියෙකු හට ම ස්ථිර වාසස්ථානයකට ඇති අයිතිය පිළිබඳව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියේ 11 වන සහ 25 වන වගන්ති වලින් ද, එක්සත් ජාතින්ගේ ආර්ථීක , සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් සම්මුතියේ 17 වන පරිච්ඡේදය මගින් ද, ශ්‍රි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6වන පරිච්ඡේදයේ (27 – ඈ) වගන්තිය මගින් ද තහවුරු කරයි.

ශ්‍රී  ලංකාව දශක තුනක සිට ලෝක ජනාවාස දිනය සමරමින් සිටියි. එවන් දිනයක පුරෝගාමීත්වය නැතහොත් ඇරඹුමේ ගෞරවය හිමි වන්නේ ද ශ්‍රි ලංකාවට ය. එනම් සමස්ත ලෝක නායකයින්ගේ අවධානය ශ්‍රි ලංකාව වෙතට යොමුකරවාලමින් වසර 1980 දී එක්සත් ජාතින්ගේ ජනාවාස සමුළුව ආමන්ත්‍රණය කරමින් ආරාධිත මුඛ්‍ය දේශනය පැවැත්වූ එවකට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් අන්තර්ජාතික වාසස්ථාන දිනයක් පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළේය. එහි ප්‍රථිඵලයක් ලෙසට 1987 වසර “වාසස්ථාන වසර” ලෙසට ප්‍රකාශයට පත්කෙරිණි. වර්ථමානයේදි සෑම වසරකම ඔක්තෝබර් පළමුවන සඳුදා දින ලෝක ජනාවාස දිනය ලෙස සමරනු ලබයි.

වසර ගණනාවක් එකම තැන එකම විධියට ජීවත්වන ඔවුන් “ජීවිත අවදානම” හා සරණ ගොස් සිටිති. නිවෙසක් තනාගැනීමේ නොහැකියාව මත, අනවසර පදිංචි කරුවන් ලෙසටත්, කුලී නිවැසියන් ලෙසටත්, ඥාතින් මිතුරන්ගේ නිවාසවල ජීවත්වන ආගන්තුකයින් ලෙසටත් ඒකරාශි වන ඔවුන් ශ්‍රි ලංකාවේ මීගමුව පුරවරයේ අඩු ආදායම් ලාභි වාසස්ථාන අහිමිවුවන් වෙති.

යකඩ පීලි දෙකක් මත නිතර දෙවේලේ දුවයන රේල්ලුවට යම්හෙයකින් රේල් පීලි අවනත නොවුනහොත් ඇසිල්ලෙන් කඩාවැටෙන්නේ රේල් පාර අද්දර ජීවත්වන ඔවුනගේ නිවහන් මතය. නිරන්තරයෙන් වෙරළ සිපගන්නා දැවැන්ත මුහුදු රළ, වරෙක සිතුවොත් මෙගා රළක් වී, වෙරළ මුහුදට ගෙනයන්නට, අවසරයකින් තොරව සැණින් මුහුදට ගෙනයන්නේ අනවසරයෙන් වෙරළේ තනාගෙන ඇති තාවකාලික නිවාස පේලීයයි. තවත් විටෙක, අත්තිකාරම් මුදල් හෝ මාසික කුලී ගාස්තුව ගෙවා ගැනීමට නොහැකිවුවහොත්, යන්නට ඇත්තේ මහපාර පමණි. (3. පින්තූරයඃ පිටිපන වෙරළ කන්ද පේලී නිවාස)

ඔව්හු දැනට වහලක් යට කති බොති නිදති. දවස අවසන කීයයක් හෝ සොයාගෙන විත් වළඳ රත්කරගන්නා ඒ වහලය යට ඇති කූඩාරම, තාවකාලික සෙවනකි. මන්ද, ගිණි ගණනක මාසික කුලී පදනමට ලබාගත් අනුන්ගේ නිවහනකි. බොහෝවිට එයද, පෞද්ගලීක නිදහස භුක්ති විඳිනු තබා අතපය දිගහැර නිදාගැනීමටවත් පහසුකමක් නැති සෙවනකි.

මීගමු පුරවරයේ තමන්ටම අයිති නිවාසයක් අහිමි ජනතාව 170000ක් පමණ වෙසෙන බව ජනතා ඒකාබද්ධ සංවිධානයේ අදහසයි. 47% ක් පුරවැසියන් (පවුල්) ජීවත් වන්නේ වර්ග අඩි 200 කටත් වඩා අඩු පුංචි බිමකය. තවත් 41% ජීවත්වන්නේ කාමරයක පමණක් ය. මේ සියල්ලක් කුලී ගෙවල් වන අතර එකී ජීවිත ක්‍රමය තුළ අනේක විධ කරදර , ප්‍රශ්නවලට මුහුණ දෙමින් ජීවත් වන්නට සිදුවී ඇති බව මීගමුව ජනතා ඒකාබද්ධ සංවිධානය , ජනාවබෝධ කේන්ද්‍රය සමඟ එක්ව සිදුකර ඔක්තොබර් පළමු දා ලෝක වාසස්ථාන දිනයේදී ප්‍රකාශයට පත්කළ සමීක්‍ෂණ වාර්තාව සඳහන් කරයි.

මෙකී පුරවැසියන්ගෙන් 4.7% පුද්ගලයින්ගේ මාසික ආදායම රුපියල් 10000 ට අඩු බවත්, රුපියල් 15000.00 සිට රුපියල් 19999.00 මාසික ආදායමක් උපයා ගන්නේ පුද්ගලයින් 22.9% දෙනෙක් පමණක් බවත් , රුපියල් 50000 ට වැඩි ආදායමක් හිමිකර ගන්නේ පුද්ගලයින් 2.7% ක් පමණ බවත් සමීක්‍ෂණ වාර්තාව පෙන්වා දෙයි.

එමෙන්ම, වාසස්ථාන අහිමි ජනතාවගේ අධ්‍යාපන මට්ටම පිළිබඳව පෙන්වා දෙන වාර්තාව කෙසේවත් පාසල් අධ්‍යාපනයක් නොලත් වැඩිහිටියන් 4.5% ක් ද, 04 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලත් වැඩිහිටි සංඛ්‍යාව 12.07% ක් ද, 09 වන ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලත් වැඩිහිටියන් සංඛ්‍යාව 48.31% ක් ද, උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලත් වැඩිහිටි සංඛ්‍යාව 5.54% ක් ද, උපාධි සමත් 0.39% ක් ද වශයෙන් සඳහන් කරයි.

අධ්‍යාපනය සම්බන්ධයෙන් වැඩිහිටියන්ගේ ප්‍රතිශථය එසේ පෙන්නුම්කරන සමීක්‍ෂණ වාර්තාව, වත්මන් දරුපරපුරේ අධ්‍යාපන මට්ටම පිළිබඳවත් වාර්තාවේ සිව් වන කොටසේ මෙසේ කරුණු දක්වයි.

ස්ථිර නිවෙසක් නොමැතිකම නැතහොත් ස්ථීර ලිපිනයක් නොමැතිකම සිය පෞද්ගලීක මෙන් ම සාමාජීය ජීවිතයට ද ප්‍රබල පහරක් යැයි සඳහන් කරන මීගමුව ජනතා ඒකාබද්ධ සංවිධානය, ස්ථීර පදිංචියක් නොමැතිවීම දරුවන්ගේ අධ්‍යාපනයට බාධා ඇති වීම, රැකීරක්‍ෂා වලට අවහිරතා ඇතිවීම, රජයෙන් ලබාදෙන දිළිඳු සහානාධාර ලැබීමට ඇති සුදුසු කම් අහිමි කිරීම, විධිමත් ලෙසට බැංකු ණයක් ගැනීමේ හැකියාව අහිමි කිරිම මෙන්ම ඇතැමුන්ගේ ඡන්ද අයිතිය පවා අහිමිකර ඇතැයි ප්‍රකාශ කරයි.

මීට වසර 30 කට පමණ පෙර, මීගමුවේ ජීවත්වෙන අඩු ආදායම්ලාභි නිවාස අහිමි ජනතාවගේ ඉඩම් හා නිවාස ගැටළුව මුල් කරගෙන සංවිධානගතවු මීගමු ජනතා ඒකාබද්ධ සංවිධානය විසින් විටෙන් විට පැවති ආණ්ඩු හා මැති ඇමතිවරුන් පසුපස යමින් ඔවුන්ගේ දැවෙන ප්‍රශ්නය පිළිබඳව කතිකා කර දිනාගත් ජයග්‍රහණද ඇති නමුත්, වාසස්ථාන පිළිබඳ අර්බුදය නිමාවී නැති බව ඔවුන් අවධාරණය කරති.

ඈන් අයේෂා ප්‍රනාන්දු

“පරම්පරා තුනක් හතරක් මේ වාසස්ථාන අහිමි ලේබලය යටතේ වර්තමානයේ දී මීගමුවේ ජීවත්වෙනවා. මේ ප්‍රශ්නයට එදා වරින්වර විසඳුම් ලබාදුන්නා වගේ, වර්තමානයේදිත් මීගමුවේ ඉන්න අඩු ආදායම් ලාභි නිවාස අහිමි ජනතාවගේ ප්‍රශ්නයට ආණ්ඩුවේ මැදිහත්වීමක් අත්‍යවශ්‍යයි. මීගමුව පුරවරයේ ඕනෑතරම් ඉඩ තිබෙනවා නිවාස සංකීර්ණයක් වුනත් හදන්න, බලධාරීන් ඕනෙකමකින් මේ ප්‍රශ්නය දිහා බලනවානම්.” යැයි මිගමුව, කාමච්චෝඬේ සාන්ත සෙබස්තියන් වාසස්ථාන අහිමිවුන්ගේ එකතුවේ සභාපතිනි ඈන් අයේෂා දිව්‍යා ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

පින්තුරය – චම්පා ගරුසිංහ

ඔවුන්ගේ නොපසුබට උත්සාහය තුළ මේ වසරේ දී ද නැවත වතාවක් ආණ්ඩුවේ පිහිට පතා ක්‍රියාත්මක වී ඇත. ඒ අරඹයා, වත්මන් නිවාස ඇමතිවරයා හමුවීමට ගත් උත්සාහය වි්‍යර්ත වී ඇති නමුත් මීගමුව නගරාධිපති, නාගරික මන්ත්‍රිවරු , කොළඹ අගරදගුරු කාදිනල් හිමිපාණන් ඇතුළු ප්‍රාදේශීය කතෝලික පූජක උතුමන් සහ ආණ්ඩුවේ නිවාස ඇමතිවරයා වෙත සිය දැවෙන ප්‍රශ්නය පිළිබඳව නැවත වරක් සිහිකැඳවමින් ලිපි යවා , හිසට සෙවනක් ලබාගැනීමේ මූලික මානව හිමිකම දිනාගැනීමේ අවශ්‍යතාවය ගැන බලාපොරොත්තුවෙ දැස් දල්වා බලාසිටින බව ද මීගමු ජනතා ඒකාබද්ධ සංවිධානය ප්‍රකාශ කළේය.

වත්මන් දේශපාලකයින් සහ ඔවුන්ගේ මැතිවරණ පොරොන්දු පිළිබඳව අදහස් දක්වමින් ඔක්තෝබර් පළමුවෙනිදා වාසස්ථාන දිනය සමරන්නට මීගමුව රුක්මනි දේවි රංග ශිල්ප කේන්ද්‍රයට පැමිණ සිටි පෙරියම්මුල්ලේ, මාර්ක් පාරේ, රේල්පාර අද්දර අනවසර නිවාස පේලීයේ ජීවත්වන අවුරුදු 60ක් වයසැති චම්පා ගරුසිංහ කීවේ කිසිඳු දේශපාලනඥයෙකු ගැන දැන් නම් නිවාස අහිමි අඩු ආදායම් ලාභින් විශ්වාස නොකරන බවයි.

“මම භය නැතිව කියනවා, නිමල් ලංසා මහත්තයා නගරාධිපති වෙලා හිටියා. ඉන්න තැන් දෙනවා කිව්වා, නමුත් ලැබුණේ නැහැ. සරත් ගුණරත්න මහත්තයා ඇමති වෙලා හිටියා , ගෙවල් දෙනවා කිව්වා, නමුත් ලැබුණේ නැහැ. ආනන්ද මුණසිංහ මහත්තයා නගරාධිපති වෙච්ච කාලේ ඉඳලා අද මේ මොහොත වෙනතුරු අපි හැම නගරාධිපති කෙනෙක්ටම, මීගමුව මැති ඇමතිවරුන්ට, ප්‍රාදේශීය ලේකම් මහත්තුරුට අපේ ඉල්ලීම ඉදිරිපත් කරලා තියෙනවා. කියන්න තියෙන හැම නිළධාරියෙකුටම ආයතනයකටම කියලා කියලා දැන්නම් ඇත්තටම ඇතිවෙලා ඉන්නේ.” යැයි චම්පා කීවේය.

රටක ආණ්ඩුවක් බැඳිලා ඉන්නවාද ඔයාලට නිවාස ලබාදෙන්න ? “ඔව්! නිවාසයක් කියන්නේ මූලික අයිතිවාසිකමක්. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වගේම එක්සත් ජාතින්ගේ සමුළුවෙන් පවා පිළිගත්ත අයිතියක්. අනෙක, අපේ වටිනා ඡන්දෙන් තමයි ආණ්ඩුවක් පත්වෙන්නේ , මැති ඇමතිලා පත්වෙන්නේ. ඡන්දෙ ගන්නකම් පොරොන්දු දෙනවා. දින්නට පස්සේ අපි ගැන බලන්නේ නැහැ. අපෙන් ඡන්දෙ අරන්, දිනලා එයාලා ජීවත් වෙනවා හොඳ හොඳ නිවාස වල නමුත් අපි මහ පාරේ. ඡන්දෙ ගන්නවා වගේම අපි ගැන විශේෂයෙන් දුප්පත් මිනිස්සු ගැන ආණ්ඩුව බලන්න ඕනේ.” යන්න සමස්ත වාසස්ථාන අහිමි ජනතාව ගේ හඩ යැයි චම්පා කීවේය.

මීගමුවේ කතෝලික ගරු පියතුමන්ලා තමන්ගේ අරගලයට ශක්තියක් බව ද එහෙත් මීට වඩා ප්‍රබලව ශක්තියක් වෙමින් ආණ්ඩුවට බලකර සිටින්නේ නම්, ඔවුනට නිවාස ලබාගැනීමට හැකියාවක් ලැබෙන බව කතෝලික බැතිමතියක් වන චම්පා සඳහන් කළේය.“මොකද මීට ඉස්සර අපේ ෆාදර්ස්ලාගේ මැදිහත්වීමෙන් නිවාස ලබාගත්ත අඩු ආදායම්ලාභීන් ඉන්නවා. ඒ අය දැන් කරදරයක් නැතිව ජීවත්වෙනවා.” යැයි ඇය කීහ.

මුන්නක්කරය මොනාකෝගම

පෙරියම්මුල්ලේ, මාර්ක් පාරේ, රේල්පාර අද්දර, ජීවිත අවදානම සහිතව ජීවත්වන පවුල් සංඛ්‍යාව 26 කි. නිවාස 22කි. ඉන් පවුල් 10ක් මුස්ලිම් වන අතර අන් සියලුම පවුල් සිංහල කතෝලික පවුල් යැයි චම්පා කීවේය. ස්ථීර රැකියා නොකරන ඔවුන් පිරිමි උදවිය කුලී වැඩ සඳහාත් ගැහැණු උදවිය නිවෙස්වල වැඩකිරීම සඳහාත් යොමුවී සිටිති. ඔවුන් දවසක උපයා ගන්නා රුපියල් 500 සිට 1000 ක මුදල මාසය අවසානයේ විදුලි බිල ගෙවන්නට සහ වසර අවසානයේ වරිපනම් ගාස්තුව ගෙවන්නට ඉතිරිකර ගතයුතුව ඇත.

පෙරියම්මුල්ලේ, රේල්පාර අද්දර නිවාස පේලිය

මීගමුව, මුන්නක්කරේ, කඩොල්කැලේ, පෙරිම්මුල්ල, කාම්ච්චෝඬේ, තලාදූව, හෙට්ටියාගේ වත්ත, පිටිපන, යනාදි ප්‍රදේශවල පරම්පරා 3 ක් පමණ ජනතාව වාසස්ථාන අහිමි වීමේ දැවැන්ත ප්‍රශ්නයෙන් පීඩා විඳිති. සියලුම ආණ්ඩුවල ඡන්ද පොරොන්දුවල මෙකී නිවාස ප්‍රශ්නය විසඳීම ප්‍රමුඛ ස්ථානයේ ලා සළකා ඇතත්, 1980 දශකයේ කඩොල්කැලේ කොටසක් නිවාස සඳහා ලබාදීමෙන් පසුව, කිසිඳු ආණ්ඩුවක් නිවාස ප්‍රශ්නයට පිළියම් ලබාදීමට උත්සාහා නොගත්තේ යැයි, මීගමුව ජනතා ඒකාබද්ධ සංවිධානය චෝදනා කරයි. එමෙන්ම, ඔවුන්ගේ සංවිධානයේ හා ජනාවබෝධ කේන්ද්‍රයේ ප්‍රබල මැදිහත්වීම මත කඩොල්කැලේ නිවාස යෝජනා ක්‍රමය හැරුණු විට, මුන්නක්කරය අක්කර 5 නිවාස යෝජනා ක්‍රමය, මුන්නක්කරය නිවාස 64, මුන්නක්කරය මොනාකෝගම දෙවන අදියර සහ කිඹුලපිටිය පත්තායම්වත්ත යන නිවාස යෝජනාක්‍රම සංවිධානයක් ලෙස මැදිහත් වී දිනාගත් නිවාස වැඩසටහන් යැයි සඳහන් කරයි.

“මීගමුවට ඇවිත් අවුරුදු 15යි. දැන් ඉන්නේ පස්වෙනි ගෙදර. මීට කලින් හිටියේ අලියාපොල හරියේ ගෙදරක. අපි ඒ ගෙදර ඉන්නැද්දිම ගේ අයිති කෙනා තවත් කට්ටියකට ගේ විකුණලා. අපෙනුත් කුලී ගත්තා. අලුත් කට්ටිය ඇවිත් අපිට යන්න කියනකම් අපි දන්නෙ නැහැ, ගේ දෙන්න කියලා කරදර කළා. ගෙවල් වලට ඇඞ්වාන්ස් ඉල්ලන්නේ ලක්‍ෂය එකහාමාර. කුලිය දහදහායි , පහළොස්දාහයි. අපිට කොහෙන්ද ලක්‍ෂ ගණන් මුදල්. එහෙම දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් අපි වාසස්ථාන අහිමි කොටසට අයිති වෙනවා ද?” එසේ කීවේ මීගමුව මුන්නක්කරයේ කුරුස පල්ලිය පාරේ කුලී නිවෙසක ජීවත්වෙන සදායන් කුවේනි ය.

සදායන් කුවේනි සමඟ නිවස

කුවේනිගේ පවුලේ අය ජීවත්වන්නේ කළපුව ගොඩකර ලීවලින් සාදා ඇති පුංචි නිවෙසකය. ගෙහිමියා විසින් එම ගේ දෙකට බෙදා කුවේනිට සහ තවත් ද්‍රවිඩ පවුලකට කුලියට දී ඇත. කුවේනිගේ කොටසට මාසික කුලිය රුපියල් 5000.00 ක් වන අතර අනෙක් කොටසට රුපියල් 3000.00 ක් ය. එහෙත් ඇත්තේ එකම වැසිකිළියක් සහ සේදීමේ කටයුතු සඳහා ඉටිකොළ එල්ලා වටකර ඇති එක් කරාමයකි.

“එහා පැත්තේ කෑල්ලේ ඉන්නේ ශ්‍රී මහේෂ්වරි. එයාට බාබා ලැබුණා තාම දවස් 10 යි. පුංචි බබෙක් එක්ක මේ විදියට ඉන්න හරිම කරදරයි එයාට. නමුත් වෙන කරන්න දෙයක් නැති නිසා ඉවසගෙන ඉන්නවා. අපි හමෝම කරන්න දෙයක් නැති නිසා, අඩුපාඩු, අවශ්‍යතාවයන් ඉවසගෙන තමයි හැමදාම ජීවත් වෙන්නෙ.”යැයි කුවේනි කීවේය.

පිරිමි දරුවන් තිදෙනෙකුගේ මවක් වන කුවේනි, වයස අවුරුදු 30 ක දමිළ කාන්තාවකි. වැඩිමහල් පිරිමි දරුවන් දෙදෙනා මීගමුවේ ඇති එකම ද්‍රවිඩ පාසල වන විජේරත්නම් පාසලේ හත සහ පස්වන වසරවල අධ්‍යාපනය හදාරන නමුත් සිය බාල දරුවා පාසලට දමා ගැනීමේදි දැවැන්ත ගැටළුවකට මුහුණ දෙන්නට සිදුවනු ඇති බව ඇය කීවේය.

“අපි දෙමළ නිසා අපේ ළමයිව යවන්න වෙන්නේ දෙමළ ස්කොලෙකට. ඒත් මීගමුවෙ තියෙන්නෙ විජයරත්නම් දෙමළ ස්කෝලේ විතරයි. ඒ ස්කෝලෙත් දැන් ඇඞ්මිෂන් හරිම වැඩියි. රුපියල් 50,000.00 ඉල්ලනවා ළමයි ස්කෝලේ දාගන්න. එදා වේල හම්බකරගන්න අපි එච්චර මුදලක් කොහොම ගෙවන්න ද?” ඇය කීවේය.

මීගමුව මුන්නක්කරයේ වාසස්ථාන අහිමිවුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන සාන්ත අන්තෝනි වාසස්ථාන අහිමිවුවන්ගේ එකතුවේ සභාපතිනිය වන්නේ සදායන් කුවේනි ය. ලොරී රථයක තාවකාලික රියදුරෙකු සේ රැකියාවක් කරන සත්‍යශීලන් විග්නේෂ්වරන් කුවේනිගේ ස්වාමි පුරුෂයා වන අතර ඔවුන් ඇතුළු අනෙකුත් වාසස්ථාන අහිමි ජනතාව පෙළෙන ප්‍රශ්නය සම්බන්ධයෙන් සත්‍යශීලන් මෙවැනි අදහසක් පළ කළේය.

 

සත්‍යශීලන් විග්නේෂ්වරන්

“අපි ඡන්දෙ දීලා මන්ත්‍රිවරුන් පත්කර ගන්නේ ජනතාවට සේවයක් කරන්න. ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර සොයාගන්න. නමුත් එයාලා අපේ ඡන්ද වලින් දිනලා , බලයට පත්වුණාට පස්සේ සියලුම වරප්‍රසාද ලබාගන්නවා. ඕනැවටත් වඩා දේවල් හිමිකර ගන්නවා. අපිව , දුප්පත් මිනිස්සුන්ව අමතකකරලා දානවා. නමුත් ආණ්ඩුවේ ඉන්න අය දැනගන්න ඕනෙ අපේ සාධාරණ ඉල්ලීම් වලට කන්දෙන්න. අපි ඉල්ලන්නේ ඉන්න තැනක් විතරයි.”

එමෙන්ම ඔහු තවදුරටත් කියා සිටියේ, ජීවත් වීමට ස්ථානයක් ලැබී දරුවන්ට උගන්වා සමාජයට ද සේවයක් කරමින් ජීවත්වීම අරමුණු කරගෙන විටෙන් විට ඡන්දය භාවිතා කළ නමුත් වර්තමානයේ දී බලයට පත්වු කිසිම කෙනෙකුගෙන් තවමත් ඔවුනට සාධාරණයක් ඉටු වී නොමැති බවයි. “ඒ නිසා අපේ වටිනා ඡන්දයට තේරුමක් නැතිවෙලා ගිහිං.” යැයි සත්‍යශීලන් කළකිරීමෙන් යුතුව පැවසුවේය.
මේරි ඩිලානි ප්‍රනාන්දු මීගමුව සිරිවර්ධන පෙදෙසේ ශ්‍රි කුරුස වාසස්ථාන අහිමිවුවන්ගේ එකතුවේ සභාපතිනියයි. ස්වාමිපුරුෂයා මියගොස් ඇති අතර බීඩි එතීම සිය ජිවනෝපාය කරගත් ඇය විවාහක දියණියන් දෙදෙනෙකු හා එක් පිරිමි දරුවෙකුගේ මවකි. විවාහක දියණියන් දෙදෙනාගේ පවුල් සහ අවිවාහක පුතුනුවන් ද ඇය ද කුඩා දරුවන් ද ඇතුළු දස දෙනෙකු කාමර දෙකක් සහිත කුලී නිවසක ජීවත් වෙති. මාසික කුලිය රුපියල් දසදහසකි. පවුල් තුනම එකතු වී මාසික කුලිය ගෙවනු ලබයි.

“රෑට නිදාගන්නේ සාලේ, මේ මහ දොර ළඟ ඉඳලා පුටු පැත්තකට ඇඳලා දාලා පේලියට නිදා ගන්නවා. ඇඳුමක් මාරුකරන්න ගියත් අසීරුයි. කාමර දෙකේ දුවලා දෙන්නගේ පවුල්. මමයි පුතයි සාලේ තමා ඉන්නේ. අපේ ජීවිතේ හරිම කණගාටුදායකයි.” ඇය කීවේ ඉතාම දුක්බරවය.
මීගමුව මැද පිටිපන සහ දකුණු පිටිපන අතර පිහිටී මුහුදු තීරයේ තවත් පිරිසක් ජීවත් වෙති. ඒ, අනවසරයෙන් ජීවත්වෙන වෙරළේ ජීවිත කණ්ඩායම 1 සහ 2 ක ය. පවුල් ගණන 88කි. සියලුම දෙනා පිටිපන දේවස්ථානයට අයත් කතෝලික බැතිමතුන් ය. ඇතැමුන්ගේ ගේ දොරකඩත් තවත් කෙනෙකුගේ ගේ පිටුපසත් තෙරක් නොපෙනෙන මහ මුහුද ය. වෙරළ අයත් වන්නේ මුහුදට මිසි නිවාස ගොඩනැගිළි සාදන්නට නොවේය යන පණිවුඩය ලබාදෙමින් දැනට වෙරළේ සාදා ඇති අනවසර නිවාස ආශ්‍රිතව ම වෙරළ මුහුදට රැගෙන ගොස්ය. ජීවිතය කෙතරම් අවධානම් දැයි හොඳින් පෙනෙයි.

ඉන්ද්‍රාණි රසිකා, ඒ. පුෂ්පලතා සහ ඩබ්. බි්‍රජට්

එහෙත්, පිටිපන වෙරළ කන්ද වාසස්ථාන අහිමිවුවන්ගේ එකතුවේ, වෙරළේ ජීවිත කණ්ඩායම් අංක 1 හී , ඉන්ද්‍රාණි රසිකා, ඒ. පුෂ්පලතා සහ ඩබ්. බි්‍රජට් යන කාන්තාවන් පැවසුවේ “වෙන මොනවා කරන්නද මිස්. අපි වෙරළ අල්ලගත්තේ නැහැ. ඒත් වෙන යන්න තැනක් නැති නිසා තමයි මේ හැම කෙනෙක් ම ටිකෙන් ටික මේ ගෙවල් හදාගෙන තියෙන්නේ. වෙරළ සංරක්‍ෂණ මහත්තුරු අපිට උපදෙස් දීලා තියෙනවා කිසිම විදියකින් අපේ ගෙවල් එහෙම ගලෙන් බඳින්න එපා කියලා. ඒක තහනම්. නමුත් අපිට අයින් වෙන්න කියලා නැහැ. අපි කොහේ යන්නද?” ඔවුන් කීහ.

“අපේ දරුවන්ට නිතරම උපදෙස් දෙන්නේ හැකි තරම් ඉගෙන ගෙන මොනවා හෝ රැකියාවක් කරලා ඉන්න තැනක් අරගන්න උත්සාහා කරන්න කියලයි. අපේ දරුවන්ට දෙන්න අපි ලඟ වත්කමක් නැහැ. ජීවිතය ගැන දැඩි අවධානමක් ඇතිව තමයි, නැතිකමට අපි මේ වෙරළේ ජීවිතේ පටන් ගත්තේ.”

වසර 2025 දී සැමට සෙවනක් යන රජයේ නිවාස ඇමතිතුමාගේ නිවාස සංකල්පය තුළවත් මීගමුව වාසස්ථාන අහිමිවුවන් ගොණුවී ඇත්දැයි යන්න ප්‍රශ්නයකි. එහෙත්, මීගමුවේ වාසස්ථාන ප්‍රශ්නය කල්මැරිය නොයුතු, ක්‍ෂණිකව පියවර ගතයුතු දැවෙන අවශ්‍යතාවයක් යැයි වාසස්ථාන අහිමිවුවන් වෙනුවෙන් වසර ගණනාවක සිට ම හඩක් නගන මීගමුව ජනාවබෝධ කේන්ද්‍රයේ හිටපු පරිපාලන ලේකම් නිීතිඥ වින්සන්ට් බුලත්සිංහල මහතා අවධාරණය කරයි.

වාසස්ථාන අහිමි ජනතාව ගැලවෙන්න බැරි උගුලක පැටලී ඉන්නේ- වින්සන්ට් බුලත්සිිංහල

“ඇත්තෙන් ම වාසස්ථාන අහිමි ජනතාව ගැලවෙන්න බැරි උගුලක පැටලී ඉන්නේ. මිනිස්කමට නොගැලපෙන විධියේ තත්ත්වයකටයි මොවුන් තල්ලු වෙමින් පවතින්නෙ. දැනට කොහේ හෝ වහලක් යට මේ මිනිස්සු ජීවත්වෙනවා. නමුත් මේ තත්ත්වය වර්ධනය වුනොත් මේකට පිළියමක් නොලැබුණොත් මේ මිනිස්සු පාරට වැටෙනවා. ගෙවල්කුලි වැඩිවෙන වේගයයි, කුලියට හරි ගෙවල් සොයාගන්න තිබෙන අසීරුතාවයයි, ඒ කුලිය ගෙවාගන්න නොහැකියාවයි ඉතාම නරක විධියට මේ මනුෂ්‍යයින්ව තලා පෙලා දමනවා වගේම, ඒ නිසා ම වැඩිකල් යන්න ඉස්සරින් මේ මිනිස්සු පාරට වැටෙනවා. ඒ නිසා රජයේ වගකිව යුතු අංශවලින් මේ ගැන විශේෂ අවධානයක් යොමුකළ යුතුවෙනවා. මොකද, ලෝකයේ මේ වන විට විශේෂයෙන් ම නාගරික නිවාස ප්‍රශ්නය ගැන වැඩි අවධානයක් යොමුවෙලා තියෙනවා.

අපේ සමීක්‍ෂණයෙන් පෙන්නුම් කළා ඇතැම් පවුල් වලට එක් අවුරුද්දකදී දෙතුන් වතාවක් නිවාස මාරුකරන්න සිද්ධවෙනවා. මේ තත්ත්වයකෙතරම් මානසික පීඩාවක්ද? කෙතරම් අස්ථාවර බවක් ද ? ජර්මනියේ සිදුකළ එක් සමීක්‍ෂණයකින් පෙන්නුම්කරලා තියෙනවා නිවාස අහිමි අය විශාල වශයෙන් මානසීක ආබාධයන්ට ගොඳුරුවෙනවා කියලා. බොහෝ වෙලාවට කුලී නිවැසියන්ගේ මගුලක් අවමගුලක් ඒ අය ඉන්න ගෙදර සිදුකරන්න බැහැ. ඒවා වෙනත් තැනක තමයි පවත්වන්න ඕනේ. ස්ථිර ලිපිනයක් නැති ඒ නිසාම ළමයින් පාසැල් දා ගැනීමේදි ප්‍රශ්නවලට මුහුණ දීම , ඡන්ද අයිතිය නැතිවීම යනාදි මූලික ප්‍රශ්න ගණනාවක් මේ මිනිසුන්ව දැඩි මානසීක පීඩාවන්ට පත්කර තිබෙනවා.

“එක්සත් ජාතින්ගේ සමාජ ආර්ථීක සංස්කෘතික අයිතිවාසිකම් සම්බන්ධයෙන් කොමිසම නිතරම ආණ්ඩුවලට දන්වා සිටිනවා වාසස්ථාන සම්බන්ධයෙන් විශේෂ ප්‍රමුඛතාවක් දීලා මිනිස්සු වෙනුවෙන් වැඩපිළිවෙලක් හදන්න කියලා. ඒ වගේම බලහත්කාරයෙන් මිනිස්සුන්ව නිවෙස්වලින් නෙරපා හරින්න එපා කියනවා. නමුත් ඊට ලංකාවේ ප්‍රතිචාරය, වැඩපිළිවෙලක් හැදෙන්නෙත් නැහැ. නිවාස වලින් නෙරපා හැරීමත් සිදුවෙනවා. දැනට වසර පහකට පමණ පෙර මේ සම්බන්ධයෙන් අපි සිද්ධීන් ගණනාවක් නඩු වාර්තා මගින් ජීනිවා කොමිසමට ඉදිරිපත් කළ අවස්ථාවේදි ශ්‍රි ලංකා ආණ්ඩුව ප්‍රබල විවේචනයට ලක්වුණා. දැඩි නිර්දේශ ගණනාවක් ඉදිරිපත් වුණා.”

“ඒ නිසා ආණ්ඩුව මේ ප්‍රශ්නය විශේෂයෙන් නාගරික නිවාස ප්‍රශ්නය වහාම විසඳිය යුතු අත්‍යවශ්‍ය ප්‍රධාන ප්‍රශ්නයක් විධියට විශේෂ අවධානයක් යොමුකරන්න ඕනේ. ඒ වගේම ඒ සඳහා වැඩපිළිවෙලක් හදලා ප්‍රතිපාදන වෙන්කරන්න ඕනේ. මෙය ක්‍රියාත්මක කරන්නට වාසස්ථාන සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් එන්න ඕනේ. කෙටුම්පත් කරල හදපු ප්‍රතිපත්තියක් තියෙනවා නමුත් ඒ ප්‍රතිපත්තිය මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට බද්ද වෙන්නෙ නැහැ. අපේ රටේ මේ වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්මයා කරගෙන යන නිවාස යෝජනා ක්‍රම ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒවා බොහෝමයක් ග්‍රාමීය සහ තමන්ට විශේෂ ප්‍රයෝජන ලැබෙයි කියන ප්‍රදේශවල තමයි ක්‍රියාත්මක වෙන්නේ. 1985 පස්සේ මීගමුවට එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණේ නැහැ.”

මීගමුවේ නිවාස ප්‍රශ්නය විසඳන්නේ නම් මේ වන විටත් නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් කැබිනට් අනුමැතියක් පවා ලැබී ඇති , පොදු කටයුත්තක් වෙනුවෙන් වෙන්වුණු කඩොල්කැලෙන් අක්කර 08ක භූමීයක් තිබෙන බවත් කටාන ආසනයේ කදිරාන ප්‍රදේශයේ විදුලි සංදේශ ආයතනයට අයත් ඉඩමක් ද තිබෙන බවට තොරතුරු ලැබී ඇති බවත් වින්සන්ට් බුලත්සිංහල මහතා හෙළි කළේය. කෙදිනක හෝ වාසස්ථාන ලබාදීමේදි වාසස්ථාන අරගලයේ සක්‍රියව යෙදී සිටින මිනිසුනට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

බහුතරයක් කතෝලික ජනතාවක් වන මීගමුවේ මෙකී වාසස්ථාන අහිමි ජනතාවට නිවාස ඇමති තබා කොළඹ අගරදගුරු කාදිනල් හිමිපාණන්ව වත් මුණගැසී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලැබුණු බවත් , ඔවුන් දෙදෙනාව මුණ ගැසීමට දීර්ඝ කාලයක සිට අවස්ථා කිහිපයක් ම ඔවුන්ගේ කාර්යාලවලට ගිය ද පසුව දිනයක් දැනුම් දෙන්නම් යන පිළිතුර පමණක් ලැබී ඇති බවත් ඔහු කීවේය. එහෙත් මීගමුව දිසාවේ ගරු පියතුමන් මේ ප්‍රශ්නය ගැන දැක්වු අවධානය මිනිසුන්ගේ ප්‍රසාදයට ලක් වු බවත් ගරු පියතුමන් විසින් නිවාස ඇමතිවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කරන බවට ප්‍රකාශ කර ඇති බවත් බුලත්සිංහල මහතා කීවේය.

සමාජ සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියාත්මක වන මීගමුව ජනාවබෝධ කේන්ද්‍රයේ පූර්ණ මැදිහත් වීම තුළ , 2018 ඔක්තෝබර් මස පළමු දා ලෝක වාසස්ථාන දිනය සමරමින් මීගමුව ජනතා ඒකාබද්ධ සංවිධානය විසින් මීගමුව මහ නගර සභාවට සහ මධ්‍යම රජයට අවධාරණය කොට ඉල්ලා සිටියේ  මීගමුව වාසස්ථාන අහිමිවුවන්ගේ ප්‍රශ්ණය අඩු ආදායම් ලාබී ජනතාවගේ සැබෑ ප්‍රශ්ණයක් ලෙස පිළිගන්නා ලෙසත්, එමෙන්ම මෙම ප්‍රශ්ණය විසදීම සඳහා ප්‍රතිපත්තියක් සැලසුම් කොට නිවාස යෝජනා ක්‍රමයක් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට විශේෂ ප්‍රමුඛතාවයක් ලබාදෙන ලෙසත් , නගර සභාවට ඉඩම් හෝ අරමුදල් වැනි යම් ප්‍රතිපාදන හිගයක් ඇත්නම් මධ්‍යම ආණ්ඩුව සමග සාකච්ඡා පවත්වා අවශ්‍ය සම්පත් සොයා ගන්නා ලෙසත්ය.

මාසික කුලියක් ගෙවීම තබා “එදා වේල” ද අවිනිශ්චිත මොවුන් වෙනුවෙන්, ඔවුන්ගේ ම යැයි හිසට සෙවනක් ලබාදීම, අති දැවැන්ත මෙගා ප්‍රතිපත්ති සහා සංවර්ධන යෝජනා ක්‍රම , නිවාස සංකීර්ණ බිහිකරනා ආණ්ඩුවේ මෙන් ම පෞද්ගලීක අංශයේ ද බලධාරීන්ගේ වගකීමක් විය යුතුය. ඊට සමාන්තරව, මෙවැනි නිවාස ප්‍රශ්නයක් යළි යළි මතුවන්නට ඉඩ නොලැබෙන සේ නිවාස ප්‍රතිපත්තියක් ගෙන ඒම ද ආණ්ඩුවේ නිවාස ඇමතිගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉදිරියෙන් ම සටහන් විය යුතු එක් අත්‍යවශ්‍ය අවශ්‍යතාවයකි. එවිට, කුලියක් කර උපයාගන්නා කීයෙන් හෝ උයාගන්නා බත කන්නට දරු පැටවුන් හා කූඩුවන්නට තමන්ගේම යැයි හිසට සෙවනක් ලැබෙනු ඇත.

 

Back to Top