Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගඅලුත්ම කුමන්ත්‍රණය ජනපති ඝාතන හෝඩුවාව යට ගැසීම ද? – සුනිල් ජයසේකර

අලුත්ම කුමන්ත්‍රණය ජනපති ඝාතන හෝඩුවාව යට ගැසීම ද? – සුනිල් ජයසේකර

by

දේශපාලන කුමන්ත්‍රණ හා ඝාතන අතින් සලකා බැලීමේදී දකුණු ආසියාවේ බොහෝ රටවලට වඩා ශ්‍රී ලංකාව තරමක් වාසනාවන්ත ය. එහෙත් ඒ නිසාම එවැනි දුෂ්ට හා සාහසිකත්වයකින් තොරව පැවති රටක් ලෙසට ද අප රටට සාඩම්බර විය නොහැකිය. නිදහසින් පසු එවැනි දේශපාලන ඝාතන ගණනාවකට ද එවැනි දේ සඳහා සැලසුම් කරන ලද කුමන්ත්‍රණ කිහිපයකට ද රටක් ලෙස අප මුහුණ දී තිබීම ඊට හේතුවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණකාරී සැලැස්මක් පැවතී බවට තොරතුරක් හෙළි වීම කිසිසේත්ම නොතකා හැරිය නොහැකි කරුණක් වන්නේ ඒ අනුවයි. එවැනි කුමන්ත්‍රණයක් පිළිබඳ ප්‍රථමයෙන්ම රටට තොරතුරු හෙළිදරව් කරන ලද්දේ දූෂණ විරෝධී බළකාය නම් සංවිධානයක විධායක අධ්‍යක්ෂවරයා යැ යි හඳුන්වා ගන්නා නාමල් කුමාර නමැති පුද්ගලයෙකු විසිනි. අදාළ පුද්ගලයා රටේ පොලිස්පතිවරයා ද ඇතුළු ඉහළම මට්ටමේ පොලිස් නිලධාරීන් ද ඇසුරු කර ඇති පුද්ගලයෙකු වන අතර ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ දීමනා ලබන පොලිස් ඔත්තුකරුවෙකු ලෙසට ද හඳුනාගැනීමට ප්‍රමාණවත් කරුණු තිබේ. ඔහුගේ පෞද්ගලික පසුබිම, රටේ පොලිස්පතිවරයා ද ඇතුළු ඉහළම නිලධාරීන් සමග පැවැති ඔහුගේ සබඳතා සළකා ඔහු වැන්නෙකු ප්‍රසිද්ධියේම සිදුකළ මේ හෙළිදරව්ව පිළිබඳ නියත වශයෙන්ම විධිමත් පරීක්ෂාවකට ලක්කළ යුතුව තිබේ. එමෙන්ම ඔහුගේ හෙළිදරව්ව අනුව ඝාතනය කිරීමට සැලසුම් කර ඇත්තේ මේ රටේ රාජ්‍ය නායකයා ය. ඊට අමතරව හිටපු ආරක්ෂක ලේකම්වරයා ද ඝාතනය කිරීමට සූදානමක් තිබූ බව ද කියැවේ. ඒ අනුව ඕනෑම අපරාධ සැලසුමක් පිළිබඳව සිදුකරන පරීක්ෂණ කටයුත්තකට වඩා සුවිශේෂි අවධානයකින් යුක්තව ඊට ප්‍රමුඛත්වයක් ලබාදෙමින් මේ පිළිබඳව විමර්ශනය කිරීම ජාතික වගකීමක් වේ. එහෙත් අද වනවිට ද එවැනි ප්‍රමුඛත්වයක් ලබාදෙමින් එකී පරීක්ෂණ සිදුවන ආකාරයක් දක්නට තිබේ ද?

ප්‍රශ්නය ඇත්තේ එතැනය.

සැකකාර ඩීඅයිජී නිදැල්ලේ

වාර්තා වන ආකාරයට මේ වනවිට ශ්‍රී ලංකාවේ රහස් පොලිසිය මේ පිළිබඳව සිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. ඒ අනුව අදාළ හෙළිදරව්ව කරන ලද නාමල් කුමාරගෙන් මෙන්ම ජනාධිපති ඝාතන සැලසුමේ කේන්ද්‍රීය චරිතයක් ලෙස නාමල් කුමාර විසින් හඳුන්වා දී ඇති ශ්‍රී ලංකා පොලිසියේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ හා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන නාලක සිල්වා මහතාගෙන් ද කටඋත්තර ලබාගෙන තිබේ. එමෙන්ම මෙම ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව කරුණු සනාථ කරගැනීම සඳහා ප්‍රබල සාක්ෂියක් කරගත හැකි නාමල් කුමාර සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා අතර සිදුවී ඇතැයි කියන දුරකථන සංවාද ඇතුළත් හඬපටය ව්‍යාජ එකක් නොවන බවට රජයේ රස පරීක්ෂකවරයා සනාථ කර ඇති බවට ද තොරතුරු තිබේ. වාර්තා වන අන්දමට ඒ සියල්ල පිළිබඳව රහස් පොලිසිය විසින් අධිකරණයට වාර්තා කර ඇත. එමෙන්ම මේ සිදුවීම හා ඈදුණ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු හෝ ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සඳහා වලංගු බලපත්‍රයක් නොමැති ඉන්දීය ජාතිකයෙකු ද අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ තබා තිබේ. ඒ අනුව බැලූ බැල්මට රහස් පොලිසිය තම පරීක්ෂණ කටයුතු විධිමත් ආකාරයට සිදුකරමින් සිටින්නේ යැයි සැලකිය හැකිය.

බණ්ඩාරනායක ඝාතනය

එහෙත් ඒ පිළිබඳව ඉන් සෑහිමකට පත්විය නොහැකි කරුණු ගණනාවක් ද තිබේ. ඉන් පළමුවැන්න රටේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීම සඳහා වන සැලසුමක් හෙළිදරව් වී ඇති තත්වයක් තුළ රටේ දේශපාලන නායකත්වය ඒ සඳහා ප්‍රමාණවත් අවධානයක් හෝ දැක්විය යුතු ප්‍රමුඛත්වයක් ලබා නොදීම ඉන් පළමුවැන්නය. ඒ සමඟ ඇතැම් දේශපාලනඥයන් එකී පරීක්ෂණ කටයුතුවලට බාධා වන අන්දමට හා ප්‍රශ්නය හෑල්ලු කරමින් ප්‍රසිද්ධියේම අදහස් දැක්වීම ඒ සඳහා දැක්විය හැකි දෙවන කාරණයයි. එමෙන්ම මෙම සිදුවීමට අදාළව සෘජුවම චෝදනා එල්ල වී ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහු අනුයුක්ත කර සිටි ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවත් කර පසුව ඔහුගේ වැඩ තහනම් කර ඇතත් මේ දක්වාම ඔහු අත්අඩංගුවට පත් නොවීම ද ප්‍රශ්න සහගතය. ඒ සියල්ලටම අමතරව රටේ පොලිස්පතිවරයා පිළිබඳව මේ වනවිට පැන නැගී ඇති ප්‍රශ්න සහගත තත්ත්වය තුළ පවා ඔහුගේ ආරක්ෂාව හා පැවැත්ම සහතික කිරීම සඳහා ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන්ම ලබා දෙන සෘජු හා වක්‍ර සහය ද කිසිසේත්ම නොසලකා සිටිය නොහැකි තරම්ය.

ඒ අනුව අප මේ ප්‍රශ්නය බැරැරුම් ලෙස සලකා බැලිය යුත්තේ අප රටේ අතීත අත්දැකීම් ද සළකා බලමිනි. ශ්‍රී ලංකාවට අදාළව සලකා බැලීමේදී නිදහසින් පසු ප්‍රථම දේශපාලන ඝාතනය සිදුවන්නේ 1959 වසරේදී ය. ඒ එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වූ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා සාහසික ලෙෂ වෙඩි තබා මරා දැමීම මගිනි. වාර්තා වන අන්දමට එය දේශපාලන බලය අත්පත් කරගැනීම සඳහා සිදුකර ඇති ඝාතනයක් ලෙස සැලකිය නොහැකි වෙතත් ආර්ථික බල අරගලයක අතු ඉති ඒ තුළ මැනවින් දැකගත හැකිය. අනෙක් අතට එකී ඝාතනයට සෘජුවම මෙන්ම අනියමින් දායකත්වය දක්වා ඇති පිරිස අතර බණ්ඩාරනායක රජයේම සෞඛ්‍ය ඇමතිවරිය ඇතුළු රජය හා සමීප සම්බන්ධතා පැවැත්වූ ප්‍රබලයන් ගණනාවක්ම ඇතුළත්ව සිටි බව ඉතා පැහැදිලිය. එකී ඝාතනයට පූර්වයෙන් එවැනි සැලැස්මක් පිළිබඳව හෙළිදරව් කරගැනීමට හෝ හෙළිදරව් වීමට ඉඩකඩක් නොලැබීම තුළ ඝාතකයන්ට සිය අභිප්‍රාය සපුරා ගැනීමට හැකිවිය.

1962 කුමන්ත්‍රණය

ඉන් පසුව රට තුළ බරපතළ දේශපාලන කුමන්ත්‍රණයකට අර අදින්නේ 1962 වසරේදී ය. ඒ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට ය. ඒ තුළ රටේ අග්‍රාමාත්‍යවරිය හෝ කැබිනට් මණ්ඩල සාමාජිකයින් ඝාතන කිරීම සඳහා සැලැස්මක් තිබුණේ ද යන්න පැහැදිලි නැතත් නිසැක වශයෙන්ම ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන රාජ්‍ය බලය පැහැර ගැනීම සඳහා සැලසුමක් තිබූ බව ඉතා පැහැදිළිය. අද තත්වයට අදාළව එම කරුණ සැලකිල්ලට ගැනීමේදී වැදගත් වන ප්‍රමුඛම කාරණය වන්නේ අදාළ කුමන්ත්‍රණ සැලැස්ම හෙළිදරව් වූ මොහොතේදීම ඒ පිළිබඳව ක්ෂණිකව ක්‍රියාත්මක වීමට රජය මැදිහත් වීම නිසා අදාළ කුමන්ත්‍රණය ව්‍යාර්ථ කිරීමට හැකි වූවාක් මෙන්ම කුමන්ත්‍රණ කරුවන් කල් නොයවා අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ගයන්ට යොමුකිරීම සඳහා හැකියාව ලැබුණ බව තේරුම් ගැනීමය. එය ඉබේ සිදුවූවක් නොවේ. එමෙන්ම සාමාන්‍ය අපරාධයකදී මෙන් රටේ නීතිය හා සාමය පවත්වාගෙන යන ආයතනවලට එම කාර්යය ඉටුකිරීම සඳහා ඉඩ ලබාදෙන ප්‍රතිපත්තියක් තුළ එකී විමර්ශන සිදුකිරීමට ඉඩ හැරියේ නම් ඇතැම්විට අත්වීමට තිබූ ප්‍රතිඵලය බොහෝ සේ වෙනස්වීමට ඉඩ තිබිණි. වාර්තා වන අන්දමට 1962 කුමන්ත්‍රන සැලැසුම හෙළිදරව් වීමත් සමග ඒ පිළිබඳව විමර්ශනය මෙහෙයවීමට නායකත්වය ගෙන කටයුතු කර ඇත්තේ දේශපාලන අධිකාරිය විසිනි. එහිදී හෙළිදරව් කරගත් තොරතුරුවලට අනුව අදාළ කුමන්ත්‍රණය සිදුකිරීමට නියමිතව තිබී ඇත්තේ 1962 ජනවාරි මස 27 වන දිනයේදී ය. එදිනම සවස් වනවිට කුමන්ත්‍රණය පිළිබඳ විමර්ශන ආරම්භ වී ඇති අතර කුමන්ත්‍රණකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම ද ඒ සමඟම සිදුව තිබේ.

මේ පිළිබඳව එවකට පැවති ආණ්ඩුව අනුගමනය කරන ලද පිළිවෙත පිළිබඳව පැහැදිළි අදහසක් ඇතිකරගැනීම සඳහා 1962 පෙබරවාරි මස 13 වන දා එවකට මුදල් අමාත්‍යවරයා වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේ දී සිදුකර ඇති ප්‍රකාශය ඉවහල් කරගත හැකිය. ”කුමන්ත්‍රණයේ වැදගත්කමත්, රජය පෙරළීම සඳහා තවදුරටත් කරනු ලැබිය හැකි ප්‍රයත්නයන් වැළැක්වීමට හැකිවන පරිද්දෙන් කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ හදිසි අවශ්‍යතාවයන් හේතුකොටගෙන සියලු විමර්ශන මෙහෙයවීමේත්, පාලනය කිරීමේත් කාර්යය අමාත්‍ය මණ්ඩලය සතු වියයුතු යැයි තීරණය කරනු ලැබීය. මුල් අවස්ථාවේ ප්‍රධාන සැකකරුවන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වූ නිසාත් ඉන් එක් තැනැත්තෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහෝදරයකු වූ නිසාත් පොලිස්පතිවරයාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාත් (අපරාධ පරීක්ෂණ) එම තීරණය කැමැත්තෙන් පිළිගත්හ“

ඒදා උනන්දුව අද නැත්තේ ඇයි?

ඒ අනුව ඉතා පැහැදිලි වන්නේ එවකට පැවති රජය, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ හෝඩුවාවක් පිළිබඳව ප්‍රකාශිත එක් තොරතුරක් කොතරම් වගකීමකින් යුක්තව ගෙන කටයුතු කළේ ද යන්නය. ඒ අනුව ඉහළම ප්‍රමුඛත්වයක් ලබාදෙමින් අදාළ විමර්ශන කඩිනමින් ආරම්භ කර තිබේද යන්නය. ඒ සියල්ලටම අමතරව අදාළ පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා බැඳී සිටින පොලිසිය වෙත පමණක් එම කටයුත්ත බාරදෙමින් රජය අත පය හකළාගෙන නොසිට ඊට නායකත්වය ලබාදෙමින් කටයුතු කිරීමය. එහෙත් රටේ රාජ්‍ය නායකයා ද හිටපු ආරක්ෂක ලේකම්වරයා ද ඝාතනය කිරීම සඳහා සැලසුමක් තිබුණේ යැයි ප්‍රසිද්ධියේ අනාවරණය වී ඇති පසුබිමක වර්තමාන රජය අනුගමනය කරමින් සිටින පිළිවෙත කෙබඳු ද. මෙය කිසිසේත්ම නොසලකා සිටිය හැකි තත්වයක් නොවේ.

පොලිස්පති ගැන පිළිවෙත සැක උපදවයි

විශේෂයෙන්ම රජයට සම්බන්ධ මැතිඇමතිවරුන් පවා රටේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටින ලිහිල් පිළිවෙත මෙන්ම හෙළිදරව් වී ඇති කුමන්ත්‍රණ සැලසුම පිළිබඳව සරල හා සැහැල්ලු ලෙස සිදුකරමින් සිටින ප්‍රකාශ සැලකිල්ලට ගැනීම තුළ ඒ බව තේරුම්ගත හැකිය. එමෙන්ම ජනපති ඝාතන කුමන්ත්‍රණයේ ප්‍රමුඛ භූමිකාවක් ඉටුකරමින් සිටි පුද්ගලයෙකු ලෙස සැලකෙන නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා රාජකාරී කරමින් සිටි ත්‍රස්ත විමර්ශන ඒකකය සතුව තිබූ දුර සිට වෙඩි තබා පුද්ගල ඝාතනයන් සඳහා යොදාගත හැකි ස්නයිපර් වර්ගයේ ආයුධයක් අතුරුදන්ව ඇති බවට තොරතුරු හෙළි වී තිබියදීත් ආණ්ඩුවේ ඇතැම් මැතිඇමතිවරුන්ට මේ ප්‍රශ්නය පිළිබඳව තවදුරටත් සැහැල්ලුවෙන් බලා සිටිය හැකිද යන ප්‍රශ්නය මතු වේ. එමෙන්ම යුද්ධය අවසන් වී ඇති පසුබිමකත් නාලක සිල්වා නියෝජ්‍ය පොලිස්පතිවරයා එල්.එම්.ජී වර්ගයේ මෝටාර් දෙකක් තම ඒකකයට ලබාගැනීම සඳහා ඉල්ලා සිටීම ද සැහැල්ලුවෙන් සැලකිය හැකි තත්වයක් නොවේ. එමෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ එම ඉල්ලීම හමුවේ ඒ සඳහා අනුමැතිය ලබාදියයුතු පොලිස්පතිවරයා එහිදී අනුගමනය කර ඇති පිළිවෙත කුමක්ද යන්න ගැඹුරින් විමසා බැලියයුතුව තිබේ.

ඒ අනුව අද සිදුවෙමින් පවත්නා කරුණු අනුව මතුවන ප්‍රශ්නයක් ඇත. එනම් රටේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීම සඳහා සැලසුම් කරන ලද බරපතළ කුමන්ත්‍රණයක් යට ගැසීම සඳහා හෝ වෙනතකට යොමුකිරීම සඳහා කුමන්ත්‍රණයක් පවතින්නේ ද යන්නය. ඒ බව පැහැදිලි වන්නේ රටේ පොලිස්පතිවරයාට අදාළව මෙන්ම ආදළ කුමන්ත්‍රණයේ ප්‍රධාන පුරුකක් ලෙස ක්‍රියාකළේ යැයි චෝදනා එල්ල වී ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිබඳව අනුගමනය කරමින් සිටින සැහැල්ලු ප්‍රතිපත්තිය තුළ පමණක්ම නොවේ. මෙකී බරපතළ කාරණය පිළිබඳව වන අවධානය වෙනතකට යොමුකිරීම සඳහා ඇතැම් කරුණු විකෘති කරමින් රෝ ඔත්තු සේවය සමග මෙම ක්‍රියාවලිය සම්බන්ධ කිරීම සඳහා කැබිනට් මණ්ඩල සාමාජිකයන් පිරිසක් ද දැන හෝ නොදැන සම්බන්ධ වීම මගිනි.

අවතක්සේරුව අවදානමකි

එවැනි සිදුවීම් කිසිසේත්ම අවතක්සේරු කළයුතු දේවල් නොවේ. සත්‍යවශයෙන්ම මෙය රටේ රාජ්‍ය නායකයාගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයකි. එපමණක් ද නොව එය තවත් අතකින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම විනාශකාරී අනතුරකට හෙළීම සඳහා දරන ලද ප්‍රයත්නයක් ද වේ. බොහෝවිට මෙවැනි කුමන්ත්‍රණයන්හි සිටින්නේ කසකරුවන් හා පෙරහර නැට්ටුවන්ම පමණක්ම නොවේ. ඒ පිටුපස එහි සැබෑ නිර්මාපකයන් ද සැඟවී සිටිය හැකිය. ඒ බව තේරුම්ගැනීම සඳහා අප රට තුළින්ම බලවත් නිදර්ශන තිබේ.

62 කුමන්ත්‍රණය සහ ඩඩ්ලි ‌‌සේනානායකගේ සම්බන්ධය

1962 කුමන්ත්‍රණ සැලසුම ඒ සඳහා දැක්විය හැකි හොඳම උදාහරණයයි. 1962 ව්‍යර්ථ වූ රජය පෙරළීමේ කුමන්ත්‍රණය ඩොනල්ඞ් ආර්.හොරොවිට්ස් (ෘදබ්කා ඍ ්‍යදරදඅසඑ‘) නැමැති ඇමරිකානු දේශපාලන විද්‍යාඥයාට අනුව හරය විසින් ගත්කල්හි කර්නල් වරුන්ගේ කුමන්ත්‍රණයකි. එමෙන්ම ඒ පිළිබඳව සිදුකරන ලද වේගවත් හා විධිමත් පරීක්ෂණ තුළ ද දැකගත හැකිව තිබුණේ එවැනිම වූ තත්වයකි. එහෙත් එහි පසුබිම් සැලසුම්කරුවන් පිළිබඳව ප්‍රථම හෙළිදරව්ව සිදුවූයේ ඉන් වසර 04ක ට පමණ පසු 1966 අප්‍රේල් මස 13 වනදා ය. ඒ සර්.ජෝන් කොතලාවල මහතා සිදුකර ඇති හෙළිදරව්වකිනි. එනම් අදාළ කුමන්ත්‍රණය පිළිබඳව එවකට විපක්ෂනායකවරයා වූ ඩඞ්ලි සේනානායක මහතා දැනුවත්ව සිටි බවට හා එයට ඔහුගෙන් අනුබලයක් ද ලැබුණේ ය යන හෙළිදරව්ව නිසාය. එදා පවා සර්. ජෝන් කළ එම හෙළිදරව්ව ජේ.ආර් ජයවර්ධන හා එස්මන්ඞ් වික්‍රමසිංහ යන අයගේ සතර කන්වලට පමණක් සීමා වූ වැදගත් රහසක් විය. ශ්‍රී ලංකාවේ සිදුවීමට නියමිතව තිබූ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය පිළිබඳව ගවේෂණය කිරීම සඳහා එයින් වසර දෙකකට පමණ පසු ශ්‍රී ලංකාවට පැමිණි ඩොනල්ඞ් ආර්.හොරොවිට්ස් කුමන්ත්‍රණයේ සැකකරුවන් සමඟ සාකච්ඡා කරද්දි අදාළ කුමන්ත්‍රණයට ඩඞ්ලි සේනානායක මහතාගේ පැවති සබඳතාවය පිළිබඳව කතාකරන්නට පටන්ගෙන තිබේ.

කේ.එම් ද සිල්වා සහ හාවර්ඞ් රිගින්ස් විසින් සංස්කරණය කරන ලද ජේ.ආර් ජයවර්ධන චරිතාපදානයට අනුව එය ඒ දක්වාම කොළඹ මධ්‍යම ප්‍රාන්තික පවුල්වලට පමණක් සීමා වූ ඕපාදූපයක් පමණක්ම වී තිබේ. දැන් ඒ පිළිබඳව කිසිවෙකුට සැකයක් නොමැත්තේ සර්.ජෝන් කොතලාවල දැන සිටි එම වැදගත් රහස ඔහු විසින්ම 1968 ජනවාරි 11 වනදා ලිඛිතවම සටහන් කර තැබීම නිසාය. අද පවා එම ලේඛනය ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේ ඇති ලිපි ලේඛන අතර දැකගත හැකිය.

ඒ අනුව මේ රටේ අතිශය සම්භාවනාවට පත් ප්‍රජාතාන්ත්‍රවාදියෙකු ලෙස සැලකිය හැකි ගරු කටයුතු දේශපාලනඥයෙකු පවා බලය උදෙසා එවැනි පෙලඹවීමකට මොහොතකට හෝ යොමු වී ඇත්නම් බලය උදෙසා නූල් සූත්තර වලින් කෙළ පැමිණි නූතන දේශපාලන බලවතුන් කෙරෙහි පූජනීයත්වයෙන් යුතුව කිසිවෙකු කිසිම විටෙක පූර්ව නිගමන මත පිහිටා කටයුතු කළයුතු නැත. සිදුකරන්නට සැලසුම් කළ බරපතළ ඝාතන කුමන්ත්‍රණයක් වසන් කරන්නට හෝ එය සාමාන්‍යකරණයට ලක්කරන්නට මෙන්ම කරුණු විකෘති කරමින් වෙනත් අතකට යොමුකරන්නට යමෙකු උත්සාහ කරන්නේද යන්න සැලකිල්ලට ගතයුතුව ඇත්තේ ඒ නිසාය.

සුනිල් ජයසේකර‍

Back to Top