Sri Lanka Brief
පුවත්අයවැයට දෙමළ ජාතික සන්ධානයේ තීන්දුව දෙමළ දේශපාලන සිරකරු ඉරණම මත. – සුමන්තිරන්

අයවැයට දෙමළ ජාතික සන්ධානයේ තීන්දුව දෙමළ දේශපාලන සිරකරු ඉරණම මත. – සුමන්තිරන්

by

ඡායාරූපය: දෙමළ දේශපාලන සිරකරුවන් රඳවා සිටින අනුරාධපුර බණ්ධනාගාරය. ( ටිවිටර් ඡායාරූපයකි)

2019 වසර සඳහා වූ රජයේ අයවැයට සහාය වන්නේද නැතිද යන්න ජනාධිපතිවරයා සමඟ හෙට (17) සිදුකරන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය වනු ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.

රජයේ අයවැයට සහාය පළ නොකරමින් එය ප්‍රතික්ෂේප කළ යුතුයි යන අදහස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් තුළ පවතින අදහසක් බවද එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්..සුමන්තිරන් මහතා සඳහන් කළේය.

බොහෝ දේවල් සිදුකර අවසන් කරනවා කියලා දීපු පොරොන්දුව රජයට නිසි ආකාරයෙන් ඉටුකරන්න බැරි වුණා. රජය මේ විදිහට බොහෝ දේවල් සිදු නොකළ නිසා මෙවර අයවැය ප්‍රතික්ෂේප කළ යුතුයි කියල දෙමළ ජාතික සන්ධානයේ බහුතර පිරිසක් යෝජනා කරනවා.

අයවැය සම්බන්ධයෙන් කුමන ආකාරයේ කොන්දේසි ඉදිරිපත් කරන්නේද පොරොන්දු ඉටු කිරීම සඳහා රජයට කොපමණ කාලයක් ලබාදිය යුතුද කියල අපි මෙතෙක් තීරණය කරල නැහැ. බදාදා 17 වනදා ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් තියෙනවා.ඒ සාකච්ඡාවේදී මොන විදිහෙ තීරණයක් ගනීවිද කියල දන්නෙ නැහැ.

ජනාධිපතිවරයාගේ එම සාකච්ඡාවෙන් පසු අපි ඔහු සමඟින් සාකච්ඡාවක් සිදුකිරීමට සිටිනවා. එම සාකච්ඡාවට අධිකරණ අමාත්‍යවරිය සහ නීතිපතිවරයාද කැඳවන බවට ජනාධිපතිවරයා පෙර සඳහන් කළා

බන්ධනාගාර ගතකර සිටින් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියල බලකරල ලබන 25 වනදා පාර්ලිමේන්තුවට කල් තැබීමේ විවාදයක් ගෙන එන්න දෙමළ ජාතික සන්ධානයත් ජනතා විමුක්ති පෙරමුණත් එක්ව කටයුතු කරනවා. අන්තවාදී සිංහල දේශපාලන බලවේග සහ සංවිධානවල අය කොටි සංවිධානයේ සාමාජිකයින් නිදහස් කරන්න කටයුතු කරනවා කියල වැරදි ප්‍රචාරයක් දකුණේ සිංහල ජනතාව මාධ්‍යට ගෙන ගිහිල්ල තියෙනවා. මෙය නිවැරදි කළ යුතුයි.

දීර්ඝ කාලයක සිට බන්ධනාගාර ගතකර සිටින මොවුනට එරෙහිව නඩු විභාග කරලා ඒ නඩුවලට අනුව දඬුවම් පණවා තිබුණ නම් ඔවුන්ගේ දඬුවම් කාලයත් මේ වනවිට ඉවර වෙලා, නිදහස් වෙලා ඉන්නත් කාලය හරි. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඇප ලබාදිය නොහැකි කරුණක් බව කියමින් ඔවුනට එරෙහිව නඩු විභාගයක්ද නොකරමින් දීර්ඝ කාලයක සිට බන්ධනාගාර ගත කර සිටීම නිසා එම සිරකරුවන් ඔවුන්ව නිදහස් කරන්න කියල අරගල කරනවා.

ඔවුන්ව එකවරම නිදහස් කියලා ඒ සිරකරුවන් කියන්නෙ නැහැ. තමන් වරද පිළිගන්නවා දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතකොට සිටි හේතුව මත ඔවුන්ව පුනරුත්තාපනය කරල නිදහස් කරන්න කියලයි ඔවුන් ඉල්ලන්නේ. මේ සත්‍ය හරි විදිහට දකුණේ සිංහල ජනතාවට කියුවොත් තමයි මේ සිරකරුවන්ගේ නිදහසට ඒ ජනතාවගේ සහයෝගය ලැබෙන්නේ. මෙහි සාධාරණභාවය සිංහල ජනතාවට අවබෝධ කරදිය යුතුයි. එය නිසි ලෙසින් වටහා ගන්නේ නම් සිංහල ජනතාව කිසිසේත් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරනවට විරුද්ධ වෙන්නෙ නැහැ.

යාපනයේ පිහිටි සිය නිවසේ  15 දින මාධ්‍ය හමුවක් කැඳවමින් සුමන්තිරන් මහතා මේ බව කියා සිටියේ ය‍

එෆ්.අස්ලම්/ ලංකාදීප ඇසුරෙනි.

Back to Top