Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගඑක්නැළිගොඩලාගේ තාජුඩීන් කිෂෝගි – සුනන්ද දේශප්‍රිය

එක්නැළිගොඩලාගේ තාජුඩීන් කිෂෝගි – සුනන්ද දේශප්‍රිය

by

සවුදි ආරබි පුරවැසියකු වූ මාධ්‍යවේදී කිෂෝගි පසුගිය ඔක්තෝම්බර් දෙවැනිදා තුර්කි අගනුවර වන ඉස්තාන්බුල්හි සවුදි ආරබි තානාපති කාර්යාලයට ඇතුල් වූයේ සිය විවාහයට අවශ්‍ය ලියැවිලි ලබා ගැනීම සඳහා ය. එසේ නමුත් ඔහු නැවත තානාපති කාර්යාලයෙන් පණ පිටින් හෝ මළ සිරුරක් ලෙස හෝ ආපසු එළියට පැමිණියේ නැත.

හරියට සිය අද්භූත මිතුරකුගේ දුරකථන ඇමැතුමක් අනුව ඔහු හමුවීමට ගොස් කිසි දිනෙක ආපසු නොපැමිණි ප්‍රගීත් එක්නැළිගොඩ මෙන් ය. ඒ අද්භූත මිතුරා වනාහී මිතුරු වේශයෙන් පෙනී සිටි රාජ්‍ය ඔත්තුකරුවකු වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයකු බව අපි දැන් දනිමු.

ජමාල් අහමඩ් කිෂෝගි කලක් සවුදි රජපවුලට සමීපව සිටියේ ය. ඔහුගේ පියා සවුදි අරාබිය බිහිකළ අබ්දුල්ලාසිස් අල් සවුද් රජුගේ පුද්ගලික වෛද්‍යවරයා විය. එසේ වෙතත් දශක ගණනාවක් පුරා ජනමාධ්‍යවේදියකු ලෙස සිය සමාජයේ ඉදිරිගාමී අදහස් සඳහා තමා සංස්කරණය කළ විවිධ සවුදි අරාබි පුවත්පත්හි ඉඩ සැළසූ කිෂෝගි රජ පවුලේ උදහසට ලක්ව විය.

ඔහු සවුදි අරාබිය හැර පළා ගියේ මෙයට වසරකට පෙර 2017 සැප්තැම්බර් මාසයේ දී ය. අනතුරුව ඔහු ඇමෙරිකාවෙහි වොෂින්ටන් පෝස්ට් පුවත්පතට තීරු ලිපියක් ලිවීම ආරම්භ කළේ ය. සිය තිරුලිපිවල ඔහු සවුදි රජු සල්මාන්ද‍‍‍ රටෙහි සැබෑ පාලකයා වන ඔටුන්න හිමි මොහාමඩ් බින් සල්මාන්ද කුමරුද විවේචනයට ලක් කළේ ය.

සවුදි ආරබියෙහි පමණක් නොව මැද පෙරදිග රටවල ජනමාධ්‍ය නිදහස ඇති කිරීම වර්ථමානයෙහි මූලික අභියෝගයකැයි ඔහුගේ මරණයෙන් පසු පළ වූ අවසාන තීරු ලිපියෙහි කිෂෝගි ලියා තිබුණි. සවුදි අරාබිය වෙනත් අදහස්වලට සහ ආගම්වලට ගරු කරන රටක් බවට පත්විය යුතුයැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.

තුර්කි ජාතික හතීස් තෙන්ගීස් නම් කාන්තාවක සමඟ පෙමින් වෙලී සිටි ජමාල් කෂෝගිට සිය විවාහය සඳහා අවශ්‍ය ලියවිලි ලබා ගැනීමට ඔක්තෝබර් 02 දා දිනය දී තිබුණේ සවුදි තානාපති කාර්යාලය විසිනි.

හරියට වසීම් තාජුඩීන් සාදයකට කැඳවා මරණය කරා කැඳවාගෙන යෑමට රාජ්‍ය ඩිපෙන්ඩර් රථ සූදානම් කර තිබූ පරිදි කිෂෝගි තානාපති කාර්යාලයට ඇතුල්වීමට පෙරම රාජ්‍ය ගහලයින් පිරිසක් එහි පැමිණ සිටියහ.

තාජුඩීන්

ගහලයින් පැමිණ සිටියේ තාජුඩීන් ඝාතකයින් මෙන්ම රජ පවුලේ අනුහසිනි. එබැවින් කිසිවක් වරදින්නට ඉඩක් නැතැයි සිතා ඉන්නට ද ඇත. තාජුඩීන් ඝාතනය දා එය වසන් කිරීම බාරව සිටි නාරාහේන්පිට පොලීසියට රජපවුලෙන් එක පිට එක දුරකථන ඇමැතුම් ලද පරිද්දෙන්ම සවුදි රජ පවුලේ මොහමඩ් බින් සළාම් කුමරුගෙන්ද ඉස්තාන්බුල්හි සවුදි තානාපති කාර්යාලයට දුර කථන පණිවිඩ ගණනාවක්ම ඒ මාරක දිනයෙහි ආවේ ය.

කිෂෝගිගේ පෙම්වතිය තනාපති කාර්යාලය ඉදිරියට වී සිය පෙම්වතා ආපසු එන තුරු බලා සිටියා ය. ඔහුගේ පැමිණීම කල්පයක් තරම් සේ පමාවන විට බියපත් වූ ඇය බලධාරින්ට ඒ බව දැන්වූවා ය.

ඒ ජනවාරි 24 දින රැයෙහි සිය පුරුෂයා නිවසට නොපැමිණියෙන් භීතියට පත් සන්ධ්‍යා එක්නැළිගොඩ හෝමාගම පොලීසියට ගොස් පැමිණිල්ලක් දැමූ පරිද්දෙනි.

කිෂෝගි ඝාතකයෝ ඔහු කැබලි කර කපා දමනු වස් අස්ථි කපන වෝහාරික උපකරණයක්ද රැගෙන විත් තිබුණි. ඒ වෝහාරික විශේෂඥයකු ද සමඟය. මේ වෝහාරික විශේඥයා විනාඩි 07ක් තුල මිනිස් සිරුරක් කපා විච්ජේදනය කරන්නේ කෙසේදැයි විස්තර කරන ශ්‍රාස්ත්‍රීය ලියවිල්ලක කර්තෘ ද වෙයි.

හරියට තාජුඩීන් මැරෙන තුරු පහරදීමට අවශ්‍ය මාරක අවි රැගෙන ආ රාජ්‍ය ත්‍රස්තවාදීන් මෙනි. රජ කුමරුන්ට ද සම්බන්ධ එමෙන්ම ප්‍රසිද්ධ රගර් ක්‍රීඩකයකු ද වූ බැවින් වසීම් තාජුඩීන් අතුරුදහන් කළ හොත් එය සමාජයේ ප්‍රශ්ණයක් වීමට ඉඩ තිබූ බව දත් ගහලයෝ ඔහු ගිනිගෙන දැවී ගිය බව පෙනෙන රථයකට දැමූහ.

තානාපති කාර්යාලයට කිෂෝගි ඇතුලුවී පළමු විනාඩි 10 තුළ ඔහු මරා දමන ලදී. ඔහුගේ මර ලතෝනි වලින් තානාපති කාර්යාලය හෙල්ලුම් කෑවේ ය. කැබලිවලට කැපීමට පෙර අඩක් සිහිනැතිවන සේ පමණක් නිර්වින්දනය කරන ලද්දේ වේදනාව විදිනු දැකීමේ පළිගැනීමේ දුෂ්ඨ චේතනාව නිසා යයි කියනු ලැබේ.

1989 භීෂන සමයෙහි මහව පොලීසියට ගිය මහජන පක්ෂයේ එවකට නායකයාට ගඩාෆි නම් පොලිස් ලොක්කා කියා තිබුණේ ජවිපෙ සැකරුවන්ගේ හිස් කබල ගලවා මොළයට පැට්රල් දමා ගිනි තැබූ විට පිටවන මල්වෙඩි දැකීමට තමා කැමැති බවයි.

රාජ්‍ය වේවා නැතිව වේවා ආයුධ ගත් පළිගැනීමට කුරිරුකමේ සීමාවක් නැත.

තාජුඩීන් සහ ප්‍රගීත් කොතරම් වධ බන්ධනයන්ට ලක් කරන ලද්දේ දැයි දන්නේ කව්ද? රජ පවුල සහ ගහලයින් පමණක්ම විය හැකි ය. මාධ්‍යවේදී පෝද්දල ජයන්තගේ පාදයක් බිඳ හිසකේ කැවීමෙන් මෙන්ම කීත් නොයර්ට දුන් පහරදීම් මගින් එම වධ බන්ධනයන්හි රඟ සිතා ගත හැකි ය.

සවුදි ගහලයෝ ඝාතනයට එන විට කිෂෝගි මෙන් පෙනෙන ගහලයකුද කැඳවා ගෙන ආහ. කිෂෝගි තානාපති කාර්යාලයෙන් පිටතට පැමිණයේ යයි පෙන්වීම පිනිස එකී ගහලයා කිෂෝගිගේ ඇඳුම් ලාගෙන තානාපති කාර්යාලයේ රෑපවාහිනී කැමරාවන්හි පටිගත වනසේ එහි පිටිපස දොරකින් යන්නට ගියේ ය. මුස්තාපා අල් මදානි නම් මෙම පුද්ගලයා වෙනත් ඇදුම් ඇඳ තානාපති කාර්යාලයට ඇතුල්වන වීඩියෝවක්ද පසුව ඉස්තාන්බුල්හි පාරක් දිගේ කිෂෝගි ඇඳ සිටි ඇදුම් ඇද ගමන් කරන වීඩියෝවක් ද ප්‍රසිද්ධියට පත් විය. එනයින් ඒ බොරුව නොඉපදීම මරණයට පත්විය.

ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ඝාතනය කිරීමෙන් පසු ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සහභාගිවෙමින් රාජ්‍ය ස්තෝත්‍ර ගායකයකු කීවේ ඔහු ප්‍රංශයේ ජීවත් වන බව ය. ඒ එසේ මෙසේ ස්තෝත්‍ර ඝාතකයකු නොව පසුව මෙරට අගවිනිසුරු බවට පත් මොහාන් පීරිස් ය. එවැනිම තවත් ගහල හෙංචයියකු කීවේ ඔහු ජිනීවා පැමිණ සන්ධ්‍යා එක්නැළිගොඩ හමු වූ බවය. ප්‍රගීත් ඝාතනය කළ බවට දැන් මිනීමරු සහායකයින් පාපෝච්චාරණය කර තිබේ.

රාජ්‍ය මිනීමරුවෝ එකිනෙකාගෙන් ඉගෙන ගනිති.

කිෂෝගි

කිෂෝගි කපා කොටා ඝාතනය කළ සවුදි රජය දෙසතියක්ම මුඛවාඩම් බැඳගෙන සිට මෙසේ කීවේ ය: ‘ ජමාල් අහමඩ් කිෂෝගි තානාපති කාර්යලය තුල දී දබරවීමකින් මිය ගොස් තිබෙනවා. අපට කණගාටුයි.’

හරියට තාජුඩින් මිය ගියේ බීමත්ව රිය පදවා ගසක හැපී කාරය ගිනිගැනීමෙනැයි පොලීසිය සහ වෝහරික වෛද්‍ය විශේෂඥයින් රටට කීවා වැන්න. තවද වෙඩි උණ්ඩයක් සිරුරට ඇතුල් වූ හෝ පිට වූ සිදුරක් නැතිව තිබියදීත් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන ලද්දේ වෙඩි තැබීමකින් යැයි වෝහාරික වෛද්‍යවරයා ශපථ කළා වැන්න.

ඝාතකයෝ රජ පවුල්වල වුවත් කියන්නේම බොරු ය.

රජ පවුලේ ශරීරාක්ෂකයින් තාජුඩීන් හඹා ගිය බව කියනු ලැබේ. මන්ද යත් එතරම් විශ්වාසවත් වෙනත් අය නැති නිසා ය. කිෂෝගි ඝාතනයට ඉස්තාන්බුල් නුවරට පැමිණි රාජ්‍ය ගහල කණ්ඩායමෙහි සිටියකු සවුදි පාලක බින් සල්මාන් කුමරුගේ සමීපතම ශරීරාක්ෂකයකු බව ජායාරෑප මගින් හෙළිදරව් වී තිබේ.

ශ්‍රී ලංකාවෙහි දී ප්‍රගීත් එක්නැළිගොඩ සහ වසීම් තාජුඩින් ඝාතන රාජ්‍ය බල පෙරළියක සාධක බවට පත්විය. ඔවුන්ගේ පමණක් නොව එළෙස ඝාතනය කරන ලද සියළු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරන බවට ශපථ කර ජනාධිපති සහ අගමැති පුටුවේ වාඩිවූ සිරිසේන වික්‍රමසිංහ යුගලට දැන් ඒ ගැන කිසිදු මතකයක් නැත.

ඊට වෙනස්ව ජමාල් අහමඩ් කිෂෝගි ඝාතනය දැන් අන්තර් ජාතික බලපෑමක් ඇති කරන සාධකයක් බවට පත්ව තිබේ. සවුදි අරාබියෙහි මේ දිනවල පවත්නා අන්තර් ජාතික ආර්ථික සමුළුව විශාල ගණනාවක් බටහිර සමාගම් සහ රටවල් විසින් වර්ජනය කරන ලද්දේ එකී ඝාතනයේ සත්‍ය හෙළිදරව් කර අපරාධකරුවන්ට දඩුවම් දෙන ලෙස බල කිරීමක් ලෙස ය.

වෙනත් රටක තානාපති කාර්යාලයක් තුලදී මාධ්‍යවේදියකු ඝාතනය කරන ලද ප්‍රථම අවස්ථාව මෙය විය හැකිය. එමෙන්ම තානාපති කාර්යාලයක් තුල පණ පිටින් මිනිසකු කැබලවලට කපා එය රජපවුලට පෙන්වීම පිණිස රැගෙන යන ලද ප්‍රථම අවස්ථාවද මෙය විය හැකිය.

සවුදි අරාබිය තිරශ්චීන දඩුවම් සම්බන්ධයෙන් කුප්‍රසිද්ධියට පත් රටකි. තවමත් ගල් ගසා ස්ත්‍රීන් ඝාතනය කරන එකම රට එය විය හැකිය. එමෙන්ම එය විසින් ලෝකයෙහි පතුරුවා හරින වහාබි ඉස්ලාම් දහම අන්තවාදීය. අයිකයිඩා නායක බින් ලාඩන් මෙන්ම ම්ලේච්ච අයිසිස් උපත ද සවුදි අරාබියට සම්බන්ධ ය. එය යේමනයෙහි දැන් වසර ගණනාවක් පුරා ජන ඝාතක යුද්ධයක් කරගෙන යනු ලැබේ.

ඒ සියළු අපරාධ තිබියදීත් කිෂෝගි ඝාතනය දැන් සවුදි අරාබියෙහි සත්‍යට මුහුණ දිය යුතු අවස්ථාව බවට පැමිණ තිබේ. ඔහුගේ ඝාතනය සමබන්ධයෙන් ස්වාධීන අන්තර් ජාතික පරීක්ෂණයක් අවශ්‍යය යන මතය වඩා වඩා ශක්තිමත් වෙමින් තිබේ.

කිෂෝගි මරණයට පත් කරන ලද සවුදි ජාතිකයින් 18 දෙනා තුර්කියෙහි දී අධිකරණට මුහුණ දිය යුතු බව තුර්කි ජනාධිපති එර්දොගාන් ප්‍රකාශ කර ඇති අතර දබරයකදී කිෂෝගි මිය ගියේ ය යන මතය තමන් පිළිනොගන්නා බව  මාධ්‍ය විරෝධියකු වන ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පවා ප්‍රකාශ කර තිබේ.

කිෂෝගි 2018 වසරෙහි ඝාතනයට ලක් වූ 43 මාධ්‍යවේදියා ය. ලොවපුරා මාධ්‍යවේදීහු 155 දෙනෙක් සිරගතව සිටිති. කිෂෝගි 2018 වසරෙහි අවාසනයට ඝාතනය වූ මාධ්‍යවේදියා යැයි තවම කීමට අවාසනාවකට මෙන්, බැරිය.

මාධ්‍ය නිදහසේ සහ මාධ්‍යවේදී ආරක්ෂාවේ එක් වැදගත්ම පැතිමානයක් නම් මාධ්‍යට සහ මාධ්‍යවේදීනට එරෙහි ප්‍රහාරයන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමයි. ඒ අතින් නම් සිරිසේන වික්‍රමසිංහ සමස්තයක් වශයෙන් අසාර්ථකය. ජමාල් කිෂෝගිට යුක්තිය ඉටුු වුවද මෙරට දී නම් රාජ්‍ය ත්‍රස්තවාදී ඝාතනයන් සම්බන්ධයෙන් යුක්තියක් ඉටුවනු ඇතැයි යන්න දැන් එන්න එන්නම දේශපාලන මායාවක් බවට පත් වෙමින් තිබේ.

 

 

 

 

Back to Top