Sri Lanka Brief
පුවත්විවරණඇහැටුවැව අලි-මිනිස් ගැටුම: අලි වැටෙන් ආරක්‍ෂාව පන්සලට විතර ද? ගමට නැද්ද? – ධනුෂ්ක සිල්වා

ඇහැටුවැව අලි-මිනිස් ගැටුම: අලි වැටෙන් ආරක්‍ෂාව පන්සලට විතර ද? ගමට නැද්ද? – ධනුෂ්ක සිල්වා

by

ලෝකයේ වනජීවී සම්පත සංරක්‍ෂණය කරන රටවල් අතරින් ඉදිරියෙන්ම පසුවන රටකි ලංකාව. වනජීවී සම්පත් ගැන කෙරෙන කතාබහේදී ඉදිරියට එන මාතෘකා ගොනුව අතර “වන අලි” සුවිශේෂී මාතෘකාවකි. කලාපීය වන අලි (Elephant Maximus) හනයෙන් 10% ක් සංරක්‍ෂණය වන්නේ ශ්‍රී ලංකාවේ නිසා වන අලියාගේ පැවැත්මට අප රට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන බව සඳහන් කළ හැකියි

එහෙත් වන අලි ඝනත්වය හා මානව ජනගහනය අතර තුලිතතාවය ක්‍රමයෙන් බිඳවැටෙමින් තිබීම සහ තවත් අමතර කරුණු රාශියක ප්‍රතිඵලයක් ලෙස මෙරට අලිමිනිස් ගැටුමක් නිර්මාණය වී තිබේ. පසුගිය වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 107 ක අලිමිනිස් ගැටුම වර්ධනය වෙමින් පවතින බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තු වාර්තා හෙළිකරයි. ඒ අනුව වාර්ෂිකව මිනිස් ජීවිත 75-85 ක් වන අලි 170-190 ක් පමණ අකාලයේ අහිමි වන බව වාර්තා වේ.

ඓතිහාසික සාධක

අලිමිනිස් ගැටුමට හේතුසාධක විමර්ෂණයේ දී ඉදිරිපත් වන ප්‍රබල අදහසක් වන්නේ අලින්ගේ ස්වභාවික වාස භූමි හායනය හා ඊට සමානුපාතිකව මානව ජනගහනය වර්ධනය වීම මීට බලපා ඇති බවයි. මෙම අදහස තර්කයක් ලෙස ගතහොත් මුළු භූමි ප්‍රමාණයෙන් වැඩි කොටසක් ස්වභාවික වනාන්තර ලෙස පැවති හා අවම ජනගහනයක් පැවති අතීතයේ අලිමිනිස් ගැටුමක් පැවතිය නොහැක. එහෙත් මෙරට ඓතිහාසික තොරතුරු අධ්‍යයනයේ දී අලිමිනිස් ගැටුමේ ඓතිහාසික තත්වය ප්‍රමාණාත්මකව මැනගැනීමට උපකාරී වන බොහෝ කරුණු ලියා තැබීමට මෙරටට පැමිණි විදේශ ලේඛකයන් වැඩි උනන්දුවක් දක්වා තිබේ.

මීට ශතවර්ෂ තුනකට පමණ පෙර (1656 දී) මෙරටට පැමිණි ෆිලිප්ස් බැල්ඩියස් රෙපරමාදු දේවගැතිවරයා එවක මෙරට අලි ජනගහනය කොළඹගාල්ල දෙපස මාර්ගය දක්වා ව්‍යාප්තව තිබූ බව තහවුරු කරයි. සෑම වසරකම වන අලින් විසින් බොහෝ ජීවිත විනාශ කර මහත් අලාභ හානි කළ බව බැල්ඩියස්ගේ විස්තරයේ සඳහන් ය. ශ්‍රී ලංකාවේ වන අලි විත්ති ගවේෂකයෙකු වූ එමර්සන් ටෙනන්ට්ගේ The wild Elephant & The Methods of Capturing & Taming it in Ceylon  කෘතියේදී වානිජ වැවිලි කර්මාන්තයට ඇති බලවත්ම බාධකය වනඅලි බවත් එමනිසා වන අලි මරාදැමීමට ඕනෑම කෙනෙකුට අවසර පමණක් නොව ප්‍රසාද දීමනාවක් ද ගෙවූ බව සඳහන් කරයි. 1851-56 කාලයේ දී ඒ අවසරයෙන් ගාල්ල සිට හම්බන්තොට දක්වා ප්‍රදේශයේ අලි 2000 ක් ඝාතනය කළ බව සඳහන් කරයි. මීට අමතරව, අතීත ලාංකික ජන සමාජයේ සිරිත් විරිත් හා ස්වභාව සම්පත් අළලා ලියවුණු අතිශය නිවැරදි විස්තරාත්මක වාර්තාවක් ලෙස සැළකිය හැකි රොබර්ට් නොක්ස්ගෙ An Historical Relations of the Island Ceylon in the East Indies (1681) කෘතියෙන් ගම්වැසියන් හා වන අලින් අතර නිතර ගැටුම් ඇතිවන බව සඳහන් කරයි.

ඉහත ඉතිහාසය සාධකවලින් හෙළිවන්නේ වන ඝනත්වය හා මානව ජනගහනය අතර තුලිතතාවය බැඳවැටීම අලිමිනිස් ගැටුමට බලපා ඇති එකම හේතුව නොවන බවයි. වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මෑතකදී නිකුත් කළ Multi Disciplinary Approaches to control the Human-Elephant Conflict in Sri Lanka  වාර්තාව වනඅලින්ගේ නිවාස පරාසයන් ඛණ්ඩනය වීම, නිශ්චිත භූමි පරිභෝජන සැළසුම් නොමැතිකම, සංවර්ධන යෝජනා වලදී හඳුනාගත් වන අලි සංරක්‍ෂණ උපාය මාර්ග නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හා ජනතා සහයෝගය ප්‍රමාණවත් නොවීම ආදී අමතර කරුණු රැසක් ද මෙරට අලිමිනිස් ගැටුමට බලපා ඇති මූලික හේතුසාධක ලෙස හඳුනාගනී.

ඇහැටුවැව ගැටුම

දළදා පෙරහැර හා කතරගම දේවාළ පෙරහැර සංස්කෘතිය නිසා මෙරට නගර කේන්ද්‍රීය මැද පංතියට වාර්ෂිකව ඔවුන් ලබන සංස්කෘතික වින්දනයේ ප්‍රමාණයට අලිඇත් කතිකාව උත්කර්ෂයට නැගීමට හැකියාව තිබේ. එහෙත් මෙරට ප්‍රත්‍යන්ත ප්‍රදේශවල වෙසෙන ජනයාට එම වින්දනයට ඇති අයිතිය නිරුත්සාහකවම අහිමි වී තිබෙන්නේ අලිඇතුන් ගැන ‘මරණීය අවධානමක්’ මිස අන් යමක් ඔවුන්ගේ දෛනික ජීවිත තුළ ශේෂමාන වී නොමැති නිසයි.

වයඹ පළාතේ ඇහැටුවැව හා ගල්ගමුව ප්‍රාාදේශීය ලේකම් කොට්ඨාස මෙරට අලිමිනිස් ගැටුමට නිරන්තරව මැදිවන ප්‍රදේශයකි. මේ ප්‍රදේශවල ජනතාව ද ඉහත කී සංස්කෘතික අයිතිය වාර්ෂිකව අහිමි වී ඇති අතර ඊට අමතරව අලිඇතුන් ගැන මරණීය අවධානම ඔවුන්ගේ දෛනික ජීවිතවල පංගුවක් වී හමාර ය.

විදුලි වැට ස්ථාපිත කිරීම ලංකාවේ වන අලි ගැටුම පාලනයට යොදාගන්නා ප්‍රධාන ක්‍රමවේදයයි. එහෙත් නිසි අධ්‍යයනයකින් තොරව ඇතැමුන්ගේ පෞද්ගලික වුවමනාවන් සපුරාගැනීමට අලිවැට ඉදිකිරීම ගැටුම උග්‍ර කරන බව හඳුනාගෙන තිබේ. මේ කියූ ආකාරයෙන්ම පෞද්ගලික උවමනාවන් පිරිමසාගැනීමට ඇහැටුවැව නාකොළගනේ රජමහා විහාරාධිපති හිමිනම තවත් පෞද්ගලික සමාගමක අනුග්‍රහයෙන් ඉදිකළ විදුලි වැටක් නිසා නාකොළගනේ, ඇහැටුවැව හා ගල්ගමුව අවට ප්‍රදේශවල ජනතාවට එතෙක් කලක් අලිඇතුන් නිසා දැනෙමින් තිබූ මරණීය අවධානම තවත් තීව්‍ර වෙමින් තිබෙනවා.

2008 අංක 1553 දරණ ගැසට් පත්‍රය (2008. 06. 06 දින නිකුත් කරන ලද) මගින් නාකොළගනේ පුරාණ රජමහා විහාරය කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති විහාරස්ථානයක් ලෙස නම්කරනවා. විහාරාධිපති හිමියන් අලි වැට ඉදිකරන්නේ තමන්වහන්සේ වැඩවසන විහාරස්ථානය ආරක්‍ෂා කරගැනීමට බව බැලූ බැල්මට කෙනෙකුට හැඟී ගියත් එය සත්‍යය අරමුණ නොවේ. සත්‍ය අරමුණ නම් විහාරයට යාව ඇති කැලෑබද ප්‍රදේශයෙන් අක්කර 20ක් පමණ මුළුමනින්ම හෙළිකර වගාකර ඇති “අඹ වගාව” අලින්ගෙන් බේරා ගැනීමටයි. සරලවම කිවහොත් අනාගතයේ ලබාගත හැකි ආර්ථික ප්‍රතිලාභ ඉලක්ක කරගෙන මේ සා විශාල වනාන්තර හෙළිකිරීමක් කර තවත් අමතර ගැටලු රැසක අවට ගම්වැසියන් පටලැවීමයි.

ඇහැටුවැව සැළකෙන්නේ සාපේක්‍ෂ වශයෙන් ලංකාවේ වැඩි වන අලි ඝනත්වයක් සහිත ප්‍රදේශයක් ලෙසයි. වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තු වාර්තා (Multi-Disciplinary Approaches to control the Human- Elephant Conflict in Sri Lanka) සඳහන් කරන්නේ 200 ක් පමණ වන අලි ආහාර අවශ්‍යතා සඳහා දෛනිකව ප්‍රදේශයට යාව ඇති වනාන්තරයේ සැරිසරන බවයි. පලුකඩවල හා අතරගල්ලේ වැව් දෙකත් මෙම ප්‍රදේශයට මායිම්ව ඇති නිසා වන අලින්ගේ නිවාස හා ආහාර පරාසයක් ලෙස සැළකිය හැකියි. හෙළිකර ඇති ප්‍රදේශය ඝන ශාක වැස්මක් තිබූ ස්වභාව සෞන්දර්යයෙන් අනූන ප්‍රදේශයක් නිසා එහි සුන්දරත්වයේ මිහිරියාව අද වන විට කෘත්‍රීම අඹ වගාවකට යටකර තිබේ. ඇහැටුවැව ජල මූලාශ්‍ර හිඟ ප්‍රදේශයක් ද නිසා මේ වන විනාශයේ බලපෑමෙන් ගෘහාශ්‍රිත ජල මූලාශ්‍ර හිඳීයාමේ අවධානමක්ද මතුවිය හැකියග එමනිසා කුමන පරමාර්ථයකින් හෝ මෙවැනි ප්‍රදේශයකින් අක්කර විස්සක තරම් විශාල පංගුවක් හෙළිකිරීම යනු අලිමිනිස් ගැටුම උග්‍රකිරීමක් මෙන්ම අලින්ගේත් මිනිසුන්ගේත් ජීවිත මරණීය අවධානම වෙන තවත් ළං කිරීමක් ලෙස සඳහන් කළ යුතුය.

මෙම ගැටලුවට මැදි වූ ප්‍රදේශයේ වනඅලි ඝනත්වය හා දෛනික හැසිරීම නිරීක්‍ෂණය කර පරිසර සංරක්‍ෂණ හා පර්යේෂණ කේන්ද්‍රයේ සභාපති ආචාර්ය ප්‍රථිවිරාජ් ප්‍රනාන්දු සකස් කළ Elephant Use of the Nakolagane Area and Impact of large-scale Land Clearance" වාර්තාව සඳහන් කරන ආකාරයට මෙම ප්‍රදේශයේ වනඅලි ඝනත්වය හා ඔවුන්ගේ ආහාර අවශ්‍යතා සමග සැසඳීමේ දී මේ සා විශාල භූමිභාගයක් හෙළිකිරීමෙන් ඍජුවම වනඅලින්ගේ ස්වභාවික ආහාර චර්යාවේ වෙනස්කම් ඇතිවීමටත් වනඅලින්ගේ වාර්ෂික සංචරණ රටා වෙනස් වීම හා අලින් අවට ගම් වැදීමෙන් බරපතල අලි මිනිස් ගැටුමක පෙරලකුණු පහළ වී ඇති බවයි. 

මේ වන විට වනජීවී සංරක්ෂණ දෙපාරතමේන්තුවේ උපදෙස් මත අදාළ ප්‍රදේශය ආවරණය කර අලි වැට ඉදිකර ඇතත් එය නඩත්තු කිරීමේ වගකීම ගම්වාසීන්ට පැවරී තිබේ. ප්‍රදේශයේ ජනතාවගේ බහුතරය කෘෂිකර්මාන්තය ජීවිකාව කරගත් අඩු ආදායම්ලාභීන්ය. එහෙයින් කැත්ත උදැල්ල ජීවිකාව කරගෙන එදාවේල සරිකරගැනීමේ ජීවන අරගලයක නිරතවන ගම්වාසීන්ගෙන් අලි වැටක් නඩත්තු කරගෙන ජීවිත හා දේපළ රැකගැනීමටත් හැකියැයි කාට නම් නිගමනය කළ හැකි ද?

නීතියෙන් ඔබ්බට 

ඇහැටුවැව පරිසර සුරුකුම් එකමුතුවේ ලේකම් විජේ කුමාරපල මහතා 2016.12.21 දින මේ වන විනාසයේ නීතිමය තත්වය පැහැදිලි කර ගැනීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමුකරයි. ඊට ලැබෙන පිළිතුරු ලිපියෙන් ප්‍රශ්නගත වන හෙලිකිරීමට කිසිඳු නීතිමය පදනමක් නැතිබවත් එවැනි වන හෙළිකිරීමක් කර විදූලි වැටක්ද ඉදිකිරීම යනු නිසැකවම අලි මිනිස් ගැටුම උග්‍ර කිරීමක් බව සදහන් කරනව. ඒ අනූව සීමාසහිත පාරිසරික පදනමේ හා ගැටලුවට මැදිව සිටින ගම්වාසීන්ගෙන් සමන්විත පරිසර සුරැකුම් එකමුතුව සංවිධානයේ මැදිහත් වීමෙන් නාකොළගනේ විහාරාධිපති හිමියන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය ප්‍රශ්න කිරීමට ලක්කර ගරුඅභියාචනාධිකරණය වෙත රීට් පෙත්සම් අයැදුම් පත්‍රයක් (CA (Writ) No 243/ 2017) ඉදිරිපත් කෙරිණි.

කෙසේ වෙතත් අභියාචනාධිකරණය විසින් මෙම නඩුවේ නොතීසි නිකුත් කිරිම ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙන් සීමාසහිත පාරිසරික පදනම ඇතුලු පෙත්සම්කරුවන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අවසර අයැදීමේ විශේෂ පෙත්සම් අයදුම්පතක් (SC (SPL) LA 289/ 2017) ගොනු කරන අතර 2018 අගෝස්තු 01 වන දින මෙම නඩුව විමසීමෙන් අනතුරුව නඩුව නැවත විභාග කරන මෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණය වෙත නියෝග කර තිබේ. එමගින් නුදුරේදී ඇතිවිය හැකි විශාල විනාශයක කළල අවස්ථාවන් විනාශ කිරීමට නීති ක්‍ෂේත්‍රයේ ද අවධානය යොමුවීම සාධනිය තත්වයක් ලෙස සැළකීම වටී.
ජාත්‍යන්තර පරිසර නීතිය අරුත්ගන්වන ආකාරයට වනාන්තර පෙදෙසක් හෙළිකිරීම මතු නොව ස්වභාව සෞන්දර්ය අනූන භූමි ප්‍රදේශයක් හෙළිකර කෘතිම අඹ වගාවකින් පාරිසරික තුලිතතාවය වෙනස් කිරීම ද වන විනාශයක් සේ මෙහිදී සැළකිය යුතුයි. ඒ අනුව විහාරාධිපති හිමියන්ගේ ක්‍රියාකලාපය අත්තනෝමතිකත්වයට ලංවනවා පමණක් නොව ජාතික පරිසර පනත, වන සත්ව හා වෘක්‍ෂලතා ආඥාපනත, පුරාවිද්‍යා ආඥා පනත හා විහාරදේවාලගම් පනත දක්වා ඇති නීති ප්‍රතිපාදන නොසළකාහැරීමක් ද වේ.

මෙහිදී තමන්ගේ පටු ආර්ථික උවමනා සපුරාගැනීමට යාමෙන් විහාරාධිපති හිමියන් ස්ව පෞද්ගලික ලැදියාවන් හා ඇහැටුවැව සාමාන්‍ය ජන ජීවිතයේ මූලික අවශ්‍යතා අතර ගැටුමක් නිර්මාණය කර ඇති බව පැහැදිලියි.මෙවැනි ප්‍රශ්නගත ක්‍රියාවක අනාගත විපාක දකින්නට වක්තෲවර සුදූසුකම් අවශ්‍ය නොවුනත් සම්මා දෘෂ්ටියක අවම සුදූසුකම සපුරන්නට නාකොලගනේ විහාරාධිපති හිමියන්ට හැකියාව තිබිය යුතුවිය. ඒ හැර ස්වභාව ධර්මය හා ස්වභාවික සම්පත් රැකගැනීම අප සැමවෙත පැවරෙන ව්‍යවස්ථානුකූල යුතුකමක්ද වන නිසා මෙම ප්‍රශ්නය දෙස වඩාත් විමර්ශනශීලී වීමත් වැදගත්.

Back to Top